ගුලිස්සානි සූත්‍රය

2.2.9 ගුලිස්සානි සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කළන්දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසනසේක. එසමයෙහි ආරණ්‍යක වූ ඖදාරික ආචාර ඇති ‘ගුලිස්සානි’ නම් මහණ කිසියම් කටයුත්තෙකින් සඟමැදට පැමිණියේ වෙයි. එහි දී ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගුලිස්සානි මහණහු අරභයා හික්ෂූන් ඇමැතූසේක:

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරව සහිත වූවකු ප්‍රතිෂ්ඨා සහිත වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ සබ්‍රම්සරුන් කෙරෙහි අගෞරව ඇතියේ යටත් පැවැතුම් රහිත වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට වෙනෙහි එකලා වැ සෛ‍වරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් සබ්‍රම්සරුන් කෙරෙහි නො ගරු වූයේ යටත් පැවැතුම් නැතියේ වේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි සගරු වූවකු යටත් පැවැතුම් ඇතියකු වියයුතු යි.

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින්: “මෙසේ ස්ථවිර භික්ෂූන් ද නො ගටා හිඳින්නෙමි, නවකභික්ෂූන් ද ආසනයෙන් නො නෙරනෙමි”යි ආසනකුසල වූවකු වියයුතු යි. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණක මහණ ආසනකුසල නො වූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ වෙනෙහි සෛ‍වරීවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ආභිසමාචාරික වත පවා නො දනී” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් ආසනකුසලයකු විය යුතු යි.

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ ගමින් නො නික්මියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ ඉතා උදැසන ගම් වදී ද, ඉතා දහවල් වැ පෙරළා යේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මෙ ආයුෂ්මත්හට එකලා වැ වනසෙනසුන්හි සෛ‍වරීවිහරණයෙන් කිම? මෙ ආයුෂ්මත් ඉතා උදැසන ගම් වදී. ඉතා දහවල් වැ පෙරළා යේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු ඉතා උදැසන ගම් නො වැදියයුතු යැ. ඉතා දහවල් වැ පෙරළා නො යායුතු.

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හි හෝ පසුබත්හි හෝ (නො පැවරූ) කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ. ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ පෙරබත්හි හෝ පසුබත්හි හෝ නො පැවරූ කුලයන්හි සැරිසරා නම් ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍ද විහාරයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ විකාලචර්‍ය්‍යාව බහුලකරනලද, සඟමැදට ගියා වූ ද තුලුන් (එ විකාල චර්‍ය්‍යාව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට ගියා වූ සඟමැද වාසය කරන ආරණ්‍යක මහණහු විසින් පෙරබත්හිදු පසුබත්හිදු කුලයන්හි හැසිරීමට නො පැමිණියයුතු යැ.

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැදවසන ආරණ්‍යක මහණහු විසින් උඩඟු නො වූවකු චපල නො වූවකු වියයුතු යැ. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට පැමිණියේ සඟමැද වාසය කරනුයේ උද්ධත වූයේ චපල වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හු එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් වාසය කරන්නහු විසින් ඒකාන්තයෙන් මේ උඩඟු බව චපල බව බහුල කරනලද. සඟමැදට ගියා වූ ද තුලුන් (ඒ උඩඟු බව චපල බව) මැඩගෙන සිටී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු අනුද්ධත වූවකු අචපල වූවකු වියයුතු යැ.

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇතියකු විය යුතු ය, ඉදින් ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණ දොඩමලු වූයේ විසිරුණු වචන ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “ආරණ්‍යක වූ මේ ආයුෂ්මත්හුගේ එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍ද විහරණයෙන් කිම? මේ ආයුෂ්මත් මුඛරයෙක විකිර්‍ණවචන ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු විසින් දොඩමලු නො වූවකු නො විසිරුණු වචන ඇත්තකු විය යුතු යැ.

ඇවැත්නි, සඟමැදට පැමිණි සඟමැද වසන ආරණ්‍යක මහණහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සඟමැදට ගියේ සඟමැද වසනුයේ දුර්වච වූයේ පාපමිත්‍රයන් ඇත්තේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුර්‍වචයෙක පාපමිත්‍රයන් ඇත්තෙකැ’යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු සඟමැදට ගියහු සඟමැද වසන්නහු සුවච වූවකු කලණමිතුරන් ඇතියකු වියයුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ ඉඳුරන්හි නො පියූ දොර ඇතියේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක වූවහුට එකලා වැ වෙනෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් ඉඳුරන්හි නො පියූ දොර ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු ඉඳුරන්හි පියූ දොර ඇතියකු වියයුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු භෝජනයෙහි පමණ දන්නකු වියයුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ භෝජනයෙහි මාත්‍රඥ නොවූයේ වේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් භෝජනයෙහි මාත්‍රඥ නොවූයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් භෝජනයෙහි මාත්‍රඥ වූවකු විය යුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් නිදි දුරුකිරීමෙහි යෙදුණකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ නිදි දුරුකීරීමෙහි නො යෙදුණේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස‍වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් නිදි දුරුකිරීමෙහි නො යෙදුණෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් මහණ නිදි වැරීමෙහි යෙදුණකු විය යුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ කුසීතයෙක් වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ කුසීතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් ආරබ්ධවීර්‍ය්‍ය ඇතියකු විය යුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ මුළා සිහි ඇතියේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක හට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම, මේ ආයුෂ්මත් මුලාසිහි ඇත්තෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එළැඹසිටි සිහි ඇතියකු විය යුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇත්තකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ සමාධි රහිත වූයේ වේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලාවැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අසමාහිතයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු එකඟ කළ සිත් ඇතියකු විය යුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු කටයුත්තෙහි උපායප්‍රඥායෙන් යුක්ත වූවකු විය යුතු ය. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ දුෂ්ප්‍රාඥ වේ ද එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් දුෂ්ප්‍රාඥයෙකැ”යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු උපායප්‍රාඥ ඇත්තකු විය යුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මපිටකයෙහි ද විනයපිටකයෙහි ද පෙළ විසින් අටුවා විසින් යෝග කටයුතු ය. ඇවැත්නි, ආරණ්‍යක මහණහු අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහෙයි ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යකහට එකලා වැ අරණ්‍යයෙහි ස්වච්ඡන්‍දවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කිය හේ” යි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් අභිධර්‍මයෙහි අභිවිනයෙහි යෝග කටයුත්තේ යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ. ඇවැත්නි, රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනෙක් ඇද්ද, එහිලා ආරණ්‍යක මහණහු පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ රූපසමාපත්තීන් ඉක්මසිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනෙක් ඇද්ද, එහිලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියා හේ ද, ඔහුට නුගුණ කියන්නාහු වෙති: “මේ ආයුෂ්මත් ආරණ්‍යක මහණහට එකලා වැ අරණ්‍යයෙහි ස්වෛරීවිහරණයෙන් කිම? රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනෙක් ඇද්ද, මේ ආයුෂ්මත් එහි ලා පැන පුළුවුස්නා ලදුයේ සම්පාදනය කොට නො කියහේ” යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් රූපසමාපත්තීන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ශාන්තවිමොක්ෂ කෙනෙක් ඇද්ද, එහි යෝග කටයුතු යැ.

ඇවැත්නි, ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යොග කටයුතු යැ. ඇවැත්නි, ආරණ්‍යක මහණහු උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාහු ඇත. ඉදින් ඇවැත්නි, ආරණ්‍යක මහණ උතුරුමිනිස්දම්හි පැන පුළුවුස්නාලදුයේ සම්පාදනය කොට නො කියහේ ද, එකල්හි ඔහුට නුගුණ කියන්නාහු වෙති: “අරණ්‍යක වූ මේ ආයුෂ්මත්හට එකලා වැ අරණ්‍යයෙහි ස්වෙච්ඡාවිහරණයෙන් කිම? මේ ආයුෂ්මත් යම් උතුරුමිනිස්දහමක් සඳහා පැවිදි වූයේ ද, ඒ අර්ථය නොදනී”යයි ඔහුට නුගුණ කියන්නාහු වෙති. එහෙයින් ආරණ්‍යක මහණහු විසින් උතුරුමිනිස්දම්හි යොග කටයුතු යයි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහාමෞද්ගගල්‍යායන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ආරණ්‍යක මහණහු විසින් මැ මේ දහම්හු සමාදන් වැ ගෙන පැවැත්ත යුත්තාහු ද, නොහොත් ග්‍රාමාන්ත සෙනසුන්හි වසන මහණහු විසිනුදු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහු දැ”යි. ඇවැත්නි මෞද්ගගල්‍යායනයෙනි, ආරණ්‍යක මහණහුදු විසින් මේ දහම්හු සමාදන් වැ ගෙන වැටිය යුත්තාහ. ග්‍රාමාන්තවිහාරී මහණහු විසින් කියනු කිමැ”යි.

නව වැනි ගුලිස්සානි සුත්‍රය නිමියේය.