චූළසාරොපම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

10

චූළසාරොපම සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිති පිඬ්ගලකොච්ඡ නම් බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ පිඬ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය:

 

2. භවත් ගෞතමයන් වහන්ස, පැවැදිසමූහයා ඇති පැවැදිගණයා ඇති ගණාචාර්‍ය වූ ප්‍රසිද්ධ යශස් ඇති තීර්ථක වූ (=ලබ්ධි උපදවන්නා වූ) බොහෝ දෙනා විසින් සාධුයයි සම්මත කරණ ලද යම් මේ මහණ බමුණු කෙනෙක් වෙත් ද, එනම්: පූරණකස්සප, මක්ඛලී ගෝසාල, අජිතකේසකම්බල, පකුධකච්චායන, සඤ්ජයබෙල්ට්ඨීපුත්ත, නිගණ්ඨනාථපුත්ත, යන මොහු ය. ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි (ස්වසමය නෛර්‍ය්‍යාණික යයි) දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහාත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු දැයි (ඇසීය.)

 

3. බමුණ, කම් නැත. ‘ඒ සියල්ලෝ ස්වකීය ප්‍රතිඥාව පරිදි දැන ගත්තාහු ද? සියල්ලෝ ම දැන නො ගත්තාහු ද? නැතහොත් සමහරු දැන ගත්තාහු ද? සමහරු දැන නො ගත්තාහු ද? යන මෙය තිබියේවා. බමුණ, මම තට ධර්‍මය දේශනා කරන්නෙමි. එය අසව. මනා කොට මෙනෙහි කරව. දේශනා කරන්නෙමි. පිඬ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ ‘එසේ ය පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:

 

4. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, අරටුව ඇති, මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හරය යි හඟනේ අතු කොළ කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඒ මොහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හරය ඇති, මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම, පොත්ත ඉක්මවා ම හර යයි හඟිමින් අතු කොළ කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද (හෙතෙමේ) නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

 

5. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙවීමෙහි හැසිරෙන්නා වූ, පුරුෂයෙක් පිහිටා පවත්නා, හර ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොත්ත කපා ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා හරය යි හඟිමින් පොතු කපා ගෙන ගෙණ ගිය් ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

 

6. බමුණ, යම්සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයනසුලු වූ, හර සෙයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙ අරටුව ඉක්මවා, එළය ඉක්මවා, හරය යි හඟිමින් සිවිය සිඳ ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ පිහිටා පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා හරය යි හඟිමින් සිවිය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

 

7. බමුණ, යම් සේ හරයෙන් ප්‍රයෝජන ඇත්තා වූ, හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, අරටුව ඇති මහරුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක “මේ භවත් පුරුෂ තෙමේ ඒකාන්තයෙන් අරටුව නො දත්තේ ය. එළය නො දත්තේ ය. සිවිය නො දත්තේ ය. පොත්ත නො දත්තේ ය. කොළ අතු නො දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ, හරය සෙවීමෙහි හැසිරෙන්නේ නොවැටී පවත්නා වූ, හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

 

8. බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා, හර ඇති මහරුකෙක හරය යි දනිමින් හරය ම කපා ගෙණ යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් තුලුහු දැක “ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය දත්තේ ය. එළය දත්තේ ය. සිවිය දත්තේ ය. පොත්ත දත්තේ ය.කොළ අතු දත්තේ ය. එහෙයින් ම මේ භවත් පුරුෂ තෙම හරය ප්‍රයෝජන කොට ඇත්තේ හරය සොයනසුලු වූයේ හරය සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙක හරය යි දන්නේ හරය ම කපා ගෙන ගෙණ ගියේ ය. ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය”යි මෙසේ කියන්නේ ය.

 

9. බමුණ, එපරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාක්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. මෙරමා හෙළා දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් සක්‍ෂාත් කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය ඇති නො කරයි. වෑයම් නොකරයි. හීනාධ්‍යාශය ඇත්තේ වෙයි. ශාසනය ලහිල් කොට ගත්තේ වෙයි. බමුණ යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටී පවත්නා වූ, හර ඇති මහරුකෙක හරය ඉක්මවා ම එළය ඉක්මවා සිවිය ඉක්මවා පොත්ත ඉක්මවා හර යයි හඟනේ කොළ අතු කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කළ යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය ද හේ නො ලබන්නේය ය. බමුණ, මම මේ පුද්ගලයා එවැනි උපමා ඇත්තෙකැ යි කියමි.

 

10. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකෙහි බැසගත්තෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෝ වෙත් නම්, ඒ අන්‍ය ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඬ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් ‘මම සිල්වත් වෙමි. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පවිටු ස්වභාව ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. ශීලසම්පත්තියෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ අන්‍යධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය නූපදව යි, වෑයම් නො කරයි. පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ වෙයි. බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී සිටින්නා වූ හරය ඇති මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා සිවිය ඉක්මවා හර යයි හඟනේ පොත්ත කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබන්නේය. බමුණ, මම ඒ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

 

11. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකෙහි බැස ගත්තෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර, කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නොවෙයි. පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කරයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝය’යි තමා හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසුබට පැවතුම් ඇත්තේ ශාසනය ලිහිල් කොට ගත්තේ ද වෙයි. බමුණ, යම් සේ හරය ප්‍රයෝජන කොට ඇති හරය සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහරුකෙක හරය ඉක්මවා එළය ඉක්මවා එළය ඉක්මවා හරය යි හඟනේ සිවිය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වේ ද, හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද නො ලබයි. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

 

12. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් අන්‍ය වූ ද උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්‍ශනය (දිව්‍යචක්ෂුර් ඥානය) ලබයි. හෙතෙම ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දත්තෙම් දක්නෙම් වාසය කරමි. මේ අන්‍ය භික්ෂූහු නො දන්නාහු නො දක්නාහු වෙසෙත්’ යි තමන් හුවා දක්ව යි. මෙරමා හෙළා දක්ව යි.ඥානදර්‍ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය නූපදව යි. වෑයම් නො කෙරෙයි. පසු බස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට ගත්තේ ද වෙයි. බමුණ, හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇත්තා වූ මහ රුකෙක හරය ඉක්මවා ම හරය යි හඟිමින් එළය කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කටයුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ අර්‍ත්‍ථය නො ලබන්නේ ය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

 

13. බමුණ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැස කෙළවර කිරීම පෙණේ නම්, ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. මෙසේ හෙතෙම පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. මෙරමා හෙළා නො දක්වයි. ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද, යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ශීලසම්පත්තිය සම්පූර්‍ණ කෙරෙයි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ශීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. ශීලසම්පත්තියෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කරයි. නො පසුබට පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ ද පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ ද නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. සමාධිසම්පත්තියයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් නම්, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සස්න ලිහිල් කොට නො ගත්තේ ද වෙයි. හෙතෙම ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සඬ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් තමන් හුවා නො දක්ව යි. මෙරමා හෙළා නො දක්ව යි. ඥානදර්‍ශනයෙන් ද අන්‍ය වූ උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද යම් ධර්‍මයෝ වෙත් ද, ඒ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස කත්තුකම්‍යතා ඡන්දය උපදව යි. වෑයම් කෙරෙයි. නො පසුබස්නා පැවතුම් ඇත්තේ සසුන ලිහිල් කොට නො ගත්තේ ද වෙයි.

 

14. බමුණ, ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද ප්‍රණීතතර වූ ද ධර්‍මයෝ කවරහු ද?

 

බමුණ, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශලයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කෙරෙ යි. බමුණ, මේ ද ඥානදර්‍ශනයට වඩා (නිරොධපාදක බැවින) උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

15. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි උපන් පැහැදීමෙන් යුත් සිතේ එකොදිසඬ්ඛ්‍යාත සමාධිය වඩන විතක්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්වීතියධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

16. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියගේ ද විරාගයෙන් උපෙක්‍ෂකව සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. සැපය ද කයින් විදියි. යම් ඒ ධ්‍යානයක් හේතු කොට ගෙන එ පුද්ගලයා ‘උපෙක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය. සැපවිහරණ ඇත්තේ’ යයි ආර්‍ය්‍යයෝ කියද්ද, ඒ තෘතියධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

17. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙරම සොම්නස් දොම්නස්හුගේ නැසීමෙන් නිදුක් වූ නො සැප වූ උපෙක්‍ෂකවෙන් කළ ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍තථධ්‍යානයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

18. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් නැසීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්වසංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්ත ය’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙ යි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

19. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

20. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්චායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

21. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්චායතනයඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

22. බමුණ, නැවත ද අනිකක් වෙයි. මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැකීම් හේතුවෙන් ඔහුගේ ආශ්‍රවයෝ ක්‍ෂය වූ වාහු වෙත්. බමුණ, මෙ ද ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර වූ ද ධර්‍මයෙකි.

 

බමුණ, මේ ධර්‍මයෝ ඥානදර්‍ශනයට වඩා උත්තරීතර වූ ද, ප්‍රණීතතර ද වෙත්.

 

බමුණ, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සෙවීමෙහි හැසිරෙන්නා වූ ඒ පුරුෂ තෙමේ යම් සේ නො වැටී පවත්නා වූ හර ඇති මහරුකෙක හර යයි දනිමින් හරයම කපා ගෙන ගෙණ ගියේ ද, ඔහුට හරයෙන් කට යුතු යමක් වී නම් හරය පිළිබඳ ඒ ප්‍රයෝජනය ද ලබන්නේය. බමුණ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තෙකැ යි කියමි.

 

23. බමුණ, මෙසේ වනාහි මේ බඹසර ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වේ. ශීලසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. සමාධිසම්පත්තිය අනුසස් කොට ඇත්තේ නොවේ. ඥානදර්‍ශනය අනුසස් කොට ඇත්තේ නොවේ. බමුණ, යම් මේ අකොප්‍ය වූ චිත්තවිමුක්තියෙක් වේ ද, බමුණ මේ බඹසර එය ප්‍රයෝජනය කොට සිටියේ ය. ඒ සාරයයි. ඒ කෙළවර යි.

24. මෙසේ වදාළ කල්හි පිඬ්ගලකොච්ඡ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසූ දෙයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහුය යි අන්ධකාරයෙහි තෙල් පහනක් දල්වන්නේ ද, එපරිදිදෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ලෙසින් ධර්‍මය දේශනා කරන ලද්දේය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂූ සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක් වා.

දස වැනි වූ චූළසාරොපම සූත්‍රය නිමියේ ය.