නළකපාන සූත්‍රය

2.2.8 නළකපාන සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසල ජනපදයෙහි නළකපාන ගමැ කෑලවෙනෙහි වැඩවසනසේක. එසමයෙහි ඉතා ප්‍රසිද්ධ වූ බොහෝ කුලපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙති. ආයුෂ්මත් අනුරුද්ධ යැ ආයුෂ්මත් භද්දිය යැ ආයුෂ්මත් කිම්බිල යැ ආයුෂ්මත් භගු යැ ආයුෂ්මත් කුණ්ඩධාන යැ ආයුෂ්මත් රෙවත යැ ආයුෂ්මත් ආනන්‍ද යැ අන්‍ය වූ ද ඉතා ප්‍රසිද්ධ වූ කුලපුත්‍රයෝ යි.

තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුසඞ්ඝයා චිසින් පිරිවරන ලද්දාහු අභ්‍යවකාශයෙහි වැඩහුන්සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ කුලපුත්‍රයන් අරභයා හික්ෂූන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවාහු වෙත් ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි අභිරත වූවාහු දැ යි විචාළසේක. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නො බැණ හුන්හු. දෙවෙනවටදු ... නො බැණ හුන්හු. තෙවනවටදු බුදුහු ඒ කුලපුත්‍රයන් අරභයා මහණුන් ඇමැතූසේක: “මහණෙනි, යම් කුලපුත්‍ර කෙනෙක් මා උදෙසා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූවාහු ද, කිමෙක මහණෙනි, ඒ මහණහු බඹසරවස්හි ඇලුම් ඇත්තාහු දැ’යි වදාළහ. තෙවනවටදු ඒ මහණහු නො බැණ හුන්හු.

එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත උපන: ‘මම් එ මැ කුලපුත්‍රයන් පුළුවුස්නෙම් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඇමැතූසේක. ‘කිමෙක, අනුරුද්ධයෙනි, තෙපි බඹසරවස්හි අභිරත වූහු දැ’යි. වහන්ස, ඒකාන්තයෙන් ඇපි බඹසරවස්හි ඇලුණම්හ’යි කී. සාධු සාධු අනුරුද්ධයෙනි, යම් හෙයෙකින් තෙපි බඹසරවස්හි සිත අලවවු ද අනුරුද්ධයෙනි, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වූ කුලපුත්‍ර වූ තොපට තෙල නිසි වෙයි. අනුරුද්ධයෙනි, තෙපි යම් භද්‍ර යෞවනයෙකින් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්වාගත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු කාමයන් පරිභෝග කරවු ද, අනුරුද්ධයෙනි, තෙපි ඒ භද්‍රයෞවනයෙන් යුක්ත වූවහු ප්‍රථම වයසින් සමන්විත වූවහු මනා කළුකෙහෙ ඇතියවුහු ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු ය. අනුරුද්ධයෙනි, ඒ තෙපි රජුන් විසින් අභිනීත වූවහු (අනභිමුඛ කොට කැඳවන ලදුවහු) ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො මැ පැවිදි වූවහු යැ. සොරුන් විසින් අභිනීත වූවහු නො පැවිදි වූවහු යැ. ණයින් මඬනාලදු වැ ගිහිගෙන් නික්ම ශාසනයෙහි නො පැවිදි වූවහු යැ. රාජාදි භයින් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. ජීවිකා හෙතුයෙන් මඬනාලදු වැ නො පැවිදි වූවහු යැ. වැලිදු “ජාතියෙන් ජරාමරණයෙන් ශොකයෙන් පරිදෙවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මඬනාලදුයෙම් වෙමි දුකට බටුයෙම් දුකින් මඬනාලදුයෙම් වෙමි. මේ සියලු දුඃඛරාශිහුගේ කෙළවර කිරීමෙක් පැනේ නම් ඉතා යෙහෙකැ”යි අනුරුද්ධයෙනි, තෙපි මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූවහු නො දැ’යි. එසේ යැ වහන්ස. තවද අනුරුද්ධයෙනි,

මෙසේ පැවිදි වූ කුලපුත්හු විසින් කුමක් කටයුතු වේ ද යත්: අනුරුද්ධයෙනි, වස්තුකාම ක්ලෙශකාම (කාමච්ඡන්‍දනීවරණ)යෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ (ප්‍රථමද්විතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) ප්‍රීතිය හා සුඛය නො ලබා ද ඊට වඩා ඉතා ශාන්ත වූ තෘතීයධ්‍යානාදි සුවය හෝ නො ලබා ද, ඔහු ගේ සිත අභිධ්‍යාව ද මැඩගෙන සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන සිටී, උද්ධච්ච කුක්කුච්චය ද සිත මැඩගෙන සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන සිටී, අධිකුශලධර්‍මයෙහි උකටලී බව (අරතිය) ද සිත මැඩගෙන සිටී, ආලස්‍යය (තන්දිය) ද සිත මැඩගෙන සිටී. අනුරුද්ධයෙනි, කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශලධර්‍මයන්ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය නො ලබයි. ඊට වඩා ශාන්තතර වූ සුඛයක් හෝ නො ලබයි. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුඛය ලබා ද ඊට වඩා ශාන්තර වූ සුවයක් හෝ ලබා ද අභිධ්‍යාව ද ඔහුගේ සිත මැඩගෙන නො සිටී, ව්‍යාපාදය ද සිත මැඩගෙන නො සිටී, ථීනමිද්ධය ද සිත මැඩගෙන නො සිටී, උද්ධච්චකුක්කුච්චය ද සිත මැඩගෙන නො සිටී, විචිකිච්‍ඡාව ද සිත මැඩගෙන නො සිටී, අරතිය ද සිත මැඩගෙන නො සිටී, ආලස්‍ය ද සිත මැඩගෙන නො සිටී. අනුරුද්ධයෙනි, කාමයන්ගෙන් වෙන් වැ අකුශලධර්‍මයන් ගෙන් වෙන් වැ ප්‍රීතිය හා සුවය ලබයි, ඊට වඩා ශාන්තතර වූ අන් සුවයක් හෝ ලබයි.

අනුරුද්ධයෙනි, තොපට මා කෙරෙහි කෙබඳු සිතෙක් වේ ද “සාංක්ලෙශික වූ පුනර්භවය ඇති කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඔහු තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන ඉවසන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන දුරු කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන බැහැර කරන්නාහ”යි. සිතේ ද?

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් නො වෙයි: “සාංක්ලෙශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද, ඒ ආස්‍රවයෝ තථාගතයන්ට අප්‍රහීණයහ, එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැනගෙන පරිවර්ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැනගෙන විනොදන කරන්නාහ”යි මෙබඳු සිතෙක් නො වෙයි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපට මෙබඳු සිතෙක් වෙයි: “සාංක්ලෙශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ යම් ආස්‍රව කෙනෙක් ඇද්ද ඒ ආස්‍රවයෝ තථාගතයන්ට ප්‍රහීණයෝ යැ. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැන සෙවුණාහ, ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්ජන කරන්නාහ, ඇතැම් ආස්‍රවයක් දැන විනොදනය කරන්නාහ”යි. සාධු සාධු අනුරුද්ධයෙනි. අනුරුද්ධයෙනි, සාංක්ලෙශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරාමරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු උසුන්මුල් ඇත්තාහු මුදුනසුන් තාලයක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නුපදනා සැහැවි ඇත්තාහු වෙත් ද, යම්සේ අනුරුද්ධයෙනි. මුදුන සුන් තල්රුක නැවත වැඩීමට අභව්‍ය වේ ද එසෙයින් මැ අනුරුද්ධයෙනි, තථාගතයන්හ‍ට සාංක්ලෙශික වූ පුනර්භවික වූ දුක් සහිත වූ දුඃඛවිපාක වූ මත්තෙහි ජාතිජරා මරණ පිණිස වූ යම් ආස්‍රව කෙනෙක් ප්‍රහීණ වූවාහු ද ඒ ආස්‍රවයෝ උසුන්මුල් ඇත්තාහු තාලවස්තුවක් මෙන් කරන ලද්දාහු අනභාවය කරන ලද්දාහු මත්තෙහි නුපදනා සැහැවි ඇත්තාහු වෙති. එහෙයින් තථාගතයෝ ඇතැම් ආස්‍රවයක් දැනගෙන සෙවුණාහ. ඇතැම් ආස්‍රවයක් දැන අධිවාසනා කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන පරිවර්ජන කරන්නාහ. ඇතැම් ආස්‍රවයක් දැන විනොදනය කරන්නාහ’යි.

අනුරුද්ධයෙනි, ඒ කිමෙකැ’යි සිතවු ද? කවර කරුණක් දක්නා වූ තථාගතයෝ ‘අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙත් දැ?යි.

වහන්ස අපට මේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නෙතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, ඒකාන්තයෙන් තෙල භාෂිතයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේට මැ වැටහේවා. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අසා භික්ෂූහු ධරන්නාහ’යි.

අනුරුද්ධයෙනි, තථාගතයෝ ජනයා විස්මය කරනු සඳහා නො වැ ජනයා නැළැවීම පිණිස නො වැ ලාභසත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ ‘මෙසේ මහජනයා මා දනීව’යි නො වැ “අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉක්මගිය කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කරන්නාහ. තවද අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ සතුටු ඇති මහත් වූ ප්‍රමොදය ඇති කුලපුත්‍රයෝ වෙති. ඔහු එදහම් අසා එබඳු උපප්‍රාප්තිය පිණිස සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ චිත්තොපසංහාරය බොහෝ කලක් හිතයට සුවයට වේ.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක් “මෙනම් මහණ කලුරිය කෙළේ යැ හේ භාග්‍යවතුන් විසින් අර්හත්ත්වයෙහි පිහිටියේ ප්‍රකාශ කරන ලදැයි අසයි. ඒ පිරිනිවී ආයුෂ්මත් මේ ආයුෂ්මත්හු විසින් තමා දක්නාලද හෝ වෙයි. අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු (සමාධි පක්ෂයෙහි) දහම් ඇති වී යයි එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද එ ආයුෂ්මත් මෙබඳු සමාපත්තිවිහාර ඇති වී යැයි ද එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ශීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බව පිණිස සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ හෙ පස් ඔරම්භාගීය සංයොජනයන් ගේ ක්ෂය වීමෙන් ඔපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇතියේ භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇත්තේ වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහාර ඇතියේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් තථාත්වයට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මහණෙක්: “මෙනම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයොජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වෙෂමොහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෙදගැමි) ආයුෂ්මත් මෙ මහණ විසින් තමා මැ දක්නා ලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මහණෙක්: “මෙ නම් මහණ කලුරිය කෙළේ යැ. හේ තුන් සංයොජනයන් ක්ෂය කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම (සතරඅවාදුකට වැටෙනසැහැවි) නැතියේ (සම්මත්තනියාමයෙන්) නියත වූයේ (උපරිමාර්‍ගත්‍රයසඞ්ඛ්‍යාත) සම්බොධිය පිහිට කොට ඇත්තේ යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (සෝවාන්) ආයුෂ්මත් මෙ මහණු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද මෙබඳු දහම් ඇතියේ ... මෙබඳු ප්‍රඥා ඇතියේ ... මෙබඳු විහරණ ඇතියේ ... ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි ද අසයි. එ මහණ ඔහුගේ ශ්‍රද්ධාව ද ... ප්‍රඥාව ද සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මහණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා යැ, හො අර්හත්ත්වයෙහි පිහිටියා යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරනලදැ”යි. ඒ (රහත්) මෙහෙණ වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නා ලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි. “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, එ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද හො බුනැණි මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණෙක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා හො ඔරම්භාගීය සංයොජන පස ප්‍රහීණ කිරීමෙන් ඔපපාතික වූවා එහි පිරිනිවෙන්නී එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ (අනගැමි) බූන වැළිත් මෙ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “එ බූන මෙබඳු සිල් ඇති වු යයි ද මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වෙෂමොහයන්ගේ තනුභාවයෙන් සෙදගැමිනි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සෙදගැමි) බූන මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල්ඇති වූ යයි ද’ මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් ඒ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙ සස්නෙහි මෙහෙණක් අසයි: “මෙ නම් මෙහෙණ කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී (සම්මත්තනියාමයෙන්) නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී යැ’ යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (සොවාන්) බූන වැළිත් එ මෙහෙණ විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙ බඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහූන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් … සිහි කෙරෙමින් එ බවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, මෙහෙණහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ ඔරම්භාගීය සංයොජන පස ප්‍රහීණ කිරීමෙන් ඔපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි අසයි. එ (අනගැමි) උවසු වැළිත් එ උවසුහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි. “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු දහම් ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු ප්‍රඥා ඇති වී යයි ද, එ ආයුෂ්මත් මෙබඳු විහරණ ඇති වී යයි ද, ඒ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වෙෂමොහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූයේ එක් වරක් මැ මෙලොවට ඇවිත් දුක් කෙළවර කරන්නේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි: “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවසුවෙක් අසයි: “මෙ නම් උවසු කලුරිය කෙළේ යැ. හේ සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූයේ විනිපාතධර්‍ම නැත්තේ නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. එ ආයුෂ්මත් වැළිත් මොහු විසින් තමා මැ දක්නාලද හෝ අනුශ්‍රවයෙන් අසනලද හෝ වෙයි, “එ ආයුෂ්මත් මෙබඳු සිල් ඇති වී යයි ද, මෙබඳු දහම් ඇත්තේ ... මෙබඳු ප්‍රඥා ඇත්තේ ... මෙබඳු විහරණ ඇත්තේ ... එ ආයුෂ්මත් මෙසේ විමුක්ත වී යයි දැ”යි. හෙ ඔහුගේ ශ්‍රද්ධාවත් … ප්‍රඥාවත් සිහි කෙරෙමින් ඒබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවසුහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි කලුරිය කළා, හේ ඔරම්භාගීය සංයෝජන පස ප්‍රහීණ කිරීමෙන් ඔපපාතික වූවා එහි පිරිනිවෙනසුලු වූවා එලොවින් පෙරළා නො එන සැහැවි ඇත්තී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ (අනගැමි) බුහූන වැලිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහූන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හෝ ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයෝජන තුනක් ප්‍රහීණ කිරීමෙන් රාගද්වේෂමොහයන්ගේ තනුභාවයෙන් සෙදගැමි වූවා එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නී යැ’යි භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහූන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, මෙබඳු දහම් ඇත්තී ... මෙබඳු ප්‍රඥා ඇත්තී ... මෙබඳු විහරණ ඇත්තී ... ඒ බුහුන මෙසේ විමුක්ත වූවා යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ... ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වෙයි.

අනුරුද්ධයෙනි, මෙසස්නෙහි උවැසියක් අසයි: “මෙ නම් උවැසි, කලුරිය කළා, හො සංයොජන තුනක් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් වූවා විනිපාතධර්‍ම නැත්තී නියත වූවා සම්බොධිය පිහිට කොට ඇත්තී යැ’යි. භාග්‍යවතුන් විසින් ප්‍රකාශ කරන ලදැ”යි. ඒ බුහුන වැළිත් ඇය විසින් තමා මැ දක්නාලදු හෝ අනුශ්‍රවයෙන් අසනලදු හෝ වෙයි: “ඒ බුහුන මෙබඳු සිල් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු දහම් ඇති වූ යයි ද, ඒ බුහුන මෙබඳු ප්‍රඥා ඇති වූ යයි ද ඒ බුහුන මෙබඳු විහරණ ඇති වූ යයි ද, ඒ බුහුන මෙසේ විමුක්ත වූ යයි දැ”යි. හො ඇයගේ ශ්‍රද්ධාවත් ශීලයත් ශ්‍රැතයත් ත්‍යාගයත් ප්‍රඥාවත් සිහි කෙරෙමින් එබවට සිත එළවයි. මෙසේත් අනුරුද්ධයෙනි, උවැසිහට ඵාසුවිහරණ වේ.

මෙසෙයින් අනුරුද්ධයෙනි, තථාගතයෝ ‘ජනයා විස්මය කරනු පිණිස නො වැ ජනයා නළවනු පිණිස නො වැ ලාභ සත්කාර ප්‍රශංසා අනුසස් පිණිස නො වැ මෙසෙයින් මා මහජනයා මා දනීව’යි කියා නො වැ’ අසුවල් අසුවල් තැනැ උපන, අසුවල් අසුවල් තැනැ උපනැ’යි ඉකුත් වූ කලුරිය කළ ශ්‍රාවකයන් උපප්‍රාප්තියෙහි ලා ප්‍රකාශ කෙරෙති. අනුරුද්ධයෙනි, සැදැහැති මහත් වූ තුෂ්ටි ඇති මහත් වූ ප්‍රමෝද්‍ය ඇති කුල පුත්‍රයෝ ඇත. ඔහු එය අසා එබවට සිත එළවති. අනුරුද්ධයෙනි, ඔවුනට ඒ දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ යයි.

බුදුහූ මේ සුත්‍රාන්තය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු වූහ’යි.

අට වැනි නළකපාන සුත්‍රය නිමියේය.