ලටුකිකොපම සූත්‍රය

2.2.6 ලටුකිකොපම සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද. එක් කලෙකැ භාග්‍යවත් බුදුහු අඞ්ගුත්තරාපජනපදයෙහි අඞ්ගුත්තරාපවාසීන් ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණුසේක් දිවාවිහරණය සඳහා එක්තරා වනලැහැබකට පිවිසිසේක. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට වැඩහුන්සේක.

ආයුෂ්මත් උදායි ස්ථවිර තෙමේ ද පෙරවරුයෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසියේය. ආපණයෙහි පිඬු සිඟා හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුණේ දිවාවිහරණය පිණිස ඒ වනලැහැබට පැමිණියේ ය. ඒ වනලැහැබට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහරණයට හිඳගත. එකල්හි එකලා වැ විවේකයෙන් හුන් ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: “ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ දුක් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ සුව ඵළවනුවහ, ඒකාන්තයෙන් බුදුහු අපගේ බොහෝ අකුශලධර්‍මයන් දුරුකරනුවහ. ඒකාන්තයෙන් බුදුහු අපට බොහෝ කුශලධර්‍මයන් ඵළවනුවහ”යි.

ඉක්බිති ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ පස්වරුයෙහි පලසමවතින් නැඟීසිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළ‌‌‌‌‌ඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී යැ: “වහන්ස, මෙහි එකලා වැ විවේකයෙන් හුන් මා ගේ චිත්තයෙහි මෙබඳු පරිවිතර්කයෙක් උපන: භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපට බොහෝ වූ … කුශලධර්‍මයන් ඵළවනසේකැ”යි.

වහන්ස, අපි පෙර සවස්හිදු උදාසන දු දාවල්හි දු විකාලයෙහි වැළඳුම්හ. වහන්ස, යම් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල දිවා විකල්බොජුන් හැර පියව”යි භික්ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්‍යථාත්වය වී මැ යැ, දොම්නස් වී මැ යැ: “ශ්‍රද්ධාවත් ගෘහපතිහු අපට දහවල් විකාලයෙහි යම් ප්‍රණීත වූ කෑයුතු බිදියයුතු දැය දෙති, භාග්‍යවතුන් වහන්සේ අපට ඒ භොජනයාගේ ප්‍රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භොජනයාගේ ද දුරැලීම වදාළසේකැ”යි.

වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ ඒ දිවාවිකල්බොජුන දුරු කළම්හ. වහන්ස, අපි සවස ද උදාසන ද වැළැඳුම්හ. යම් කලෙකැ භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, තෙපි තෙල රාත්‍රි විකල් බොජුන හැරපියව”යි භික්ෂූන් ඇමැතූසේක් ද එබඳු කලෙක් විය. වහන්ස, (එකල්හි) මට (සිත්හි) අන්‍යථාත්වය වී මැ යැ, දොම්නස් වීමැ ය: “මේ දෙවැදෑරුම් බත් අතුරෙන් යම් බතක් අතිශයින් ප්‍රණීත යයි කියනලද ද භාග්‍යවතුන් වහන්සේ අපට ඒ භෝජනයා ගේ ප්‍රහාණය වදාළසේක. සුගතයන් වහන්සේ අපට ඒ භෝජනයාගේ හැරපීම ද වදාළසේකැ”යි.

වහන්ස, පෙර එක්තරා පුරුෂයෙක් දහවල්හි සූපයට නිසි (මත්ස්‍යමාංසාදී) යක් ලැබ මෙසේ කී යැ: “දැන් මෙය තබාපියව, සවස්කලැ හැම දෙනමෝ එක් වැ පියා වළඳම්හ”යි. වහන්ස, යම් කිසි සකස් කළ කෑයුතු දෑ වේ ද, එ හැම රාත්‍රියෙහි වෙයි. දහවල්හි ස්වල්පයෙක් වේ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද ගෞරවය ද ලජ්ජාව ද බිය ද දක්නමෝ මෙසේ තෙල රෑ විකල් බොජුන් හැරපීම්හ.

වහන්ස, පෙර භික්ෂූහු රැය ගනඳුරෙහි පිඬුසිඟා යන්නාහු ඉඳුල්දිය හෙළන තැනට ද පිවිසෙති. ගම්දොර ගවරවළෙහි ද වැටෙති, කටුවැටට ද නැඟෙති, නිදන ගවයන් පිට ද නැඟෙති, කළ සොරකම් ඇත්තා වූ ද කළ සොරකම් නැත්තා වූ ද සොරුන්ට ද හමු වෙති, මාගම ද ඔවුන් මෙවුන්දමින් පවරයි.

වහන්ස, මම් පෙර රැය බොල්අඳුරෙහි පිඬු සිඟා ගියෙමි. වහන්ස, බඳුන් සෝදන එක්තරා ස්ත්‍රියක් විදුලියඑලියෙන් මා දුටුවා යැ. මා දැක බියපත් වූවා “මට වනසෙක, පිශාචයෙක් මා කන්නට ආයේ වනැ”යි මහහඬ නැඟූ යැ. වහන්ස, මෙසේ කී කල්හි මම් ඒ ස්ත්‍රියට තෙල කීමි: “නැඟැණිය, මම් පිශාච නො වෙමි, පිඬු පිණිස සිටි මහණෙක්මි” කීමි. මහණහුගේ පියා මළේ වන, මහණහුගේ මව මළා වන, මහණ, තියුණු වූ ගෙරිකපන කැත්තෙන් තාගේ කුස කපන ලද්දේ මැනැවැ, යම් හෙයකින් මේ රෑ බොල්අඳුරෙහි උදර හේතුවෙන් පිඬු පිණිස හැසිරෙයි ද ඒ නො මනා මැ යි.

වහන්ස, ඒ සිහි කරන මට මේ සිත වෙයි: “ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ සුව ඵළවනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් දුරලනසේක, ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට කුසල්දහම් ඵළවනසේකැ”යි.

උදායිය, ඒ එසේ මැ යැ. ලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනුලබන්නාහු ඔහු මෙසේ කියති: “කුමක් හෙයින් මේ මහණහු ඉතා අල්ප වූ මඳ පමණ වූ මෙකරුණට ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එකරුණ වැලිත් නො හැරපියති. මා කෙරෙහිදු නො සතුට උපදවත්. (සාරිපුත්තාදී) යම් භික්ෂු කෙනෙක් හික්මෙනු කැමැති වෙත් ද, (ඔවුන් කෙරෙහිදු නො සතුට) ඵළවත්. උදායිය, ඔවුන්ට එය බලවත් බන්ධනයෙක් දැඩි බන්ධනයෙක් ස්ථිර බන්ධනයෙක් නො දිරූ බන්ධනයෙක් ගෙල බැඳි මහාකාෂ්ටයෙක් වෙයි.

උදායිය, යම්සේ කැටකිරිල්ලක් කිඳිලිය බැඳුමින් බැඳුණී එහි මැ වධයට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද, උදායිය, යමෙක් ඒ කැටකිරිල්ල යම් කිඳිලිය බැඳුමෙකින් බඳනාලද්දී එහි දී මැ වධයට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද, එයම ඈට අබල බන්ධනයෙක් දුබල බන්ධනයෙක් පුතිබන්ධනයෙක් අසාර බන්ධනයෙක් වේ යයි. කියා නම්, උදායිය, හේ කියනුයේ සැබැවක් මැ කියා දැ’යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, ඒ කැටකිරිල්ල යම් කිඳිලිය බැඳුමෙකින් බඳනාලද්දී එහි මැ වධයට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණේ ද එය ඈට බලවත් බන්ධනයෙක් දැඩි බන්ධනයෙක් ස්ථිර බන්ධනයෙක් නො දිරූ බන්ධනයෙක් ස්ථුලකලිඞ්ගරයෙක් වේ ද එහෙයිනි.

එසෙයින් මැ උදායිය, මේ ඇතැම් තුච්ඡ පුරුෂයෝ ‘මෙය හැරපියව’යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “මේ ඉතා මඳ දැයකට කුමක් හෙයින් මේ මහණහු ඉතා වෑයම් කෙරෙත් දැ”යි. ඔහු එය නො ද හැරපියති. මා කෙරෙහි ද නො සතුට පහළ කෙරෙත් හික්මෙනු කැමැති වූ යම් භික්ෂු කෙනෙක් වෙත් ද (ඔවුන් කෙරෙහි දු නො සතුට) පහළ කෙරෙත්. උදායිය, එය ඔවුන්ට බලවත් බන්ධනයෙක් දැඩි බන්ධනයෙක් ස්ථිර බන්ධනයෙක් නො දිරූ බන්ධනයෙක් ගෙල බැඳි මහාකලිඞ්ගරයෙක් වෙයි.

තවද උදායිය, මෙසස්නෙහි කිසි කුලපුත්‍ර කෙනෙක් ‘මෙය හැරපියව’යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “භාග්‍යවතුන් වහන්සේ අපට යමක්හු ගේ ප්‍රහාණය වදාරනසේක් ද, සුගතයන් වහන්සේ අපට යමක්හු ගේ දුරලීම වදාරනසේක් ද මේ ඉතා අල්ප වූ මඳ පමණ වූ ප්‍රභාතව්‍යයාගේ (බුදුන් විසින් වදාළයුතු) කිමැ”යි ඔහු එ ද හැරපියති. මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති. හික්මෙනු කැමැති වූ (ශාරීපුත්‍රාදී) යම් භික්ෂු කෙනෙක් වෙත් ද ඔවුන් කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලොම ඇති වැ මෙරමා දුන් ප්‍රත්‍යයෙන් යැපෙමින් මෘගසම වූ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායිය, එය ඔවුන්ට අබල බන්ධනයෙකි, දුබල බන්ධනයෙකි, පූතික (දිරූ) බන්ධනයෙකි, අසාර බන්ධනයෙකි. උදායීය, යම්සේ රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඇත් තෙමේ දැඩි වරපට බැඳුමින් බඳනා ලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යේ ද උදායිය, යමෙක් මෙසේ කියා නම්: “රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඒ ඇත් තෙමේ යම් දැඩි වරපට බැඳුමෙකින් බඳනාලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යෙයි. එය ඔහුට බලවත් බන්ධනයෙක, දැඩි බන්ධනයෙක, ස්ථිර බන්ධනයෙක, අපූතික බන්ධනයෙක, ස්ථුලකලිඞ්ගරයෙකැ”යි කියා නම් උදායිය, කියන්නා වූ හේ සැබැවක් මැ කියා දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, රියහිස් වැනි දළ ඇති වැඩුණු සිරුරු ඇති ජාතිසම්පන්න වූ සඞ්ග්‍රාමාවචර වූ රජුගේ ඒ ඇත් තෙමේ යම් දැඩි වූ වරපට බැඳුමෙකින් බඳනා ලද්දේ මඳක් මැ කය නමා ඒ බැඳුම් සිඳ බිඳ කැමැති සේ යේ ද, එය උහුට අබල බන්ධනයෙක, දුබල බන්ධනයෙක, පූතික බන්ධනයෙක, අසාර බන්ධනයෙකි.

එසෙයින් මැ උදායිය, මෙසස්නෙහි ඇතැම් කුලපුත්‍රයෝ ‘මෙය දුරු කරව’යි මාවිසින් කියනු ලබන්නාහු ඔහු “භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පිළිබඳ ප්‍රහාණය වදාරණසේක් ද, සුගතයන් වහන්සේ අපට යමක්හු ගේ දුරලීම වදාරණසේක් ද, කුමක් හෙයින් මේ අල්පමාත්‍ර වූ මඳ පමණ වූ ප්‍රභාතව්‍යය හේතු කොට ගෙන වදාරනසේක් දැ’යි. ඔහු එ ද දුරු කෙරෙති, මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති, හික්මෙනු කැමැති වූ යම් භික්ෂු කෙනෙක් වෙත් ද ඔවුන් කෙරෙහි දු නො සතුට හෝ පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලොම ඇති වැ පරා අයත් පැවැතුම් ඇති වැ මෘගසදෘශ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායිය, එය ඔවුන්ට අබල බන්ධනයෙක, දුබල බන්ධනයෙක, පූතිකබන්ධනයෙක, අසාරබන්ධනයෙක.

යම්සේ උදායි ය, තමා සතු කිසිවක් නැති ආඪ්‍ය නො වූ දිළිඳු පුරුෂයෙක් වේ ද, ඔහට ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ හැසිරිය හැකි උත්තමස්වරූප නො වූ එක් ගෙයෙක් වන්නේ යැ. උස්පහත් වූ (වැල් ඇති) නො මනා වූ හුණුදඬුමුවා හැඳෙක් වන්නේ යැ, එක් සැළෙකැ නො මනා වූ (හමු ආදී ධාන්‍ය හා ලබු ආදි) බිජුවට වෙයි. නො මනාරූ ඇති එක් දුගී බිරිඳක් වන්නී යැ. හෙතෙම ආරාමයෙහි හුන් මොනොවට දෙවූ අත්පා ඇති මනා බොජුන් වැළැඳූ සිහිල් සෙවෙනැ හුන් ධ්‍යානභාවනායෙහි යෙදුණු මහණක්හු දක්නේ යැ. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “භවත, ශ්‍රමණභාවය එකාන්තයෙන් සැපයෙක. භවත, ශ්‍රමණභාවය ඒකාන්තයෙන් ආරොග්‍යයෙකි. යම් බඳු වූ මම් ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ සස්නෙහි පැවිදි වීම් නම් එකාන්තයෙන් පුරුෂයෙක් නම් වන්නේ යයි. හේ ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ හැසිරිය හැකි උත්තමස්වරූප නො වූ එක් කුඩා ගෙය හැරපියා, උස්පහත් වූ (වැල් ඇති) නො මනා වූ හුණදඬුමුවා එක් හැඳ හැරපියා, එක් සැළෙකැ ලූ (හමු, ලබුබිජුවට ඈ) ධාන්‍යසමවාපකය හැරපියා පිළිකුල් කටයුතු එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්ම කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ පැවිදි වන්නට නො හැකි වන්නේ යැ.

උදායිය, යමෙක් මෙසේ කියා ද: “ඒ පුරුෂ තෙම යම් බන්ධනයෙකින් බැඳුණේ ගිලිහුණු ගොනැස් ඇති එක් කුඩා ගෙය … පිළිකුල් කටයුතු වූ එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කහවත් හැඳ පැවිදිවන්නට නොහැක්කේ” යයි කියා නම් එය ඔහට අබල බන්ධනයෙක, දුබල බන්ධනයෙක, පූතික බන්ධනයෙක, අසාර වූ බන්ධනයෙකැ”යි. උදායිය, කියන්නා වූ හෙතෙම සැබැවක් මැ කියන්නේ දැ? යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, යම් බන්ධනයෙකින් බැඳුණු ඒ පුරුෂ තෙමේ ගිලිහුණු ගොනැස් ඇති කවුඩන් රිසිසේ පිවිසිය හැකි නො මනා වූ එක් කුඩා ගෙපැල හැරපියා, උස්මිටි වූ නො මනා වූ එක් හුණදඬු හැඳ හැරපියා, එක් සැළෙකැ ලූ නො අගනා (හමු, ලබුබිජු ඈ) ධාන්‍යසමවාපය හැරපියා, පිළිකුල් කටයුතු වූ එක් බිරිඳ හැරපියා ගිහිගෙන් නික්මැ කෙහෙරැවුළු බහා කසටවත් හැඳ පෙරෙවැ සස්නෙහි පැවිදි වන්නට නො පොහොසත් වන්නේ යැ. එය ඔහට බලවත් බන්ධනයෙක, දැඩි බන්ධනයෙක, ස්ථිර බන්ධනයෙක, නො දිරූ බන්ධනයෙක, ගෙලෙ බැඳි මහදඬුකඩෙකි.

උදායිය, එසෙයින් මැ මෙලොවැ ඇතැම් තුච්ඡපුරුෂයෝ මා විසින් ‘මෙය හැරපියව’යි කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: මේ අල්පමාත්‍ර වූ මඳපමණ වූ කරුණක් හේතු කොට කුමක් කියයුතු ද? මේ මහණහු අධික වැ වෑයම් කෙරෙත්”යයි. ඔහු ඒ අල්පමාත්‍රය ද නොහැරපියති. මා කෙරෙහි දු නො සතුට පහළ කෙරෙති. හික්මෙනු කැමැති වූ යම් භික්ෂු කෙනෙක් වෙත් ද, ඔවුන් කෙරෙහි දු නො සතුට පහළ කෙරෙත්. උදායීය, එය ඔවුන්ට බලවත් බන්ධනයෙක, දැඩි බන්ධනයෙක, ස්ථිර බන්ධනයෙක, අපූතික බන්ධනයෙක, ගෙලෙ බැඳි මහා කලිඞ්ගරයෙකි.

යම් සේ උදායීය, ධනයෙන් ආඪ්‍ය වූ මහද්ධන ඇති මහත් උපභෝගපරිභෝග ඇති නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්ක ඇති නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශි ඇති නොයෙක් සියගණන් කෙත් සමූහ ඇති නොයෙක් සියගණන් වතුසමූහ ඇති නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහ ඇති නොයෙක් සියගණන් දාසසමූහයා ඇති නොයෙක් සියගණන් දාසීසමූහයා ඇති ගෘහපතියෙක් හෝ ගෘහපතිපුත්‍රයෙක් හෝ වෙයි. හේ අරම්හි හුන් මොනොවට දෙවි අත්පා ඇති මනහර බොජුන් වැළැඳූ සිහිල් සෙවණැ හුන් ධ්‍යාන භාවනායෙහි යෙදුණු මහණක්හු දක්නේ යැ. එකල්හි ඔහට මෙසිත වෙයි. “භවත එකත්නෙන් ශ්‍රමණභාවය සුවයෙක. භවත, එකත්නෙන් ශ්‍රමණභාවය ආරෝග්‍යයෙකි. මම් කෙහෙ දැළිරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වෙම් නම් මැනැවැ”යි. හේ නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්කරාශින් හැරපියා, නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශින් හැරපියා, නොයෙක් සියගණන් කෙත් සමූහයන් හැරපියා, නොයෙක් සියගණන් වතු සමූහයන් හැරපියා, නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහයන් හැරපියා, නොයෙක් සියගණන් දාසගණයා හැරපියා, නොයෙක් සියගණන් දාසීගණයා හැරපියා, කෙහෙ දැළිරැවුළු බහා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වන්නට හැකි වන්නේ යැ.

උදායිය, යමෙක් මෙසේ කියා නම්: “ඒ ගැහැවි හෝ ගැහැවිපුත් හෝ යම් බන්ධනයෙකින් බැඳුණේ … නොයෙක් සියගණන් දාසිගණයා හැරපියා කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පැවිදි වන්නට හැකි වේ ද, එය ඔහට බලවත්බන්ධනයෙක, දෘඪබන්ධනයෙක, ස්ථිරබන්ධනයෙක, අපූතිකබන්ධනයෙක, (ගෙල බැඳි) ස්ථුල වූ කලිඞ්ගරයෙකැ”යි කියා නම්, මෙසේ හෙතෙම සැබවක් මැ කියා දැ?යි. වහන්ස, තෙල නො වේ මැ යැ. වහන්ස, යම් බන්ධනයෙකින් බැඳුණු ඒ ගැහැවි හෝ ගැහැවිපිත් හෝ නොයෙක් සියගණන් ස්වර්‍ණනිෂ්කරාශින් හැරපියා, නොයෙක් සියගණන් ධාන්‍යශකටරාශින් හැරපියා නොයෙක් සියගණන් කෙත් සමූහයන් හැරපියා නොයෙක් සියගණන් වතුසමූහයන් හැරපියා නොයෙක් සියගණන් භාර්‍ය්‍යාසමූහයන් හැරපියා නොයෙක් සියගණන් දාසගණයා හැරපියා නොයෙක් සියගණන් දාසීගණයා හැරපියා කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ සස්නෙහි පැවිදි වන්නට පොහොසත් වේ ද, එය ඔහට අබල බන්ධනයෙක, දුබල බන්ධනයෙක, පූතික බන්ධනයෙක, අසාර බන්ධනයෙකැ’යි. එසෙයින් මැ උදායීය, මෙහි කිසි කුලපුත්‍ර කෙනෙක් “මෙය හැරපියව”යි මා විසින් කියනු ලබන්නාහු ඔහු මෙසේ කියති: “භාග්‍යවතුන් වහන්සේ අපට යමක් පිළිබඳ ප්‍රහාණය වදාරණසේක් ද සුගතයන් වහන්සේ අපට යමක් පිළිබඳ දුරලීම වදාරණසේක් ද, මේ අල්පමාත්‍ර වූ පරිත්තමාත්‍ර වූ ප්‍රභාතව්‍යයට වදාළයුතු කිමැ”යි. ඔහු එ ද හැරපියති. මා කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙති. හික්මෙනු කැමැති යම් භික්ෂු කෙනෙක් වෙත් නම් ඔවුන් කෙරෙහි දු නො සතුට නො පහළ කෙරෙත්. ඔහු එය හැරපියා උත්සාහ රහිත වැ පතිතලොම ඇති වැ මෙරමා දුන් ප්‍රත්‍යයෙන් යැපෙමින් මෘගසම වූ (බලාපොරොත්තු රහිත) සිතින් යුක්ත වැ වාසය කෙරෙත්. උදායීය, එය ඔවුනට අබල බන්ධනයෙක, දුබල බන්ධනයෙක, පූතික (දිරූ) බන්ධනයෙක, අසාර බන්ධනයෙකැ”යි.

උදායීය, මෙලොවැ විද්‍යමාන වූ පුද්ගලයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙකැ යත්: උදායීය, මෙලොවැ එක් පුද්ගලයෙක් (ස්කන්ධාදි) උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු උපධීප්‍රතිසංයුක්ත වූ (උපධි අනුව දිවෙන) (හී බඳු) විතර්කයෝ මැඬලති. හේ ඔවුන් ඉවසයි, නො හරියි, දුරු නො කෙරෙයි, විගතාන්ත නො කෙරෙයි, අනභාවයට නො පමුණුවයි, උදායීය, මම මේ පුද්ගලයා ‘ක්ලෙශසංයුක්ත’ යයි කියමි. ‘විසංයුක්ත’ යයි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්ද්‍රියනානාත්වය දන්නාලද ද එහෙයිනි.

තවද උදායීය, මෙලොවැ එක් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු උපධීප්‍රතිසංයුක්ත වූ ශරසංකල්ප (විතර්ක) යෝ මැඬලති. හේ ඒ විතර්කයන් නො ඉවසයි, හැරපියයි, දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගල ද ‘සංයුක්ත’ යයි කියමි. ‘විසංයුක්ත’ යයි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්ද්‍රිය නානාත්වය දන්නාලද ද, එහෙයිනි.

තවද උදායීය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු කිසි කලෙකැ ස්මෘති විප්‍රවාසයෙන් උපධිප්‍රතිසංයුක්ත වූ ශරසංකල්පයෝ මැඩලති, උදායීය, ස්මෘතිහුගේ උපැත්ම ලස් වෙයි. එතෙකුදුවත් එය යුහුව මැ හැරපියයි, දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනු අභාවයට පමුණුවයි. යම්සේ උදායීය, දවස මුළුල්ලෙහි මොනොවට තවනලද යකබලෙක්හි දියබිඳු දෙකක් හෝ තුනක් හෝ හෙළා නම් උදායීය, දියබිඳු හෙළීම ලස් වෙයි, එතෙකුදුවත් එය යුහුවැ මැ ක්ෂයට විනාශයට යන්නේ ද, එසෙයින් මැ උදායීය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන්නේ වෙයි. උපධීන්ගේ ප්‍රහාණය පිණිස උපධීන්ගේ දුරැලීම පිණිස පිළිපන් මොහු කිසි කලෙකැ ස්මෘති විප්‍රවාසයෙන් උපධිප්‍රතිසංයුක්ත වූ ශරසංකල්පයෝ මැඩලති. උදායීය, ස්මෘතිහුගේ උපැත්ම ලස් වෙයි. එතෙකුදුවත් එය යුහුවැ මැ හැරපියයි දුරු කෙරෙයි, විගතාන්ත කෙරෙයි, අනුඅභාවයට පමුණුවයි. උදායීය, මම මේ පුද්ගල ද ‘සංයුක්ත’ යයි කියමි, ‘විසංයුක්ත’ යයි නො කියමි, ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්ද්‍රියනානාත්වය දන්නාලද ද එහෙයිනි.

උදායිය, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ස්කන්ධොපධිය දුකට මුලැ’යි මෙසේ දැන උපධිසඞ්ඛය සඞ්ඛ්‍යාත නිර්වාණයෙහි ආලම්බන හෙයින් මිදුණේ උපධි රහිත වූයේ වෙයි. උදායීය, මේ පුද්ගලයා විසංයුක්ත යැ යි මම් කියමි. සංයුක්ත යැ’යි නො කියමි. ඒ කවර හෙයින යත්: යම් හෙයකින් උදායීය, මා විසින් මේ පුද්ගලයා කෙරෙහි ඉන්ද්‍රියනානාත්වය දන්නාලද ද එහෙයිනි. උදායීය, මේ සතර පුඟුල්හු ලොවැ ඇත්තාහු විද්‍යමාන වෙත්.

උදායීය, මේ කාමගුණයෝ පස් දෙනෙකි: කවර පස් දෙනෙක යත්: ඇසින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාමනිශ්ශ්‍රිත වූ රාගොත්පත්තියට කරුණු වූ රූපයෝ යැ කනින් දතයුතු වූ ශබ්දයෝ යැ … නැහැයෙන් දතයුතු වූ ගන්ධයෝ යැ … දිවින් දතයුතු වූ රසයෝ යැ … කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාවය ඇති කාමනිශ්ශ්‍රිත වූ රාගොත්පත්තියට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. උදායීය, මොහු පස්කම්ගුණයෝ යි. උදායීය, මේ පස්කම්ගුණයන් පිණිස යම් සුවයෙක් සොම්නසෙක් උපදි ද මේ කාමසුඛ යැ අමෙධ්‍ය (අපවිත්‍ර) සුඛ යැ පෘථග්ජන සුඛ යැ අනාර්‍යසුඛ යැ යි කියනු ලැබෙයි. නො සෙවියයුතු යැ, නො වැඩියයුතු යැ, පුනපුනා නො වැඩියයුතු යැ, තෙල සුඛයට බියවියයුතු යැ යි කියමි.

උදායීය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මේ නෛෂක්‍රම්‍යසුඛ යැ, ප්‍රවිචෙකසුඛ යැ, ව්‍යුපශමසුඛ යැ, සම්බොධසුඛ යැ යි කියනු ලැබෙයි. සෙවන කටයුතු යැ, භාවනා කටයුතු යැ, බහුල කටයුතු යැ, තෙල සුඛයට බිය නො වියයුතු යයි කියමි.

උදායීය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ … ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, ‘මේ ඉඤ්ජිත යැ’යි මම කියමි. එහි ඉඤ්ජිතය (කම්පනය) කිමෙක යත්: එහි යම් මැ විතර්කවිචාර කෙනෙක් නිරුද්ධ නො වූවාහු වෙත් ද, මේ එහි ඉඤ්ජිතය වෙයි.

උදායීය, මෙ සස්නෙහි මහණ විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, මෙ ද මම ‘ඉඤ්ජිත යැ’යි කියමි. එහි ‘ඉඤ්ජිත’ නම් කිමෙක යත්: එහි යම්මැ ප්‍රිතිසුඛයෙක් නිරුද්ධ නො වූයේ වේ ද, මේ එහි ‘ඉඤ්ජිත’ වෙයි.

උදායීය, මෙ සස්නෙහි මහණ ප්‍රිතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි, උදායීය, මෙ ද මම ‘ඉඤ්ජිත’ යයි කියමි. එහි ඉඤ්ජිත නම් කිමෙක යත්: එහි යම් මැ උපෙක්ෂාසුඛයෙක් නිරුද්ධ නො වූයේ වේ ද මේ එහි ‘ඉඤ්ජිත’ වෙයි.

උදායීය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්ථධ්‍යානය උපදවා වෙසෙයි. උදායීය, මේ ‘අනිඤ්ජිත’යයි මම කියමි.

උදායීය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙනවැ මැ … ප්‍රථමධ්‍යානය උපදවා වෙසෙමි. උදායීය, මම මේ නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. හැරපියව යි කියමි. ඉක්මව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ විතර්කවිචාරයන්ගේ සන්හිඳීමෙන් … ද්විතීයධ්‍යානය උපදවා වෙසෙයි. මෙ එහි සමතික්‍රමණ වෙයි. උදායිය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි ප්‍රිතියගේ ද විරාගයෙන් … තෘතීයධ්‍යානය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් … චතුර්ථධ්‍යානය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’යි ආකාසානඤ්චායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. හැරපියව යි කියමි. ඉකමව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම ආලය නො කටයුත්තකැ’යි කියමි. ‘හැරපියව’යි කියමි. ‘ඉක්මව’යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. උදායීය, මෙ ද මම ‘නො කටයුතු ආලය ඇත්තකැ’යි කියමි. ‘හැරපියව’යි කියමි, ඉක්මව යි කියමි. එහි සමතික්‍රමණ කවරෙ යත්: උදායීය, මෙසස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවෙදයිතනිරෝධය උපදවා වෙසෙයි. මේ එහි සමතික්‍රමණ වෙයි. මෙසෙයින් උදායීය, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. මෙසෙයින් උදායීය, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ද ප්‍රහාණය කියමි. උදායිය, මම යම් සංයෝජනයක්හු ගේ ප්‍රහාණය නො කියමි නම් අණුමාත්‍ර වූ හෝ ස්ථුල වූ හෝ ඒ සංයෝජනයක් තෙපි දක්නවු දැ’යි. වහන්ස, තෙලෙ නැත් මැ යි.

බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් උදායි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වූහ යි.

සවැනි ලටුකිකොපම සූත්‍රය නිමියේය.