මහ‍ාසාරොපම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

9

මහාසාරොපම සූත්‍රය

 

1. මා වසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් සස්නෙන් ගිය නො බෝ කලෙකින් රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ දෙව්දත්තෙරුන් අරභයා භික්‍ෂූන් ඇමතූ සේක:

 

2. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් කායිකදුඃඛයෙන් දොම්නසින් උපායාසයෙන් මඩනා ලද්දෙම් වෙමි. දුකට බැස ගත්තෙම් වෙමි. දුකින් පීඩිත වූයෙම් වෙමි. මෙ සියලු දුක් රැස කෙළවර කිරීමක් පෙණෙන්නේ නම් යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම සස්නට පැමිණියේ වෙයි.

 

3. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණ සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසා කරණ කොට ‘මම ලාභී වෙමි කීර්ති ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාඛ්‍යයෝ ය’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභ කීර්තිප්‍රශංසාවෙන් මත්වෙයි. පමාවෙයි. ප්‍රමාදයට පැමිණෙයි. පමා වූයේ දුක සේ වාසය කරයි.

 

4. මහණෙනි, යම් සේ අරටුව ප්‍රයොජන කොට ඇති අරටු සොයන්නා වූ අරටු සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ නො වැටි සිටුනා හර ඇති මහත් වූ රුකෙක හර ඉක්මවා (=හැරදමා) ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හරය’යි සිතා අතු හා කොළ සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ සාරය නො දන්නේ ය. බොරුදු නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු හා කොළ නො දන්නේ ය. එහෙයින් ම හර ප්‍රයොජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නොවැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම බොරුදු ඉක්මවා ම සිවිය ඉක්මවා ම පොත්ත ඉක්මවා ම ‘හර ය’යි සිතන්නේ අතු කොළ කඩා ගෙන ගියේ වෙයි. මොහු විසින් රුක්හරින් කළ යුතු යම් හර පිළිබඳ කටයුත්තෙක් වේ ද, ඒ ප්‍රයොජනය නො ලබන්නේය’යි.

 

5. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් “ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන්, පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ සියලු හුදු දුක් රැස කෙළවර කිරීම පැණෙන්නේ නම් මැනවැ”යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කිර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් ‘මම ලාභී වෙමි. කීර්ති ඇත්තෙම් වෙමි මේ අනිත් භික්‍ෂූහු අප්‍රකටයෝ ය. අල්පේශාඛ්‍යයෝ’යි තමන් හුවා දක්වයි. අනුන් හෙළා දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කිර්තිප්‍රශංසාවෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, ස්මෘති විප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වෙසෙයි. මහණෙනි, මේ මහණ තෙමේ බඹසරෙහි අතු හා කොළ ගත්තේය යි ද, එයින් අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.

 

6. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුණෙම් වෙමි. මෙ හුදු දුක්රැස කෙළවර කිරීම පෙනෙන්නේ නම් යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාව කරණ කොට තමන් හුවා නො දක්වයි. අනුන් හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ ශීල සම්පත්තිය සිද්ධ කෙරෙ යි. හෙතෙම ඒ සීල සම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තිය කරණ කොට ‘මම සිල්වත් වූයෙමි. කළණදහම් ඇත්තේ වෙමි. මේ අන්‍ය වූ භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පවිටුදහම් ඇත්තෝ යයි තමන් හුවා දක්ව යි. අනුන් හෙළා දක්ව යි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘති විප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කෙරෙයි.

 

7. මහණෙනි, යම් සේ හර ප්‍රයොජන කොට ඇති හර සොයන හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා හර ඇති මහත් වූ රුකෙක හරය ඉක්මවා ම ඵලය ඉක්මවා ම සිවිය ඉක්මවා ම ‘හරයයි’ සිතා පොත්ත සිඳගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂතෙම ඒකාන්තයෙන් හර නො දන්නේ ය. ඵළය නො දන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එසේ හෙයින් ම හර ප්‍රයොජන කොට ඇත්තා වූ හර සොයන්නා වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ මේ භවත් පුරුෂ තෙමේ නො වැටී පවත්නා වූ හර ඇති මහ රුකෙහි හර ඉක්මවා ම ඵළය ඉක්මවා ම සිවිය ඉක්මවා ම ‘හරය’යි සිතා පොත්ත සිඳ ගෙන යන්නේ ය. මොහු විසින් හරයෙන් කළ යුතු යම් කටයුත්තෙක් වේ ද එය ද නො ලබන්නේ’ය යනුයි.

 

8. මහණෙනි, එ පරිදිදෙන් මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන්, ජරාවෙන් මරණයෙන් ශොකයෙන් වැළපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මෙ හුදු දුක් රැසෙහි කෙළවර කිරීමක් පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. අනුන් හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ ශීලසම්පදාව සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. ‘මම සිල් ඇත්තෙම් වෙම්. කළණදහම් ඇත්තෙම් වෙමි. මේ අන්‍ය භික්‍ෂූහු දුශ්ශීලයෝ ය. පාපස්වභාවය ඇත්තො ය’යි ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා දක්ව යි පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. පමා වූයේ දුකින් වාසය කෙරෙ යි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්යයෙහි පොත්ත ගත්තේය යි ද එයින් ම නිෂ්ඨාවට පැමිණියේ යයි ද කියනු ලැබේ.

 

9. මහණෙනි, මෙ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ‘ජාතියෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැලපීමෙන්, දුකින්, දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමී. මේ හුදු දුක් රැසේ කෙළවර කිරීම පැනේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසා උපදවයි. හෙතෙමේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි, පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සම්පාදනය කෙරෙයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ ද පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. ‘මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙමි. මේ අනික් භික්‍ෂූහු වනාහි අසමාහිතයෝ ය. නානාරම්මණයන්හි විසිරී ගිය සිත් ඇත්තෝ ය’යි තමන් හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. විශෙෂයෙන් මත් වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි.

 

10. මහණෙනි, හර ප්‍රයෝජන කොට ඇති හර සොයන සුලු හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් තෙමේ යම් සේ නො වැටී පවත්නා හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ඵළය ඉක්මවා ම ‘හරය’යි හඟනේ සිවිය සිඳ ගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක මෙසේ කියන්නේ ය: ‘මේ භවත් පුරුෂ තෙමේ හර නො දන්නේ ය. ඵළය නොදන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. කොළ අතු නො දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙමේ හරය ප්‍රයොජන කොට ඇත්තේ හරය සොයන සුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හරය ඇති මහත් රුකෙහි හරය ඉක්මවා ම ඵළය ඉක්මවා ම හරය යි හඟනේ සිවීය සිඳ ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කළ යුතු යම් කටයුත්තෙක් වේ නම්, හරය පිළිබඳ ඒ ප්‍රයොජනය නො ලබන්නේ ය කියා යි.

 

 

11. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ඉපදීමෙන් ජරාවෙන් මරණයෙන් ශොකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් දුකින් පීඩිත වූයෙම් වෙමි. මේ හුදු දුක් රැසේ කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් සතුටු නො වූයේ වෙයි. පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසායෙන් තමන් උසස් කොට නො දක්වයි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. සිහියෙන් තොරව විසීමට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ වෙයි. පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් මත් නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මම සමාධියෙන් යුක්ත වූයෙම් එකඟ වූ සිත් ඇත්තෙම් වෙම් මේ අන්‍ය භික්‍ෂූහු වනාහි අසමාහිතයෝ ය. විසිරුණු සිත් ඇත්තෝ ය’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ බ්‍රහ්මචර්යයෙහි සිවිය ගත්තේ ය යි ද, එයින් ම අවසානයට පැමිණියේ ය යි ද කියනු ලැබේ.

 

12. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැළපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනෙන්නේ නම් ඉතා යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවන් උපදවයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් සතුටු නො වූයේ පරිපූර්ණ සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපයයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥාන සඬ්‍ඛ‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පිරිපුන්සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දන්නෙම් දක්නෙම් වාසය කරමි. මේ අනික් භික්‍ෂූහු වනාහි නො දනිමින් නො දකිමින් වාසය කරති’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දකි යි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් මත් වෙයි. විශෙෂයෙන් මත් වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙයි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි.

 

13. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇති හර සොයනසුලු වූ හර සෙවිමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ‘හර ය’යි හඟනේ එළය කපාගෙන යන්නේ ද, ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක ‘ඒකාන්තයෙන් මේ භවත් පුරුෂ තෙමේ හරය නො දන්නේ ය. ඵළය නොදන්නේ ය. සිවිය නො දන්නේ ය. පොත්ත නො දන්නේ ය. අතු කොළ නො දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙම හර ප්‍රයොජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හරය ඉක්මවා ම ‘හරය’යි හඟනේ එළය කපා ගෙන ගියේ ය. ඔහු විසින් හරයෙන් කට යුතු යමක් වී නම්, හරය පිළිබඳ ඒ ප්‍රයොජන ය ද නො ලබන්නේ ය’යි මෙසේ කියන්නේ ය.

 

14. මහණෙනි, එ පරිද්දෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් වෙමි. දුකට බටුයෙම් වෙමි. දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාර කිර්තිප්‍රශංසා උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට‍ නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සම්පාදනය කරයි. හෙතෙම ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සපය යි. හෙතෙමේ ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥානසඬ්‍ඛ‍්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ වෙයි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් ‘මම දන්නෙම් දක්නෙම් වාසය කරමි. මේ අනිත් භික්‍ෂූහු නො දනිමින් නො දකිමින් වාසය කරති’යි තමා හුවා දක්ව යි. පරා හෙළා දක්ව යි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් මත් වෙයි. පමා වෙයි. ස්මෘතිවිප්‍රවාසයට පැමිණෙ යි. ප්‍රමත්ත වූයේ දුක සේ වාසය කරයි. මහණෙනි, මේ මහණ තෙමේ, බ්‍රහ්මචර්‍ය්‍යගේ ඵළය ගත්තේ යයි ද එයින් ම අවසානයට පැමිණියේ යයි ද කියනු ලැබේ.

 

15. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම් දුකට බටුයෙම් දුකින් පෙළුනෙම් වෙමි. මේ හුදු දුක් රැසෙහි කෙළවර කිරීම පෙනේ නම් ඉතා යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙයින් නික් ම පැවිද්දට පැමිණියේ වෙයි. හෙතෙම මෙසේ පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ පිරිපුන් සංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට‍ නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය සපයයි. හෙතෙමේ ඒ සීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සීලසම්පත්ති‍යෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට පත් නො වෙයි. අප්‍රමත්ත වූයේ සමාධිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමන් හුවා නො දක්වයි. පරා හෙළා නො දක්වයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ දිව්‍යචක්‍ෂුර්ඥානසඬ්‍ඛ‍්‍යාත ඥානදර්‍ශනය ලබයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසංකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ඥානදර්‍ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙ යි. අප්‍රමත්ත වූයේ සියලු ක්ලේශයන්ගෙන් එකාන්තයෙන් මිදීම වූ නවලොකොත්තර සද්ධර්‍මය ලබයි. මහණෙනි, ඒ මහණ තෙමේ යම් හෙයකින් ඒ නවලොකෝත්තරධර්‍මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හෙතු රහිත ය. අවකාශ රහිතය.

 

16. මහණෙනි, යම් සේ හර ප්‍රයෝජන කොට ඇත්තා වූ හර සොයනසුලු වූ හර සෙවීමෙහි හැසිරෙන්නා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක ‘හරය’යි දන්නේ හරය ම කපා ගෙන යන්නේ ය. ඇස් ඇති පුරුෂයෙක් ඒ මොහු දැක ‘මේ භවත් පුරුෂ තෙමේ එකාන්තයෙන් සාරය දන්නේ ය. ඵළය දන්නේ ය. සිවිය දන්නේ ය. පොත්ත දන්නේ ය. කොළ අතු දන්නේ ය. එසේ හෙයින් ම මේ භවත් පුරුෂ තෙම හර ප්‍රයොජන කොට ඇත්තේ හර සොයනසුලු වූයේ හර සෙවීමෙහි හැසිරෙන්නේ නො වැටී පවත්නා වූ හර ඇති මහත් රුකෙක හර යයි දන්නේ හරය ම කපා ගෙණ ගියේ ය. මොහු විසින් හරයෙන් කටයුතු වූ යමක් වේ නම්, හරයාගේ ඒ අර්‍ත්‍ථය ද විඳීය’යි මෙසේ කියන්නේ ය.

 

17. මහණෙනි, එ පරිදිදෙන් ම මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ‘ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් වැලපීමෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් මැඬුනෙම්, දුකට බටුයෙම්, දුකින් පෙළුණෙම් වෙමි. මේ හුදු දුක් රැස කෙළවර කිරීම පෙනේ නම් යෙහෙකැ’යි සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ වෙයි. පැවිදි වූයේ ලාභසත්කාරකීර්තිප්‍රශංසාවන් උපදව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් නො සතුටු වූයේ වෙයි. පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ලාභසත්කාර කීර්තිප්‍රශංසාවෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට‍ පත් නොවෙයි. අප්‍රමත්ත වූයේ ශීලසම්පත්තිය සම්පූර්ණ කෙරෙ යි. හෙතෙම ඒ ශීලසම්පත්තියෙන් සතුටු වූයේ පරිපූර්ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ ශීලසම්පත්ති‍යෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ ශීලසම්පත්ති‍යෙන් මත් නො වෙයි. පමා නොවෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ සමාධිසම්පත්තිය සම්පූර්ණ කරයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තුටු වූයේ පරිපූර්‍ණසඞ්කල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් තමා හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙම ඒ සමාධිසම්පත්තියෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණේ. අප්‍රමත්ත වූයේ (පඤචාභිඥවන්ට අයත් දිව්‍යචක්‍ෂුර්ඥානසඬ්‍ඛ‍්‍යාත) ඥානදර්‍ශනය සම්පූර්ණ කෙරෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් සතුටු වූයේ වෙයි. පිරිපූර්ණසඬකල්පනා ඇත්තේ නො වෙයි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් තමන් හුවා නො දක්ව යි. පරා හෙළා නො දක්ව යි. හෙතෙමේ ඒ ඥානදර්‍ශනයෙන් මත් නො වෙයි. පමා නො වෙයි. ස්මෘතිවිප්‍රවාසයට නො පැමිණෙයි. අප්‍රමත්ත වූයේ අසමය විමොක්‍ෂය (කලින් කල නොව වරක් මිදුනේ මිදුනාම වූ සියලු කෙලෙසුන්ගෙන් මිදීම වූ නවලොකොත්තර ධර්‍මය) ලබයි. අප්‍රමත්ත වූ ඒ මහණ තෙමේ යම් හෙයකින් ඒ නවලොකොත්තරධර්‍මයෙන් පිරිහෙන්නේ ය යන මෙය හේතු රහිතය. අවකාශ රහිතය.

 

18. මහණෙනි, මෙසේ වනාහි මේ බ්‍රහ්මචර්‍ය්‍යය ලාභසත්කාර කීර්තිප්‍රශංසා අනුසස් කොට ඇත්තේ නො වෙයි. ශීලසම්පත්තිය අනුසස්කොට ඇත්තේ නො වෙයි. සමාධිසම්පත්තිය අනුසසස් කොට ඇත්තේ නො වෙයි. ඥානදර්‍ශනය අනුසසස් කොට ඇත්තේ නො වෙයි. මහණෙනි, යම් මේ ආකොප්‍ය - නිශ්චල චිත්තවිමුක්තියක් වේ ද, මහණෙනි, මේ බ්‍රහ්මචර්‍ය්‍යය ඒ රහත්බව පිණිස වේ. මේ සාර යයි. මේ නිෂ්ඨාව යි.

 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටට පැමිණි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

 

නව වැනි වූ මහාසාරොපම සූත්‍රය නිමියේ ය.