කකචූපම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

1

කකචූපම සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ ත්‍රිවිධ වෙලා ඉක්ම සිට මෙහෙණන් හා සංසටට්ඨ වැ (මුසුව) විහරණ කෙරෙති. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇති වැ වාසය කරති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු නො සතුටු වූවාහු අධිකරණ ද කෙරෙති. ඉදින් යම්කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන මහණහුගේ අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරති. මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.

 

2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක් හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේය: “වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ වේලා ඉක්මවා මෙහෙණන් හා මිශ්‍ර වූවාහු වාසය කෙරෙති. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ මෙහෙණන් හා මෙබඳු සසට ඇතිවැ වෙසෙති: ඉදින් යම්කිසි මහණෙක් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් ඉදිරියෙහි ඒ මෙහෙණන් අගුණ කියා ද, එයින් ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ කිපියාහු අසතුටු වූවාහු නඩු ද පවරති. ඉදින් යම් කිසි මහණෙක් ඒ මෙහෙණන් ඉදිරියෙහි ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවන් අගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නොසතුටු වූවාහු නඩු ද කියත්. වහන්ස, ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරණුවෝ භික්‍ෂුණින් හා මෙබඳු සසට ඇති වැ වෙසෙති.”

 

 

3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමතු සේක: මහණ, තෝ මෙහි එව. මාගේ වචනයෙන් ‘ඇවැත, ඵග්ගුනය, ශාස්තෘන්වහන්සේ ඔබ අමතනසේකැ’ යි මොලියඵග්ගුන භික්‍ෂුහු අමතව. ‘වහන්ස, එසේ ය’යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මොලියඵග්ගුන ආයුෂ්මත්හු වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් මොලියඵග්ගුන තෙරහුට මෙය කී ය: ඇවැත්, ඵග්ගුනය, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’යි කියා යි. ආයුෂ්මත් මොලියඵග්ගුන තෙමේ ‘එසේය, ඇවැත්නි’යි ඒ භික්‍ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් මොලියඵග්ගුන භික්‍ෂුහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

 

4. ඵග්ගුනය, තෝ භික්‍ෂුණීන් සමග වෙලා ඉක්මවා වෙසෙහි යනු සැබෑ ද? ඵග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති ව වාසය කෙරෙහි ල: කිසි මහණෙක් තා හමුවෙහි ඒ මෙහෙණන්ගේ අගුණ කියා ද, එයින් තෝ කිපියෙහි නො සතුටු වුයෙහි නඩු ද කියහි. ඉදින් කිසි මහණෙක් ඒ මෙහෙණන්ගේ හමුවෙහි තාගේ නුගුණ කියා ද, එයින් ඒ මෙහෙණහු කිපියාහු නො සතුටු වූවාහු නඩු ද පවරත්. ඵගග්ගුනය, තෝ මෙහෙණන් හා මෙසේ සසට ඇති වැ වෙසෙහි ද?” ‘එසේය, වහන්ස.’ ඵග්ගුනය, තෝ ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන කුලපුත්‍ර නො වෙහි ද? ‘වහන්ස, එසේය.’

 

 

5. “ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සසුන වන තට වෙලා ඉක්මවා මෙහෙණන් හා තෝ හැනුණක්ව වසන්නෙහි යන යමක් වේ ද, එය නො නිසිය. එහෙයින් ඵග්ගුනය, ඉදින් කිසිවෙක් තා ඉදිරියෙහි ඒ මෙහෙණන්ගේ නුගුණ කියා ද, ඵග්ගුනය, එහි දී තෝ පඤ්‍චකාමගුණශ්‍රිත වූ යම් තෘෂ්ණාද්වේෂ ඡන්‍දයෝ වෙත් ද, ගෘහාශ්‍රිත විතර්‍කයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, ඒ නුගුණ කීමෙහි ලා තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත (රාගාදීන්) පෙරළුණේ නො වන්නේ ම ය. (මම) ලාමක වචන නො ද කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු.

 

6. ඵග්ගුනය, එහෙයින් මෙහි තා ඉදිරියෙහි කිසිවෙක් ඒ මෙහෙණන් ට ඉදින් අතින් පහර දෙන්නේ ද, කැටින් පහර දෙන්නේ ද, මුගුරින් පහර දෙන්නේ ද, සැතින් පහර දෙන්නේ ද, ඵග්ගුනය, ඒ පහර දීමෙහි ද තෝ යම් ගෙහසිත ඡන්‍දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත නො පෙරළුණේ වන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇත්තෙම් මෛත්‍රි සහගත සිත් ඇත්තෙම් ද්වේෂචිත්ත නැත්තෙම් වසන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

7. ඵග්ගුනය, එහෙයින් මෙහි යම් කිසිවෙක් තා ඉදිරියෙහි දී තාගේ වුවත් නුගුණය කියන්නේ නම්, ඵග්ගුනය, එහි දී ද තෝ යම් ගෙහසිත ඡන්‍දයෝ ඇත් ද, යම් ගෙහසිත විතකකයෝ ඇත් ද, ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත වෙනස් නොවන්නේ ම ය. ලාමක වචන නොම කියන්නෙමි. හිතානුකම්පා ඇති ව මෛත්‍රි සිත් ඇතිව ද්වේෂ සිත් නැති ව වසන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

8. ඵග්ගුනය, එහෙයින් මෙහි තට වුවත් ඉදින් කිසිවෙක් අතින් පහර දේ ද, කැටින් පහර දේ ද, මුගුරින් පහර දේ ද, සැතින් පහර දේ ද, ඵග්ගුනය, එහි දී ද යම් ගෙහසිත ඡන්‍දයෝ යම් ගෙහසිත විතකකයෝ වෙත් ද, තෝ ඔවුන් දුරු කරව. ඵග්ගුනය, එහිදීද තා විසින් මෙසේ හික්මිය යුතු ය: ‘මාගේ සිත වෙනස් නොවන්නේ ම ය. ලාමක වචනයක් ද ප්‍රකාශ නො කරන්නෙමි. හිතානුකම්පිව මෙත්සිත් ඇතිව ද්වේෂසිත් නැති ව වාසය කරන්නෙමි’යි කියා යි. ඵග්ගුනය, තා විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතුසේක: මහණෙනි, එක් කලෙක (ප්‍රථම බොධියෙහි) භික්‍ෂූහු ඒකාන්තයෙන්ම මා සිත් ගත්හ. මහණෙනි, මම භික්‍ෂූන් ඇමතීමි: ‘මහණෙනි, මම පෙරවරු එක්වේලේ බොජුන් වළඳ කරමි. මහණෙනි, මම එක්වේලේ වැළඳීම කරන්නෙම් නිරොග බව ද නිදුක්බව ද සැහැල්ලු බව ද ශරීරශක්තිය ද පහසු විහරණය ද දනිමි. මහණෙනි, එවු, තෙපි ද නිරොගී බවත් නිදුක් බවත් සැහැල්ලු බවත් ශරීර ශක්තියත් පහසු පැවැත්මත් දනිවු.’ මහණෙනි, එකල භික්‍ෂූන් කෙරෙහි මා විසින් අනුශාසනා කළ යුතු නො වී ය. ඒ භික්ෂූන්ට මා විසින් කළයුතු සිහි ඉපිදවීම පමණක්ම වී ය.

 

 

10. මහණෙනි, යම් සේ සමබිමෙක සතර මංසන්දියෙක (සුවසේ ගත හැකි ලෙස) තබනලද කෙහිටි ඇති, හික්මුණු අසුන් යෙදූ, රියක් ගමනට යුතු වැ සිටියේ වේ ද, දමනය කටයුතු අශ්වයන් හික්මවීමෙහි දක්‍ෂ වූ අශ්වාචාර්‍ය්‍යයෙක් තෙල රථයට නැගී වමතින් රැහැන් ගෙන දකුණතින් කෙහිට‍ ගෙන කැමැති ගමනක් සඳහා ඉදිරියට මෙහෙයන්නේ ය. ආපසු හෝ මෙහෙයන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම මා විසින් ඒ භික්‍ෂූන් කෙරෙහි ද අනුශාසනාව කටයුතු නො වී ය. කළයුතු අනුශාසනාව සිහි ඉපදවීම පමණක්ම වී ය. මහණෙනි, එහෙයින් මෙහි තෙපි ද අකුසල් දුරු කරවු. කුසල්දහම්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපි ද මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නහු ය.

 

11. මහණෙනි, යම් සේ ගමක් හෝ නියම්ගමක් හෝ අසල මහත් සල්වනයක් වේ ද, හේ ද සල්පිලිළයෙන් වැසුණේ වේ ද, එයට වැඩ කැමැති අභය කැමැති කිසියම් පුරුෂයෙක් වේ නම්, හෙතෙම වක් වු ඕජා ගලා බස්නා වූ යම් ඒ තරුණ ශාලයෂ්ටිහු වෙත් ද, ඔවුන් සැස බැහැර කරන්නේය. ඇතුළු සල්වනය මැනවින් ශුද්ධ වූවක් කරන්නේ ය. ඍජු ව මැනවින් වැඩුණු යම් ඒ තරුණ ශාලවෘක්‍ෂයෝ වෙත් නම්, ඔවුන් මැනැවින් පෝෂණය කරන්නේ ය. මහණෙනි, මෙසේ ඒ සල්වනය පසුකලෙක වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම තෙපිත් අකුසල් දුරු කරවු. කුශලධර්‍මයන්හි නැවත නැවත යෙදෙවු. මෙසේ තෙපිත් මේ ශාසනයෙහි වැඩීමට දියුණුවට විපුලත්‍වයට පැමිණෙන්නහු ය.

 

12. මහණෙනි, පෙර වූවක් කියමි: මේ සැවැත්නුවර ම වෙදෙහිකා නම ගෙහඹුවක් වූය. මහණෙනි, වෙදෙහිකා ගැහැවිදුවගේ මෙබඳු කලණ කීර්තිශබ්දයෙක් පැනනැගී. වෙදෙහිකා ගැහැවිදූ සුරත ය. වෙදෙහිකා ගැහැවිදූ යටත් පැවතුම් ඇත්තීය. වෙදෙහිකා ගැහැවිදූ ශාන්තය, කියා ය. මහණෙනි, වෙදෙහිකා ගැහැවිදූවට කාළී නම් දාසියක් වූ ය. දක්‍ෂය. අනලසය. මනා ව සංවිධාන කළ කටයුතු ඇත්තීය.

 

13. මහණෙනි, කාළී දාසියට - “මාගේ ආර්‍යාව පිළිබඳව, වේදේහිකා ගැහැවිදූ සුරතභාවයෙන් යුක්ත ය. වෙදෙහිකා ගැහැවිදූ යටහත් පැවතුම් ඇත්තීය. වෙදෙහිකා ගැහැවිදූ උපශාන්ත ය’යි කලන කීර්ති ශබ්දයෙක් පැන නැගිණ. කිමෙක් දෝ, මාගේ ආර්‍යාව තමා තුළ ඇත්තා වූ කෝපය පහළ නො කෙරේද? නොහොත් නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ ද? එසේත් නැතහොත් යම හෙයකින් මවිසින් ම තෙල කර්‍මාන්තයෝ සුසංවිහිත ද (මැනැවින් කරන ලදහු ද) එහෙයින් මාගේ ආර්‍යා තොමෝ තමා තුළ ඇත්තාම වූ ම කෝපය පහළ නො කෙරේ ද නොහොත් නැත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍යාව විමසා බලන්නෙම් නම් ඉතා මැනැවැ”යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති කාළී දාසී තොමෝ දහවල් කොට නැගිට සිටියා ය. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගෘහිණි තොමෝ කාළී දාසියට මෙය කීවු ය: “එම්බල කාළිය, ආර්‍යාවෙනි, කීම?’ එම්බල කෙල්ල, කිම, දහවල් කොට නින්දෙන් නැගිට්ටෙහි ද? ‘ආර්‍යාවෙනි, කිසිත් නැත.’ එම්බල පවිටු දාසිය, කිසිත් නැත් නම් දහවල් කොට නැගි සිටියෙහිදැ” යි කිපියා නො සතුටු වූවා බැම බිඳුම් කළා ය. (මුහුණ හැකිළී ය.)

 

14. “මහණෙනි, එකල කාළී දාසියට මේ අදහස වී ය: “මාගේ ආර්‍යාව තමා තුළ ඇත්තා වූ ම කොපය පහළ නො කරන්නී ය. නැත්තා වූ ම කෝපය පහළ නො කරන්නී නො වේ. යම් හෙයකින් මා විසින් ම තෙල කර්‍මාන්තයෝ මැනැවින් සංහිත ද ඒ නිසා ආර්‍යා තොමෝ තමා තුළ ඇත්තා වූ ම කොපය පහළ නො කෙරේ ද, නැත්තා වූ ම කොපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍යාව බොහෝ සේ විමසා බලන්නෙම් නම් යෙහෙක” කියා යි. මහණෙනි, ඉක්බිති කාළී දාසිය වඩාත් දහවල් කොට නින්දෙන් නැගී සිටියා ය.

 

 

15. මහණෙනි, ඉක්බිති වේදේහිකා ගැහැවිදු කාළී දාසියට මෙසේ කිවූ ය: එම්බල කෙල්ල, කාළිය, යි ‘කීම, ආර්‍යාවෙනි’, ‘කෙල්ල, කුමක් නිසා ඉතා දහවල් කොට නැගී සිටිහි ද?’ ‘ආර්‍යාවෙනි, කිසිත් නැත’. “එම්බල පවිටු දාසිය, කිසිවක් නැතිව දවල් කොට නැගිට්ටා ය”යි කිපියා නො සතුටු වූවා නො සතුටු වචන පහළ කළා ය. එකල කාළී දාසියට මේ අදහස ඇති වී ය: ‘මාගේ ආර්‍යාව තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කරන්නී ය. නැත්තා වූ කෝපය පහළ නො කරන්නී නො වෙයි. යම් හෙයකින් මා විසින්ම ඒ කර්‍මාන්තයෝ සුසංවිහිත ද ඒ නිසා ආර්‍යාතොමෝ තමා තුළ ඇත්තා වූ ම කෝපය පහළ නො කෙරේ දැ යි මම ආර්‍යාව තවත් බොහෝ කොට විමසා බලන්නෙම් නම් මැනැවැ’යි කියා යි. මහණෙනි, ඉක්බිති කාළී දාසිය පෙරටත් වඩා දහවල් කොට නැගී සිටියා ය. ඉක්බිති වේදේහිකා ගැහැවිදු තොමෝ කාළී දාසියට මෙසේ කීවා ය: එම්බල කාළිය, ‘ආර්‍යාවෙනි, කිම?’ ‘කෙල්ල, කුමක් නිසා පෙරටත් වඩා දහවල් කොට නැගිසිටියෙහි ද?’ ‘ආර්‍යාවෙනි, කිසිත් නැත. ‘එම්බල පවිටු දාසිය, කිසිත් නැත් නම් පෙරටත් වඩා දවල් කොට නැගිසිටියෙහි දැ යි කිපියා නොසතුටු වූවා අගුලුඉද්ද ගෙන හිසට පහරක් දුන්නා ය. හිස පැළුවා ය. මහණෙනි, ඉක්බිති කාළී දාසිය පැළුණු හිසින් ද ගලන ලෙයින් ද යුතු ව අසල්වැසියනට අඬගා නුගුණ කිවු ය: ආර්‍යයෙනි, සුරත ස්ත්‍රියගේ ක්‍රියාව බලව. යටහත් පැවතුම් අත්තියගේ ක්‍රියාව බලව. උපශාන්ත තැනැත්තියගේ ක්‍රියාව බලව. කෙසේ නම් එක ම දාසියට ‘දහවල් කොට නැගී සිටියා ය’යි කිපියා නොසතුටු වූවා අගුලු ඉද්ද ගෙන පහර දුන්නී ද, හිස බින්දා දැ’යි කියා යි.

 

ඉක්බිති මහණෙනි, වේදේහිකා ගැහැවිදුවගේ පසුකාලයෙක මෙවැනි අපකීර්තියෙක් උස් ව නැංගේ ය: වේදේහිකා ගැහැවිදු චණ්ඩ ය, වේදේහිකා ගැහැවිදු නොදැමු නැ, වේදේහිකා ගැහැවිදු නො සන්හුන්ය කියා යි.

 

 

16. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් යම් තාක් අමනාප වූ වචනපථයෝ ඔහු නො පහසත් ද, ඒ තාක් ඉතා සුරතභාවය ඇත්තේ වෙයි. ඉතා යටහත් වූයේ වෙයි. ඉතා සන්හුන් වූයේ වෙයි. මහණෙනි, යම් තැනෙක පටන් ගෙන අමනාප වූ වචනයෝ ඒ මහණහු පවසත් ද, ඒතාක් මහණතෙමේ සුරත ය යි දත යුතුය. නිහතමාන ය යි දත යුතු ය. ශාන්ත ය යි දත යුතු ය. මහණෙනි, යම් මහණෙක් සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර හේතු කොට සුවසේ අවවාද විසින් කිය හැකි වේ ද, සුවච බවට‍ පැමිණේ ද, ඒ මහණ සුවච ය යි මම නො කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ඒ මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන්නේ සුවච නො වෙයි. සුවචබවට නො පැමිණෙයි. එහෙයිනි. මහණෙනි, යම් මහණෙක් ධර්‍මයට ම සත්කාර කරන්නේ ධර්‍මය ම ගරු කරන්නේ ධර්‍මය පුදන්නේ සුවච වේ ද, සුවච බවට පැමිණේ ද, මම ඔහු සුවචයෙකැයි කියමි. මහණෙනි, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතු: ධර්‍මයට ම සත්කාර කරමින් ධර්‍මය ගරු කරමින් ධර්‍මය පුදමින් සුවච වන්නෙමු. සුවචබවට පැමිණෙන්නෙමු’යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.

 

 

17. “මහණෙනි, කාලයෙන් වේව යි අකාලයෙන් වේවයි, විද්‍යාමාන වුවෙන් වේවයි අවිද්‍යාමාන වුවෙන් වේවයි, මොළොක් වුවෙන් වේවයි රළු වුවෙන් වේවයි, අර්‍ථසහිත වුවෙන් වේවයි අනර්‍ථ සහිත වුවෙන් වේවයි, මෛත්‍රී සිත් ඇති ව හෝ ද්වේෂසිත් ඇති ව හෝ යම්කිසි වචනයෙකින් අන්‍යයෝ තොපට කියන්නාහු නම්, ඒ වචනමාර්‍ගයෝ පස් දෙනෙක් වෙති. මහණෙනි, තොපට කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, තොපට කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූවෙකින් හෝ විද්‍යාමාන නො වූවෙකින් හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ වැඩෙන් යුක්ත වූ හෝ අවැඩෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ කිපි සිත් ඇතිව කියන්නා හු ය. මහණෙනි, එහි දී ද තොප විසින් මෙසේ හික්මිය යුතු ය: ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේය. ලාමක වචන නිකුත් නො කරන්නෙමු. හිතානුකම්පා ඇති ව මෙත්සිත් ඇත්තමෝ වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙයි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත්සිතට අරමුණු වූ සියලු සත්‍වයන් ඇති ලෝකය මහත් වූ මහත්බවට ගිය අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති මහද්ගත සිතින් පතුරුවා වසන්නෙමු’යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

 

18. මහණෙනි, යම් සේ පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් රැගෙන එන්නේ ද, හෙතෙම මම මේ මහපොළොව නොපොළොව කරන්නෙමි’යි මෙසේ කියන්නේ ය. හෙතෙම ඒ ඒ තැන් සාරන්නේ ය. ඒ ඒ තන්හි පස් විසුරුවන්නේ ය. ඒ ඒ තැන කෙළපියන්නේ ය. ඒ ඒ තැන මුත්‍ර කරන්නේ ය. ‘නොපොළොවක් වේවා, නොපොළොවක් වේව’යි කියා ය. මහණෙනි, ඒ කිමැ යි කල්පනා කරන්නහු ද? ඒ පුරුෂ තෙම මේ මහා පොළොව නොපොළොවක් කරන්නේ ය යි සිතන්නහු ද? ‘වහන්ස, එසේ නො සිතන්නෙමු.’ එය කවර හෙයින? ‘වහන්ස, මේ මහපොළොව ගැඹුරු ය. පමණ නො කට හැකිය. නොපොළොවක් කරන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂයා ක්ලාන්ත වන්නේය. වෙහෙසට පත් වන්නේය. මහණෙනි, එපරිද්දෙන් ම කාලයෙහි හෝ අකාලයෙහි හෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ මොළොක් වූ හෝ රළු වූ හෝ අර්‍ථ සහිත වූ හෝ අනර්‍ථ සහිත වූ හෝ යම් වචනපථයෙකින් කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇති ව හෝ කියන්නාහු නම්, එහි මේ වචනමාර්‍ගයෝ පස් දෙනෙක් වෙත්: මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ හෝ අර්‍ථ සහිත වූ හෝ හෝ අර්‍ථ රහිත වූ හෝ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත් සිත් ඇති ව හෝ ද්වේෂ සිත් ඇතිව කියන්නාහු ය. එහි දී තොප විසින් මෙසේ හික්මිය යුතු ය. ‘අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නිකුත් නො කරන්නෙමු. හිතානුකම්පා ඇති වැ මෙත්සිත් ඇති ව නොකිපී සිත් ඇත ව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු.’ මෙත් සිතට අරමුණු වූ සියලු සත්‍වයන් ඇති මුළු ලොව විපුල වූ මහත්බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති නිදුක් වූ පොළොව හා සමාන වූ සිතින් පතුරුවා වසන්නෙමු’යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

 

19. මහණෙනි, යම් සේ පුරුෂයෙක් ලතු වණවැටි හෝ කහ වණවැටි හෝ නිල් වණවැටි හෝ මදටි වණවැටි හෝ ගෙන එන්නේ ය. හේ ‘මම මේ ආකාශයෙහි රූප ලියන්නෙමි. රූප පහළ කරන්නෙමි’යි මෙසේ කියන්නේ ය. මහණෙනි, ඒ කුමැයි හඟනහු ද, ඒ පුරුෂ මේ අහසෙහි රූප ලියන්නේ ද, රූප පහළ කරන්නේ ද? ‘වහන්ස, මේ නො වේ මය.’ ඒ කවර හෙයින? ‘වහන්ස, මේ අහස අරූපී‍ ය. ඇසට නොහමු වන්නේ ය. එහි රූප ඇඳීම නො කට හැක්කේ ය. රූප පහළ කරන්නට සුකර නො වේ. හුදෙක් ඒ පුරුෂ තෙමේ ක්ලාන්තයට වෙහෙසට හිමියෙක් වන්නේ ය.’ මහණෙනි, එපරිද්දෙන් ම යම් වචනපථයන්ගෙන් තොපට කියන්නා වූ අන්‍යයෝ කියන්නාහු නම්, එහි මේ වචනපථයෝ පස්දෙනෙක් වෙත්: කල්හි හෝ නොකල්හි හෝ ... ඒ මෛත්‍රීචිත්තයට අරමුණු වූ සියල්ල ඇති ලෝකය ආකාශය හා සම වූ මහත් වූ මහත්බවට‍ ගියාවූ අප්‍රමාණ වූ වෛර නැති සිතින් පතුරුවා වසන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

 

20. මහණෙනි, යම්සේ පුරුෂයෙක් ඇවිළගත් තණසුලක්‌ ගෙන එන්නේ ද, හේ මෙසේ කියන්නේ ය. ‘මම මේ ඇවිළගත් තණසුළින් ගඞ්ගා නදිය තවන්නෙමි. හාත්පසින් තවන්නෙමි’යි කියා යි. මහණෙනි, ඒ කුමැයි හඟනහු ද, ඒ පුරුෂ ඇවිළගත් තණසුලින් ගඞ්ගා නදිය තවන්නේ ද, හාත්පසින් තවන්නේ ද? ‘වහන්ස, එය නො වන්නේ ම ය’ ඒ කවර හෙයින? ‘වහන්ස, ගඞ්ගා නදිය ගැඹුරු ය. පමණ නො කට හැකි ය. ඇවිළ ගත් තණසුලකින් උණු කරන්නට නො හැක්කේ ය. හාත්පසින් තවන්නට නො හැක්කේ ය. හුදෙක් ඒ පුරුෂ තෙමේ වෙහෙසට දුකට හිමි වන්නේ ය.’ මහණෙනි, එපරිද්දෙන් ම තොපට යම් වචනපථයන්ගෙන් කියන්නා වූ අන්‍යයෝ කියන්නාහු නම්, මේ වාඝ්මාර්‍ග පස්දෙනෙක් වෙත්. කල්හි හෝ නො කල්හි හෝ ... ඒ මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලෝකය ගඞ්ගා නදිය හා සම වූ මහත් වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති සිතින් පතුරුවා වසන්නෙමු’යි මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

21. මහණෙනි, මඩිනලද මැනවින් මඩිනලද මොළොක් වුවු හිඹුල් පුළුන් වැනි වූ ‘සර, සර’ යන ශබ්ද නැති, ‘බර, බර’ යන හඬ නැති බළල්සමින් කළ පසුම්බියක් යම් සේ වේ ද, ඉක්බිති දණ්ඩක් හෝ ගල්කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ මෙසේ කියන්නේ ය. මම මේ මඩිනලද මැනවින් මඩිනලද, මොළොක් වූ හිඹුල් පුළුන් වැනි වූ ‘සර, සර’ යන හඬ නැති, ‘බර, බර’ යන හඬ නැති බළල්සමින් කළ පසුම්බිය කාෂ්ටයෙන් හෝ ගල්කැටයෙන් ‘සර, සර’ යන හඬ ඇත්තක් කරන්නෙමි. ‘බර, බර’ යන හඬ ඇත්තක් කරන්නෙ මි’ යි කියා යි.

 

 

22. මහණෙනි, ඒ කිමැ යි හඟනහු ද? ඒ පුරුෂ තෙමේ මඩින ලද හාත්පසින් මඩින ලද මොළොක් වූ හිඹුල් පුළුන් වැනි, ‘සර, සර’ යන හඬ නැති, ‘බර, බර’ යන හඬ නැති බළල්සමින් කළ ඒ පසුම්බිය කෘෂ්ටයෙන් හෝ ගල්කැටයෙන් හෝ ‘සර, සර’ යන හඬ ‘බර බර’ යන හඬ ඇත්තක් කරන්නේ ද? වහන්ස, එය නො වේමය. ඒ කවර හෙයින: වහන්ස, විඩාලහස්ත්‍රාව මර්දිත ය. සුමර්දිත ය. සුපරිමර්දිත ය මෘදුක ය, තුලිනී ය. ඡින්නස්සසර ය. ඡින්නභර්‍භර ය. ඒ හස්ත්‍රාව කෘෂ්ටයකින් හෝ ගල් කැටයකින් හෝ ‘සර, සර’ යන හඬ ඇත්තක්, ‘බර, බර’ යන හඬ ඇත්තක් කරන්නට පහසු නො වන්නී ය. හුදෙක් ඒ පුරුෂ තෙමේ වෙහෙසට දුකට හිමියෙක් වන්නේ ය. මහණෙනි, එපරිද්දෙන් ම යම් වචනපථයන්ගෙන් තොපට කියන්නා වූ අන්‍යයෝ කාලයෙහි හෝ අකාලයෙහි හෝ, විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ හෝ, මොළොක් වූ හෝ රළු වූ හෝ, අර්‍ථ සහිත වූ අර්‍ථ රහිත වූ හෝ, මෙත්සිත් ඇත්තාහු හෝ දොස් සිත් ඇත්තාහු හෝ කියන්නාහු නම්, මේ ඒ වාඬ්මාර්‍ගයෝ පස්දෙනෙක් වෙති. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ කල්හි හෝ නොකල්හි හෝ කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ විද්‍යාමාන වූ හෝ අවිද්‍යාමාන වූ වචනයෙන් කියන්නා හු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මොළොක් වූ හෝ රළු වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ අර්‍ථයෙන් යුක්ත වූ හෝ අනර්‍ථයෙන් යුක්ත වූ හෝ වචනයෙන් කියන්නාහු ය. මහණෙනි, කියන්නා වූ අන්‍යයෝ මෙත්සිත් ඇත්තාහු හෝ දොස්සිත් ඇත්තාහු හෝ කියන්නාහු ය. මහණෙනි, එහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: “අපගේ සිත වෙනසකට පත් නො වන්නේ ය. ලාමකවචන නො කියන්නෙමු. හිතානුකම්පා ඇති ව මෙත්සිත් ඇති ව දොස්සිත් නැතිව වසන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පතුරුවා වසන්නෙමු. මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලෝකය විපුල වූ මහත්බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති, බළල්සම් පසුම්බිය වැනි සිතින් පතුරුවා වසන්නෙමු”යි කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු ය.

 

 

23. මහණෙනි, ඉදින් පහත් හැසුරුම් ඇති සොරු දෙපස දඬු ඇති කියතකින් ශරීරාවයව කපන්නාහු ද, එහි ද යමෙක් සිත දූෂිත කරන්නේ නම් එයින් හෙතෙමේ මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ. මහණෙනි, එහි දී ද තොප විසින් මෙසේ හික්මිය යුතුයි: “අපේ සිත වෙනස් වූවක් නො වන්නේ ය. ලාමක වචන නො කියන්නෙමු. හිතානුකම්පී ව මෙත්සිත් ඇති ව දොස් සිත් නැතිව වසන්නෙමු. ඒ පුද්ගලයා මෛත්‍රි සහගත සිතින් පතුරුවා වසන්නෙමු. ඒ මෙත් සිතට අරමුණු වූ සියල්ල ඇති ලොව විපුල වූ මහත් බවට ගියා වූ අප්‍රමාණ වූ වෛර නැති ද්වේෂ නැති බළල්සම් පසුම්බිය වැනි (මෘදු) සිතින් පතුරු වා වසන්නෙමු” කියා යි. මහණෙනි, මෙසේ තොප විසින් හික්මිය යුතු ම ය.

 

 

24. මහණෙනි, තෙපි මේ කකචූපම අවවාදය නිතර මෙනෙහි කරන්නාහු නම්, මහණෙනි, තෙපි යම් වචනපථයක් නො ඉවසන්නහු ද එබඳු අල්පසාවද්‍ය වූ හෝ මහාසාවද්‍ය වූ හෝ වචනපථයක් දක්නහු ද? ‘වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, එහෙයින් මෙහි මේ කකචූපම අවවාදය නිතර මෙනෙහි කරවු. මහණෙනි, එය තොපට බොහෝ කාලයක් හිත පිණිස ද සුව පිණිස ද වන්නේ ය.”

 

 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු වූ ඒ භික්‍ෂූහූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්තාහු ය.

 

පළමු වැනි වූ කකචූපම සුත්‍රය නිමියේ ය