අරියපරියේසන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

6

අරියපරියෙසන සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණසේක. එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳපෙරව පාසිවුරු ගෙණ සැවැත් නුවරට පිඬු පිණිස පිවිසිසේක. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල කීහ: “ඇවැත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, අප භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ධර්ම කථාව ඇසුවිරු බොහෝකල් වෙයි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්ස, අපි භාග්‍යවතුන් සම්බුඛයෙහි ධර්ම කථාවක් අසන්ට ලබන්නමෝ නම් මැනැවි” යනුයි. ඇවැත්නි, එසේ නම් රම්මක බමුණාගේ අසපුව කරා එළඹෙව. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දැහැමි කථාවක් අසවු නම් මනා මය. ඒ භික්ෂූහු ‘එසේය ඇවැත්නි’ යි ආයුෂ්මත් අනඳ තෙරුන්ට පිළිතුරු දුන්හ.

2. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිර බතෙන් පසු පිණ්ඩපාතයෙන් නැවතුනු සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, දිවාවිහාරය සඳහා පුබ්බාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදය කරා යම්හ”. ‘එසේ ය වහන්සැ’යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග දිවාවිහාරය සඳහා මෘගාරිමාතෘ ප්‍රාසාදය කරා වැඩියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතින් නැගිසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන්ට තෙල වදාළසේක. “ආනන්දය, ගාත්‍රපරිෂෙකය සඳහා නැගෙනහිර නාන කොටුවට යම්හ.” “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.

 

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් සමග නැගෙනහිර නානකොටුවට වැඩියහ. සිරුරුඅවයව සනහා ගැන්ම සඳහාය. නැගෙනහිර නානකොටුවෙන් සිරුරුඅවයව සනහා ගෙන ගොඩනැගී එක් (අඳනා) සිවුරු ඇතිව සිරුරුඅවයව පූර්ව අවස්ථාවට පමුණුවමින් (=වියළවමින්) සිටිසේක.

 

4. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ. ‘වහන්ස, රම්මකබමුණාගේ මේ අසපුව රමණීය ය. රම්මකබමුණාගේ අසපුව සිත්කලු ය. වහන්ස භාග්‍යවතුන් වහන්සේ, අනුකම්පා උපදවා රම්මකබමුණාගේ අසපුව කරා පැමිණෙනසේක් නම් මැනවි’. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතායෙන් ඉවසු සේක.

 

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුව කරා පැමිණි සේක. එසමයෙහි බොහෝ භික්ෂූහු රම්මකබමුණාගේ අසපුවෙහි දැහැමි කථාවෙන් යුතුව රැස්ව හුන්නාහු වෙත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථා අවසානය බලනුවෝ බිහිදොරටුයෙහි වැඩ සිටි සේක. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ කථාව අවසන්සේ දැන කැස දොර කවුළුව පහළහ. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර විවර කළහ.

 

6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රම්මකබමුණාගේ අසපුවට පිවිස පනවනලද අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ආමන්ත්‍රණය කළසේක: “මහණෙනි, දැන් කිනම් කථාවකින් යුක්ත ව හුන්හු ද? තොපගේ කවර අතුරුකතාවක් අඩාළ කරණ ලද ද?” “වහන්ස, අප විසින් භාග්‍යවතුන් වහන්සේ ම අරභයාවූ දැහැමි කථාව අඩාළ කරණ ලදී. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩිසේකැ”යි සැළ කළහ. “මහණෙනි, මැනවි. මහණෙනි, යම් ලෙසකින් තෙපි දැහැමි කථාවෙන් යුක්ත ව හුන්හුද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන්වන් කුලපුත්‍ර වූ තොපට නිසිය. මහණෙනි, රැස්වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්යතුෂ්ණීම්භාවය (ද්විතීයධ්‍යානය හෝ මූලකර්මස්ථානය මෙනෙහි කිරීම) යන දෙක කළ යුතුය.”

 

7. මහණෙනි, ආර්යපර්යේෂණය ය, අනාර්යපර්යේෂණයයි මේ සෙවීම් දෙකකි.

 

මහණෙනි, අනාර්යපර්යේෂණය කුමක් ද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුඟුලෙක් තෙමේ ජාතිය ස්වභාවය කොට ඇත්තේ ජාතිධර්මයක් (ජාතිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරා ධර්මයක් (ජරාව ස්වභාව) කොට ඇත්තක් ම සොයයි. තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් (ව්‍යාධිය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණ ධර්මයක් (මරණය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ ශෝකය ස්වභාව කොට ඇත්තේ ශෝක ධර්මයක් (ශෝකය ස්වභාව කොට ඇත්තක්) ම සොයයි. තෙමේ කෙලෙසන ස්වභාව ඇත්තේ කෙලෙසන ස්වභාව ඇත්තක් ම සොයයි.

 

8. මහණෙනි, කුමක් ජාතිධර්ම යයි කියන්නේ ද? පුත්‍රදාරාවෝ ජාතිධර්මයෝයි. දැසි දස්හු ජාතිධර්මයෝයි. එළුබැටළුවෝ ජාතිධර්මයෝයි. කුකුළන් හා ඌරෝ ජාතිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ජාතිධර්මයෝ ය. රන් රිදී ජාතිධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ජාතිධර්මයෝ ය. මෙහි තෘෂ්ණාවෙන් බැඳුණා වූ මුසපත් වූ බැසගත්තා වූ මේ ලෝ වැසි තෙමේ ජාතිය ස්වභාව කොට ඇත්තේ ජාතිධර්මයක් ම සොයයි.

 

9. මහණෙනි, කුමක් ජරාධර්මයයි කියන්නේ ද? පුත්‍රභාර්යාවෝ ජරාධර්මයෝ ය. දැසිදස්හු ජරාධර්මයෝ ය එළු බැටළුවෝ ජරාධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ජරාධර්මයෝය. ඇත් ගව අස් වෙළඹහු ජරාධර්මයෝය. රන්රිදී ජරාධර්මය. මහණෙනි, මේ පඤ්චකාමගුණ ජරාධර්ම වෙති. මේ ලෝවැසි, තෙමේ මෙහි ගැට ගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ජරාව ස්වභාව කොට ඇත්තේ ජරාධර්මයක් ම සොයයි.

 

10. මහණෙනි, කුමක් ව්‍යාධිධර්මයයි කියන්නේ ද? පුත්‍ර භාර්යාවෝ ව්‍යාධිධර්මයෝ ය. දැසිදස්හු ව්‍යාධිධර්මයෝ ය. එළු බැටළුවෝ ව්‍යාධිධර්මයෝය. කුකුළන් හා ඌරෝ ව්‍යාධිධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ව්‍යාධිධර්මයෝ ය. මහණෙනි, මේ පඤ්චකාමගුණ උපධීහු ව්‍යාධිධර්මයෝ ය. මේ ලෝවැසි තෙම මෙහි ගැටගැසුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ව්‍යාධිය ස්වභාව කොට ඇත්තේ ව්‍යාධිධර්මයක් ම සොයයි.

 

11. මහණෙනි, කුමක් මරණධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ මරණධර්මයෝ ය. දැසිදස්හු මරණධර්මයෝ ය. එළුබැටළුවෝ මරණධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ මරණධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු මරණධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු මරණධර්මයෝ ය. මේ ලෝ වැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ මරණය ස්වභාව කොට ඇත්තේ මරණධර්මයක් ම සොයයි.

 

12. මහණෙනි, කුමක් ශොකධර්මයයි කියන්නේද? මහණෙනි, පුත්‍ර භාර්යාවෝ ශොකධර්මයෝ ය. දැසිදස්හු ශොකධර්මයෝ ය. එළුබැටළුවෝ ශොකධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ ශොකධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු ශොකධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහුය. මේ ලෝ වැසි තෙමේ මෙහි වෙළුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ ශොකය ස්වභාව කොට ඇත්තේ ශොකධර්මයක් ම සොයයි.

 

13. මහණෙනි, කුමක් සංක්ලේශධර්මයයි කියන්නේද? අඹුදරුවෝ සංක්ලේශධර්මයෝ ය. දැසිදස්හු සංක්ලේශධර්මයෝ ය. එළුබැටළුවෝ සංක්ලේශධර්මයෝ ය. කුකුළන් හා ඌරෝ සංක්ලේශධර්මයෝ ය. ඇත් ගව අස් වෙළඹහු සංක්ලේශධර්මයෝ ය. රන්රිදී සංක්ලේශධර්මයෝ ය. මහණෙනි, මේ උපධීහු සංක්ලේශධර්ම වෙත්. මේ ලෝවැසි තෙමේ මෙහි ගෙතුණේ මුසපත් වූයේ බැසගත්තේ තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයක් ම සොයයි. මහණෙනි, මේ අනාර්යපර්යේෂණයි.

 

14. මහණෙනි, ආර්යවූ සෙවීම කුමක් ද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් තෙමේ ජාතිධර්ම වූයේ ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තරවූ යොගක්ෂේම සංඛ්‍යාත නිර්වාණය සොයයි. තෙමේ ජරාධර්ම වූයේ ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තරවූ යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ ව්‍යාධිධර්ම වූයේ ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ මරණධර්ම වූයේ මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ ශොකධර්ම වූයේ ශොකධර්මයෙහි ආදීනව දැන ශොකයක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. තෙමේ සංක්ලේශධර්ම වූයේ සංක්ලේශධර්මයෙහි ආදීනව දැන කෙලෙසීමක් නැති නිරුත්තර යොගක්ෂේම වූ නිවන සොයයි. මහණෙනි, මේ ආර්යපර්යේෂණයි.

 

15. මහණෙනි, මම බුදු වීමට පෙර බෝසත් වූයෙම් ම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සෙවීමි. තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සෙවීමි. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සෙවීමි. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සෙවීමි. තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සෙවීමි. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සෙවීමි.

 

16. මහණෙනි, ඒ මට මේ අදහස විය: “කුමක් නිසා මම තෙමේ ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයක් ම සොයම් ද, තෙමේ ජරාධර්ම වූයෙම් ජරාධර්මයක් ම සොයම් ද, තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයක් ම සොයම් ද, තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයක් ම සොයම් ද, තෙමේ ශොකධර්ම වූයෙම් ශොකධර්මයක් ම සොයම් ද, තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයක් ම සොයම් ද? මම ජාතිධර්ම වූයෙම් ජාතිධර්මයෙහි ආදීනව දැන ජාතියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. ජරාධර්ම වූයෙම් ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ මරණධර්ම වූයෙම් මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ ශෝකධර්ම වූයෙම් ශෝකධර්මයෙහි ආදීනව දැන ශෝකයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව. තෙමේ සංක්ලේශධර්ම වූයෙම් සංක්ලේශධර්මයෙහි ආදීනව දැන සංක්ලිෂ්ට නො වූ නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් නම් මැනව” යි කියායි.

 

17. මහණෙනි, ඒ මම පසුකාලයෙහි ළදරු වූයෙම් ම ඉතා කළුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරුයොව්නෙන් යුක්ත වූයෙම්, නො කැමති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මවුපියන් හඬද්දී, කෙස්රවුළු බා කහවත් හැඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණියෙමි. ඒ මම මෙසේ පැවිදි වූයෙම් ‘කුසලය කුමක්දැ’යි සොයන සුලුවුයෙම් නිරුත්තර වූ උතුම් වූ ශාන්තිපදය සොයමින් ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාර කාලාමට මෙය කීමි: ‘ඇවැත්නි, කාලාම, මේ ශාසනයෙහි බඹසර කරන්නට කැමැත්තෙමි.’

 

බඹසර වෙසෙවා. යම් තැනක නුවණැති පුරුෂයෙක් නොබෝකලකින් ම ස්වකීය ආචාර්යවරයන්ගේ ධර්මය තෙමේ දැන ප්‍රත්‍යක්ෂ කොට වෙසේ ද, මේ ධර්මය එ බඳු ය”. මහණෙනි, ඒ මම නොබෝදිනකින් ම ඒ ධර්මය ප්‍රගුණ කෙළෙමි. (ඒ මම උන් කී දැය පිලිගනුමට) තොල් පහළ පමණින් ම, උන් කියූ දැය නැවත කීම් පමණෙකින්ම ‘දනිමි’යි ද, ‘දකිමි’යි ද මම පිළින කෙළෙමි. අන්‍යයෝ ද මා ගැන එසේ කීහ. මහණෙනි, ඒ මට මේ අදහස වී ය:

 

“ආළාරකාලාම තෙමේ මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණෙකින් තමන් ‘විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරමි’ යි ප්‍රකාශ නොකරයි. ඒකාන්තයෙන් ආළාරකාලාම මේ ධර්මය දන්නේ, දක්නේ වාසය කෙරේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට මෙය කීමි. “ඇවැත් කාලාමය, කොපමණෙකින් මේ ධර්මය තමන් ප්‍රත්‍යක්ෂ කොට දැන ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහි ද?” මහණෙනි, මෙසේ කී කල්හි ආළාරකාලාම තෙමේ ආකිඤ්චඤ්ඤායතනය ප්‍රකාශ කළේය. ඒ මට මේ අදහස විය: “ශ්‍රද්ධාව ඇත්තේ ආළාරකාලාමහට පමණක් නො වේ. මට ද ශ්‍රද්ධාව ඇත. ආළාරකාලාමහට පමණක් ම වීර්ය ඇත්තේ නො වේ. මට ද වීර්ය ඇත. ආළාරකාලාමහට පමණක් ම සිහිය ඇත්තේ නො වේ. මට ද සිහිය ඇත. ආළාරකාලාමහට පමණක් ම සමාධිය ඇත්තේ නො වේ. මට ද සමාධිය ඇත. ආළාරකාලාමහට පමණක් ම ප්‍රඥාව ඇත්තේ නො වේ. මට ද ප්‍රඥාව ඇත. ආළාරකාලාම තෙමේ ‘යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වෙසෙමි’යි කියා නම්, මම ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම් මැනැවැ” යි කියා යි. මහණෙනි, ඒ මම නොබෝ කලෙකින් ම වහා ම ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙළෙමි.

 

19. මහණෙනි, ඉක්බිති මම ආළාරකාලාම කරා පැමිණියෙමි. පැමිණ ආළාරකාලාමහට “ඇවැත් කාලාමය, මෙ පමණෙකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන සාක්ෂාත් කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙහිදැ”යි මෙය කීමි. “ඇවත, මම මෙපමණෙකින් ම මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙමි” යි කී ය. “ඇවත, මම ද මෙපමණෙකින් මේ ධර්මය තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි”යි කීම්. “ඇවත, යම්බඳු වූ අපි තොප වැනි ස්බ්‍රහ්මචාරි අයුෂ්මතකු දක්නමෝ ද, ඒ අපට ලාභය, අපට මනා ලැබුමෙකි. මෙසේ මම යම් ධර්මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කෙරෙම් ද, තෙපි ඒ ධර්මය තමන් ප්‍රත්‍යක්ෂ කොට වෙසෙසින් දැන ඊට පැමිණ වාසය කරව. තෙපි යම් ධර්මයක් තමන් වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහු නම්, මම ඒ ධර්ම තමන් ම වෙසෙසින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ ප්‍රකාශ කරමි. මෙසේ යම් ධර්මයක් මම දනිම් ද, ඒ ධර්මය තෙපි දනුව.යම් ධර්මයක් තෙපි දනීහු නම් ඒ ධර්මය මම දනිමි. මෙසේ මම යම්බඳුයෙම් නම්, තෙපි ද එබඳු ව. තෙපි යම්බඳුහු නම්, මම ද එබඳුයෙමි. ඇවැත, දැන් එව. දෙදෙන ම එකතු ව මේ පිරිස පරිහරණය කරමු”යි කියායි. මහණෙනි, මෙසේ ආළාරකාලාම තෙමේ මට ආචාර්ය වූයේ ම අතවැසි වූ මා තමාට සමතැන තැබී ය. උසස් පූජාවෙනුදු මා පිදී ය. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මේ ධර්මය සසර කළකිරීම සඳහා නො වේ. නො ඇලීම සඳහා නො වේ. නිවන සඳහා නො වේ. කෙලෙස් සන්හිඳුවීම සඳහා නො වේ. විශේෂ දැනීම සඳහා නො වේ. සම්බෝධිය සඳහා නො වේ. නිවන් සඳහා නො පවතියි. මේ ධර්මය ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීමට ම වෙයි.” මහණෙනි, ඒ මම ඒ ධර්මය (ශාන්තපදයට) ප්‍රමාණ නො කොට (මෙයින් කම් නැතැයි සිතා එයින් තෘප්ත නොවී) ඒ ධර්මයෙන් කළකිරී වෙන්ව ගියෙමි.

 

20. මහණෙනි, ඒ මම ‘කිංකුසලගවෙසී’ වූයෙම් අනුත්තර වූ උතුම් ශාන්තිපදය සොයන්නෙම් උද්දක රාමපුත්‍රයා කරා පැමිණියෙමි. පැමිණ උද්දක රාමපුත්‍රහට මෙය කීමි: “ඇවැත්නි, මම මේ ශාසනයෙහි බඹසර සරන්නට කැමැත්තෙමි”. මහණෙනි, මෙසේ කි කල්හි උද්දක රාමපුත්‍ර තෙමේ “ආයුෂ්මත් තෙමේ වෙසේවා. යම් ශාසනයෙක්හි නුවණැති පුරුෂයෙක් නොබෝකලෙකින් ම ස්වකීය ආචාර්යවරයාගේ ධර්මය තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරන්නේ ද, මේ ධර්මය එබඳු ය” යි මෙය මට කී ය. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම ඒ ධර්මය වහා ම ප්‍රගුණ කෙළෙමි. එපමණින් ම (පිළිගැණුමට) තොල් පහළ පමණින් ම, කියන ලද්ද නැවත කීම් පමණෙකින් ම ‘දනිමි’යි යන කථාව හා ‘එහි ස්ථීර වෙමි’ යන කථාව ද කියමි. ‘දනිමි’යි, ‘දකිමි’යි ද මමත් ප්‍රතිඥා කරමි. අන්‍යයෝ ද මා ගැන එසේ කියති.

 

21. මහණෙනි, ඒ මට මේ අදහස ඇති විය: “රාම තෙමේ මේ ධර්මය හුදෙක් ශ්‍රද්ධා මාත්‍රයෙන් තමන් ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරමි යි ප්‍රකාශ නො කෙළේ ය. රාම තෙමේ මේ ධර්මය එකාන්තයෙන් දනිමින් දක්මින් වාසය කෙළේය”යි කියායි. මහණෙනි, ඉක්බිති මම උද්දක රාමපුත්‍රයා වෙත පැමිණියෙමි. පැමිණ රාමපුත්‍ර උද්දකහට මෙය කීමි. “ඇවැත, (ඔබගේ පිතෘ වූ) රාම තෙමේ කොපමණෙකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට එළඹ ප්‍රකාශ කෙළේදැ?”යි. මහණෙනි, මෙසේ කී කල්හි රාමපුත්‍ර උද්දක තෙමේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ප්‍රකාශ කෙළේ ය. මහණෙනි, ඒ මට මේ අදහස ඇතිවිය: “ශ්‍රද්ධාව රාමයාට පමණක් නො වී ය. මට ද ශ්‍රද්ධාව ඇත. වීර්ය රාමයාට පමණක් නො වී ය. මට ද වීර්ය ඇත. සිහිය රාමයාට පමණක් නො වී ය. මට ද සිහිය ඇත. සමාධිය රාමයාට පමණක් නො වී ය. මට ද සමාධිය ඇත. ප්‍රඥාව රාමයාට පමණක් නො වී ය. මට ද ප්‍රඥාව ඇත. යම් ධර්මයක් රාම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කෙරෙමි යි කීයේ ද, මම ද ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කෙරෙම් නම්, යෙහෙකැ”යි කියායි. මහණෙනි, ඒ මම නොබෝකලෙකින් ම වහා ම ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ විසීම්.

 

22. මහණෙනි, ඉක්බිති මම රාමපුත්‍ර උද්දක වෙත එළඹියෙමි. එළඹ උද්දක රාමපුත්‍රහට මෙය කීයෙමි. “ඇවැත්නි, (ඔබ පියාවූ) රාම තෙමේ මේ ධර්මය මෙපමණෙකින් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද? ඇවැත්නි (මාගේ පිය වූ) රාම තෙමේ මෙ මතුයෙකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේය”යි (උද්දක තෙමේ කීය). “ඇවැත්නි, මම ද මෙපමණෙකින් මේ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කෙරෙමි” යි කීමි.

 

“ඇවැත්නි, යම් බඳු වූ අපි තොප වැනි සබ්‍රහ්මචාරී අයුෂ්මතකු දක්නමෝ ද ඒ අපට ලාභය. අපට මනා ලැබීමෙකි. මෙසේ රාම යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කෙළේ ද, තෙපිත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරව. තෙම යම් ධර්මයක් තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ වාසය කරවු ද, (මාගේ පිය වූ) රාම තෙමේත් ඒ ධර්මය තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට එයට පැමිණ ප්‍රකාශ කළේ ය. මෙසේ යම් ධර්මයක් (මාගේ පිතෘවූ) රාම තෙමේ දැනගත්තේ ද, ඒ ධර්මය තෙපි දන්නහුය. යම් ධර්මයක් තෙපි දන්නහු ද, ඒ ධර්මය රාම තෙමේ දත්තේ ය. මෙසේ රාම යම්බඳු වූයේ ද, තෙපි එබඳු වැ. තෙපි යම්බඳු ද, රාම තෙමේ එබඳු වී ය. ඇවැත්නි, මෙහි එව. දැන් තෙපි මේ පිරිස පරිහරණය කරව.” මෙසේ රාම පුත්‍ර උද්දක තෙමේ මාගේ සබ්‍රහ්මචාරී වූයේ ම මා අදුරු තනතුරෙහි තැබී ය. මහත් පූජායෙකින් මා පිදීය. මහණෙනි, ඒ මට “මේ ධර්මය සසර කළකිරීම පිණිස නො වෙයි. විරාගය පිණිස නො වෙයි. නිරෝධය පිණිස නො වෙයි. ක්ලේශව්‍යුපශමය පිණිස නො වෙයි. අභිඥාව පිණිස නො වෙයි. සම්බෝධිය පිණිස නො වෙයි. නිවන පිණිස නො පවතී. එය හුදෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පමණක් ම වෙයි” යන මේ අදහස වී ය. මහණෙනි, ඒ මම ඒ ධර්මය (ශාන්තපදයට) ප්‍රමාණ නො වන්නක් කොට මෙයින් කම් නැතැයි සිතා ඒ ධර්මයෙන් කළකිරී බැහැරගියෙමි.

 

23. මහණෙනි, ඒ මම ‘කුසලය කුමක් දැ’යි සොයනසුලු වූයෙම් අනුත්තර උතුම් නිර්වාණපදය සොයමින් මගධ දනව්වෙහි පිළිවෙලින් සැරිසරන්නෙම් උරුවෙලායෙහි සේනානිගමය කරා පැමිණියෙමි. එහි සිත්කලු භූමි භාගය ද, පහදවන වනළැහැබ ද, වැලිතලා ඇති මානා තොටු ඇති සිත්කලු ගලාබස්නා නදිය ද, හාත්පස ගොදුරුගම ද, දිටිමි. මහණෙනි, ඒ මට මේ අදහස වී ය: “භූමිභාගය රමණීය ය. වන ළැහැබ ප්‍රසාද ජනක ය. සුදුවැලි තලා ඇති මනා තොටු ඇති සිත්කලු නදිය ද ගලා බස්නී ය. හාත්පස ගොදුරුගම ද වෙයි. ප්‍රධන් කරනු කැමැති කුලපුත්‍රයකුට ප්‍රධන්වීර්ය සඳහා මෙය සුදුසු ම ය.” මහණෙනි, ඒ මම ප්‍රධන්වීර්ය පිණිස “මෙය සුදුසු ම ය” යි සිතා එහි ම (බෝමැඩ) හුන්නෙමි.

 

24. මහණෙනි, ඒ මම ජාතිධර්ම වූයෙම් ජාති ධර්මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයමින් අජාත වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කෙළෙමි. ජරාධර්ම වූයෙම් ජරාධර්මයෙහි ආදීනව දැන දිරීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවන සොයන්නෙම් අජර වූ අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන අවබෝධ කෙළෙමි. ව්‍යාධිධර්ම වූයෙම් ව්‍යාධිධර්මයෙහි ආදීනව දැන ව්‍යාධියක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිර්වාණය අවබෝධ කෙළෙමි. මරණධර්ම වූයෙම් මරණධර්මයෙහි ආදීනව දැන මරණයක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම වූ නිවණට පැමිණියෙමි. ශෝකධර්ම වූයෙම් ශෝකධර්මයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ

25. මහණෙනි, ඒ මට මේ අදහස විය: “මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ප්‍රජාතොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාත ආලයන්හි රමණය කරන්නීය. ආලයන්හි ඇලුණීය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නී ය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ ආලයන්හි ඇලුණු ආලයන්හි සතුටු ප්‍රජාව විසින්, යම් මේ ඉදප්පච්චයතා (සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ අවිද්‍යාදි) පටිච්චසමුප්පාදයක් වේ ද, මේ කාරණය දක්නට නොපහසුය. සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම් වූ සියලු උපධීන්ගේ දූර ලීම වූ ආශාව නැති කිරීම වූ විරාගය වූ නිරොධය වූ යම් මේ නිවනක් වේ ද, මේ කාරණය ද දැක්මට නොහැකිය. මම දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ එය දැන නොගන්නාහු නම්, එය මට ක්ලාන්තියකි. එය මට වෙහෙසකි.” කියායි. මහණෙනි, තවද මට නො ඇසූ විරූ අත්‍යාශ්චර්ය වූ මේ ගාථාවෝ වැටහුණාහ:

 

 “මා විසින් දුක සේ අවබොධ කරණ ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේශයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්මය අවබොධ කිරීම පහසු නො වේ. උඩුහොය (චතුස්සත්‍යධර්මය) කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබොධයට අපහසු වූ සියුම් වූ මේ ධර්මය රාගයෙන් රත් වූ මොහරාශියෙන් වෙළුණු මේ සත්ත්වයෝ නො දක්නාහ.”

 

26. මහණෙනි, මෙසේ නුවණින් සලකන්නා වූ මාගේ සිත මන්දෝත්සාහ භාවයට නැමේ. දහම් දෙසීමට නො නැමේ. මහණෙනි, ඉක්බිති සහම්පතී මහාබ්‍රහ්මයාට සිය සිතින් මා සිත්හි වූ විතර්කය දැනීමෙන් මේ අදහස විය: “යම් ලෝකයෙක්හි තථාගත අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ සිත අල්පොත්සාහභාවයට නැමේ ද, දහම් දෙසීමට නො නැමේ ද, පින්වත්නි, ඒ ලෝකය නැසේ. ඒකාන්තයෙන් වැනැසේ.” මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම් සේ ශක්තිමත් පුරුෂයෙක් හැකුළු ඇත දිගු කෙරේ ද, දිගු කළ අත හකුළු වන්නේ ද, එසේ ම බඹලොවින් අතුරුදහන් වූයේ (ක්ෂණයෙන්) මා ඉදිරියෙහි පහළ විය.

 

27. මහණෙනි, ඉක්බිති සහම්පතී මහා බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකංස කොට මා වෙත ඇඳිලි බැඳ මට මෙය කීයේ ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්ව. මඳකෙලෙස්රජස් සහිත ස්වභාව ඇති සත්ත්වයෝ ඇත. ධර්මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. ධර්මය අවබෝධ කරන්නෝ ඇතැ”යි. මහණෙනි, සහම්පතීබ්‍රහ්ම තෙමේ මෙය කීය. මෙය කියා යලිත් මේ ගාථා කීය:

 

“පෙර මගධ දනව්හි කෙලෙස් මල සහිත ශාස්තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ ධර්මයෙක් පහළ විය. මේ නිවන්දොර විවෘත කරණු මැනැවි. නිර්මල වූ මුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සත්ත්වයෝ අසත්වා.

 

යහපත් ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස, ශෛලමයපර්වතයක් මුදුනෙහි සිටියෙක් හාත්පස ජන සමූහයා යම්සේ දකී ද, එබඳු උපමා ඇති ධර්මප්‍රසාදයට නැඟ තමන්වහන්සේ පහ වූ ශොක ඇති සේක් ශොකයෙන් (ජාති ජරාදියෙන්) මැඩුණු සත්ත්ව සමූහයා බලන සේක්වා. මාරසංග්‍රාමය දිනූ වීරයන් වහන්ස, සාර්ථවාහකයන් වහන්ස, කාමච්ඡන්ද සංඛ්‍යාත ණය නැතියාණන් වහන්ස, නැගිසිටිනු මැනව. ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරණ සේක්වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”

 

28. මහණෙනි, ඉක්බිති බ්‍රහ්මයාගේ ආරාධනාවත් ලැබ, සත්ත්වයන් කෙරෙහි කරුණාවත් නිසා බුදුඇසින් (ආසයානුසය ඉන්ද්‍රියපරෝපරියත්තඤාණයෙන්) ලොව බලන්නා වූ මම අල්පරජස්ක වූ ද, මහාරජස්ක වූ ද, තීක්‍ෂණ වූ ශ්‍රද්ධාදි ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, මෘදු ඉන්ද්‍රියයන් ඇත්තා වූ ද, යහපත් වූ ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, අයහපත් ශ්‍රද්ධාදි ආකාර ඇත්තා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය හැක්කා වූ ද, පහසුවෙන් අවබෝධ කරවිය නොහැක්කා වූ ද, සත්ත්වයන් - පරලොව හා වරද (කෙලෙස්) බිය වසයෙන් දක්නාසුලු ව වසන්නා වූ ඇතැමුන් ද, පරලොව හා කෙලෙස් වරද බිය වසයෙන් නොදක්නාසුලු වූ වසන්නා වූ ඇතැමුන් ද දිටිමි.

 

මහණෙනි, යම්සේ උපුල්විලෙක හෝ පියුම් විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ දියෙහි හටගන්නා වූ දියෙහි වැඩුණා වූ දියෙන් උඩට නො නැගුණා වූ දියෙහි ගැලී පෝෂණය වන්නා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය හා සම ව සිටියා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලය ඉක්මවා සිටියා වූ ජලයෙන් නො තැවරුණා වූ ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ හෙළපියුම් හෝ වේ ද, එසේ ම, මහණෙනි, බුදු ඇසින් ලොව බලන්නා වූ මම කෙලෙස් අඩු, කෙලෙස් වැඩි, තියුණු ඉන්ද්‍රියයන් ඇති, මෘදු ඉන්ද්‍රියයන් ඇති, යහපත් ආකාර ඇති, අයහපත් ආකාර ඇති, පහසුවෙන් අවබොධ කරවිය හැකි, පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්ත්වයන් ද, පරලොව හා කෙලෙස් බිය වශයෙන් දක්නා සුලු ව වසන ඇතැම් සත්ත්වයන් ද, පරලොව හා කෙලෙස් බිය වසයෙන් නො දක්නාසුලු ව වසන්නාවූ ඇතැම් සත්ත්වයන් ද දිටිමි. මහණෙනි, ඉක්බිති මම සහම්පතී බ්‍රහ්මයාට ගාථාවෙන් පිළිවදන් දිනිමි.

 

“යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ඔහු (දැන්) ශ්‍රද්ධාව මුදත්වා (ඉදිරිපත් කෙරෙත්වා). ඔවුනට නිවන් දොර (ම විසින්) විවෘත කරණ ලදී. බ්‍රහ්මය, ‘වෙහෙසකි’ යන කල්පනා ඇත්තෙම් ප්‍රගුණ වූ උතුම් ධර්මය මිනිසුන් කෙරෙහි නො දෙසීමි.”

 

29. ඉක්බිති, සහම්පතීබ්‍රහ්ම තෙම ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මදේශනාවට කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි’ යි මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.

 

30. මහණෙනි, ඒ මට “මම පළමු කොට කවරකුට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම් වහා අවබොධ කරන්නේ දැ”යි මේ ධර්මවිතර්කය විය. මහණෙනි, ඒ මට මේ සිත විය: මේ ආළාරකාලාම තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්ප රජස්කස්වභාව (නිකෙලෙස් පියවි) ඇත්තෙක. මම ආළාරකාලාම තවුසාට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්මය වහා ම දැන ගන්නේ ය”යි කියායි. මහණෙනි, අනතුරු ව දෙවියෙක් මා වෙත පැමිණ “වහන්ස, ආළාරකාලාම තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කළේ ය” යි මෙය කීයේ ය. “ආළාරකාලාම තෙමේ මින් සත් දිනකට පෙර කාලක්‍රියා කෙළේය.” යන ඥානදර්ශනය මට ද පහළ විය. මහණෙනි, ඒ මට “ආළාරකාලාම තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් විය. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසුයේ නම්, වහා ම දැනගන්නේ ය (මගපල ලබයි)”යි මේ සිත විය.

 

31. මහණෙනි, ඒ මට “මම කවරකුට පළමුකොට දහම් දෙසම් ද, කවරෙක් මේ ධර්මය වහා ම අවබොධ කරගන්නේ ද” මේ සිත විය. මේ රාම පුත්‍ර උද්දක තෙමේ පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. බොහෝ කලක් අල්පරජස්කස්‌වභාව ඇත්තේ ය. මම රාම පුත්‍ර උද්දකහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනව. හෙතෙම මේ ධර්මය වහා ම දැනගන්නේ ය” යන අදහස විය. මහණෙනි, ඉක්බිති දෙවියෙක් මා කරා පැමිණ “වහන්ස, රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ මධ්‍යමරාත්‍රියෙහි කාලක්‍රියා කෙළේ ය”යි කියේ ය. “රාමපුත්‍ර උද්දක තෙමේ ඊයේ රෑ කාලක්‍රියා කෙළේ ය”යි මට ද ඥානදර්ශනය පහළ විය. මහණෙනි, “රාමපුත්‍ර උද්දකහට වූයේ මහත් පිරිහීමෙක. ඉදින් හෙතෙම මේ ධර්මය ඇසුයේ නම්, වහා ම මාර්ගඵල අවබොධ කරන්නේ යයි” මට මේ අදහස වී ය.

 

32. මහණෙනි, ඒ මට “කවරකුට මම පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ ධර්මය වහා ම අවබොධ කරන්නේ ද?” යන අදහස විය.

මහණෙනි, ඒ මට “යම් පස්වග මහණ කෙනෙක් ප්‍රධන්වීර්යෙහි මෙහෙයූ සිත් ඇති මට උවටන් කළාහු ද, ඒ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තාහ. මම පස්වග මහණුන්ට පළමු ව දහම් දෙසන්නෙම් නම් මැනව යි” මේ අදහස වී ය. මහණෙනි, ඒ මට “දැන් ඒ පස්වග මහණහු කොහි වෙසෙත් දෝ හෝ”යි මේ සිත වී ය. මහණෙනි, මම මිනිසැස ඉක්ම සිටි පිරිසුදු වූ දිවැසින් පස්වගමහණුන් බරණැස මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වසන්නවුන් දිටිමි.

 

33. මහණෙනි, ඉක්බිති උරුවෙල්දනව්වෙහි කැමතිතාක් වාසය කොට බරණැස චාරිකාවෙහි ගියෙමි. මහණෙනි, ගයාවටත් බෝධියටත් අතර අදන්මගට පිළිපන් උපක නම් ආජීවකයා මා දුටුයේ ය. දැක මට මෙසේ කී ය: “ඇවැත්නි, මුඹවහන්සේගේ චක්ෂුරාදි ඉන්ද්‍රියෝ විශේෂයෙන් ප්‍රසන්නයහ. ඡවිවර්ණය පිරිසුදු ය, ප්‍රභාස්වරය. ඇවැත්නි, මුඹවහන්සේ කවරකු උදෙසා පැවිදි වූ සේක ද? මුඹවහන්සේගේ ශාස්තෘවරයා හෝ කවරේ ද? මුඹවහන්සේ කාගේ ධර්මයකට රුචි කරණ සේක් ද?” යනුයි. මහණෙනි, මෙසේ කී කල්හි මම උපකආජීවකයාහට ගාථාවෙන් කීමි:

 

“මම සියල්ල අබිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන්හි නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි. මෙසේ තමන් ම සියල්ල දැන අන් කවරකු ආචාර්යවශයෙන් උදෙසනෙම් ද?”

 

 “මට ලෝකෝත්තරධර්මයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් නැත.”

 

 “ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම එක ම සම්මාසම්බුදු වෙමි. සියලු කෙලෙස්ගිනි නිවීමෙන් සිසිල් වුයෙමි. එහෙයින් ම නිවුනෙම් වෙමි.”

 

“මම දම්සක් පැවැත්වීමට කසීරට බරණැස් නුවර බලා යමි. අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයෙහි අමාදහම්බෙරය ගසන්නෙමි.”

 

34. ‘ඇවැත්නි, මුඹ “අනන්තජින” ය යි පිළින කරණ සේය.’ (උපක කීය)

 

 “ආස්‍රවක්ෂය සංඛ්‍යාත නිර්වාණයට පැමිණියා වූ මා වැනියෝ එකාන්තයෙන් ‘ජින’ නම් වෙති. උපකය, මා විසින් පාපධර්මයෝ දිනන ලදහ. එහෙයින් මම ‘ජින’ වෙමි.” යි

 

මෙසේ වදාළ කල්හි උපක ආජීවක තෙමේ, “ඇවැත්නි, එසේත් වන්නේ වනැ”යි හිස සලා සරස් මගක් ගෙණ ගියේ ය.

 

35. මහණෙනි, ඉක්බිති මම පිළිවෙලින් චාරිකා කරන්නෙම් බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි පස්වගමහණුන් වෙත එලඹියෙමි. මහණෙනි, පස්වග මහණහු එන මා දුර දී ම දුටහ. දැක ඔවුනොවුන් කතිකා කළහ: “ඇවැත්නි, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පැමිණ ප්‍රධන් වීර්යෙන් පිරිහුණු, ප්‍රත්‍යය බහුල කොට ඇති බවට පෙරළුණු මේ ශ්‍රමණ ගෞතම තෙමෙ එයි. නො ම වැඳිය යුතුය. පෙර ගමන් නො කළ යුතුය. ඔහුගේ පා සිවුරු නො පිළිගත යුතු ය. වැලි, ඉදින් කැමැත්තේ නම් හිඳින්නේ යයි ආසනයක් තැබිය යුතු”ය කියායි. මහණෙනි, මා ළං ළං වත් ම පස්වග මහණහු තම කතිකායෙහි පිහිටා සිටින්නට නොහැකි වූහ. ඇතැම්හු මට පෙර ගමන් කොට පාසිවුරු ගත්හ. ඇතැම්හු අසුන් පැනවූහ. ඇතැම්හු පාදොවුන්දිය එළවූහ. එසේ වුවත් මට නාමයෙන් හා ‘ආවුසො’ වාදයෙන් ව්‍යවහාර කෙරෙති.

 

36. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි “මහණෙනි, තථාගතයන්ට නමිනුත් ‘ආවුසො’ වාදයෙනුත් ව්‍යවහාර නො කරවු. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය අවබොධ කරණ ලදී. මම දහම් දෙසමි. අනුශාසනයට අනුව පිළිපඳනාහු - කුලපුත්‍රයෝ යම් නිවනක් සඳහා ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්ගබ්‍රහ්මචර්යය අවසන් කොට ඇති නිරුත්තර වූ ඒ නිර්වාණය ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ඊට පැමිණ වාසය කරවු” යි.

 

37. මහණෙනි, මෙසේ කී කල්හි පස්වග මහණහු මට මෙය කීහ: “ඇවත ගෞතමයෙනි, මුඹ වහන්සේ ඒ දුෂ්කර වූ ඉරියව්වෙනුත් දුෂ්කර ප්‍රතිපදායෙනුත් දුෂ්කර ක්‍රියායෙනුත්, මනුෂ්‍යධර්මයට වැඩි වූ ආර්යභාවය ඇති කිරීමට සමර්ථ වූ ඥානදර්ශනවිශේෂය නො ලැබූ සේක. මුඹ වහන්සේ දැන් පිරිකර බහුල කොට ඇති සේක්, ප්‍රධන්වීර්යෙන් ගිලිහුණු සේක්, පිරිකර බහුල කොට ඇතිබවට පෙරළුණුසේක්, දශකුශලධර්මයට වැඩි වූ අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශන විශෙෂය කිසෙයින් ලැබූ සේක් ද?” මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්යෙන් ගිලිහුණේ නො වේ. බාහුලිකත්වයට පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. අමෘතය මා විසින් ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම් සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්හත්වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බ්‍රහ්මචර්යය කෙළවර කොට ඇත්තා වූ ඒ අර්හත්වය තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාසය කරන්නහුය.”

 

38. මහණෙනි, දෙවනු ද පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත්නි, ගෞතමයෙනි, මුබවහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මනුෂ්‍ය ධර්මයට වැඩි අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශන විශේෂයක් අවබොධ නො කළ සේක. කීම, මුබවහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල කොට ඇතිබව පිණිස පෙරළුණු සේක් මනුෂ්‍යධර්මයට වැඩි වූ අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශනය අවබොධ කළසේක් ද? ”

 

39. මහණෙනි, දෙවනු ද මම පස්වග මහණන්ට මෙය කීමි: “මහණෙනි, තථාගත තෙමේ බහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක් සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන් අවබෝධ කරණ ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්හත්වයක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද, නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති ඒ අර්හත්වය තුමූ ඉහතාත්මයේදී ම අභිඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”

 

40. මහණෙනි, තෙවැනිවටත් පස්වග මහණහු මට මෙසේ කීහ: “ඇවැත් ගෞතමයෙනි, මුබ වහන්සේ ඒ ඉරියව්වෙන් ඒ ප්‍රතිපදාවෙන් ඒ දුෂ්කරක්‍රියාවෙන් මිනිස් දහමට වැඩි අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශන විශේෂයක් අවබොධ නො කළ සේක. මුබ වහන්සේ දැන් ප්‍රත්‍ය බහුල කොට ඇතිසේක් ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණුසේක් ප්‍රත්‍ය බහුල භාවය පිණිස පෙරළුණු සේක් මිනිස්දහමට වැඩි අර්යභාවය සිදු කිරීමට සමර්ථ වූ ඥානදර්ශනය අවබොධ කළසේකැ යනු කීම?”

 

41. මහණෙනි, මෙසේ කී කල්හි මම පස්වග මහණුන්ට මෙය කීමි: මහණෙනි, තෙපි මින් පෙර මාගේ මෙබඳු වූ වාග්භෙදයක් (=වචන කීමක් ගැන) දන්නහු ද?” “වහන්ස, එය නො වේ ම ය.” “මහණෙනි, තථාගත තෙමේ ප්‍රත්‍යය බාහුලික වූයේ නො වේ. ප්‍රධන්වීර්යයෙන් ගිලිහුණේ නො වේ. ප්‍රත්‍ය බහුලභාවය පිණිස පෙරළුණේ නො වේ. මහණෙනි, තථාගත තෙමේ රහත් ය. සම්‍යක්සම්බුද්ධ ය. මහණෙනි, කන් යොමු කරවු. (මා විසින්) නිවන ලබන ලදී. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. අනුශාසනාව යම්සේ ද, එසේ පිළිපදනා වූ තෙපි නො බෝකලෙකින් ම යම් අර්හත්වයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට ම ගිහි ගෙන් නික්ම අනගාර්යශාසනයට පැමිණෙද්ද, ඒ නිරුත්තර වූ බඹසර කෙළවර කොට ඇති රහත්බව ඉහතාත්මයේදී ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වාසය කරන්නහුය.”

 

42. මහණෙනි, මම මා බුදුවූබව පස්වග මහණුන් අඟවන්නට හැකිවීමි. මහණෙනි, මම භික්ෂූන් දෙනමකට අවවාද කරමි. භික්ෂූහු තෙනමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූහු තිදෙන පිඬුපිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු. මහණෙනි, මම භික්ෂූන් තුන් නමකට අවවාද කරමි. භික්ෂූහු දෙ නමක් පිඬු පිණිස හැසිරෙත්. භික්ෂූහු දෙනම පිඬු පිණිස හැසිර යමක් ගෙනෙත් ද, එයින් සවග වූ අපි යැපෙමු.

 

 

43. මහණෙනි, මෙසේ මා විසින් අවවාද කරණු ලබන අනුශාසනා කරණු ලබන පස්වග මහණහු තුමූ ඉපදීම ස්වභාව කොට ඇත්තාහු ජාතිධර්මයෙහි ආදීනව දැන ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ඉපදීමක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නිවන අවබොධ කළාහු ය. තුමූ ජරාව ස්‌වභාව කොට ඇත්තාහු ජරාධර්මයෙහි ආදීනව දැන ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ජරාවක් නැති නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ව්‍යාධිය ස්‌වභාව කොට ඇත්තාහු ව්‍යාධිස්වභාවයෙහි දොස් දැන ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ව්‍යාධි රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ මරණය ස්‌වභාව කොට ඇත්තාහු මරණයෙහි ආදීනව දැන මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු මරණ රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ ශෝකය ස්‌වභාව කොට ඇත්තාහු ශෝකයෙහි ආදීනව දැන ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු ශෝක රහිත වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. තුමූ කෙලෙසීම් ස්‌වභාව කොට ඇත්තාහු සංක්ලේශධර්මයෙහි ආදීනව දැන නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන සොයන්නාහු නො කිලිටි වූ නිරුත්තර වූ යෝගක්ෂේම නම් වූ නිවන අවබෝධ කළාහුය. ඔවුන්ට ‘අපගේ චිත්තවිමුක්තිය නිශ්චල ය. මේ අන්තිම ජාතිය යි. දැන් පුනර්භවයක් නැත’ යන ඥානදර්ශනය ද පහළ විය.

 

44. මහණෙනි, මේ කාමගුණයෝ පස් දෙනකි. කවර පස් දෙනෙක යත්: චක්ෂුර්විඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමරාගයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ රූපයෝ ය, ශ්‍රොත්‍රවිඥානයෙන් දත යුතු වූ … ශබ්දයෝ ය, ඝාණවිඥානයෙන් දත යුතු වූ … ගන්ධයෝ ය, ජිහ්වාවිඥානයෙන් දත යුතු වූ … රසයෝ ය, කායවිඥානයෙන් දත යුතු වූ ඉෂ්ට වූ කමතීය වූ මන වඩන්නා වූ ප්‍රියස්වරූප වූ කාමරාගයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මොහුයි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ ය.

 

45. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් (මේ පස්කම් ගුණයන්හි) වෙළුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නොදක්නාසුලු වූවාහු ප්‍රත්‍යවේක්‍ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභෝග කෙරෙද් ද, ඔහු අනභිවෘද්ධියට පැමිණියාහු ව්‍යවසනයට පැමිණියාහු පවිටු මරහු විසින් කැමති සේ කට යුත්තාහු යි මෙසේ දත යුත්තාහු ය.

 

46. මහණෙනි, අරණ්‍යකමෘගයෙක් මල පුඬුරැස මත යම්සේ ශයනය කරන්නේ නම්, හෙතෙමේ අනභිවෘද්ධියට පැමිණියේ ව්‍යවසනයට පැමිණියේ වැද්දා විසින් කැමැති සේ කට යුත්තේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් නො යන්නේ ය යි මෙසේ දතයුතු වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ පස්කම්ගුණයන්හි ගෙතුනාහු මුසපත් වූවාහු බැසගත්තාහු දොස් නො දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් තොර වූවාහු මේ පස්කම්ගුණයන් පරිභොග කෙරෙත් ද, ඔහු විපතට පැමිණියාහු වැසනට පැමිණියාහු පවිටු මරහු විසින් කැමැති සේ කට යුත්තාහු ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

 

47. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නොගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභොග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියාහු ය. ඔහු වැසනට නො පැමිණියාහු ය. පවිටු වූ මරහු විසින් කැමැති සේ කට යුතු නො වන්නාහුය යි මෙසේ දත යුතු වන්නාහු ය.

 

48. මහණෙනි, යම් සේ වනමුවෙක් නො බැඳුනේ මලපුඬු රැස මත හොනේ ද, හෙතෙමේ විපතට නො පැමිණියේ ය. වැසනට නො පැමිණියේ ය. වැද්දා විසින් කැමැති සේ කට යුතු නොවන්නේ ය. වැද්දා එන කල්හි කැමැති මගකින් පලායන්නේ ය යි මෙසේ දත යුතු වන්නේ ය. මහණෙනි, මේ පරිද්දෙන් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු හෝ පස්කම්ගුණයන්හි නො ගෙතුනාහු මුසපත් නො වූවාහු බැස නො ගත්තාහු දොස් දක්නාසුලු වූවාහු ප්‍රත්‍යවෙක්ෂාඥානයෙන් යුක්ත වූවාහු මේ පස්කම්ගුණයෙන් පරිභෝග කෙරෙත් ද, ඔහු විපතට නො පැමිණියෝ ය. වැසනට නො පැමිණියෝ ය. පවිටු මරහු විසින් කැමැති සේ කටයුතු නො වන්නෝ ය යි මෙසේ දත යුතු වන්නාහු ය.

 

49. මහණෙනි, යම්සේ වනමුවෙක් මහ වහයෙහි හැසිරෙන්නේ බියරහිත වූයේ යේ නම්, බියරහිත වූයේ සිටී නම්, බියරහිත වූයේ හිඳී නම්, බියරහිත වූයේ හොවී නම්, මහණෙනි, ඒ කවරහෙයින යත්: වැද්දාට හමු නො වූ හෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි ද, මහණෙනි, මේ භික්‍ෂු තෙමේ මාරයා අන්ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ යයි ද කියනු ලැබේ.

 

50. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් සිය සතන්හි පැහැදීම වූ සිතේ එකඟගබව ඇති විතර්ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ද ඇති දෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මේ මහණ තෙමේ ‘මාරයා අන්ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මරඇස නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ යයි ද කියනු ලැබේ.

 

51. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීති විරාගයෙන් උපෙක්ෂා ඇත්තේ ද ස්මෘතිමත් වූයේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ ද වාසය කරයි. කයින් සැප ද විඳියි. ආර්යයෝ ඒ යමක් ‘උපෙක්ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය. සැප විහරණ ඇත්තේ ය’යි වර්ණනා කරත් ද, ඒ තෙවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙම ‘මාරයා අන්ධ කෙළේ ය යි ද, මාරයාගේ ඇස පිහිටක් නැති සේ නසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.

 

52. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සැපය නැසීමෙන් ද දුක නැසීමෙන් ද පළමු කොට ම සොම්නස් දොම්නස් වැනසීමෙන් දුක් රහිත වූ සැප රහිත වූ උපෙක්ෂා විසින් කළ ස්මෘතිපරිශුද්ධභාව ඇති සිවුවැනි දැහැනට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්ධ කෙළේ ය යි ද මාරයාගේ ඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ.

 

53. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් නැසීමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානාඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ ‘මාරයා අන්ධ කෙළේ ය යි ද, මරඇස පිහිටක් නැති සේ වනසා පාපී මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් ආකාසනඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ඔළාරික කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි … මහණෙනි, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරොධයට පැමිණ වාසය කෙරෙයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආස්‍රවයෝ ක්ෂීණ වූවාහු වෙත්. මහණෙනි, මේ තෙම ‘මාරයා අන්ධ කෙළේ ය. මරඇස පිහිටක් නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට පැමිණියේ’ ය යි ද කියනු ලැබේ. ලොකයෙහි විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාවෙන් එතෙර වූයේ ය. හෙතෙම නිර්භය වූයේ නිර්භය ව සිටියි. නිර්භය ව හිඳියි. නිර්භය ව හොවියි. කවර හෙයින යත්: මහණෙනි, පවිටු මාරයාට හමු නොවූ හෙයිනි.

 

බුදුරජාණන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්හ.

 

සවැනි වූ අරියපරියෙසන සූත්‍රය නිමියේ ය.