මහාහත්ථිපදොපම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

8

මහාහත්ථිපදොපම සුත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි, මහෙණනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක.

2. ඇවැත්නි, යම්සේ පොළොව මතුපිට හැසිරෙන්නා වූ පා සහිත වූ සතුන්ගේ යම්කිසි පාදයෝ වෙත් ද, ඒ සියලු පාදයෝ ඇත්පියෙහි ඇතුළත් වීමට පැමිණෙත්. ඇත්පිය මහත් බැවින් ඒ සියලු පාදයන් අතුරෙහි අග්‍රය යි කියනු ලැබේ. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ කුශලධර්‍ම කෙනෙක් වෙත් ද ඒ සියල්ල චතුරාර්‍යසත්‍යධර්මයෙහි සංග්‍රහයට යෙත්. කවර සතරෙක්හි ද යත්: දුඃඛාර්‍යසත්‍යයෙහි, දුඃඛසමුදයාර්‍යසත්‍යයෙහි, දුඃඛනිරෝධාර්‍යසත්‍යයෙහි, දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍යසත්‍යයෙහි ය.

3. ඇවැත්නි, දුඃඛාර්‍යසත්‍ය කවරේ ද? ජාතිය ද දුක ය, ජරාව ද දුක ය. මරණය ද දුක ය. ශෝකය වැළපීම කායිකදුක මානසික දොම්නස දැඩි ආයාස යන මොහු ද දුක්ය. කැමති වූ යමක් නොලබා නම්, එ ද දුක ය. සංක්‍ෂෙපයෙන් උපාදානස්කන්ධ පස ම දුක ය.

4. ඇවැත්නි, උපාදානස්කන්ධ පස කවරේ ද? එනම්: රූපූපාදානක්ඛන්ධ ය, වෙදනානුපාදානක්ඛන්ධය, සඤ්ඤූපාදානක්ඛන්ධ ය, සඞ්ඛාරුපාදානක්ඛන්ධ ය, විඤ්ඤාණුපාදානක්ඛන්ධ ය යන මොහු ය.

5. ඇවැත්නි, රූපූපදානක්ඛන්ධ ය කවරේ ද? සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මේ යි. ඇවැත්නි, සතර මහාභූතයෝ කවරහු ද? පඨවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායෝධාතුව යන මොහු ය.

6. ඇවැත්නි, පෘථිවිධාතුව කවරේ ද? පෘථිවිධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික පෘථිවිධාතුව කවරේ ද? තමා පිළිබඳ තමා නිසා පවත්නා තද වූ පරුෂ වූ සතර මහාභූතයන්ගෙන් හටගත් යම් ද්‍රව්‍යයක් වේද, එනම් - කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත්, අක්මාව, දලබුව, බඩදිව, පපුමස, අතුනු, අතුනුබහන්, නො පැසුණු අහර, මල යන මේ ද, තමා තුළ වූ කර්‍කශ වූ තද වූ මහාභූතයන් නිසා හටගත් අන්‍ය වූ යම් කිසිවකුත් වේ ද, ඇවැත්නි, මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුව යයි කියනු ලැබේ. යම් මේ ආධ්‍යාත්මික පෘථිවිධාතුවකුත් වේ ද, යම් බාහිර පෘථිවිධාතුවක් වේ ද, ඒ සියල්ල පෘථිවිධාතු ම ය. ‘මේ පෘථිවිධාතුව මගේ නොවෙයි. මම තෙල පෘථිවිධාතුයෙම් නො වෙමි. පෘථිවි ධාතුව මගේ ආත්මය නො වේ‘යි මෙසේ මෙය සම්‍යක්ප්‍රඥාවෙන් තත් වූ පරිදි දැක්ක යුතු ය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක පෘථිවිධාතු‍වෙහි උකැටි වෙයි. පෘථිවිධාතුවෙන් සිත බැහැර කෙරෙයි.

7. යම් හෙයකින් බාහිර ආපොධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එකල්හි බාහිර පඨවිධාතුව අතුරු දහන් වූයේ වෙයි. ඇවැත්නි, බහලත්වයෙන් ඒ නිසා (කෙළ සියදහසක් පමණ) මහත් වූ ඒ බාහිර පඨවිධාතුවේ ද අනිත්‍යභාවය පෙනෙයි. ක්‍ෂයස්වභාවය පෙනෙයි. ව්‍යයස්වභාවය පෙනෙයි. වෙන්සවන ස්වභාවය ඇති බව පෙනෙයි. කිම, ඔහුට මේ මඳ කලක් පවත්නා වූ තෘෂ්ණාවෙන් දැඩි ව ගන්නා ලද්දා වූ ආධ්‍යාත්මික ශරීරය පිළිබඳ ව ‘මම ය’ කියා හෝ ‘මාගේ ය’ කියා හෝ ‘මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් වේ ද? තිලකුණු නගා බලන ඒ මහණ හට මෙහි තෘෂ්ණා, දෘෂ්ඨි, මාන වශයෙන් ගැනීමක් නො වේ ම ය.

8. ඇවැත්නි, ඒ මහණහට අන්‍යයෝ ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: ‘මට මේ ශ්‍රොත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුඃඛවේදනාව උපන්නී ය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිත ව නො උපන්නී ය. කුමක් හේතුකොට ද යත්: ස්පර්‍ශය හේතු කොට ය. හෙතෙමේ ස්පර්‍ශය අනිත්‍ය යයි දකියි. වේදනාව අනිත්‍ය යයි දකියි. සංඥාව අනිත්‍ය යයි දකියි. සංස්කාරයෝ අනිත්‍යහ යි දකියි. විඤඤාණය අනිත්‍ය යයි දකියි. ඔහුගේ සිත ධාතුසංඛ්‍යාත ආලම්බනයට ම බසී. ඒ අරමුණෙහි ම පහදියි. ඒ අරමුණෙහි ම සිටියි. ඒ අරමුණෙහි ම ධාතුවශයෙන් ම නිශ්චයට පැමිණෙයි.

9. ඇවැත්නි, ඉදින් ඒ මහණහට අන්‍යයෝ අනිටු වූ නොකැමති වූ මන නොවඩන්නා වූ අතුල්පහරින් ද, කැටකැබැලිතිපහරින් ද, දඬුපහරින් ද, සැත්පහරින් ද ගසත් නම් හෙතෙමේ මෙසේ දනියි: “යම්බඳු කයක අත් පහර වදී ද, කැට පහර වදී ද, දඬු පහර වදී ද, සැත් පහර වදී ද, මේ කය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපම ඔවාදයෙහි දී මෙය වදාරන ලදි: ‘මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂ්‍ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නො වේ ය’ කියා යි. මා විසින් වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්සිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අතුල්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනාය කරනු ලැබේම ය.

10. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්ශනෝපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න (කම්පිත) වෙයි. සංවේගයට පැමිණෙයි: ‘මෙසේ බුදුන් සිහි කරන ‍මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන‍ යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය, ඒකාන්තයෙන් මට ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ’යි කියායි.

11. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක සංවිග්න වෙයි ද, සංවේගයට පැමිණෙයි ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන ‍මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් සංවිග්න වෙයි. සංවේගයට පැමිණෙ යි: මෙසේ බුදුන් සිහි කරන ‍මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභ ය. මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නොමනා ය. මාගේ ලැබීම යහපත් නො වේ.

12. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන මෙසේ ධර්‍මය සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශලනිඃශ්‍රිත උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකින් ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද වෙයි.

13. ඇවැත්නි, ආපොධාතුව කවර? ආපොධාතුව ආධ්‍යාත්මික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, ආධ්‍යාත්මික ආපොධාතුව කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ භූතයන් නිසා හටගත් යම් (ආබන්ධන ලක්‍ෂණ) ආපයෙක් ආපොගතයෙක්වේ ද - ඒ මෙසේ ය: පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිඳුල, මුත්‍ර, යන මොහු ය. තමා තුළ පිහිටි ආබන්ධන ලක්‍ෂණ වූ ආපො බවට ගිය මහාභූතයන් නිසා හටගත් යම් අන්කිසිවකුත් වේ ද, ඇවැත්නි, මෙය අජ්ඣත්තික ආපොධාතුවය යි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ අජ්ඣත්තික ආපොධාතුවක් වේ ද, යම් මේ බාහිර ආපොධාතුවකුත් වේ ද, මේ සියල්ල ආපොධාතු ම ය. ‘මේ මාගේ නොවේ. මේ මම නො වෙමි. මේ මාගේ ආත්මය නො වේය’යි මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ එය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක ආපොධාතුවෙහි කළකිරෙයි. අපොධාතුවෙහි සිත නො රඳවයි.

 

14. ඇවැත්නි, යම් හෙයකින් බාහිර ආපොධාතුව කිපේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එය ගම් ද ගලා යයි. නියම්ගම් ද ගලා යයි. නගර ද ගලා යයි. දනවු ද ගලා යයි. දනවු පෙදෙස් ද ගලා යයි. ඇවැත්නි, මහමුහුද යොදුන් සියක් පමණ තැන් ජලය සිඳී යේ ද, යොදුන් දෙසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් තුන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හාරසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් පන්සියකුත් ජලය සිඳී යේ ද, යොදුන් හයසියකුත් ජලය සිඳී යේ ද, යොදුන් සත්සියකුත් ජලය සිඳී යේ ද, එබඳු කාලයෙක් වෙයි. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ජලය සත්තලක් පමණ සිටී ද, සතලක් පමණ සිටී ද, පස්තලක් පමණ සිටී ද සිවුතලක් පමණ සිටී ද, තුන්තලක් පමණ සිටී ද, දෙතලක් පමණ සිටී ද, එක්තලක් පමණ සිටී ද, එවැනි කාලයෙක් වෙයි. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි පුරුෂ ප්‍රමාණ සතක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සයක්...... පුරුෂ ප්‍රමාණ පසක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ සතරක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ තුනක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණ දෙකක් ජලය සිටී ද, පුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි අර්‍ධපුරුෂ ප්‍රමාණයක් ජලය සිටී ද, කටිය පමණ ජලය සිටී ද, දණ පමණ ජලය සිටී ද, ගොප් ඇටය පමණ ජලය සිටී ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, යම් කලෙක මහ මුහුදෙහි ඇඟිලි පුරුක තෙමෙන පමණ ජලය නො වේ ද, එබඳු කාලයෙක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර ආපොධාතුවගේ අනඅත්‍යතා පෙනෙන්නේ ය...1

 

15. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්‍මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරණ ලද්දේ වෙයි.

 

16. ඇවැත්නි, තේජොධාතුව කවර? තේජොධාතුව අජ්ඣත්තික ද වන්නේ ය. බාහිර ද වන්නේ ය. ඇවැත්නි, අජ්ඣත්තික තේජොධාතුව කවර? තමා පිළිබඳ තේජස වූ තේජස් බවට ගියා වූ (මම ය මාගේ යයි) තරව ගන්නා ලද2යමක් වේ ද - එනම්: යමෙකින් තැවේ ද, යමෙකින් දිරා ද, යමෙකින් දැවේ ද, අනුභව කරන ලද, පානය කරන ලද කඩා කන ලද රස විඳින ලද දේ යමෙකින් මැනවින් පැසීවීමට යේ ද, එයින් අන්‍ය වූ ද තමා නිසා පවත්නා වූ තේජස වූ තේජස බවට ගියා වූ තරව ගන්නා ලද්දා වූ යම් සිවකුත් වේ ද - ඇවැත්නි, මෙය ආධ්‍යාත්මික තේජෝධතුව යයි කියනු ලැබේ. ඇවැත්නි, යම් මේ ආධ්‍යාත්මික තේජොධාතුව ක් වේ ද, යම් බාහිර තේජොධාතුවක් වේ ද, එය තේජෝධාතු ම ය. ‘එය මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. එය මාගේ ආත්මය නො වේ’යි - මේ මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතුය. මෙසේ මෙය තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක තේජෝධාතුවෙහි කළකිරෙයි. තේජෝධාතුවෙහි සිත නො‍ අලවයි.

 

17. ඇවැත්නි, යම් කලෙක බාහිර තේජොධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද දවයි. නියම්ගම් ද දවයි. නගර ද දවයි. ජනපද ද දවයි. දනවුපෙදෙස් ද දවයි. ඒ තේජෝධාතුව නිල් තෙත් තණ වෙතට හෝ මහමගට හෝ පව්වකට හෝ දියකට හෝ එළිමහන් බිම්පෙදෙසකට හෝ පැමිණ ආහාර රහිත වූයේ නිවෙයි. ඇවැත්නි, යම් කලෙක කුකුළු පියාපතෙකින් ද සම්වැරලියෙන් ද ගිනි සොයත් නම් එබඳු කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ බාහිර තේජොධාතුවෙහි අනිත්‍ය භාවයක් පෙනෙන්නේ ය ...

 

18. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ ධර්‍මය සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට ඉදින් කුශල නිඃශ්‍රිත වූ උපේක්‍ෂාව පිහිටා ද, හෙතෙම එයින් සතුටු වෙයි. ඇවැත්නි, මෙපමණකිනුත් භික්‍ෂූහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.

 

19. ඇවැත්නි, වායෝධාතු කවර? ආධ්‍යාත්මික වායෝ ධාතුවත් බාහිර ද වායෝ ධාතුවත් ඇත. ඇවැත්නි, අජ්ඣත්තික වායෝධාතුව කවර? තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභායට ගියා වූ මහා භූතයන් නිසා හටගත්තා වූ යමක් වේ ද - එනම්: තැලිනැගීම් හික්කා ආදිය පවත්වන, උඩට නගින වාතයෝ ද, මල මූ ආදිය පවත්වන යට බස්නා වාතයෝ ද, අතුනු පිටත පවත්නා වාතයෝ ද, අතුනු තුළ පවත්නා වාතයෝ ද, අඟ පසඟ හැසිරෙන වාතයෝ ද ආශ්වාසය, ප්‍රශ්වාසය යන වාතයෝ ද මෙයින් අන්‍ය වූ තමා තුළ පවත්නා වූ වාතය වූ වාත ස්වභාවයට ගියා වූ භූතයන් නිසා හටගත්තා වූ යම්කිසිවකුත් වේ ද - ඇවැත්නි, මෙය අජ්ඣත්තික වායෝධාතු ය යි කියනු ලැබේ. යම් ආධ්‍යාත්මික වායෝධාතුවක් වේ ද, යම් බාහිර වායෝ ධාතුවක් වේ ද, මේ වායොධාතු ම ය. ‘මේ මාගේ නො වෙයි. මම තෙල නො වෙමි. මේ මාගේ ආත්මය නො වෙ’යි - මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක්ක යුතු වෙයි. මෙය මෙසේ තත් වූ පරිදි සම්‍යක්ප්‍රඥාවෙන් දැක වායෝ ධාතුවෙහි කළකිරෙයි. වායෝ ධාතුවෙහි සිත නො‍ අලවයි.

 

20. ඇවැත්නි, යම් කලෙක බාහිර වායෝ ධාතුව කිපේ ද, එබඳු කාලයෙක් වේ ම ය. එය ගම් ද නඟාලයි. නියම්ගම් ද නඟාලයි. නගර ද නඟාලයි. ජනපද ද නඟාලයි. ජනපද ප්‍රදේශයන් ද නඟාලයි. ඇවැත්නි, යම් කලෙක ගිම්හානයේ අන්තිම මැසයේ දී තල්වැටිනුත් විජිනිපතිනුත් වාතය සොයත් ද, සෙවෙනිඅගත් තණ නො සැලේ ද, එබඳු වූ කාලයක් වේ ම ය. ඇවැත්නි, එපමණ මහත් වූ වායොධාතුවෙහි අනිත්‍යභාවය ප්‍රකට වන්නේ ය. ක්‍ෂය ස්වභාවය ප්‍රකට වන්නේ ය. විනාශස්වභාවය ප්‍රකට වන්නේ ය. විපරිණාම ස්වභාවය ප්‍රකට වන්නේ ය. ස්වල්පකාලයක් පවත්නා වූ තණ්හාවෙන් අල්ලා ගන්නා ලද්දා වූ මේ ශරීරය පිළිබඳව ‘මේ මම ය කියා හෝ, මාගේ ය කියා හෝ මම වෙමි’යි කියා හෝ ගැනීමෙක් කිම, ඕහට ව‍න්නේද? ඒ මහණහට මෙහි තණ්හා මාන දිට්ඨි වසයෙන් ගැනීමක් නො වේ ම ය.

 

21. ඇවැත්නි, ඉදින් අන්‍යයෝ ඒ මහණහට ආක්‍රෝශ කෙරෙත් ද, පරිභව කෙරෙත් ද, ගටත් ද, වෙහෙසත් ද, හෙතෙම මෙසේ දනියි: “මට මේ ශ්‍රොත්‍රසංස්පර්‍ශයෙන් හටගත් දුක් වේදනාවක් උපන්නීය ය. මේ වනාහි හේතුවක් නිසා උපන්නී ය. හේතු රහිතව නො උපන්නී ය. කුමක් හේතු කොට ගෙන ද යත්: ස්පර්‍ශය හේතු කොට ගෙන ය.” හෙතෙමේ ස්පර්‍ශ ය අනිත්‍ය ය යි දකි යි. වේදනාව අනිත්‍ය ය යි දකි යි. සංඥාව අනිත්‍ය ය යි දකි යි. සංස්කාර අනිත්‍ය ය යි දකි යි. විඤ්ඤාණය අනිත්‍ය ය යි දකි යි. ඔහුගේ සිත ධාතු සඞ්ඛ්‍යාත ඒ අරමුණෙහි ම බසී. ඒ අරමුණෙහි ම පහදි යි. ඒ අරමුණෙහි ම සිටි යි. ඒ අරමුණෙහි ම ‘ධාතු වසයෙන් මෙසේය’ යි නිශ්චයට පැමිණෙයි.

 

22. ඇවැත්නි, අන්‍යයෝ ඒ මහණහට අනිටු වූ නොකැමැති වූ මන නොවඩන්නා වූ අත්පහරින් ද කැට කැබිලිතිපහරින් ද දඬුපහරින් ද සැත් පහරින් ද ගසත් නම්, හෙතෙම මෙසේ දනියි: යම්බඳු ශරීරයෙක අත්පහර වදී ද, කැට පහර වදී ද, දඬුපහර වදී ද, සැත් පහර වදී ද, මේ ශරීරය එසේ වූයේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපමොවාදයෙහි දී මෙය වදාරණ ලදී - “මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතකින් අඟ පසඟ කපත් ද, ඒ සොරුන් කෙරෙහි ද යමෙක් සිත ප්‍රදූෂිත කරන්නේ නම්, හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නේ නො වේ” යි කියා ය. මාගේ වීර්‍ය්‍යය පටන්ගන්නා ලද්දේ නො හැකුළුණේ වන්නේ ය. සිහිය එළඹ සිටියේ නො මුළා ය. කය සන්සිඳුණේ පහ වූ දරථ ඇත්තේ ය. සිත සමාහිත වූයේ එකඟ ය. දැන් කැමැති සේ මේ ශරීරයෙහි අත්පහස්හු ද වදිත්වා. කැට පහස්හු ද වදිත්වා. ඳඬුපහස්හු ද වදිත්වා. සැත්පහස්හු ද වදිත්වා. එහෙත් බුදුන්ගේ මේ ශාසනය කරනු ලැබේම ය.

 

23. ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ විදර්ශනොපෙක්ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘ මෙසේ බුදුන් සිහි කරන ‍දහම් සිහි කරන සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය.මට ඒකාන්තයෙන් ලාභ නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙයි’ කියාය.

 

24. ඇවැත්නි, යම් සේ ලේළිය මයිලණුවන් දැක බියපත් වේද, සංවේගයට පැමිණේ ද, ඇවැත්නි, මෙසේ බුදුන් සිහි කරන ‍මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන ඒ මහණහට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, හෙතෙම එයින් කලකිරෙයි. සංවේගයට පැමිණෙ යි: ‘මෙසේ බුදුන් සිහි කරන ‍මෙසේ දහම් සිහි කරන මෙසේ සඞ්ඝයා සිහි කරන යම් බඳු වූ මට කුශලනිඃශ්‍රිත වූ උපේක්‍ෂාව නො පිහිටා ද, එය ඒකාන්තයෙන් මට අලාභ ය. මට ලාභය නො වෙයි. මාගේ ලැබීම නො මැනවි. මාගේ ලැබීම යහපත් නො වෙ’යි කියායි.

25. ඇවැත්නි, ඉදින් මෙසේ බුදුන් සිහි කරන, මෙසේ දහම් සිහි කරන, මෙසේ සඞ්ඝයා සිහි කරන ඔහුට කුශලනිඃශ්‍රිත වීර්‍ය්‍ය බල භාවනා සිද්ධ ෂඩඞ්ග උපේක්‍ෂාව පිහිටා නම්, හෙතෙම එයින් සතුටු වූයේ වෙයි. ඇවැත්නි, මෙ පමණෙකින් ද ඒ මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.

26. ඇවැත්නි, යම් සේ දැව නිසා ද වැල් නිසා ද තණ නිසා ද මැටි නිසා ද ඇවරී සිටි අහස ‘ගෙය’යි ව්‍යවහාරයට යේ ද, ඇවැත්නි, මෙ පරිදිදෙන් ම ඇට නිසා නහර නිසා මස් නිසා සම් නිසා ඇවරී සිටි අහස ‘රූපය’යි ව්‍යවහාරයට යේ. ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ ඇස නො බිඳුණේ වේ නම්, බාහිර රූපයෝත් ඇස්හමුවට නො පැමිණෙත් නම්, එයින උපදනා (ඇසත් රූපයත් නිසා) මනසිකාරය (මෙනෙහි කිරීම) නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥාන භාගයා ගේ පහළවීම නො වෙයි. ඇවැත්නි, ආධ්‍යාත්මිකවූ චක්‍ෂුඃප්‍රසාදය නො බිඳුනේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, (එහෙත්) ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නොවේ නම්, ඒ තාක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානයාගේ පහළවීම නොවේ ම ය. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්‍ෂුඃප්‍රසාදය නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ඇස්හමුවට පැමිණෙත් ද, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ ද, මෙසේ ඊට සුදුසු විඥාානභාගයාගේ පහළවීම වෙයි. ඒ චක්‍ෂුර්විඥානය සමග වූවහුගේ (ඒ විඥානවිෂය වූ) යම් රූපයක් වේ ද, එය රූපොපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. ඒ විඥාන සමංගි වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් වේදනාවක් වේ ද, එය වේදනේපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. එබඳු වූවහුගේ (ඒ විඥාන සම්ප්‍රයුක්ත) යම් චෙතනා සංස්කාරයෝ වෙද් ද, එය සංස්කාරොපාදානස්කනධයෙහි ඇතුළත් බවට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයක් වේ ද, (ඒ චක්‍ෂුර් විඥානය) විඥානොපාදානස්කන්ධයෙහි ඇතුළත් බවට යෙයි. හෙතම මෙසේ දනියි: “මෙසේ මේ පස් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක් රැස්වීම වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් ද වදාරණ ලදි: ‘යමෙක් පටිච්චසමුප්පාදය දකී ද, හෙතෙම (පටිච්චසමුප්පන්නවූ) ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකී ද, හෙතෙම පටිච්චසමුප්පාදය දකි’යි කියා ය. මේ උපාදානස්කන්ධයෝ පස්දෙන පටිච්ච සමුප්පන්නයෝ වෙති. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දයක් ආලයෙක් සෙනෙහයෙක් ගැලීසිටිමෙක් වේ ද, ඒ දුක්ඛසමුදයයි. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගවිනයෙක් වේ ද, ඡන්දරාගප්‍රහාණියෙක් වේ ද, එය දුක්ඛනිරොධය”යි කියායි. ඇවැත්නි, මෙ පමණෙකිනුත් මහණහු විසින් බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වෙයි.

 

27. ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ශ්‍රොත ප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ශබ්දයෝත් ආපාථයට පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික ඝ්‍රාණප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ගන්ධයෝත් ආපාථයට නොපැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ ජිව්හාප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර රසයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ කායප්‍රසාදය නො බිඳුණේ වේ නම්, බාහිර ස්ප්‍රෂටව්‍යයෝත් ආපාථයට නො පැමිණෙත් නම් … ඇවැත්නි, ආධ්‍යාත්මික වූ මනස නො බිඳුණේ වේ නම්, බාහිර ධර්‍මයෝත් ආපාථයට නො පැමිණෙත් නම්, ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම නො වේ. ඇවැත්නි, ඉදින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ ද, බාහිර ධර්‍මයෝත් ආපාථයට පැමිණෙත් ද, එහෙත් ඊට අනුරූප වූ මෙනෙහි කිරීම නො වේ නම්, ඒ තාක් ඊට අනුරූප වූ විඥාානභාගයාගේ පහළවීම නො වේ.

 

ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත නො බිඳුණේ වේ නම්, බාහිර ධර්‍මයෝත් අපාථයට එත් නම්, එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමත් වේ නම්, මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළවීම වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේ ද, එය රූපොපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් වේදනාවක් වේ ද, එය වෙදනොපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේ ද, එය සංඥොපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කරයෝ වෙත් ද, එය සංස්කාරොපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේ ද, එය විඥානොපාදානස්කන්ධයෙහි සඞ්ග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි “මෙසේ වනාහි මෙ පස් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස්වීම වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලදි: ‘යමෙක් පට්ච්චසමුප්පාදය දකියි ද, හෙතෙම ධර්‍මය දකියි. යමෙක් ධර්‍මය දකියි ද, හෙතෙම පට්ච්චසමුප්පාදය දකි’ යි කියා ය. මේ උපාදානස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහු ය. මේ පඤොපාදානස්කන්ධයන්හි යම් කැමැත්තෙක්, ආලයෙක්, ස්නේහයෙක්, ගැලීසිටීමෙක් වේ ද, එය දුකඛසමුදය යයි. මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගය දුරු කිරීමෙක් වේ ද, එය දුක්ඛනිරොධ ය” යි කියා යි. ඇවැත්නි, මහණහු විසින් මෙ පමණෙකින් ද බුද්ධශාසනය බොහෝ කොට කරන ලද්දේ වේ යයි.

ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

අටවැනී වූ මහාහත්ථිපදොපම සුත්‍රය නිමියේ ය.