සකුලුදායී සූත්‍රය

2.3.7 මහා සකුලුදායී සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසනසේක. එසමයෙහි බොහෝ වූ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝ මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමයෙහි වෙසෙති. හේ මෙසේයැ: “අන්නභාර ද වරධර ද සකුලුදායී පරිව්‍රාජක ද අන්‍යවූ ද ප්‍රසිද්ධ ප්‍රසිද්ධ පරිව්‍රාජකයෝ දැ” යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳපෙරවැ පාසිවුරු ගෙන රජගහනුවර පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතෙක් විය: “රජගහනුවර පිඬු පිණිස සරනට තව ඉතා අලුයම. මම් මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක කරා එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් වූ පරිව්‍රාජකාරාමය වෙත එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනේකප්‍රකාර තිරශ්චීනකථා කරන මහපිරිවැජිපිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාරකථා යැ පානකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධකථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ පූර්‍වප්‍රේත(අතීතඥාති) කථා යැ නන් වැදෑරුම් නිරර්‍ථකකථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡෙදාදී) භවාභවකථා යැ යන මේ කථා යි.

සකුලුදායී පිරිවැජි දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සියපිරිස් සන්සුන් කරවී: “භවත්නි, නිහඬ වෙත්වා, භවත්හු නහමක් හඬනගවු, මේ ශ්‍රමණ ගෞතමයෝ එති, ඒ ආයුෂ්මත්හු වූ කලී නිහඬ බව කැමැතියහ, නිහඬබැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පිරිවැජියෝ නිහඬ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පිරිවැජි කරා එළැඹියහ. එකල්හි සකුලුදායී පිරිවැජි භාග්‍යවතුන්ට තෙල වදන් කී: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා, ස්වාමීනි භාග්‍යවතුන්ට ස්වාගත යැ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය කළහ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හිඳුනාසේක්වා මේ අස්න පනවනලදැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. සකුලුදායී පිරිවැජි එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පිරිවැජිහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:

උදායී, දැන් තෙපි කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද? තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?යි. වහන්ස, තෙල කථා තිබියේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උන්නමෝ නම් වහන්ස, තෙල කථා පසුවත් භාග්‍යවතුන් වහන්සේට ඇසීමට දුලබ නො වෙයි. වහන්ස, ඊයේ පෙරෙයිදා දිනයන්හි කුතුහලශාලායෙහි රැස්වැ හුන් නානාතීර්‍ථක ශ්‍රමණබ්‍රාහ්මණයන් අතුරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, අඟුමගද දෙරටවැසියනට ඒකාන්තයෙන් ලාභයෙක. භවත්නි, අඟුමගද දෙරටවැසියනට ඒකාන්තයෙන් මනා ලාභයෙක. යම් තැනෙක ප්‍රව්‍රජිත සමූහ සඬ්ඛ්‍යාත සඬ්ඝයා ඇති ආචාරගණ ඇති ගණැඳුරු වූ ප්‍රසිද්ධ වූ නැඟීසිටි යශස් ඇති ලබ්ධිකර වූ බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූ මේ ශ්‍රමණබ්‍රාහ්මණයෝ රජගහනුවර වස්සාවාස කොට ඔසළෝ (රැස්වූහු) ද ඒ අඟුමගද දෙරට යි. මේ පූර්ණකාශ්‍යප ද සඬ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේත් ගණාචාර්‍ය්‍ය වූයේත් ප්‍රසිද්ධ වූ යශස් ඇති තිර්‍ථඞ්කර වූයේත් බොහෝදෙනාට මැනැවැ යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ මක්ඛලිගෝසාලද ... අජිත කේසකම්බලී ද … පකුධ කච්චායන ද ... සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත ද … නිගණ්ඨ නාථපුත්ත ද සඬ්ඝයා ඇත්තේත් ගණයා ඇත්තේත් ගණැදුරු වූයේත් ප්‍රසිද්ධ වූ යශස් ඇති තිර්‍ථඞ්කර වූයේත් බොහෝ දෙනාට මැනැවැ’යි සම්මත වූයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යැ. මේ ශ්‍රමණගෞතම ද සඬ්ඝයා ඇත්තේත් ඇති ගණාචාර්‍ය්‍ය වූයේත් ප්‍රකට වූ යශස් ඇති ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ'යි සම්මත වුයේත් වෙයි. හේ ද රජගහනුවර වස්සාවාස කොට ඔසළේ යි. මේ සඬ්ඝයා ඇති ගණයා ඇති ගණඳුරු වූ ප්‍රකට වූ යශස් ඇතිවූ ලබ්ධිකර වූ බොහෝදෙනාට මැනැවැ’යි සම්මත වූ භවත් මහණබමුණන් අතුරෙහි කවරෙක් ශ්‍රාවකයන් විසින් සත්කෘත ගුරුකෘත මානිත පූජිත වේ ද? කෙසේ නම් ශ්‍රාවකයෝ සත්කාර කොට ගරුකාර කොට ඇසිරි කොට වෙසෙත් දැ? යි.

එහි ඇතැම් කෙනෙක් මෙසේ කීහ: මේ පූර්ණකාශ්‍යප සඬ්ඝයා ඇත්තේත් ගණ ඇත්තේ ද ගණාචාර්‍ය්‍ය ද වෙයි, ප්‍රසිද්ධ යැ යශස් ඇත්තේ යැ ලබ්ධිකර යැ බොහෝ දෙනා විසින් සාධුසම්මත යි. එතෙකුදු වත් හේ ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වෙයි. ශ්‍රාවකයෝ, පූරණකාශ්‍යප සත්කාර කොට ගරුකාර කොට නො ද ඇසිරි කොට වෙසෙත්. පෙර පූරණකාශ්‍යප නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි පූරණකාශ්‍යපගේ එක්තරා ශ්‍රාවකයෙක් “භවත්නි තෙල කරුණ නහමක් පූරණකාශ්‍යප විචාරව, තෙල එය නො දනී, ඇපි එය දනුම්හ, තෙල කරුණ අප විචාරව, ඇපි තෙල කරුණ භවත්නට ප්‍රකාශ කරම්හ”යි, හඬ නැඟී යැ. පෙර පූරණකාශ්‍යප දෙඅත් බැඳ හඬ නඟනුයේ “භවත්හු නිහඬ වෙත්ව, භවත්හු නහමක් හඬ නඟවු, තුලුහු භවතුන් නො පුළුවුස්ති, තුලුහු අප පුළුවුසිත්, අපි තුලුනට ප්‍රකාශ කරම්හ”යි හඬ නඟනුයේ අවකාශ නො ලැබෙයි. පූරණකාශ්‍යපගේ බොහෝ ශ්‍රාවකයෝ ද වාද නඟා නික්ම ගියහ: “තෙපි මෙ සස්න නො දන්නාහු යැ, මම මෙ සස්න දනිමි, කිම තෙපි මෙ සස්න දන්නහු ද? තෙපි මිථ්‍යාප්‍රතිපන්නවවු, මම් සම්‍යක් ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්‍ථසංහිත යැ, තොපගේ වචනය අර්‍ථසංහිත නො වෙයි, පළමු කිවයුත්ත පසු වැ කීවහු යැ, පසු වැ කියයුත්ත පළමු කීවහු යැ, තොපගේ ආචිර්‍ණය (දිගුකලක් ප්‍රගුණ කළ දැය) පෙරැලිණ. තොපට වාද නඟන ලද, නිග්‍රය කරන ලද වවු, වාදයෙන් මිදෙනුවට ඇවිද උගනුව, ඉදින් සමත් වවු නම් නිර්‍වෙෂ්ටන කරව” යි නික්ම ගියහ. මෙසෙයින් පූරණකාශ්‍යප ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වේ. ශ්‍රාවකයෝ, පූරණකාශ්‍යප සත්කාර කොට ගරුකාර කොට නො ඇසිරි කෙරෙත්. පූරණකාශ්‍යප ස්වභාවක්‍රෝශයෙන් ආක්‍රෝශ කරනලද්දේ ද වේ” යයි.

ඇතැම් කෙනෙක් මෙසේ කීහ: මේ මක්ඛලිගෝසාල ද … අජිත කේසකම්බලී ද … පකුධ කච්චායන ද … සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත ද … නිගණ්ඨනාථපුත්ත ද සඬ්ඝයා ඇත්තේ ද වෙයි, ගණ ඇත්තේ ද වෙයි, ගණාචාර්‍ය්‍ය ද වෙයි, ප්‍රසිද්ධ යැ යශස් ඇත්තේ යැ තීර්‍ථඞ්කර යැ බොහෝ දෙනා විසින් මැනැවැ යි සම්මත යි. හේ ද ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වෙයි. ශ්‍රාවකයෝ, නිගණ්ඨනාථපුත්ත සත්කාර කොට ගරුකාර කොට නො ද වෙසෙත්. පෙර නිර්ග්‍රන්ථනාථපුත්ත නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි නිර්ග්‍රන්ථනාථපුත්තගේ එක්තරා ශ්‍රාවකයෙක්: “භවත්හු තෙල කරුණ නිර්ග්‍රන්ථනාථපුත්ත නො විචාරවු, තෙල එය නො දනී, ඇපි තෙල කරුණු දනුම්හ, තෙල කරුණ අප විචාරව, ඇපි තෙල කරුණ භවත්නට පවසම්හ”යි, හඬ නැඟී යැ. පෙර නිගණ්ඨනාථපුත්ත දෙඅත් බැඳ හඬ නඟනුයේ: “භවත්හු නිහඬ වෙත්වා, භවත්හු නහමක් හඬ නඟවු, තුලුහු භවතුන් නො විචාරති, තුලුහු අප විචාරති, ඇපි තෙල කරුණ පවසම්හ”යි කියාත් අවකාශ නො ලැබෙයි. වැළිත් නිගණ්ඨනාථපුත්තගේ බොහෝ ශ්‍රාවකයෝ වාද නඟා නික්ම ගියහ: “තෙපි මෙ සස්න නො දන්නාහු යැ, මම මේ සස්න දනිමි, කිම තෙපි මේ සස්න දන්නහු ද? තෙපි මිථ්‍යාප්‍රතිපන්න වවු යැ, මම් සම්‍යක් ප්‍රතිපන්නයෙමි, මාගේ වචනය අර්‍ථසංහිත යැ, තොපගේ වචනය අර්‍ථසංහිත නො වෙයි, පළමු කිවයුත්ත පසු වැ කීවහු යැ, පසු වැ කියයුත්ත පළමු කීවහු යැ, තොපගේ ආචිර්‍ණය පෙරැළිණ. තොපට වාදාරොපිත යැ, නිග්‍රය කරන ලදුවහු යැ, වාදමොක්ෂ පිණිස ඇවිද උගනුව, ඉදින් සමත් වවු නම් නිර්‍වෙෂ්ටන කරව” යි නික්ම ගියහ. මෙසෙයින් නිගණ්ඨනාථපුත්ත ශ්‍රාවකයන් විසින් සත්කෘත නො වෙයි, ගුරුකෘත නො වෙයි, මානිත නො වෙයි, පූජිත නො වේ. ශ්‍රාවකයෝ, නිගණ්ඨනාථපුත්ත සත්කාර කොට ගරුකාර කොට නොද ඇසුරු කෙරෙති , නිගණ්ඨනාථපුත්ත ධර්‍මාක්‍රෝශයෙන් ආක්‍රෝශ කරනලද්දේ ද වේ” යයි.

ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “මේ ශ්‍රමණ ගෞතම සඟුන් ඇත්තේ වෙයි, ගණ ඇත්තේ වෙයි, ගණාචාර්‍ය්‍ය වෙයි, ප්‍රසිද්ධ යැ යශස් ඇත්තේ යැ ලබ්ධිකර යැ බොහෝ දෙනා විසින් සාධුසම්මත යි. හේ වැළිත් ශ්‍රාවකයන් විසින් සත්කෘත යැ ගුරුකෘත යැ මානිත යැ පූජිත යි. ශ්‍රාවකයෝ වැළිත් ශ්‍රමණ ගෞතම සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වෙසෙත්. පෙර ශ්‍රමණ ගෞතම නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසයි. එහි ශ්‍රමණ ගෞතමයන්ගේ එක්තරා ශ්‍රාවකයෙක් කැසි හඬ නැඟී. එක්තරා සබ්‍රම්සර මහණෙක් “ආයුෂ්මත් නිහඬ වේවා, ආයුෂ්මත් නහමක් හඬ නඟව, අපට ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ සහම් දෙසති” ඔහු දණමඬලෙහි ගැටී. යම් කලෙකැ ශ්‍රමණ ගෞතම නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසා ද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසි හඬෙක් වේවයි උකැසි හඬක් වේවැයි නො මැ වෙයි. ජනකාය පතාගෙන මෙන් ඔහු වෙත එළැඹසිටියේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේ යම් දහමක් අපට දේශනා කරනසේක් ද, එය අසම්හ”යි. යම්සේ නම් පුරුෂයෙක් සතර මං සන්ධියෙක්හි නිමැසි දඬුවැල්බෑ මීයක් මිරිකා දෙන්නේ ද, මහජනකාය පතාගෙන මෙන් තුලුහු වෙත එළැඹසිටියේ වේ ද, එසෙයින් මැ යම් කලෙකැ ශ්‍රමණ ගෞතම නොයෙක් සියගණන් ඇති පිරිස්හි දහම් දෙසා ද, එකල්හි ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කිවිසි හඬෙක් හෝ උකැසි හඬෙක් නො මැ වෙයි. මහජනකාය පතාගෙන මෙන් “භාග්‍යවතුන් වහන්සේ අපට යම් දහමක් දේශනා කරනසේක් ද, එය අසම්හ”යි තුලුහු වෙත එළැඹසිටියේ වෙයි. ශ්‍රමණ ගෞතමයන්ගේ යම් ශ්‍රාවක කෙනෙකුත් සබ්‍රම්සරුන් හා සමග අල්පමාත්‍ර විවාද කොට ගෙන ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි වෙත් ද, ඔහු දු ශාස්තෘන් වහන්සේ ගේ ගුණ කියන්නාහු වෙති, ධර්‍මෙයහි ගුණ කියන්නාහු වෙති, සඬ්ගයාගේ ගුණ කියන්නාහු වෙති. ‘ඇපි මැ මෙහි නිශ්ශ්‍රීකයම්හ, ඇපි අල්පපුණ්‍ය ඇතියම්හ, ඇපි මෙවන් ස්‍වාඛ්‍යාත ධර්‍මවිනයෙහි පැවැදි වැ දිවිහිම් කොට පිරිපුන් බඹසර රක්නට නො හැකි වූම්හ’යි අනෙකෙකු නො ගරහන්නාහු තමා මැ ගරහන්නාහු වෙති. ඔහු අරාමික වූවාහු හෝ උපාසක වූවාහු හෝ පඤ්චශික්ෂාපදයන් සමාදන් වැ ගෙන දිවි රකිති. මෙසෙයින් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් විසින් සත්කෘත යැ ගුරුකෘත යැ මානිත යැ පූජිත යි. ශ්‍රාවකයෝ වැළිත් ශ්‍රමණ ගෞතමයන් සත්කාර ගරුකාර කොට ඇසුරු කොට වෙසෙත්” යයි.

උදායී, තෙපි ‘යම් ධර්‍ම කෙනෙකුන් හේතු කොට ගෙන ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජා කෙරෙත් ද, සත්කාර ගුරුකාර කොට මානිසා වෙසෙත් ද එබඳු වූ කෙතෙක්දහම් දක්නහු දැ? යි.

වහන්ස, යම් ධර්‍ම කෙනෙකුන් හේතු කොට ගෙන ශ්‍රාවකයෝ භාග්‍යවතුන් වහන්සේට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් ද, සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් ද මම භාග්‍යවතුන් කෙරෙහි එබඳු දහම් පසක් දක්මි. කවර පසෙක යත්:

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පාහාර ඇතියහ, අල්පාහාරතායෙහි ගුණ කියනුවහ. වහන්ස, ‘භාග්‍යවත්හු අල්පාහාර ඇතියහ, අල්පාහාරතායෙහි ගුණ කියනුවහ’ යන යම් කරුණෙක් ඇද්ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ පළමු වන දහම දක්මි.

තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර චීවරප්‍රත්‍යයෙන් සන්තුෂ්ටයහ, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි දු ගුණ කියනුවහ. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර චීවරප්‍රත්‍යයෙන් සන්තුෂ්ට සේක ද, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි දු ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි මේ දෙ වන දහම දක්මි.

තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර පිණ්ඩපාත ප්‍රත්‍යයෙන් සන්තුෂ්ටයහ, ඉතරීතර පිණ්ඩපාතසන්තුෂ්ටියෙහි ද ගුණ කියවනුවහ. වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඉතරීතර පිණ්ඩපාතප්‍රත්‍යයෙන් සන්තුෂ්ට සේක ද, ඉතරීතර පිණ්ඩපාත සන්තුෂ්ටියෙහි ද ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ තුන් වන දහම දක්මි.

තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඉතිරීතර සේනාසන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ටයහ, ඉතිරීතර සේනාසන සන්තුෂ්ටියෙහි ද ගුණ කියවනුවහ. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඉතරීතර සේනාසනප්‍රත්‍යයෙන් සන්තුෂ්ට සේක ද, ඉතරීතර සේනාසනසන්තුෂ්ටියෙහි ද ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම්, සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ සතර වන දහම දක්මි.

තවද වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපධි විවේක ඇතියහ, උපධිවිවේකයෙ (නිවනෙ) හි ද ගුණ කියවනුවහ. යම් හෙයකින් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපධි විවේක ඇති සේක් ද, උපධිවිවේකයෙහි ද ගුණ කියන සේක ද, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් නම් සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් නම් වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි ඒ මේ පස් වන දහම දක්මි. වහන්ස, මම ‘යම් ධර්‍ම කෙනෙකුන් හේතු කොට ගෙන ශ්‍රාවකයෝ භාග්‍යවතුන්ට සත්කාර ගුරුකාර මානන පූජා කෙරෙත් ද සත්කාර ගුරුකාර කොට නිසා වෙසෙත් ද’ ඒ මේ දහම්පස භාග්‍යවතුන් කෙරෙහි දක්මි’යි.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම අල්පාහාර ඇත්තේ යැ අලපාහාර බැව්හි ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජන කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ ශ්‍රවකයෝ සරළුවක් පමණ අහර වළඳන්නාහු ද අඩ සරළුවක් පමණ අහර වළඳන්නාහු ද බෙලිගෙඩියක් පමණ අහර වළඳන්නාහු ද අඩබෙලි ගෙඩියක් පමණ අහර වළඳන්නාහු ද ඇත. උදායී, මම් වූ කලී ඇතැම් දවසෙකැ මේ පාත්‍රයෙන් මුවවිට යටහිර දක්වා වූ අහර ද වළඳමි. අධිකව ද වළඳිමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම අල්පාහාර ඇත්තේ යැ අල්පාහාරතායෙහි ද ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, සරළුවක් පමණ අහර වළඳන්නා වූ ද අඩ සරළුවක් පමණ අහර වළඳන්නා වූ ද බෙලිගෙඩියක් පමණ අහර වළඳන්නා වූ ද අඩබෙලිගෙඩියක් පමණ අහර වළඳන්නා වූ ද යම් මාගේ ශ්‍රාවක කෙනෙක් ඇද්ද, ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.

ඉදින් උදායී, ශ්‍රමණ ගෞතම ඉතරීතරචීවර ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙහි ද ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාරකරන්නාහු ගරුකාරකරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් නම් උදායී, මාගේ ශ්‍රවකයෝ වැළිත් පසුල් දරන්නාහු රළුසිවුරු දරන්නාහු ඇත. ඔහු සොහොනින් වේවයි කසළගොඩින් වේවයි අවුණුදොරින් වේවයි මහලුපිළී අවුලාගෙන සඟළසිවුරු කොට ධරති. උදායී, මම් වූකලී ඇතැම් දවසෙකැ යම් සිවුරෙකැ රළුහූ ලබුලොම් බඳු වේ ද එබඳු වූ, දළ ගැහැවිසිවුරු ධරමි. ඉදින් උදායී, ශ්‍රමණ ගෞතම ඉතරීතරචීවර ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙහි ද ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් පසුල් දරන්නාහු ද රළුසිවුරු දරන්නාහු ද ඔහු සොහොනින් වේවයි කසළගොඩින් වේවයි අවුණුදොරින් වේවයි මහලුපිළී (හිරා) අවුලාගෙන සඟළසිවුරු කොට දරත් ද ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතරපිණ්ඩපාත ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාරකරන්නාහු ගරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් නම් උදායී, මාගේ ශ්‍රවකයෝ වැළිත් පිණ්ඩපාතිකඬ්ග ඇත්තාහු ගෙපිළිවෙළින් පිඬුසිඟා යන්නාහු ඇවිලිලි අහරෙහි ඇලුණාහු ඇත, ඔහු ඇතුළුගමට පිවිසියාහු අසුනෙනුදු පවරනුලබන්නාහු නො ඉවසති. උදායී, මම් වූකලී ඇතැම් දවසෙකැ නිමන්ත්‍රණයෙහි දු නොයෙක් සූප ඇති ව්‍යඤ්ජන ඇති නිවුඩු හළ හැල් බත් වළඳිමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතරපිණ්ඩපාත ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරපිණ්ඩපාතසන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රවක කෙනෙක් පිණ්ඩපාතිකඬ්ග ඇත්තාහු ගෙපිළිවෙළින් පිඬු සිඟා යන්නාහු ඇවිලිලි අහරෙහි ඇලුණාහු වෙත් ද, ඇතුළුගමට පිවිසියාහු අසුනෙනුදු පවරනු ලබන්නාහු නො ඉවසත් ද, ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතරසෙනාසන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරසෙනාසනසන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ ශ්‍රවකයෝ වැළිත් රුක්ඛමූලිකඬ්ග ඇත්තාහු අබ්හෝකාසිකඬ්ග ඇත්තාහු ඇත. ඔහු අට මසක් කල් සියන් යටට නො එළඹෙත්. උදායී, මම් වූ කලී ඇතැම් දවසෙකැ ඇතුළත පිටත පිරියම් කළ වළහන ලද වාතප්‍රෙව්ශ ඇති මොනොවට පැහැසූ අගුළු ඇති පියන ලද වාකවුළු ඇති කුළුගෙහි දු වෙසෙමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ඉතරීතර සේනාසන ප්‍රත්‍යයෙන් සන්තුෂ්ට යැ ඉතරීතරසෙනාසන සන්තුෂ්ටියෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කෙට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් රුක්ඛමූලිකඬ්ග ඇත්තාහු අබ්හෝකාසිකඬ්ග ඇත්තාහු වෙත් ද, ඔහු අට මසක් කල් සියන් යටට නො එළඹෙත් ද, ඔහු මට මෙ කරුණින් සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ. සත්කාර කොට ගරුකාර කොට නිසා නො වසන්නාහු යැ.

ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ප්‍රවිවේක ඇත්තේ යැ ප්‍රවිවේකයෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම් සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ ශ්‍රාවකයෝ වැළිත් ආරණ්‍යකාඬ්ග ඇත්තාහු වනසෙනසුන් ඇසුරු කරන්නාහු ඇත. ඔහු වනසෙනසුනට වනයෙහි දුරසෙනසුනට වනයෙහි ඉතා දුර සෙනසුනට වැද වාසය කෙරෙති. ඔහු අඩමසක් පාසා පාමොක් උදෙසුමට සඟමැද රැස් වෙති. උදායී, මම් වූකලී ඇතැම් දවසෙකැ මහණුන් විසින් මෙහෙණන් විසින් උවසුවන් විසින් උවැසියන් විසින් රජු විසින් රජමහමැතිඇමතියන් විසින් තීර්‍ථකයන් විසින් තීර්‍ථකශ්‍රාවකයන් විසින් ආකුල වැ වෙසෙමි. ඉදින් උදායී, ‘ශ්‍රමණ ගෞතම ප්‍රවිවේක ඇත්තේ යැ ප්‍රවිවේකයෙහි දු ගුණ කියන්නේ යැ’යි මෙසේ මට ශ්‍රාවකයෝ සත්කාර කරන්නාහු ගුරුකාර කරන්නාහු මානන කරන්නාහු පූජා කරන්නාහු වෙත් නම්, සත්කාර කොට ගුරුකාර කොට නිසා වෙසෙත් නම්, උදායී, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් ආරණ්‍යකාඬ්ග ඇත්තාහු වනසෙනසුන් ඇසුරු කරන්නාහු වෙත් ද, වනසෙනසුනට වනයෙහි දුර සෙනසුනට වනයෙහි ඉතා දුර සෙනසුනට වැද වාසය කෙරෙත් ද, අඩමසක් පාසා පාමොක් උදෙසුමට සඟමැද රැස් වෙත් ද, ඔහු මෙකරුණින් මට සත්කාර නො කරන්නාහ, ගුරුකාර නො කරන්නාහ, මානන නො කරන්නාහ, පූජා නො කරන්නාහ, සත්කාර කොට ගරුකාර කොට නිසා නො වන්නාහ” යි.

මෙසෙයින් උදායී, ශ්‍රාවකයෝ මට මෙ පස් කරුණින් සත්කාර ගරුකාර මානන පූජා නො කෙරෙති, සත්කාර ගරුකාර කොට නිසා නො වෙසෙත්.

උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද එබඳු වූ අනෙකුදු කරුණු පසෙක් ඇති, කවර පසෙක යත්:

උදායී, මෙ සස්නෙහි ශ්‍රාවකයෝ ‘ශ්‍රමණ ගෞතම සිල්වත් යැ උත්තම ශීලස්කන්ධයෙන් සමන්වාගතයැ’යි මා අධිශීලයෙහි සම්භාවන කෙරෙති. උදායී, යම් හෙයකින් ශ්‍රාවකයෝ ‘ශ්‍රමණ ගෞතම සිල්වත් යැ උත්තම ශීලස්කන්ධයෙන් සමන්වාගතයැ’යි මා අධිශීලයෙහි සම්භාවන කෙරෙත් ද, උදායී, ‘යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට මෙ පස් කරුණින් සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද මේ වූකලී ඒ පළමු වන කරුණ වෙයි.

තවද උදායී, ශ්‍රාවකයෝ සර්‍වතාඥානදර්‍ශනයෙහි මා සම්භාවන කෙරෙති: “ශ්‍රමණ ගෞතම දන්නේ මැ දනිමි කියයි, ශ්‍රමණ ගෞතම දක්නේ මැ දක්මි කියයි, ශ්‍රමණ ගෞතම ප්‍රත්‍යක්ෂ නො කොට නොවැ ප්‍රත්‍යක්ෂ කොට දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අකාරණ වැ නො වැ සකාරණ වැ දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අහේතුකවැ නො වැ සහේතුක වැ දහම් දෙසා” යයි. යම් හෙයකින් උදායී, ශ්‍රාවකයෝ: “ශ්‍රමණ ගෞතම දන්නේ මැ දනිමි කියයි, ශ්‍රමණ ගෞතම දක්නේ මැ දක්මි කියයි, ශ්‍රමණ ගෞතම ප්‍රත්‍යක්ෂ නො කොට නොවැ ප්‍රත්‍යක්ෂ කොට දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අකාරණ වැ නො වැ සකාරණ වැ දහම් දෙසයි, ශ්‍රමණ ගෞතම අහේතුකවැ නො වැ සහේතුක වැ දහම් දෙසා” යයි සර්‍වතාඥානදර්‍ශනයෙහි මා සම්භාවන කෙරෙත් ද, උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ ම සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද මේ වූකලී ඒ දෙවන කරුණ වෙයි.

තවද උදායී, ශ්‍රාවකයෝ මා අධිප්‍රඥායෙහි (තත්වැසිනුවණෙහි) සම්භාවන කෙරෙති “ශ්‍රමණ ගෞතම ප්‍රඥා ඇත්තේ යැ, උත්තම ප්‍රඥාස්කන්ධයෙන් සමන්වාගත යැ, ‘ඒ අනාගත වාදපථය හෝ නො දක්නේ යැ උපන්නා වූ හෝ පරවාද සකාරණ වැ මොනොවට නිග්‍රහ කරන ලද කොට නො නිගන්නේ යැ’ යන තෙල කරුණ නො පැනෙයි.” උදායී, එය කිමැ’යි හඟී ද? මාගේ ශ්‍රාවකයෝ මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අතුරතුරෙහි කථා ඔවත් දැ?යි. තෙල කරුණ නො වේ මැ යි වහන්ස, උදායී, මම් වැළිත් ශ්‍රාවකයන් කෙරෙහි අනුශාසනාව නො පතමි. ඒකාන්තයෙන් ශ්‍රාවකයෝ මාගෙන් මැ අනුශාසනාව පතති. යම් හෙයකින් උදායී ශ්‍රාවකයෝ මා අධිප්‍රඥායෙහි සම්භාවන කෙරෙත් ද: “ශ්‍රමණ ගෞතම ප්‍රඥාවත් යැ, උත්තම වූ ප්‍රඥාස්කන්ධයෙන් සමන්වාගත යැ, ‘ඒ අනාගත වාදපථය හෝ නො දක්නේ යැ උපන්නා වූ හෝ පරවාද සකාරණ වැ මොනොවට නිග්‍රහ කරන ලද කොට නො නිගන්නේ යැ’ යන තෙල කරුණ නො පැනේ” යයි. උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර කෙරෙත් ද ගරුකාර කෙරෙත් ද මානන කෙරෙත් ද පූජා කෙරෙත් ද, සත්කාර කොට ගරුකාර කොට නිසා වෙසෙත් ද මේ වූකලී ඒ තුන්වන කරුණ වෙයි.

තවද උදායී, මාගේ ශ්‍රාවකයෝ යම් දුකෙකින් දුකට බටුවාහු දුකින් මැඩුණාහු ද, ඔහු මා කරා එළැඹ දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුස්සති, මම් ඔවුන් විසින් දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නාලද්දෙම් ප්‍රකාශ කෙරෙමි, මම් ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිමි. ඔහු මා දුඃඛසමුදය … දුඃඛනිරොධය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුස්සති, මම් ඔවුන් විසින් දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නා ලද්දෙම් ප්‍රකාශ කෙරෙමි, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිමි. යම් හෙයකින් උදායී, මාගේ ශ්‍රාවකයෝ යම් දුකෙකින් දුකට බටුවාහු දුකින් මැඩුණාහු ද, ඔහු මා කරා එළැඹ දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුසිත් ද, මම ඔවුන් විසින් දුඃඛාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නා ලද්දෙම් ප්‍රකාශ කෙරෙම් ද, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිම් ද ඔහු මා දුඃඛසමුදය ... දුඃඛනිරෝධය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුසිත් ද, මම් ඔවුන් විසින් දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පුළුවුස්නා ලද්දෙම් ප්‍රකාශ කෙරෙමි, මම ප්‍රශ්නව්‍යාකරණයෙන් ඔවුන්ගේ සිත් ගනිම් ද, උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජා කෙරෙත් නම්, සත්කාර ගරුකාර කොට නිසා වෙසෙත් නම්, මේ වූකලී ඒ සතරවන කරුණ වෙයි.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද යැ; යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සතර සීවටන් වඩති: උදායී, මෙ සස්නෙයි මහණ කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ කාය සඬ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදොමනස්‍යයන් දුරු කොට කයෙහි කය අනුව බලමින් වෙසෙයි. වේදනාවෙහි … චිත්තයෙහි … ධර්‍මයන්හි කෙලෙස් තවන වැර ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ සිහි ඇති වැ ධර්‍ම සඬ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාදොමනස්‍යයන් දුරු කොට ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වැ වෙසෙයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත අර්හත්ත්වයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රධානයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස කත්තුකම්‍යතා කුසලච්ඡන්දය උපදවයි, ප්‍රයෝග කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලමු අකුසල්දහම් දුරු කරන පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, සිත නඟයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. නූපන් කුසල්දහම් උපදනා පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් කුසල් දහම් සිටුනා පිණිස නො නස්නා පිණිස බහුල බව පිණිස විපුලබව පිණිස වඩනා පිණිස පිරිපුන් බව පිණිස ඡන්දය උපදවයි, වෑයම් කෙරෙයි, වීර්‍ය්‍ය කෙරෙයි, සිත නඟයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සතර සෘද්ධිපාදයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ ඡන‍්‍දාධිපති සමාධියෙන් හා ප්‍රධානසංස්කාරයන් ගෙන් සමන්වාගත වූ සෘද්ධිපාදය වඩයි. වීර්‍ය්‍යාධිපති සමාධියෙන් … චිත්තාධිපති සමාධියෙන් … වීමංසාධිපති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයන් ගෙන් සමන්වාගත වූ සෘද්ධිපාදය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද, යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පඤ්චෙන්ද්‍රියයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ශ්‍රද්ධෙන්ද්‍රිය වඩයි,. … වීය්‍යෙර්‍න්ද්‍රිය වඩයි … ස්මෘතින්ද්‍රිය වඩයි … සමාධීන්ද්‍රිය වඩයි, කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ප්‍රඥෙන්ද්‍රිය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත අර්හත්වයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පඤ්චබලයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ශ්‍රද්ධාබලය වඩයි … වීර්‍ය්‍යබලය වඩයි … ස්මෘතිබලය වඩයි … සමාධිබලය වඩයි, කෙලෙසුන් සන්හිඳුවනසුලු සම්බෝධියට පමුණුවනසුලු ප්‍රඥාබලය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත අර්හත්වයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ සප්ත බොධ්‍යඬ්ගයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ ක්ලේශපරිත්‍යාග හා නිර්‍වාණාලම්බන සඬ්ඛ්‍යාත වොස්සග්ගයට පිරිනැමෙනසුලු ස්මෘතිසම්බොධ්‍යඬ්ගය වඩයි … ධර්‍මවිචයසම්බොධ්‍යඬ්ගය වඩයි ... වීර්‍ය්‍යසම්බොධ්‍යඬ්ගය වඩයි … ප්‍රීතිසම්බොධ්‍යඬ්ගය වඩයි … ප්‍රශ්‍රබ්ධිසම්බොධ්‍යඬ්ගය වඩයි … සමාධිසම්බොධ්‍යඬ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ වොස්සග්ගයට පිරිනැමෙනසුලු උපේක්‍ෂාසම්බොධ්‍යඬ්ගය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත අර්හත්වයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය වඩති. උදායී, මෙ සස්නෙහි මහණ සම්‍යග්දෘෂ්ටිය වඩයි, සම්‍යක් සංකල්පය වඩයි, සම්‍යග්වචනය වඩයි, සම්‍යක්කර්‍මාන්තය වඩයි, සම්‍යගාජීවය වඩයි, සම්‍යග්ව්‍යායාමය වඩයි, සම්‍යක්ස්මෘතිය වඩයි සම්‍යක් සමාධිය වඩයි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියනලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අෂ්ට විමොක්ෂයන් වඩති: රූපධ්‍යාන ඇත්තේ (බාහිර) රූපයන් (ධ්‍යාන ඇසින්) දකී. මේ පළමු වන විමොක්ෂය වෙයි. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ (තමාගේ කේශාදියෙහි නො ඉපැදවූ රූපධ්‍යාන ඇත්තේ) බාහිර රූපයන් දකී. මේ දෙවන විමොක්ෂය වෙයි. (වර්‍ණ කසිනයෙහි) ශුභ යයි අධිමුක්ත වූයේ වෙයි, මේ තුන්වන විමොක්ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම ප්‍රතිඝසංඥාවන් ගේ අස්තඬ්ගමයෙන් (නැසීමෙන්) නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. මේ සතරවන විමොක්ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි. මේ පස්වන විමොක්ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ ස වැනි විමොක්ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ සත් වැනි විමොක්ෂය වෙයි. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිතනිරෝධය උපදවා වෙසෙයි. මේ අට වැනි විමොක්ෂය වේ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන අභිඥාපාරමී සඬ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අෂ්ට අභිහායතනයන් වඩති: අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇති එකෙක් අල්පමාත්‍ර (නො වැඩූ) වූ සුවර්‍ණ (පරිශුද්ධ) දුර්‍වණ (අපරිශුද්ධ) වූ බාහ්‍යරූපයන් දකී. එ රූපයන් මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ පළමු වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇති එකෙක් අප්‍රමාණ (වැඩුණු) වූ සුවර්‍ණ දුර්‍වණ වූ බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ දෙ වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්‍වණ වූ බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ තුන් වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්‍වණ වූ බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙ බඳු සංඥා ඇති වෙයි. මේ සතර වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන (නො මුසු නිල්වන්) වූ නීලප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් උමා (දියමෙරලිය) කුසුම නිල් වූයේ නිල්වන් වූයේ නීලනිදර්‍ශන වූයේ නීලප්‍රභා ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට උපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය නිල් වූයේ නිල්වන් වූයේ නීලනිදර්‍ශන වූයේ නීලප්‍රභා ඇත්තේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන වූ නීලප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ පස් වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් කහපැහැති කසාවන් වූ නුමුසු කහපැහැති කහකැලුම් ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් කිණිහිරි කුසුම කසපෑ ඇත්තේ කසාවන් වූයේ නුමුසු කහපැහැ ඇත්තේ කසාකැලුම් ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට නිපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය කසපෑ ඇත්තේ කසාවන් වූයේ නුමුසු කසාපෑ ඇත්තේ කසාකැලුම් ඇත්තේ වේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් කසපෑ ඇති කසාවන් වූ නුමුසු කහපෑ ඇති කසාකැලුම් ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දක්මි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ ස වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් ලෙහෙපැහැ වූ ලේවන් වූ ලෝහිතනිදර්‍ශන වූ ලෝහිතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් බඳුවද කුසුම ලෙහෙපැහැ ඇත්තේ ලේවන් වූයේ ලෝහිතනිදර්‍ශන වූයේ ලෝහිතප්‍රභා ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට නිපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය ලෙහෙපැහැ ඇත්තේ ලේවන් වූයේ ලෝහිතනිදර්‍ශන වූයේ ලෝහිතප්‍රභා ඇත්තේ වේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් ලෙහෙපැහැති ලේවන් වූ ලෝහිතනිදර්‍ශන වූ ලෝහිතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දකිමි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ සත් වැනි අභිහායතන යැ.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අවදාත (සුදු) වූ අවදාතවන් වූ අවදාතනිදර්‍ශන වූ අවදාතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. යම්සේ නම් දවහත් තරුව අවදාත වූයේ අවදාතවත් වූයේ අවදාතනිදර්‍ශන වූයේ අවදාතප්‍රභා ඇත්තේ ද, තවද යම්සේ හෝ කසීරට නිපන් දෙපස මට කළ ඒ වස්ත්‍රය අවදාත වූයේ අවදාතවතර්‍ණ ඇත්තේ අවදාතනිදර්‍ශන වූයේ අවදාතප්‍රභා ඇත්තේ ද, එ සෙයින් මැ අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇති එකෙක් අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ අවදාතප්‍රභා ඇති බාහ්‍යරූපයන් දකී. එ රූ මැඩගෙන දනිමි දකිමි යන මෙබඳු සංඥා ඇති වෙයි. මේ අට වැනි අභිහායතන යැ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිණ්ණවසී බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ දස කසිණායතනයන් වඩති. ඇතැමෙක් උඩ යට සරස අද්වය වූ අප්‍රමාණ වූ පඨවිකසිණය දැනගනී … ඇතැමෙක් ආපොකසිණය දැනගනී … ඇතැමෙක් තේජෝකසිණය දැනගනී … ඇතැමෙක් වායෝකසිණය දැනගනී … ඇතැමෙක් නීලකසිණය දැනගනී … ඇතැමෙක් පීතකසිණය දැනගනී … ඇතැමෙක් ලෝහිතකසිණය දැනගනී … ඇතැමෙක් ඕදාතකසිණය දැනගනී … ඇතැමෙක් ආකාසකසිණය දැනගනී … ඇතැමෙක් උඩ යට සරස අද්වය වූ අප්‍රමාණ වූ විඤ්ඤාණකසිණය දැනගනී. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිණ්ණවසීභාවයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. ඒ වූ පරිදි පිළිපන් මාගේ ශ්‍රාවකයෝ සතර ධ්‍යානයන් වඩති. උදායී, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් මැ වැ විතර්‍කසහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා වෙසෙයි, හේ මෙ මැ කරජකය විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමෙයි, හාත්පසින් තෙමෙයි, පුරවයි, හාත්පසින් පහසයි. මෙ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි නො පහස්නා ලද කිසි තැනෙක් නො වෙයි. යම් සේ උදායී, දක්‍ෂ වූ නැහැවියෙක් හෝ නැහැවි අතැවැසියෙක් හෝ කස්ලොහොතලියෙකැ නහනුසුනු එව දියෙන් ඉස ඉස තෙමා ද, ඒ නහනුපිඬ ස්නේහය අනුවගියේ ස්නේහයෙන් මැඬුණේ ඇතුළත පිටත ස්නේහයෙන් පහසනලද්දේ නො වැගිරෙනසුලු වන්නේ ද, එසෙයින් මැ උදායී, මහණ තෙම මෙ මැ කය විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමෙයි හාත්පසින් තෙමෙයි, පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පහස්නා ලද කිසි තැනෙක් නො වන්නේ යැ.

තවද උදායී, මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සන්සිඳීමෙන් … ද්වීතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ මැ කය සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළ කිසි තැනෙක් නො වෙයි. යම්සේ උදායී, නැඟි උල්පත් ඇති දියවිලෙක් වේ ද, එ විල්හි පෙරදිග දිය එන මඟෙක් නො මැ වෙයි. පෑළ දිග දිය එන මඟෙක් නො වෙයි. උතරුදිග දිය එන මඟෙක් නො වෙයි. දකුණුදිග දිය එන මඟෙක් නො වෙයි. මේඝය ද කලින් කල මැනැවින් වැසිදහර නො වස්නේ යැ. එතෙකුදු වත් එ මැ දියවිලින් සිහිල් දියදහර නැඟී එ මැ දියවිල සිහිල්දියෙන් තෙමා ද හාත්පසින් තෙමා ද පුරවා ද හාත්පසින් පහසා ද එ හැම කොටසින් යුතු දියවිල්හි සිහිල්දියෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ ද, එසෙයින් මැ උදායී, මහණ තෙම මෙ මැ කය සමාධිජ ප්‍රීතිසුඛයෙන් තෙමයි හාත්පසින් තෙමයි , පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ හැම අවයව ඇති සිරුරෙහි සමාධිජ ප්‍රීතිසුඛයෙන් නො පහළ තැනෙක් නො වන්නේ යැ.

තවද උදායී, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ මැ කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරාලයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ හැම අවයව ඇති සිරුරෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළ කිසි තැනෙක් නො වෙයි. යම්සේ උදායී, උපුල්විලෙකැ වේවයි පියුම් විලෙකැ වේවයි පඬෙරවිලෙකැ වේවයි ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු නො නැගුණාහු ඇතුළත ගැලී වැඩුණාහු ද, ඔහු අග සිට මුල තෙක් සිහිල් දියෙන් තෙමුණාහු හාත්පසින් තෙමුණාහු පිරුණාහු හාත්පසින් පැහැසුණාහු වෙත් ද, ඒ සියලු අවයව ඇති උත්පලයන්ගේ හෝ පද්මයන්ගේ හෝ පුණ්ඩරිකයන්ගේ හෝ සිහිල් දියෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ යැ. එ සෙයින් මැ උදායී, මහණ තෙම මෙ මැ කය නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරවයි, හාත්පසින් පහසයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ යැ.

තවද උදායී, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ මැ සොම්නස් දොම්නසුන්නේ නැසීමෙන් උපෙක‍්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ මෙ මැ කය පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් ස්පර්‍ශ කොට හුන්නේ වෙයි. එ මහණහුගේ සකල ශරීරයෙහි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් නො පහළ කිසි තැනෙක් නො වන්නේ යැ. යම්සේ උදායී, පුරුෂයෙක් හෙළපිළියෙන් හිස සහිත වැ පෙරෙවැ හුන්නේ වේ ද ඔහුගේ සකල ශරීරයෙහි හෙළපිළියෙන් නො පහළ කිසි තැනෙක් නො වන්නේ ද එ සෙයින් මැ උදායී මහණ තෙම මෙ මැ කය පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් ස්පර්‍ශ කොට හුන්නේ වෙයි. එ මහණහුගේ සියලු අවයව ඇති සිරුරෙහි පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ සිතින් නො පහළ කිසි තැනෙක් නො වේ. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙසේ දැනගනිති: මාගේ මේ කය වූකලී රූපවත් වූයේ සතර මහා භූතයෙන් නිපන්නේ මාපියන්ගේ ශුක්‍රෙශ්‍රෝණිතයෙන් හටගත්තේ බතින් කොමුයෙන් වැඩුණේ අනිත්‍යස්වභාවය ඇත්තේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් පියවි කොට ඇත්තේ යැ. මාගේ මේ විඥානය වැළිත් මේ චාතුර්‍මහාභූතික කයෙහි නිශ්ශ්‍රිත වූයේ යැ මෙහි ප්‍රතිබද්ධ වූයේ යැ. යම්සේ උදායී වෙරළුමිණ සුන්දර වූයේ ජාතිමත් වූයේ අෂ්ටාස්‍ර වූයේ මැනැවින් පිරියම් කෙළේ පැහැපත් වූයේ ප්‍රසන්න වූයේ සර්‍වකාරසම්පන්න වූයේ වේ ද එහි නිල් වේවයි රන්වන් වේවයි ලෙහෙවන් වේවයි සුදු වේවයි පඬුපැහැ වේවයි හුයක් අවුණන ලද වන්නේ යැ. එය ඇස් ඇති පුරුෂයෙක් අත්හි ලා විමසන්නේ යැ: “මෙ වෙරළුමිණ වූකලී සුන්දර යැ ජාතිමත් යැ අටැස් ඇත්තේ යැ මොනොවට පිරියම් කෙළේ යැ පැහැපත ප්‍රසන්න යැ සර්‍වකාර සම්පන්න යි. නිල්වන් වේවයි රන්වන් වේවයි ලේවන් වේවයි සුදුපැහැ වේවයි පඬුපැහැ වේවයි මෙ හුය අවුණන ලදැ” යි. එ සෙයින් මැ උදායී , මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙසේ දනිති: “මාගේ මේ කය වූකලී රූපවත් වූයේ සතර මහා භූතයෙන් නිපන, මාපියන්ගේ ශුක්‍රශ්‍රෝණිතයෙන් හටගත්තේ යැ බත් කොමුයෙන් වැඩුණේ යැ අනිත්‍යස්වභාවය ඇත්තේ ඉලීම් පිරිමැදීම් බිඳීම් විසිරීම් සැහැවි ඇත්තේ යැ. යළි මාගේ මේ විඥානය මේ සිරුරෙයි නිශ්ශ්‍රිත යැ. මෙහි බැඳුණේ යැ’ යි. එහි දු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත රහත් බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙ කයින් රූපවත් වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො හුන් ඉඳුරන් ඇති අන් කයක් මවති. යම්සේ උදායී, පුරුෂයෙක් මුදුතණයෙන් ඊසිකාවක් බැහැර කරන්නේ ද ඔහට මෙ සිත් වෙයි: “මෙ මුදුතණ යැ මෝ ඊසිකා යැ මුදුතණය අනෙකක ඊසිකාව අනෙකෙක මුදුතණයෙන් මැ ඊසිකාව බැහැර කරන ලදැ”යි. තවද යම්සේ හෝ උදායී, පුරුෂයෙක් කොපුයෙන් කඩුවක් බැහැර කරන්නේ ද ඔහුට මෙ සිත් වෙයි: “මෙ කඩුව යැ මෙ කොපුව යැ කඩුව අනෙකෙක කොපුව අනෙකෙක කොපුයෙන් මැ කඩුව බැහැර කරන ලදැ”යි. තවද යම්සේ හෝ උදායී, පුරුෂයෙක් කරඬුයෙකින් සර්‍පයකු නඟන්නේ ද ඔහට මෙ සිත් වන්නේ යැ: “මෙ සර්‍පයා යැ මෙ කරඬුව යැ සර්‍පයා අනෙකෙක කරඬුව අනෙකෙක කරඬුයෙන් මැ සර්‍පයා නඟනලදැ” යි. එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මෙ කයින් රූපවත් වූ මනෝමය වූ සියලු අඟපසඟ ඇති නො හුන් ඉඳුරන් ඇති අන් කයක් මවති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණ වශීභාවයට බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ නන් වැදෑරුම් වූ සෘද්ධිවිධ අනුභව කරති: තෙමේ එකෙක් වැ ද බහුප්‍රකාරයෙන් වෙති. බහුප්‍රකාර වැ ද එකෙක් වෙති, ආවිර්‍භාවයට තිරොභාවයට යෙති, බිතු සරස පවුරු සරස ගල් සරස අහස්හි සෙයින් නො ගැටෙමින් යෙති. පොළොවෙහි දු දියෙහි සෙයින් ගැලීම් නැඟීම් කෙරෙති, අභිද්‍යමාන උදකයෙහි දු පොළොව්හි සෙයින් යෙති අහස්හි දු ලිහිණියන් සෙයින් පලගින් යෙති මෙවන් මහ ඉදුහ ඇති මෙවන් මහත් අනුභාව ඇති මෙ සඳහිර දෙදෙන ද අත්ලෙන් පිරිමසති පිරිමදිති, බඹලොව පවා කයින් වශයට වැටෙති. යම්සේ උදායී සමත් කුඹල්කරුවෙක් වේවයි කුඹල්කරුඅතැවැසියෙක් වේවයි මොනොවට පිරියම් කළ මැටියෙන් යම් මැ බඳුන් වෙසෙසක් කැමැති වන්නේ නම් ඒ ඒ බඳුන් මැ කරන්නේ ද නිපයන්නේ ද, තවද යම්සේ උදායී, සමත් දළකඩකරුවෙක් වේවයි දළකඩ අතැවැසියෙක් වේවයි මොනොවට පිරියම් කළ දළකඩෙහි යම් යම් මැ දළකඩකම් වෙසෙසක් රුස්නේ නම් ඒ ඒ දැය මැ කරන්නේ ද නිපයන්නේ ද, තවද යම්සේ හෝ උදායී, සමත් රන්කරුවෙක් වේවයි රන්කරුඅතැවැසියෙක් වේවයි මොනොවට පිරියම් කළ රන්හි යම් යම් මැ ස්වර්‍ණ විකෘතියක් රුස්නේ නම් ඒ ඒ දැය මැ කරන්නේ ද නිපයන්නේ ද, එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ නන් වැදෑරුම් වූ සෘද්ධිවිධ අනුභව කරති: තෙමේ එකෙක් වැ ද බහුප්‍රකාරයෙන් වෙති. බහුප්‍රකාර වැ ද එකෙක් වෙති, ආවිර්‍භාවයට තිරොභාවයට යෙති, බිතු සරස පවුරු සරස ගල් සරස අහස්හි සෙයින් නො ගැටෙමින් යෙති. පොළොවෙහි දු දියෙහි මෙන් ගැලීම් නැඟීම් කෙරෙති, අභිද්‍යමාන උදකයෙහි දු පොළොව්හි සෙයින් යෙති අහස්හි දු පක්ෂීන් සෙයින් පලගින් යෙති මෙවන් මහඉදුහ ඇති මෙවන් මහත් අනුභාව ඇති මෙ සඳහිර දෙදෙන ද අත්ලෙන් පිරිමසති පිරිමදිති, බඹලොව පවා කයින් වශයට පමුණුවත්. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිස් කන ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යෙශ්‍රෝතධාතුයෙන් දුරැ වූ ද ළඟ වූ ද දිව්‍ය හා මානුෂ හා දෙවැදෑරුම් ශබ්දයන් අසති. යම්සේ උදායී, බලඇති සක්පිඹින්නෙක් නිදුකින් මැ සතර දිග හඟවන්නේ ද එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිස් කන ඉක්ම සිටි විශුද්ධ වූ දිව්‍යෙශ්‍රෝත ධාතුයෙන් දුරැ වූ ද ළඟ වූ ද දෙවියන් පිළිබඳ වූ ත් මිනිසුන් පිළිබඳ වූත් දෙ හඬ අසත්. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පරසත්ත්වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනිති: සරාග සිත ද ‘සරාග සිතැ’ යි දැනගනිති, වීතරාග සිත ද ‘වීතරාග සිතැ’ යි දැනගනිති, සාදොස සිත ද ‘සදොස සිතැ’ යි දැනගනිති, වීතදොස සිත ද ‍‘වීතදොසෙ සිතැ’ යි දැනගනිති, සමොහ සිත ද ‘සමොහ සිතැ’ යි දැනගනිති, වීතමොහ සිත ද ‘වීතමොහ සිතැ’ යි දැනගනිති, සංක්ෂිප්ත සිත ද ‘සංක්ෂිප්ත සිතැ’ යි දැනගනිති, වික්ෂිප්ත සිත ද ‘වික්ෂිප්ත සිතැ’ යි දැනගනිති, මහද්ගත සිත ද ‘මහද්ගත සිතැ’ යි දැනගනිති, මහද්ගත නො වූ සිත ද ‘මහද්ගත නො වූ සිතැ’ යි දැනගනිති, සඋත්තර සිත ද ‘සඋත්තර සිතැ’ යි දැනගනිති, අනුත්තර සිත ද ‘අනුත්තර සිතැ’ යි දැනගනිති, සමාහිත සිත ද ‘සමාහිත සිතැ’ යි දැනගනිති, සමාහිත නො වූ සිත ද ‘සමාහිත නො වූ සිත’ යි දැනගනිති, විමුක්ත සිත ද ‘විමුක්ත සිතැ’ යි දැනගනිති, විමුක්ත නො වූ සිත ද ‘විමුක්ත නො වූ සිතැ’ යි දැනගනිති. යම්සේ උදායී, තරුණ වූ යොවුන් වූ මණ්ඩනශීල වූ ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් ‍වේවයි නො කිලිටු වූ පැහැපත් වූ කැටපතෙකැ හෝ පහන් දියබඳුනෙකැ හෝ තමා ගේ මුඛනිමිති පිරික්සනුයේ කැලැල් සහිත මුඛාවයව ද ‘කැලැල් සහිත මුඛාවයවැ’යි දැනගන්නේ ද, කැලැල් රහිත මුඛාවයව ද ‘කැලැල් රහිත මුඛාවයවැ’යි දැනගන්නේ ද, එසේ මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ පරසත්ත්වයන් ගේ පරපුද්ගලයන් ගේ සිත තමන්ගේ සිතින් පිරිසිඳ දනිති: සරාග සිත ද ‘සරාග සිතැ’ යි දැනගනිති, වීතරාග සිත ද ‘වීතරාග සිතැ’ යි දැනගනිති, සාදොස සිත ද … වීතදොස සිත ද ... සමොහ සිත ද ... වීතමොහ සිත ද ... සංක්ෂිප්ත සිත ද … වික්ෂිප්ත සිත ද ... මහද්ගත සිත ද … අමහද්ගත සිත ද … සඋත්තර සිත ද … අනුත්තර සිත ද ... සමාහිත සිත ද … අසමාහිත සිත ද ... විමුක්ත සිත ද ... අවිමුක්ත සිත ද ‘අවිමුක්ත සිත’ යි දැනගනිති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අනේකවිධ වූ පූර්‍වෙනිවාස සිහි කෙරෙති, හෙ මෙසේ යැ: “එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු ජාති සතරකුදු ජාති පසකුදු ජාති දසයකුදු ජාති විස්සකුදු ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද නොයෙක් සංවර්ත කල්පයනුදු නොයෙක් විවර්තකල්පයනුදු නොයෙක් සංවර්තවිවර්ත කල්පයනුදු අසෝ තැන්හි මෙබඳු නම් මෙබඳු ගොත් මෙබඳු පැහැසටහන් මෙබඳු ආහාර ඇති වීමි. මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි. මෙබඳු ආයුපර්‍යන්ත ඇති වීමි. එ මම් එයින් ච්‍යුත වැ අසෝ තැන් උපන්මි. එහිදු මෙබඳු නම් මෙබඳු ගොත් මෙබඳු පැහැසටහන් මෙබඳු ආහාර ඇති වීමි. මෙබඳු සුවදුක් විඳුනාසුලු වීමි. මෙබඳු ආයුපර්‍යන්ත ඇති වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි”යි. මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනෙකවිධ වූ පූර්‍වෙනිවාස සිහි කෙරෙති. යම්සේ උදායී, පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, එ ගමිනුදු අන ගමකට යන්නේ ද , හේ ඒ ගමින් සිය ගමට මැ පෙරළා එන්නේ ද, ඔහට මෙ සිත් වන්නේ යැ: මම් වූකලී සියගමින් අසුවල් ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි. මෙසේ කීයෙමි. මෙසේ නිහඬ වීමි, එ ගමිනුදු අසුවල් ගමට ගියෙමි. එහි දු මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීයෙමි. මෙසේ නිහඬ වීමි, එ මම් එ ගමින් සිය ගමට මැ පෙරළා ආයෙමි”යි. එසෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ අනේකවිධ වූ පූර්‍වෙනිවාස සිහි කෙරෙති, හෙ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු … මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්‍වෙනිවාස සිහි කෙරෙති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණවශීභාවයට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති සුන්දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්වයන් දකිති. කර්‍මානුරූප වැ යන සත්ත්වයන් දැනගනිති: “මේ භවත් සත්ත්වයෝ ඒකාන්තායෙන් කායදුශ්චරිතයෙන් සමන්වාගතයහ වාක් … මනෝදුශ්චරිතයෙන් සමන්වාගතයහ. ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටි ඇතියහ. මිථ්‍යාදෘෂ්ටි කර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමැණියහ. තවද මේ භවත් සත්ත්වයෝ හෝ කායසුචරිතයෙන් සමන්වාගතයහ, වාක් … මනෝසුචරිතයෙන් සමන්වාගතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කරනුවහ, සම්‍යක්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ, ඔහු කාබුන් මරණින් මතු සුන්දර ගති ඇති ස්වර්‍ගලෝකයට පැමැණියහ” යි. මෙසෙයින් මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා වර්‍ණ ඇති නො මනා වර්‍ණ ඇති සුන්දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්වයන් දකිති. යථාකර්‍මොපග සත්ත්වයන් දැනගනිති. යම් සේ උදායී, දොර සහිත ගෘහ දෙකක් ඇද්ද එහි ඇස් ඇති පුරුෂයෙක් මධ්‍යෙයහි සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද හැසිරෙන්නා වූ ද ඇවිදිනා වූ ද මිනිසුන් දක්නේ ද, එ‍සෙයින් මැ උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්‍ණ දුවර්‍ණ සුගත දුර්‍ගත සත්ත්වයන් දකිති. යථාකර්‍මොපග සත්ත්වයන් දැනගනිති. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන හා අභිඥාපාරමී සඬ්ඛ්‍යාත චිර්‍ණවශී බවට පැමිණ වෙසෙත්.

තවද උදායී, මා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මෙ අත්බැව්හි මැ තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙත්. යම්සේ උදායී, ගල්මුදුනෙකැ පහන් වූ වෙසෙසින් පහන් වූ නො කැළඹුණු දියවිලෙක් ඇද්ද, එහි ඇස් ඇති පුරුෂයෙක් ඉවුරෙහි සිටියේ සරනා වූ ද සිටුනා වූ ද සිප්පිබෙල්ලන් ද සක්බෙල්ලන් ද කැටකැබිලිති ද මත්ස්‍යසමූහයා ද දක්කේ යැ. ඔහට මෙ සිත් වන්නේ යැ: “මෙ දියවිල වූකලී ප්‍රසන්න යැ, ඉතා ප්‍රසන්න යැ, නො කැළඹුණේ යැ, එහි සිප්පි බෙල්ලෝ ද සක් බෙල්ලෝ ද කැට කැබිලිති ද මත්ස්‍ය සමූහයා ද සරනාහු ද සිටුනාහු ද වෙත්” යයි. එ‍සෙයින් මැ උදායී, දා විසින් ශ්‍රාවකයනට පිළිවෙත් කියන ලද. යථාප්‍රතිපන්න වූ මාගේ ශ්‍රාවකයෝ ආස්‍රවයන් ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් මෙ අත්බැව්හි මැ තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙත්. එහිදු මාගේ බොහෝ ශ්‍රාවකයෝ අර්හත්ඵල සඬ්ඛ්‍යාත අභිඥාවසානයට හා අභිඥාපාරමියට පැමිණ වාසය කෙරෙත්. උදායී, යම් කරුණෙකින් ශ්‍රාවකයෝ මට සත්කාර ගරුකාර මානන පූජා කෙරෙද්ද, සත්කාර ගරුකාර කොට නිසා වෙසෙද්ද, මේ වූකලී ඒ පස් වැනි දහම වේ.

උදායී, යම් හෙයකින් මට ශ්‍රාවකයෝ සත්කාර ගරුකාර මානන පූජා කෙරෙත් ද, සත්කාර ගරුකාර කොට නිසා වෙසෙත් ද මොහු වූ කලී එ පඤ්චධර්‍මයෝයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති සකුලුදායී පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට තුටු වූයේ යි.

සත් වැනි මහා සකුලුදායී සූත්‍රය නිමියේය.