නිවාප සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

5

නිවාප සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතු සේක. ඒ භික්‍ෂුහූ ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

2. මහණෙනි, නිමවැද්දෙක් (තෘණාදි ගොදුරු කරණ වැද්දෙක්) “මා විසින් වපුළ මේ ගොදුරු අනුභව කරන්නා වූ මුව සමුහයෝ දිගා ඇත්තෝ පැහැපත් වූවෝ බොහෝ කලක් යැපෙත්වා”යි (සිතා) මුව සමූහයකට තණ (ඇට) නො වපුරයි. මහණෙනි, නෙවාපික තෙමේ මුවන් සඳහා “මා විසින් වපුළ මේ කෙතට මුවසමූහයෝ වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කෙරෙත්. වැද ගෙන මුසපත් ව බොජුන් අනුභව කරන්නෝ මදයට පැමිණෙන්නාහු ය. මත් වූවෝ ප්‍රමාදයට පැමිණෙන්නාහු ය. ප්‍රමත්ත වූවෝ මේ නිවාපයෙහි කැමැති සේ කට යුත්තෝ වන්නාහු ය”යි මෙසේ (සිතා) ම තණ වපුරයි.

3. මහණෙනි, ඒ මුවසමූහයන් අතර පළමුවන මුවසමූහයෝ නෙවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවෝ ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවෝ සිහි නැති වීමට පත් වූහ. සිහි නැති වූවාහු නෙවාපිකයාගේ මේ තණ කොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නෙවාපිකයාගේ ඍද‍ධිඅනුභාවයෙන් (වසඟයෙන්) නො මිදුණාහු ය.

4. මහණෙනි, එහි දී දෙවන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නෙවාපිකයා විසින් වපුළ මේ තණකෙතට වැද මුසපත් වූවෝ තණ කෑවාහු ය. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහු නෙවාපිකයාගේ මේ තණ කොටුවෙහිදී කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නෙවාපිකයාට වසඟ වීමෙන් නො මිදුණාහු ය. අපි සර්‍වප්‍රකාරයෙන් නිවාපභෝජනයෙන් වැළකෙන්නෙමු නම්, භය සහිත තණ කෑමෙන් වැළකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ” යි කියායි. ඔහු සර්‍වප්‍රකාරයෙන් ම නිවාපභෝජනයෙන් වැළකුණාහ. බිය සහිත වූ පරිභෝගයෙන් වැලකුණෝ වනළැහැබට වැද වාසය කළහ. ගිම්හානයේ පශ්චිමමාසයෙහි තණ හා ජලය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. ඉතා කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේ ය. ශක්තිය පිරිහුණු කල්හි නෙවාපිකයාගේ වපුළ ඒ තණ කොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු නෙවාපිකයාගේ මේ තණ කොටුවේදී කැමැති සේ කටයුතු බවට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ඒ දෙවැනි මුවරැළ ද නිවාපිකයාගේ වසඟයෙන් නො මිදුණාහ.

5. මහණෙනි, එහි තුන්වන මුවසමූහයෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මුවසමූහයෝ නෙවාපිකයා වපුළ ඒ තණකොටුවට වැද මුසපත් වූවාහු ගොදුරු කෑවෝ ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණ කොටුවේදී නෙවාපිකයා විසින් කැමති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නෙවාපිකයාගේ ඍධ්‍යානුභාවයෙන් නො මිදුණාහු ය. -

 “යම් ඒ දෙවන මුවසමූහ කෙනෙක් මෙසේ සිතුහු ද - ‘යම් ඒ පළමුවන මුවසමූහ කෙනෙක් නෙවාපිකයාගේ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූවාහුය. සිහි නැති වූවාහු නෙවාපිකයාගේ මේ තණකොටුවෙහි කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ නෙවාපිකයාගේ ඍදධ්‍යනුභාවයෙන් නො මිදුණාහු ය. අපි තෘණභෝජනයෙන් සර්‍වප්‍රකාරයෙන් වැළකෙන්නමු නම්, භය සහිත තණ කෑමෙන් වැලකුණමෝ කැලයට වැද වාසය කරන්නෙමු නම්, යෙහෙකැ’ යි. ඔහු සම්පූර්‍ණයෙන් තෘණභෝජනයෙන් වෙන් වූහ. භයජනක කෑමෙන් වැළකුණාහු වනයට වැද වාසය කළහ. ගිම්හානයේ අන්තිම මාසයේ තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේ ය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ඒ නෙවාපිකයාගේ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළාබවට පැමිණියාහුය. සිහි මුළා වූවාහු මේ තණකොටුවෙහි දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ ද නෙවාපිකයාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහ.

 “එහෙයින් අපි නෙවාපිකයාගේ වපුළ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් පිළියෙළ කර ගනිමු නම් යෙහෙකැයි එහි ලගින තැනක් කොට නෙවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කමු. වැද මුසපත් නො වී තණ කමින් වධයට නො පැමිණෙන්නෙමු. මත් නො වූවමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නමු, සිහි මුළා බවට නො පැමිණියමෝ, නෙවාපිකයාගේ මේ තණකොටුවේ දී කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමුයි”. ඔහු නෙවාපිකයා විසින් වපුළ මේ තණකොටුව ඇසුරු කොට එහි ලගින තැනක් කොට විසූහ. නෙවාපිකයාගේ මේ තණකොටුව ඇසුරු කොට ලගින තැනක් කොට වැස ඊට නො වැද නො මුසපත්ව තණ කෑහ. ඔහු එහි නො වැද මුසපත් නොවී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි මුළා බවට නො පැමිණියහ. සිහිමුළා නො වූවාහු මේ තණ කොටුවෙහි නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ.

6. මහණෙනි, එහි දී නෙවාපිකයාටත් නෙවාපිකයාගේ පිරිසටත් මෙවැනි අදහසෙක් විය: මේ තුන්වන මුවසමූහයෝ නම් කපටියෝය. පුහුණු වූ කෛරාටික කම් ඇත්තෝය. ඍද‍ධි ඇත්තා වූ මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු වපුළ තණ ද කත් ඔවුන්ගේ ඊමත් යාමත් නො ද දනිමු. -

අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම්, මැනව, යම් තැනෙක ඔහු ග්‍රාහයට (අල්ලා ගැනීමට) පැමිණෙන්නාහු ද, තුන්වන මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය යම් තැනෙක දක්නෙමු නම් යෙහෙකැයි කියා යි. ඔහු වපුළ ඒ තණකොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කළාහුය. මහණෙනි, මුවවැද්දාත් ඔහුගේ පිරිසත් ඒ තුන්වන මුවරැළ යම් තැනක ග්‍රාහයට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමූහයාගේ ආශයස්ථානය දුටුවාහු ය. මහණෙනි, මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍදධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය.

7. මහණෙනි, එහි දී සතරවන මුවසමූහයෝ මෙසේ කල්පනා කළාහුය: “යම් ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහුද, ඔහු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහිමුළාවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු ඒ තණකොටුවෙහි දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුවසමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහු ය.-

 

“යම් ඒ දෙවන මුවසමූහයෝ මෙසේ සිතුවාහු ද ‘යම් ඒ පළමුවන මුවසමූහයෝ නෙවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් ව තණ කෑවාහු නම් ඔහු එහි වැද මුසපත් ව තණ කෑවාහු මත් වූවාහු ය. මත් වූවාහු සිහි නැති වූහ. සිහි නැති වූවාහු මේ තණ කොටුවෙහි වැද්දා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ මුවවැද්දාගේ ඍද්ධ්‍යානුභාවයෙන් නොමිදුණාහුය. යම් ඒ දෙවන මුව සමූහයෝ ... ‘අපි මේ තණ කෑමෙන් සම්පූර්‍ණයෙන් වලකින්නෙමු නම්, භයජනක තෘණපරිභෝජනයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරමු නම්, යෙහෙකැ’යි සිතූහ. ඔහු නිවාපභෝජනයෙන් සම්පුර්ණයෙන් වැළකුණාහු ය. භය ජනක තෘණපරිභොගයෙන් වැළකුණාහු වනයට වැදී විසූහ. ගිමන් සාරමස පිලිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශබවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහිණු කල්හි ඒ මුවවැද්දාගේ තණකොටුවට ම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔවු එහි වැද මුසපත් ව තණ කන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි මුළා බවට පැමිණියාහු ය. සිහි මුළා වූවාහු මේ තණකොටුවේ දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවෙන මුව සමූහයෝ ද නෙවාපිකයාගේ ඍදධ්‍යානුනුභාවයෙන් නොමිදුණාහ. –

“යම් ඒ තෙවන මුවසමූහයෝ වූවාහු ද, ඔහු මෙසේ සිතූහ: යම් ඒ පළමුවන මුවසමූහයෝ නෙවාපිකයා විසින් වපුළ මේ තණකොටුවට වැද මුසපත් වූවාහු තණ කෑවාහු ද, ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහු ය. මත් වූවාහු සිහි මුළා වූවාහු මේ තණ කොටුවේ දී නෙවාපිකයා විසින් කැමැති සේ කටයුත්තෝ වූහ. මෙසේ ඒ පළමුවන මුව සමූහයෝ නෙවාපිකයාගේ වශයට යාමෙන් නො මිදුණාහ. යම් ඒ දෙවන මුවසමූහයෝ ... අපි මේ තණ කෑමෙන් සම්පුර්ණයෙන් වැළකෙන් නෙමු නම්, භයජනක තෘණපරිභෝගයෙන් වැලකුණමෝ වනයට වැදී වාසය කරන්නෙමු නම්, යෙහෙකැයි ඔහු තණ කෑමෙන් සම්පුර්ණයෙන් වැළකුණාහ. භයජනක තෘණ පරිභෝගයෙන් වැලකුණාහු වනයට වැද විසූහ. ගිමන් සාරමස පිළිබඳ පැසුළුමස්හි තණ හා දිය වියළී ගිය කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේය. කෘශබවට පැමිණි ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි නෙවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවටම පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව තණ කෑහ. ඔහු එහි වැද මුසපත්ව තණ කන්නාහු මදයට පැමිණියාහුය. මත් වූවාහු සිහිමුළාබවට පැමිණියාහුය. සිහිමුළාවූවාහු මේ තණකොටුවේ දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මුවසමූහයෝ නෙවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. - අපි නෙවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, යෙහෙකැ යි එහි ආශයස්ථානයක් කොට නෙවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වූවාහු තණ කන්නෙමු. නො වැද නො මුසපත් ව තණ කන්නමෝ මදයට නො පැමිණෙන්නෙමු. මදයට නො පැමිණියමෝ සිහි මුළා බවට නො පැමිණෙන්නෙමු. එහි මුළාබවට නො පැමිණියමෝ ඒ තණ කොටුවේ දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු” කියා යි. ඔහු නෙවාපිකයා විසින් වපුළ ඒ තණකොටුව ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට නෙවාපිකයා විසින් වපුළ ඒ තණකොටුවට නො වැද මුසපත් නො වී තණ කන්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහිමුළාබවට නො පැමිණියහ. සිහි මුළා බවට නො පැමිණියාහු මේ තණ කොටුවෙහි දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නො වූහ. එහිදී නෙවාපිකයාටත් ඔහුගේ පිරිසටත් මේ අදහස වී ය: ‘මේ තුන්වැනි මුව සමූහයෝ කපටියෝය. හික්මුණු කෛරාටිකයෝය. ඍද්ධිමතුන් වැනි මේ තුන්වැනි මුවසමූහයෝ යක්කුය. මොහු මේ වපුළ තණකොටුව කත්. ඔවුන්ගේ ඊමක් හෝ යෑමක් නො දනිමු. අපි වපුළ මේ කොටුව මහත් දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වට කරන්නෙමු නම් ඉතා යෙහෙක. ඒ තුන්වන මුවසමූහයෝ යම් තැනක අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, ඒ තුන්වන මෘගසමූහයන්ගේ ආශයස්ථානය දකින්නෙමු නම් යෙහෙකැ’යි කියා යි. ඔහු වපුළ ඒ තණබිම හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට මහත් වූ දඬු වරදැලින් වට කළාහු ය. නෙවාපිකයා ද නෙවාපික පිරිස ද තුන්වන ඒ මුවසමූහයෝ යම් තැනකදී හසු කර ගැනීමට පැමිණියාහු ද, ඒ තුන්වන මුවසමුහයන්ගේ ආශයස්ථානය දුටහ. මෙසේ ඒ තුන්වන මුවසමූහයෝ නෙවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ.

 “යම් තැනෙක්හි නෙවාපිකයාගේ ද නෙවාපිකපිරිසගේ ද ගමන් නො වේ ද, අපි එහි ආශයස්ථානයක් කරන්නෙමු. එහි ආශයස්ථානයක් කොට නෙවාපිකයා වපුළ මේ තණකොටුවට නො වැද මුසපත් නො වී තැන කන්නෙමු. නො වැද මුසපත් නොවී තණ කන්නමෝ මදයට පත් නො වන්නෙමු. මත් නො වුවමෝ සිහිමුළාබවට නො පැමිණෙන්නෙමු. සිහි මුළා නො වූවාහු මේ තණ කොටුවේ දී නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ”යි සිතා යම් තැනෙක නෙවාපිකයාගේත් නෙවාපිකපිරිසේත් ගමන් නොවේ ද, ඔහු එහි ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට නෙවාපිකයා වපුළ මේ කොටුවට නො වැද නො මුසපත් ව ගොදුරු කන්නාහු මදයට පත් නොවූහ. මත් නො වූවාහු සිහි මුළා බවට පත් නොවූහ. නො මුළා වූවාහු මේ නිවාපයෙහි නෙවාපිකයා විසින් කැමැති සේ කට යුත්තෝ නොවූහ.

8. “මහණෙනි, එහි දී නෙවාපිකයාටත් නෙවාපික පිරිසටත් මේ අදහස විය: “මේ සතර වැනි මුවසමූහයෝ කපටියෝ ය. හික්මුණු කෛරාටිකයෝ ය. මේ සතර වැනි මුවසමූහයෝ ඍද්ධිමතුන් වැනි යක්කුය. වපුළ මේ තණකොටුව කත්. ඔවුන්ගේ ඊම හෝ යාම නො ද දනිමු. අපි වපුළ මේ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදේශයක් සහිත කොට වටකරන්නෙමු නම් යෙහෙක. යම් තැනෙක්හි ඒ මෘගසමූහයෝ අසු කර ගැනීමට පැමිණෙන්නාහු ද, මේ සතර වන මුව සමුහයන්ගේ ඒ ආශයස්ථානය දක්නෙමු නම් ඉතා මැනැව” කියා යි. ඔහු ඒ වපුළ තණකොටුව මහත් වූ දඬු වරදැලින් හාත්පස මහත් ප්‍රදෙශයක් සහිත කොට වට කළහ. මහණෙනි, ඒ නෙවාපිකයාත් නෙවාපික පිරිසත් යම් තැනක ඒ මුවසමූහයෝ ග්‍රාහයට පැමිණෙන්නාහු නම්, සතර වැනි මෘගසමූහයන්ගේ ඒ ආශයස්ථානය නො ම දුටහ.

මහණෙනි, එහි නෙවාපිකයාට ද නෙවාපික පිරිසට ද මේ අදහස විය: “ඉදින් වනාහි අපි සතර වන මුවසමුහයන් ගටන්නෙමු නම්, ගටන ලද ඔහු ද අන්‍යයන් ගටන්නාහ. එසේ ඇති කල්හි මුවසමූහයෝ වපුළා වූ මේ තණකොටුව හිස් කෙරෙත්. අපි සතර වන මුවසමූහයන් කෙරෙහි මැදහත් වෙමු නම් යෙහෙක” යනු යි. මහණෙනි, නෙවාපිකයාත් නෙවාපිකපිරිසත් සතර වන මුවසමූහයන් කෙරෙහි මධ්‍යස්ථ වූවාහුය. මහණෙනි, මෙසේ වනාහි සතරවැනි මුවසමූහයෝ නෙවාපිකයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණාහුය.

9. මහණෙනි, අර්‍ථය හැඟවීම පිණිස මා විසින් මේ උපමාව කරණ ලදු. මේ මෙහි අර්‍ථ යි: මහණෙනි, ‘නිවාප’ යනු පස්කම්ගුණයන්ට මේ නමෙකි. මහණෙනි, ‘නෙවාපික’ යනු පවිටු මාරයාට මේ නමෙකි. මහණෙනි, ‘නෙවාපිකපිරිස’ යනු මාරපිරිසට මේ නමෙකි. මහණෙනි, ‘මුව සමුහය’ යනු ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ නමෙකි.

මහණෙනි, පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළ ඒ තණකොටුව වූ පඤ්චකාමයන්ට වැදී මුසපත් වූවාහු කාමගුණ නමැති බොජුන් අනුභව කළහ. ඔහු එහි පිවිස මුසපත්ව පස්කම් බොජුන් අනුභවකළාහු මත් වූහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණ කෙතෙහි මේ ලොකාමිසයෙහි මාරයා විසින් කැමැති පරිදි කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, පළමුවන මුව සමූහයෝ යම්සේ ද, මේ පළමුවන මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.

10. මහණෙනි, එහි දී දෙවන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණු කෙනෙක් මාරයා විසින් වපුළ මේ පඤ්චකාම ගුණ නමැති නිවාපයට වැද මුසපත් වූවාහු පස්කම් බොජුන් වැළඳුවාහු නම් ඔහු එහි වැද මුසපත් වූවාහු පස්කම්බොජුන් වළඳන්නාහු මදයට පැමිණියහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ තණකොටුව වූ මේ පඤ්චකාමයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තෝ වුහ. මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. අපි මේ පස්කම් ගුණ නමැති ලෝකාමිස නිවාපභෝජනයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාමභෝගයෙන් වෙන් වුවමෝ වනයන්ට වැද වාසය කරන්නෙමු නම් මැනව” කියා යි. ඔහු නිවාපභෝජනය වූ ලොකාමිසයෙන් හැමලෙසින් වෙන් වූවාහු භයජනක පඤ්චකාමපරිභෝගයෙන් වෙන් වූවාහු වනයන්ට වැද විසූහ. ඔහු එහි දී පලා කන්නෝ ද වූහ. අමු බුදින්නෝ ද වූහ. හුරුහැල් අනුභව කරන්නෝ ද වූහ. සම්කසට අනුභව කරන්නෝ ද වූහ. ලාටු අනුභව කරන්නෝ ද වූහ. කුඩු අනුභව කරන්නෝ ද වූහ. දඹුබත් කන්නෝ ද වූහ. පුනක්කු අනුභව කරන්නෝ ද වූහ. තණ අනුභව කරන්නෝ ද වූහ. ගොම අනුභව කරන්නෝ ද වූහ. වනමුල්පල ආහාර කොට ඇත්තාහු ස්‌වයංපතිතඵල අනුභව කරන්නෝ කය පැවැත්වූහ. ගිමන් සාරමස පිලිබඳ පැසුළු මසෙහි තණ දිය නැති වූ කල්හි ඔවුන්ගේ ශරීරය ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා වෑරුණු බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි උපන් අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වැනි ඒ පඤ්චකාමගුණයන්ට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නාහු මදයට පැමිණියාහු ය. මදයට පැමිණියාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ තණකොටුව වූ පඤ්චකාමගුණික නිවාපයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ වූහ. මහණෙනි, මෙසේ වනාහි ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. මහණෙනි, දෙවන මුවසමුහයෝ යම් සේ ද, මේ දෙවන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැයි කියමි.

11. මහණෙනි, එහි දී තුන් වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් ඒ පළමුවන මහණ බමුණෝ මාරයා විසින් වපුළා වූ මේ තණ කොටුව වූ මේ ලොකාමිසයන්ට ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූහු ද, ඔහු මෙසේ සිතූහ: -

 “යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ ඒ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. අපි හැම අතින් ම ලෝකාමිසනිවාප භෝජනයෙන් වෙන් වන්නෙමු නම්, භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වී වනයට වැදවාසය කරන්නෙමු නම් යෙහෙක කියා යි. ඔහු ලෝකාමිස නිවාපභෝජනයෙන් වෙන් වූහ. භයජනක පඤ්චකාම පරිභෝගයෙන් වෙන් වූවාහු වනයට වැදී වාසය කළහ. ඔහු එහි දී පලා කන්නෝත් වූහ. අමු බුදින්නෝත් වූහ. හුරුහැල් අනුභව කරන්නෝත් වූහ. සම්කසට අනුභව කරන්නෝත් වූහ. ලහටු අනුභව කරන්නෝත් වූහ. කුඩු අනුභව කරන්නෝත් වූහ. දඹුබත් කන්නෝත් වූහ. මුරුවට අනුභව කරන්නෝත් වූහ. තණ අනුභව කරන්නෝත් වූහ. ගොම අනුභව කරන්නෝත් වූහ. වනමුල් පල ආහාර කොට ඇත්තාහු ස්‌වයංපතිතඵල අනුභව කරණසුලුව කය පැවැත්වූහ. ගිමන් සාරමස පිලිබඳ පැසුළුමස්හි තණ දිය සිඳුණු කල්හි ඔවුන්ගේ ශරීර ඉතා කෘශ බවට පැමිණියේ වේ. ඉතා කෘශ බවට පැමිණි කය ඇති ඔවුන්ගේ ශක්තිය පිරිහුණේය. ශක්තිය පිරිහුණු කල්හි ‘වෙනෙහි වෙසෙමු’ යි යන අදහස පිරිහුණේය. චිත්තවිමුක්තිය පිරිහුණු කල්හි මාරයා විසින් වපුළ තණකොටුව වූ ඒ ලෝකාමිස නිවාපයට පෙරළා ආහ. ඔහු එහි වැද මුසපත් ව පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි වැද මුසපත් ව ලෝකාමිසය අනුභව කරන්නාහු මත් වූහ. මත් වූවාහු සිහි නැති බවට පැමිණියහ. සිහි නැති බවට පැමිණියාහු මාරයාගේ මේ ලෝකාමිසනිවාපයෙහි කැමැති සේ කළ යුත්තෝ වූහ. මෙසේ ඒ දෙවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. ‘අපි මේ මාරයා වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට වැස මාරයා විසින් වපුළ නිවාපය වූ ඒ ලෝකාමිසයන් ට නො වැද නො මුසපත් ව ලෝකාමිසභෝජනය අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පස්කම් බොජුන් වළඳන්නමෝ මත් නොවන්නෙමු නම්, නො මත්වුවමෝ ප්‍රමාදයට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ නිවාපය වූ මේ ලෝකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නමෝ නම් යෙහෙකැ’යි කියා යි. ඔහු මාරයා වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළාහුය. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ නිවාප වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නො වූවාහු පස්කම් බොජුන් අනුභව කළහ. ඔහු එහි නො වැද මුසපත් නො වී පස්කම්ගුණ බොජුන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. නො පමා වූවාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එතෙකුදු වුවත් ‘ලෝකය ශාශ්වතය කියා ද, ලෝකය අශාශ්වත ය යි කියා ද, ලෝකය කෙළවරක් ඇත්තේ ය කියා ද, ලෝකය කෙළවරක් නැත්තේ ය කියා ද, ඒ ජීවය, ඒ ශරීරය යි කියා ද, ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි කියා ද, සත්ත්‍වයා මරණින් මතු වන්නේ ය කියා ද, සත්ත්‍වයා මරණින් මතු වන්නේත් වේ, නො වන්නේත් වේ කියා ද, සත්ත්‍වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙවැනි දෘෂ්ටි ඇත්තෝ වූහ. මහණෙනි, මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. මහණෙනි, ඒ තුන්වන මුවසමුහයෝ යම්සේ ද, මේ තුන්වන මහණබමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි කියමි.

12. මහණෙනි, එහි දී සතර වන මහණ බමුණෝ මෙසේ සිතූහ: “යම් මේ පළමුවන මහණ බමුණෝ වූ ද, ඔහු මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලොකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ දෙවන මහණබමුණෝ මෙසේ සිතුවාහු ද, “යම් මේ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලොකාමිසයන්ට වැද... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි සම්පුර්ණයෙන් ලෝකාමිස නිවාපභෝජනය වූ පඤ්චකාමගුණයෙන් වෙන් වන්නෙමු නම් යෙහෙකි’ ... මෙසේ වනාහි මේ දෙවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් මේ තුන්වන මහණබමුණෝ වූ ද, ඔහු මෙසේ සිතූවාහු ය: “යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලොකාමිසයන්ට වැද ... මෙසේ ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. යම් ඒ දෙවන මහණබමුණෝ වූ ද ඔහු මෙසේ සිතුවාහු ය: යම් ඒ පළමුවන මහණබමුණෝ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලොකාමිසයන්ට වැද... මෙසේ වනාහි ඒ පළමුවන මහණ බමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ. ‘අපි නිවාප භෝජන වූ ලෝකාමිසයෙන් හැම අතින් ම වෙන් වන්නෙමු නම් යෙහෙකැ’යි … මෙසේ ඒ දෙවන මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණාහ. යම් මේ තෙවන මහණබමුණෝ ‘අපි මේ මාරයා විසින් වපුළ මේ නිවාපය වූ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කරන්නෙමු නම්, එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ ලෝකාමිසයන්ට නො වැද මුසපත් නොවී පඤ්චකාම භෝජන අනුභව කරන්නෙමු නම්, නො වැද මුසපත් නො වී පඤ්චකාම භෝජන අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වුවමෝ සිහි නැති නො පැමිණෙන්නෙමු නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මේ මාරයාගේ නිවාපය වූ මේ පඤ්චකාම ගුණයෙහි මාරයා විසින් කැමැති සේ කට යුත්තමෝ නො වන්නෙමු නම් යෙහෙකැ’යි මෙසේ සිතුවාහු ද, ඔහු මාරයා වපුළ මේ ලෝකාමිසයන් ඇසුරු කොට ආශයස්ථානයක් කළහ. එහි ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ මේ පඤ්චකාමයන්ට නො වැද මුසපත් නො වූවාහු පඤ්චකාමභෝජන අනුභව කළහ. ඔහු එහි නො වැද නො මුසපත් ව පඤ්චකාමභෝජනයන් බුදින්නාහු මත් නො වූහ. මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියහ. සිහි නැති බවට නොපැමිණියාහු මාරයාගේ මේ නිවාපය වූ මේ ලෝකමිසයෙහි කැමැති සේ කට යුත්තෝ නො වූහ. එසේ වුවත් ලෝකය ශාශ්වතය කියා ද, ... සත්‍වයා මරණින් මතු නොම වෙයි, නො වන්නේත් නො වෙයි කියා ද, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ වූහ. මෙසේ ඒ තුන්වැනි මහණබමුණෝත් මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් නො මිදුණහ.

යම් තැනක අපි මාරයාගේත් මාරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානයක් කරන්නෙමු නම් ආශයස්ථානයක් කොට මාරයා විසින් වපුළ මේ නිවාපය වූ පඤ්චකාමගුණයන්ට නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් බුදින්නෙමු නම්, නො වැද නො මුසපත් ව පස්කම්බොජුන් අනුභව කරන්නමෝ මත් නො වන්නෙමු නම්, මත් නො වූවමෝ සිහි නැතිබවට නො පැමිණෙන්නමෝ නම්, සිහි නැති බවට නො පැමිණියමෝ මාරයාගේ මේ නිවාපය වූ මේ ලොකාමිසයෙහි මාරයා විසින් කැමැති සේ කළ යුත්තෝ නො වන්නෙමු නම් යෙහෙකැ යි කියා ය. ඔහු යම් තැනක මාරයාගේත් මරපිරිසේත් ගමන් නැත් ද, එහි ආශයස්ථානක් කළහ. එහි ආශයස්ථානක් කොට මාරයා වපුළ නිවාපය වූ මේ ලොකාමිසයන්ට නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජන අනුභව කළහ. ඔහු තුමූ එහි නො වැද නො මුසපත් ව පඤ්චකාම භෝජනයන් අනුභව කරන්නාහු මත් නො වූවාහු සිහි නැති බවට නො පැමිණියාහු ය. සිහි නැති බවට නො පැමිණියාහු මාරයාගේ නිවාපය වූ මේ ලොකාමිසයෙහි මාරයා විසින් කැමති සේ කළ යුත්තෝ නො වූහ. මෙසේ වනාහි ඒ සතරවන මහණබමුණෝ මාරයාගේ ඍද්ධ්‍යනුභාවයෙන් මිදුණහ. මහණෙනි, ඒ සතර වැනි මුවසමූහයෝ යම්බඳු ද, මේ සතර වැනි මහණ බමුණන් එබඳු උපමා ඇත්තවුනැ යි මම කියමි.

13. මහණෙනි, මාරයාගේත් මාරපිරිසේත් අගතිය (විෂය නැති තැන) කෙසේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් වැ අකුශල ධර්මයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවෙකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්‍ධ කෙළේ ය යි ද, මරු ඇස අපද කොට (පිහිට නැති සේ නසා) පවිටු මාරයාගේ නොදැක්මට ගියේ ය යි ද” කියනු ලැබේ.

14. මහණෙනි, නැවත අනෙකක් වෙයි. මහණ තෙමේ විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් ඇතුළත පැහැදීම වූ සිතේ එකඟබව ඇති විතර්‍ක නැති විචාර නැති සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි. මහණෙනි, මේ මහණ තෙමේ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරු ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.

15. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ ප්‍රීතියෙන් ද වෙන් වීමෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ මනා නුවණින් යුක්ත වූයේ වාසය කරයි. කයින් සැපය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් උදෙසා ‘උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ගුණ වර්ණනා වශයෙන් කියත් ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක් නැති සේ මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි ද කියනු ලැබේ.

16. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ සැපත් පහවීමෙන් දුකත් පහවීමෙන් පළමු ව සොම්නස් දොම්නස් දුරු වීමෙන් දුක් නැති සැප නැති උපේක්ෂාව හා සිහිය පිලිබඳ පිරිසුදුබව ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේය යි ද, පිහිටක් නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ” යයි කියනු ලැබේ.

17. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝ සංඥාවන් අපවත් කිරීමෙන් නානාත්‍වසංඥා මෙනෙහි නො කිරීමෙන් ‘ආකාශය අනන‍තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, පිහිටක්‌ නැති ලෙස මාරයාගේ ඇස නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.

18. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’ යි විඤ්ඤාණඤ‍්‍චායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.

19. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම විඤ්ඤාණඤ‍්‍චායතනය ඉක්මවා ‘කිසිත් නැතැ’ යි ආකිඤ්‍චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.

20. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම ආකිඤ්‍චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”යයි ද කියනු ලැබේ.

21. මහණෙනි, නැවත ද අනෙකක් වෙයි. මහණ තෙමේ හැම ලෙසින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වාසය කරයි. ඔහු විසින් මාර්‍ගප්‍රඥාවෙන් (චතුරාර්‍ය සත්‍යයන්) දැක ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත් ද, මහණෙනි, මේ මහණ “මාරයා අන්‍ධ කෙළේ යයි ද, මාරයාගේ ඇස පිහිට නැති සේ නසා පවිටු මාරයාගේ නො දැක්මට ගියේ”ය යි ද ලෝකයෙහි විසත්තිකා නම් වූ තෘෂ්ණාව තරණය කෙළේ” යයි ද කියනු ලැබේ.

22. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළි ගත්හ.

පස්වැනි වූ නිවාප සූත්‍රය නිමියේ ය