අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය

2.2.1 අම්බලට්ඨිකරාහුලෝවාද සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසනලද. එක්කලෙකැ බුදුහු රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ අම්බලට්ඨිකා නම් පහයෙහි වාසය කෙරෙති. භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි ඵලසමවතින් නැඟී සිටිසේක් අම්බලට්ඨිකායෙහි ආයුෂ්මත් රාහුලයන් වෙත එළැඹිසේක. රාහුලායුෂ්මත්හු දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක අසුන් පනවා පාදෝනා පිණිස දිය ද එළැවූහ. බුදුහු පැනවූ අස්නෙහි වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඳ වූ ඉතිරි දිය දියබඳුනෙහි තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූසේක: ‘‘රාහුලයෙනි, තෙපි දියබඳුනෙහි තුබූ මේ අල්ප වූ උදකශේෂය දක්නවු දැ’’යි. එසේ යැ වහන්සැ’යි. රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද, ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය අල්ප වෙයි.

ඉක්බිති බුදුහු ඒ අල්ප වූ උදකශේෂය බැහැර කොට ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: ‘‘රාහුලයෙනි, තෙපි බැහැර කළ අල්ප වූ උදකශේෂය දක්නවු දැ’’යි. එසේ යැ වහනසැයි. රාහුලයෙනි යම් කෙනකුන්ට දැන දැන මුසාවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය බැහැර කරනලද වෙයි.

ඉක්බිති බුදුහු ඒ දියබඳුන යටිහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: ‘‘රාහුලයෙනි, තෙපි යටිහුරු කළ මේ දියබඳුන දක්නවූ දැ’’යි. වදාළහ. එසේ යැ වහන්ස, රාහුලයෙනි, එසෙයින් යම් කෙනක්නට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔවුන්ගේ ශ‍්‍රමණධර්‍මය යටිහුරු කරනලද වෙයි.

ඉක්බිති බුදුහු එදියබඳුන උඩුහුරු කොට තබා ආයුෂ්මත් රාහුලයන් ඇමැතූහ: ‘‘රාහුලයෙනි තෙපි වැගුරුණු සිස් වූ මෙ දියබඳුන දක්නවු දැ’’යි වදාළහ. එසේ යැ වහන්සැ’යි. එසෙයින් රාහුලයෙනි යම් කෙනකුනට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත්ද ඔවුන් ගේ ශ‍්‍රමණධර්‍මය රික්ත යැ තුච්ඡ වේ යයි.

යම්සේ රාහුලයෙනි, රජහට රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ යුද බිමට බටවිරු ඇත්රජෙක් වේ ද, හේ යුදබිමට බටුයේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, පෙර කයිනුදු කම් කෙරෙයි, පසුකයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ. එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: ‘‘රජුගේ මෙඇත්රජ රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණු සිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ යුදට ගියවිරූ වූයේ යුදබිමට ගියේ පෙර දෙපයිනුදු කම් කෙරෙයි, පසු දෙපයිනුදු කම් කෙරෙයි, හිසිනුදු කම් කෙරෙයි, දෙකනිනුදු කම් කෙරෙයි, දෙදළිනුදු කම් කෙරෙයි, නඟුටිනුදු කම් කෙරෙයි, සොඬ රක්නේ මැ යැ ඇතුගේ ජීවිතය රජුට නො හරනාලදැ’’යි.

රාහුලයෙනි, රජුගේ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ.... නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, එහිලා ඇතරුහට මෙබඳු සිතෙක් වෙයි: ‘‘රජුගේ මෙ ඇත් රියහිස් වැනි දළ ඇත්තේ වැඩුණුසිරුරු ඇත්තේ ජාතිසම්පන්න වූයේ සඞ්ගාමාවචර වූයේ යුදබිමට ගියේ .. නඟුටිනුදු කම් කෙරෙයි, සොඬිනුදු කම් කෙරෙයි, ඇතුගේ ජීවිතය රජහට පරිත්‍යාග කරන ලදැයැ. මෙවිට ඇතු විසින් රජහට කිසි කටයුත්තෙක් නැතැ’’යි. එසෙයින් මැ රාහුලයෙනි, යම් කිසිවකුට දැන දැන මුසවා බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු විසින් කිසි පවක් නො කටහැකි යයි මම නො කියමි. එහෙයින් මෙහි ලා රාහුලයෙනි, කෙළි පිණිස ද මුසවා නො බෙණෙමී, මෙසේ රාහුලයෙනි, තොප විසින් හික්මියයුතු.

රාහුලයෙනි, ඒ කිමැයි සිතවු ද? කැටපත කුමක් ප‍්‍රයෝජන කොට ඇත්ද?යි. වහන්ස පිරික්සා බැලීම ප‍්‍රයෝජන කොට ඇතැ’යි. එසෙයින් මැ රාහුලයෙනි, පිරික්ස පිරික්සා කයින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා බසින් කම් කළයුතු යැ. පිරික්ස පිරික්සා මනසින් කම් කළයුතු යැ.

රාහුලයෙනි, තෙපි යම් මැ කමක් කරනුකැමැතිවුවහු ද තොප විසින් එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: ‘‘මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල යැ දුක් වඩනේ යැ දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු ද: ‘‘මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය එකත්නෙන් නො කටයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නවු නම්: ‘‘මම කයින් යම් කර්‍මයක් කරනු කැමැත්තෙම් ද මාගේ මේ කාය කර්‍මය නො මැ තමහට දුක් පිණිස පවත්නේ යැ, පරහට දුක් පිණිස නොපවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස නො පවත්නේ යැ. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් කයින් මෙබඳු කර්‍මය කළයුතු.

රාහුලයෙනි, තොප කයින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ කායකර්‍මය ප‍්‍රත්‍යවෙක්‍ෂා කළයුතු යැ: ‘‘මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද, මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි ප‍්‍රත්‍යවෙක්‍ෂා කරන්නහු මෙසේ දන්නහු නම්: මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති. දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: ‘‘මම් කයින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු කායකර්‍ම කරව.

රාහුලයෙනි, තෙපි කයින් කර්‍මය කොට ද තොපගේ එ මැ කායකර්‍මය පිරික්සියයුතු යැ: ‘‘මම් යම් කර්‍මයක් කයින් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: ‘‘මම් කයින් යම් කර්‍මයක් කෙළෙම් නම් මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ කායකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි රාහුලයෙනි, තොප විසින් මෙබඳු කාය කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙලි කළ යුතු යැ, දෙශනා කොට විවරණය කොට හෙලි කොට ආයතිසංවරයට පැමිණිය යුතු, තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම කයින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ කායකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති. පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති. මේ කායකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් කුසල්දම්හි දවරැය හික්මෙමින් වෙසෙන්නහු යැ.

රාහුලයෙනි, තෙපි බසින් යම් මැ කර්‍මයක් කරනු කැමැත්තහු ද, තොප විසින් එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය ..... දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම එකත්නෙන් නො කළයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු නම්: ‘‘මම් බසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවත්නේ යැ, පරහට දුක් පිණිස ද නො පවත්නේ යැ, දෙදෙනාට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් බසින් මෙබඳු කර්‍ම කටයුතු.

රාහුලයෙනි, තොප බසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති. පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දනිවු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවතී. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍මය නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ වාක්කකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ. සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු වාක්කර්‍ම කරව.

රාහුලයෙනි, තොප විසින් බසින් කර්‍මය කොට ද තොපගේ එ මැ වාක්කර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුක්ඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ වාක්කර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් මෙබඳු වාක්කර්‍මය ශාස්තෲන් කෙරෙහි හෝ නුවණැති සබ‍්‍රම්සරුන් කෙරෙහි හෝ දෙසියයුතු යැ, විවරණය කළයුතු යැ, හෙලිකළ යුතු යැ, දේශනා කොට විවරණය කොට හෙලි කොට ආයතිසංවරයට පැමිණියයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් බසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ වාක්කර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ වාක්කර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.

රාහුලයෙනි, තෙපි මනසින් යම් මැ කර්‍මයක් කරනු කැමැති වවු ද, තොප විසින් එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃ කර්‍මය තමහට දුක් පිණිස ද පවත්නේ යැ, පරහට දුක් පිණිස ද පවත්නේ යැ. දෙදෙනාට දුක් පිණිස ද පවත්නේ යැ. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම ඒකාන්තයෙන් නො කටයුතු. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කරනු කැමැතියෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො පවත්නේ යැ, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් මනසින් මෙබඳු කර්‍ම කටයුතු.

රාහුලයෙනි, තොප මනසින් කර්‍ම කරනුවන් විසිනුදු තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සියයුතු යැ: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති, මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු මනඃකර්‍ම නො කරව. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කෙරෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස නො මැ පවති, පරහට දුක් පිණිස නො පවති, දෙදෙනාට දුක් පිණිස නො පවති, මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ, සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි මෙබඳු මනඃකර්‍ම කරව.

රාහුලයෙනි, තොප විසින් මනසින් කර්‍මය කොට ද තොපගේ එ මැ මනඃකර්‍මය පිරික්සිය යුතු යැ: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද, මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. ඉදින් රාහුලයෙනි, තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: “මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද පවති, පරහට දුක් පිණිස ද පවති, දෙදෙනාට දුක් පිණිස ද පවති. මේ මනඃකර්‍මය අකුසල, දුක් වඩනේ යැ, දුඃඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තොප විසින් මෙසේ මනඃකර්‍මයෙහි පීඩිත වියයුතු යැ, ලජ්ජා වියයුතු යැ, ජුගුප්සා ඉපැදවියයුතු යැ. පීඩිත වැ ලජ්ජිත වැ ජූගුප්සා කොට ආයතිසංවරයට පැමිණියයුතු යැ. තවද රාහුලයෙනි, ඉදින් තෙපි පිරික්සන්නහු මෙසේ දන්නහු ද: ‘‘මම් මනසින් යම් කර්‍මයක් කෙළෙම් ද මාගේ මේ මනඃකර්‍මය තමහට දුක් පිණිස ද නො මැ පවති, පරහට දුක් පිණිස ද නො පවති, දෙදෙනාට දුක් පිණිස ද නො පවති. මේ මනඃකර්‍මය කුසල, සුව වඩනේ යැ සුඛවිපාක ඇතැ’’යි. රාහුලයෙනි, තෙපි එ මැ ප‍්‍රීතිප‍්‍රමෝද්‍යයෙන් කුසල්දහම්හි දවරැය හික්මෙමින් වාසය කරව.

රාහුලයෙනි, අතීතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍ම පිරිසුදු කළාහු නම් වාක්කර්‍මය පිරිසුදු කළාහු නම් මනඃකර්‍මය පිරිසුදු කළාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කළාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කළාහු යැ.

රාහුලයෙනි, අනාගතකාලයෙහි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කරන්නාහු නම් වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු නම් මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු නම් එහැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරන්නාහු යැ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරන්නාහු යි.

රාහුලයෙනි, මෙකල්හි යම් කිසි ශ‍්‍රමණ කෙනෙක් වේවයි බ‍්‍රාහ්මණ කෙනෙක් වේවයි කායකර්‍මය පිරිසුදු කෙරෙත් ද වාක්කර්‍මය පිරිසුදු කෙරෙත් ද මනඃකර්‍මය පිරිසුදු කෙරෙත් ද එ හැමදෙන මෙසෙයින් මැ පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කෙරෙති, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කෙරෙත්.

එහෙයින් රාහුලයෙනි, මෙහි පිරික්ස පිරික්සා කායකර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා වාක්කර්‍මය පිරිසුදු කරම්හ, පිරික්ස පිරික්සා මනඃකර්‍මය පිරිසුදු කරම්හ’යි රාහුලයෙනි, තොප විසින් මෙසේ මැ හික්මියයුතු.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටුසිත් ඇති රාහුලායුෂ්මත්හු භාග්‍යවතුන් ගේ භාෂිතයට සතුටු වූහ’යි.

පළමු වැනි අම්බලට්ඨිකරාහුලොවාද සූත‍්‍රය නිමියේය.