මඛාදේව සූත්‍රය

2.4.3 මඛාදේව සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මියුලුනුවර නිසා මඛාදේව නම් අඹඋයන්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා පියෙසෙක්හි සිනා පහළ කළ සේක. එසඳ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල සිත් වී: “භාග්‍යවතුන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ, ප්‍රත්‍යය කවරේ යැ? නො කරුණෙහි තථාගතයෝ සිනා පහළ නො කෙරෙති”යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සිවුරු එකස් කොට පෙරවැබුදුන් දෙසට ඇඳිලි බැඳ වැඳ භාග්‍යවත්නට තෙල බස් සැල කොළෝ: “භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අකාරණයෙහි තථාගතයෝ සිනා පාළ නො කෙරෙති”යි.

ආනන්‍දය, පෙර වූ දැයක් කියමි: මෙ මැ මිථිලායෙහි ධාර්මික වූ ධර්‍මරාජන් වූ මඛාදේව නම් රජ කෙනෙක් වූහ. (දශකුශල කර්‍මපථ) ධර්‍මයෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවස් ද එළැඹෙයි.

එකල්හි ආනන්‍දය, මඛාදේව රජ බොහෝ වර්ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී ය: “සගය කපුව, යම් දිනෙකැ මා හිස නර උපදනේ වේ ද, එසඳ මට සැල කරව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපු “දේවයෙනි, එසේ යැ”යි මඛාදේව රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපු වර්ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේව රජුගේ හිසැ උපන් නර දිටී. දැක මඛාදේව රජුට තෙල කී: “දේවයන්හට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති”යි. “සගය කපුව, එ කරුණින් ඒ නර මොනොවට හඬුයෙන් උදුරා මා ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි, එසේ යැ”යි. මඛාදෙව රජුට පිළිවදන් දී ඒ පලිතයන් මොනොවට අඬුයෙන් උදුරා මඛාදෙව රජු ගේ ඇඳිලියෙහි තැබී.

ආනන්‍දය, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් නර පැනෙයි, මා විසින් මානුෂකාමයෝ වළඳනලදහ, දිව්‍යකාම සොයන්නට කල් වෙයි. පුතැ කුමරුවෙනි, තෙපි එව, මේ රජය පිළිපදුව, මම වනාහි කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙමි. පුතැ කුමරුවෙනි, ඒ කරුණින් මැ තෙපි දු යම් දිනෙකැ හිසෙහි උපන් නර දක්නහු ද, එසඳ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි ලා සමනුශාසනා කොට කෙහෙමස් බහා කසාවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙව, මා විසින් මේ කලණ වැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව. තෙපි මා ගේ අන්තිම පුරුෂ නො වව. පුතැ කුමරුවෙනි, යම් පුරුෂයුගයක් ඇති විට මෙ බඳු කලණ වට සිඳී යේ ද, හේ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. පුතැ කුමරුවෙනි, එහෙයින් මම තොපට මෙසේ කියමි: මා විසින් මේ කලණවැටෙක් පිහිටුවන ලද ද, එය පවත්වා ලව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව”යි.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජ කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු රජයෙහි ලා සමනුශාසනා කොට මේ මුවදෙව් අඹවෙනෙහි මැ කෙහෙමස් බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම පැවිද්දට වන. හෙ මෙත්සඟිය සිතින් එක් දිගක් පතුරුවා ගෙන විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග ද එසේ තුන්වන දිග ද එසේ සතරවන දිග දැ’යි මෙසෙයින් උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් හැම ලොවැ විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපේක්ෂා සහගත චිත්තයෙන් ස්පර්‍ශ කොට විසී.

ආනන්‍දයෙනි, මඛාදේව රජ සූවාසුදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ. සූවාසුදහසක් හවුරුදු මේ මඛාදේව අඹවෙනෙහි මැ ගෙන් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවට පැමිණියේ බඹසර පිරී. හෙ සතර බඹවෙහෙර හවා කාබුන් මරණින් මතුයෙහි බඹලෝ කරා ගියේ වී.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් දිනෙකැ මා හිසෙහි පලිතයෝ උපදිත් ද, එසඳ මට කියව”යි කී. ආනන්‍දයෙනි, ඒ කපුවා “දේවයෙනි එසේ යැ”යි මඛාදේවපුත්‍ර රජුට පිළිවදන් දිනි. ආනන්‍දයෙනි, ඒ කපුවා බොහෝ වර්‍ෂශතසහස්‍රයන් ඇවෑමෙන් මඛාදේවපුත්‍ර රජුගේ හිසෙහි පහළ වූ නරකෙස් දිටී. දැක මඛාදේවපුත්‍ර රාජයාහට තෙල බස් කී: “දේවයන්හට දෙවදූතයෝ පහළ වූහ, හිසෙහි හටගත් පලිතයෝ පැනෙති”යි කී. “සගය කපුව, එහෙයින් ඒ පලිත මනාකොට අඬුවෙන් උදුරා මා ගේ කරපුටයෙහි තබව”යි. ආනන්‍දයෙනි, ‘දේවයෙනි, එසේ යැ’යි කපුවා මඛාදේවපුත්‍ර රාජයාහට පිළිවදන් දී ඒ නර මනාකොට අඬුවෙන් උදුරා මඛාදේවපුත්‍ර රජුගේ කරපුටයෙහි තැබී.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු පුත් කපුවාට ගම්වරයක් දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් වනාහි මානුෂකාමයෝ වළඳන ලදහ. දිව්‍යකාම සොයන්නට කලි. එව දරුව කුමාරයෙනි, තෙපි මේ රජය පිළිගනුව. මම වැළිත් කෙහෙරැවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස් පැවිද්දට වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් කලෙකැ තෙපි දු හිසෙහි පලිතයෝ දක්නවු ද, එකල්හි කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිද්දට වදුව. මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව. දරුව කුමාරයෙනි, යම් පුරුෂ යුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ ඔවුන් ගේ අන්තිමපුරුෂ වෙයි. එහෙයින් පුතැ කුමරුවෙනි, තොපට මම මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණ වැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.

ඉක්බිති ආනන්‍දයෙනි, මඛාදේව රජු ගේ පුත්‍ර කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රාජ්‍යයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන. හෙ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසෙයින් උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් ස්පර්‍ශ කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසී. එසේ දෙවන දිග යැ එසේ තුන්වන දිග යැ එසේ සතර වන දිග යැ යි මෙසෙයින් උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්ෂා සහගත සිතින් ස්පර්‍ශ කොට විසී. ආනන්‍දයෙනි, වැළිත් මුවදෙව් රජු පුත් සූවාසුදහසක් හවුරුදු කුමරකෙළි කෙළියේ යැ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු මෙ මැ මුවදෙව් අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වන්නේ බඹසර සැරි. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියේ යි.

තවද ආනන්‍දයෙනි, ඒ මඛාදෙව රජු ගේ දරුමුනුබුරු පරපුරෙහි සූවාසුදහසක් ක්‍ෂිත්‍රියයෝ මෙ මැ මඛාදේව අඹවනයෙහි කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන්හ. ඔහු මෙත් සහගිය සිතින් එක් දිගක් අරමුණු කොට විසූහ. එසේ දෙවන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතර වන දිග යැ’යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රී සහගත චිත්තයෙන් අරමුණු කොට විසූහ. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපේක්ෂාසහගත සිතින් එක් දිගක් ස්පර්‍ශ කොට විසූහ. එසේ දෙවන දිග යැ එසේ තුන් වන දිග යැ එසේ සතරවන දිග යැ’යි මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්ෂා සහගත සිතින් අරමුණු කොට විසූහ. ඔහු සූවාසුදහසක් හවුරුදු කුමාරකෙළි කෙළියහ, සූවාසුදහසක් හවුරුදු යුවරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මහරජය කළහ. සූවාසුදහසක් හවුරුදු මෙ මැ මඛාදෙව අඹවෙනෙහි ගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු බඹසර සැරූහ. ඔහු සියුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියහ.

ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමි එ රජුන්ගේ පැසුළුරජ වී. දහමෙහි සිටි මහරජ බමුණු ගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙයි, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසු දු වෙසෙයි.

ආනන්‍දයෙනි, භූතපූර්‍වයක් කියමි: සුදම්සබයෙහි රැස් වැ හුන් තව්තිසාවැසි දෙවියන් කෙරෙහි මේ අතුරු කථාව උපන: “භවත්නි, විදෙහයනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදෙහයනට එකාන්ත මනා ලාභයෙක. යම් කෙනකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදෙහයනට ඒකාන්ත ලාභයෙකැ”යි.

ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු තව්තිසැවැසි දෙවියන් ඇමැති: “නිදුකාණෙනි තෙපි අප ගේ නිමිරජු දක්නට කැමැතියවු දැ”යි. එසමයෙහි වනාහි නිමිරජ එ පණුරැසි පොහෝ දවස්හි හිස් සෝධා නහා පෙහෙවස් සමාදන් වැ මතුමහල්තලයට වැද හුන්නේ වෙයි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද, දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ තව්තිසාදෙවියන් කෙරෙහි අතුරුදහන් වූයේ නිමිරජ පෙරට පහළ වී. ඉක්බිති ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජහට තෙල බස් කී: “මහරජ, තොපට ලාභයෙක, මහරජ, තොපට මනා ලාභයෙකි මහරජ, තව්තිසැවැසි දෙවියෝ සුදම්සබයෙහි තොප ගේ ගුණකීර්තනය කෙරෙමින් හුන්හ: “භවත්නි, විදේහයනට ඒකාන්ත ලාභයෙක, විදේහයනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ වෙදෙහයනට ඒකාන්ත ලාභයෙකැ’යි ගුණ කීර්තනය කෙරෙමින් හුන්හ. මහරජ, තව්තිසාවැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ, තොපට මම දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් එවන්නෙමි. මහරජ, නො බා දිව්‍යයානයට නැගෙව”යි කී.

ආනන්‍දයෙනි, නිමිරජ තුෂ්ණීම්භාවයෙන් ඉවසී. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු නිමිරජු ගේ අධිවාසන දැන යම්සේ නම් බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේ ද දික් කළ අතක් හෝ වක් කරන්නේ ද, එසෙයින් මැ නිමිරජු හමුයෙහි අතුරුදහන් වූයේ තව්තිසැ දෙවියන් කෙරෙහි පහළ වී.

එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී, එව තෙපි දහසක් අසුන් යෙදූ ආජන්‍ය රථයක් සදා ගෙන නිමිරජු කරා එළැඹ මෙසේ කියව: “මහරජ, මේ දහසක් අසුන් යෙදු ආජන්‍යරථය තොපට සක් දෙවිඳු විසින් එවන ලද. මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘තොපට යහපතෙකි දේවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දහසක් අසුන් යෙදූ ආජන්‍යරථයක් සාදාගෙන නිමිරජු කරා එළැඹ තෙල බස් කී: “මහරජ, මේ දහසක් අසුන් යෙදූ ආජන්‍යරථය ශක්‍රදෙවෙන්ද්‍ර විසින් තොපට එවන ලද, මහරජ, නො බා දිව්‍යයානයට නැඟෙව. තවද මහරජ, “යම් මඟෙක්හි හෝ පාපකර්‍ම ඇත්තාහු පාපකර්‍මයන් ගේ විපාක විඳිත් ද, යම් මඟෙක්හි හෝ කල්‍යාණකර්‍ම ඇත්තාහු කල්‍යාණකර්‍මයන් ගේ විපාක විඳිත් ද, ඒ කවර මඟෙකින් තොප ගෙන යෙම් දැ”යි ‘මාතලිය, මා දෙමඟින් මැ ගෙන යව’යි. ආනන්‍දයෙනි, මාතලී රියැදුරු නිමිරජු සුදම්සබයට පැමිණවී. ආනන්‍දයෙනි, සක් දෙවිඳු නිමිරජු දුරින් මැ එන්නා දිටී. දැක නිමිරජුට තෙල බස් කී:”

“එන්නේ යැ මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තව්තිසා වැසි දෙවියෝ තොප ගේ ගුණ කීර්තනය කෙරෙමින් හුන්හ: “භවත්නි විදෙහරටවැසියනට ඒකාන්ත ලාභයෙක, භවත්නි, විදෙහරටවැසියනට ඒකාන්ත මනා ලාභයෙක, යම් කෙනෙකුන්ට ධාර්මික වූ ධර්‍මරාජන් වූ නිමිරජ ඇද්ද, දහමෙහි සිටි මහරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනව්වැසියන් කෙරෙහි දු සම වැ හැසිරේ ද, තුදුස්වක්හි දු පසළොස්වක්හි දු අටවක්හි දු පෙහෙවසුදු වෙසේ ද, ඒ විදේහරටවැසියනට ඒකාන්ත ලාභයෙකැ”යි. මහරජ, තව්තිසා වැසි දෙවියෝ තොප දක්නා කැමැතියහ. මහරජ දෙවියන් කෙරෙහි දේවානුභාවයෙන් සිත් අලව”යි. කම් නැත නිදුකාණෙනි, එහි මියුලුනුවරට මැ මා පෙරළා පමුණුවාවා. එහි මම් බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම් වැසියන් කෙරෙහි දු දනවුවැසියන් කෙරෙහි දු සම වැ හැසිරෙන්නෙමි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසුදු වෙසෙමි”යි. එසඳ ආනන්‍දයෙනි, සක්දෙවිඳු මාතලී රියැදුරු ඇමැතී: “සගය මාතලී එව. තෙපි අසුන්දහසක් යෙදූ ආජන්‍යරථයක් සදාගෙන නිමිරජු එ මිනිස්ලොව්හි මියුලුනුවරට මැ ඇරලව”යි. ආනන්‍දයෙනි, මාතලී සඞ්ග්‍රාහක ‘යහපතෙකි තොපට දෙවයෙනි’යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා අසුන් දහසක් යෙදූ ආජන්‍යරථයක් යොදාගෙන නිමිරජු එ මිනිස්ලොව මියුලු නුවරට මැ ඇරැලී.

ආනන්‍දයෙනි, එහි වූකලි නිමිරජ බමුණුගැහැවියන් කෙරෙහි දු නියම්ගම්වැස්සන් කෙරෙහි දු දනවුවැස්සන් කෙරෙහි දු සම වැ හැසිරෙයි. තුදුස්වක්හි හා පසළොස්වක්හි හා අටවක්හි හා පෙහෙවසදු වෙසෙයි. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් කපුවා ඇමැතී: “සගය කපුව, යම් කලෙකැ මා ගේ හිසෙහි උපන් පලිතයෝ දක්නෙහි ද, එකල්හි මට සැල කරව”යි, ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දෙවයෙනි’යි නිමිරජහට පිළිවදන් ඇස්වී. ආනන්‍දයෙනි, කපුවා බොහෝ වර්‍ෂයන් බොහෝ වර්‍ෂශතයන් බොහෝ වර්‍ෂසහස්‍රයන් ඇවෑමෙන් නිමිරජු ගේ සිරසෙහි උපන් පාලිතයන් දිටි, දැක නිමිරජහට තෙල බස් කී: “දේවයන්ට දේවදූතයෝ පහළ වූහ, සිරසෙහි උපන් පලිතයෝ පැනෙති”යි, එසේ වී නම් සගය කපුව, ඒ පලිතයන් මොනොවට හඬුයෙන් උදුරා මා ගේ ඇඳිලියෙහි තබව”යි. ආනන්‍දයෙනි, කපු ‘එසේ යැ දේවයෙනි’ යි නිමි රජුට පිළිවදන් අස්වා ඒ පලිතයන් මනාකොට හඬුයෙන් උදුරාගෙන නිමිරජු ගේ කරපුටයෙහි තැබී. එසඳ ආනන්‍දයෙනි, නිමිරජ කපුවාට ගම්වර දී දෙටුපුත්කුමරු අමතා තෙල බස් කී: “පුතැ කුමරුවෙනි, මට දේවදූතයෝ පහළ වූහ, හිසෙහි උපන් පලිතයෝ පැනෙති, මා විසින් මානුෂකාමයෝ වළඳන ලදහ. දැන් දිව්‍යකාම පිරියෙස්නට කලි. දරුව කුමාරයෙනි, එව තෙපි මේ රජය පිළිගනුව, මම වැළිත් කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම අනාගර තවුස්පැවිදි වදනෙමි. එසේ වී නම් පුතැ කුමරුවෙනි, යම් දවසෙකැ තෙපි දු සිරසෙහි පලිතයන් දක්නවු නම් එසඳ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට කෙස්මස් බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වදුව. මා විසින් තබනලද මේ කලණවැට පවත්වව, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂ වව. පුතැ කුමාරුවෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි, එහෙයින් පුතැ කුමරුවෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මේ කලණවැට පවත්වව. තෙපි නහමක් මා ගේ අන්තිමපුරුෂ වව”යි.

ඉක්බිති ආනන්‍දයෙනි, නිමිරජ කපුහට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රජයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙව ගෙන් නික්ම තවුස් පැවිදි වී. හෙ මෙත් සහගිය සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙවන දස යැ, එසේ තුන්වන දස යැ, එසේ සතරවන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට විසී. කරුණා සහගත සිතින් ... මෘදුතා සහගත සිතින් ... උපේක්ෂා සහගත සිතින් එක් දසක් අරමුණු කොට විසී. එසේ දෙ වන දස යැ එසේ තුන් වන දස යැ එසේ සතර වන දස යැ යි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් මුළුලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ උපේක්ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙළේ යි.

ආනන්‍දයෙනි, නිමිරජ වූකලි සූවාසූදහසක් හවුරුදු කුමර කෙළි කෙළියේ යැ. සූවාසූදහසක් හවුරුදු යුවරජය කෙළේය. සූවාසූදහසක් හවුරුදු මහරජය කෙළේය. සූවාසූ දහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වැ බඹසර සැරී. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලෝ කරා ගියේ යි.

තවද ආනන්‍දයෙනි, නිමිරජහට කලාරජනක නම් පුතෙක් වී. හේ ගිහිගෙන් නික්ම තවුස්පැවිදි නො වී, හෙ එ කලණවැට සින්දේ යැ, හෙ උන් ගේ අන්තිම පුරුෂ වී. ආනන්‍දයෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙයි: “එසමයෙහි යමෙක් එ කලණවැට තැබී ද, එ මඛාදෙව රජ අනෙකෙක් වී යැ”යි. ආනන්‍දයෙනි, තෙල මෙසේ නො දැක්කැ යුතු යැ.

මම එසමයෙහි මඛාදේව රජ විමී. මම් එ කලණවැට තැබීමි. මා විසින් තබන ලද එ කලණවැට පශ්චිම ජනතාව පැවැත්වී. ආනන්‍දයෙනි, එ කලණවැට වනාහි නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස නො පවතී, බඹලොව උපත පිණිස පමණක් මැ පවති.

ආනන්‍දයෙනි, මෙ කල මා විසින් තබන ලද මේ කලණවැට ඒකාන්ත නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. ආනන්‍දයෙනි, මෙකලැ මා විසින් තබන ලද කවර නම් කලණවැටෙක් ඒකාන්ත නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී ද යත්: මෙ මැ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. එ කිසේ යැ යත්: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග්වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග් ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යි. ආනන්‍දයෙනි, මෙකල්හි මා විසින් තබන ලද මෙ කලණවැට ඒකාන්ත නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් මැ ආනන්‍දයෙනි, මම් මෙසේ කියමි: “මා විසින් තැබූ මේ කලණ වැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව. ආනන්‍දයෙනි, යම් පුරුෂයුගයක් පවත්නා කල්හි මෙවන් කලණවැට සිඳේ ද, හෙ උන් ගේ අන්තිම පුරුෂ වෙයි. එහෙයින් ආනන්‍දයෙනි, මම තොපට මෙසේ කියමි: “මා විසින් තබන ලද මෙ කලණවැට පවත්වවු, තෙපි නහමක් මා ගේ අන්තිම පුරුෂයෝ වව”යි.

බුදුහු මෙය වදාළහ. සතුටුසිත් ඇති ආයුෂ්මත් ආනඳ තෙරණුවෝ භාග්‍යවතුන්ගේ භාෂිතය අභිනන්‍දනය කළහ’යි.

තුන් වැනි මඛාදේව සුත්‍රය නිමියේය.