දීඝනඛ සූත්‍රය

2.3.4 දීඝනඛ සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙන්හි වැඩ වාසය කරන සේක. එකල්හි දීඝනඛ නම් පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී:

භවත් ගෞතමයෙනි, මම් වූ කලි ‘සියල්ල (උපත්) මට නො රුස්නේයැ’ යන මෙබඳු වාද ඇත්තෙමි, මෙබඳු දෘෂ්ටි ඇත්තෙමි’යි. ගිනිවෙස්න, තෙල ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන තොපගේ යම් දෘෂ්ටියක් ඇද්ද, තෙල දෘෂ්ටියත් තොපට නො රුස්නේ දැ? යි. ඉදින් භවත් ගෞතමයෙනි, තෙල දෘෂ්ටිය මට රුස්නේ වී නම් එ (දෘෂ්ට්‍යර්‍ථය) ද එසේ මැ වන්නේ යැ, එ ද එසේ මැ වන්නේ යැ. (සර්‍වග්‍රහණයෙන් ගන්නා ලද නමුදු දෘෂ්ටිය රුචි වෙයි, එසෙයින් මැ දෘෂ්ට්‍යර්‍ථයත් රුචි වේ යන අර්‍ථ යි.) ගිනිවෙස්න, ලොවැ (දෘෂ්ටි හැර පියන) යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි හැරපියන) ඔවුනට වඩා (දෘෂ්ටි නො හරනා) ඔහු මැ බොහෝහ, බහුතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද නො හරිති, අන්‍යදෘෂ්ටියකුදු දැඩි වැ ගනිත්. ගිනිවෙස්න, ලොවැ දෘෂ්ටි නො හරනා යම් කෙනෙක් ‘එ ද එබඳු මැ වන්නේ යැ, එ ද එබඳු මැ වන්නේ යැ’යි මෙසේ කියත් නම් (දෘෂ්ටි නො හරනා) ඔවුනට වඩා (දෘෂ්ටි හැරපියන) ඔහු මැ අල්පයහ, අල්පතරයහ. ඔහු ඒ දෘෂ්ටිය ද හැරපියති, අන්‍යදෘෂ්ටියකුදු උපාදාන නො කෙරෙති.

ගිනිවෙස්න, ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත, ගිනිවෙස්න, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගිනිවෙස්න, ‘ඇතැම් ප්‍රතිසන්ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්ධියක් මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇති.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, (තෘෂ්ණාදෘෂ්ටි) අභිනන්‍දනයට ආසන්න යැ, අධ්‍යවසානය (ගිලගැනීම) ට ආසන්න යැ. උපාදානය (දෘඪග්‍රහණ) යට ආසන්න යැ. එහි ලා ගිනිවෙස්න, යම් මහණබමුණු කෙනෙක් “සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන්ගේ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අනභිනන්‍දනයට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යැ යි.

මෙසේ වදාළ කල්හි දීඝනඛ පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී: “භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය උත්කර්ෂ කෙරෙති භවත් ගෞතමයෝ මාගේ දෘෂ්ටිය මැනැවින් උත්කර්ෂ කෙරෙති”යි.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: “ඇතැම් ප්‍රතිසන්ධියක් මට රුස්නේ යැ, ඇතැම් ප්‍රතිසන්ධියක් මට නො රුස්නේ යැ” යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, යම් දෘෂ්ටියක් ඔවුනට රුස්නේ ද, ඒ මේ දෘෂ්ටිය සංරාගයට ආසන්න යැ, සංයෝජනයට ආසන්න යැ, අභිනන්‍දනාවට ආසන්න යැ, අධ්‍යවසානයට ආසන්න යැ, උපාදානයට ආසන්න යි. යම් දෘෂ්ටියක් ඔවුනට නො රුස්නේ නම් ඒ මේ දෘෂ්ටිය අසංරාගයට ආසන්න යැ, අසංයෝජනයට ආසන්න යැ, අනභිනන්‍දනාවට ආසන්න යැ, අනධ්‍යවසානයට ආසන්න යැ. අනුපාදානයට ආසන්න යි.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල (හැම ප්‍රතිසන්ධිය) මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්ශ කොට ගෙන අභිනිවෙශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකුගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුන් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දක්මින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනතුරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: “මාගේ මේ ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන යම් දෘෂ්ටියක් ඇද්ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්ශ කොට ගෙන අභිනිවෙශ කොට ගෙන ‘මේ මැ සත්‍ය යැ අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම් මට දෙදෙනකු ගෙන් කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, ‘සමහරක් මට රුස්නේ යැ; සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් ඇද්ද, මෙ දෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසේ කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් එ මැ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසෙයින් තෙල දෘෂටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසෙයින් තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.

ගිනිවෙස්න, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක්: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නුවණැති පුරුෂයෙක් මෙසේ නුවණින් සලකයි: ‘සමහරක් මට රුස්නේ යැ, සමහරක් මට නො රුස්නේ යැ’ යන මාගේ යම් දෘෂ්ටියක් වේ ද, ඉදින් මම මේ දෘෂ්ටිය දැඩි වැ පරාමර්ශ කොට ගෙන අභිනිවෙශ කොට ගෙන ‘මේ මැ සත්‍යයැ, අන්‍යය තුච්ඡ යැ’යි කියන්නෙම් නම්, දෙදෙනකුගෙන් මට කලහ වන්නේ යැ: ‘සියල්ල මට රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේද, ‘සියල්ල මට නො රුස්නේ යැ’ යන මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙකුත් වේ ද, මෙදෙදෙනාගෙන් මට කලහ වන්නේ යැ. මෙසෙයින් කලහ ඇති කල්හි විවාද වෙයි, විවාද ඇති කල්හි දුක් වෙයි, දුක් ඇති කල්හි වෙහෙස වේ. මෙසෙයින් හේ කලහයත් විවාදයත් දුකත් වෙහෙසත් තමා කෙරෙහි දකිමින් ඒ දෘෂ්ටියත් හැරපියයි, අන්‍යදෘෂ්ටියකුදු නො ගනී. මෙසේ තෙල දෘෂටීන්ගේ ප්‍රහාණය වෙයි, මෙසේ තෙල දෘෂ්ටීන්ගේ දුරැලීම වේ.

තවද ගිනිවෙස්න, මෙ කය රූපවත් වූයේ සතර මහාභුතයෙන් නිපන්නේ මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් සම්භව වූයේ බතින් කොමුයෙන් වැඩුණේ අනිත්‍යසවභාව ඇතියේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් පියවි කොට ඇතියේ අනිත්‍ය විසින් දුඃඛ විසින් රෝග විසින් ගණ්ඩ (ගඩු) විසින් ශල්‍ය විසින් අඝ (දුඃඛස්වභාව) විසින් ආබාධ විසින් පර (තමා අයත් නැති) විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දැක්කයුත්තේ යැ, ඔහු මෙ කය අනිත්‍ය විසින් දුඃඛ විසින් රොග විසින් ගණ්ඩ විසින් ශල්‍ය විසින් අඝ විසින් ආබාධ විසින් පර විසින් නැසෙන විසින් ශුන්‍ය විසින් අනාත්ම විසින් දක්නාහට කයෙහි යම් කාය තෘෂ්ණාවක් කායස්නෙහයක් කායන්වය (කයඅනුවයන) බවෙක් වේ ද, ඒ ප්‍රහීණ වෙයි.

ගිනිවෙස්න, මෙ තුන් වේදනායෙක් ඇත: සුඛවේදනා යැ දුඃඛවේදනා යැ උපෙක්ෂා වේදනා යි. ගිනිවෙස්න, යම් කලෙකැ සුඛවේදනාව විඳී ද, එසමයෙහි දුඃඛවේදනාව නො මැ විඳී, උපෙක්ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි සුඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ දුඃඛවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, උපෙක්ෂාවේදනාව නො මැ විඳී, එසමයෙහි දුඃඛවේදනාව මැ විඳී. ගිනිවෙස්න, යම් කලෙකැ උපෙක්ෂාවේදනාව විඳී ද, එසමයෙහි සුඛවේදනාව නො මැ විඳී, දුඃඛවේදනාව නො මැ විඳී, එසමයෙහි උපෙක්ෂාවේදනාව මැ විඳී.

ගිනිවෙස්න, සුඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්ෂයස්වභාව ඇත ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. ගිනිවෙස්න, දුඃඛවේදනා ද අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ ප්‍රත්‍යයන් නිසා උපන, ක්ෂයස්වභාව ඇත, ව්‍යයස්වභාව ඇත, විරාගස්වභාව ඇත, නිරෝධස්වභාව ඇත. උපෙක්ෂාවේදනා ද ගිනිවෙස්න, අනිත්‍ය යැ ප්‍රත්‍යයන් එක් වැ කරනලද යැ, ප්‍රත්‍යයන් නිසා උපන, ක්ෂයස්වභාව ඇත. ව්‍යයස්වභාව ඇත. විරාගස්වභාව ඇත. නිරෝධස්වභාව ඇත.

ගිනිවෙස්න, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්ය්‍යශ්‍රාවක සුඛවේදනායෙහි දු කලකිරෙයි, දුඃඛවේදනායෙහි දු කලකිරෙයි, උපෙක්ෂාවේදනායෙහි දු කලකිරෙයි. කලකිරුණේ විරක්ත (නො ඇලුණේ) වෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි ‘විමුක්තයෙමි’ යන ඥානය වෙයි, ජාතිය ගෙවිණ, මඟබඹසර වැස නිමවන ලද, (සිවුමඟ) කරණී කරනලද, මෙබව පිණිස අනි කිසෙක් නැතැ’යි දැනගනී. මෙසෙයින් ගිනිවෙස්න, විමුක්තසිත් ඇති මහණ කිසිවකු සමග සංවාද නො කෙරෙයි, කිසිවකු සමග විවාද නො කෙරෙයි, ලොවැ යමක් කියන ලද නම් පරාමර්‍ශ නැති වැ එයින් මැ ව්‍යවහාර කෙරෙයි.

එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් පිටිපසැ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියාහු වෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙසිත විය: “භාග්‍යවතුන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් ප්‍රඥායෙන් දැන ප්‍රහාණය වදාළහ, සුගතයන් වහන්සේ අපට ඒ ඒ ධර්‍මයන් නුවණින් දැන දුරැලීම වදාළහ”යි. මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කරන්නා වූ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේගේ සිත උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදිණ. දීඝනඛපරිව්‍රාජකයන්ට කෙලෙස් රජස් රහිත වූ පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස උපන: “යම් කිසි ප්‍රත්‍යයොත්පන්නධර්‍මයෙක් ඇද්ද, එහැම නිරුද්ධ වන පියවි ඇතැ”යි.

ඉක්බිති දීඝනඛ පරිව්‍රාජක දුටු දහම් ඇතියේ පත් දහම් ඇතියේ පිළිවිදි දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහ වූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය:

“ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවක්හට මඟ පවසන්නේ හෝ වේ ද, ඇස් ඇත්තාහු රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දල්වන්නේ ද, එසෙයින් භවත් ගෞතමයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.

සිව් වැනි දීඝනඛ සුත්‍ර‍ය නිමියේය.