බෝධිරාජකුමාර සූත්‍රය

2.4.5 බෝධිරාජකුමාර සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාරගිර නුවර නිසා භේසකලාවන නම් මුවළැව් වැඩ වසනසේක. එසමයෙහි වනාහි බෝධිරාජකුමාරයාගේ ‘කොකනද’ නම් පහය අළුතැ කරවන ලදුයේ මහණක්හු විසින් වේවයි බමුණක්හු විසින් වේවයි මිනිස් වූ කිසිවක්හු විසින් වේවයි නො වසන ලද වෙයි. එකල්හි බෝධිරාජ කුමාර තෙම සඤ්ජිකාපුත්‍ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්‍රයෙනි, තෙපි බුදුන් කරා එළැඹෙව. එළැඹ මාගේ බසින් භාග්‍යවතුන් වහන්සේගේ පා සඟල සිරසින් වඳුව, අරොග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුලුවුස්ව. ‘වහන්ස, බොධිරාජකුමාර බුදුන්ගේ පාසඟළ සිරසින් වඳියි, අරොග බව නිදුක් බව කයෙහි සැහැල්ලු බව කායබලය පහසුවිහරණ පුළුවුසී” යයි. මෙසේත් කියව: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට බොධිරාජ කුමරුගේ බත භික්ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්‍ර මාණව බොධිරාජකුමාරහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වී. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සඤ්ජිකාපුත්‍ර මාණව භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟුළුවන් මුදුනින් වඳීයි. ආරෝග්‍යය නිදුක්බව කයෙහි සැහැල්ලුබව කායබල ඵාසුවිහරණ පුළුවුස්සි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බොධිරාජ කුමරුගේ බත භික්ෂුසඞ්ඝයා හා සමග ඉවසන සේක්ව” යි. බුදුහු තුෂ්ණීම්භාවයෙන් ඉවසූහ.

එසඳ සඤ්ජිකාපුත්‍ර මාණව භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී බෝධිරාජකුමරු වෙත එළැඹියේ ය. එළැඹ බෝධිරාජ කුමරුට තෙල බස් කී: “ඇපි භවතුන් ගේ වචනයෙන් ඒ භවත් ගෞතමයන්ට සැලකළම්හ: “භවත් ගෞතමයන් වහන්ස, බෝධිරාජකුමාර භවත් ගෞතමයන්ගේ පාසඟළ සිරසින් වඳියි, ආරොග්‍යය නිදුක්බව කායලඝුත්වය කායබලය පහසුවිහරණ විචාරයි. මෙසේත් කියයි: “භවත් ගෞතමයන් වහන්සේ සෙට බෝධිරාජ කුමරුගේ බත බික්සඟන හා සමග ඉවසන සේක්ව” යි. වැළිත් ශ්‍රමණ ගෞතමයන් විසින් ඉවසන ලද ද වේ යයි.

එසඳ බෝධිරාජකුමාර එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙළ කරවා කොකනද පහයත් හිණග (හිණිපාමුල) දක්වා හෙළ පිළී අතුරුවා සඤ්ජිකාපුත්‍ර මාණවයා ඇමැතී: “එව යහළු සඤ්ජිකාපුත්‍රයෙනි, තෙපි භාග්‍යවතුන් කරා එළඹෙව, එළඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්‍යවත්නට කල් දන්ව”යි. ‘එසේ යැ භවත්නි’යි සඤ්ජිකාපුත්‍ර මාණව බොධිරාජකුමරහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ ‘වහන්ස, වඩනට කලි, බත නිමියේ යැ’යි භාග්‍යවත්නට කල් දැන්වී.

එසඳ බුදුහු පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන බොධිරාජකුමරා ගේ නිවෙස්න කරා එළැඹියහ. එ වේලෙහි බොධිරාජකුමාර බිහිදොරකොටුවෙහි භාග්‍යවතුන් එනු බලමින් සිටියේ වෙයි. බොධිරාජකුමාර වඩනා භාග්‍යවතුන් දුරදී මැ දිට, දැක පෙරගමන් කොට භාග්‍යවතුන් වැඳ පෙරටු කොට කොකනද පහය කරා එළැඹියේ යැ.

එසඳ බුදුහු හිණිපාමුල නිසා වැඩසිටියහ. ඉක්බිති බොධිරාජකුමර භාග්‍යවත්නට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදුහු පියවිල්ලට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිල්ලට නැඟෙනසේක්වා, යම් හෙයෙකින් එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ ද, එහෙයිනැ”යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහ. දෙවනවට ද බොධිරාජකුමර භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදහු පියවිලියට නැඟෙනසේක්වා, සුගතයන් වහන්සේ පියවිලියට නැඟෙනසේක්වා, එය මට දිගුකලක් හිත පිණිස සුව පිණිස වේ” යයි. දෙවනවට ද බුදුහු නිහඬ වූහ. තුන් වනවට ද බෝධිරාජකුමර භාග්‍යවතුන්ට තෙල බස් සැලකෙළේ: “වහන්ස, බුදහු පියවිලියට නැඟෙත්වා, සුගත්හු පියවිලියට නැඟෙත්වා, එය මට දිගුකලක් හිත සුව පිණිස වේ” යයි.

එසඳ බුදුහු ආයුෂ්මත් අනඳ තෙරුන් බැලූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ බෝධිරාජකුමරහට තෙල බස් සැලකළහ: “රජකුමරුවෙනි, පියවිලි හකුළාලව බුදුහු පියවිලි නො ඇක්මෙති, තථාගතයෝ පශ්චිම ජනතාව බලති”යි. එසඳ බෝධිරාජකුමාර පියවිලි හකුළුවා කොකනද පහාහි මතුමහල්හි අසුන් පැනවී. ඉක්බිති බුදුහු කොකනද පහයට නැඟී පැනවූ අස්නෙහි භික්ෂුසඞ්ඝයා හා සමග වැඩ හුන්හ. ඉක්බිති බොධිරාජකුමර බුදුපාමොක් මහසඟන ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සැතැප්වී, මොනොවට පැවැරී. ඉක්බිති බොධිරාජකුමාර වළඳා නිමවූ පාත්‍රයෙන් බැහැර කළ අත් ඇති භාග්‍යවතුන් දැන එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් බෝරජකුමර භාග්‍යවත්නට තෙල බස් සැලකළේ: “වහන්ස, මට මෙසේ සිත් වෙයි, ‘සුවයෙන් සුවය නො ලද හැක්ක. දුකින් මැ සුවය ලද හැක්කැ”යි.

රජකුමර, සම්බෝධියෙන් පෙර මැ ප්‍රතිවේධ නො කළ සිව්සස් ඇති බෝසත් වූ මැ මට ද තෙල සිත් වී: “සුඛයෙන් සුඛය නො ලද හැක්ක, දුඃඛයෙන් මැ සුඛය ලද හැක්කැ”යි. රජකුමර, ඒ මම් මෑතභාගයෙහි තරුණ මැ වූයෙම් මනා කළුකෙහෙ ඇතියෙම් භද්‍රයෞවනයෙන් සමන්වාගත වූයෙම් ප්‍රථම වයසින් සමන්වාගතයෙම් නො කැමැති මාපියන් කඳුළු මුසු මුහුණු ඇති වැ හඬනුවනට අනදර කොට කෙහෙරැවුළු බහාලා කහවත් හැඳපෙරවැ ගෙන් නික්ම සසුන් වන්මි. ඒ මම් මෙසේ පැවිදි වූයෙම් කිංකුශලගවේෂී වැ උත්තම ශාන්ති සඞ්ඛ්‍යාත වරපදය (නිවන) සොයනුයෙම් ආළාරකාලාම (තවුස්) කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි, කාලාමයෙනි, මම් මෙ සස්නෙහි බඹසර සරනට කැමැත්තෙමි”යි. රජකුමරුවෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම මට තෙල බස් කී: “ඇවැත්නි, වසව, යම් දහමෙකැ නුවණැති පුරිස් නොබෝකලකින් මැ සිය අදුරුසමය තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වසන්නේ නම් මෙ දහම එබඳු යැ”යි. රජකුමර, ඒ මම් නොබෝකලෙකින් මැ වහා මැ එ දහම අසා උගත්මි. රජකුමර, එ මම් එතෙක් මැ තොල් පහළ පමණින් වදන් පිළිවදන් පමණින් ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි. ‘දනිමි දක්මි’යි ද මමත් පිළින කෙරෙමි. සෙස්සෝත් (කියති.) රජකුමර, ඒ මට තෙල සිත් වී: “ආළාර කාලාම මෙ දහම හුදෙක් සැදැහැමතුයෙන් තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වෙසෙමි’ නො මැ පවසයි. ඒකාන්තයෙන් ආළාර කාලාම මෙ දහම දනිමින් දක්මින් වාස කෙරේ”යයි.

රජකුමරුවෙනි, එසඳ මම් ආළාරකාලාම කරා එළැඹියෙමි. එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි කාලාමයෙනි, කිපමණෙකින් අපට මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට ඊට පැමිණ වෙසෙමී’ ප්‍රකාශ කරවූ දැ”යි. රාජකුමාරය, මෙසේ කී කල්හි ආළාරකාලාම ආකිඤ්චඤ්ඤායතනය පැවැසී. රජකුමර, ඒ මට තෙල සිත් වී: “ආළාරකාලාමහට මැ ශ්‍රද්ධා නො ද ඇති, මාහට ද ශ්‍රද්ධා ඇති. ආළාරකාලාමහට මැ වීර්‍ය්‍ය නො ද ඇති, මාහට ද වීර්‍ය්‍ය ඇති. ආළාරකාලාමහට මැ නො ද සිහි ඇති, මාහට ද සිහි ඇති, ආළාරකාලාමහට මැ සමාධි නො ද ඇති, මාහට ද සමාධි ඇති. ආළාරකාලාමහට මැ ප්‍රඥා නො ද ඇති, මාහට ද ප්‍රඥා ඇති. ආළාරකාලාමහට යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ වාස කෙරෙමී’ පවසා ද මම් එ දහම් පසක් කරනුවට වීර්‍ය්‍ය කෙරෙම් නම් මැනැව”යි. රජකුමර, ඒ මම් නොබෝ කලෙකින් මැ වෙලෙවි වැ මැ එ දහම තමන් විසින් වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කෙළෙමි.

රජකුමර, ඉක්බිති ම්ම් ආළාරකාලාම කරා එළැඹියෙමි, එළැඹ ආළාරකාලාමහට තෙල බස් කීමි: “ඇවැත්නි කාලාමයෙනි, මෙතෙකින් අපට මෙ දහම තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කෙරෙමී’ පවසවු දැ?”යි. “ඇවැත්නි, මෙතෙකින් මම් මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වෙසෙමි’යි පවසමි” යි. ‘ඇවැත්නි, මමත් මෙතෙකින් මේ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසෙමි’යි, ඇවැත්නි, අපට ලාභයෙක, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනකුන් දක්මහ, මෙසෙයින් මම් යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එය උපදවා පවසම් ද, තෙපි එ දහම තමන් විසින් වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කරව. තෙපි යම් දහමක් තමන් විසින් වෙසසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කරවු ද, මම් එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙරෙමි. මෙසෙයින් මම් යම් දහමක් දනිම් ද, තෙපි එ දහම දනිවු. තෙපි යම් දහමක් දනිවු ද, මම් එ දහම දනිමි. මෙසෙයින් මම් යම් බඳුයෙම් ද, තෙපි එ බඳු වව. තෙපි යම් බඳුවවු ද, මම් එ බඳු වෙමි. එව දැන් ඇවැත්නි, දෙදෙනමෝ මෙ ගණය පරිහරණ කරම්හ”යි. රජකුමර, මෙසෙයින් වනාහි ආළාරකාලාම මා ගේ ආචාර්ය වූයේ මැ අතැවැසි වූ මා තමා හා සමසම කොට තැබී. උදාර පූජායෙනුදු මා පිදී යැ. රජකුමර, ඒ මට තෙල සිත් වී: “මෙ දහම් නිර්වේදයට නො වැටෙයි, විරාගයට නිරොධයට ව්‍යුපශමයට අභිඥාවට සම්බොධයට නිර්‍වාණයට නො වැටෙයි. ආකිඤ්චඤ්ඤායතනොත්පත්තිය පිණිස මැ පවතී” යයි. රජකුමර, එ ම්ම් එ දහම පිළිකෙව් කොට එ දහමින් කලකිරී බැහැර ගියෙමි.

රජකුමර, එ මම් ‘කුසල් කිමැ’යි සොයනු යෙම් අනුත්තර සන්තිවරපදය (නිවන) පිරියෙස්මින් උද්දක රාමපුත්‍ර කරා එළැඹියෙමි. එළැඹ උද්දක රාමපුත්‍රහට තෙල බස් කිමී: “ඇවැත්නි, රාමයෙනි, මම මෙ සස්නෙහි බඹසර සරනු රිසියෙමි”යි. රජකුමර, මෙසේ කී කල්හි රාම පුත් උද තවුස් මට මෙසේ කී: “ඇවැත්නි, වසව. යම් දහමෙක විඥපුරුෂ නොබෝ කලෙකින් මැ සිය අදුරුසමය තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කෙරේ නම් මේ එබඳු දහමෙකි”යි. රජකුමර, එ මම් නොබෝ කලෙකින් මැ වෙලෙවි වැ මැ එ දහම පිරිවැහීමි. රජකුමර, එ මම් එතෙක් තොල් පහළ පමණින් මැ වදන් පිළිවදන් මතුයෙන් මැ ඥානවාදයත් ස්ථවිරවාදයත් කියමි. ‘දනිමි දක්මි’ ද මමත් පිළින කෙරෙමි. තෙසුවෝත් පිළින කෙරෙති. රජකුමර, ඒ මට තෙල සිත් වී: “රාම තවුස් මෙ දහම හුදෙක් ශ්‍රද්ධා පමණෙකින් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වෙසෙමි’ නො ද පැවැසී. ඒකාන්තයෙන් රාම මෙ දහම දනිමින් දක්මින් විසී” යයි.

එසඳ රාජකුමාරය, මම් රාමපුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රාම පුත් උද තවුස්හට තෙල බස් කීමි: “ඇවැත්නි රාමයෙනි, කිපමණෙකින් අපට මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එය උපදවා වාස කෙරෙමි’ පවසවු දැ”යි, රජකුමර, මෙසේ කී කල්හි රම්පුත් උද තවුස් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ යැ. රජකුමර, ඒ මට තෙල සිත් වී: “රාමහට මැ ශ්‍රද්ධා නො ද වූ, මට දු ශ්‍රද්ධා ඇත. රාමහට මැ වීර්ය්‍ය නො ද වී, මට දු වීර්ය්‍ය ඇත. රාමහට මැ ස්මෘති නො ද වූ, මට දු ස්මෘති ඇත. රාමහට මැ සමාධි නො ද වූ, මට දු සමාධි ඇත. රාමහට මැ ප්‍රඥා නො ද වූ, මට දු ප්‍රඥා ඇති. රම් තවුස් යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කෙරෙමී ප්‍රකාශ කෙළේ ද, මම එ දහම් පසක් කරනුවට ප්‍රධන් වීර්ය්‍ය කරනෙම් නම් ඉතා මැනැවැ”යි. රජකුමර, ඒ මම් නොබෝ කලෙකින් මැ වහා මැ එ දහම තමා විසින් තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට වාස කෙළෙමි.

එසඳ රාජකුමාරයෙනි, මම් රම්පුත් උද තවුස් කරා එළැඹියෙමි. එළැඹ රම්පුත් උද තවුස්හට තෙල බස්කීමි: “ඇවැත්නි, රාමයෙනි, මෙතෙකින් අපට මෙ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එය උපදවා ප්‍රකාශ කෙරෙහි දැ”යි. ඇවැත්නි, මෙතෙකින් මම් මෙ දහම තමා විසින් වෙසෙසා දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙරෙමි”යි. “ඇවැත්නි, මෙතෙකින් මමත් මෙ දහම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි”යි. ඇවැත්නි, අපට ලාභයෙක, ඇවැත්නි, අපට මනා ලාභයෙකි. ඇපි තොප වැනි සබ්‍රම්සර ආයුෂ්මත් කෙනෙකුන් දැකුම්හ. මෙසෙයින් රාම යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපි එ දහම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාස කරව. තෙපි යම් දහමක් තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාස කරවු ද, එ දහම රාම තමා විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ යැ. මෙසෙයින් රාම යම් දහමක් දත්තේ ද, තෙපි එ දහම දන්නහු යැ. තෙපි යම් දහමක් දන්නහු ද, එ දහම රාම දන්නේ යැ. මෙසේ රාම යම් බඳු වී නම් තෙපි එ බඳුව. තෙපි යම් බඳු වවු නම් රාම එ බඳු වී. එව දැන් ඇවැත්නි, තෙපි මෙ ගණය පරිහරණ කරව”යි. රජකුමරුවෙනි, මෙසෙයින් රාමපුත්‍ර උද්දක මා ගේ සබ්‍රම්සැරි වූයේ මැ මා අදුරු තන්හි තැබී. උදාර පූජායෙනුදු මා පිදී. රාජකුමරය, ඒ මට තෙල සිත් වී: “මෙ දහම නිර්වේදයට නො වැටෙයි. නො ද විරාගයට නො ද නිරොධයට නො ද කෙලෙස් සන්හිඳීමට නො ද අභිඥාවට නො ද සම්බොධයට නො ද නිර්‍වාණයට වැටෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි උපත පිණිස මැ වැටේ”යයි. රජකුමර, ඒ මම් එ දහම ප්‍රතික්‍ෂෙප කොට එ දහමින් කලකිරී ඉවත් ව ගියෙමි.

රජකුමර, ඒ මම් ‘කිංකුශලගවෙෂී වැ අනුත්තර ශාන්තිවරපදය සොයනුයෙම් මගධ දනවියෙහි පිළිවෙළින් සැරිසරනුයෙම් උරුවෙලායෙහි සේනා නම් නියම්ගමට (සෙනානී නම් සිටුහුගේ ගමට) බටුයෙමි. එහි රමණී භූමිභාගය ද ප්‍රසාද එළවන වන ළැහැබ ද සුදු වැලිතලා ඇති මනා තොට ඇති ගලන රමණී හොය ද හාත්පසැ පිහිටි ගොදුරුගම ද දිටිමි. රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “භුමිභාගය රමණී මැ යැ වනළැහැබ ප්‍රසාද එළවන්නේ මැ යැ. සුදුවැලිතලා ඇති මනා තොට ඇති රමණී හොය ද ගලයි. හාත්පසැ ගොදුරුගම් ද වෙයි. ප්‍රධන් වීර්‍ය්‍යය කරනු කැමැති කුලපුතක්හට ප්‍රධන් පිණිස මෙ තැන සමර්ථ මැ යැ”යි. රජකුමරුවෙනි, මම “මෙතැන ප්‍රධන් පිණිස සමර්ථ වෙති”යි ඒ බෝපලගෙහි මැ නිෂද්‍යා කෙළෙමි.

තවද රජකුමරුවෙනි, මට පුනපුනා අසිරි එළවන පෙර නො ඇසූවිරූ උපමාවෝ තුන්දෙනෙක් වැටහුණහ: “රජකුමරුවෙනි, ස්නෙහ සහිත දියෙහි බැහූ තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි නිපදවමි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ සනා සහගිය දියෙහි බැහූ තෙල තෙත් කාෂ්ටය උතුරු රිණි ගෙන ගිනි නිපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ?යි. වනහ්ස, මෙ කරුණ නො වනසුලු මැ යැ, ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල තෙත් කාෂ්ටය සස්නෙහ වෙයි. එ ද දියෙහි බැහුණේ වෙයි. ඒ පුරුෂ ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ මැ යැ’යි. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි මහණහු වෙත්වයි බමුණහු වෙත්වයි කයිනුදු සිතිනුදු කාමයෙන් නො වෙන් වූවාහු වෙසෙත් ද ඔවුන් ගේ කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නෙහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණහු තීව්‍ර කටුක ඖපක්‍රමික වූ ද දුඃඛවෙදනා විඳිති. ඔහු අනුත්තර සම්බොධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය ද වෙති. ඉදින් ඒ භවත් මහණ බමණහු තීව්‍රැ කටුක දුඃඛවෙදනා නො විඳුනාහු නම් වූහු ද, වැළිත් ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මෙ පළමු උපමා වැටහිණ.

රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ අනෙක් දෙවන උපමායෙක් ද වැටහිණ. රජකුමරුවෙනි, යම් පරිදි දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ ස්නේහ සහිත තෙත් කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි නිපදවමි’යි, තෙද පහළ කෙරෙමි’යි එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂ ස්නේහ සහිත දියෙන් බැහැර වැ සිටි ගොඩබිමැ ලූ තෙත් කාෂ්ටය උතුරු රිණි ගෙන අළලන්නේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ’යි. වහන්ස මෙ කරුණ නො වනසුලු යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙලෙ දියෙන් බැහැර වැ සිටියේ නමුදු ගොඩබිමෙහි ලූයේ නමුදු සස්නේහ වූ තෙත් කාෂ්ටයෙකි. ඒ පුරුෂ ක්ලමථුවට වෙහෙසට හිමි වන්නේ මැ යැ. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි, බ්‍රාහ්මණ කෙනෙක් වෙත්වයි, කාමයෙන් කයින් වෙන් වූවාහු වෙසෙත් ද, ඔවුන් ගේ කාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමස්නෙහයෙක් කාමමුර්ඡායෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ නො වේ ද, සන්හුන් නො වේ ද, ඒ භවත් මහණ බමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික වූ ත් දුඃඛවෙදනාවන් විඳිති. ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. ඉදින් ඒ භවත් මහණබමණහු තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛවෙදනා නො විඳුනාහු නමුදු, ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට අභව්‍ය මැ වෙති. රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ දෙවන උපමා ද වැටහිණ.

රජකුමරුවෙනි, මට නැවත නැවත ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ අනෙකුත් තුන්වන උපමායෙක් ද වැටහිණ. රජකුමරුවෙනි, යම් පරිදි කොලොපු වූ දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ වියළි කාෂ්ටයෙක් ඇද්ද, ඉක්බිති පුරුෂයෙක් උතුරු රිණි ගෙන ගිනි උපදවමි’යි, තෙද පහළ කෙරෙමි’ එන්නේ වේ ද, රජකුමරුවෙනි, ඒ කෙසේ හඟිහි? ඒ පුරුෂයා කොලොපු වූ දියෙන් බැහැර වැ සිටි ගොඩබිමෙහි ලූ තෙල ශුෂ්කකාෂ්ටය උතුරු රිණි ගෙන මඩනුයේ කිම ගිනි උපදවන්නේ වේ ද, තෙද පහළ කරන්නේ වේ දැ?යි. වහන්ස, එසේ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙලෙ ශුෂ්කකාෂ්ටය කොලොපු වෙයි, එ ද දියෙන් බැහැර වැ සිටියේ වෙයි. ගොඩබිම්හි ලූයේ වෙයි. රජකුමරුවෙනි, එපරිදි මැ යම් කිසි ශ්‍රමණ කෙනෙක් වෙත්වයි බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ව’යි කයිනුදු සිතිනුදු කාමයෙන් වෙන් වැ වෙසෙත් ද, ඔවුන් ගේ යම් කාමයෙහි කාමච්ඡන්‍දයෙක් කාමස්නෙහයෙක් කාමමුර්ඡායෙක් කාම පිපාසායෙක් කාමපරිදාහයෙක් ඇද්ද, එ ද සිය සතන්හි සුප්‍රහීණ වූයේ වේ ද, සන්හුන් වේ ද, ඉදින් ඒ භවත් මහණබමුණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛ වේදනා විඳුනාහු නමුදු ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට මැ භව්‍ය වෙති. ඉදින් ඒ භවත් මහණබමණෝ තීව්‍ර ඛර කටුක ඖපක්‍රමික දුඃඛවෙදනාවන් නො විඳුනාහු නමුදු, ඔහු අනුත්තර සම්බෝධ සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයට මැ භව්‍ය වෙති. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් උපමා වැටහිණ. රජකුමරුවෙනි, මට පුනපුනා ආශ්චර්‍ය්‍ය එළවන පෙර නො ඇසූවිරූ මේ තුන් උපමාවෝ වැටහුණහ’යි.

රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “යටිදත්හි උඩුදත තබා දිවින් තල්ල පැහැර (කුසල්සිතින්) අකුසල්සිත නිගන්නෙම් පෙළෙන්නෙම් තවන්නෙම් නම් මැනැවැ”යි. රජකුමරුවෙනි, මම යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන සිතින් සිත නිගන්මි, පෙළමි, තපොවීර්‍ය්‍ය කෙරෙමි. රජකුමරුවෙනි, යටිදතෙහි උඩුදත තබා දිවින් තලු පැහැර ගෙන් සිතින් සිත නිගන්නා පෙළන තපොවීර්‍ය්‍ය කරන මාගේ කච්ඡයෙන් ස්වෙදයෝ මිදෙත්. රජකුමරුවෙනි, බලවත් පුරුෂයෙක් ඉතා දුබල පුරුෂයකු හිසෙහි වේවයි ස්කන්ධයෙහි වේවයි ගෙන නිගන්නේ වේ ද, පෙළන්නේ වේ ද, තාප කරන්නේ වේ ද, රජකුමරුවෙනි, එපරිදි මැ යට දතෙහි උඩුදත තබා දිවින් තලු පැහැරගෙන සිතින් සිත නිගන්න පෙළන තවන මාගේ කැසින් ස්වෙදයෝ මිදෙත්, රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ වෙයි, සංලීන නො වෙයි, සිහි එළවියා වෙයි, මුෂිත නො වෙයි. ඒ දුක් සහගිය ප්‍රධනින් මැ ප්‍රධන් වැරින් විත් කෑවාවූ මැ මාගේ කය දරථ සහිත වෙයි, නො සන්හුන් වෙයි.

රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම් අප්‍රාණක (නිරාශ්වාස) ධ්‍යාන කරනෙම් නම් මැනැවැ”යි. රජකුමරුවෙනි, ඒ මම් මුවිනුදු නැහැයෙනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු අසස්පස් වැළහූ කල්හි මා ගේ කන්සිළින් නික්මෙන වායුහුගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. යම්සේ නම් කඹුරුසම පුඹුනා කල්හි අධිමාත්‍ර ශබ්දයෙක් වේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු ආශ්වාසප්‍රශ්වාස වැළහු කල්හි කන්සිඳින් නික්මෙන වායුහුගේ අධිමාත්‍ර ශබ්දය වෙයි. රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ සංලීන නො වෙයි, සිහි එළඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.

රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම නිරස්සාසක වූ මැ ධ්‍යාන වඩම් නම් මන මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළහූ කල අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. රජකුමරුවෙනි, යම් පරිදි බලවත් පුරුෂයෙක් තියුණු කඩුසිළෙකින් මුදුන පෙළන්නේ ද, එපරිදි මැ රජකුමරුවෙනි, මා ගේ මුවිනුදු නැහැයෙනුදු කනිනුදු ආශ්වාස ප්‍රශ්වාස වැළහු කල්හි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළත්. රජකුමරුවෙනි, මා විසින් වැර රුකුළේ අසංලීන වෙයි, සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.

රජකුමරුවෙනි, මට තෙල සිත් වී: “මම අප්‍රාණක වූ මැ ධ්‍යාන වඩනෙම් නම් මනා මැ නු”යි. රජකුමරුවෙනි, මම මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළකීමි. රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පස් වැළහූ කල්හි මා ගේ ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශීර්‍ෂවේදනාවෝ වෙති. රජකුමරුවෙනි, යම්සේ බලවත් පුරුෂයෙක් දැඩි වූ වරබහනින් හිසෙහි හිස්වෙළුම් බඳනේ ද, එසෙයින් මැ රජකුමරුවෙනි, මුවිනුදු නැහැයෙනුදු කනිනුදු අසස්පසස් වැළහු කල්හි ශීර්‍ෂයෙහි අධිමාත්‍ර ශීර්‍ෂවේදනාවෝ වෙති. රජකුමරුවෙනි, මා විසින් රුකුළු වැර සංලීන නො වෙයි. සිහි එළැඹ සිටියා මුෂිත නො වෙයි. එතෙකුදු වත් මා ගේ කය එ මැ දුක් සහගිය පදහනින් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් විත් කෑයේ දරථ සහිත වූයේත් නො සන්හුන්නේත් වෙයි.

රජකුමරුව�%