මහාරාහුලෝවාද සූත්‍රය

2.2.2 මහාරාහුලෝවාද සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසනලද: එක් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස වැඩිසේක. ආයුෂ්මත් රාහුලභද්‍රයෝ ද පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස නුහුබන්හ. එකල්හි බුදුහු පෙරලා බලා ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ: “රාහුලය, ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි, යම් කිසි අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ රූපයෙක් ඇද්ද, දුරැ වූ හෝ ළඟැ වූ හෝ යම් රූපයෙක් ඇද්ද ඒ හැම රූපය “තෙලෙ මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ තත් වූ පරිදි සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යයි වදාළහ. ‘රූපය මැ ද භාග්‍යවතුන් වහන්ස, රූපය මැ ද භාග්‍යවතුන් වහන්සැ’යි. රාහුලය, රූපයත් වේදනාවත් සංඥාවත් සංස්කාරයෝත් විඥානයත් දැක්ක යුතු යැ’යි.

එකල්හි ආයුෂ්මත් රාහුලභද්‍රයෝ කවරෙක් අද භාග්‍යවතුන් වහන්සේ විසින් හමුයෙහි අවවාදයෙන් අවවාද කරන ලද්දේ ගමට පිඬු පිණිස පිවිසියේ ඇද්ද’යි එයින් මැ නැවැතී එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ එක්තරා රුක්මුලෙකැ පලක් බැඳ කය ඍජු කොට තබා කර්‍මසථානාභිමුඛ කොට සිහි එළවා හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයන් දුටහ. දැක ආයුෂ්මත් රාහුලභද්‍රයන් ඇමැතූහ: “රාහුලයෙනි, ආනාපානසති භාවනාව වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි, මහත් අනුසස් වේ”යයි.

ඉක්බිති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ සවස් වේලෙහි සමවතින් නැගී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්ස, කිසෙයින් වඩනලද, කිසෙයින් බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද, මහත් අනුසස් වේ දැ?”යි.

රාහුලයෙනි, තමා පිළිබඳ වූ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙක් වේ ද ඒ මෙසේ යැ: කෙස් ලොම් නිය දත් සිව් මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදමස් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන් නො පැසුණු අහර පැසුණු අහර යන මේ ද, තවද අන්‍ය වූ ත් තමා පිළිබඳ තමා නිසා හටගත් කර්‍කශ වූ තද බවට පැමිණි මහාභූතයන් නිසා හටගත් යම් කිසි රූපයෙකුත් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික පෘථිවිධාතුවක් ඇද්ද, යම් බාහිර වූ පෘථිවිධාතුවකුත් ඇද්ද, තෙල පෘථිවිධාතු මැ යි. ඒ පෘථිවිධාතුව “තෙල මාගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නොවේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක පෘථිවිධාතුයෙහි උකටලී වෙයි, පෘථිවිධාතුයෙහි සිත් නො අලවයි.

රාහුලය, ආපොධාතු කවර යත් “ආපොධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලය, ආධ්‍යාත්මික ආපොධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් ආපයෙක් ආපොගතයෙක් උපාදින්න වූ යුෂභාවලක්ෂණයෙක් ඇද්ද, ඒ කෙසේ යැ යත්: පිත, සෙම, පූයා යැ ලෙහෙ යැ සෝදිය යැ මේදතෙල ,කඳුළු යැ වුරණුතෙල, කෙළ යැ මුකුණු යැ සඳමිදුළු යැ මූ යැ යන මේ යි. තමා පිළිබඳ වූ තමා අයත් වූ යම් කිසි අන්‍ය වූත් ආපයෙක් ආපොගතයෙක් උපාදින්න වූ යුෂභාව ලක්ෂණයෙක් ඇද්ද, රාහුලය, මේ ආධ්‍යාත්මික ආපොධාතු යයි කියනු ලැබේ. තවද යම් ආධ්‍යාත්මික ආපෝධාතුයෙක් ඇද්ද, යම් බාහිර ආපෝධාතුයෙකුත් ඇද්ද, තෙලෙ ආපෝධාතු මැ යි. ඒ ආපෝධාතුව “තෙලෙ මාගේ නො වෙයි තෙලෙ මම් නොවෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ” යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්කයුතු යැ. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැන ආපෝධාතුයෙහි උකටලි වෙයි. ආපොධාතුයෙහි සිත් නො අලවයි.

රාහුලයෙනි, තේජෝධාතු කවර යත්: තේජෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ. රාහුලයෙනි, ආධ්‍යාත්මික තේජෝධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ තේජසෙක් වේ ද, ඒ මෙසේ යැ: (කිපුණු) යම් තේජෝගතයෙකින් මෙ කය තැවේ ද, යම් තේජසෙකින් මෙ කය දිරා ද, යම් තේජසෙකින් මෙ කය දැවේ ද, යමෙකින් බුදිනලද පානය කරනලද, කනලද රසවිඳිනලද ආහාරය (රස රක්තාදි විසින්) පරිණාමයට යේ ද, (එ ද), තවද අන්‍ය වූත් තමා පිළිබඳ වූ තමා අයත් තේජසෙක් තේජෝගතයෙක් උපාදින්න වූ යම් තේජසෙක් වේ ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික තේජෝධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික තේජෝධාතුවක් වේ ද, යම් බාහිර තේජෝධාතුවකුත් වේ ද, මේ තේජෝධාතු මැ යි. ඒ තේජෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මාගේ ආත්මය නො වේ’. යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක තේජෝ ධාතුයෙහි උකටලි වෙයි. තේජෝධාතුයෙහි සිත් නො අලවයි.

රාහුලයෙනි, වායෝධාතු කවර යත්; වායෝධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික වායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වූ වායුවෙක් වේ ද, ඒ කෙසේ යැ යත්: උඩට නැඟෙන වාත යැ, යටට බස්නා වාත යැ, අතුණින් බැහැර පවත්නා වාත යැ, අතුණු තුළ පවත්නා වාත යැ, අඟපසඟ සරනා වාත යැ, ආශ්වාස යැ, ප්‍රශ්වාස යැ යන මොහු යි. යළි අන්‍ය වූත් කිසි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් උපාදින්න වායුවෙක් ඇද්ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික වායෝධාතු යයි කියනුලැබේ. තවද යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝධාතුවකුත් වේ ද, තෙල වායෝධාතු මැ යැ, ඒ වායෝධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නොවෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ යයි තෙල මෙසේ ඇති සැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක වායොධාතුයෙහි උකටලි වෙයි, වායෝධාතුයෙහි සිත් නො අලවයි.

රාහුලයෙනි, ආකාශධාතු කවර යත්: ආකාශධාතු ආධ්‍යාත්මික ද වන්නී යැ බාහිර ද වන්නී යැ, රාහුලයෙනි, ආධ්‍යාත්මික ආකාශධාතු කවර යත්: තමා පිළිබඳ වූ තමා අයත් වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්න වූ ආකාශයෙක් වේ ද, ඒ මෙසේ යැ: කන්සිද යැ නැහැසිද යැ මුවදොර යැ යමෙකින් අසිතපීත ඛායිතසායිතය ඇතුළත ප්‍රවෙශ කෙරේ ද, යම් අවකාශයෙකැ අසිතපීතඛායිතසායිතය පිහිටාසිටි ද යමක් කරණ කොට අසිතපීතඛායිත සායිතය අධොභාගයෙන් නික්මේ ද (එතැන් ද,) යළි අන්‍ය වූත් යම් කිසි ආධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ ආකාශයෙක් ආකාශගතයෙක් උපාදින්නයෙක් වේ ද, රාහුලයෙනි, මේ ආධ්‍යාත්මික ආකාශධාතු යයි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික ආකාශ ධාතුවක් වේ ද, යම් බාහිර ආකාශධාතුවකුත් වේ ද, තෙල ආකාශධාතු මැ යැ. ඒ ආකාශ ධාතුව ‘තෙල මා ගේ නො වෙයි, තෙලෙ මම් නො වෙමි. තෙලෙ මා ගේ ආත්මය නො වේ’යයි තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු යැ. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් දැක ආකාශධාතුයෙහි උකටලි වෙයි. ආකාශධාතුයෙහි සිත් නො අලවයි.

රාහුලයෙනි, පෘථිවිය හා සම කොට බවුන් වඩව. රාහුලයෙනි, පෘථිවිය සම් කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ සිත හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ පෘථිවියෙහි පවිත්‍ර දැයත් බහාලත් ද, අපවිත්‍ර දැයත් බහාලත් ද, ගුථයත් බහාලත් ද, මූත්‍රයත් බහාලත් ද, කෙළත් බහාලත් ද, පූයාත් බහාලත් ද ලොහිතයත් බහාලත් ද එයින් පෘථිවිය නො ද පෙළෙයි නො ද ලජ්ජිත වෙයි නො ද පිළිකුල් කෙරෙයි. එසෙයින් මැ රාහුලයෙනි, තෙපි පෘථිවිය සම කොට බවුන් වඩව, රාහුලයෙනි, යම් හෙයකින් පෘථිවි සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත් ද (එහෙයිනි).

රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩව. රාහුලයෙනි, ආපය සම කොට බවුන් වඩන තොප ගෙ සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ ආපයෙහි පවිත්‍රයත් අපවිත්‍රයත් දොවිත් ද ගුථයත් දොවිත් ද මූත්‍රයත් දොවිත් ද කෙළත් දොවිත් ද පූයාත් දොවිත් ද ලෙයත් දොවිත් ද එයින් ආපය නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි ආපය සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).

රාහුලයෙනි, තේජස් සම කොට බවුන් වඩව. තේජස් සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ තේජස පවිත්‍රයත් දවා ද අපවිත්‍රයත් දවා ද ගුථයත් දවා ද මූත්‍රයත් දවා ද කෙළත් දවා ද පූයාත් දවා ද ලෙයත් දවා ද එයින් තේජස නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද එසෙයින් මැ රාහුලයෙනි, තෙපි තේජස් සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).

රාහුලයෙනි, වායු සම කොට බවුන් වඩව, රාහුලයෙනි, වායෝධාතු සම කොට බවුන් වඩන තොප ගේ සිතැ උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. යම්සේ වායුව පවිත්‍රය කරාත් හමා ද අපවිත්‍රය කරාත් හමා ද ගුථය කරාත් හමා ද මූත්‍රය කරාත් හමා ද ඛෙළය කරාත් හමා ද පූයා කරාත් හමා ද ලෙහෙය කරාත් හමා ද එයින් වායුව නො ද පෙළේ ද නො ද ලජ්ජිත වේ ද නො ද පිළිකුල් කෙරේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි වායු සම කොට බවුන් වඩව ... නො සිටිත් ද (එහෙයිනි).

රාහුලයෙනි, ආකාශය සම කොට බවුන් වඩව. ආකාශය සම කොට බවුන් වඩන තොප සිත උපන් මනාප වූ ද අමනාප වූ ද ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටුනාහ. රාහුලයෙනි, යම්සේ අහස කිසි තැනෙක නො පිහිටියේ වේ ද, එසෙයින් මැ රාහුලයෙනි, තෙපි අහස සම කොට බවුන් වඩව. අහස සම කොට බවුන් වඩන තොප සිත උපන් ඉෂ්ටානිෂ්ට වූ ස්පර්‍ශයෝ හාත්පසින් මැඩගෙන නො සිටිත්.

රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩව. රාහුලයෙනි, මෛත්‍රිභාවනා වඩන තොප ගේ යම් ව්‍යාපාදයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, කරුණාභාවනා වඩව. රාහුලයෙනි, කරුණාභාවනා වඩන තොප ගේ යම් විහිංසාවක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, මුදිතාභාවනා වඩව. රාහුලයෙනි, මුදිතාභාවනා වඩන තොප ගේ යම් (ප්‍රාන්තසෙනාසනයන්හි හා අධිකුශල ධර්‍මයන්හි) උකටලිබවෙක් වේ ද, එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, උපේක්ෂාභාවනා වඩව. රාහුලයෙනි, උපේක්ෂාභාවනා වඩන තොපට යම් ප්‍රතිඝයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ.

රාහුලයෙනි, අශුභභාවනා වඩව. රාහුලයෙනි, අශුභභාවනා වඩන තොපට යම් රාගයෙක් වේ නම් එය ප්‍රහීණ වන්නේ යැ. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩව. රාහුලයෙනි, අනිත්‍යසංඥා වඩන තොපට යම් අස්මිමානයෙක් වේ නම්, එය ප්‍රහීණ වන්නේ යැ.

රාහුලයෙනි, ආනාපානසති භාවනා වඩව. රාහුලයෙනි, වඩනලද පුනපුනා වඩනලද ආනාපානසතිය මහත්ඵල වෙයි. මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, කිසෙයින් වඩනලද බහුල කරනලද ආනාපානසතිය මහත්ඵල වේ ද මහත් අනුසස් ඇති වේ ද? රාහුලයෙනි, මේ සස්නෙහි මහණ වනසෙනසුනට ගියේ හෝ රුක්මුලට ගියේ හෝ ශුන්‍යාගාරයට ගියේ හෝ පලක් බැඳ කය සෘජු කොට තබා සිහිය කර්‍මස්ථානාභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇති වැ ආශ්වාස කෙරෙයි, සිහි ඇති වැ ප්‍රශ්වාස කෙරෙයි, දීර්‍ඝ කොට හෝ ආශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ආශ්වාස කෙරෙමි’ දනියි. දීර්‍ඝ කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘දීර්‍ඝ කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ආශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ආශ්වාස කෙරෙමි’ දනියි. භ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරන්නේ ‘භ්‍රස්ව කොට ප්‍රශ්වාස කෙරෙමි’ දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස කය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ආශ්වාස ප්‍රශ්වාස කය සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සුඛය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. චිත්තසංස්කාරයන් සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. ධ්‍යාන චිත්තය ප්‍රකට කෙරෙමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ධ්‍යානචිත්තය ප්‍රකට කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ආශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත ප්‍රමුදිත කෙරෙමින් ප්‍රශ්වාස කරන්නෙමි හික්මෙයි. සිත මොනොවට පිහිටුවමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. සිත මොනොවට පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි.

කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. කෙලෙසුන් කෙරෙන් සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. අනිත්‍ය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. විරාගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලෙශනිරෝධය අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ක්ලෙශනිරෝධය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය (විදර්‍ශනාව හා මාර්‍ගය) අනුව බලමින් ආශ්වාස කරන්නෙමි’ හික්මෙයි. ප්‍රතිනිස්සර්‍ගය අනුව බලමින් ප්‍රශ්වාස කරන්නෙමි’ හික්මෙයි. රාහුලයෙනි, මෙසේ වඩනලද මෙසේ පුනපුනා වඩනලද ආනාපානසතිය මහත් ඵල වෙයි, මහත් අනුසස් ඇති වෙයි. රාහුලයෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි යම් පශ්චිම ආශ්වාස ප්‍රශ්වාස කෙනෙක් ඇද්ද, ඔහු ද ප්‍රකට වූවාහු මැ නිරුද්ධ වෙති, අප්‍රකට වූවාහු නිරුද්ධ නො වෙත්.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් රාහුලභද්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්දනා කළහ’යි.

දෙ වැනි මහාරාහුලොවාද සූත්‍රය නිමියේය.