ඝටීකාර සූත්‍රය

2.4.1 ඝටීකාර සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් වූ සඟපිරිස් හා සමග කොසොල් දනවුයෙහි සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් බැහැර ව එක්තරා පියෙසෙක්හි දී සිනා පහළ කළ සේක. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙවන් සිතෙක් විය: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පාළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ උතුරුසඟ එකස් කොට බුදුන් දසට ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිනා පාළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? බුදුහු නො කරුණෙහි සිනා පහළ නො කෙරෙත් නු?”යි.

ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වෙහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ සැපත් පිරුණු බොහෝ ජනයා ඇති මිනිසුන් ගැවැසිගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වෙහලිඞ්ග නිගමය නිසා වැඩවිසූහ. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙතැන්හි වැඩහිඳ බික්සඟනට ඔවා දෙන සේකැ’යි.

එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සඟළ සිවුර සියුගුණ කොට පනවා භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කීහ: “වහන්ස, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳුනා සේක්වා, මෙසෙයින් මෙ බිම්පෙදෙස අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දෙදෙනකුන් විසින් පරිභෝග කරනලද වන්නේ යැ”යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ බුදහු ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමැතූසේක:

ආනන්‍දය, යටගිය දවස මෙ පෙදෙස්හි ‘වෙහලිඞ්ග’ නම් වූ සමෘද්ධ වූ ඉතා සමෘද්ධ වූ බොහෝ ජනයා ඇති මිනිසුන්ගෙන් ගැවැසීගත් නිගමයෙක් වී. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු වෙහලිඞ්ග නිගමය නිසා විසූසේක. ආනන්‍දය, මෙතැන්හි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුනට අරාමයෙක් වී. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප බුදුහු මෙහි වැඩහිඳ බික්සඟනට ඔවා දෙති.

ආනන්‍දය, වෙහලිඞ්ග නම් නිගම ග්‍රාමයෙහි ඝටීකාර නම් කුම්භකාර අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට උපස්ථායක වී, එ ද අග්‍රොපස්ථායක යි. ආනන්‍දය, ඝටීකාර කුම්භකාරයාහට ජෝතිපාල නම් මණෙවු යහළු වී, එ ද ප්‍රියසහාය යි. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ ජෝතිපාල මණෙවු ඇමැතී: “යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ.

අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි. ආනන්‍දයෙනි, මෙසේ කී කල ජෝතිපාල මාණවක ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර ජොතිපාල මාණවකහට තෙල බස් කී: “යම්හ යහළු ජොතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් දැක්ම මා විසින් සාධුසම්මත වේ”යයි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජොතිපාල මණෙවු ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දුටු ඒ මුඩුමහණහු විසින් කිනම් වැඩෙක් වේ දැ?”යි. යහළු ජොතිපාලයෙනි, ඉදින් එසේ වී නම් නහනුවස් කළ කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට යම්හ. ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක ‘යහළුව එසේ මැනැවැ’යි ඝටීකාර කුම්භකාරහට පිළිවදන් ඇස්වී. ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර ද ජෝතිපාල මාණවක ද නාහන කුරුඳුවැළ ගෙන නහනු සඳහා හොයට ගියෝ.

ඉක්බිති ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු ඇමැතී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හුගේ මේ අරම නුදුරෙහි ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක්සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දක්නට එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේ දැක්ම මා විසින් සාධු සම්මත වේ”යයි.

ආනන්‍දයෙනි, මෙසේ කී කල්හි ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙලබස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කිනම් වැඩ වේ දැ?”යි. ආනන්‍දයෙනි, දෙවනවට ද ... ආනන්‍දයෙනි, තුන්වනවට ද ඝටීකාර කුම්භකාර තෙමේ දෝපල් මණෙවු හට තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ගේ මේ අරම අසල ඇත. යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නා සඳහා එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භගවත්හුගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි. ආනන්‍දයෙනි, තුන්වනවට ද ජෝතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, කම් නැත, දක්නා ලද ඒ මුඩු මහණහු විසින් කවර වැඩ වේ දැ?”යි.

ඒ සඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර තෙමේ හිඟ ඉණකඩ අත්ලා ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම අසලෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් දක්නට එළැඹෙම්හ. අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.

ඉක්බිති ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවක තෙමේ හිඟ ඉණකඩ මුදාගෙන ඝටීකාර කුම්භකාරයාහට තෙල බස් කී: “යහළු ඝටීකාරය, පිළිකෙව් කරමි. දක්නා ලද ඒ මුඩුමහණහු විසින් කිමැ”යි.

ඉක්බිත්තෙන් ආනන්‍දයෙනි, ඝටීකාර කුම්භකාර තෙමේ ඉස් සෝදා නහා සිටි ජෝතිපාල මාණවක කෙහෙයෙහි ගෙන තෙල බස් කී: “යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ගේ මේ අරම නුදුරෙහි ඇත, යම්හ යහළු ජෝතිපාලයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් දක්නට එළැඹෙම්හ, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දැක්ම මා විසින් සාධු සම්මත ය”යි.

එකල්හි ආනන්‍දයෙනි, ජෝතිපාල මාණවකහට තෙල සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍ය මැ යැ, භවත්නි, අද්භූත මැ යි. යම් හෙයෙකින් මේ ඝටීකාර කුම්භකාර ලාමකජාති ඇත්තේ මැ ඉස් සෝදා නහා සිටි අපගේ කෙස්වැටිය ගතයුතු කොට සිතා ද, ඒකාන්තයෙන් මේ අපගේ ගමන ලාමක නො වනසේ”යයි ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, (මෙතෙක් දෑ කෙළේ) තෙල ගමන් සඳහා මැ වේ දැ”යි. “යහළු ජෝතිපාලයෙනි, තෙල ගමන් සඳහා මැ වෙයි. එසේ මැ යැ ඒ අර්හත් සම්‍යක් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ ගේ දස්න මා විසින් සාධුසම්මත යැ”යි කී. යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් කෙහෙ ගැනුම් පියව, යම්හ’යි.

එසඳ ආනන්‍දයෙනි, ඝටීකාරකුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුබු බුදුන් කරා එළැඹියහ. එළැඹ ඝටීකාර කුම්භකාර තෙමේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. ජෝතිපාල මාණවක වනාහි අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් හා සමග සතුටු වී. සම්මොදනයට නිසි සිහි කරනට නිසි කථා කොට නිමවා එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර තෙමේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හට තෙල සැල කෙළේ: වහන්ස, මේ ජෝතිපාල මාණවක තෙමේ මාගේ යහළු යැ, ප්‍රිය යහළු යැ, භාග්‍යවතුන් වහන්සේ මුහුට දහම් දෙසන සේක්වා’යි. එසඳ ආනන්‍දයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ඝටීකාර කුම්භකාර හා ජොතිපාල මාණවකහට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජොතිපාල මාණවක හා දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු සමාදන් කරවන ලද්දාහු තෙද ගන්වන ලද්දාහු පහටු කරවන ලද්දාහු අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ හුනස්නෙන් නැඟී අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සකසා වැඳ පැදකුණු කොට ගියෝ.

එසඳ ආනන්‍දය, ජොතිපාල මාණවක තෙමේ ඝටීකාර කුම්භකාරහට තෙල බස් කී: “යහළු ඝටීකාරයෙනි, තෙපි මේ දහම් අසන්නහු නො ද? එතෙකුදු වත් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි නො වව”යි.

යහළු ජෝතිපාලයෙනි, තෙපි මා “අඳ වූ මහලු මාපියන් පුස්නෙමි”යි දන්නහු නො ද?

“යහළු ඝටීකාරයෙනි, එසේ වී නම් මම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙමි”යි.

එසඳ ආනන්‍දය, ඝටීකාර කුම්භකාර හා ජෝතිපාල මාණවක හා දෙදෙන අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ආනන්‍දය, එකත්පස් වැ හුන් ඝටීකාර කුම්භකාර අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැල කෙළේ: “වහන්ස, මේ ජෝතිපාල මාණවක මා ගේ යහළු යැ ප්‍රිය යහළු යැ. භාග්‍යවතුන් වහන්සේ මුහු පැවිදි කෙරෙත්ව’යි. ආනන්‍දය, ජෝතිපාල මාණවක අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වෙත පැවිද්ද ලද, උපසම්පත් ලද.

ඉක්බිති ආනන්‍දය, අර්හත්සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ජොතිපාල මාණවක උපසපන් නොබෝ කල් වූ උපසපන් අඩමසක් ඇති කල්හි වෙහලිඞ්ගයෙහි කැමැති තාක් වාසය කොට බරණැස් නුවර කරා චාරිකායෙහි වාදියෝ, අනුක්‍රමයෙන් සැරිසරන සේක් බරණැස්නුවරට බටහ.

ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු එ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙති. ආනන්‍දය, කිකී නම් කසීරජ “අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුහු බරණැස් නුවරට වැඩියාහු බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවළැව්හි වැඩ වෙසෙත් ල”යි ඇසී. එසඳ ආනන්‍දය, කිකී කසීරජ සුන්‍දර සුන්‍දර යානයන් යොදවා ගෙන සුන්‍දර යානයෙකැ නැඟී අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දක්නට සුන්‍දර සුන්‍දර යානයෙන් යුතු වැ මහත් වූ රාජානුභාවයෙන් නික්ම ගියේ යැ. යානභූමි තාක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් කරා එළැඹ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන් වැඳ එකත්පස් වැ හින. ආනන්‍දය, එකත්පස් වැ හුන් කිකී කසීරජහට අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, පහටු කරවූහ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහටු කරවන ලද්දේ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට භික්ෂුසඞ්ඝයා හා සමග මා ගේ බත ඉවසන සේක්ව”යි. ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ. එසඳ ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ කසුප් බුදුන්ගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ යැ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ එ රැය පහන් වූ කල්හි සිය නිවෙස්නෙහි තෙවැසි සුවඳ රත්හැල්හි කුඩු නැති සහල් ගෙන නොයෙක් සූප ව්‍යඤ්ජන ඇති ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට “වහන්ස, වඩනට කලි, බත්කිස නිම වන ලදැ”යි කල් දැන්වී.

එකල්හි ආනන්‍දය, අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කිකී කසීරජහු ගේ නිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි භික්ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතැප්වී, පැවරී.

ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන් වැළඳුවන් පාත්‍රයෙන් බැහැර කළ අත් ඇතියන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. ආනන්‍දයෙනි, එකත්පස් වැ හුන් කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්විසීම ඉවසන ලදැ”යි. දෙවනවට දු ආනන්‍දය, ... තුන්වනවට දු ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට තෙල බස් සැල කෙළේ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා ගේ බරණැස්පුර වස්විසීම ඉවසන සේක්වා, මහසඟනට මෙවන් උවැටන් වන්නේ යැ”යි. “කම් නැත මහරජ, මා විසින් වස්සාවාස ඉවසන ලදැ”යි. එසඳ ආනන්‍දය, කිකී කසීරජහට: “අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මා ගේ බරණැස් නුවර වස්විසීම නො ඉවසතී” විපරීතසිත් වී, දොම්නස් වී. ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුන්ට: “වහන්ස, මට වඩා උපස්ථායකතර වූ අන් කිසිවෙක් මුබ වහන්සේට ඇද්දැ?යි මෙවදන් කී.

මහරජ, වේහලිඞ්ග නම් නියම්ගමෙක් ඇත. එහි ඝටීකාර නම් කුම්භකාරයෙක් ඇති. හෙ තෙම මාගේ උපස්ථායක යැ අග්‍රොපස්ථායක යි. මහරජ, තොපට වැළිත් “අර්හත් සම්‍යක් සම්බුද්ධ කසුප් බුදුහු මා ගේ බරණැස් නුවර වස්සාවාස නො ඉවසතී” විපරීත සිතෙක් ඇත, දොම්නසෙක් ඇති. ඒ මෙ දොම්නස ඝටීකාර කුම්භකාර කෙරෙහි නැත, නො ද වන්නේ යි.

මහරජ, ඝටීකාර කුම්භකාර වූකලි බුදුන් සරණ කොට ගියේ යැ, දහම් සරණ කොට ගියේ යැ, සඟුන් සරණ කොට ගියේ යි.

මහරජ, ඝටීකාර කුම්භකාර පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවායෙන් වෙන් වූයේ වෙයි, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වෙන් වූයේ වෙයි.

මහරජ, ඝටීකාර කුම්භකාර බුදුන් කෙරෙහි අචෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වෙයි, ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි අචෙත්‍යප්‍රසාදයෙන් සමන්වාගත වෙයි, ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්වාගත වෙයි.

මහරජ, ඝටීකාර කුම්භකාර දුඃඛසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛසමුදයසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරොධසත්‍යයෙහි නිසැක වූයේ දුඃඛනිරොධ ගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නිසැක වූයේ වෙයි.

මහරජ, ඝටීකාර කුම්භකාර එකභත්තික වැ බ්‍රම්සර ඇති වැ සිල්වත් වැ කලණදහම් ඇති වැ සිටින සුලු වෙයි.

මහරජ, ඝටීකාර කුම්භකාර හැරපී මණි ස්‍වර්‍ණ ඇතියේ හැරපී රන්රිදී ඇතියේ වේ.

මහරජ, ඝටීකාර කුම්භකාර බහාතැබූ මොහොල් ඇතියේ සියතින් පොළෝ නො කණියි. ඉවුරෙන් ගිලිහුණු යම් මැ මැටියෙක් වේවයි මීයන් නැඟූ යම් මැ මැටියෙක් වේවයි ඇද්ද, එය කඩින් ගෙනවුත් බඳුන් තනා මෙසේ කියයි: “යමෙක් කැමැති වේ නම් සහල්පිහිවා වේවයි, මුංපිහවා වේවයි කඩලපිහිවා වේවයි මෙහි බහා යම් බඳුනක් කැමැති වේ නම් එය ගෙන යේව”යි.

මහරජ, ඝටීකාර කුම්භකාර අඳමහලු මවුපියන් පුස්නේ යැ.

මහරජ, ඝටීකාර කුම්භකාර පඤ්චඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඔපපාතික වැ එ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ එහි මැ පිරිනිවන් පානාසුලු වෙයි.

මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි වාස කරමි. ඉක්බිති මහරජ මම් පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී බැස ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙලබස් කී: “සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වැසි වූහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත්දිනක් නො හළේ යැ.

මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එක්බිති මහරජ, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ඝටීකාර කුම්භකාරයා ගේ මාපියන් කරා එළැඹියෙමි. එළැඹැ ඝටීකාර කුම්භකාරයාගේ මාපියනට තෙල බස් කිමී: “දැන් මේ භාර්ගව කොහි ගියේ වේ දැ”යි. වහන්ස, ඔබ ගේ උපස්ථායක බැහැර ගියේ යැ. තෙල සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳන්නේ යැ”යි. ඉක්බිති මහරජ මම සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳ කොට හුනස්නෙන් නැඟී නික්ම ගියෙමි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මාපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල බස් කී: “සැළියෙන් කොමු ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියේ කවරෙකැ”යි. දරුව, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු සැළියෙන් බත් ගෙන සූපභාජනයෙන් සූප ගෙන වළඳා හුනස්නෙන් නැඟී බැස ගියහ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. එසඳ මහරජ, ප්‍රීතිසුඛය අඩමසක් ඝටීකාර කුම්භකාරයා නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි.

මහරජ, මම එක් කලෙක වේහලිඞ්ග නියම්ගම්හි මැ වාස කරමි. එසමයෙහි ගඳකිළිය තෙමෙයි. ඉක්බිති මහරජ, මම භික්ෂූන් ඇමැතීමි: “මහණෙනි, යව, ඝටීකාර කුම්භකාරයාගේ නිවෙස්නෙහි තණ ගෙනෙව”යි. මහරජ, මෙසේ වදාළ කළ මහණහු මට තෙල සැල කොළෝ, “වහන්ස, ඝටීකාර කුම්භකාරයා ගේ නිවෙස්නෙහි තෘණ නැත, ඔහු ගේ නවසියන් ඇති ශිල්පශාලායෙක් ඇත”යි. “මහණෙනි යව, ඝටීකාර කුම්භකාරයාගේ ශිල්පශාලාව නිස්තෘණ කරව”යි. මහරජ, එසඳ මහණහු ඝටීකාර කුම්භකාරයාගේ සිප්හල නිස්තෘණ කළහ. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරයාගේ මාපියෝ මහණනුට තෙල කීහු: “කවරහු සිප්හල නිස්තෘණ කෙරෙද්දැ”යි. මහණහු “බුහුනැණියෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ භගවත්හු ගේ ගන්ධකුටිය තෙම්යි”. වහන්ස, ගෙන යව, භද්‍රමුඛයෙනි, ගෙන යව”යි. ඉක්බිති මහරජ, ඝටීකාර කුම්භකාර මවුපියන් කරා එළැඹියේ යැ, එළැඹ මවුපියනට තෙල් කී: “කවරහු සිප්හල නිස්තෘණ කොළෝ දැ”යි. දරුව, මහණහු යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු ගේ ගඳකිළිය තෙමේ ලැ”යි. එසඳ මහරජ, ඝටීකාර කුම්භකාරහට තෙල සිත් වී: “මට ලාභයෙක් මැ යැ, මට මනා ලැබීමෙක් මැ යැ, අර්හත් සම්‍යක් සම්බුද්ධ කාශ්‍යප භගවත්හු මාහට මෙසේ ඉතා විස්වස් ඇතියහ”යි. ඉක්බිති මහරජ, ප්‍රීතිසුඛය ඝටීකාර කුම්භකාරයා අඩමසක් නො හළේ යැ. මාපියන් ගේ ප්‍රීතිසුඛය සත් දිනක් නො හළේ යි. ඉක්බිති මහරජ, ඒ සිප්හල මුළු තෙමස අහස්සෙවෙනි ඇති වැ සිටගත, නො තෙමිණ. මහරජ, ඝටීකාර කුම්භකාර තෙමේ මෙබන්දෙකැ”යි.

වහන්ස, යමක්හට භගවත්හු මෙසේ ඉතා විස්වස් ඇති වූහු ද, ඒ ඝටීකාර කුම්භකාරයාහට ලාභයෙක, ඒ ඝටීකාර කුම්භකාරයාහට සුලබ්ධ ලාභයෙකැ’යි.

ඉක්බිති ආනන්‍දය, කිකී කසීරජ කලප් කොට වියළු රත්හැල් පිළිබඳ සහල්ගැල් පන්සියක් පමණ යැවී, එයට නිසි සූපාර්හ දැය ද යැවී. ඉක්බිති ආනන්‍දය, ඒ රාජපුරුෂයෝ ඝටීකාර කුම්භකාරයා කරා එළැඹ තෙල කීහු: “වහන්ස, කිකී කසීරජු විසින් කලප් කොට වියළු රත්හැල් පිළිබඳ මේ පන්සියක් පමණ සහල්ගැල් එවනලද, එයට නිසි සූපාර්හ දැය ද එවන ලදැ’යි. වහන්ස, ඒ දැය පිළිගන්නේ යැ’යි. රජ වනාහි බොහෝ කිස ඇත්තෙක, බොහෝ කරණී ඇත්තෙක, මට කම් නැත, රජුට මැ වේව’යි.

ආනන්‍දය, තට මෙබඳු සිතෙක් විය හෙයි: “එසමයෙහි ජොතිපාල මාණවක අනෙකෙක් වී යැ” කියා යි. ආනන්‍දය, තෙල මෙසේ නො දැක්කයුතු යැ, මම එසමයෙහි ජොතිපාල මාණවක විමී”යි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

පළමු වැනි ඝටීකාරසුත්‍රය නිමියේය.