මධුර සූත්‍රය

2.4.4 මධුර සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ මෙසේ ඇසී: “භවත්නි, ශ්‍රමණ කෘත්‍යායන තෙරණුවෝ මධුරා පුර ගුන්‍දාවනයෙහි වැඩ වෙසෙති. ඒ භවත් කාත්‍යායන තෙරණුවන් ගේ මෙවන් කල්‍යාණකීර්තිශබ්දයෙක් උස් වැ නැංගේ යැ: (කාත්‍යායන තෙරණුවෝ) පණ්ඩිතයහ, ව්‍යක්තයහ, නුවණැතියහ, බහුශ්‍රැතයහ, චිත්‍රකථිහ, කලණපිළිබහන් ඇතියහ, වෘද්ධ ද අර්හත් ද වෙති. එබඳු රහතුන් ගේ දර්ශනය මනා මැ නු”යි ඇසී යැ, ඉක්බිති අවන්තිපුත්‍ර, මධුරා පුර වැසි රජ භද්‍ර වූ භද්‍ර වූ යානයන් යොදවා භද්‍රයානයකට නැඟී භද්‍ර වූ භද්‍ර වූ යානයෙන් යුතු වැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් දක්නට මහත් වූ රාජානුභාවයෙන් යුතු වැ මධුර පුරයෙන් නික්ම ගියේ යැ. යානභුමි තෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පාගමනින් මැ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් හා සමග සතුටු වී. සම්මොදයට නිසි කාලාන්තරයෙහි සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අවන්තිපුත්‍ර මධුරා පුර වැසි රජ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: භවත් කාත්‍යායනයෙනි, බමුණෝ මෙසේ කීහු: “බමුණු මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බමුණු මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බමුණුහු මැ ශුද්ධ වෙති, නො බමුණුහු ශුද්ධ නො වෙති, බමුණුහු මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එහින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ”යි. මෙහි ලා භවත් කාත්‍යායනයෝ කුමක් කියති හො’යි? මහරජ, බ්‍රාහ්මණයෝ මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුක්ලවර්‍ණ යැ, තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යැ, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති, අබ්‍රාහ්මණයෝ ශුද්ධ නො වෙති, බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ උරදාපුත්හ, මුවින් උපන්හ, (එහින් මැ) බ්‍රහ්මජයහ, බ්‍රහ්මනිර්මිතයහ, බ්‍රහ්මදායාදයහ” යනු ලෝකයෙහි තෙලෙ ඝොෂමාත්‍රයෙක් මැ යැ. මහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ.” යන තෙල බස් ලෝකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයෙක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු වේ.

මහරජ, ඒ කෙසේ හඟිහි? කැත්කුල උපන් රජක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්ය්‍යසම්පන්නයාහට ක්‍ෂත්‍රියයා ද කැලැ මැ නැඟී සිටිනසුලු වූයේ පසු වැ හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වේ ද? ඒ ඓශ්චර්ය්‍ය සම්පන්නයාහට බමුණු ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඓශ්චර්ය්‍යසම්පන්නයාහට වෛශ්‍යයා ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඓශ්චර්ය්‍යසම්පන්නයාහට ශුද්‍රයා ද කැල මැ නැඟී සිටිනසුලු වූයේ පැසුළු හෝනාසුලු වූයේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද?

භවත් කාත්‍යායනයෙනි, ක්‍ෂත්‍රියයක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස කී සේ අසා කරනුයේ මනවඩන සේ හැසිරෙනුයේ පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට බ්‍රාහ්මණයා ද ... පිය බස් බණනුයේ වෙයි. ඒ ඉසුරුමත්හට වෛශ්‍යයා ද ... පිය බස් බණනුයේ වෙයි, ඒ ඉසුරුමත්හට ශුද්‍රයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ’යි පිළිවිස කී සේ අසා කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි.

මහරජ, ඒ කෙසේ හඟිහි? බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඉසුරුමත්හට බමුණුත් පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට වෛශ්‍යයා ද ... ප්‍රියවාදී වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්‍රයා ද ... ප්‍රිය වාදී වේ ද? ඒ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද පළමු මැ නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද?

භවත් කාත්‍යායනයෙනි, ඉදින් බමුණක්හට ද ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදීයෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් එ ඉසුරුමත්හට බමුණු ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ පියබස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට වෛශ්‍ය ද ... එ ඉසුරුමත් හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද කැල මැ නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්‍රියබස් බණනුයේ වෙයි.

මහරජ, ඒ කෙසේ හඟිහි ද? වෛශ්‍යක්හට ද ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධි වේ නම්, එ ඉසුරුමත්හට වෛශ්‍යයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය බස් බණනුයේ වේ ද? ඒ ඉසුරුමත්හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයා ද ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණ ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ පියබස් බණනුයේ වේ ද?

භවත් කාත්‍යායනයෙනි, වෛශ්‍යයක්හට ත් ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රිදියෙන් වේවයි රනින් වේවයි සමෘද්ධි වේ නම් ඒ ඓශ්චර්‍ය්‍යවත්හට වෛශ්‍යයා ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ සරනුයේ ප්‍රිය බස් බණනුයේ වෙයි. එ ඉසුරුමත්හට ශුද්‍ර ද ... එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රිය ද ... එ ඉසුරුමත්හට බමුණු ද පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ යි.

මහරජ, ඒ කෙසේ හඟිහි ද? ශුද්‍රහටත් ඉදින් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්‍රයාත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වෙයි, එ ඉසුරුමත්හට ක්‍ෂත්‍රියයාත් ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණයාත් ... එ ඉසුරුමත්හට වෛශ්‍යයා ත් පළමු නැඟී සිටිනුයේ පසු වැ ලා හෝනේ කුම් කෙරෙම් දැයි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වේ ද?

භවත් කාත්‍යායනයෙනි, ඉදින් ශුද්‍රහටත් ධනයෙන් වේවයි ධාන්‍යයෙන් වේවයි රජතයෙන් වේවයි ජාතරූපයෙන් වේවයි සමෘද්ධ වේ නම්, එ ඉසුරුමත්හට ශුද්‍රයා ත් පළමු නැඟී සිටිනුයේ පැසුළු හෝනේ කුම් කෙරෙම් දැ යි පිළිවිස අසා කී සේ කරනුයේ මන වඩන සේ හැසිරෙනුයේ ප්‍රිය තෙපුල් බණනුයේ වෙයි. එ ඉසුරුමත් හට ක්‍ෂත්‍රියයා ත් ... එ ඉසුරුමත්හට බ්‍රාහ්මණයා ත් ... එ ඉසුරුමත්හට වෛශ්‍යයාත් පළමු නැඟී සිටිනුයේ පැසුළු හෝනේ ‘කුම් කෙරෙම්’ දැයි පිළිවිස අසා කී සේ කරනුයේ යි.

මහරජ, ඒ කිමැ’යි හඟිහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, හෝ නො වෙති හෝ යැ? තොපට මෙසේ කෙසේ හෝ වේ දැ?යි.

‘භවත් කාත්‍යායනයෙනි, එකත්නෙන් මැ මෙසේ වත් මෙ සතර වර්‍ණයෝ සමසම වෙති. මෙහි ලා මොවුන්ගේ කිසි වෙනසක් නො දක්මි’යි.

මහරජ, “බ්‍රාහ්මණයෝ මැ ශ්‍රෙෂ්ඨවර්‍ණ යැ තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාදයහ” යන තෙල බස් ලොකයෙහි යම් පරිදි ව්‍යවහාරමාත්‍රයක් මැ වේ ද, තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු.

මහරජ, ඒ කිමැ’යි හඟී ද? මෙලොවැ ක්‍ෂත්‍රියයෙක් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ කාමයෙහි මිසහසර ඇතියේ මුසවා බණනුයේ පිසුණුබස් ඇතියේ පරොස්බස් ඇතියේ හිස්බස් තෙපලනුයේ අභිධ්‍යා බහුල වූයේ මෙරමා නසන සිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, හෙ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරෑහි උපදනේ හෝ නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ හැඟෙනු වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රිය තෙමේත් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ කාමයෙහි මිසහසර ඇතියේ මුසා බණනුයේ පිසුණුබස් ඇතියේ පරොස්බස් ඇතියේ සිස්බස් ඇතියේ අභිධ්‍යා බහුල වූයේ ව්‍යාපාදසිත් ඇතියේ මිසදිටු ඇතියේ වේ ද, හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනේ යැ මට මෙහි ලා මෙසේ හැඟෙනුයේ වෙයි. තවද තෙල කරුණ මා විසින් මෙසේ රහතුන් වෙත ද අසන ලදැ’යි.

සාධු සාධු මහරජ, මහරජාණෙනි, තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තෙල කරුණ තොප විසින් රහතුන් වෙත අසන ලද්දේ ද මැනැවැ. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ බමුණෙක් ... මෙලොවැ වෛශ්‍යයෙක් මෙලොවැ ශුද්‍රයෙක් පණිවා කරනුයේ අයිනාදන් කරනුයේ ... මිසදිටු ඇතියේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදනේ හෝ වේ ද? නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ හැඟෙනුයේ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශුද්‍ර තෙමේ ත් පණිවා කරනුයේ පරද්‍රව්‍ය ගන්නේ ... මිථ්‍යාදෘෂ්ටි ඇතියේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට වදනේ යැ. මට මෙහි ලා මෙසේ සිත් වෙයි, තවද මා විසින් මෙසේ තෙල කරුණ රහතුන් හමුයෙහි ද අසන ලදැ’යි.

සාධු සාධු ! මහරජ, මහරජ, තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තෙල කරුණ තොප විසින් රහතුන් වෙත අසන ලද්දේ ත් මනා මැ යැ. මහරජ, එය කිමැයි හඟනෙහි ද? මෙසේ ඇති කල්හි මෙ සතර වර්‍ණයෝ සමසම වෙත් ද? නො වෙතී හො’යි? මෙහි ලා තොපට කෙසේ හෝ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති. මෙහි මොවුන් ගේ කිසි නානාකරණයක් (වෙනසක්) නො දක්මි’යි.

මහරජ, ‘බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨ වර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ’ යනු ලෝකයෙහි ඝොෂාමාත්‍රයෙක් මැ යැ යන මෙ කරුණ මේ පර්‍ය්‍යායෙනුදු දතයුතු.

මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ ක්‍ෂත්‍රියයෙක් ප්‍රාණවධයෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ කාමයෙහි මිසහසරින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ පිසුණුබසින් වෙන් වූයේ පරොස්බසින් වෙන් වූයේ සිස්බසින් වෙන් වූයේ අභිධ්‍යා බහුල නො වූයේ අව්‍යාපාද සිත් ඇතියේ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුන්‍දරගති ඇති ස‍වර්‍ගලොකයෙහි උපදනේ වේ ද? නූපදනේ හෝ වේ ද? මෙහි ලා තොපට කෙසේ හෝ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ක්‍ෂත්‍රිය තෙමේත් ප්‍රාණවධයෙන් වෙන් වූයේ පරද්‍රව්‍ය ගැන්මෙන් වෙන් වූයේ කාමමිථ්‍යාචාරයෙන් වෙන් වූයේ මෘෂාවාදයෙන් වෙන් වූයේ පිශුනවචනයෙන් වෙන් වූයේ පරුෂවචනයෙන් වෙන් වූයේ සම්ඵප්‍රලාපයෙන් වෙන් වූයේ අභිධ්‍යාබහුල නො වූයේ ව්‍යාපාද සිත් නැත්තේ සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වේ ද, හේ කාබුන් මරණින් මතු සුන්‍දර ගති ඇති ස‍වර්‍ගලොකයට පැමිණෙන්නේ යැ. මට මෙසේ සිත් වෙයි. මා විසින් වැළිත් රහතුන් කෙරෙහි දු මෙසේ අසන ලදැ’යි.

සාධු සාධු මහරජ, මහරජ තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තොප විසින් වැළිත් රහතුන් කෙරෙහි තෙල කරුණ අසන ලද්දේත් මනා මැ යි. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙලොවැ බ්‍රාහ්මණයෙක් ... මෙලොවැ වෛශ්‍යයෙක් ... මෙලොවැ ශුද්‍රයෙක් ප්‍රාණවධයෙන් වෙන් වූයේ අදත්තාදානයෙන් වෙන් වූයේ … සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස‍වර්‍ගලොකයට වදනේ ද? නො වදනේ හෝ වේ ද? තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් ශුද්‍ර තෙමේත් පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ ... සම්‍යග්දෘෂ්ටි ඇති වන්නේ ද, හේ කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස‍වර්‍ගලෝකයෙහි උපදනේ යැ, මෙහි මට මෙසේ සිත් වෙයි. මා විසින් වැළිත් රහතුන් කෙරෙහි දු තෙල කරුණ මෙසේ අසන ලදැ’යි.

සාධු සාධු මහරජ, මහරජ තෙල කරුණ තොපට මෙසේ වන්නේ මැනැවැ. තොප විසින් වැළිත් රහතුන් කෙරෙහි තෙල කරුණ අසන ලද්දේත් මනා මැ යි. මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හෝ යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි මේ සතර වර්‍ණයන් ගේ කිසි වෙනසක් නො දක්මි යි.

මහරජ බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ යනු ලොකයෙහි ඝොෂාමාත්‍රයෙක් මැ යැ යන තෙල කරුණ මෙ කරුණිනුදු දතයුතු.

මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙනුවරැ ක්‍ෂත්‍රියයෙක් ගෘහසන්ධි හෝ සිඳුනේ යැ ගම් හෝ පහරනේ යැ, එක් ගෙයක් හෝ වොලොගන්නේ යැ, මං හෝ පහරනේ යැ, පරඹුන් කරා හෝ යන්නේ යැ, උහු දු තෙල පුරුෂයෝ අල්වාගෙන “දෙවයිනි, මෙ සොර තොපට අපරාධකාරී යැ. මුහුට යමක් කැමැත්තවු නම් එ දඬුවම කරව”යි දක්වන්නාහු නම්, උහුට කුමක් කෙරෙයි දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, ප්‍රාණවධ හෝ කරවම්හ, ධනහානි හෝ කරවම්හ, රටින් හෝ නෙරවම්හ, ප්‍රත්‍යය වූ සේ හෝ කරම්හ. ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ක්‍ෂත්‍රිය’ යි නමෙක් වී නම් උහු ගේ එ නම අතුරුදහන් වී ද, ‘සොර’ යැ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනි.

මහරජ, එය කිමැයි හඟනෙහි ද? මෙනුවරැ බ්‍රාහ්මණයෙක් ... මෙනුවරැ වෛශ්‍යයෙක් ... මෙනුවරැ ශුද්‍රයෙක් ගෘහසන්ධි හෝ සිඳුනේ යැ ගමක් හෝ වොලොගන්නේ යැ, එක් ගෙයක් හෝ වොලොගන්නේ යැ, කඩපළාසොරකම් හෝ කරන්නේ යැ, පරඹුන් කරා හෝ යන්නේ යැ. උහු දු තෙල පුරුෂයෝ අල්වාගෙන “දේවයිනි, මෙ සොර තොප වහන්සේට අපරාධකාරී යැ. මුහුට යමක් කැමැත්තවු නම් එ දඬ පණව”යි දක්වන්නාහු නම්, උහුට කුමක් කෙරෙයි දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, ප්‍රාණවධ හෝ කරවම්හ, ධනහානි හෝ කරවම්හ, දෙශත්‍යාග හෝ කරවම්හ. ප්‍රත්‍යය වූ සේ හෝ කරම්හ. ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ශුද්‍ර’යි නමෙක් වී නම් උහු ගේ එ නම අතුරුදහන් වී ද, ‘සොර’ යැ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ’යි.

මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හො’යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, ඒකාන්තයෙන් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි මෙ සතර වර්‍ණයන් ගේ කිසි වෙනසක් නො දක්මි’යි.

මහරජ, මෙකරුණිනුදු “බමුණු මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යැ ... බ්‍රහ්මදායාද යැ යන තෙල කරුණ ලෝකයෙහි ඝොෂාමාත්‍රයෙකැ’යි දතයුතු.

මහරජ, එය කිමැ’යි හඟනෙහි ද? මෙ නුවරැ ක්‍ෂත්‍රියයෙක් කෙහෙරැවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගෙන් නික්ම සස්නට වන්නේ පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ එක් වේලේ වළඳනුයේ බඹසර ඇතියේ සිල්වත් වූයේ කලණදහම් ඇති වන්නේ යැ. උහුට කුමක් කරනෙහි දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ නිමන්ත්‍රණ කරම්හ, උහු සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකරින් හෝ එළවා නිමන්ත්‍රණ කරම්හ, ඔහට ධාර්මික රක්ෂාවරණගොපන සංවිධාන හෝ කරවම්හ, ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ක්‍ෂත්‍රිය’ යන නමෙක් වී නම් එ නම ඔහට අතුරුදහන් වී ද, ‘ශ්‍රමණ’ යන යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ’යි.

මහරජ, එය කිමැ’යි හඟී ද? මෙ නුවරැ බ්‍රාහ්මණයෙක් ... මෙනුවරැ වෛශ්‍යයෙක් ... මෙනුවරැ ශුද්‍රයෙක් කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම සස්නට වන්නේ පණිවායෙන් වෙන් වූයේ අයිනාදනින් වෙන් වූයේ මුසවායෙන් වෙන් වූයේ එක් වේලේ වළඳනුයේ බඹසර ඇතියේ සිල්වත් වූයේ කලණ දහම් ඇති වන්නේ යැ, ඔහට කුමක් කෙරෙහි ද?යි.

භවත් කාත්‍යායනයෙනි, අභිවාදන හෝ කරම්හ, දැක හුනස්නෙන් හෝ නැඟෙම්හ, අසුනින් හෝ නිමන්ත්‍රණ කරම්හ, උහු චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයන් හෝ එළවා නිමන්ත්‍රණ කරම්හ, උහුට ධාර්මික රක්ෂාවරණගොපන සංවිධාන හෝ කරවම්හ, ඒ කවර හෙයින යත්: භවත් කාත්‍යායනයෙනි, යම් හෙයෙකින් පෙර උහුට ‘ශුද්‍රය’ යන යම් සංඥාවක් වූ ද, ඔහුට ඒ සංඥාව අතුරුදහන් වූ ද, ‘ශ්‍රමණ’ යන සඞ්ඛ්‍යාවට මැ යේ ද, එහෙයිනැ යි.’

මහරජ, එය කිමැ’යි හඟිහි ද? ඉදින් මෙසේ ඇති කල්හි මේ සතර වර්‍ණයෝ සමසම වෙති හෝ නො වෙති හො?යි. තොපට මෙහි ලා කෙසේ හෝ වේ දැ?යි.

භවත් කාත්‍යායනයෙනි, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් මේ සතර වර්‍ණයෝ සමසම වෙති, මෙහි ලා මොවුන් ගේ කිසි වෙනසක් නො දක්මි’යි.

මහරජ, මෙ කරුණිනුදු “බ්‍රාහ්මණ මැ ශ්‍රේෂ්ඨවර්‍ණ යැ, තදන්‍ය වූයේ හීනවර්‍ණ යි, බ්‍රාහ්මණ මැ ශුක්ලවර්‍ණ යැ තදන්‍ය වූයේ කෘෂ්ණවර්‍ණ යි, බ්‍රාහ්මණයෝ මැ ශුද්ධ වෙති. අබ්‍රාහ්මණයෝ නො වෙත්. බ්‍රාහ්මණයෝ මැ බඹහු ගේ ඖරසපුත්‍ර යැ, මුවින් උපනුවහ, බ්‍රහ්මජයහ, බඹහු විසින් මවනලදහ, බ්‍රහ්මදායාදයහ” යන මෙ කරුණ ලෝකයෙහි ‘ඝොෂාමාත්‍රයෙකැ’යි දතයුතු.

මෙසේ කී කල්හි අවන්තිපුත්‍ර වූ මධුර පුරාධීශ රජ තෙමේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන්ට තෙල බස් කී: “භවත් කාත්‍යායනයෙනි, ඉතා කාන්ත යැ, භවත් කාත්‍යායනයෙනි, ඉතා කාන්ත යැ, භවත් කාත්‍යායනයෙනි, යම්සේ යටිහුරු වූවක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් කාත්‍යායනයන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද, තෙල මම් භවත් කාත්‍යායනයන් ද, දහම ද භික්ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි, භවත් කාත්‍යායනයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගිය උපාසකයකු කොට ධරත්ව’යි.

මහරජ, ‘තෙපි මා නහමක් සරණ යව, මම් යමක්හු සරණ කොට ගියෙම් නම් තෙපි එ මැ භාග්‍යවතුන් සරණ යව’යි.

භවත් කාත්‍යායනයෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු දැන් කොහි වෙසෙත් දැ?යි.

මහරජ, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවත්හු මෙකලැ පිරිනිවියහ’යි.

භවත් කාත්‍යායනයෙනි, ඉදින් ඇපි දස යොදනෙක්හි ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා දස යොදන මැ යම්හ. ඉදින් භවත් කාත්‍යායනයෙනි, ඇපි විසි යොදනෙක්හි, තිස්යොදනෙක්හි, සතලිස්යොදනෙක්හි, පනස්යොදනෙක්හි ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා පනස් යොදන මැ යම්හ. ඉදින් භවත් කාත්‍යායනයෙනි, ඇපි යොදුන් සියයෙකැ ඒ භාග්‍යවතුන් අසමෝ නම් ඇපි අර්හත් සම්‍යක් සම්බුද්ධ ඒ භාග්‍යවතුන් කරා යොදුන් සියය මැ යම්හ. භවත් කාත්‍යායනයෙනි, ඒ බුදුහු යම් දවසෙක පිරිනිවීසේක් ද, ඇපි පිරිනිවියා වූ ද ඒ බුදුන් දහම් හා සඟුන් හා සරණ කොට යෙමි. භවත් කාත්‍යායනයෝ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයකු කොට ධරත්ව’යි.

සතර වැනි මධුරසූත්‍රය නිමියේය.