මහාමාලුඞ්කය සූත්‍රය


2.2.4 මහාමාලුඞ්ක්‍ය සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක බුදුහු සැවැත්නුවර නිසා ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී බුදුහු ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු මෙසේ වදාළහ: “මහණෙනි, තෙපි මා විසින් දෙසූ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ධරවු දැ?”යි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, මම භාග්‍යවතුන් වදාළ ප‍ඤ්චොරම්භාගිය සංයොජන දරමි”යි. “මාලුඞ්ක්‍යපුත්‍රය, කිසෙයින් තෙපි මා කී ප‍ඤ්චොරම්භාගිය සංයෝජන ධරවු දැ?”යි. “වහන්ස, මම ‘සක්කායදිට්ඨිය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස මම ‘විචිකිච්ඡාව’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘සීලබ්බතපරාමාස’ය බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘කාමච්ඡන්දය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම ‘ව්‍යාපාදය’ බුදුන් වදාළ ඕරම්භාගිය සංයෝජනයෙකැ’යි දරමි. වහන්ස, මම මෙසෙයින් බුදුන් වදාළ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දරමි’යි කීහ.

මාලුඞ්ක්‍යපුත්‍රය, තෙපි මා විසින් මෙසේ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් කවරක්හට දෙසනලදැ’යි ධරවු ද? මාලුඞ්ක්‍යපුත්‍රය, අන්තොටු පිරිවැජියෝ මේ තරුණොපමා උපාරම්භ (නින්‍දාපූර්‍වකදොෂාරොපණ) යෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් ද? “මාලුඞ්ක්‍යපුත්‍රය, උඩුහුරු වැ හෝනා වූ මුග්ධ වූ ළදරු කුමරුහට ‘සක්කාය’ යයි ද දැනුමෙක් නො වෙයි. ඕහට වැළිත් සත්කායදෘෂ්ටියෙක් කොයින් උපදනේ ද ඔහුට සත්කාය දෘෂ්ටි අනුශය වේ මැ යි.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ධර්‍මය’ යන සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ධර්‍මයෙහි විචිකිත්සායෙක් කොයින් උපදනේ ද? ඕහට විචිකිත්සානුශය තෙමේ අනුශය වේ මැ යි.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘ශීල’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් ශීලයෙහි ශීලව්‍රතපරාමර්‍ශයෙක් කොයින් උපදනේ ද? ඕහට ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ අනුශය වේ මැ යැ.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘කාම’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් කාමයෙහි කාමච්‍ඡන්‍දය කොයින් උපදනේ ද? ඕහට කාමරාගානුශය තෙමේ අනුශය වේ මැ යැ.

මාලුඞ්ක්‍යපුත්‍රය, තරුණ වූ මුග්ධ වූ උඩුහුරු වැ හෝනා වූ කුමරහට ‘සත්ත්‍ව’ යයි සිතෙකුදු නො වෙයි. ඕහට වැළිත් සත්ත්‍වයන් කෙරෙහි ව්‍යාපාදයෙක් කොයින් උපදනේ ද? ඕහට ව්‍යාපාදානුශය තෙමේ අනුශය වේ මැ යි. මාලුඞ්ක්‍යපුත්‍රය, අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ මේ තරුණොපමඋපාරම්භයෙන් උපාරම්භ කරන්නාහු නො වෙත් දැ’යි.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කී හ: “භාග්‍යවතුන් වහන්ස, යම් හෙයෙකින් බුදුහු ප‍ඤ්චඕරම්භාගියසංයෝජනයන් දෙසනසේක් නම් භාග්‍යවතුන් වහන්ස, එයට කලි. සුගතයන් වහන්ස, එයට කලි. භාග්‍යවතුන්ගේ දේශනාව අසා භික්ෂූහු ධරත්” යයි. එසේ වී නම් ආනන්‍දයෙනි. අසව මොනොවට මෙනෙහි කරව, වදාරමි’යි. ‘එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළහ.

ආනන්‍දයෙනි, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ (බුද්ධාදි) ආර්ය්‍යයන් නො දක්නේ ආර්ය්‍යධර්‍මයෙහි අදක්ෂ වූයේ ආර්ය්‍යධර්‍මයෙහි නො හික්මුණේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්‍මයෙහි අදක්ෂ වූයේ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් මඩනාලද සත්කායදෘෂ්ටිය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කාය දෘෂ්ටියගේ ද නිස්සරණය (නිවන) ඇති සැටියෙන් නො දනි. ඕහට සත්කායදෘෂ්ටිය ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගිය සංයෝජන වෙයි. විචිකිත්සායෙන් මඩනාලද විචිකිත්සාව අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ විචිකිත්සාව ස්ථිර බවට ගියා නො බැහැර කළා ඕරම්භාගියසංයෝජන වෙයි. ශීලව්‍රතපරාමර්‍ශයෙන් මඩනාලද ශීලව්‍රතපරාමර්‍ශය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්‍රතපරාමර්‍ශයා ගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ශීලව්‍රතපරාමර්‍ශය තෙමේ ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. කාමරාගයෙන් මඩනාලද කාමරාගය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ කාමරාගය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වෙයි. ව්‍යාපාදයෙන් මඩනාලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් නො දනි. ඕහට ඒ ව්‍යාපාදය ස්ථිර බවට ගියේ නො බැහැර කෙළේ ඕරම්භාගියසංයෝජන වේ.

තවද ආනන්‍දයෙනි, ශ්‍රැතවත් වූ ආර්ය්‍යශ්‍රාවක තෙමේ (බුද්ධාදි) ආර්ය්‍යයන් දක්නේ ආර්ය්‍යධර්‍මයට නිපුණ වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි මොනොවට හික්මුණේ සත්පුරුෂයන් දක්නේ සත්පුරුෂධර්‍මයට නිපුණ වූයේ සත්පුරුෂධර්‍මයෙහි මොනොවට හික්මුණේ සත්කායදෘෂ්ටියෙන් නො මඩනාලද සත්කායදෘෂ්ටි අනුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් සත්කායදෘෂ්ටියගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනියි. ඕහට ඒ සත්කායදෘෂ්ටිය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

විචිකිත්සායෙන් නො මඩනාලද විචිකිත්සාව අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් විචිකිත්සාවගේ ද නිස්සරණය ඇති සැටියෙන් දකි. ඕහට ඒ විචිකිත්සාව අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

ශීලව්‍රතපරාමර්‍ශයෙන් නො මඩනාලද ශීලව්‍රතපරාමර්‍ශානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ශීලව්‍රතපරාමර්‍ශයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ශීලව්‍රතපරාමර්‍ශය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

කාමරාගයෙන් නො මඩනාලද, කාමරාගානුගත නො වූ සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් කාමරාගයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ කාමරාගය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

ව්‍යාපාදයෙන් නො මඩනාලද ව්‍යාපාදය අනුව නො ගිය සිතින් යුක්ත වැ වෙසෙයි. උපන් ව්‍යාපාදයාගේ ද නිස්සරණය ඇති සැටියෙන් දනි. ඕහට ඒ ව්‍යාපාදය අනුශය සහිත වැ ප්‍රහීණ වන්නේ යැ.

ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මාර්‍ගයෙක් ඇද්ද, යම් ප්‍රතිපදාවක් ඇද්ද, ඒ මාර්‍ගයට ඒ ප්‍රතිපදාවට නො පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ නො පැනේ. ආනන්‍දය, යම්සේ ස්ථිර වැ සිටුනා, හර ඇති මහත් රුකක්හුගේ සිවි නො සිඳ ඵලය නො සිඳ හර සිඳුමෙක් වන්නේ යැ යන මෙ කරුණ නො වන්නේ ද, එසෙයින් මැ ආනන්‍දය ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් යම් පිළිවෙතෙක් වේ ද, එමඟට එ පිළිවෙතට නො පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේය යැ හෝ යන තෙල කරුණ නො වෙයි. තවද ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් ඇද්ද යම් පිළිවෙතෙක් ඇද්ද, එමඟට එ පිළිවෙතට පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ පැනෙයි. ආනන්‍දය, යම්සේ ස්ථිර වැ සිටුනා හර ඇති මහත් රුකෙකැ සිවි සිඳ ඵලය සිඳ හර සිඳීම වන්නේ යැ යන තෙල කරුණ පැනේ ද, එසෙයින් මැ ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට යම් මඟෙක් ඇද්ද, යම් පිළිවෙතෙක් ඇද්ද, එ මඟට එ පිළිවෙතට පැමිණ ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් දන්නේ යැ හෝ දක්නේ යැ හෝ දුරැලන්නේ යැ හෝ යන තෙල කරුණ පැනෙයි.

ආනන්‍දය, යම්සේ ගඞ්ගානදිය දියෙන් පිරුණී ඉවුරු සම වැ සිටියා කවුඩන් විසින් පිය හැකි වන්නී ද, එකල්හි දුර්‍වල පුරුෂයෙක් “මම් මේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දිය වතුරු සිඳ සුවසේ පරතෙරට යෙමි”යි එන්නේ යැ. හේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යන්නට නො හැකි වන්නේ යැ. ආනන්‍දය, එපරිද්දෙන් මැ සත්කාය නිරෝධය පිණිස දහම් දෙසනු ලබන කල්හි යම් කිසිවක්හු ගේ සිත (එයට) නො බැස සිටී ද, නො පහදී ද, නො පිහිටාසිටී ද, නො මිදේ ද, ඒ දුර්‍වල පුරුෂයා සෙයින් තෙල මෙ බඳු පුද්ගලයෝ දැක්ක යුත්තාහ.

ආනන්‍දය, යම්සේ ගඞ්ගානදිය දියෙන් පිරුණී ඉවුරු සම වැ සිටියා කවුඩන් විසින් පියහැකි වන්නී ද, එකල්හි බලවත් පුරුෂයෙක් “මම් මේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යෙමි”යි එන්නේ යැ, හේ ගඞ්ගානදියෙහි සරස බාහුයෙන් දියවතුරු සිඳ සුවසේ පරතෙරට යන්නට හැකි වන්නේ යැ. එසෙයින් මැ ආනන්‍දය, සත්කාය නිරෝධය පිණිස දහම් දෙසනුලබන කල්හි යම් කිසිවක්හු ගේ සිත (එහි) බැසගනී ද, පහදී ද, පිහිටාසිටී ද, මිදේ ද, ඒ බලවත් පුරුෂයා සෙයින් තෙල මෙ බඳු පුද්ගලයෝ දැක්ක යුත්තාහ.

ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මාර්‍ගය කවරේ ද, ප්‍රතිපදා කවර යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ උපධි සඞ්ඛ්‍යාත කාමගුණයෙන් වෙන් වීමෙන් අකුශලධර්‍ම සඞ්ඛ්‍යාත නීවරණයන් ගේ ප්‍රහාණයෙන් සර්‍වප්‍රකාරයෙන් කය පිළිබඳ අලසබව සන්හිඳීමෙන් කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ එහි ඇතුළුසමවත්හි යම් රූපගතයෙක් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ඒ රූපාදි ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ශල්‍ය වශයෙන් අඝ (දුඃඛස්වභාව) වශයෙන් ආබාධ වශයෙන් පරායත්ත වශයෙන් නැසෙනපියවි ඇති වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් මනා කොට බලයි. හේ ඒ (තිලකුණට නඟා දක්නාලද ඇතුළුසමවත්හි වූ පඤ්චස්කන්ධ) ධර්‍මයන්ගෙන් සිත හකුළුවාලයි. (බැහැර කෙරෙයි,) හේ එ දහමින් සිත හකුළුවා “තෙල සියලු සංස්කාරයන් ගේ සන්හිදීමෙන් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය වීමෙන් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ”යි අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණධාතුයෙහි සිත එළවයි. හේ එහි (ත්‍රිලක්ෂණාලම්බනවිදර්‍ශනායෙහි) සිටියේ ආස්‍රවක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්ෂයට නො පැමිණේ නම් එ මැ (ශමථවිදර්‍ශනා) ධර්‍මයෙහි ඡන්‍දරාගයෙන් එ මැ ධර්‍මනන්‍දියෙන් ප‍ඤ්චොරම්භාගිය ධර්‍මයන් ක්‍ෂය වීමෙන් ඒ ශුද‍ධාවාසලෝකයෙන් (උපප්‍රාප්ති වශයෙන්,) පෙරළා නො එනසුලු, එහි මැ පිරිනිවෙනසුලු ඕපපාතිකයෙක් වේ. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෙ ද ප්‍රතිපදාවකි.

තවද ආනන්‍දය, මහණ විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම චිත්තයාගේ එකඟ බව ඇති, විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. හේ එහි ඇතුළු සමවත්හි යම් රූපගතයෙක් වේදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ... ඒ ශුද්ධාවාසලෝකයෙන් උපප්‍රාප්ති වශයෙන් පෙරළා නො එනසුලු වූයේ වේ. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෙ ද ප්‍රතිපදාවකි.

තවද ආනන්‍දය, මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. හේ එහි යම් වෙදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාර ගතයෙක් විඥානගතයෙක් වේ ද ... ඒ ශුද්ධාවාසලෝකයෙන් පෙරළා නො එනසුලු වූයේ වෙයි. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක මෝ ප්‍රතිපදා යි.

තවද ආනන්‍දය, මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි ... සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවෙක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. හේ එහි යම් වෙදනාගතයෙක් සංඥාගතයෙක් සංස්කාරගතයෙක් විඥානගතයෙක් වේ ද ඒ ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් රෝග වශයෙන් ගණ්ඩ වශයෙන් ශල්‍ය වශයෙන් අඝ වශයෙන් ආබාධ වශයෙන් පරායත්ත වශයෙන් නැසෙනසුලු වශයෙන් ශුන්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විදර්‍ශනාඥානයෙන් බලයි. හේ ඒ ධර්‍මයන්ගෙන් සිත හකුළුවාගනියි. හේ ඒ ධර්‍මයන්ගෙන් සිත හකුළුවාගෙන තෙල සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්ෂය වීමෙක් විරාගයෙක් නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ ද ‘තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’යි නිර්‍වාණධාතුයෙහි සිත එළවයි, හේ එහි සිටියේ ආස්‍රවක්ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්ෂයට නො පැමිණේ නම් එ මැ ධර්‍මරාගයෙන් එ මැ ධර්‍මනන්‍දියෙන් ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ක්ෂය වීමෙන් ඔපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ ඒ ශුද‍ධාවාස ලොකයෙන් (උපප්‍රාප්ති විසින්) පෙරළා නො එන සුලු වූයේ වෙයි. ආනන්‍දය, ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට මෙ ද මාර්‍ගයෙක, මෝ ප්‍රතිපදා යි.

වහන්ස, ඉදින් ප‍ඤ්චොරම්භාගිය සංයෝජනයන් ගේ ප්‍රහාණයට තෙල මාර්‍ග වී නම් තෙල ප්‍රතිපත් වී නම් එකල්හි කුමක් හෙයින් මෙසස්නෙහි ඇතැම් මහණ කෙනෙක් චෙතෝවිමුක්ති ඇත්තාහු ඇතැම් මහණ කෙනෙක් ප්‍රඥාවිමුක්ති ඇත්තාහු වෙත් දැ?යි. ආනන්‍දය, මම මෙහි ලා ඔවුන්ගේ ඉන්ද්‍රියයන් පිළිබඳ වෙනස් බව කියමි’යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ’යි.

සතර වැනි මහාමාලුඞ්ක්‍යසුත්‍රය නිමියේ ය.