චූළමාලුඞ්ක්‍ය සූත්‍රය

2.2.3 චූළමාලුඞ්ක්‍ය සූත්‍රය

   

මා විසින් මෙසේ අසන ලද. එක්කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් චූළමාලුඞ්ක්‍ය තෙරුන්ට මෙසේ සිතට විතර්කයෙක් උපන. භාග්‍යවතුන් විසින්: “ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ලෝකය අන්තවත් යයි ද ලෝකය අනන්තවත් යයි ද එ මැ ජීව යැ එ මැ ශරීර යයි ද ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි ද සත්ත්ව තෙම මරණින් මතු වේ යයි ද සත්ත්ව තෙම මරණින් මතු නො වේ යයි ද සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වේ යයි ද සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි. නො වන්නේ නො වේ යයි දැ” යි යම් දෘෂ්ටිගත කෙනෙක් ප්‍රකාශ නො කරන ලද්දහු ද තබනලද්දාහු ද ප්‍රතික්ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. යම් දෘෂ්ටිගත කෙනෙකුන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙත් නම් එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙ කරුණ පුඵවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ මැ ජීව යැ එ මැ ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්ව තෙම මරණින් මතු වෙයි හෝ සත්ත්ව තෙම මරණින් මතු නොවෙයි හෝ සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් වෙයි නො වන්නේත් වෙයි හෝ සත්ත්ව තෙම මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වෙයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැ හෝ ලෝකය අශාශ්වත යැ හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම් ශික්ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”.

ඉක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර, සවස් වේලෙහි විවේකයෙන් නැගීසිටියේ බුදුන් කරා එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යප්‍රත්‍ර “වහන්ස, මෙහි එකලා වැ විවේනයෙන් හුන් මාගේ සිතට මෙබඳු විතර්කයක් උපන. ‘ලෝකය ශාශ්වත යයි ද ලෝකය අශාශ්වත යයි ද ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි ද යම් දෘෂ්ටිගත කෙනෙක් භාග්‍යවතුන් විසින් ප්‍රකාශ නො කරන ලද්දාහු ද තබන ලද්දාහු ද ප්‍රතික්ෂේප කරන ලද්දාහු ද ඒ දෘෂ්ටිගතයන් බුදුහු මට ප්‍රකාශ නො කෙරෙති. බුදුහු යම් දෘෂ්ටිගත කෙනෙක් මට ප්‍රකාශ නො කෙරෙත් ද එය මට නො රිසි වෙයි. එය මට නො කැමැති වෙයි. මම බුදුන් කරා එළැඹ මෙකරුණ පුඵවුස්නෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යැයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නොවේ යයි හෝ ප්‍රකාශ කෙරෙත් නම් මෙසෙයින් මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. ඉදින් මට බුදුහු: “ලෝකය ශාශ්වත යයි හෝ ලෝකය අශාශ්වත යයි හෝ ... සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් මෙසෙයින් මම ශික්ෂාප්‍රත්‍යඛ්‍යානය කොට ගිහි බවට වැටෙමි”යි.

ඉදින් බුදුහු ‘ලෝකය ශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය ශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අශාශ්වත යැ’යි දනිත් නම් ‘ලෝකය අශාශ්වත යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.

ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු ‘ලෝකය අනන්තවත් යැ’යි දනිත් නම් ‘ලෝකය අනන්තවත් යැ’යි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දන්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.

ඉදින් බුදුහු: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි දනිත් නම් බුදුහු මට ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දනිත් නම් බුදුහු මට: ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘එමැ ජීව යැ එ මැ ශරීර යැ’යි හෝ ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.

ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වේ’ යයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ’ යැයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ’ යයි බුදුහු ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වේ’යි හෝ ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ’යි හෝ නො දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට වැළිත් ‘නො දන්මි නො දක්මි’ යන තෙල වදන් මැ ඍජු වෙයි.

ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි දනිත් නම් ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ’ යයි බුදුහු මට ප්‍රකාශ කෙරෙත්වා. ඉදින් බුදුහු: ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ හෝ ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ නො ද දන්නාහු නම් නො දන්නාහට නො දක්නාහට ‘නො දන්මි නො දක්මි’, යන තෙල වදන් මැ ඍජු වෙයි.

වා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’. ‘‘ත්‌වං වා පන මං එවං අවච – අහං, භන්‌තෙ, භගවති බ්‍රහ්‌මචරියං චරිස්‌සාමි, භගවා මෙ බ්‍යාකරිස්‌සති – ‘සස්‌සතො ලොකො’ති වා, ‘අසස්‌සතො ලොකො’ති වා, ‘අන්‌තවා ලොකො’ති වා, ‘අනන්‌තවා ලොකො’ති වා, ‘තං ජීවං තං සරීර’න්‌ති වා, ‘අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීර’න්‌ති වා, ‘හොති තථාගතො පරං මරණා’ති වා, ‘න හොති තථාගතො පරං මරණා’ති වා, ‘හොති ච න ච හොති තථාගතො පරං මරණා’ති වා, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති වා’’ති? ‘‘නො හෙතං, භන්‌තෙ’’.

මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, කිම තට මම මෙසේ කීයෙම් ද: “එව මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, තෙපි මා කෙරෙහි බඹසර වෙසෙව මම තොපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙවෙයි’ හෝ ප්‍රකාශ කෙරෙමි” යයි. වහන්ස, තෙල නො වේ මැ යැ. තවද තෙපි හෝ මට මෙසේ කිවහූ ද: “වහන්ස මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි. බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි’ හෝ ප්‍රකාශ කරන්නේ”යයි. වහන්ස, තෙල නො වේ මැ යැ.

මෙසේ මාලුඞ්ක්‍යපුත්‍රය මම තොපට නො මැ කීයෙම් නම්: “එව තෙපි මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, මා කෙරෙහි බඹසර වෙසෙව, මම තෙපට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ යැ’යි හෝ ප්‍රකාශ කෙරෙමි යයි. තො ද මට නො කීයෙම් නම්: “වහන්ස, මම බුදුන් කෙරෙහි බඹසර වෙසෙමි, බුදුහු මට: ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ යැ’යි හෝ ප්‍රකාශ කරන්නේ යැ”යි. මෙසේ ඇති කල්හි තුච්ඡපුරුෂය, (යාචිතක හෝ යාචක) කවරෙක් වූයෙහි (යාචිතක හෝ යාචක වූ) කවරක්හට ප්‍රකාශ කරන්නෙහි ද.

මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම් තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වේ’ යැයි හෝ ප්‍රකාශ නො කෙරෙත් නම් ඒතාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි” කියා නම් මාලුඞ්ක්‍යපුත්‍රය එය තථාගතයන් විසින් ප්‍රකාශ නො කරනලද මැ වන්නේ යැ. එකල්හි ඒ පුද්ගල කලුරිය කරන්නේ යැ යම්සේ මාලුඞ්ක්‍යපුත්‍රය, පුරුෂයෙක් බොල් කොට තැවැරැ විෂසහිත හීයෙකින් විදුනාලද්දේ වන්නේ ද ඔහුගේ සගයහළුවෝ නැසහලේනැයෝ ශල්‍යවෛද්‍යයකු එළවන්නාහු නම් හේ මෙසේ කියන්නේ යැ: ‘ක්ෂත්‍රිය වේවයි බ්‍රාහ්මණ වේවයි වෛශ්‍ය වේවයි ශුද්‍ර වේවයි යමක්හු විසින් මම් විදුනාලදුයෙම් ද යම්තාක් ඒ පුරුශයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි’යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ මෙබදු නම් ඇත්තේ යැ මෙබදු ගෝත්‍ර ඇත්තේ යැ’යි යම් තාක් මම ඒ පුරුෂයා නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ දීර්ඝ යැ හෝ භ්‍රස්ව යැ හෝ මධ්‍යම යැ හෝ යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ කඵ යැ හෝ සමවන් යැ හෝ කබරසිවි ඇත්තේ යැ හො’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමක්හු විසින් මම විදුනාලදුයෙම් ද හේ අසුවල්ගම්හි හෝ යැ නියම්ගම්හි හෝ යැ හෝ නුවරෙහි හෝ’යි ඒ පුරුෂයා යම්තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් චාපයෙක් වේවයි ඉදින් කොදණ්ඩයෙක් වේවයි යම්තාක් මම ඒ දුන්න නො දනිම් ද ඒතාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් වරාහුයින් කරනලද වේවයි ඉදින් හුණුරැහැනින් කරනලද වේවයි ඉදින් නහරින් කරනලද වේවයි ඉදින් මරුවා (ඝණ) වැහැරින් කරනලද වේවයි ඉදින් කිරුපනින් කරනලද වේවයි යම් තාක් ඒ දුනුදිය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් කැසෙහි උපන් වේවයි රෝපණය කොට වඩනලද වේවයි යම්තාක් ඒ හීය නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගිජුලිහිණියකු ගේ වේවයි ඉදින් ලොහොතුඞුවකුගේ වේවයි ඉදින් උකුසකුගේ වේවයි මොනරකුගේ වේවයි ඉදින් සිථිලභනු ලිහිණියකුගේ වේවයි යමක්හුගේ පතින් වෙග දනවන ලද ද ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමෙකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ගවයකුගේ වේවයි ඉදින් මිහිවකුගේ වේවයි ඉදින් වලසකුගේ වේවයි ඉදින් වඳුරෙකු ගේ වේවයි යමෙකුගේ නහරින් වෙළන ලද නම් ඒ හීය යම් තාක් නො දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි“යි.

හේ මෙසේ කියන්නේ යැ: “යමකින් මම විදුනාලදුයෙම් ද ඉදින් ශල්‍ය වේවයි ඉදින් බුරප්ප වේවයි ඉදින් වෙකණ්ඩ වේවයි ඉදින් නාරාව වේවයි ඉදින් වච්ඡදන්ත වේවයි ඉදින් කරවිරපත්‍ර වේවයි ඒ ශල්‍ය්‍ය යම්තාක් නෙ දනිම් ද ඒ තාක් මම මේ ශල්‍යය නො ගනිමි”යි කියන්නේ නම්, මාලුඞ්ක්‍යපුත්‍රය, ඒ පුරුශයා විසින් තෙලෙ නො දන්නාලද මැ වන්නේ ද ඉක්බිති එපුරිස් කලුරිය කරන්නේ යැ.

එසෙයින් මැ මාලුඞ්ක්‍යපුත්‍රය, යමෙක් මෙසේ කියා නම්: “යම්තාක් බුදුහු මට ‘ලෝකය ශාශ්වත යැ’ හෝ ‘ලෝකය අශාශ්වත යැ’යි හෝ ... ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නෙ වෙයි’ හෝ ප්‍රකාශ නො කෙරෙත් ද ඒ තාක් මම බුදුන් කෙරෙහි බඹසර නො වෙසෙමි”යි. මාලුඞ්ක්‍යපුත්‍රය, තථාගතයන් විසින් ඒ ප්‍රකාශ නො කරනලද මැ වෙයි. ඉක්බිති ඒ පුද්ගල තෙම කලුරිය කරන්නේ යැ.

මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අශාශ්වත යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හ ‘ලෝකය අශාශ්වත යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්මකෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ. සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.

මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අනන්තවත් යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය අන්තවත් යැ’යි හෝ ‘ලෝකය අනන්තවත් යැ’යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ. ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.

මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘එ මැ ජීවයැ එ මැ ශරීර යැ’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’ යි හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘මම් යම් ධර්ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ. මරණය ඇත් මැ යැ, සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි’.

මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්ව තෙම මරණින් මතු වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්ව තෙම මරණින් මතු නො වේ යයි දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේත් නැත. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්ව තෙම මරණින් මතු වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි ‘සත්ත්ව තෙම මරණින් මතු නො වෙයි’ හෝ දෘෂ්ටිය ඇති කල්හි මම් යම් ධර්ම කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් නම් ඒ ජාතිය ඇත් මැ යැ, ජරාව ඇත් මැ යැ, මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යී.

මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි. එසේ නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්ව තෙම මරණින් මතු නෙ මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි බ්‍රහ්මචරියවාසයෙක් වන්නේ දැ’යි, එසේත් නො වෙයි. මාලුඞ්ක්‍යපුත්‍රය, ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ ‘සත්ත්ව තෙම නො මැ වෙයි නො ද නො වේ යයි’ දෘෂ්ටිය ඇති කල්හි හෝ මම් යම් කෙනකුන්ගේ ඉහාත්මයෙහි මැ විනාශය පනවම් ද ඒ ජාතිය ඇත් මැ යැ ජරාව ඇත් මැ යැ මරණය ඇත් මැ යැ සෝක පරිදේව දුක්ඛදොමනස්ස උපායාසයෝ ඇත්තාහු මැ යි.

එ‍හෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් ප්‍රකාශ නො කරනලද්ද ද ප්‍රකාශ නො කරනලද හෙයින් දරන්නේ යැ. මා විසින් ප්‍රකාශ කරනලද්ද ද ප්‍රකාශ කරනලද හෙයින් දරන්නේ යැ. මාලුඞ්ක්‍යපුත්‍රයෙනි, වැළිත් මා විසින් කුමක් අව්‍යාකෘත ද? මාලුඞ්ක්‍යපුත්‍රය, ‘ලෝකය ශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අශාශ්වත යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ලෝකය අනන්තවත් යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්ව තෙම මරණින් මතු නො වන්නේ යැ’යි මා විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්ව තෙම මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වේ ය’යි මැ විසින් අව්‍යාකෘත යැ. ‘සත්ත්ව තෙම මරණින් මතු නො මැ වෙයි නො ද නො වේ‘ යයි මා විසින් අව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, කුමක් හෙයින් තෙලෙ මා විසින් නොපනවන ලද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය, තෙල අර්ථසංහිත නො වෙයි. මඟබඹසරට ආදි වූ ශීලමාත්‍ර ද නො වෙයි. මෙසෙයින් ඒ නිර්වේදය පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ව්‍යුපශම පිණිස නො වෙයි. අභිඥා පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිර්වාණය පිණිස නො පවතී, එහෙයින් මා විසින් ඒ අව්‍යාකෘත වේ.

මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වැළිත් කිමෙක් ව්‍යකෘත ද යත්: මාලුඬ්ක්‍යපූත්‍රය, ‘මේ දුකැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛසමුදය යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරොධයැ’යි මා විසින් ව්‍යාකෘත යැ. ‘මේ දුක්ඛනිරොධ ගාමිනීප්‍රතිපදා යැ’යි මා විසින් ව්‍යාකෘත යැ. මාලුඞ්ක්‍යපුත්‍රය, මා විසින් වළිත් කුමක් හෙයින් තෙලෙ ව්‍යාකෘත ද යත්: මාලුඞ්ක්‍යපුත්‍රය යම් හෙයකින් තෙලෙ අර්ථසංහිත ද තෙලෙ මඟබඹසරට ආදිවු ශීලමාත්‍ර වේ ද මෙසෙයින් ඒ නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපම පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්වාණය පිණිස පවතී ද ඵහෙයින් ඒ මා විසින් ව්‍යාකෘත යැ. එහෙයින් මාලුඞ්ක්‍යපුත්‍රය, මෙහි මා විසින් අව්‍යාකෘතය ද අව්‍යාකෘත හෙයින් දරන්නේ යැ. මා විසින් ව්‍යාකෘතය ද ව්‍යාකෘත හෙයින් දරන්නේ යයි.

බුදුහු මෙය වදළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර භාග්‍යවතුන්ගේ භාෂිතයට සතුටු වී යයි.

තුන් වැනි චූළමාලුඞ්ක්‍ය සූත්‍රය නිමියේය.