චාතුම සූත්‍රය

2.2.7 චාතුම සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද . එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ‘චාතුමා’ නම් ගම්හි වූ ඇඹුළු වෙනෙහි වැඩ වසනසේක. එසමයෙහි සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ (නව පැවිදි ) මහණහු චාතුමාවට භාග්‍යවතුන් දක්නා පිණිස පැමිණියාහු වෙති. ඒ අමුතු මහණහු ද නේවාසික භික්ෂූන් හා සමඟ පිළිසඳරකථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇති වූහ. එකල්හි බුදුහු ආනන්දය, මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් තෙලෙ කවුරු උස්හඬ මහහඬ ඇත්තාහු දැ’යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූහ.

වහන්ස, තෙල සැරියුත්මුගලන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යයවතුන් දක්නා පිණිස චාතුමාවට පැමිණියාහ. ඒ අමුතු මහණහු නිවැසි මහණුන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ” යි කීහ. එසේ වී නම් ආනන්දය ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි මාගෙ වචනයෙන් ඒ මහණුන් කැඳව’යි වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යයවතුන් වහන්සේට පිළිවදන් අස්වා ඒ මහණුන් කරා එළැඹ ‘බුදුහු ආයුෂ්මතුන් අමතන්නාහ’යි තෙල වදන් කීහ. ‘එසේ යැ ඇවැත්නි’යි ආයුෂ්මත් අනඳතෙරුන්ට පිළිවදන් අස්වා බුදුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූන්ට බුදුහු මෙය වදාළහ: කිම මහණෙනි, තෙපි මසුන් වොලොගැන්මෙහි කෙවුළන් සෙයින් උස්හඬ මහහඬ ඇති වූහු දැ’ යි.

වහන්ස, මේ සැරියුත්මුගලන් දෙතෙරණුවන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් දක්නා පිණිස චාතුමාවට පමිණියාහ. ඒ අමුතු මහණහු නේවාසික භික්ෂූන් හා සමඟ පිළිසඳර කථා කරන්නාහු සෙනසුන් පනවන්නාහු පාසිවුරු සඟවන්නාහු උස්හඬ මහහඬ ඇත්තාහ’යි. යව මහණෙනි, තොප පණාමන(බැහැර) කෙරෙමි. තොප මා වෙත නො විසියයුතු’ යයි. වදාළහ. ‘එසේ යැ වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අසුනින් නැඟී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට සෙනසුන ගොපනය කොට පාසිවුරු ගෙන නික්ම ගියහ.

එසමයෙහි චාතුම වැසි ශාක්‍යයෝ කිසි කටයුත්තෙකින් සන්ථාගාරයෙහි රැස්වූවාහු වෙති, චාතුමාවැසි ශාක්‍යයෝ දුරින් මැ යන ඒ භික්ෂූන් දුටුවාහු ය. දැක ඒ භික්ෂූන් කරා එළඹියාහු ය. එළඹ, ඒ භික්ෂූන්ට මෙපවත් කීහ: “සොඳය, ආයුෂ්මත්නි තෙපි (දැන්ම අවුත්) කොහි යැවූ දැ” යි. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුසඞ්ඝයා පණාමන කරන ලදැයි කීහ. එසේ නම් ඇවැත්නි මොහොතක් හුන මැනැව, අපි භාග්‍යවතුන් වහන්සේ පහදවාලන්නව හැකි වන්නමෝ නම් යෙහෙකැ’ යි කීහු. ‘එසේ යැ ඇවැත්නී, ඒ භික්ෂූහු චාතුමාවැසි සැහැරජුන්ට පිළිවදන් ඇස්වූහු.

ඉක්බිති චාතුමාවැසි සැහැරජහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහු ය. එලැඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදන කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චාතුමාවැසි ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා අභිනන්දන කෙරෙත්වා (ඊම රුස්මින් තුටු වෙත්වා) වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා, වහන්ස භාග්‍යවතුන් විසින් යම්සේ පෙර භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද නම් එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන සේක්වා. වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. භාග්‍යවතුන්ට දක්නට නො ලැබෙන ඔවුනට ප්‍රසාද අන්‍යථාත්වය වන්නේ ය. විපරිණාමාන්‍යථාත්වය වන්නේ ය. වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ (මලානයෙන්) අන්‍යථාත්වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. භාග්‍යවතුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්වය වන්නේ යැ විපරිණාමය වන්නේ යැ.

වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්වය වන්නේ ද. විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස මෙහි පැවිදි වූ නො බෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂුහු ඇත. භාග්‍යවතුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්වය වන්නේ යැ. විපරිණාමය වන්නේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා අභිනන්දන කෙරෙත්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කරන ලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කීහ.

එකල්හි සභම්පතීබ්‍රහ්ම තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දික් කරන්නේ හෝ වේ ද දික් කල අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මැ බඹලොව්හි අතුරුදහන් වූයේ බුදුන් හමුයෙහි පාළ වී. එක්බිති සභම්පතීබ්‍රහ්ම උතුරුසඟ එක්ස් කොට පෙරෙවැ බුදුන් දෙසට ඇඳිලි බැඳ මෙපවත් කී: “වහන්ස, භාග්‍යවත්හු භික්ෂුසඞ්ඝයා අභිනන්දනය කෙරෙත්වා, වහන්ස භාග්‍යවත්හු භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද, එසෙයින් මැ භාග්‍යවත්හු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්වා. වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති, මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.

වහන්ස, යම්සේ දියවර නො ලැබෙන තරුණබීජයන්ගේ අන්‍යථාත්වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. බුදුන් දක්නට නො ලැබෙන ඔවුනට අන්‍යථාත්වය වන්නේ යැ, විපරිණාමය වන්නේ යි.

වහන්ස, යම්සේ මව නො දක්නා තුරුණු වස්සාට අන්‍යථාත්වය වන්නේ ද විපරිණාමය වන්නේ ද, එසෙයින් මැ වහන්ස, මෙහි පැවිදි වූ නොබෝකල් ඇති මෙසස්නට අළුත පැමිණි නවකභික්ෂූහු ඇත. බුදුන් නො දක්නා ඔවුනට අන්‍යථාත්වය වන්නේ යැ විපරිණාමය වන්නේ යි. වහන්ස, භාග්‍යවත්හු භික්ෂුසඞ්ඝයා අභිනන්දන කෙරෙත්වා වහන්ස, භාග්‍යවත්හු භික්ෂුසඞ්ඝයා ස්වාගත කොට බෙණෙත්වා. වහන්ස, යම්සේ භාග්‍යවතුන් විසින් පෙර භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කරනලද ද එසෙයින් මැ බුදුහු දැන් භික්ෂුසඞ්ඝයා අනුග්‍රහ කෙරෙත්ව” යි කී.

චාතුමවැසි ශාක්‍යයෝ ද ස්භම්පතිබ්‍රහ්ම ද බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවතුන් පහදවන්නට හැකි වූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භික්ෂූන් ඇමැතූහ: “ඇවැත්නි නැඟෙව, පාසිවුරු ගනුව, චාතුමවැසි ශාක්‍යයන් විසිනුදු සභම්පතිබ්‍රහ්ම විසිනුදු බීජෝපමායෙන් හා තරුණෝපමායෙන් හා භාග්‍යවත්හු පහදවන ලදහ” යි. ‘එසේ යැ ඇවැත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දී හුනස්නෙන් නැගී පාසිවුරු ගෙන බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට බුදුහු මෙය වදාළහ: “ශාරිපුත්‍රයෙනි, මා විසින් භික්ෂුසඞ්ඝයා පණමන(බැහැර) කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ එලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, ඇපිදු දැන් අල්පොත්සුක වැ එලසමවත්සුව විහරණයෙහි යෙදී වසම්හ” යි නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි, නවතුව තෙපි ශාරිපුත්‍රයෙනි. ශාරිපුත්‍රයෙනි, තොප විසින් වටාලා මෙබඳු සිතෙක් නො ඉපැදවියයුතු” යයි. වදාළහ.

ඉක්බිති බුදුහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් ඇමතූසේක: “මොග්ගල්ලානයෙනි, මා විසින් භික්ෂුසඞ්ඝයා පණමන කළ කල්හි තොපට කෙබඳු සිතෙක් වී දැ” යි. වහන්ස, භාග්‍යවතුන් විසින් භික්ෂුසඞ්ඝයා පණමන කළ කල්හි මට මෙබඳු සිතෙක් වී: “බුදුහු දැන් අල්පොත්සුක වැ එලසමවත්සුව විහරණයෙහි යෙදී වෙසෙති, දැන් මම ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද භික්ෂුසඞ්ඝයා පරිහරණ කරම්හ” යි කීහ. සාධු සාධු මෞදගල්‍යානයෙනි, මම හෝ මෞදගල්‍යානයෙනි, භික්ෂුසඞ්ඝයා පරිහරණ කරන්නෙමි. සැරියුත් මුගලන් දෙදෙන හෝ පරිහරණ කරන්නාහ’යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, දියට බස්නා පුඟල්හු කෙරෙහි මේ සතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යයි. මහණෙනි, මෙසතර භය දියට බස්නා පුඟල්හු කෙරෙහි කැමැති වියයුත්තාහ. එසෙයින් මැ මහණෙනි, ගිහිගෙන් නික්ම අනාගාර්ය්‍ය වූ මෙසස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලක්හු කෙරෙහි මෙසතර බිය කෙනෙක් කැමැති වියයුත්තාහ. කවර සතරෙක යත්: ඌමිභය කුම්භීලභය ආවට්ටභය සුසුකාභය යන මොහු යි.

මහණෙනි, ඌමිභය කවරෙ යත්: මහණෙනි, මේලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. ජාතිදුකින් ජරායෙන් හා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් චෛතසික දුකින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මෙහැම දුඃඛරාශීහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ’යි කියා යි. එසේ පැවිදි වූ ඔහුට සබ්‍රහ්මචාරීහු: “තොප විසින් මෙසේ ඉදිරියට යායුතු යැ තොප විසින් මෙසේ පෙරළා ඉයයුතු යැ තොප විසින් මෙසේ ඉදිරිය බැලියයුතු යැ තොප විසින් මෙසේ අත්පා හැකිළිය යුතු යැ තොප විසින් මෙසේ අත්පා දිගුකළයුතු යැ, තොප විසින් මෙසේ සඟළ පාසිවුරු දැරියයුතු යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙත්. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ඇපි පෙර ගිහිගෙයි වැසි වූවමෝ අන්හට අවවාදත් කරම්හ, අනුශාසනාත් කරම්හ. මොහු වැලිත් අපගේ පුතුන් වැන්නහ. මුනුබුරන් වැන්නහ. අප අවවාද කටයුතු කොට අනුශාසනා කටයුතු කොට සිතන්නාහ’යි හේ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම ඌමි බියෙන් බියපත් වූයේ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට හීන වූ ගිහි බවට වැටුණේ යයි කියනු ලැබේ. මහණෙනි, ඌමිභය යනු කෝධුපායාසයට තෙල නමෙකි.

මහණෙනි, කුම්භීලභය කවරෙ යත්: මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම අනාගර්ය්‍ය වූ ශාසනයෙහි පැවිදි වූයේ වෙයි. ජාතියෙන් ජරමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් කායිකදුකින් දොම්නසින් උපායාසයෙන් දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශීහුගේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි

එසේ පැවිදි වූ ඔහුට සබ්‍රම්සරහු: “තොප විසින් මේ නො කෑයුතු යැ මේ තොප විසින් බිඳියයුතු යැ මේ තොප විසින් නො බිඳියයුතු යැ මේ තොප විසින් ආස්වාද කටයුතු යැ මේ තොප විසින් ආස්වාද නො කටයුතු යැ මේ තොප විසින් පියයුතු යැ මේ තොප විසින් නො පියයුතු යැ කැප දැය තොප විසින් කෑයුතු යැ නො කැප දැය තොප විසින් නො කෑයුතු යැ කැප දැය තොප විසින් බිදියයුතු යැ නො කැප දැය තොප විසින් නො බිදියයුතු යැ කැප දැය තොප විසින් ආස්වාද කටයුතු යැ නො කැප දැය තොප විසින් ආස්වාද නො කටයුතු යැ කැප දැය තොප විසින් පියයුතු යැ නො කැප දැය තොප විසින් නො පියයුතු යැ කාලයෙහි තොප විසින් කෑයුතු යැ විකාලයෙහි තොප විසින් නො කෑයුතු යැ කාලයෙහි තොප විසින් බිදියයුතු යැ විකාලයෙහි තොප විසින් නො බිදියයුතු යැ කාලයෙහි තොප විසින් ආස්වාද කටයුතු යැ විකාලයෙහි තොප විසින් ආස්වාද නො කටයුතු යැ. කාලයෙහි තොප විසින් පියයුතු යැ විකාලයෙහි තොප විසින් නො පියයුතු” යයි අවවාද කෙරෙති අනුශාසනා කෙරෙති. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි පෙර ගිහිගෙයි වසන්නමෝ යමක් කැමැතියමෝ නම් එය කම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො කම්හ, යමක් කැමැත්තමෝ නම් එය බුදිම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය නො බුදිම්හ, යමක් කැමැත්තමෝ නම් එය ආස්වාද කරම්හ, යමක් නොකැමැත්තමෝ නම් එය ආස්වාද නො කරම්හ, යමක් කැමැත්තමෝ නම් එය පානය කරම්හ, යමක් නො කැමැත්තමෝ නම් එය පානය නො කරම්හ. කැප දැය ද කම්හ, අකැප දැය ද කම්හ, කැප දැය ද බුදිම්හ, අකැප දැය ද බුදිම්හ, කැප දැය ද ආස්වාද කරම්හ, අකැප දැය ද ආස්වාද කරම්හ, කැප දැය ද පානය කරම්හ, අකැප දැය ද පානය කරම්හ, කාලයෙහි ද කම්හ, විකාලයෙහි ද කම්හ, කාලයෙහි ද බුදිම්හ, විකාලයෙහි ද බුදිම්හ, කාලයෙහි ද ආස්වාද කරම්හ. විකාලයෙහි ද ආස්වාද කරම්හ, කාලයෙහි ද පානය කරම්හ, විකාලයෙහි ද පානය කරම්හ, සැදැහැති ගැහැවියෝ දහවල් විකාලයෙහි යම් ප්‍රණීත ඛාද්‍යයක් භෝජ්‍යයක් අපට දෙත්ද, එහිදු මොවුන් මුඛාවරණය කරන්නවුන් මෙනැ” යි. හේ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට වැටෙයි. මහණෙනි, මේ තෙම කුම්භීලභීතියෙන් (කිම්බුල්බියෙන්) බියපත් වූයේ ශික්ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහිබවට පැමිණියේ යයි කියනු ලැබේ. මහණෙනි, ‘කුම්භීලභය’ යි ඖදරික බවට තෙල නමෙකි.

මහණෙනි, ‘ආවට්ටභය’ කවරෙ යත්; “මහණෙනි මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි. “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ අසම්මිශ්‍ර වූ දුඃඛරාශීහුගේ කෙළවර කිරීමේක් පැනේ නම් මැනැවැ” යි කියායි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි. හේ එහි දී පස්කම්ගුණයෙන් යුක්ත වූ සමන්විත වූ ඉඳුරන් පිණවන ගැහවියකු හෝ ගැහැවිපුතකු හෝ දකියි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඇපි වනාහි පෙර ගිහිගෙයි වසන්නමෝ පස්කම් ගුණයෙන් යුක්ත වැ සමන්විත වැ ඉඳුරන් පිණවූම්හ. කුලයෙහි භොගයෝ ඇත් මැ යැ. භොගයන් පරිභොග කරන්නට ද පින් කරන්නට ද හැක්කැ” යි.හේ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම, ‘ආවට්ට (දියසුළි) භයින් බියපත් වූයේ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටිණැ’ යි කියනු ලැබේ. මහණෙනි, ‘ආවට්ටභය’යි තෙල පස්කම් ගුණයනට නමෙකි.

මහණෙනි, ‘සුසූකාභය’ කවරෙ යත්: “මහණෙනි, මෙලොවැ ඇතැම් කුලපුත්‍රයෙක් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වෙයි: “ජාතියෙන් ජරාමරණයෙන් ශොකයෙන් පරිදෙවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඩනාලදුයෙමි. දුකට බටුයෙම් දුකින් මඩනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශීහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් මැනැවැ” යි කියා යි. හේ මෙසේ පැවිදි වූයේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ගමකට හෝ නිගමයකට හෝ නො රක්නාලද කය ඇති වැ නො රක්නාලද වචන ඇති වැ නො එළවූ කාගියාසී ඇති වැ සංවර නො කළ ඉඳුරන් ඇති වැ පිඬුසිඟා පිවිසෙයි.හේ එහි දී මාගමක නපුරු කොට හැඳියා හෝ නපුරු කොට පෙරෙවියා දකියි. මාගම් නපුරු කොට හැදියා හෝ නපුරු කොට පෙරෙවියා දැක රාගය ඔහුගේ සිත ක්ලාන්ත කෙරෙයි. හේ රාගයෙන් කලකුළුසිතින් යුතු වැ ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙයි. මහණෙනි, මේ තෙම සුසුකා (සැඬමසු) භයෙන් භීත වැ ශික්ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටුණේ” යයි කියනු ලැබේ. මහණෙනි, තෙල ‘සුසුකාභය’ යනු මාගමට නමෙකි.

මහණෙනි, මොහු මෙලොවැ ගිහිගෙන් නික්ම අනාගාර්ය වූ මෙ සස්නෙහි පැවිදි වූ ඇතැම් පුඟුලන් කෙරෙහි කැමති වියයුතු සතර බිය වෙත් යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහයි.

සත් වැනි චාතුමසූත්‍රය නිමියේය.