රට්ඨපාල සූත්‍රය

2.4.2 රට්ඨපාල සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරුජනපදයෙහි සැරි සරන සේක් මහත් වූ භික්‍ෂුසඞ්ඝයා හා සමග යම් තැනෙක්හි ථුල්ලකොට්ඨිත නම් කුරුජනපද වැසියන් ගේ නියම්ගමෙක් වී ද, එයට වැඩියහ. ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ මෙ බස් ඇසූහ: “භවත්නි, ශ්‍රමණ ගෞතමයෝ ශාක්‍යපුත්‍ර වූ සේක් ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වැ කුරුජනපදයෙහි සැරිසරන සේක් මහත් වූ භික්‍ෂු සඞ්ඝයා සමග ථුල්ලකොට්ඨිත නියම්ගමට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස් වැ නැගිණ: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණිනුදු අර්හත් වන සේක. සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නය, සුගතයහ, ලොකවිදූහ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෘහ, බුද්ධයහ, භාග්‍යවත්හ” යි. උන් වහන්සේ මේ මරුන් සහිත බඹුන් සහිත සදේවක ලෝකය මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තෙමේ වෙසෙෂින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙති. උන් වහන්සේ ආදිකල්‍යාණ වූ මාධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ දහම් දෙසති. සියල්ල පිරිපුන් පිරිසුදු බඹසර ප්‍රකාශ කෙරෙති. එබඳු රහතුන් ගේ දර්‍ශනය මනා වේ” යයි ඇසූහ.

ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් දෙසට ඇඳිලි බැඳ එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් හමුයෙහි නම් (තමන්ගේ) නම් ගොත් අස්වා එකත්පස් වැ හුන්හ. ඇතැම් කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත්පස් වැ හුන්හ. බුදුහු එකත්පස් වැ හුන් ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ, තෙද ගැන්වූහ, සම්ප්‍රහර්ෂ කළහ.

එසමයෙහි එ මැ ථුල්ලකොට්ඨිත නියම්ගම්හි කුලදෙටුපුත් වූ රට්ඨපාල නම් කුලපුත්‍රයෙක් එ පිරිස්හි හුන්නේ වෙයි. එකල්හි රට්ඨපාල කුලපුත්‍රහට මෙවන් සිතෙක් වී: “බුදුහු යම් යම් සෙයෙකින් දහම් දෙසත් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත (ලියූ සකස් වැනි නොහොත් ශඞ්ඛ ලිඛිත දෙදෙනා පිලිබඳ වූ) බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නෙම් මැනැවැ” යි. ඉක්බිති ථුල්ලකොට්ඨිත නියම්ගම් වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දාහු කරුණු ගන්වන ලද්දාහු තියුණු කරන ලද්දාහු සම්ප්‍රහර්ෂවත් කරන ලද්දාහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතයට සතුටු වැ අනුමෝදන් වැ හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට පිටත් වැ ගියහ. ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර ථුල්ලකොට්ඨිතක බමුණුගැහැවියන් නික්ම ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් කරා එළඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වා හුන් රට්ඨපාල කුලපුත්‍ර භාග්‍යවතුන්ට තෙල බස් කී: “වහන්ස, මම් භාග්‍යවතුන් විසින් යම් යම් සෙයෙකින් දෙසූ දහම් දනිම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. වහන්ස, මම භාග්‍යවතුන් කෙරෙහි පැවිද්ද ලැබෙම්වා, උපසපුව ලැබෙම්ව”යි.

‘රට්ඨපාලයෙනි, තෙපි ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් අනුදත්තහු දැ?’ යි.

‘වහන්ස, මම් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට මාපියන් විසින් නො අනුදත්මි’යි.

‘රට්ඨපාලයෙනි, තථාගතයෝ මාපියන් විසින් නො අනුදත්තහු පැවිදි නො කෙරෙති’යි.

‘වහන්ස, යම්සේ ගිහිගෙන් නික්ම පැවිද්දට මාපියෝ අනුදනිත් නම් ඒ මම එසේ කරමි’යි.

ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ර හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට මාපියන් කරා එළැඹියේ යැ. එළැඹ මාපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් යම් සෙයෙකින් මම් භාග්‍යවතුන් විසින් දෙසූ දහම් දන්නෙම් ද, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ සඞ්ඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍ය කරන්නට සුකර නො වෙයි. මම් කෙස් රවුළු බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නට කැමැත්තෙමි. මා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වනු පිණිස අනුදත මැනැවැ”යි.

මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍රයන් ගේ මාපියෝ රට්ඨපාල කුලපුත්‍රහට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෙපි අපහට ප්‍රිය වූ මනවඩන සුවසේ පෝෂණය කල එක් මැ පුත් වව, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසි දුකක් නො දන්නාහු යැ. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි කව බොව සිත් අලව. කමින් බොමින් සිත් අලවමින් කාමපරිභෝග කෙරෙමින් රමණය කරව (සිත් අලව). ඇපි තොපට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිද්දට නො අනුදනුම්හ. තොප ගේ මරණයෙනුදු ඇපි නො කැමැත්තමෝ වෙන් වම්හ. කිම ඇපි තොප ජීවත් වන්නවුන් ගිහිගෙන් නික්ම සස්නට පිවිසෙනු පිණිස අනුදනුමෝ දැ?” යි.

දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍ මවුපියනට තෙල බස් කී: “මෑණියෙනි, පියාණෙනි, යම් මැ සැටියෙකින් භගවත්හු විසින් දෙසූ දහම් දැන සිටින්නෙම් වේ ද, ගිහිගෙයි වසනහු විසින් ඒකාන්ත පරිපූර්‍ණ වූ ඒකාන්ත පරිශුද්ධ වූ මේ ලිඛිත සඞ්ඛයක් වැනි වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට නො හැක්ක මම කෙහෙමස් බහා කසාවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සස්නට වදන පිණිස කැමැතියෙමි. ගිහිගෙන් නික්ම සස්නට වදිනු සඳහා මා අනුදන්නේ මැනැවැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හට තෙල බස් කීහු: “දරුව රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කල, අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි, දරුව රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නෙහි, දරුව රට්ඨපාලයෙනි, තෝ එව වළඳව, බොව ඉඳුරන් පිනව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කරමින් සිත් අලවා වාස කරව. අපි ගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, අපි තාගේ මරණයෙනුදු නො කැමැත්තමෝ වියෝගයට පැමිණෙම්හ. කිම, අපි ජීවත්වන තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.

ඉක්බිති රට්ඨපාල කුලපුත්‍ මවුපියන් කෙරෙහි සසුන් වදනු නො ලබනුයේ එහි මැ අතිරි නො අතුළ බිමෙහි වැදහොත්තේ යැ. “මෙහි මැ මා ගේ මරණ වන්නේ හෝ පැවිදි වන්නේ හෝ” යි.

එසඳ රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හට තෙල බස් කීහු: “පුතැ රට්ඨපාලයෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ, අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් ව. පුතැ රට්ඨපාලයෙනි, තෝ කිසිඳු දුකක් නො දන්නා ව. පුතැ රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳව බොව,ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තා ගේ මරණයෙනුදු අපි නො කැමැත්තමෝ වියෝ වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තාගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝ දැ?” යි.

මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍ නිහඬ වී. දෙවනවට ද ... තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හට තෙල බස් කීහු: “පුතැ රටපලු සිරෙනි, තෝ වනාහි සුවසේ වැඩුණු සුවසේ පෝෂිත වූ අපගේ ප්‍රිය මනාප එක් මැ පුත් වෙහි. පුතැ රටපලු සිරෙනි, තෝ කිසිදු දුකක් නො දනිහි. පුතැ රටපලු සිරෙනි, නැගී සිටු, වළඳ කර, බෝ, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කර, අපිගෙන් නික්ම සස්නට වදිනු පිණිස තා නො අනුදනුම්හ, තාගේ මරණයෙනුදු අපි නො කැමැතියමෝ වියෝග වම්හ. කීම, අපි ජීවත්ව සිටුනා තා ගෙන් නික්ම සස්නට වදිනු පිණිස අනුදනුමෝදැ”යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍ නිහඬ වී.

ඉක්බිති රට්ඨපාල කුලපුත්‍හු ගේ මවුපියෝ රට්ඨපාල කුලපුත්‍හුගේ යහළුවන් කරා එළැඹියහ. එළඹ රට්ඨපාල කුලපුත්හු ගේ යහළුවනට තෙල බස් කීහු: “දරුවෙනි, තෙල රට්ඨපාල කුලපුත්‍ ඇතිරි නො අතුළ බිම්හි වැදහොත්තේ යැ: ‘මෙහි මැ මාගේ මරණය වන්නේ හෝ පැවිද්ද වන්නේ හෝ’ යි. එව දරුවෙනි, රට්ඨපාල කුලපුතු කරා එළැඹෙව, එළැඹ රට්ඨපාල කුලපුත්‍හට මෙසේ කියව: ‘යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දන්නහු යැ. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව. වළඳ කෙරෙමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව වළඳ කෙරෙමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව, ගෙන් නික්ම සස්නට වදිනු පිණිස මාපියෝ තා නො අනුදනිති’ යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියෝග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සස්නට වදනා පිණිස අනුදනිත් දැ?” යි.

ඉක්බිති රට්ඨපාල කුලපුත්‍හු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත්‍හු ගේ මාපියනට පිළින දී රට්ඨපාල කුලපුතු කරා එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව, යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සස්නට වදනා පිණිස මාපියෝ තා නො අනුදනිති යි. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වෙන් වන්නාහ. කිම, තොප ජීවත්වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි.

මෙසේ කී කල්හි රට්ඨපාල කුලපුත්‍ර නිහඬ වී, දෙවනවට ද ... තුන්වෙනවට ද රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතුට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පෝෂණය කළ එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව. යහළු රට්ඨපාලයෙනි, නැගී සිටුව, කව බොව ඉඳුරන් පිනවව, කමින් බොමින් ඉඳුරන් පිනවමින් පස්කම් සුව විඳුමින් පින් කෙරෙමින් සිත් අලවා වාස කරව. ගෙන් නික්ම සසුන් වදනට මාපියෝ තා නො අනුදනිති. තොපගේ මරණයෙනුදු මාපියෝ නො කැමැති වැ වියොග වන්නාහ. කිම, ඔහු තොප ජීවත් වන්නවුන් ගෙන් නික්ම සසුන් වදනට අනුදනිත් දැ?” යි. තුන්වනවට ද රට්ඨපාල කුලපුත්‍ නිහඬ වී.

ඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුතු ගේ මවුපියන් කරා එළඹියහ. එළැඹ රට්ඨපාල කුලපුතුගේ මවුපියනට තෙල බස් කීහු: දෙමාපියෙනි, “තෙල රට්ඨපාල කුලපුත් එහි මැ ඇතිරි නො අතුළ බිමැ ‘මෙහි මැ මාගේ මරණය හෝ පැවිද්ද හෝ වන්නේ යැ’යි වැදහොත්තේ යැ. ඉදින් තෙපි ගෙන් නික්ම සසුන් වදනා පිණිස රට්ඨපාල කුලපුතු නො අනුදනිවු නම් පැවිදි වූවහු ද නො දක්නාහු යැ. ඉදින් රට්ඨපාල කුලපුත් ගෙන් නික්ම සසුන පැවිද්දට සිත නො අලවා නම් ඕහට අන් කවර ගතියක් වේ ද, මෙහි මැ වටාලා එන්නේ යැ. රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන වදනට අනුදත මැනැවැ” යි.

“දරුවෙනි, රට්ඨපාල කුලපුතු ගෙන් නික්ම සසුන් වදනට අනුදනුම්හ. වැළිත්, පැවිදි වූවහු විසිනුදු මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.

ඉක්බිති රට්ඨපාල කුලපුතු ගේ යහළුවෝ රට්ඨපාල කුලපුත් යම තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ රට්ඨපාල කුලපුත්හට තෙල බස් කීහු: “යහළු රට්ඨපාලයෙනි, තෙපි වනාහි මාපියනට ප්‍රිය මනාප වූ සුවසේ වැඩුණු, සුවසේ පුස්නාලද, එක් මැ පුත් වව. යහළු රට්ඨපාලයෙනි, තෙපි කිසිදු දුකක් නො දනුව, යහළුව රට්ඨපාලයෙනි, නැගී සිටුව, වළඳ කරව, බොව, ඉඳුරන් පිනවව, වළඳ කෙරෙමින්බොමින් ඉඳුරන් පිනවමින් කම්සුව විඳුමින් පින් කෙරෙමින් සිත අලවා වාස කර. මාපියන් විසින් ගෙන් නික්ම සසුන් වදනට අනුදන්නා ලද්දහු යැ. වැළි එකෙක් ඇත, තොප පැවිදි වූවහු විසින් තොපගේ මව්පියෝ මතු මත්තෙහි දැක්විය යුත්තාහ”යි.

ඉක්බිති රට්ඨපාල කුලපුත් නැගීසිට කායබල ගන්වා ගෙන භාග්‍යවතුන් කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් රට්ඨපාල කුලපුත් භාග්‍යවතුන් වහන්සේටතෙල බස් සැල කෙළේ යැ: “වහන්ස, මම් ගෙන් නික්ම සසුන් වදනට මව්පියන් විසින් අනුදන්නාලද්දෙමි. භාග්‍යවත්හු මා පැවිදි කෙරෙත්ව”යි. රට්ඨපාල කුලපුත් බුදුන් කෙරෙහි පැවිදි ලද, උපසම්පත් ලදි.

ඉක්බිති බුදුහු ආයුෂ්මත් රට්ඨපාල උපසපන් නොබෝ කල් ඇති කල්හි, උපසපන් අඩමස් ඇති කල්හි, ථුල්ලකොට්ඨිත නියම්ගම්හි අභිරති සේ වැස සැවැත්නුවර කරා චරිකායෙහි වැඩියහ. අනුක්‍රමයෙන් සැරිසරන සේක් සැවැත්නුවරට පිවිසියහ. එහි දී භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ එකලා වැ කාය චිත්ත විවෙක ඇති වැ (කමටහන් නො හළ) සිහි ඇති වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාසය කරන සේක් යමක් සඳහා කුලපුත්‍රයෝ මොනොවට ගෙන් නික්ම සසුන් වදිත් ද, ඒ අනුත්තර වූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යයා ගේ කෙළවර වූ රහත් ඵලය නොබෝ කලෙකින් මැ මේ අත්බැව්හි මැ තමන් විසින් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂකොට එයට පැමිණ වාසය කළහ. ‘ජාතිය ක්‍ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මේ බව පිණිස අන් කිසෙක් නැතැ’යි වෙසෙසා දත්හ. ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන් කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ භාග්‍යවතුන්හට තෙල බස් කීහු: “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම මවුපියන් දක්නට කැමැත්තෙමි”යි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමන් සිතින් ආයුෂ්මත් රට්ඨපාල තෙරන්ගේ චිත්ත පරිවිතර්‍කය මෙනෙහි කළ සේක. යම කලෙකැ භාග්‍යවතුන් වහන්සේ දැනගත්සේක් නම් “රට්ඨපාල කුලපුත් ශික්ෂාප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට වැටෙන්නට අභව්‍ය යැ”යි, එකල්හි බුදුහු ආයුෂ්මත් රට්ඨපාල තෙරන්ට තෙල බස් වදාළහ: “රට්ඨපාලයෙනි, තෙපි එයට කල් දනුව”යි.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ හුනස්නෙන් නැගී බුදුන් වැඳ පැදකුණු කොට සෙනස්න සඟවා තබා පාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගම කරා චාරිකායෙහි පිටත්ව ගියහ. අනුක්‍රමයෙන් සැරිසරන්නාහු ථුල්ලකොට්ඨිත නියම්ගම යම තැනෙක්හි ද එයට වන්හ. එහි දී ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨිතයෙහි කොරව්‍ය රජු ගේ ‘මිගාවීර’ නම උයන්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැපාසිවුරු ගෙන ථුල්ලකොට්ඨිත නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ථුල්ලකොට්ඨිතයෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩනාහු සිය පියාගේ නිවෙස්න කරා එළඹියහ. එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ මධ්‍යම ද්වාරශාලායෙහි (කපුවා ලවා) කෙහෙ පණාගස්වයි. ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් දුරින් මැ එනුවන් දිට, දැක තෙල බස් කී: “මේ මුඩු මහණුන් විසින් අප ගේ ප්‍රිය මනාප එක් මැ පුත් පැවිදි කරවන ලදැ”යි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ සිය පියනිවෙස්නෙහි දන් නො මැ ලද, ප්‍රත්‍යාඛ්‍යාන නො ලද, ඒකාන්තයෙන් ආක්‍රෝශ මැ ලත්.

එසමයෙහි වනාහි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසියක් රැයක් ගෙයි ලැගි යව කොමු බැහැර ලනු කැමැති වෙයි. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ ඥාති දාසියට තෙල බස් කීහු: “ඉදින් නැගැණියෙනි, ඒ බැහැර ලන දැය මෙහි මාගේ පාත්‍රයෙහි ඕව”යි.

එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඥාතිදාසි ඒ ආහිදොසික කුම්මාසය ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පාත්‍රයෙහි ඔවන්නී හස්තපාදයන් ගේ ද සවරයා ගේ ද නිමිත් ගතු. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ ඥාතිදාසි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මව කරා එළැඹියා යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ මවට තෙල බස් කියූ, “ආර්‍ය්‍යාවෙනි, දන්නවාද? ආර්‍ය්‍ය පුත්‍ර රට්ඨපාල පැමිණේ යැ”යි.

“ඉදින් කොල සැබෑවක් කියෙහි නම් නොදැසි වෙහි”යයි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ මව් තොමෝ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියා වෙත එළැඹියා. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් ගේ පියහට තෙල බස් කියු: “ගැහැවියෙනි, දනිවු ද? රට්ඨපාල කුලපුත් පැමිණියේ ල”යි.

එසමයෙහි ආයුෂ්මත් රට්ඨපාල තෙරණුවෝ ඒ රැයක් ලැගි යව කොමු (ආසනශාලායෙකැ) එක්තරා බිතක්‌ නිසා වළඳ කෙරෙති. එකල්හි ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පියා තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් කරා එළැඹියේ යැ. එළැඹ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ට තෙල බස් කී: “පුත රට්ඨපාලයෙනි, රෑ ලැගි යව කොමු වළඳවු ද? (තොප සතන්හි සස්න නිසා ලත් ගුණවෙසෙසෙක්) ඇද්ද? පුත රට්ඨපාලයෙනි, සිය ගෙට යායුතු නො දැ?”යි.

“ගැහැවිය, ගෙන් නික්ම සසුන වන් අපට ගෙයක් කොයින් වේ ද? ගැහැවිය, අපි ගෙ නැතියම්හ. ගැහැවිය, තොපගේ ගෙට ගියම්හ. එහි දී දන් නො ලදුම්හ. ප්‍රත්‍යඛ්‍යාන ද නො ලදුම්හ. වැළිත් ආක්‍රොශ මතු ලදුම්හ”යි.

“පුත රට්ඨපාලයෙනි, එව, ගෙට යම්හ”යි.

“ගැහැවිය, කම් නැත, මා විසින් අද බත් කිස කරන ලදැ”යි.

“පුත රට්ඨපාලයෙනි, එසේ වී නම් සෙට බත ඉවසව”යි.

ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ තුෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එසඳ ආයුෂ්මත් රට්ඨපාල තෙරුනුවණ්ගේ පිය තෙමේ ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ ඉවසීම දැන සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළැඹ මහත් රන්සුවන් රැසක් කරවා කලාලින් සොයවා (වස්වා) ආයුෂ්මත් රට්ඨපාල තෙරුන්ගේ පුරාණ දුතියිකාවන් ඇමැති: “එව වධුනි, තෙපි යම අලඞ්කාරයෙකින් සැරසුණාහූ පෙර රට්ඨපාල කුලපුත්හට ප්‍රිය මනාප වවු ද, එ අලඞ්කාරයෙන් සැරසෙව” යි.

ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම එරැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයන් පිළියෙල කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ට කල් දැන්වී: “දරුව රට්ඨපාල තෙරුණුවනි, බත නිමියේ යැ”යි. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවෝ පෙරවරු වේලෙහි හැඳපෙරෙවැ පාසිවුරු ගෙන සිය පියනිවෙස්න කරා එළැඹියහ. එළැඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවන්ගේ පිය තෙම රන්සුවන් රැස විවෘත කරවා ආයුෂ්මත් රට්ඨපාල තෙරුණුවනට තෙල බස් කී: “දරුව රට්ඨපාලයෙනි, මේ තොප ගේ මව සතු ධනය වෙයි, අනෙක පියා සතු යැ. අනෙක මුත්තා සතු වෙයි. දරුව රට්ඨපාලයෙනි, භොග ද වළඳ කරන්නට හැකි යැ. පින් ද කළ හැක්ක. එව දරුව රට්ඨපාලයෙනි, තෙපි ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කොට ගිහි බවට පෙරැළී භොග ද වළඳ කරව, පින් ද කරව%E