වෙඛනස්ස සූත්‍රය

2.3.10 වෙඛනස්ස සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් හා සමග සතුටු විය. සතුටුවියයුතු කාලාන්තරයෙහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ සිටියේ යැ. එකත්පස් වැ සිටි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ පරම (උත්තම) වර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි උදානයක් කෙළේ යැ.

කාත්‍යායනයෙහි, තෙපි ‘මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ කුමට කියව කාත්‍යායනයෙනි, ඒ පරමවර්‍ණ කවරේ දැ?යි.

භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, හේ පරමවර්‍ණ යැ’යි.

කච්චානයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැත් නම් ඒ වර්‍ණය කවරේ දැ?යි.

භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ’යි.

භවත් කාත්‍යායනයෙනි, (තෙපි) “භවත් ගෞතමයෙනි යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අනෙක් වර්‍ණයෙක් නැද්ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව, තොප ගේ තෙල කථාව දික් වැ යන්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, පුරුෂයෙක් මෙසේ කියන්නේ යැ: “මට මෙ දනවියෙහි යම් දනව්කලණක් ඇත් නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි”යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ ක්ෂත්‍රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක හෝ’යි දනිවු දැ?යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමී කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනව්කලණක් රුස්නවු ද කැමැත්තවු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත, මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හෝ කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හො’යි දනිවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි කියන්නේ යැ. මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නවු නම් නො දක්නවු නම් ඇය තෙපි රුස්නවු ද, කැමැත්තවු දැ?යි මෙසේ පුළුවුස්නා ලද්දේ එසේ යැ’යි කියන්නේ යැ. කාත්‍යායනයෙහි ඒ කිමැ’යි හඟිවු ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයා ගේ භාෂිතය නිරර්‍ථක වන්නේ නො වේ දැ?යි,

භවත් ගෞතමයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මැ ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ථක වන්නේ මැ යි.

එසෙයින් මැ කාත්‍යානයෙනි, තෙපි “භවත් ගෞතමයෙනි, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැත් ද ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනවව’යි.

යම්සේ භවත් ගෞතමයෙනි, සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනැවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ (රත් පලසෙකැ) බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරෝග වේ යයි.

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ යම් වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් හෝ වේ ද, රාත්‍රි බහලාන්ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල් අඳුරෙහි මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

භවත් ගෞතමයෙනි, රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධී (පහන්) තාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

භවත් ගෞතමයෙනි, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

භවත් ගෞතමයෙනි, ඒ පණුරැසිපොහෝ දවස්හි පහවැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රියෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

කාත්‍යානයෙනි, ඒ කිමැ’යි හඟිවු ද? ඒ පණුරැසි පොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්නසමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

භවත් ගෞතමයෙනි, වර්‍ෂා ඍතුව පිළිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති බුන් වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

කාත්‍යානයෙනි, යම් කෙනෙක් මේ සඳහිරු දෙදෙනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම් “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් කාත්‍යානයෙනි, තෙපි කදෝපැණි කෘමියෙකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ ‘පරමවර්‍ණ යැ’යි කියව, ඒ වර්‍ණය ද නො පනව’යි.

කාත්‍යානයෙනි, මේ කාමගුණ පසෙක් වෙයි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියසවභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ඇසින් දතයුතු රූපවූ ඇසින් දතයුතු රූපයෝ යැ .... කනින් දතයුතු ශබ්දයෝ යැ, .... නැහැයෙන් දතයුතු ගන්ධයෝ යැ .... දිවින් දතයුතු රසයෝ යැ .... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමෝපසංහිත වූ රාගෝත්පත්තියට කරුණු වූ ස‍ප්‍රෂ්ටව්‍යයෝ යි. කාත්‍යානයෙනි, මොහු පස්කම්ගුණයෝ යි. මේ පස්කම්ගුණ නිසා සුව සොම්නස් උපදි, මේ කාමසුඛ යැ යි කියනු ලැබේ. මෙසේ කාමයෙන් කාමසුඛය වෙයි. එහි කාමසුඛයට වඩා කාමග්ගසුඛය (නිවන) අග්‍ර යයි කියනු ලැබේ.

මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ආශ්චර්‍ය්‍ය යැ භවත් ගෞතමයෙනි, අද්භූත යැ භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයන් විසින් ‘කාමයෙන් කාමසුඛය වෙයි, එහි කාමසුඛයට වඩා කාමග්ග සුඛය අග්‍ර යයි කියනු ලැබේ යන මේ සුභාෂිත මැ වේ යි.

කාත්‍යායනයෙනි, අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ අන්‍යප්‍රතිපත් ඇති අන්‍යතීත්ර්‍ථායතනයෙකැ ආචාර්‍ය්‍ය වූ තොප විසින් ‘කාමයෝ වෙත්වයි කාමසුඛය වේවයි කාමාග්‍රසුඛය වේවයි’ තෙල කරුණු නො දත හැක්ක කාත්‍යායනයෙනි, අර්හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමවූ බඹසරවස් ඇති කළ කරණී ඇති බහා තැබූ බර ඇති පැමිණි ස‍ර්‍වාර්ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔහු මැ කාමයෝ හෝ කාමසුඛය හෝ කාමාග්‍රසුඛය හෝ තෙල් කරුණ දන්නාහ’යි.

මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක කිපියේ නො සතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් මැ ගටමින් භාග්‍යවතුන්ට මැ පරිභව බෙණෙමින් භාග්‍යවතුන්ට මැ කියනුයේ: ශ්‍රමණ ගෞතම ද නො දන්නාබවට පමුණුවනලද වනැ’යි භාග්‍යවතුන්ට තෙල වදන් කී: මෙසෙයින් මැ මෙලොවැ ඇතැම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, එතෙකුදු වත් ජාතිය ක්ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරනලද, මෙබවට කළයුතු අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත්. ඔවුන් ගේ මේ භාෂිතය හාස්‍යයක් මැ උපදවයි, ලාමකබවක් මැ උපදවයි, අර්‍ථශුන්‍ය බවක් මැ උපදවයි, සිස් බවක් මැ උපදවා යයි.

කාත්‍යායනයෙනි, යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්තය නො දන්නාහු අපරාන්තය නො දක්නාහු, ‘ජාතිය ක්ෂය වූ යැ, බඹසර වැස නිමවනලද, කරණී කරන ලද, මෙබවට අන් කිසෙක් නැතැ’යි දනුම්හ’යි පිළින කෙරෙත් ද, ඔවුනට එ මැ සකාරණ නිග්‍රහ වෙයි. එතෙකුදු වත් කාත්‍යායනයෙනි, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා, ශඨ නො වූ මායා නැති ඍජුස්වභාව ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුශාසනා කෙරෙමි, මම් දහම් දෙසමි, අනුශාසනා කළ සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මේ අවිද්‍යාබන්ධනයෙන් මෙසේ මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ. යම්සේ කාත්‍යායනයෙනි, බොළඳ වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරෙක් හූබඳනෙන් කණ්ඨය පස්වනු කොට ඇති බැඳුමින් බඳනා ලද වේ ද, වෘද්ධියට පැමිණ ඉන්ද්‍රිය පරිපාකයට පැමිණ ඔහුගේ ඒ බන්ධනයෝ මිදෙන්නාහු ද, හේ මිදුණෙමි’යි දන්නේ ද, බන්ධනය නො දන්නේ ද, එසෙයින් මැ කාත්‍යායනයෙනි, සළ නො වූ මායා නැති ඉදු සැහැවි ඇති නුවණැති පුරුෂ ඒවා, මම් අනුසස්මි, මම් දහම් දෙසමි, අනුශාසිත සේ පිළිපදනේ නොබෝ කලෙකින් මැ ‘මෙසේ මේ අවිද්‍යාබන්ධන සඞ්ඛ්‍යාත බන්ධනයෙන් මොනොවට මිදෙන්නේ වේ ල’යි තෙමේ මැ දන්නේ යැ තෙමේ දක්නේ යැ’යි.

මෙසේ වදාළ කල්හි වෙඛනස්ස පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ‘භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත යැ, ... භවත් ගෞතමයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උවසුවකු කොට ධරත්ව’යි.

දස වැනි වෙඛනස්ස සුත්‍රය නිමියේය.

තුන් වැනි පරිව්‍රාජක වර්ගය යි.

එහි උද්දානය:

පුණ්ඩරීක (තේවිජ්ජවච්ඡගොත්ත) සූත්‍ර යැ අග්ගිවච්ඡගොත්ත සූත්‍ර යැ සහකර්ථ (මහා වච්ඡගොත්ත) සූත්‍ර යැ දීඝනඛ සූත්‍ර යැ භාරද්වාජගොත්ත (මාගන්දිය) සූත්‍ර යැ සන්දක සූත්‍ර යැ උදායී (මහාසකුලුදායි) සූත්‍ර යැ මණ්ඩිකාපුත්ත (සමණමණ්ඩිකා) සූත්‍ර යැ මණික (චූළ සකුලුදායි) සූත්‍ර යැ කච්චාන (වෙඛනස්ස) සූත්‍ර යි.