සමණමණ්දඩිකා සූත්‍රය

2.3.8 සමණමණ්දඩිකා සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාස කරන සේක. එසමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන නම් පරිව්‍රාජක (විවිධ දෘෂ්ටිවාදීන් එක් වැ සමය පවසන හෙයින්) සමයප්පවාදක නම් වූ (තිඹිරිරුකින් පිරිකෙව් කරනලද බැවින්) තින්‍දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි පරිව්‍රාජකයන් සත්සියක් පමණ වූ මහත් පිරිවැජි පිරිස් හා සමග වෙසෙයි.

එකල්හි පඤ්චකඬ්ග නම් වඩුදෙටු භාග්‍යවතුන්වහන්සේ දක්නට දෙවෙන්දවහල්හි සැවැත්නුවරින් නික්මිණ. ඉක්බිති පඤ්චකඬ්ග වඩුදෙටු හට මෙ සිත් විය: “තව බුදුන් දක්නට නො කලි, බුදුහු විවික්තයහ. මනවඩනා භික්‍ෂූන් ද දක්නට නො කලි, මනවඩනා භික්‍ෂූහු විචික්තයහ. මම සමයප්පවාදක වූ තින්‍දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනවැ”යි. ඉක්බිති පඤ්චකඬ්ග වඩුදෙටු සමයප්පවාදක වූ තින්‍දුකාචීර නම් වූ ඒකසාලක නම් මල්ලිකා දේවියගේ ආරාමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක වෙත එළැඹියේ යැ.

එසමයෙහි සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක උද්ගතනාද ඇති උස්හඬින් මහහඬින් නන්වැදෑරුම් තිරිසන්කථා කියන මහත් වූ පිරිවැජි පිරිස් හා සමග හුන්නේ වෙයි. කවර තිරිසන් කථා ද යත්: රජුන් පිළිබඳ කථා යැ සොරුන් පිළිබඳ කථා යැ මහඇමතියන් පිළිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ ආහාර පිළිබඳ කථා යැ පාන පිළිබඳ කථා යැ වස්ත්‍ර පිළිබඳ කථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධ කථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිළිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ සෙසු නන්වැදෑරුම් කථා යැ ලෝකායතකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ භවාභවය මෙසේ යැ යන කථා යැ’යි හෝ යි.

සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක පඤ්චකඬ්ග වඩුදෙටු දුරින් මැ එන්නා දුටුයේ යැ. දැක සියපිරිස් සන්හුන් කරවී: “භවත්හු, නිහඬ වෙත්වා, භවත්නි තෙපි නහමක් හඬ නඟවු, මේ ශ්‍රමණගෞතමයන් ගේ ශ්‍රාවක පඤ්චකඬ්ගස්‍ථපති එයි. යම් පමණ ශ්‍රමණගෞතමයන් ගේ ශ්‍රාවක වූ හෙළපිළී හඳනා ගැහැවියෝ සැවැත්නුවර වෙසෙත් ද මේ පඤ්චකඬ්ගස්‍ථපති ඔවුනතුරෙහි එක්තරයෙක. තවද ඒ ආයුෂ්මත්හු නිහඬයහ, නිහඬ වූ බුදුරදුන් විසින් විනීතයහ, නිහඬ බැව්හි ගුණකියනුවහ. නිහඬ පිරිස් දැන එළැඹියැයුතු කොට සිතා නම් මැනවැ”යි. එකල්හි ඒ පරිව්‍රාජකයෝ නිහඬ වූහ.

ඉක්බිති පඤ්චකඬ්ග වඩුදෙටු සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක කරා එළැඹියේ යැ. එළැඹ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක හා සමඟ සතුටු විය. සතුටු වියවුතු කලතුරුහි සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඬ්ග වඩුදෙටුහට සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක තෙල කරුණ කී යැ ;

“ස්‍ථපතිය, මම් සතර කරුණෙකින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් වාදයුදට නො නිසි (වාදයෙන් නො සැලිය හෙන) ශ්‍රමණ යයි දක්වමි (පනවමි). කවර සතර කරුණෙකින යත්: ස්‍ථපතිය, මෙලොවැ කිසිවෙක් කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වචන නො කියා ද, ලාමක සංකල්ප නො කෙරේ ද, ලාමක ආජීව නො කෙරේ ද, ස්‍ථපතිය, මම් මෙ සතර කරුණින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් වාදයුදට නො නිසි ශ්‍රමණ යැ යි පනවමි.

එකල්හි පඤ්චකඬ්ගස්‍ථපති ශ්‍රමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ භාෂිතයට නො මැ සතුටු විය, නො ද ප්‍රතික්ෂේප කෙළේ යැ. අභිනන්‍දන නො කොට ප්‍රතික්ෂේප නො කොට හුන්සනෙන් නැඟී ‘භාග්‍යවතුන් වහන්සේ වෙත තෙල භාෂිතයාගේ අර්ථය දනිමී නික්ම ගියේ යැ. ඉක්බිති පඤ්චකඬ්ගස්‍ථපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස්වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඬ්ගස්‍ථපති සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක හා සමග යම් පමණ කථා සල්ලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට දැන්වී. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පඤ්චකඬ්ගස්‍ථපතිහට තෙල කරුණ වදාළහ: යම්සේ සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ වචනය වේ ද, එසේ ඇති කල්හි ස්‍ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ වන්නේ යැ. ස්‍ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (සත්කාය පරකාය විසින්) කායවිඥානයෙකුදු නො වෙයි, වැළි ස්පන්‍දනමාත්‍රය හැර කොයින් කයින් පව්කම් කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උත්තානසෙය්‍යක වූ ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භෙද) වචන දු නො වෙයි. යළි හැඬීම් පමණ මිස කොයින් ලාමක වචන කියන්නේ ද? ස්‍ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භෙද) සංකල්ප දු නො වෙයි. වැළි විකුජන (හැඬීම් සිනාසීම්) මාත්‍රයක් මිස කොයින් ලාමක සංකල්ප කරන්නේ ද? ස්ථපතිය, බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරුහට (මිථ්‍යා සම්‍යක් භෙද ඇති) ආජීව ද නො වෙයි. වැළිදු මව ගේ තනකිරි මිස කොයින් ලාමක ආජීව කරන්නේ ද? ස්ථපතිය, සමණමණ්ඩිකාපුත්‍ර උග්ගාහමාන පරිව්‍රාජක ගේ වචනය යම්සේ ද එසේ ඇති කල්හි බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමර පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පැමිණි අයොධ්‍යශ්‍රමණ වන්නේ යි.

ස්‍ථපතිය, මම් වූකලි සතර කරුණෙකින් සමන්වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තමප්‍රාප්තියට නො පත් අයෝධ්‍ය (වාද යුදයෙන් නො සැලිය හෙන) ශ්‍රමණ යැ’යි පනවමි. එතෙකුදු වත් (හේ මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා (යට කොට) සිටී. කවර සතර කරුණෙකින යත්: ස්‍ථපතිය, මෙලොව (කිසිවෙක්) කයින් පව්කම් නො කෙරෙයි, ලමු බස් නො බෙණෙයි, ලාමක සංකල්ප නො කෙරෙයි, ලාමක ආජීව නො කෙරෙයි. ස්‍ථපතිය, මම මෙ සතර කරුණින් සමන්වාගත පුරුෂ පුද්ගල නො ද පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් නැති උත්තම ප්‍රාප්තියට නො පත් අයෝධ්‍යශ්‍රමණ යැ’යි දක්වමි. එතෙකුදු වත් (හෙ තෙම) මේ බාල වූ උඩුකුරු වැ හෝනා ළදරු කුමරු වෙසෙසා සිටී.

ස්‍ථපතිය, මම් වූකලි දස කරුණෙකින් සමන්වාගත පුරුෂ පුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයොධ්‍යශ්‍රමණ යැ’යි පනවමි.

මොහු අකුසලසීලයෝ (දුශ්ශීලස්‍වභාවයෝ) යැ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. අකුශලසීලයෝ මෙයින් (සරාගාදිසිතින්) උපදනාහු යැ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි අකුශලසීලයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ අකුශලසීලයන්ගේ නිරොධයට පිළිපන්නේ වෙයි. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.

මොහු කුසලසීලයෝ යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. කුසලසීලයෝ මෙයින් උපදනාහු යැ. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි කුසලසීලයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ කුසලසීලයන්ගේ නිරොධයට පිළිපන්නේ වෙයි. ස්ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.

මොහු අකුශලසංකල්පයෝ යැ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. අකුශල සංකල්පයෝ මෙයින් උපත ඇතියහ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි අකුශලසංකල්පයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරොධයට පිළිපන්නේ වෙයි. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.

මොහු කුශලසංකල්පයෝ යැ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. කුශලසංකල්පයෝ මෙයින් උපත ඇතියහ. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙහි කුශලසංකල්පයෝ නිරවශෙෂයෙන් නිරුද්ධ වෙති. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි. මෙසේ පිළිපන්නේ කුශලසංකල්පයන්ගේ නිරොධයට පිළිපන්නේ වෙයි. ස්‍ථපතිය, මම් එය දතයුතු යැ’යි කියමි.

ස්‍ථපතිය, අකුශලශීලයෝ කවරහ යත්: අකුශල වූ කායකර්‍ම යැ, අකුශල වූ වාක්කර්‍ම යැ, ලාමක වූ ආජීව යි. ස්‍ථපතිය, මොහු ‘අකුශලශීලහ’ යි කියනු ලැබෙත්. ස්‍ථපතිය, වැළිත් මේ අකුශලශීලයෝ කුමක් සමුත්ථාන කොට ඇත්තාහු යත්: උන්ගේ සමුත්ථාන ද කියන ලද. චිත්තසමුත්ථානයෝ යයි කියයුතු වන්නාහ. ‘චිත්තය’ කවරෙ යත්: චිත්ත ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යි. එසිත රාග සහිත වූයේ යැ ද්වෙෂ සහිත වූයේ යැ මෝහ සහිත වූයේ යැ, අකුශලශීලයෝ මෙයින් උපත් ඇතියහ. තවද ස්‍ථපතිය, මේ අකුශලශීලයෝ කොහි නිරවශෙෂයෙන් නිරුද්ධ වෙත් ද? උන්ගේ නිරොධය ද කියන ලද. ස්‍ථපතිය, මෙසස්නෙහි මහණ කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. මිථ්‍යා ආජීවය හැරපියා සම්‍යග් ආජීවයෙන් ජීවිකාව කෙරෙයි, මෙහි තෙල අකුශලශීලයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. තවද ස්‍ථපතිය, කෙසේ පිළිපන්නේ අකුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද? ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කර්තුකම්‍යතාකුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් දුරු කරන පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ සිටීමට නො නැස්මට බහුල බවට විපුලබවට වැඩීමට පරිපූරර්‍ණභාවයට කුශලච්ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේ පිළිපන්නේ අකුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.

ස්‍ථපතිය, කුශලශීලයෝ කවරහ යත්: කුශල වූ කායකර්‍මයැ කුශල වූ වාක්කර්‍ම යැ. ස්‍ථපතිය, මම් වූකලී ආජීවපාරිශුද්ධි දු ශීලයෙහි ලා කියමි. ස්‍ථපතිය, මොහු ‘කුශලයෝ’ යි කියනු ලැබෙති. තවද ස්‍ථපතිය, මේ කුශලශීලයෝ කුමක් සමුත්ථාන කොට ඇත්තාහු ද? ඔවුනට සමුත්ථාන දු කියනලද, ‘චිත්තසමුත්ථානහ‘යි කියයුතු වන්නාහ. ‘චිත්ත’ කවරෙ යත්: චිත්ත ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යැ. එ සිත වීතරාග යැ වීතදොස යැ වීතමොහ යි. අකුශලයෝ මෙ සිත සමුත්ථාන කොට ඇතියහ. ස්‍ථපතිය, වැළිත් මේ කුශලශීලයෝ කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? ඔවුනට නිරෝධ දු කියන ලද. ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. එතෙකුදු වත් (මේ මෙ පමණි, මෙයින් මතු කරණී නැතැ’යි) ශීලමය නො වෙයි. යම් තැනෙක ඒ කුශලයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් දැනගනී. ස්‍ථපතිය, වැළිත් කිසෙයින් පිළිපන්නේ කුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කුශලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණයට … නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස … උපන් කුශලධර්‍මයන් සිටීමට නො නැස්මට බහුල බවට විපුල බවට භාවනාවට පිරිපුන් බවට ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේ පිළිපන්නේ කුශලශීලයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.

ස්‍ථපතිය, වැළිත් අකුශලසංකල්පයෝ කවරහ යත්: කාමසංකල්ප යැ ව්‍යාපාදසංකල්ප යැ විහිංසාසංකල්ප යි. ස්‍ථපතිය, මොහු ‘අකුශලසංකල්පයෝ’යි කියනු ලැබෙත්. ස්ථපතිය, වැළිත් කුමක් සමුත්ථාන කොට ඇත්තාහු ද? උන්ගේ සමුත්ථාන දු කියන ලද. සංඥාව සමුත්ථාන කොට ඇතැයි කියයුතු වන්නාහ. සංඥා කවර යත්: සංඥා ද බොහෝ යැ නානාවිධ යැ නානාප්‍රකාර යි. කාමසංඥා යැ ව්‍යාපාදසංඥා යැ විහිංසාසංඥා යි. අකුශල සංකල්පයෝ මේ සංඥාව සමුත්ථාන කොට ඇතියහ. ස්‍ථපතිය, වැළිත් මේ අකුශලසංකල්පයෝ කොහි නිරවශේෂ වැ නිරුද්ධ වෙත් ද? ඔවුන්ගේ නිරෝධය ද කියනලද. ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ … ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මෙ (අනගැමිඵලයෙ)හි තෙල අකුශලසංකල්පයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙති. ස්ථපතිය, වැළිත් කිසෙයින් පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණයට … නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස … උපන් කුශලධර්‍මයන් සිටීමට නො නැස්මට බහුලභාවයට විපුල භාවයට පරිපූර්ණ බවට කුශලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේයින් පිළිපන්නේ අකුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.

ස්‍ථපතිය, වැළිත් කුශලසංකල්පයෝ කවරහ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප යැ අව්‍යාපාද සංකල්ප යැ අවිහිංසා සංකල්ප යි. ස්‍ථපතිය, මොහු කුශලසංකල්ප යයි කියනු ලැබෙත්. ස්‍ථපතිය, වැළිත් මේ කුශලසංකල්පයෝ කුමක් සමුත්ථාන කොට ඇත්තාහු ද? උන්ගේ සමුත්ථාන දු කියන ලද, සංඥාව සමුත්ථාන කොට ඇතැයි කියයුතු වන්නාහ. සංඥා කවර යත්: සංඥා ද බොහෝ යැ, අනෙකවිධ යැ නානාප්‍රකාර යැ: නෛෂ්ක්‍රම්‍යසංඥා යැ අව්‍යාපාදසංඥා යැ අවිහිංසාසංඥා යි. කුශලසංකල්පයෝ මේ සංඥාව සමුත්ථාන කොට ඇතියහ. ස්‍ථපතිය, මේ කුශලසංකල්පයෝ වැළිත් කොහි නිරවශෙෂ වැ නිරුද්ධ වෙත් ද? උන්ගේ නිරොධය දු කියනලද. ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ විතර්‍කවිචාරයන් ගේ සංසිඳීමෙන් … ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. මෙහි (අර්හත්ඵලයෙහි) තෙල කුශලසංකල්පයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙති. ස්ථපතිය, කෙසේ පිළිපන්නේ වැළිත් කුශල සංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වේ ද යත්: ස්‍ථපතිය, මෙ සස්නෙහි මහණ නූපන් ලාමක අකුශලධර්‍මයන් නූපදනා පිණිස කුසලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන් ගේ ප්‍රහාණයට .... නූපන් කුශලධර්‍මයන් උපදනා පිණිස … උපන් කුශලධර්‍මයන් සිටීමට නො නැස්මට බහුලභාවයට විපුලභාවනාවට පරිපූර්ණ බවට කුශලච්ඡන්‍දය දනවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍ය පවත්වයි, සිත නඟාලයි, ප්‍රධන්වීර්‍ය්‍ය කෙරේ. ස්‍ථපතිය, මෙසේ පිළිපන්නේ කුශලසංකල්පයන්ගේ නිරෝධයට පිළිපන්නේ වෙයි.

තවද ස්‍ථපතිය, මම් කවර දස කරුණෙකින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැයි පනවම් ද යත්: ස්ථපතිය, මේ සස්නෙහි මහණ අශෛක්ෂ වූ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යක්සංකල්පයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යග්වචනයෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යගාජීවයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යග්ව්‍යායාමයෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යක්ස්මෘතියෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යක්සමාධියෙන් සමන්වාගත වූයේ වෙයි, අශෛක්ෂ වූ සම්‍යග්ඥානයෙන් සමන්වාගත වූයේ වෙයි. අශෛක්ෂ වූ සම්‍යක්විමුක්තියෙන් සමන්වාගත වූයේ වේ. ස්‍ථපතිය, මම් වූකලී මෙ දස කරුණින් සමන්වාගත පුරුෂපුද්ගල පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තමප්‍රාප්තියට පත් අයෝධ්‍යශ්‍රමණ යැයි පනවමි” යයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටුසිත් ඇති පඤ්චකඬ්ග වඩුදෙටු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයෙහි තුටු වූයේ යි.

අට වැනි සමණමණ්දිකා සූත්‍රය නිමියේය.