සන්දක සූත්‍රය

2.3.6 සන්දක සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර නිසා ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සන්‍දක පරිව්‍රාජක පන්සියයක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග පුලිල ගුහායෙහි වෙසෙයි. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ සවස්වේලෙහි පිළිසලනින් නැඟී සිටිසේක් ‘ ඇවැත්නි, දෙවකටැසොබ්හ (වැසිදියෙන් වළහුන් හෙබ) යම් තැනෙක් ද එහි ගුහාදර්‍ශනයට යම්හ‘යි භික්‍ෂූන් ඇමතූසේක. ‘එසේ යැ ඇවැත්නි‘යි ඒ මහණහු ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට පිළිවදන් දුන්හ. එකල්හි ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග දෙවකටසොබ්හය කරා එළඹිසේක. එසමයෙහි සන්‍දක පිරිවැජි තෙම උද්ගතනාද ඇති උස්හඬ මහහඬ නඟන අනෙකප්‍රකාර තිරශ්චීන කථා කරන මහත් පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කෙබඳු කථා යැ යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනා පිළිබඳ කථා භය කථා යැ යුද්ධ කථා යැ ආහාර කථා යැ පාන කථා යැ වස්ත්‍ර කථා යැ ශයන කථා යැ මාලා කථා යැ ගන්ධ කථා යැ ඥාතීන් පිළිබඳ කථා යැ යානකථා යැ ග්‍රාම කථා යැ නිගම කථා යැ නගර කථා යැ ජනපද කථා යැ ස්ත්‍රීන් පිළිබඳ කථා යැ ශූරයන් පිළිබඳ කථා යැ වීථි කථා යැ කුම්භස්ථාන (පැන්තොට) කථා යැ (කුම්භදාසීන් පිළිබඳ හෝ කථා යු ) පූර්‍වප්‍රේතකථා යැ නන් වැදෑරුම් නිරර්‍ථකකථා යැ ලෝකායත කථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ (ශාස්වත උච්ඡෙදාදී සවැදෑරුම්) භවාභවකථා යැ යන මේ යි.

සන්‍දක පිරිවැජි තෙමේ දුරින් මැ වඩනා ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී ය, “භවත්නි, නිශ්ශබ්ද වෙත්වා, භවත්හු නහමක් ශබ්ද කරවු, මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක වූ මේ ශ්‍රමණ ආනන්‍දයෝ පැමිණෙති, කොසඹෑනුවර ශ්‍රමණගෞතමයන්ගේ යම් පමණ ශ්‍රාවකයෝ වෙසෙත් ද, මේ ශ්‍රමණ ආනන්‍දයෝ ඔවුනතර එක්තරා කෙනෙක, ඒ ආයුෂ්මත්හු වැළිත් නිහඬ බව කැමැත්තා හ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ. නිහඬ තැන්හි ගුණ කියන්නාහ, නිහඬපිරිස දැන එළැඹියයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ සන්‍දක පරිව්‍රාජක වෙත එළැඹියැහ. ඉක්බිති සන්‍දක පරිව්‍රාජක ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට තෙල කී: “භවත් ආනන්‍දයෝ පැමිණෙන සේක්වා, භවත් ආනන්‍දයනට ස්වාගත යැ, භවත් ආනන්‍දයෝ මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළහ, භවත් ආනන්‍දයෝ වැඩහිඳුනා සේක්වා, මේ අස්න පනවනලදැ”යි. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ පනවනලද අස්නෙහි වැඩහුන්හ. සන්‍දක පරිව්‍රාජක එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සන්‍දක පරිව්‍රාජකහට ආයුෂ්මත් අනඳ තෙරණුවෝ තෙලවදන් කීහ: “සන්‍දකයෙනි, දැන් කවර නම් කථාවෙකින් යුක්ත වැ උන්හු ද, තොප විසින් කවර නම් කථාවක් අඩාළ කරනලද දැ?” යි. භවත් ආනන්‍දයෙනි, තෙල කථා තිබේවා, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ හුන්නමෝ නම් තෙල කථාව භවත් ආනන්‍දයනට පසු වත් ඇසීමට දුලබ නො වෙයි. භවත් ආනන්‍දයනට මැ ස්වකීය ආචාර්‍ය්‍යවංශයෙහි දැහැමි කථා වැටහේව’යි ආරාධනා කරමි. “එසේ වී නම් සන්‍දකයෙනි, අසව, මෙනෛාවට මෙනෙහි කරව, කියමි”යි . “එසේ යැ භවත්නි”යි සන්‍දක පරිව්‍රාජක ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිවදන් ඇස්වී. ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ තෙල කරුණ වදාළහ:

“සන්‍දකයෙනි, සත්ත්වයන්ගේ ආශයානුශය දන්නා වූ ඥෙයධර්‍මයන් දක්නා වූ ප්‍රත්‍යයාදීන්ට නිසි හෙයින් අර්හත් වූ සත්‍යාවබෝධය කළ හෙයින් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු විසින් සතර අබ්‍රම්සරවස් කෙනෙක් වදාරනලද්දාහ, අස්වැසිලි රහිත වූ සතර බ්‍රම්සරවස් කෙනෙක් ද වදාරනලද්දාහ: “යම් බ්‍රහ්මචරිය වාසයෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ය, වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ”යි.

භවත් ආනන්‍දයෙනි, නුවණින් දන්නා වූ ඇසින් දක්නා වූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් කවර සතර අබ්‍රහ්මචරියවාස කෙනෙක් වදාරනලද්දාහු ද, “යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ දැ”යි.

සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් මෙබඳු වාද ඇත්තේ මෙබදු දෘෂ්ටි ඇත්තේ වෙයි: “දුන් දෙය ඵල නැත, පූජායෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්තවයෝ නැත, සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් නැත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්‍රත්‍යක්ෂ කොට පවසත් නම් ඔහු යි. මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන. යම් කලෙක කලුරිය කෙරේ ද එකල පෘථිවිධාතුව භාහිර පෘථිවිධාතුවට එක් වෙයි, අනුව යෙයි, අධ්‍යාත්මික අබ්ධාතුව බාහිර අබ්ධාතුවට එක් වෙයි, අධ්‍යාත්මික තේජොධාතුව බාහිර තේජොධාතුවට එක්වෙයි, අධ්‍යාත්මික වායෝධාතුව බාහිර වායෝධාතුවට එක් වෙයි, ඉන්‍දියයෝ ආකාශධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ සිව් දෙනෙක් මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, යම් දීමෙක් වේ ද එය බාලයන් විසින් පනවනලද්දෙක, යම් කෙනෙක් ආස්තිකවාද පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡෙදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. සන්‍දකය, විඥ වූ පුරුෂ එහිලා මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: දෙනලද්දෙහි ඵල නැත, පුදන ලද්දෙහි ඵල නැත, පඬුරු කොට අළ දැයෙහි ඵල නැත, සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතික සත්තවයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ මැ දැක ප්‍රත්‍යක්ෂ කොට පවසත් ද එබඳු වූ සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණු කෙනෙක් නැත, මේ පුරුෂ සතර මහාභූතයෙන් උපන, යම් කලෙක කලුරිය කෙරේ ද, එකල පෘථිවිධාතුව පෘථිවිධාතුවට පැමිණෙයි, අබ්ධාතුව ධාතුව අබ්ධාතුවට ධාතුවට පැමිණෙයි, වායෝධාතුව වායෝධාතුවට පැමිණෙයි, ඉන්‍දියයෝ ආකාශ ධාතුවට දිවෙති, හොත් ඇඳ පස්වනු කොට ඇති පුරුෂයෝ මළහු ගෙන යති, සොහොන දක්වා ගුණපදයෝ පැනෙති, පරෙවිපැහැ ඇති ඇට ශේෂ වෙයි, දානාදී සත්කාරයෝ භස්මය අන්ත කොට ඇත්තාහ, දානය බාලයන් විසින් පනවන ලද, යම් කෙනෙක් ආස්තිකවාදය පවසත් ද එය උන් ගේ සිස් වූ මෘෂායෙක විලාපයෙක, බාලයෝ ද පණ්ඩිතයෝ ද කය බිඳීමෙන් උච්ඡෙදයට විනාශයට පැමිණෙති, මරණින් මතු නො වෙත්” යයි. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් නම් මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මොහුගේ ශාසනයෙහි බඹසරවස් නො විසූ මා විසින් බඹසරවස් වසන ලද, මේ ශ්‍රමණධර්‍මයෙහි හි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ, මම වූ කලී ඇපි දෙදෙන මැ කය බිඳීමෙන්උච්ඡෙදයට පැමිණෙම්හ, වැනැසෙම්හ, මරණින්මතු නො වම්හ’ යි නො කියමි. යළි මේ භවත් ශාස්තෘහු ගේ නග්න බව මුඩු බව උළුලුපහදන, කෙස්රවුළු සිඳීම අතිරේකයකි, මම් පුත්‍රසම්බාධශයනයෙහි වසන්නෙමි කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳ විලෙවුන් දරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු හා සමානගති ඇති වන්නෙමි, ඒ මම කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් දැ? යි. හේ ‘මේ අබ්‍රහ්මචර්‍ය්‍යවාසයෙකැ’යි මෙසේ දැන ඒ අබ්‍රහ්මචර්‍ය්‍යයෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, දන්නා වූ දක්නා වූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ පළමු වන අබ්‍රහ්මචර්‍ය්‍යවාසය වදාරන ලද්දේ යැ, යම් බඹසරෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ, වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය ආරාධනය නො කරන්නේ යි.

තවද සන්‍දකයෙනි, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “(සියතින් ) කරන්නාහට (අණින් ) කරවන්නාහට සිඳින්නාට සිඳුවන්නාට (දඬින්) පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාහට ක්ලාන්තය කරන්නාට කරවන්නාහට ඵන්‍දනය කරන්නාහට කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන්දැය ගන්නාහට ගෘහසන්ධි සිඳින්නාහට ගම් පහරනුවහට එක් ගෙයක් පැහැර ගන්නාහට මංපහරවනුවහට පරඹුවන් කරා යන්නහුට මුසවා කියනුවහුට (පව් කෙරෙමි හැඟ) කරන්නාහට ද පව් නැති. යමෙක් ක්‍ෂුරධාරා නිම්වලලු කොට ඇති චක්‍රෙයන් මෙ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නෙම් නම් එ හේතුවෙන් පව් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, නසමින් නස්වමින් සිඳමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ඉදින් ගඞ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. දෙමින් දෙවමින් යාග කරමින් කරවමින් ඉදින්

ගඞ්ගානදියෙහි උතුරු ඉවුරට යන්නේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්‍දිය දමනයෙන් කායවාක් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැතැ“යි.

සන්‍දකය, එහිලා නුවණැති පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙවන් වාද ඇත්තෙක, මෙවන් දෘෂ්ටි ඇත්තෙක: “කරන්නාහට කරවන්නාහට සිඳින්නාහට සිඳුවන්නාහට වෙහෙසෙන්නාහට වෙහෙසවන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරවන්නාහට සලන්නාහට සලවන්නාහට ප්‍රාණවධ කරන්නාහට නුදුන් දෑ ගන්නාහට ගෘහසන්ධි සිඳින්නාහට ගම් පහරන්නාහට එක් ගෙයක් පැහැර ගන්නාහට මං පහරන්නාහට පරඹුන් කරා යන්නාහට මුසවා බණන්නහුට දැන දැන පව් කරන්නාහට පාපයෙක් නැති. ඉදින් යමෙක් ක්ෂුරපර්‍ය්‍යන්ත චක්‍රෙයෙන් මේ පොළොවෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංශපුඤ්ජයක් කරන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත, ඉදින් නසමින් නස්වමින් සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඬ්ගානදියෙහි දකුණු ඉවුරට යන්නේ නමුදු ඒ හේතුවෙන් පාපයෙක් නැත, පාපයාගේ පැමිණීමෙක් නැත. ඉදින් දෙමින් දෙවමින් යාග කෙරෙමින් කරවමින් ගඬ්ගානදියෙහි උතුරු ඉවුරට යේ නමුදු එ හේතුවෙන් පිනෙක් නැත, පුණ්‍යයාගේ පැමිණීමෙක් නැත, දානයෙන් ඉන්‍දිය දමනයෙන් සංයමයෙන් සත්‍යවචනයෙන් පිනෙක් නැත, පින් පැමිණීමෙක් නැතැ”යි.

ඉදින් මේ භවත් ශාස්තෘහුගේ වචනය සැබැවෙක් වේ නම් මෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, මෙහි බඹසරවස් නො විසූ මා විසින් වසන ලද, තෙල මහණදම්හි ඇපි දෙදෙන මැ ගුණයෙන් සමසම වම්හ, සමබවට පැමිණියම්හ, මම් වූකලී ‘පව් කරන දෙදෙනාහට පාපය නො කැරේ’යයි නො කියමි. මේ භවත් ශාස්තෘහු ගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම අතිරේකයෙකි. මම් පුත්‍රසම්බාධශයනයෙහි වාසය කරන්නෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් දරන්නෙම් රන්රිදී ඉවසන්නෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව දී සමානගති ඇත්තෙකිම් වෙමි. ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙ තෙම මේ අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ බ්‍රහ්මචරියෙන් නිර්‍වෙදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ දෙ වැනි අබ්‍රහ්මචරියවාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය යූ අනවද්‍යධර්‍මය සම්පාදනය නො කරන්නේ යැ.

තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙති: “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්යයෙක් නැත, පුරුෂශක්තියෙක් නැත, පුරුෂපරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ වසඟ නො වූවාහු බල රහිත වූවාහු වීර්යය රහිත වූවාහු නියතිසඬ්ගති ස්‍වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳිත්”යයි.

සන්‍දකය, එහි විඥ පුරුෂ මෙසේ නුවණින් සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද දෘෂ්ටි ඇත්තේ වෙයි: “සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතුයෙක් නැත, ප්‍රත්‍යයෙක් නැති, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යෙයක් නැත, පුරුෂ ශක්තියෙක් නැත, පුරුෂ පරාක්‍රමයෙක් නැති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවශයහ, අබලය, අවීර්යයහ. නියතිසඬ්ගතිස්‍වභාවයෙන් පරිණත වූවාහු අභිජාති සයෙක්හි මැ සුවදුක් විඳුති. ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, මොහුගේ ශාසනයෙහි මහණදම් නො කළ මා විසින් කරන ලද, බඹසරවස් නො විසූ මා විසින් වසන ලද. මේ ශ්‍රමණධර්‍මෙයහි ඇපි දෙදෙන මැ සමසම වූම්හ, සමාන බවට පැමිණියම්හ. මම් වූකලී ඇපි දෙදෙන මැ අහේතු අප්‍රත්‍යයෙන් විශුද්ධ වම්හ’යි නො කියමි. මේ භවත් ශාස්තෘහුගේ වැළිත් නග්න බව මුඩු බව උළුලුපදහන, කෙස්රවුළු සිඳීම අතිරේකයෙකි. ඒ මම් පුත්‍රසම්බාධ ශයනයෙහි වසනෙම් කසීසඳුන් වළඳනෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් මේ භවත් ශාස්තෘහු හා සමග පරලොව්හි සමසම ගති ඇත්තෙම් වෙමි. ඒ මම් කවර ගුණයක් දන්නෙම් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වසනෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි දැන ඒ බ්‍රහ්මචර්‍ය්‍යයෙන් නිර්‍වෙදයට පැමිණ නික්ම යෙයි. සන්‍දකය, ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් වූ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මේ තුන් වැනි අබ්‍රහ්මචරිය වාසය වදාරන ලද්දේ යැ. යම් තැනෙකැ නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ අනවද්‍ය ධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.

තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘ කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබදු දෘෂ්ටි ඇත්තාහු වෙති: (කිසිවකු විසින්) නො කරන ලද නො කළ විධාන ඇති (සෘද්ධියෙනුදු) නො මවන ලද නො මවවන ලද වඳ වූ ගිරිකුළු මෙන් සිටියා වූ එෂිකාස්තම්භයක් මෙන් සිටි මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘතවිධානයහ, අනිර්මිතයහ, අනිර්මාතෘයහ, අවන්ධ්‍යයහ, කූටස්ථයහ, එෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තියුණු සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.

තවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්‍ම පන්සියයක් ද, කර්‍ම පසක් ද, කර්‍ම තුනක් ද කර්‍මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක. දෙසැට අන්තරකල්පයෙක. ෂට් අභිජාතියෙක. අෂ්ට පුරුෂභූමියෙක. එකුන්පස් ආජීවවෘත්තිශතයෝයැ, එකුනුපනස් පැරිවැජිපැවිදිසියයෝයැ, එකුන්පස් නාමඬුලු සියයෙක, විසි ඉඳුරන්සියයෙක, තිස් නිරෑසියයෙක, සතිස් රජස්ධාතුහු ය, (ඔටු ආදී සත් වැදෑරුම්) සංඥිගර්‍භයෝ ය, (හැල් ආදී) සත් අසංඥි ගර්‍භයෝ ය, උගු ආදී සත් නිගණ්ඨි ගර්‍භයෝ යැ, සත් දෙවියෝ යැ, සත් මිනිස්හු ය, සත් පිශාචයෝ ය, සත් මහවිල්හු ය, සත් ගන්ඨිකයෝ ය, මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහු ද ඒ මහාකල්පයෝ සුවාසූසියදහසෙකි. එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යෙයන් වේවයි නො මුහු කළ කර්‍මය හෝ මුහුකුරු වන්නෙමියි නැත. මුහුකළ කර්‍මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැත් මැ යි. සුවදුක් ද්‍රෝණයෙන් මනනලද වැන්න, (කි පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ, වෘද්ධිහානි නැති, යම්සේ හූවට (ගලක් හෝ ගසක් උඩ සිට) දමනලදුයේ (හූ පමණින්) වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවන සංසරණ කොට දුකු කෙළවර කරන්නාහ’ යි.

සන්‍දකය, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම මෙබඳු වාද ඇත්තෙක, මෙබඳු දෘෂ්ටි ඇත්තෙක: නො කළ, නො කළ විධාන ඇති, නො මැවූ, නො මවනලද, වඳ වූ, ගිරිකුළු මෙන් සිටියා වූ, එෂිකාස්තම්භයක් මෙන් සිටි, මේ සත් කාය කෙනෙක් වෙති. ඔහු නො සැලෙති, පියවි නො හරිති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙති. කවර සත් දෙනෙක යත්: පඨවිකාය යැ ආපෝකාය යැ තේජෝකාය යැ වායෝකාය යැ සුබ යැ දුක්ඛ යැ ජීව යැ යන මේ සත යි. මේ සප්තකායෝ ආකෘතයහ, අකෘත විධානයහ, අනිර්මිතයහ, අනිර්මාතෘයහ, වන්ධ්‍යයහ, කූටස්ථයහ, එෂිකාස්ථායීස්ථිතයහ. ඔහු නො සැලෙති, නො පෙරැළෙති, ඔවුනොවුන් නො පෙළති, උනුනට සුව පිණිස වේවයි දුක් පිණිස වේවයි සුවදුක් පිණිස වේවයි නො සමත් වෙත්. ඒ සප්තකායයන් අතුරෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැති. යමෙක් තිහිණි සැතින් හිස සිඳී නමුදු කිසිවෙක් කිසිවකු දිවියෙන් තොර නො කෙරෙයි. වැළි සත් වැදෑරුම් කායයන් අතුරෙන් මැ ශස්ත්‍රය විවරයට පිවිසෙයි.

තවද මේ උත්තමයෝනීහු තුදුස්සියදහසක් ද සදහසක් ද සසියයක් ද වෙති. කර්‍ම පන්සියයක් ද, කර්‍ම පසක් ද, කර්‍ම තුනක් ද කර්‍මයක් ද අධිකර්‍මයක් ද වෙයි. දෙසැට ප්‍රතිපදායෙක දෙසැට අන්තරකල්පයෙක ෂට් අභිජාතියෙක අෂ්ට පුරුෂභූමියෙක, එකුන්පස් ආජීව වෘත්තිශතයෝයැ එකුනුපනස් පරිව්‍රාජකශතයෝයැ එකුන්පනස් නාමඬුලුසියයෝ යැ විංශත් ඉන්‍දියශතයෝ යැ ත්‍රිංශත් නිරයශතයෝ යැ ෂට්ත්‍රිංශත් රජස්ධාතුහු යැ සත් වැදෑරුම් සංඥිගර්‍භයෝ ය සත් අසංඥි ගර්‍භයෝ ය සත් නිර්ග්‍රන්ථිගර්‍භයෝ යැ සත් දෙවියෝ යැ සත් මිනිස්හු යැ සත් පිශාචයෝ යැ සත් මහවිල්හු යැ සත් ගණ්ඨිකයෝ යැ මහාප්‍රපාත සතෙක, කුඩා ප්‍රපාත සත්සියයෙක, මහා සිහින සතෙක, කුඩා සිහින සත්සියයෙක, යම් කල්ප කෙනෙක් බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කෙරෙත් ද ඒ මහා කල්පයෝ සුවාසූසියදහසෙක, එහි මම් මේ ශීලයෙන් වේවයි ව්‍රතයෙන් වේවයි තපසින් වේවයි බ්‍රහ්මචර්‍ය්‍යයෙන් වේවයි නො මුහුකළ කර්‍මය හෝ මුහුකුරු වන්නෙමි’යි නැත, මුහුකළ කර්‍මය හෝ පැහැස පැහැස කෙළවර කරන්නෙමි’යි මෙසේ නැති. සුවදුක් ද්‍රොණයෙන් මනනලද වැන්න. (කී පමණ කලෙකින්) සසර පිරියත් කරනලද යැ අඩුවැඩි නැත, උත්කර්‍ෂාවකර්‍ම නැති. යම් සේ හූවටෙක් (ගලක් හෝ ගසක් මතුයෙහි සිට) දමන ලදුයේ වෙළුම් හරිමින් මැ යේ ද එසෙයින් මැ බාලයෝ ද පණ්ඩිතයෝ ද සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරන්නාහ”යි.

ඉදින් මේ භවත් ශාස්තෘහු ගේ වචනය සැබැවෙක් වී නම්, “ඇපි දෙදෙන සංධාවනය කොට සංසරණය කොට දුක් කෙළවර කරම්හ”යි මම් නො කියමි, නමුදු තෙල සස්නෙහි මහණුවම් නො කළ මා විසින් මහණුවම් කරන ලද, තුලුන්ගේ සස්නෙයි බඹසරවස් නො විසූ මා විසින් බඹසර වසන ලද, මෙහි ලා ඇපි දෙදෙන මැ සමසමයම්හ, සම බවට පැමිණියෙම්හ. මේ භවත් ශාස්තෘහු ගේ අතිරේකය වැළිත් නග්න බව මුඩු බව උළුලුපහදන කෙහෙරවුළු සිඳීම යි. මම් අඹුදරුවන් විසින් සම්බාධ වූ ශයනයෙහි වසනුයෙම් කසීසඳුන් වළඳනුයෙම් මල්ගඳවිලෙවුන් ධරනුයෙම් රන්රිදී ඉවසනුයෙම් පරලොව දී මේ භවත් ශාස්තෘහු සමග සමසමගති ඇති වන්නෙම් ද ඒ මම් කුමක් දන්නෙම් කුමක් දක්නෙම් මේ ශාස්තෘහු කෙරෙහි බඹසර වෙසෙම් ද? හෙතෙම මේ ‘අබ්‍රහ්මචරියවාසයෙකැ’යි මෙසේ දැන ඒ සස්නෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර වැනි අබ්‍රහ්මචරියවාසය වදාරනලද්දේ යැ. යම් අබ්‍රහ්මචරියයෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වෙසේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය නො සපයන්නේ ද එය යි. සන්‍දය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්‍යක්සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් විසින් මේ සතර අබ්‍රහ්මචරියවාසයෝ වදාරනලද්දාහු යැ, මේ සස්නෙහි විඥවූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ යැ වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.

භවත් ආනන්‍දයෙනි, ආශ්චර්‍ය්‍ය යැ, භවත් ආනන්‍දයෙනි, අද්භූත යැ, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ ඒකාන්තයෙන් බඹසරවස් නො වසන්නේ ද, වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය ආරාධනය නො කරන්නේ ද (එබඳු වූ) අස්වැසිලි රහිත වූ මැ සිව් වැදෑරුම් අබ්‍රහ්මචරිය වාසයෝ වදාරනලද්දාහු යැ.

භවත් ආනන්‍දයෙනි, සියල්ල දක්නා වූ සියල්ල දක්නා වූ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් විසින් යම් තැනෙකැ විඥ වූ පුරුෂ බ්‍රම්සරවස් නො වසන්නේ ද වසනුයේ හෝ න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ එබඳු අස්වැසිලි රහිත වූ කවර සතර බඹසරවස් කෙනෙක් වදාරනලද්දාහු දැ? යි.

සන්‍දකය, මෙලොවැ සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ ඇතැම් ශාස්තෘවරයෙක් “ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිඳි වරන්නා වූ ද මට නිරතුරු ඥානදර්‍ශනය එළැඹ සිටියේ යැ”යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙයි. හේ ශූන්‍යාගාරයට ද පිවියෙසි, පිඬුවා ද නො ලබයි, ශූනක ද ඔහු ඩහයි, සැඬ ඇතකු හා ද එක්වෙයි, සැඬ අසකු හා ද එක් වෙයි, සැඬ ගොනෙකු හා ද එක් වෙයි, ස්ත්‍රියක ගේත් පුරුෂයකුගේත් නමුදු ගොතුදු විචරෙයි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාරයි, හේ ‘මේ කිමෙකැ’යි විචාරන ලද්දේ මැ: “මා විසින් ශූන්‍යාගාරයකට පිවිසියයුතු විය, එයින් පිවිසියෙමි; මා විසින් පිඬුවා ද නො ලදයුතු විය, එයින් නො ලත්මි; ශූනකයා විසින් ඩැහියයුතු විය, එයින් ඩහගනලදුයෙමි; සැඬ ඇතකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬඅසකු හා ද එක්වියයුතු විය, එයින් එක්වීමි; සැඬ ගොනෙකු හා එක්වියයුතු විය, එයින් එක්වීමි; ස්ත්‍රියක ගේ ද පුරුෂයකුගේ ද නමුදු ගොතුදු විචාළයුතු විය, එයින් විචාළෙමි, ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ සලකයි: “මේ භවත් ශාස්තෘ තෙම සර්‍වඥ යැ සර්‍වදර්ශී යැ නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙයි … ගම්හි දු නියම්ගම්හි දු නමුදු මග ද විචාළයුතු විය, එයින් විචාළෙමි” යි යෙයි. හේ “මේ බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන ඒ බඹසරෙන් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරනලද පළමු වැනි අනස්සාසික බ්‍රහ්මචරිය වෙයි. එහි නුවණැති පුරුෂ ඒකාන්තයෙන් බඹසර නො වසන්නේ යැ වසනුයේ නමුදු න්‍යාය වූ කුශලධර්‍මය සම්පාදනය නො කරන්නේ යි.

තවද සන්‍දකය, මෙලොවැ ඇතැම් ශාස්තෘවරයෙක් ශ්‍රැතය ඇසිරි කෙළේ වෙයි, ශ්‍රැතිය සත්‍යය කොට ඇත්තේ වෙයි. හේ අනුශ්‍රවයෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පත්තීන් දහම් දෙසයි. සන්‍දකය, අනුශ්‍රවය ඇසිරි කළ ඇසූ දැය සත්‍ය කොට ගත් ශාස්තෘහට මනාකොට අසනලද්ද ද වෙයි, නො මනාකොට අසනලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. එහි ලා සන්‍දකය, නුවණැති පුරුෂ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: “මේ භවත් ශාස්තෘ තෙම අනුශ්‍රවික ය, අනුශ්‍රවය සත්‍ය කොට ගත්තේ ය, හේ ශ්‍රැතියෙන් මෙසේ මෙසේ යයි පරම්පරායෙන් පිටකසම්පදායෙන් දහම් දෙසයි, ශ්‍රැතය ඇසිරි කළ ශ්‍රැතිය සත්‍යය කොට ගත් ශාස්තෘහට මනා කොට අසන ලද්ද ද වෙයි, එසෙයිනුදු වෙයි, අන්සෙයිනුදු වෙයි. හේ “බඹසර අස්වැසිලි නැතැ”යි මෙසේ දැන එ බඹසරින් කලකිරී නික්ම යෙයි. සන්‍දකය, මේ වූකලී ඒ සියල්ල දන්නා වූ දක්නා වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන�%8