කීටාගිරි සූත්‍රය

2.2.10 කීටාගිරි සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් පිරිවරා කාසිජනපදයෙහි සැරි සරනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමැතූසේක: “මහණෙනි, මම් වූකලි රාත්‍රිභෝජනය හැරපියා මැ වළඳමි. මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන මම නීරෝග බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව, තෙපිදු මහණෙනි, රාත්‍රිභෝජනය හැරපියා මැ වළදවු. මහණෙනි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නහු නීරෝග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දැනගන්නවු යැ. ඒ මහණහු ‘එසේ යැ වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් කසී දනවුවෙහි සැරිසරනසේක් කීටාගිරි නම් වූ කසී දනවු වැසියන්ගේ නියම්ගමට පිළිපන්සේක. භාග්‍යවතුන් වහන්සේ කසීරටවැසියන්ගේ කීටාගිරි නම් වූ නියම්ගම්හි වාසය කරනසේක.

එසමයෙහි අස්සජි යැ පුනබ්බසුක යැ යන නම් ඇති මහණහු කීටාගිරියෙහි ආවාසිකයෝ වෙති. එකල්හි බොහෝ භික්ෂූහු අස්සජිපුනබ්බසුක භික්ෂූන් වෙත එළඹියාහු යැ. එළඹ අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට තෙල පවත් දැන්වූහ: “ඇවැත්නි, බුදුහු රාත්‍රිභොජන හැරපියා මැ වළඳති, භික්ෂූසඞ්‍ඝ තෙමේ ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. ඇවැත්නි, රාත්‍රිභෝජනය හැරපියා වළඳන්නාහු නීරෝග බව ද නිදුක්බව ද සැහැල්ලු පැවැත්ම ද සුවවිහරණය ද දැනගන්නාහ. එව, ඇවැත්නි, තෙපිදු රාත්‍රිභෝජනය හැරපියා මැ වළදවු. රාත්‍රීභෝජනය හැරපියා වළදන තෙපිදු නීරොග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුවවිහරණය ද දැනගන්නවු යැ. මෙසේ කී කල්හි අස්සජිපුනබ්බසුක මහණහු ඒ භික්ෂූන්ට තෙල වදන් කීහු: “ඇවැත්නි, ඇපි සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳම්හ. ඒ සවස්හිදු රැයිම්දු දහවල් විකාලයෙහිදු වළඳන ඇපි නිරාබාධ බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දනුම්හ. අපි සාංදෘෂ්ටික වූ අනුසස් හැරපියා මතුලැබිය යුතු අනුසසට කුමක් හෙයින් දුවමෝ ද ඇපි සවස්හිදු උදෑසනදු දහවල් විකාලයෙහිදු වළඳම්හ”යි. යම් හෙයෙකින් ඒ භික්ෂූහු අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වූවාහු ද එකල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස් වැ හුන්නාහු තෙල පවත් දැන්වූහ.

“වහන්ස, අපි මේ කීටාගිරියෙහි අස්සජිපුනබ්බසුක භික්ෂූන් වෙත එළඹ අස්සජිපුනබ්බසුක භික්ෂූන්ට තෙල පවත් දැන්වූම්හ: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ රාත්‍රි භෝජනය හැරපියා මැ වළඳන සේක ... සුවවිහරණය ද දන්නාසේකැ’යි. වහන්ස, මෙසේ කීකල්හි අස්සජිපුනබ්බසුක මහණහු අපට තෙල පවත් කීහ: “ඇවැත්නි, ඇපි වූකලි ... දහවල්හිදු විකාලයෙහි වළඳම්හ’යි. වහන්ස, යම් හෙයකින් අපි අස්සජිපුනබ්බසුක මහණුන් ගිවිස්වාලන්නට නො හැකි වුවමෝ ද, එකල්හි ඇපි තෙල පවත් භාග්‍යවතුන් වහන්සේට සැලකරම්හ’යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු ඇමැතූසේක: “එව මහණ, තෙපි මාගේ බසින් ‘ශාස්තෘහු ආයුෂ්මත් කැඳවාලතී’ අස්සජිපුනබ්බසුක මහණුන් කැඳවාලව”යි වදාළසේක. ‘එසේ යැ වහන්සැ’යි එ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී අස්සජිපුනබ්බසුක මහණුන් කරා එළඹ අස්සජිපුනබ්බසුක මහණුන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ’යි මෙ පවත් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි අස්සජිපුනබ්බසුක භික්ෂූහු එ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් අස්සජිපුනබ්බසුක මහණුන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

සැබෑද මහණෙනි, බොහෝ භික්ෂූහු තොප කරා එළඹ තෙල කීවාහු ඇපි ද: “ඇවැත්නි, භාග්‍යවත්හු රාත්‍රිභොජනය හැරපියා මැ වළඳති, භික්ෂූසඞ්‍ඝයා ද රාත්‍රිභෝජනය හැරපියා වළඳයි. තවද ඇවැත්නි, රාත්‍රිභොජනය හැරපියා වළඳන්නාහු නීරොග බව ද නිදුක් බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුවවිහරණය ද දන්නාහ. එව ඇවැත්නි, තෙපිදු රාත්‍රිභොජනය හැරපියා මැ වළඳව. ඇවැත්නි, තෙපිදු රාත්‍රිභොජනය වළඳන්නාහු නීරොග බව ද, නිදුක් බව ද, සැහැල්ලු පැවැතුම් ද, කායබලය ද, සුවවිහරණය ද දනිවු” යයි. මෙසේ කී කල්හි මහණෙනි, තෙපි ඒ භික්ෂූන්ට ඇවැත්නි, අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ. ඇපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳන්නමෝ නිරාබාධ බව ද නිරාතඞ්ක බව ද සැහැල්ලු පැවැතුම් ද කායබලය ද සුඛවිහරණය ද දනුම්හ. අපි කුමක් හෙයින් සාන්දෘෂ්ටික වූ සුවය හැරපියා කාලික වූ සුවය අනුධාවනය කරමෝ ද අපි සවස්හිදු උදාසනහි දු දහවල් විකාලයෙහි දු වළඳම්හ’යි මෙසේ කීවහු දැ”යි, එසේ යැ වහන්ස.

කිම මහණෙනි, තෙපි මෙසේ දහම් දෙසනලද විරූ දන්නවු ද? “මේ පුරුෂපුද්ගල යම්කිසි සුවයක් හෝ දුකක් හෝ නො දුක් නො සුවයක් හෝ විඳී ද, ඔහුට අකුසල් දහම්හු පිරිහෙති, කුසල්දහම්හු වැඩෙති”යයි. වහන්ස, තෙල නැත් මැ යැ. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසනලද විරූ දන්නහු නො ද? මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති, කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල් දහම්හු පිරිහෙති, කුසල් දහම්හු වැඩෙත්. මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු වැඩෙති. කුසල්දහම්හු පිරිහෙත්. තවද මෙලොවැ මෙබඳු වූ නො දුක් නො සුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති. කුසලදහම්හු වැඩෙත්”යයි. එසේ යැ වහන්ස.

මැනැවැ මහණෙනි. මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසිනු දු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියම් නම්, මහණෙනි, තෙල මට කිම් අනුරූප වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. මහණෙනි, යම් හෙයෙකින් “මෙලොවැ මෙබඳු සුඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබොධ කරන ලද දක්නා ලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛ වේදනාව හැරපියව’යි කියමි.

මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබොධ නො කරනලද නො දක්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම් මහණෙනි, තෙල මට කිම අනුරූප වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ සුඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ සුඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.

තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති. කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසිවන්නේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු දුක්ඛවේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල දහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම් මෙබඳු වූ දුඃඛවේදනාව හැරපියව’යි කියමි.

තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසිනුදු ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම්, මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව”යි කියම් නම්, මහණෙනි, කිම තෙල මට නිසි වන්නේ දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ දුඃඛවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ දුඃඛවේදනාව උපදවා වාස කරව’යි කියමි.

තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනා විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරන ලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නාවූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියම් නම්, කීම මහණෙනි, තෙල මට නිසි වේ දැ’යි? වහන්ස, නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුවවේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු වැඩෙති, කුසලදහම්හු පිරිහෙති” යන මේ කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව හැරපියව’යි කියමි.

තවද මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසලදහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ නො කරනලද නො දක්නාලද නො දන්නාලද නො පසක් කරනලද නො පහස්නාලද වී නම් මෙසේ නො දන්නා වූ මම මෙබඳු වූ අදුක්ඛමසුඛවේදනාව උපදවා වාස කරව’යි කියම් නම්, කිම මහණෙනි, තෙල මට නිසි වන්නේ දැ’යි? වහන්ස, තෙල නො වේ මැ යැ. යම් හෙයෙකින් මහණෙනි, “මෙලොවැ මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව විඳුනා ඇතැම් පුඟුලක්හට අකුසල්දහම්හු පිරිහෙති, කුසලදහම්හු වැඩෙති” යන මෙ තෙල කරුණ මා විසින් ප්‍රඥායෙන් අවබෝධ කරනලද දක්නාලද දන්නාලද පසක් කරනලද පහස්නාලද ද, එහෙයින් මම මෙබඳු වූ නොදුක් නොසුව වේදනාව උපදවා වාසය කරව’යි කියමි.

මහණෙනි, මම් හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් කෘත්‍යය කටයුතු යැයි නො කියමි. එතෙකුදුවත් මහණෙනි, මම හැම මහණුන් විසින් මැ අප්‍රමාදයෙන් නො කටයුතු යැ යි නො කියමි. මහණෙනි, අර්හත් වූ ක්ෂීණාස්‍රව වූ වැස නිම වූ මඟබඹසර ඇති සිවුමඟින් කළ කිස ඇති බහා තැබූ ස්කන්ධාදි බර ඇති රහත් බවට පැමිණි ක්ෂය වූ භවසංයෝජන ඇති මොනවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් වෙත් ද මහණෙනි, මම් එබඳු මහණුන්ට අප්‍රමාදයෙන් කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔවුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද. ඔහු පමා වන්නට නො නිස්සහ.

තවද මහණෙනි, ශෛක්ෂ වූ අර්හත්වයට නො පැමිණි සිත් ඇති යම් මහණ කෙනක් අනුත්තර වූ යෝගක්ෂේමය ප්‍රර්ථනා කෙරෙමින් වාසය කෙරෙත් ද, මහණෙනි, මම එබඳු මහණුන් විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැයි කියමි. ඒ කවරහෙයින යත්: “මේ ආයුෂ්මත්හු අනුලොම් වූ සෙනසුන් සේවනය කරන්නාහු කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නාහු ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් සම කෙරෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිදි වෙත් ද ඒ අනුත්තර වූ බඹසරවස් කෙළවර ආර්‍ය්‍යඵලය ඉහාත්මයෙහි මැ උත්තමප්‍රඥායෙන් ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කරන්නාහු නම් මැනැවැ” යි. මහණෙනි, මම මේ මහණුන්ට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.

මහණෙනි, මේ ලෝකයෙහි විද්‍යමාන වූ මේ පුද්ගලයෝ සත් දෙනෙක් ඇත. කවර සත් දෙනෙක යත්: උභාතොභාග විමුක්ත යැ ප්‍රඥාවිමුක්ත යැ කායසාක්ෂි යැ දෘෂ්ටිප්‍රාප්ත යැ ශ්‍රද්ධාවිමුක්ත යැ ධර්‍මානුසාරී යැ යන සත් දෙනා යි.

මහණෙනි, උභතොභාගවිමුක්තපුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙසස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනක් වෙත් නම් ඒ විමොක්ෂයන් නාමකයින් ස්පර්‍ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල උභාතොභාගවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවර හෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරන ලද, හේ පමා වන්නට නො නිස්ස.

මහණෙනි, ප්‍රඥාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනක් ඇත් ද ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ආස්‍රවයෝ ක්ෂය කරන ලද වෙති. මහණෙනි, මේ පුද්ගල ප්‍රඥාවිමුක්ත යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි නො කියමි. ඒ කවරහෙයින යත්: ඔහු විසින් අප්‍රමාදයෙන් කෘත්‍ය කරනලද, හේ පමදින්නට නො අභව්‍ය යි.

මහණෙනි, කායසාක්ෂි පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් යම් ශාන්තවිමොක්ෂ කෙනක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකායයෙන් ස්පර්‍ශ කොට වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රවයෝ ක්ෂය කරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල කායසාක්ෂි යැයි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාදයෙන් කටයුතු කළයුතු යයි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ශ්‍රද්ධාදිඉන්ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ උත්තම ප්‍රඥායෙන් ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මේ මහණහට මේ අප්‍රමාද ඵලය දකිමින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.

මහණෙනි, දෘෂ්ටිප්‍රාප්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට නො වෙසෙයි. එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් ආර්‍ය්‍යසත්‍යයන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරනලද වෙති. ඔහු විසින් තථාගතප්පවෙදිත ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට දක්නා ලද මොනොවට සරනලද වෙති. මහණෙනි, මේ පුද්ගල දෘෂ්ටිප්‍රාප්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉන්ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැ’යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාදඵලය දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.

මහණෙනි, ශ්‍රද්ධාවිමුක්ත පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට වාසය කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙන් ද සිව්සස් දැක ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය කරනලද වෙති. තථාගතයන් කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව ද බැසගත්තී හටගත්මුල් ඇති වැ පිහිටියා වෙයි. මහණෙනි, මේ පුද්ගල ශ්‍රද්ධාවිමුක්ත යැ යි කියනු ලැබේ. මහණෙනි, මේ මහණහට ද මම අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ මඟබඹසර කෙළෙවර වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තම ප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.

මහණෙනි, ධර්‍මානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් ස්පර්‍ශ කොට වාසය කෙරෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. තථාගතප්‍රවිදිත වූ ධර්‍මයෝ ද ප්‍රඥායෙන් අවධි වශයෙන් වටහත්. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. හෙ මෙසේ යැ: ශ්‍රද්ධෙන්ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්ද්‍රිය යැ ස්මෘතීන්ද්‍රිය යැ සමාධින්ද්‍රිය යැ ප්‍රඥෙන්ද්‍රිය යි. මහණෙනි, මේ පුද්ගල ශ්‍ර ධර්‍මානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මෙ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සෙවන කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉන්ද්‍රියයන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බ්‍රහ්මර්‍ය්‍යයාගේ පර්‍ය්‍යවසානය වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාදයෙන් කෘත්‍ය කටයුතු යැ යි කියමි.

මහණෙනි, ශ්‍රද්ධානුසාරී පුද්ගල කවරෙ යත්: මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසමාපත්තීන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනක් ඇද්ද, ඒ සමාපත්තීන් නාමකයින් අරමුණු කොට නො වෙසෙයි. ඔහු විසින් ප්‍රඥායෙනුදු සිව්සස් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු නො වෙති. තථාගතයන් කෙරෙහිදු ඔහු ගේ ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. තවද ඔහුට මේ ධර්‍මයෝ වෙති. හේ මෙසේ යැ: ශ්‍රද්ධෙන්ද්‍රිය යැ වීර්‍ය්‍යෙන්ද්‍රිය යැ ස්මෘතීන්ද්‍රිය යැ සමාධින්ද්‍රිය යැ ප්‍රඥෙන්ද්‍රිය යි. මේ පුද්ගල ශ්‍රද්ධානුසාරී යැ යි කියනු ලැබේ. මහණෙනි, මම මේ මහණහු විසිනුදු අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි. ඒ කවර හෙයින යත්: “මේ ආයුෂ්මත් අනුලොම් සෙනසුන් සෙවනය කෙරෙමින් කලණමිතුරන් භජනය කෙරෙමින් ඉඳුරන් සම කෙරෙමින් කුලපුත්‍රයෝ යමක් සඳහා මොනොවට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් ද, ඒ අනුත්තර වූ බඹසර කෙළවර වූ අර්‍හත්ඵලය මෙ අත්බැව්හි මැ තෙමේ උත්තමප්‍රඥායෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එය උපදවා වාසය කරන්නේ නම් මැනැවැ”යි . මහණෙනි, මම මෙ මහණහට මේ අප්‍රමාද අනුසස් දක්මින් අප්‍රමාද වැ කෘත්‍ය කටයුතු යැ යි කියමි.

මහණෙනි, මම පළමු කොට මැ රහත් බැව්හි පිහිටීම නො කියමි. එතෙකුදු වත් අනුපූර්‍වශික්ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්වයෙහි පිහිටීම වෙයි.

කිසෙයින් මහණෙනි, අනුපූර්‍වශික්ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්වයෙහි පිහිටීම වෙයි යත්: මහණෙනි, මෙලොව්හි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි, ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙයි, (සමීපයෙහි හිඳීයි.) උපාසන කරනුයේ ඇසීමට කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇත්තේ දහම් අසයි, අසා දහම් ප්‍රගුණ කොට ධරයි, ධැරූ ධර්‍මයන් ගේ අර්ථය නුවණින් විමසයි, අරුත් විමසන්නාහට ධර්‍මයෝ වටහත්, ධර්‍මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තුකම්‍යකුසලච්‍ඡන්‍ද උපදී, උපන් කුසලච්‍ඡන්‍ද ඇත්තේ වැර වඩයි, වැර වඩා (අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැ යි) තුලනය කෙරෙයි, (තීරණප්‍රඥායෙන්) තුලනය කරනුයේ ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නාමකයිනුදු පරමසත්‍ය ප්‍රත්‍යක්ෂ කෙරෙයි, (නාමකායසම්ප්‍රයුක්ත වූ) මාර්ගප්‍රඥායෙනුදු එ නිවන ප්‍රතිවෙධ කොට දකී.

මහණෙනි, (තොපට) ඒ ශ්‍රද්ධා නමුදු නො වී. මහණෙනි, ඒ එළැඹීම නුමුදු නො වී. මහණෙනි, ඒ පර්යුපාසන නුමුදු නො වී. මහණෙනි, ඒ කන් නතු කිරීම නුමුදු නො වී. මහණෙනි, ඒ ධර්‍මශ්‍රවණ නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් ධැරීම නුමුදු නො වී. මහණෙනි, ඒ අර්ථ විමසීම නුමුදු නො වී. මහණෙනි, ඒ දහම් වැටහීම නුමුදු නො වී. මහණෙනි, ඒ කුසලච්‍ඡන්‍ද නුමුදු නො වී. මහණෙනි, ඒ උත්සාහය නුමුදු නො වී. මහණෙනි, ඒ (අනිත්‍යාදි විසින්) තුලනය නුමුදු නො වී. මහණෙනි, ඒ ප්‍රධන්වීර්‍ය්‍ය නුමුදු නො වී. මහණෙනි, (තෙපි) විප්‍රතිපන්න වවු යැ. මහණෙනි, (තෙපි) මිථ්‍යා ප්‍රතිපන්න වවු යැ. මහණෙනි, මේ මෝඝපුරුෂයෝ මෙ සස්නෙන් කෙතෙක් දුර ඉක්ම ගියාහු ද?

මහණෙනි, විඥ වූ පුරුෂ උදෙසනලද යම් වෙය්‍යාකරණයක්හුගේ අර්ථය මඳ කලෙකින් මැ ප්‍රඥායෙන් දැන ගන්නේ ද, එබඳු වූ චතුස්සත්‍ය ව්‍යාකරණයෙක් ඇත. මහණෙනි, තොපට එය උදෙසෙන්නෙමි. මාගේ තෙල වෙය්‍යාකරණය දැනගනිවු දැ?යි. වහන්ස, ඇපි කවරයම්හ, දහම් අවබෝධ කරන්නාහු කවරහු දැ’යි. මහණෙනි, යම් ශාස්තෘවරයෙක් ආමිෂය ගරු කොට ඇත්තේ ආමිෂය දායාද කොට ඇත්තේ ආමිෂය හා හැනී වෙසේ ද, ඔහුට ද මෙ බඳු වූ අගය වැඩි අඩු කිරීමෙක් නො පැමිණේ. ‘අපට මෙසේ වන්නේ නම් එය කරම්හ. අපට මෙසේ නො ද වන්නේ නම් එය නො කරම්හ’යි . කිම මහණෙනි, යම් හෙයකින් තථාගතයෝ සර්‍වප්‍රකාරයෙන් ආමිෂයෙන් විසංඍෂ්ට වැ වාස කෙරෙත්ද එකල්හි මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: බුදුහු ශාස්තෘහ. මම ශ්‍රාවකයෙමි. බුදුහු දන්නාසේක. මම නො දනිමි’යි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන වැටෙන සැදැහැති ශ්‍රාවකයක්හට ශාස්තෘශාසනය ස්නේහවත් වැ වැඩෙනුයේ වෙයි, මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයාගේ මේ අනුධර්‍මය වෙයි: ‘ඒකාන්තයෙන් සම ද නහර ද ඇට ද ශේෂ වේවයි සිරුරෙහි මස්ලේ වියළේවයි යම් උත්තමාර්ථයක් පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියයුතු ද, ඊට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නො වන්නේ යයි. මහණෙනි, ශාස්තෘශාසනයෙහි හාත්පසින් නඟාගෙන සිටුනා ශ්‍රාවකයන්හට දෙ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති වියයුතු යැ. ඉහාත්මයෙහි අර්‍හත්ත්වය හෝ උපාදිහෝ උපාදිශෙෂය ඇති කල්හි අනාගාමිත්වය හෝ යි.

බුදුහු මෙය වදාළසේක. සතුටුසිත් ඇති මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ යි.

දසවැනි කීටාගිරි සුත්‍රය නිමියේය.

දෙ වැනි භික්ෂුවර්ගය යි.

එහි උද්දානය :

කූඤ්ජරෝපම රාහුලොවාද හෙවත් අම්බලට්ඨික රාහුලොවාද සූත්‍ර යැ, ලෝකය ශාශ්වත යැ ආදී දෘෂ්ටි ගත මාලුඞ්ක්‍යපුත්‍ර උදෙසා වදාළ චූලමාලුඞ්ක්‍ය සූත්‍රය හා මහාමාලුඞ්ක්‍ය සූත්‍ර යැ, එසේ ම භද්දාලි සූත්‍ර යැ, ක්ෂුද්‍රද්විජ වූ ලටුකිකොපම සූත්‍ර යැ, සහම්පතිහුගේ ආයාචනා එන චාතුම සූත්‍ර යැ, නළකපාන සූත්‍ර යැ, අරණ්‍යක වත් සඳහන් ගුලිස්සානී සූත්‍ර යැ, භද්‍ර වූ අනුපූර්ව ප්‍රතිපත්ති සඳහන් කීටාගිරි සූත්‍ර යි.