මාගන්දිය සූත්‍රය

2.3.5 මාගන්දිය සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කල්මාෂදම්‍ය නම් වූ කුරුරටවැසියන්ගේ නියම්ගම්හි භාරද්වාජගෝත්‍ර බමුණුගේ අග්නි හෝත්‍රශාලායෙහි තණඇතිරියෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන කල්මාෂදම්‍යනිගමයට පිඬු පිණිස පිවිසියහ. කල්මාෂදම්‍යයෙහි පිඬුසිඟා පසුබත් වේලෙහි පිඬුවායෙන් නැවැතිසේක් එක්තරා වනළැහැබක් කරා දිවාවිහාර පිණිස එළැඹියහ. එ වනළැහැබට වැද එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙන් වැඩහුන් සේක.

එකල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඬ්ඝාවිහරණයෙහිලා සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජගෝත්‍රයෙහි වූ බමුණුහුගේ ගිනිදෙවොල කරා එළැඹියේ යැ. මාගන්‍දිය පරිව්‍රාජක භාරද්වාජගොත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි පනවනලද තණඇතිරියක් දුටුයේ යැ. දැක භාරද්වාජගොත්‍ර බමුණුහට තෙල කී යැ: භවත් භාරද්වාජයන්ගේ ගිනිදෙවොලෙහි මේ තණඇතිරිය කවරක්හට පනවනලද ද? ‘ශ්‍රමණයක්හට අනුරූප වූ ශයනයෙකැ’යි සිතමි.

භවත් මාගන්‍දිය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍යකුලයෙන් නික්ම පැවැදි වූ ගෞතම නම් ශ්‍රමණ කෙනෙක් ඇත. ඒ භාග්‍යවතුන් ගෞතමයන්ගේ මෙබඳු කල්‍යාණ වූ කීර්තිශබ්දය උස් වැ පැනනැංගේ යැ: “ඒ භාග්‍යවත්හු මෙකරුණෙන් අර්‍හත් වූහ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යා චරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිසුනට ශාස්තෘ වූහ, බුද්ධයහ, භගවත් වූහ” යි ඒ භවත් ගෞතමයන්ට තෙල යහන පනවනලදැ’යි. භවත් භාරද්වාජය, ඇපි හතවෘද්ධි ඇති ඒ භවත් ගෞතමයන්ගේ යහන දුටුවමෝ ද, ඒකාන්තයෙන් නො නිසි දැක්මක් දුටුවම්හ’යි. මාගන්‍දිය, තෙල වචනය රකුව, මාගන්‍දිය තෙල වචනය රකුව. ඒ භවත් ගෞතමයන්හට බොහෝ වූ මැ ක්ෂත්‍රියපණ්ඩිතයෝ ද බ්‍රාහ්මණපණ්ඩිතයෝ ද ගෘහපතිපණ්ඩිතයෝ ද ශ්‍රමණපණ්ඩිතයෝ ද අතිශයින් ප්‍රසන්න වූහ. පරිශුද්ධ වූ අනවද්‍ය වූ හේතුධර්‍මයහි විනීතයහ’යි. භවත් භාරද්වාජය, ඇපි ඒ භවත් ගෞතමයන් හමුයෙහි නමුදු දක්නමෝ නම් හමුයෙහි දු ඔවුන්ට (මෙසේ) කියම්හ: “ශ්‍රමණ ගෞතමයෝ භතවෘද්ධි ඇත්තාහ”යි. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එන්නේ ද එහෙයිනි. ඉදින් භවත් මාගන්‍දියහට එය බරෙක් නො වේ නම් ශ්‍රමණගෞතමයන්හට තෙල සැල කරන්නෙමි’යි. (මා රක්නට) අනුත්සුක වැ භවත් භාරද්වාජ මා විසින් කියනලදුයේ මැ කියාව’යි.

බුදුහු විශුද්ධ වූ ඉක්මගිය මිනිස්බව ඇති දිවසෝධයින් මාගන්‍දිය පරිව්‍රාජක සමග (කරනලද) භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයාගේ මේ කථාසල්ලාපය ඇසූසේක. ඉක්බිති බුදුහු සවස්කාලයෙහි ඵලසමවතින් නැඟී සිටි සේක් භාරද්වාජගොත්‍ර බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොල කරා එළැඹි සේක. එළැඹ පනවනලද්දාවූ තණඇතිරියෙහි වැඩ හුන් සේක. ඉක්බිති භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙකැ හින. බුදුහු එක්ත්පස් වැ හුන් භාරද්වාජගෝත්‍ර බමුණුහට මේ වදාළහ. භාරද්වාජය, මාගන්‍දිය පරිව්‍රාජක සමග මේ තණඇතිරිය මැ අරභයා තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වී දැ? යි වදාළහ. මෙසේ වදාළ කල්හි භාරද්වාජ බ්‍රාහ්මණ (ප්‍රීතිසංවේගයෙන්) කම්පිත වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් කි යැ: “ඇපි මෙය මැ භවත් ගෞතමයන් වහන්සේට සැලකරන රිසියම්හ. එතෙකුදු වත් ගෞතමයන් වහන්සේ නො කියන ලද්ද මැ කීහ’යි. භාරද්වාජගෝත්‍ර බ්‍රාහ්මණයා සමග භාග්‍යවතුන් වහන්සේ මේ අතුරු කථාව කොට අඩාළ විය. එක්ල්හි මාගන්‍දිය පරිව්‍රාජක ජඬ්ගාවිහරණයෙහි සක්මන් කරනුයේ හැසිරෙනුයේ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ ගිනිදෙවොලෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එක්ත්පස්වැ හුන් මාගන්‍දිය පරිව්‍රාජකයන්හට බුදුහු තෙල වදාළසේක.

“මාගන්‍දිය, ඇස වැළිත් රූපය ආරාම කොට ඇත. රූපයෙහි ඇලුණේ යැ. රූපයෙන් පිනවනලද. ඒ චක්ෂුස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරන ලද, රක්නාලද, සංවර කරනලද වෙයි. ඒ චක්ෂුස සංවරය පිණිස දහම් දෙසන සේක. මාගන්‍දිය තොප විසින් මේ සඳහා තෙල ‘ශ්‍රමණ ගෞතම වෘද්ධිනාශකයෙකැ’යි කියන ලදදැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ ‘ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙ කැ’යි කියනලද. ඊට හේතු කවරැ යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.

මාගන්‍දිය, ශ්‍රෝතය වැළිත් ශබ්දය ආරාම කොට ඇත ... මාගන්‍දිය, ඝ්‍රණය වූකලි ගන්ධය ආරාම කොට ඇත … මාගන්‍දිය, ජිව්හාව වූකලී රසය ආරාම කොට ඇත. රසයෙහි ඇලුණී යැ, රසයෙන් පිනවනලද, ඒ ජිව්හාව තථාගතයන් විසින් දාන්ත යැ ගුප්ත යැ සංවෘත යැ. ඒ ජිව්හා සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙ කැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් අපගේ සූත්‍රයෙහි මෙසේ එයි ද, එහෙයිනැ’යි.

“මාගන්‍දිය, කය වැළිත් ස්ප්‍රෂ්ටව්‍ය ආරාම කොට ඇත ... මාගන්‍දිය, මනස වැළිත් ධර්‍මය ආරාම කොට ඇත, ධර්‍මයෙහි ඇලුණේ යැ, ධර්‍මයෙන් පිනවනලද, ඒ මනස තථාගතයන් විසින් දමනය කරන ලද, ගෝපනය කරනලද, රක්නාලද, සංවර කරනලද. එ මනස සංවරයට දහම් දෙසති. මාගන්‍දිය, තොප විසින් තෙල “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි මේ සඳහා කියනලද දැ? යි. භවත් ගෞතමයන් වහන්සේ මා විසින් මේ සඳහා මැ “ශ්‍රමණ ගෞතම හතවෘද්ධි ඇත්තෙකැ’යි කියනලද. එ කවර හෙයින යත්: අපගේ සූත්‍රයෙහි මෙසේ එන හෙයිනැ’යි.

මාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණු වූ චක්ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් සිත් අලවා විසූවිරූ වෙයි. හේ මෑතකාලයෙහි රූපයන්ගේ මැ සමුදය ද අත්ථඬ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිද්දෙන් දැන රූපතෘෂ්ණාව හැරපියා රූපය අරභයා උපන් පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කරන්නේ නම්, මාගන්‍දිය තොප විසින් මොහුට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කිසි කියයුත්තෙක් නැත.

මාගන්‍දිය, ඒ කිමැ’යි සිතයි ද? මෙලොවැ කිසිවෙක් ශ්‍රොත්‍රවිඥෙය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥෙය වූ ගන්ධයෙන් … ජිහ්වාවිඥෙය වූ රසයෙන් … ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති, කාමයන් අරමුණු කොට ඇති, රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥෙය වූ ස්ප්‍රෂටව්‍යයෙන් අභිරමණය කළ විරූ විය. හේ මෑතභාගයෙහි ස්ප්‍රෂ්ටව්‍යයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තත් වූ පරිදි දැන ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව හැරපියා ස්ප්‍රෂ්ටව්‍යයන් නිසා උපදනා පරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියේ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වාසය කරේ නම්, මාගන්‍දිය තොප විසින් ක්ෂීණාස්‍රවයන්හට කුමක් කියයුතු වන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, කියයුතු කිසිවක් නැත.

මාගන්‍දිය, මම් වූකලි පෙර ගිහිගේවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්විත වූයෙම් සිත් අලවා විසීමි. චක්ෂුර්විඥෙය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥෙය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥෙය වූ ගන්ධයෙන් … ජිහ්වාවිඥෙය වූ රසයෙන් …. කායවිඥෙය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ ස්ප්‍රෂටව්‍යයෙන් සිත් අලවා විසීමි. මාගන්‍දිය, ඒ මට තුන් පහයෙක් විය. එකෙක් වැසිකලට නිසි වෙයි. එකෙක් හිමත්කලට නිසි වෙයි. එකෙක් ගිමන්කලට නිසි වේ. මාගන්‍දිය, ඒ මම වැසිකලට නිසි වූ පහයෙහි වැසි සාරමස පුරුෂයන් රහිත වූ තූර්‍ය්‍යයෙන් සතුටු වෙමින් යට පහයට නො බස්මි. ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද තත් වූ පරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇතියෙම් වාසය කෙරෙමි. ඒ මම කාමයන්ගේ අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කරනුලබන කාමපරිදාහයෙන් දවනුලබන කාමයන් සේවනය කරන අන්‍ය සත්ත්වයන් දක්මි. ඒ මම් ඔවුනට නො රිසියෙමි, එහි නො ඇලෙමි, ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයකින් යම් මේ සමාපත්ති රතියක් වේ ද, එය කාමයන්ගෙන් වෙන් වූයේ මැ යැ, අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූයේ මැ යැ, දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී, ඒ චතුර්ථධ්‍යානික ඵලසමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ පඤ්චකාමසුවයට නො සතුටු වෙමි. එහි සිත් අලවා නො වෙසෙමි.

යම්සේ මාගන්‍දිය, ආඩ්‍ය වූ මහත් ධන ඇති මහාභෝග ඇති ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ සිත් අලවා වාසය කරන්නේ යැ, චක්ෂුර්විඥෙය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමූපසංහිත වූ රජනීය වූ රූපයෙන් ශ්‍රෝත්‍රවිඥෙය වූ ශබ්දයෙන් … ඝ්‍රාණවිඥෙය වූ ගන්ධයෙන් … ජිහ්වාවිඥෙය වූ රසයෙන් … කායවිඥෙය වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට රාගොත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂටව්‍යයෙන් (සිත් අලවා වාසය කරන්නේ යැ.) හේ කයින් සුචරිතය කොට වචනයෙන් සුචරිතය කොටක මනසින් සුචරිතය කොට කාබුන් මරණින් මතු සුන්දරගති ඇති ස්වර්‍ගලෝකයට, තව්තිසාවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ යැ. හේ ඒ නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරනලදු වැ දිව්‍යමය පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්විත වැ සිත් අලවන්නේ යැ. පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්විත වැ සිත් අලවන ගෘහපතියකු හෝ ගෘහපතිපුත්‍රයකු හෝ දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි සිතහි? කිම ඒ දිව්‍යපුත්‍ර නන්‍දනවනයෙහි දෙවසරන් සමූහයා විසින් පිරිවරන ලදු වැ දිව්‍යපඤ්චකාමගුණයෙන් යුක්ත වැ සමන්විත වැ සිත් අලවනුයේ තෙල ගෘහපතිහුගේ හෝ ගෘහපතිපුත්‍රයාගේ හෝ මානුෂපඤ්චකාමගුණයට රුස්නේ ද? මානුෂකාමයන් හේතු කොටගෙන පෙරළා එන්නේ දැ? යි. භවත් ගෞතමයන් වහන්ස, මෙය නො වේ මැය. ඒ කුමක් හෙයින යත්: භවත් ගෞතමයන් වහන්ස, මිනිසුන් පිළිබඳ කාමයනට වඩා දිව්‍යකාමයෝ අතිශයින් සුන්‍දර වූවාහු ද අතිශයින් ප්‍රණීත වූවාහු ද එහෙයිනි.

මාගන්‍දිය, එසෙයින් මම පෙර ගිහි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්විත වූයෙම් සිත් අලවා විසීමි: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කාරණ වූ චක්ෂුර්විඥානයෙන් දතයුතු රූපයන් ගෙන් … ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන් ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් අලවා විසීමි.) එ මම පසු කාලයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුපරිදි දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහවූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇත්තෙම් වෙසෙමි. ඒ මම කාමයන්හි අවීතරාග වූ කාමතෘෂ්ණායෙන් පෙළනු ලබන කාමපරිදාහයෙන් දවනු ලබන කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඒ කාමයන් නො පතමි, එහි නො ඇලෙමි. එ කවර හෙයින යත්: මාගන්‍දිය, යම්හෙයෙකින් කාමයන්ගෙන් වෙන් වූ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වූ මේ (චතුර්ථධ්‍යානිකඵලසමාපත්ති) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද එහෙයින් ඒ සමාපත්තිරතියෙන් සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි, එහි නො ඇලෙමි.

යම්සේ මාගන්‍දිය, කුෂ්ඨ ඇති වණසිරුරු ඇති පැසුණු සිරුරු ඇති පුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලෙකින් කය තවන්නේ ද, ඔහුගේ සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍ය වෛද්‍යයකු එළවන්නාහ‍. ඔහුට ඒ ශල්‍ය වෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වූයේ තමහට වසඟ වූයේ කැමැති තැනෙක යනසුලු වන්නේ යැ. හේ වණසිරුරු ඇති, පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන, අඟුරුකබලින් කය තවන අනෙක් කුෂ්ඨ පුරුෂයකු දක්නේ යැ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟනෙහි ද? ඒ පුරුෂ තෙම තෙල කුෂ්ඨිපුරුෂහට රුස්නේ ද? අඟරුකබලට හෝ බෙහෙත් සෙවුමට හෝ රුස්නේ දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: ‘භවත් ගෞතමයෙනි, රොගය ඇති කල්හි මැ බෙහෙදින් කටයුතු වෙයි. රොගය නැති කල්හි බෙහෙදින් කටයුතු නො වේ යයි. එසෙයින් මැ මාගන්‍දිය, මම් පෙර ගිහිගෙවැසි වූයෙම් පස්කම්ගුණයෙන් යුකුත වූයෙම් සමන්විත වූයෙම් සිත් ඇලවීමි. ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාවය ඇති කාමයන් අරමුණු කොට ඇති රාගෝත්පත්තියට කරුණ වූ චක්ෂුර්විඥානයෙන් දතයුතු රූපයන්ගෙන් … ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයන්ගෙන් ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්ධයන්ගෙන් … ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයන්ගෙන්, .... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ කායවිඥානයෙන් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් (සිත් ඇලවීමි.) ඒ මම මෑතභාගයෙහි කාමයන්ගේ මැ සමුදය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතු සේ දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇතියෙම් අධ්‍යාත්මයෙහි සන්හුන්සිත් ඇති වැ වෙසෙමි. එ මම කාමයන්හි අවීතරාග වූ, කාමතෘෂ්ණා විසින් කනුලබන, කාමපරිදාහයෙන් දැවෙන, කාමයන් සෙවුනා අන්‍ය සත්ත්‍වයන් දක්මි. ඒ මම් ඔවුන් නො පතමි. එහි නො ඇලෙමි. ඒ කවර හෙයින යත්: මාගන්‍දිය, යම් හෙයෙකින් කාමයෙන් වෙන් වූ අකුශලධර්‍මයෙන් වෙන් වූ මේ (චතුත්ථජ්ඣානික ඵලසමාපත්ති ) රතිය දිව්‍යසුඛය පවා මැඩැගෙන සිටී ද, එහෙයින් ඒ සමාපත්තිරතියෙහි සිත් අලවා වසනුයෙම් හීන වූ කාමය නො පතමි. එහි නො ඇලෙමි.

යම්සේ මාගන්‍දිය ඇති වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති කුෂ්ඨිපුරුෂයෙක් කෘමීන් විසින් කනුලබන්නේ නියෙන් වණමුව කසමින් අඟුරුකබලින් කය තවන්නේ ද, ඔහුට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ‍, ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ එ බෙහෙත් ලැබ කුෂ්ඨයෙන් මිදෙන්නේ යැ, ආරෝග වූයේ සුවපත් වූයේ සෛවරී වැ තමහට වසඟ වැ කැමැති තැනෙකැ යනසුලු වන්නේ යැ. ඒ මොහු බලැති පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්හි ගෙන අඟුරු කබලක් වෙත අදනාහ. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? ඒ පුරුෂ ඔබට මොබට කය නමා දැ? යි. එසේ යැ භවත් ගෞතමයෙනි, ඒ කවර හෙයින යත්: භවත් ගෞතමයෙනි, තෙල ගින්න දුක්පහස් ඇත්තේ ද මහ තැවුලි ඇත්තේ ද මහත් පරිදාහ ඇත්තේ ද වෙයි. එහෙයිනැ’යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟිහි ද? දැන් පමණක් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත් පරිදාහ ඇත්තේත් වේ ද, නොහොත් පෙරත් ඒ ගින්න දුක්පහස් ඇත්තේත් මහතැවුලි ඇත්තේත් මහත්පරිදාහ ඇත්තේත් වී දැ? යි. දැනුදු භවත් ගෞතමයෙනි, ඒ ගින්න දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වෙයි. පෙරදු එ ගිනි දුක් පහස් ද මහ තැවුලි ද මහත් පරිදාහ ද ඇති වී. එතෙකුදුවත් භවත් ගෞතමයෙනි, තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණුසිරුරු ඇත්තේ කෘමීන්විසින් කනුලබනුයේ නියෙන් වණමුව කසනුයේ නට කායප්‍රසාද ඇතියේ දුක්පහස් මැ ඇති ගින්නෙහි ‘සුව’ යයි විපරීතසංඥා ලැබී’යයි. එසෙයින් මැ මාගන්‍දිය, අතීතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වූහ. අනාගතකාලයෙහිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇති වන්නාහ. මෙ වත්මන්කල්හිදු කාමයෝ දුක්පහස් ද මහතැවුලි ද මහත් පරිදාහ ද ඇත්තාහ. මාගන්‍දිය, මෙසත්හු වැළිත් කාමයෙහි අවීතරාග වූවාහු කාම තෘෂ්ණා විසින් කනු ලබන්නාහු කාමපරිදාහයෙන් දැවෙන්නාහු නට ඉඳුරන් ඇත්තාහු දුක්පහස් මැ ඇති කාමයෙහි ‘සුඛ’ යන විපරීතසංඥා ලදුහ.

යම්සේ මාගන්‍දිය, වණසිරුරු ඇති පැසුණුසිරුරු ඇති, කෘමීන් විසින් කනුලබන, නියෙන් වණමුව කසන කුෂ්ඨි පුරුෂ අඟුරු කබලින් කය තවා ද, යම් යම් සෙයෙකින් තෙල කුෂ්ඨි පුරුෂ වණසිරුරු ඇත්තේ පැසුණු සිරුරු ඇත්තේ කෘමීන් විසින් කනු ලබන්නේ නියෙන් වණමුව කසනුයේ අඟුරුකබලින් කය තවා ද, ඒ ඒ පරිද්දෙන් ඔහුගේ ඒ වණමුව ඉතා අපිරිසිදු ද දුර්‍ගන්ධතර ද පූති (කුණු) තර ද වෙයි. වණමුව කැසීම් හෙයින් කිසි මිහිරිමතුයෙකුත් ආස්වාදමාත්‍රයෙකුත් වෙයි. එසෙයින් මැ මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්වයෝ කාම සේවනය කෙරෙති. මාගන්‍දිය, කාමයෙහි අවීතරාග වූ කාමතෘෂ්ණා විසින් කනුලබන කාමපරිදාහයෙන් දැවෙන සත්ත්වයෝ යම් යම් සෙයකින් කාම සේවනය කෙරෙත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ සත්වයන්ගේ කාමතෘෂ්ණාවත් වැඩෙයි. (ඔහු) කාමපරිදාහයෙන් දැවෙනු ද වෙති. පස්කම්ගුණ නිසා යම්තම් මිහිරෙකුත් ආස්වාද මාත්‍රයෙකුත් වෙයි.

ඒ කිමැ’යි හඟිහි ද මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහ ඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ වාසය කෙළේ යැ හෝ වාසය කෙරෙයි හෝ වාසය කරන්නේ යැ හෝ’යි තොප විසින් දුටුයේ හෝඇසුයේ ඇද්දැ? යි. මේ නො වේ මැ යැ භවත් ගෞතමයෙනි, මැනැව මාගන්‍දිය, මා විසිනුදු මාගන්‍දිය, පස්කම්ගුණයෙන් යුක්ත වැ සමන්විත වැ සිත් අලවා වෙසෙන රජෙක් හෝ රජමහඇමැත්තෙක් හෝ කාමතෘෂ්ණාව නො හැරපියා කාමපරිදාහය දුරු නො කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන් සිත් ඇති වැ විසී යැ හෝ වෙසෙයි හෝ වෙසන්නේ යැ හෝ’යි. එ තෙල කරුණ නො මැ දක්නා ලද යැ, නො අසනලදී. මාගන්‍දිය, වැළිත් යම්කිසි මහණ කෙණෙක් වේවයි බමුණු කෙනෙක් වේවයි පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇති වැ වුසූහු නම් හෝ වෙසෙත් නම් හෝ වසන්නාහු නම් හෝ එ හැම දෙන කාමයන්ගේ මැ සමුදයත් විනාශයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දැන කාමතෘෂ්ණාව හැරපියා කාමපරිදාහය දුරු කොට පහ වූ තෘෂ්ණා ඇති වැ අධ්‍යාත්මයෙහි සන්සුන්සිත් ඇති වැ වාසය කළාහු හෝ වාසය කරන්නාහු හෝ මත්තෙහි වාසය කරන්නාහු හෝ වෙති’යි.

ඉක්බිති බුදුහු එ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළහ:

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ, නිවනට යන මාර්‍ගයන් අතුරෙනුදු අෂ්ටාඬ්ගිකමාර්‍ගය ක්ෂෙම වේ”යයි.

මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කෙළේ යැ: “ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින්:

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ ඇතැ”යි.

මේ වදාළතාක් සුභාෂිත ‍වෙයි.

මා විසිනුදු භවත් ගෞතමයෙනි, ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ ‘පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ’ යන-බස් අසන ලද.

භවත් ගෞතමයෙනි, ඒ මේ වචනය සම වේ’ යයි.

මාගන්‍දිය, තා විසින් ආචාර්‍ය්‍යප්‍රාචාර්‍ය්‍ය වූ පූර්‍වපරිව්‍රාජකයන් කියනුවන් ගේ තෙල:

“ලාභයෝ ආරෝග්‍යය පරම කොට ඇත්තාහ, සුවය නිවන පරම කොට ඇත්තේ යැ”යන-යම් වචනයක් අසනලද ද,

ඒ ආරෝග්‍යය කවරෙ යැ? ඒ නිවන කවරෙ යැ? යි. මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක තමාගේ මැ සිරුරු අවයවයන් අත්ලෙන් පිරිමදී: “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිවන යි. භවත් ගෞතමයෙනි, මම් වූ කලී දැන් ආරෝගයෙමි, සුවපත්මි. කිසිවක් (රොවෙක්) මා නොපෙළා” යයි.

යම්සේ මාගන්‍දිය ජාත්‍යන්ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ: නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලේවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ , සඳහිරු නො දක්නේ යි. හේ “සුදුවත ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි ඇස් ඇති පුරුෂයකු කියනුවා අසන්නේ යැ, හේ ශ්වේත වස්ත්‍රය පර්යේෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි තැවැරුණු දළ කළු එළුලොම් සිවුරින් නුළු කරන්නේ යැ (රවටයි.): “එම්බා පුරුෂය, තොප ගේ මේ ශ්වෙතවස්ත්‍රය අභිරූප යැ, නිර්‍මල යැ, පිරිසිදු යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙවැ තුටුසිත් ඇත්තේ සතුටුවදන් පවසන්නේ යැ: “භවත්නි, ශ්වේතවස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි. මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද, ඒ දෑඅඳ පුරිස් දනිමින් දක්මින් තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ ද, පිළිගෙන පොරෝනේ ද, පෙරෙවැ සතුටුසිත් ඇත්තේ “භවත්නි ශ්වෙත වස්ත්‍රය ඒකාන්තයෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ නිර්‍මල යැ පිරිසිදු යැ”යි සතුටුවදන් පවසන්නේ ද, නොහොත් ඇස් ඇතියාගේ බස්හි සැදැහැයෙන් පවසන්නේ දැ?යි. භවත් ගෞතමයෙනි, තෙල දෑඅඳ පුරිස් නො දන්නේ මැ නො දක්නේ මැ තෙල තෙල්දැලි වැකුණු දළ එළුලොම් සිවුර පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ, පෙරෙව සතුටුසිත් ඇති වැ “භවත්නි, සුදුවත ඒකත්තෙන් ප්‍රසන්න යැ, අභිරූප යැ, නිර්‍මල යැ පිරිසිදු යැ”යි. තුටුවදන් පවසන්නේ යැ, ඇස් ඇතියාගේ වදන්හි සැදැහැයෙන් පවසන්නේ යැ’යි. එසෙයින් මැ මාගන්‍දිය අන්‍යතීර්ථක පරිව්‍රාජකයෝ අඳ වූවාහු ඇස් ඇති නැතියාහු ආරෝග්‍යය නො දන්නාහු නිර්‍වාණය නො දක්නාහු එතෙකුදු වත් -

“ආරොග්‍යපරමා ලාභා නිබ්බානං පරමංසුඛං” යි

මේ ගාථාව කියති. මාගන්‍දිය; පෙර විසූ අර්‍හත් සම්‍යක් සම්බුදුන් විසින් තෙල:

“ආරොග්‍යපරමා ලාභා නිබ්බානං පරමං සුඛං 
අට්ඨඬ්ගිකො ච මග්ගානං ඛෙමං අමතගාමිනං”

යන ගාථාව භාෂිත යැ.

ඒ දැන් අනුක්‍රමයෙන් පෘථග්ජනගත වී. මාගන්‍දිය මෙය වූකලී රෝගයක් වැනි වූයේ ගණ්ඩයක් වැනි වූයේ ශල්‍යයක් වැනි වූයේ අඝ (දුඃඛ) යක් වැනි වූයේ ආබාධයක් වැනි වූයේ වෙයි. තෙපි රොවක් වැනි වූ ගඩක් වැනි වූ හුලක් වැනි වූ දුකක් වැනි වූ ආබාධයක් වැනි වූ මෙ කය (ගෙන): “භවත් ගෞතමයෙනි, මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි කියෙහි. මාගන්‍දිය, තෙපි යම් ආර්‍ය්‍ය වූ ඇසෙකින් ආරෝග්‍යය දන්නෙහි නම් නිර්‍වාණය දක්නෙහි නම් තොපට ඒ ආර්‍ය්‍යචක්ෂුස නැතැ”යි වදාළහ.

මෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි. යම්සේ මම් ආරෝග්‍යය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් මට එසේ දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනාසේකැ’යි.

යම්සේ මාගන්‍දිය ජාත්‍යන්ධ පුරුෂයෙක් වේ ද, හේ කළුසුදු රූ නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ, කසාවන් රූ නො දක්නේ යැ, ලෙහෙවන් රූ නො දක්නේ යැ, මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ, තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ‍. ඔහුට ඒ ශල්‍යවෛද්‍ය තෙමේ බෙහෙත් කරන්නේ යැ. හේ ඒ බෙහෙත් ලැබ ඇස් නූපදවා නම් ඇස් විශුද්ධ නො කෙරේ නම්, මාගන්‍දිය, ඒ කිමැ’යි හඟී ද? ඒ වෙද තෙම ඒතාක් පීඩාවට වෙහෙසට හිමි වන්නේ නො වේ දැ? යි. එසේ යැ භවත් ගෞතමයන් වහන්ස, එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට: “මේ ආරොග්‍ය යැ, මේ නිර්වාණ යැ”යි දහම් දෙසන්නෙමි. තෙපි ආරොග්‍යය නො දන්නහු නිර්වාණය නො දක්නහු නම්, ඒ මට පීඩා වන්නේ යැ, ඒ මට වෙහෙස වන්නේ යැ’යි.

මෙසෙයින් මම් භවත් ගෞතමයනට පහන්මි: ‘යම්සේ මම් ආරෝග්‍ය දන්නෙම් නම් නිර්‍වාණය දක්නෙම් නම් එසේ මට දහම් දෙසන්නට ගෞතමන් වහන්සේ පෙහොනා සේකැ’යි.

යම්සේ මාගන්‍දිය ජාත්‍යන්ධ පුරුෂයෙක් වේ ද, හේ කෘෂ්ණශුක්ල රූපයන් නො දක්නේ යැ, නිල්වන් රූ නො දක්නේ යැ , කසාවන් රූ නො දක්නේ යැ , ලෙහෙවන් රූ නො දක්නේ යැ , මඳටවන් රූ නො දක්නේ යැ, සමවිෂමය නො දක්නේ යැ , තාරකරූපයන් නො දක්නේ යැ, සඳහිරු නො දක්නේ යි. හේ “භවත්නි, අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි ඇස් ඇතියකු කියනුවා අසන්නේ යැ. හේ අවදාතවස්ත්‍ර ප‍ර්‍යෙෂණය කරන්නේ යැ. ඒ මොහු එක්තරා පුරුෂයෙක් තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙකින් නළවන්නේ යැ: “එම්බා පුරුෂය, මේ තොපගේ අවදාතවස්ත්‍රය පහන් යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි. හේ එය පිළිගන්නේ යැ, පිළිගෙන පොරෝනේ යැ. ඔහට සගයහළුවෝ නෑසහලේනෑයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහ‍. ඔහට ඒ ශල්‍යවෛද්‍ය තෙමෙ බෙහෙත් කරන්නේ යැ: ඌර්ධ්වවිරෙචන අධොවිරෙචන අඤ්ජන ප්‍රත්‍යඤ්ජන නශ්‍යකර්‍ම කරන්නේ යැ: හේ ඒ බෙහෙත් ලැබ ඇස් උපදවන්නේ යැ විශුද්ධ කරන්නේ යැ ඔහට චක්ෂුරුත්පාදය හා සමග තෙල තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරෙහි යම් ඡන්‍දරාගයෙක් වේ ද, ඒ පහ වන්නේ යැ, ඒ ඡන්‍දරාගයත් ඒ පුරුෂයාත් අමිත්‍ර වශයෙනුදු තබන්නේ යැ. ශ්‍රත්‍රැ වශයෙනුදු තබන්නේ යැ, තවද (ඔහු) දිවි ගැළවිය යුතු කොට හඟනේ යැ: “භවත, එකත්නෙන් මම් බොහෝ කලක් මෙ පුරිස් විසින් “එම්බා පුරුෂය, මේ තොපගේ හෙළපිළිය ප්‍රසන්න යැ අභිරූප යැ නිර්‍මල යැ ශුද්ධ යැ”යි තෙල්දැලි වැකි දළ කළු එළුලොම් සිවුරින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹන ලදුයෙමි’යි. එසෙයින් මැ මාගන්‍දිය, මමත් තොපට ‘මේ ඒ ආරෝග්‍ය යැ, මේ ඒ නිර්‍වාණ යැ’යි දහම් දෙසන්නෙමි, තෙපි ආරෝග්‍ය දැනගන්නා වූ යැ නිර්‍වාණය දක්නවු යැ. ඒ තොපට ඇස් පහළවීම හා සමග පඤ්චෝපාදානස්කන්ධයෙහි යම් ඡන්‍දරාගයෙක් වේ නම් ඒ පහවන්නේ යැ. තවද තොපට මෙබඳු සිතෙක් වන්නේ යැ: “භවත, එකත්තෙන් මම් දිගුකලක් මෙ සිත විසින් රවටනලදුයෙම් වඤ්චිතයෙම් පොළොඹනලදුයෙමි. මම් වූකලී දැඩි කොට ගනුයෙම් රූපය මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් වේදනාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංඥාව මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් සංස්කාරයන් මැ දැඩි කොට ගතිමි. දැඩි කොට ගනුයෙම් විඥානය මැ දැඩි කොට ගතිමි. ඒ මට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණශොකපරිදේවදුඃඛදෞර්මනස්‍යය උපායාසයෝ වෙති. මෙසෙයින් තෙල සකල දුඃඛස්කන්ධයාගේ සමුදය වේ” යයි.

මෙසෙයින් මම් භවත් ගෞතමයනට ප්‍රසන්නයෙමි: “යම්සේ මම මෙ අස්නෙන් නො අඳ වැ නැඟෙන්නෙම් නම් භවත් ගෞතමයන් වහන්සේ මට එසේ දහම් දෙසන්නට පෙහොනා සේකැ”යි.

එසේ වී නම් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරව. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි සත්පුරුෂයන් භජනය කරන්නහු ද, එ දවස පටන් මාගන්‍දිය, තෙපි සදහම් අසන්නාහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය තෙපි සදහම් අසන්නහු ද, එදවස පටන් මාගන්‍දිය තෙපි ධර්‍මානුධර්‍මයට (නිසි පිළිවෙතට) බස්නහු යැ. යම් කලෙකැ පටන් මාගන්‍දිය, තෙපි ධර්‍මානුධර්‍මයට බස්නහු ද, එ දවස පටන් මාගන්‍දිය තෙපි “මොහු රොගයෝ යැ ගණ්ඩයෝ යැ ශල්‍යයෝ යැ, මෙහි (නිවනෙහි) රොගයෝ ගණ්ඩයෝ ශල්‍යයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති. ඒ මට උපාදාන නිරොධයෙන් භවනිරොධය වෙයි, භවනිරොධයෙන් ජාතිනිරොධය වෙයි, ජාතිනිරොධයෙන් ජරාමරණශොකපරිදෙවදුඃඛදෞර්මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් මේ සියලු දුඃඛරාශීහුගේ නිරෝධය වේ” යයි තුමූ ම දන්නහු යැ තුමූ මැ දක්නහු යැ.

මෙසේ වදාළ කල්හි මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණු සැල කළේ යැ: “ඉතා මැනැව භවත් ගෞතමයෙනි, ඉතා මැනැව භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, ප්‍රතිච්ඡන්න වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි හෝ තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් විසින් නන් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරනලද. තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්‍මයත් භික්‍ෂූසඬ්ඝයාත් සරණ කොට යෙමි. මම් භවත් ගෞතමයන් වහන්සේ වෙත පැවිදි ලබන්නෙම් මහලුපැවිදි ලබන්නෙම් මැනැවැ”යි.

“මාගන්‍දිය, අන්තොටුවිරූ යමෙක් මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැති වේ ද, උපසම්පත් කැමැති වේ ද, හේ සාරමසක් පිරිවසයි, සාරමසෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (ඔහු) පැවිදි කරවති, භික්ෂුභාවයට උපසපන් කරවත්, එතෙකුදුවත් මෙහිලා මා විසින් පුද්ගලනානාත්වය දන්නාලදැ’යි.

“ඉදින් වහන්ස, අන්තොටුවිරූහු මෙසස්නෙහි ප්‍රව්‍රජ්‍යා කැමැත්තාහු උපසම්පත් කැමැත්තාහු සාරමසක් පරිවාස කෙරෙත් ද, සාරමසක් ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු භික්‍ෂූභාවයට පැවිදි කරවත් ද, උපසපන් කරවත් ද, මම සතර හවුරුද්දක් පිරිවසන්නෙමි, සතර හවුරුද්දෙකැ ඇවෑමෙන් ආරාධිත සිත් ඇති මහණහු (මා) පැවිදි කරවත්වා, භික්‍ෂුභාවයට උපසපන් කරවත්ව”යි.

මාගන්‍දිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙත ප්‍රව්‍රජ්‍යා ලද, උපසපම්පත් ලද. උපසපන් නොබෝකල් ඇති ආයුෂ්මත් මාගන්‍දිය එකලා වූයේ ගණයා කරෙන් වෙන් වැ නො පමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට අළ සිත් ඇති වැ වසනුයේ: කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නට වදිත් ද, ඒ අනුත්තර වූ, බ්‍රහ්මචර්‍ය්‍යාවසාන සඬ්ඛ්‍යාත අර්‍හත්වය නොබෝ කලෙකින් මැ ඉහාත්මයෙහි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කෙළේ යැ. ‘ජාතිය ක්ෂය වූ මඟබඹසර වැස නිමවන ලදි, සතරමඟ කිස කරන ලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගත්තේ යැ. ආයුෂ්මත් මාගන්‍දිය තෙරණුවෝ වැළිත් රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ’යි.

පස් වැනි වූ මාගන්‍දිය සූත්‍රය නිමියේය.