භද්දාලි සූත්‍රය

2.2.5 භද්දාලි සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද, එක් කලෙකැ බුදුහු සැවැත් නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂුන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ: මහණෙනි, මම් එකාසන (පෙරබත්හි වළඳන) භෝජනය වළඳමි. එකාසනභෝජනය වළඳන මම අල්පාබාධබව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද සුඛවිහරණය ද දනිමි. එව මහණ තෙපි දු එකාසන භෝජනය වළඳවු. මහණෙනි තෙපි දු එකාසන භෝජනය වළඳන්නහු අල්පාබාධ බව ද නිදුක් බව ද ශරීරයාගේ සැහැල්ලු පැවැත්ම ද කායබලය ද පහසු විහරණය ද දන්නහු යැ.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම් එකාසනභෝජනය වළඳන්නට නො හැක්කෙමි. වහන්ස එකාසන භෝජනය වළඳනා වූ මට (දිවිතෙක් බඹසර හැසිරෙන්නට හැක්කෙම් ද නො හැක්කෙම් දැ’යි මෙසේ) කුකුසෙක් වන්නේ යැ විපිලිසරයෙක් වන්නේ යැ”යි. එසේ වී නම් භද්දාලිය තෙපි යම් තැනෙක පවරන ලදහු වළඳවු ද එහි දී එක් කොටසක් වළඳා එක් කොටසක් බැහැර ගෙන ගොස් ද වළඳවු. භද්දාලි මෙසේ වළඳන්නා වූ තෙපි යැපෙන්නවූ ය. වහන්ස, මම් මෙසේද වළඳන්නට නො හැකි වෙමි. වහන්ස මෙසේ ද වළඳන්නා වූ මට කුකුස් වන්නේ මැ යැ විපිළිසර වන්නේ මැ යි. ඉක්බිති ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපදය සමාදන් වන කල්හි නො හැකි බව ප්‍රකාශ කෙළේය. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ශාස්තෘශාසනයෙහි ශික්ෂා නො පුරන්නකු සෙයින් ඒ සියලු තුන්මස භාග්‍යවතුන් වහන්සේගේ හමුවීමට නො පැමිණියේ යැ.

එසමයෙහි බොහෝ භික්ෂූහු “කොට නිමවූ සිවුරු ඇති බුදුහු තෙමසක්හුගේ ඇවෑමෙන් චාරිකායෙහි වඩනාසේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සිවුරු කෙරෙති. එකල්හි ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ඒ භික්ෂූන් කරා එළැඹ ඒ භික්ෂූන් සමග සතුටු වී යැ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස්වැ හුන් ආයුෂ්මත් භද්දාලි තෙරුන්ට ඒ භික්ෂූහු තෙල කීහු: “ඇවැත්නි, භද්දාලි, ‘කොට නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමසක් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ’යි මේ භාග්‍යවතුන් වහන්සේට සිවුරු කරනුලැබෙයි. ඇවැත්නි භද්දාලිය, එහෙයින් තෙල අපරාධය මැනැවින් මෙනෙහි කරව. පසුවැ තොපට නහමක් දුෂ්කරතර වේව’යි. කීහු.

ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින්. එකත්පස් වැ හුන් ආයුෂ්මත් භද්දාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල් කී යැ: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා සිකපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූයෙම් ද වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආයතිසංවරය පිණිස මාගේ ඒ දෝෂය දෝෂ විසින් පිළිගන්නා සේක්ව’යි කී යැ.

භද්දාලිය ඒකාන්තයෙන් තෙපි මා විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි එහි උත්සාහ රහිත බව පැවසූවහු ද බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය තොප ඉක්ම ගියේ යැ.

භද්දාලිය, තා විසින් සමය ද (තා විසින් සැලකියයුතු කරුණෙක් ඇත. ඒ ද) නොසලකන ලද විය: “බුදුහු සැවැත්නුවර වෙසෙති, ‘භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි බුදුහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.

භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්ෂුහු සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්ෂූහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.

භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ භික්ෂුණීහු ද සැවැත්නුවර වස් එළැඹියහ, භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඒ භික්ෂූණීහු ද මා දන්නාහ”යි භද්දාලිය, තා විසින් මෙ කරුණ ද නො සලකන ලද විය.

භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ උවසුවෝ සැවැත්නුවර වෙසෙති. ඔහු ද මා දන්නාහ”යි ... “බොහෝ උවසුවෝ ද සැවැත්නුවර වෙසෙති. භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද විය.

භද්දාලිය, තා විසින් (අන්) කරුණෙකුදු නො සලකන ලද විය: “බොහෝ වූ නානා තීර්ථක ශ්‍රමණබ්‍රාහ්මණයෝ සැවැත්නුවර වස් එළැඹියහ. ශ්‍රමණගෞතමයන්ගේ ශ්‍රාවක වූ ස්‍ථවිරාන්‍යතර වූ භද්දාලි නම් මහණ බුදුසසුන්හි ශික්ෂාපද සපුරා නො කරන්නෙකැ’යි ඔහු ද මා දන්නාහ”යි. මෙ කරුණ ද භද්දාලිය, තා විසින් නො සලකන ලද වී’ යයි.

වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. ඒ මා බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය තෙමේ ඉක්ම ගියේ යැ. වහන්ස, බුදුහු ඒ මාගේ දොෂය දොෂ විසින් ආයතිසංවරය පිණිස ඉවසනසේක්වා. භද්දාලිය, තෝ මා විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙහි යැ. භද්දාලිය, ඒකාන්තයෙන් අපරාධය තෙමේ ඒ තා ඉක්මැ ගියේ යැ.

භද්දාලිය, ඒ කුමැ’යි සිතයි ද? “මෙසස්නෙහි මහණෙක් උභාතොභාගවිමුක්ත වූයේ අරූපසමාපත්තියෙන් රූප කයින් ද මාර්ග භාවනායෙන් නාම කයින් ද මිදුණේ වෙයි. ඕහට මම් මෙසේ කියන්නෙමි: “එව මහණ තෙපි මට මඩෙහි හෙයක් වවු”යයි. කිම එමහණ හෙයක් වන්නේ හෝ වේ ද අන් දසක හෝ කය නමන්නේ ද ‘නො හැක්කෙමි’ හෝ කියන්නේ වේදැ? යි. වහන්ස, තෙල නොවේ මැ යැ. භද්දාලිය එය කුමැ’යි සිතවු ද: මෙසස්නෙහි මහණෙක් ප්‍රඥාවිමුක්ත ... කායසාක්ෂි ... දෘෂ්ටප්‍රාප්ත ... ශ්‍රද්ධාවිමුක්ත ... ධර්මානුසාරී ... ශ්‍රද්ධානුසාරී වේ ද, ඔහුට මම් මෙසේ කියන්නෙමි: ‘එව මහණ තෙපි මට මඩෙහි හෙයක් වව”යි. කිම එමහණ හෙයක් වන්නේ හෝ කය අන් දසකට නමන්නේ හෝ ‘නො හැක්කෙමි’ හෝ කියන්නේ වේදැ? යි. වහන්ස, තෙල නොවේ මැ යැ. භද්දාලිය, එය කුමැ’යි සිතවු ද? කිම භද්දාලිය, තෙපි එසමයෙහි උභාතොභාගවිමුක්ත හෝ වවු ද ප්‍රඥාවිමුක්ත හෝ කායසාක්ෂි හෝ දෘෂ්ටප්‍රාප්ත හෝ ශ්‍රද්ධාවිමුක්ත හෝ ධර්මානුසාරී හෝ ශ්‍රද්ධානුසාරී හෝ වවු දැ?යි. තෙලෙ නැත් මැ යැ වහන්ස. භද්දාලිය එකල්හි තෙපි රික්ත වූවහු තුච්ඡ (සිස්) වූවහු අපරාධ ඇතියහු නො වේ දැ’යි එසේ යැ වහන්ස. මම් බුදුන් විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව ප්‍රකාශ කෙළෙමි. වහන්ස, බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය මා ඉක්ම ගියේ යැ. වහන්ස, ඒ මට ආයතිසංවරය පිණිස බුදුහු අපරාධය අපරාධ විසින් කමනසේක්ව’යි.

භද්දාලිය, තෙපි මා විසින් ශික්ෂාපද පනවනු ලබන කල්හි භික්ෂුසඞ්ඝයා ශික්ෂාපද සමාදන් වන කල්හි උත්සාහ රහිත බව කළවු යැ. භද්දාලිය, ඒ තොප එකත්තෙන් බාලයකු සෙයින් මූඪයකු සෙයින් අදක්ෂයකු සෙයින් අපරාධය ඉක්ම ගියේ යැ. යම් හෙයෙකින් භද්දාලිය තෙපි අපරාධය අපරාධ හෙයින් දැක දහම නො ඉක්ම පිළියම් කරව. තොපගේ අපරාධය අපි ඉවසම්හ. භද්දාලිය, යමෙක් අපරාධය අපරාධ විසින් දැක දහම නො ඉක්ම පිළියම් කෙරේ ද ආයතිසංවරයට පැමිණේ ද තෙල ආර්ය්‍යවිනයෙහි වෘද්ධිය මැ වෙයි.

භද්දාලිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ශාස්තෘ ශාසනයෙහි ශික්ෂායෙහි අපරිපූරකාරී වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ‘මම අරණ්‍ය යැ, වෘක්ෂමූල යැ, පර්වත යැ, ගිරිකඳුරු යැ, ගිරි ගුහා යැ, සොහොන වනපෙත අබවස, පිදුරුකිළි යැ යන විවේක සෙනසුන් භජනය කෙරෙම් නම් මනා මැ නු’යි. මම මිනිස්දහමින් මතුයෙහි ආර්ය්‍යභාව කරණයට සමර්ථ ඥානදර්ශන විශෙෂයක් පසක් කරන්නෙම් නම් මැනැවැ යි කියා යි. හේ අරණ රුක් මුල, පවු යැ, ගිරිකඳුරු යැ, ගිරි ගුහා යැ, සොහොන, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන ජනශුන්‍ය සේනාසන ඇසිරි කෙරෙ යි. එසේ එකලා වැ විහරණ කරන ඔහට ශාස්තෘන්වහන්සේ ද උපවාද කෙරෙති. විඥ සබ්‍රම්සරහු නුවණින් දැනැ අයුණු කියත්. දෙවියෝ ද අයුණු කියත්. තෙමේත් තමහට දොස් කියයි. හේ බුදුන් විසිනුදු උපවාද කරන ලදුයේ නුවණින් දැන විඥ සබ්‍රම් සරුන් විසින් උපවාද කරන ලදුයේ තමා විසිනුදු තමා හට දොස් නඟනලදුයේ දශකුශලධර්ම සංඛ්‍යාත මනුෂ්‍ය ධර්මයෙන් මතුයෙහි ආර්ය්‍යභාවකරණයට සමර්ථ ඥානදර්ශන විශේෂය පසක් නො කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂායෙහි අපරිපූරකාරී මහණක් හට යම්සේ වේද තෙල එසේ මැ වෙයි.

භද්දාලිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් ශාස්තෘශාසනයෙහි ලා ශික්ෂායෙහි පරිපූරකාරී වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: ‘මම අරණ්‍ය යැ, වෘක්ෂමූල යැ, පර්වත යැ, ගිරිකන්දර යැ, ගිරිගුහා යැ, සුසාන යැ, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන විවේක සෙනසුන් භජනය කෙරෙම් නම් මනා මැ නු යි. මම මනුෂ්‍ය ධර්මයෙන් මතුයෙහි ආර්ය්‍යභාවකරණයට සමර්ථ ඥාන දර්ශන විශෙෂය පසක් කෙරෙම් නම් ඉතා මැනැවැ යි. හේ අරන, රුක්මුල, පවි යැ ගිරිකඳුරු යැ, ගිරිගුහා යැ, සොහොන, වනපෙත අබවස, පිදුරුකිළි යැ යන එකලා සෙනසුන් සෙවුනේ යැ. එසේ ගණසංගණිකාදීන් වෙන් වැ වාස කරන ඔහුට ශාස්තෘන්වහන්සේ ද උපවාද නො කෙරෙති. නුවණැති සබ්‍රම්සරහු නුවණින් දැන උපවාද නො කෙරෙති. දෙවියෝ ද උපවාද නො කෙරෙති. තෙමේත් තමහට උපවාද නො කෙරෙයි. හේ බුදුන් විසිනුදු දොස් නො නඟන ලදුයේ නුවණින් දැන විඥ සබ්‍රම්සරුන්විසින් දොස් නො නඟන ලදුයේ තමා විසිනුදු තමා හට දොස් නො නඟන ලදුයේ මනුෂ්‍යධර්මයෙන් මතුයෙහි ආර්ය්‍යභාවකරණයට සමර්ථ ඥානදර්ශනවිශෙෂය පසක් කෙරෙයි.

හෙතෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.

තවද භද්දාලිය, මහණ තෙම විතර්කවිචාරයන් සන්හින්ඳීමෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති චිත්තයාගේ එකඟ බව ඇති විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.

තවද භද්දාලිය, මහණ තෙම ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්ෂා ඇති වැ වෙසෙයි. (සම්ප්‍රයුක්ත) සුඛය ද (නාම) කයින් විඳියි. ආර්ය්‍යයෝ යම් ධ්‍යානයක් හෙතු කොට ‘උපේක්ෂා ඇත්තේ යැ සිහි ඇත්තේ යැ සුඛවිහරණ ඇත්තේ යැ’ යි, කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.

තවද භද්දාලිය, මහණ තෙම සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු මැ සොම්නස්දොම්නසුන් ගේ නැසීමෙන් නිදුක් වූ නො සුව වූ උපේක්ෂායෙන් උපන් ස්මෘතියෙන් පරිශුද්ධ භාවය ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වෙසෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.

හේ මෙසෙයින් සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි ප්‍රභාස්වර වූ කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පෙර විසූ කඳ පිළිවෙළ දන්නා පිණිස සිත නමයි. හේ අනෙකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. හෙමෙසේ යැ: එක්ජාතියකුදු දෙජාතියකුදු ... මෙසෙයින් ආකාර සහිත වූ උද්දෙස සහිත වූ අනෙක විධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශික්ෂාව ශාස්තෘශාසනයෙහි සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.

හේ මෙසෙයින් සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි භාවනාකර්‍මයට නිසි කල්හි සිටි කල්හි අචල කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති දන්නා පිණිස සිත නමයි. හේ පිරිසුදු වූ මිනිසැස ඉක්ම පැවැති දිවැසින් ච්‍යුත වන උපදනා හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුවර්‍ණ වූ ද සුගතියට ගියා වූ ද දුර්‍ගතියට ගියා වූ ද සත්ත‍වයන් දකියි ... කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දනියි. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වෙයි.

හේ මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු කල්හි ප්‍රභාස්වර කල්හි අඞ්ගණ රහිත කල්හි පහවූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්මණ්‍ය කල්හි සිටි කල්හි අචල කල්හි ආස්‍රවක්ෂයකරඥානය පිණිස සිත නමයි. හෙතෙම ‘මේ දුකැ’යි ඇතිසැටියෙන් දැනගනියි: ... ‘මේ දුක් නසන පිලිවෙතැ’යි ඇතිසැටියෙන් දනියි. ‘මොහු ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනියි ... ‘මේ ආස්‍රවයන් නිරුද්ධ කරන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු ගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි, මිදුණු කල්හි මිදිණැ’යි ඥානය වෙයි. ජාතිය ක්ෂය වූවා යැ බඹසර වැස නිමවන ලද, කටයුතු කරන ලද, රහත් බව පිණිස අන් කිසෙක් නැතැ යි දැනගනී. ඒ කවර හෙයින යත්: භද්දාලිය, ශාස්තෘශාසනයෙහි ශික්ෂාව සපුරා කරනුවක්හට යම්සේ ද තෙල එසෙයින් මැ වේ’ යයි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් භද්දාලිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: වහන්ස, යම් කරුණෙකින් මෙසස්නෙහි ඇතැම් මහණක්හට අල්පමාත්‍ර දෝෂයෙහි දු දොස් දක්ව දක්වා කාරණා කෙරෙත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වහන්ස, යම් කරුණෙකින් මෙසස්නෙහි ඇතැම් මහණක් හට (මහත්වූ දොෂයෙහි දු) එසේ දොස් දක්ව දක්වා කාරණා නො කෙරෙත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.

භද්දාලිය මෙසස්නෙහි ඇතැම් මහණෙක් නිරතුරු ඇවැත් අවදනේ ආපත්ති බහුල වෙයි. හේ භික්ෂුන් විසින් චෝදනා වශයෙන් කියනු ලබන්නේ අන් කථායෙකින් අනෙක වසයි. කථාව බැහැරට නමයි. කෝපයත් ද්වේශයත් නොසතුටත් පහළ කෙරෙයි. මැනැවින් වතෙහි නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී නො කියයි. භද්දාලිය එහිලා භික්ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ නිරතුරු ඇවැත් අවදනේ ආපත්ති බහුල වෙයි. හේ භික්ෂූන් විසින් කියනු ලබනුයේ අනෙකකින් වසයි. කථාව බැහැර කරයි. කෝපයත් ද්වේශයත් නොසතුටත් පහළ කෙරෙයි. මොනොවට වතෙහි නො පවතිතී. අනුලොම්වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී නො කියයි. ආයුෂ්මතුනි, මොහුගේ මේ අධිකරණය යම් සේ වහා නො සන්හිඳේ නම් මේ මහණහු පිලිබඳ වැ ඒ ඒ පරිද්දෙන් පිරික්සව” යි. භද්දාලිය ඒ මහණහුගේ මේ අධිකරණය යම්සේ වහා නො සන්හිඳේ නම් භික්ෂූහු ඒ ඒ එපරිද්දෙන් ඒ මහණුන්ගේ මේ අධිකරණය විමසති.

භද්දාලිය, මෙ සස්නෙහි ඇතැම් මහණෙක් නිරතුරු ඇවැත් අවදනේ ඇවැත් බහුල වෙයි. හේ භික්ෂූන් විසින් කියනු ලබන්නේ අනෙකකින් අනෙකක් නො වසයි. කථාව බැහැර නො නමයි. කෝපයත් ද්වේශයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මොනොවට වතෙහි පවතී. අනුලොම් වතෙහි සිටී. නිස්තරණ වතෙහි පවති. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී කියයි. භද්දාලිය එහි ලා භික්ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ නිරතුරු අවදනා ඇවැත් ඇත්තේ ආපත්ති බහුල වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා කරනු ලබනුයේ අනෙකකින් අනෙක නො වසයි. කථාව බැහැර නො නමයි. කෝපය ද ද්වේශය ද නොසතුට ද පහළ නො කෙරෙයි. මොනොවට පවතී. අනුලොම් වතෙහි සිටී. නිස්තරණ වතෙහි පවතී. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ නම් එය කරමී කියයි. මොහුගේ මේ අධිකරණය යම් සේ වහා සන්හිඳේ නම් ආයුෂ්මත්නි, මේ භික්ෂුහුගේ අධිකරණ එසේ පරීක්ෂා කරවු නම් ඉතා මැනැවැ” යි. භද්දාලිය භික්ෂූහු ඒ භික්ෂුහුගේ තෙල අධිකරණය ඒ ඒ පරිදි පරීක්ෂා කරත් ඔහුගේ මේ අධිකරණය යම් සේ වහා සන්හිඳේ ද එපරිද්දෙනි.

භද්දාලිය, මෙසස්නෙහි ඇතැම් මහණෙක් කිසි කලෙක අවදනා ඇවැත් ඇත්තේ ආපත්ති බහුල නො වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙක වසයි. කථාව බැහැර නතු කෙරෙයි, කෝපය ද ද්වේශය ද නොසතුට ද පහළ කෙරෙයි. මොනොවට නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවතී. යමෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී නො කියයි. භද්දාලිය, එහි ලා භික්ෂූන්ට මෙබඳු සිතෙක් වෙයි: “ඇවැත්නි, මේ මහණ කලෙකැ අවදනා ඇවැත් ඇතියේ ආපත්ති බහුල නොවූයේ වෙයි. හේ භික්ෂූන් විසින් චෝදනා කරනු ලබන්නේ අනෙකකින් අනෙක වසයි. කථාව බැහැර නතු කෙරෙයි. කෝපය ද ද්වේශය ද නොසතුට ද පහළ කෙරෙයි. මොනොවට නො පවතී. අනුලොම් වතෙහි නො සිටී. නිස්තරණ වතෙහි නො පවතියි. යමෙකින් සංඝයා කැමැති වේ ද එය කරමී නො කියයි. ඇවැත්නි, යම් පරිදි ඔහුගේ මේ අධිකරණය වහා නො සන්හිඳේ ද මේ මහණහුගේ ඒ අධිකරණය ඒ ඒ පරිදි පරීක්ෂා කරවු නම් ඉතා මැනැව” යි. භද්දාලිය, භික්ෂූහු ඒ භික්ෂුහුගේ තෙල අධිකරණය ඒ ඒ පරිදි පරීක්ෂා කෙරෙත්. යම් පරිදි ඔහුගේ මේ අධිකරණය වහා නො සන්හිඳේ ද එපරිද්දෙනි.

භද්දාලිය, මෙසස්නෙහි යම් කිසි මහණෙක් කිසි කලෙකැ අවදනා ඇවැත් ඇත්තේ ඇවැත් බහුල නො වූයේ වෙයි. ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ අනෙක් කරුණෙකින් අනෙක්කරුණක් නො වසයි. කථාව බැහැරට යොමු නො කෙරෙයි. කෝපයත් ද්වේශයත් නො සතුටත් පහළ නො කෙරෙයි. මැනැවින් වතෙහි පවතියි. අනුලොම් වතෙහි පවතියි. නිස්තරණ වතෙහි පවතියි. යම් කරුණෙකින් සංඝයා සතුටු වේ ද එය කරමී කියයි. භද්දාලිය, එහි දී භික්ෂූන්ට මෙබඳු මෙසිත වෙයි: “ඇවැත්නි, මෙමහණ කිසි කලෙකැ අවදනා ඇවැත් ඇත්තේ ඇවැත් බහුල නො වූයේ වෙයි. ඒ මහණ භික්ෂූන් විසින් කියනු ලබන්නේ අනෙකකින් අනෙක නො වසයි. කථාව බැහැරට යොමු නො කෙරෙයි. කෝපයත් ද්වේශයත් නොසතුටත් පහළ නො කෙරෙයි. මැනැවින් වතෙහි පවතියි. අනුලොම් වතෙහි පවතියි. නිස්තරණ වතෙහි පවතියි. යම් කරුණෙකින් සඞ්ඝයා සතුටු වේ ද එය කරමී කියයි. අයුෂ්මත්නි, මොහු ගේ මේ අධිකරණය යම්සේ වහා සන්හිඳේ නම් ඉතා මැනැවැ. මේ මහණහු පිලිබඳ වැ ඒ ඒ පරිද්දෙන් විමසව” යි. භද්දාලිය, ඒ මහණහුගේ මේ අධිකරණය යම්සේ වහා සන්හිඳේ නම් භික්ෂූහු ඒ ඒ පරිද්දෙන් ඒ මහණහුගේ මේ අධිකරණය විමසති.

භද්දාලිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. භද්දාලිය, එහි දී භික්ෂූන්ට මෙසිත වෙයි: “ඇවැත්නි, මෙ මහණ ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. ඉදින් ඇපි මේමහණහට දොස් දක්වදක්වා කාරණා කරමෝ නම් මොහුගේ යම් ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වී ද එයිනුදු මේ තෙමේ නහමක් පිරිහේව”යි. භද්දාලිය, යම්සේ පුරුෂයක්හට එක් ඇසෙක් වේ ද ඔහුගේ සගයහළුවෝ ද නෑසහලේ නෑයෝ ද මොහුට ඒ එක් ඇසෙක් වී නම් එයිනුදු මේතෙමේ නහමක් පිරිහේව’යි එක් ඒ එක් ඇස රක්නාහු ද, භද්දාලිය, එපරිද්දෙන් මැ මෙසස්නෙහි කිසි මහණෙක් ශ්‍රද්ධාමාත්‍රයෙන් ප්‍රේමමාත්‍රයෙන් යැපෙයි. භද්දාලිය, එහි දී භික්ෂූන්ට මෙසිත වෙයි: “ඇවැත්නි, මෙ මහණ සැදැහැ මතුයෙන් ප්‍රේම මතුයෙන් යැපෙයි. ඉදින් මෙ මහණ හට දොස් දක්ව දක්වා කාරණා කරන්නමෝ නම් ඕහට යම් ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වී නම් තෙමේ එයිනුදු නහමක් පිරිහේව’යි. භද්දාලිය, මෙහි කිසි මහණක් හට යම් කරුණෙකින් දොස් දක්ව දක්වා කාරණා කෙරෙත් නම් ඊට මේ හේතු යැ ඊට මේ ප්‍රත්‍යය යි. භද්දාලිය, මෙහි කිසි මහණක්හට යම් කරුණෙකින් එසේ දොස් දක්ව දක්වා කාරණා නො කෙරෙත් නම් ඊට මේ හේතු යැ ඊට මේ ප්‍රත්‍යය යී.

වහන්ස, යම් හෙයෙකින් පෙර ඉතා අල්ප වූත් ශික්ෂා පදයෝ වූහු නම් ඉතා බොහෝ භික්ෂූහු රහත්පෙලෙහි පිහිටියාහු නම් ඊට හේතු කවරැ ඊට ප්‍රත්‍යය කවරැ? තවද වහන්ස, යම් හෙයෙකින් මෙකලැ ඉතා බොහෝ වූත් ශික්ෂා පදයෝ වෙත් නම් ඉතා අල්ප වූත් භික්ෂූහු කෙනෙක් රහත්පෙලෙහි පිහිටත් නම් ඊට හේතු කවරැ, ඊට ප්‍රත්‍යය කවරැ’යි.

භද්දාලිය, තෙල මෙසේ මැ වෙයි: සත්ත්වයන් පිළිවෙතින් හෙන කල්හි පිළිවෙත් සදහම් නැසෙන කල්හි ඉතා බොහෝ ශික්ෂා පදයොත් වෙති. ඉතා අල්ප වූ භික්ෂූ කෙනෙකුන් රහත්පෙලෙහි පිහිටිත්.

භද්දාලිය, යම්තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයෝ පහළ නො වෙත් ද ඒ තාක් බුදුහු ශ්‍රාවකයනට ශික්ෂාපද නො පනවති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයෝ පහළ වෙත් ද එකල්හි බුදුහු එ මැ ආස්‍රවස්‍ථානීය ධර්‍මයන් නසන පිණිස ශ්‍රාවකයනට ශික්ෂාපද පනවත්.

භද්දාලිය, යම් තාක් සඞ්ඝයා මහත්බවට නො පැමිණියේ වේ ද ඒ තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ නො වෙති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, සඞ්ඝයා මහත් බවට පැමිණියේ වේ ද එකල්හි මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ වෙති. එකල්හි මැ ආස්‍රවස්‍ථානීයධර්‍මයන් නසන පිණිස බුදුහු ශික්ෂාපද පනවත්.

භද්දාලිය, යම් තාක් සඞ්ඝයා ලාභයෙහි අගතැන් නො පැමිණියේ වේ ද ... යසස්හි අගතැන් නො පැමිණයේ වේ ද ... බහුශ්‍රැත බවට නො පැමිණියේ වේ ද ... රාත්‍රඥ බවට නො පැමිණයේ වේ ද ඒ තාක් මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ නො වෙති. යම් කලෙකැ වැළිත් භද්දාලිය, සඞ්ඝ තෙමේ රාත්‍රඥ බවට පැමිණයේ වේ ද එකල්හි මෙසස්නෙහි සඞ්ඝයා කෙරෙහි කිසි ආස්‍රවස්‍ථානීයධර්‍ම කෙනෙක් පහළ වෙති. එකල්හි බුදුහු එ මැ ආස්‍රවස්‍ථානීයධර්‍මයන් නසන පිණිස ශික්ෂාපද පනවත්.

භද්දාලිය, යම් කලෙකැ මම් තොපට තරුණ අජානීයොපම ධර්‍මපර්ය්‍යාය දෙසුයෙම් ද එසමයෙහි තෙපි අල්ප වූවහු යැ භද්දාලිය, තෝ එය සිහිකරයි ද? යි. වහන්ස තෙල නැත් මැ යැ. භද්දාලිය, එහි ලා කවරහේතුවක් සලකයි දැ’යි. වහන්ස, එකත්නෙන් ඒ මම් දිගු කලක් බුදුසස්නෙහි ශික්ෂාපද සපුරා නො කරන්නෙම් වීමි’යි. භද්දාලිය, තෙලෙ මැ හේතු නො වෙයි. තෙලෙ ප්‍රත්‍ය නො වෙ යි. එතෙකුදුවත් භද්දාලිය, මා විසින් තෝ දිගුකලක් මුළුල්ලෙහි සිතින් විමසා දන්නා ලද්දෙහි යැ: “මේ තුච්ඡපුරුෂ තෙම මා විසින් දහම් දෙසනු ලබන කල්හි අර්‍ථවත් කොට මෙනෙහි කොට සියල්ල සිතින් සමනා එළැවූ කන් ඇති වැ දහම් නො අසා යයි දන්නා ලද්දෙහි යැ. එතෙකුදුවත් භද්දාලිය, මම තට තරුණ අජානීයොපම ධර්‍මපර්ය්‍යාය දෙසමි. එය අස, මොනොවට මෙනෙහි කර, කියමි වදාළහ. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් භද්දාලිස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසෙක:

“යම්සේ භද්දාලිය, දක්ෂ වූ අස්දමුයෙක් භද්‍ර වූ ආජානීය අශ්වයකු ලැබ පළමු මැ මුවවළලු ලීමෙහි ක්‍රියා කරවයි. මුවවළලු ලීමෙහි ක්‍රියා කරවනු ලබන ඕහට නො කළවිරූ ක්‍රියා කරනුලබනුවක්හට සෙයින් යම් කිසි විලොම ආකාර කෙනෙක් විසම හැසිරීම් කෙනෙක් විලොම චලිත කෙනෙක් වෙත් මැ යැ. හේ නිරතරු කිරීමෙන් පිළිවෙලින් කිරීමෙන් එකරුණෙහි නිෂ්ඨාවට යෙයි. යම්කලෙකැ භද්දාලිය, භද්‍රවූ ආජානීය අශ්ව තෙම නිරතුරු කිරීමෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට පැමිණියේ වේ ද, ඒ මොහු අස්දමු තෙමේ මත්තෙහි විය තැබීමෙහි ක්‍රියා කරවයි. විය තැබීමෙහි ක්‍රියා කරවනු ලබන ඕහට නො කළ විරූ ක්‍රියා කරවනු ලබනුවක්හට සෙයින් යම් කිසි විලෝම ආකාරයෝ විසමචරිතයෝ විලෝමචලිතයෝ වෙත් මැ යැ. හේ නිරන්තර කාරණයෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට යෙයි. යම් කලෙක භද්දාලිය, භද්‍ර වූ ආජානීය අශ්ව තෙමේ නිරන්තර කාරණයෙන් අනුපූර්‍වකාරණයෙන් එකරුණෙහි නිෂ්ඨාවට පැමිණියේ වේ ද, ඒ මොහුට අස්දමු තෙමේ මත්තෙහි අනුක්‍රමයෙහි (එක්වට සිව්පා නැඟීමෙහි තැබීමෙහි) ... මණ්ඩලයෙහි ... කුරගින් යෑමෙහි ... ශීඝ්‍රජවයෙහි ... රවයෙහි නො බා පිවිසීමෙහි ... රජු විසින් දතයුතු ගුණයෙහි ... අශ්වරාජවංශයෙහි ... ජවසම්පත්තියෙහි ... උතුම් අස් බැව්හි උත්තම වූ සඛිලභාවයෙහි (සිලිටි වචනයෙහි) ක්‍රියා කරවයි. ඕහට උත්තමජවයෙහි උතුම් අස් බැව්හි උත්තමසඛිලභාවයෙහි ක්‍රියා කරවනලබනුවාට නො කළ විරූ ක්‍රියා කරවන ලබනුවක්හට සෙයින් යම් කිසි විලොම ආකාරයෝ විසම චරිතයෝ විලොමචලිතයෝ වෙත් මැ යැ. හේ නිරන්තරයෙන් අනුපුර්‍වාකාරණයෙන් එකරුණෙහි නිමාවට යෙයි. යම් කලෙකැ භද්දාලිය, භද්‍ර වූ අජානීය අශ්ව තෙමේ නිරන්තරකාරණයෙන් අනුපුර්‍වාකාරණයෙන් එකරුණෙහි නිමාවට ගියේ වේ ද ඒ මොහු අස්දමු තෙමේ මත්තෙහි ... භද්දාලිය, මේ දශ අඞ්ගයෙන් සමන්වාගත වූ භද්‍ර වූ අජානීය අශ්ව තෙමේ රාජාර්‍ග වෙයි. රාජභෝග්‍ය වූයේ රාජාවයට සඞ්ඛ්‍යාවට යෙයි.

එසෙයින් මැ භද්දාලිය, දශ ධර්‍මයෙකින් සමන්වාගත මහණ දුරැ සිට ගෙනවුන් දෙන දන් පිළිගැනීමට නිසි වූයේ, අමුතු දන් පිළිගැනීමට නිසි වූයේ, දක්ෂිණාවට නිසි වූයේ, ඇඳිලි බඳනට නිසි වූයේ, ලොවට අනුත්තර පින්කෙත් වූයේ වෙයි. කවර දශ ධර්‍මයෙකින යත්: භද්දාලියැ, මෙ සස්නෙහි මහණ අශෛක්ෂ සම්‍යග්දෘෂ්ටියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්සංකල්පයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්වචනයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්කර්‍මාන්තයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යගාජීවයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යග්ව්‍යායාමයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්ස්මෘතියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යක්සමාධියෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යග්ඥානයෙන් සමන්වාගත වෙයි. අශෛක්ෂ සම්‍යග්විමුක්තියෙන් සමන්වාගත වෙයි. භද්දාලිය, මේ දස දහමින් යුත් මහණ දුරින් අළ දන් පිළිගැනීමට නිසි වූයේ අමුතු දන් පිළිගැනීමට නිසි වූයේ දක්ෂිණාවට නිසි වූයේ ඇඳිලි බඳනට නිසි වූයේ, ලොවට අනුත්තර පින්කෙත් වූයේ වේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ දෙශනාව වදාළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් භද්දාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

පස්වැනි භද්‍දාලි සුත්‍රය නිමියේය.