රථවිනීත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

4

රථවිනීත සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල බොහෝ ජාතිභූමක භික්ෂූහු ජාතිභූමියෙහි වස්වැස පැවරුවාහු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක:

2. මහණෙනි, ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්ෂවිවෙකයෙන් යුක්ත වූයේ විවෙකකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් (පංචවිධ-) සංසර්ගය නැති වූයේ අසංසර්ගකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්ය ඇත්තේ වීර්යාරම්භකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්ති (ආර්යඵල) සම්පන්න වූයේ විමුක්ති සම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥාන දර්ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්ශනසම්පදාකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථාවස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, ඒ පිලිබඳ කරණු දක්වන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය කරවීම් වශයෙන් තියුණු කරවන්නේ යයි ද, මෙසේ ජාතිභූමියෙහි ජාතිභූමක වූ සබ්‍රහ්මචාරීභික්ෂූන් විසින් කවරෙක් තෙමේ සම්භාවනා කරණ ලද්දේ ද?’

3. “වහන්ස, මන්තාණි බැමිණියගේ පුත්‍ර වූ පූර්ණ නම් ආයුෂ්මත් තෙමේ ජාතිභූමියෙහි ජාතිභූමක සබ්‍රහ්මචාරී භික්ෂූන් විසින් ‘තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටිකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රකර්ෂ විවෙකයෙන් යුක්ත වූයේ ප්‍රකර්ෂවිවෙකය පිලිබඳ කථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් අසංසෘෂ්ට වූයේ අසංසර්ගකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, තෙමේත් පටන්ගත් වීර්ය ඇත්තේ වීර්යාරම්භකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේයයි ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පදාකථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පදා කථාව භික්ෂූන්ට කරණසුලු වූයේ යයි ද, තෙමේත් විමුක්තිඥානදර්ශනයෙන් යුක්ත වූයේ විමුක්තිඥානදර්ශනසම්පදාකථාව භික්ෂූන්ට කරණ සුලු වූයේ යයි ද, සබ්‍රම්සරුන්ට දශකථා වස්තූන්ගෙන් අවවාද කරන්නේ යයි ද, එය අවබෝධ කරවන්නේ යයි ද, එය පිළිගන්වන්නේ යයි ද, එය තියුණු කරවන්නේ යයි ද, එහි සතුටු කරවන්නේ වේ’ යයි ද මෙසේ සම්භාවනා කරණ ලද්දේ ය.”

4. එ සමහයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි හුන්නාහු වෙත්. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: “නුවණ ඇත්තා වූ සබ්‍රහ්මචාරීහු ශාස්තෲන් වහන්සේගේ හමුවෙහි දශකථාවස්තූන්ට පිවිසෙමින් යම් කෙනකුන්ගේ ගුණ කියත් ද, ඒ ගුණකථාව ද ශාස්තෲන් වහන්සේ මනා කොට අනුමොදන් වනසේක් ද, ඒ මන්ත්‍රාණිපුත්‍ර වූ පූර්ණ ආයුෂ්මතුන් වහන්සේට ලාභයෙකි. මන්ත්‍රාණිපුත්‍ර පූර්ණ ස්ථවිරයන්ට සුලබලාභයකි. අපි කිසියම් කලෙක මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්ණ තෙරණුවන් හා එක් වන්නමෝ නම් මැනව. කිසියම් කථාසල්ලාපයකුත් වන්නේ නම් මැනව” කියායි.

5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහනුවර වැඩවාසය කොට පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙණසේක් සැවැත්නුවරට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත්නුවර ජේතවනයෙහි වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරණ සේක. “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරට වැඩ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වාසය කරණසේක් ලැ”යි මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්ණ ස්ථවිරයන් වහන්සේ ඇසූහ.

 

6. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පූර්ණ තෙරණුවෝ සෙනසුන් තැන්පත්කොට තබා පාසිවුරු ගෙණ සැවැත්නුවරට චාරිකාවෙහි වැඩියහ. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නාහු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු දැක්වූහ. එහි සමාදන් කරවූහ. එහි උත්සාහ කරවූහ. එහි සතුටු කරවූහ. ඉක්බිති මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දාහු, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට සතුටු ව අනුමෝදන්ව අස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්ධවනයට වැඩියහ.

7. ඉක්බිති එක්තරා භික්ෂු නමක් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ යම් මන්ත්‍රාණි පුත්‍ර ආයුෂ්මත් පූර්ණ තෙර කෙනකුන් ගැණ නිතර කියමින් විසූ සේක් ද, ඒ පූර්ණස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතාවෙන් කරණු දක්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටු ව අනුමෝදන් ව අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට දිවාවිහරණය සඳහා අන්ධවනය කරා ගියේ ය" යි කියා යි.

8. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙළෙවිසැහැවී ඇතියාහු හිඳිනාකඩ ගෙණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් හිස්කෙළිය බලනසුලුව පසු පසින් ලුහුබැන්දෝ ය. අනතුරු ව මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවෝ අන්ධවනයට වැද එක්තරා ගසක් මුල දිවාවිහරණයට හුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද, අන්ධවනයට පැමිණ එක්තරා ගසක්මුල දිවාවිහරණයට හුන්හ. ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කාලයෙහි පලසමවතින් නැගී සිටියාහු මන්ත්‍රාණිපුත්‍ර ආයුෂ්මත් පුණ්ණ තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පුණ්ණ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මන්ත්‍රාණිපුත්‍ර පූර්ණ තෙරණුවන්ට මෙය කීහ:

9. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, එසේය’. කිමෙක් ද, ඇවැත්නි, ශීලවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, චිත්තවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, දෘෂ්ටිවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වෙයි.’ කිමෙක් ද, ඇවැත්නි, කඞ්කාවිතරණවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’ කිමෙක් ද, ඇවැත්නි, පටිපදාඤාණදස්සනවිශුද්ධිය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, මෙය නො වේ.’

10. “කිම, ඇවැත්නි, ශීලවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, චිත්තවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. “කිම ඇවැත්නි, දිට්ඨිවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත ... කිම ඇවැත්නි, ඤාණදස්සනවිශුද්ධිය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් දැ”යි මෙසේ විචාරණ ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, එසේ වී නම්, කුමක් සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන සේක් ද? ‘ඇවැත්නි, (මේ තෙමේ) අනුපාදා පරිනිර්වාණය සඳහා භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසේ.’

11. ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මෙය නො වේ’. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’. ඇවැත්නි, කිම, මේ ධර්මයන් හැර අනුපාදාපරිනිර්වාණය වේ ද? ‘ඇවැත්නි, මේ නො වේ’.

12. “ඇවැත්නි, කිම, ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ’ දැ යි … ඇවැත්නි, කිම, ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ’ දැ යි මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’යි කියහු. ඇවැත්නි, කිම, මේ ධර්මයන් හැර අනුපාදාපරිනිර්වාණය වේ දැ යි. මෙසේ අසන ලද්දාහු ම ‘ඇවැත්නි, මේ නො වේ ය’ යි කියහු.” ඇවැත්නි, මේ භාෂිතයාගේ අර්ථය කෙසේ දත යුතු දැ යි ඇසූහ.

 [පුණ්ණතෙරණුවෝ:]

13. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ශීලවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය යි, පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘චිත්තවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘දිට්ඨිවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ යයි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘කඞ්කාවිතරණවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘මග්ගාමග්ගඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘පටිපදාඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් භාග්‍යවතුන් වහන්සේ ‘ඤාණදස්සනවිශුද්ධිය අනුපාදාපරිනිර්වාණය වේ ය’යි පනවන සේක් නම්, උපාදාන සහිත වූවක් ම අනුපාදාපරිනිර්වාණය වේ ය යි පනවන සේක. ඇවැත්නි, ඉදින් මේ ධර්මයන් හැර (අනිකක්) අනුපාදාපරිනිර්වාණය වන්නේ නම්, පෘථග්ජන තෙමේ පිරිනිවෙන්නේය. ඇවැත්නි, පෘතග්ජන තෙමේ මේ ධර්මයන්ගෙන් වෙන් වූයේ වෙයි.

14. ඇවැත්නි, එසේ නම් ඔබට උපමාවක් කරන්නෙමි. මේ ලොකයෙහි සමහර නුවණැති පුරුෂයෝ උපමාවෙන් ද අර්ථය දැන ගණිත්. ඇවැත්නි, යම්සේ සැවැත්නුවර වසන පසේනදි කොසොල් රජහට සාකෙත නුවර කිසියම් ඉක්මන් කටයුත්තක් උපදනේ ය. ඔහුට සැවැතටත් සාකෙතයටත් අතර හික්මුණු අසුන් යෙදු රිය හතක් එළවා තබන්නාහු ය. ඇවැත්නි, ඉක්බිති පසේනදි කොසොල් රජ සැවැත් නුවරින් නික්ම ඇතුළු පුරදොරින් පළමුවැනි විනීතරථයට ගනින්නේ ය. පළමු වැනි විනීතරථයෙන් දෙවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. පළමුවැනි විනීතරථය අත්හරින්නේ ය. දෙවැනි විනීතරථයට නගින්නේය. දෙවැනි විනීතරථයෙන් තුන්වැනි විනීතරථයට පැමිණෙන්නේ ය. දෙවැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයට නගින්නේය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය. තුන්වැනි විනීතරථයෙන් සතරවැනි විනීතරථයට පැමිණෙන්නේ ය. තුන්වැනි විනීතරථය අත්හරින්නේ ය. සතරවන විනීතරථයට නගින්නේ ය. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණෙන්නේ ය. සතරවන විනීතරථය අත්හරින්නේ ය. පස්වන විනීතරථයට නගින්නේ ය. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණෙන්නේ ය. පස්වන විනීතරථය අත්හරින්නේ ය. සවන විනීතරථයට නගින්නේ ය. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිනෙනේ ය. සවන විනීතරථය අත්හරින්නේ ය. සත්වන විනීතරථයෙන් සාකෙතයෙහි ඇතුළුනුවර දොරටුව කරා පැමිණෙන්නේ ය.

15. ඇතුළුපුර දොරටුවට පැමිණි ඔහුගෙන් මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේ නෑයෝ මෙසේ අසන්නාහු ය: ‘මහරජ, මුබවහන්සේ මේ විනීත රථයෙන් සැවැත්නුවරින් නික්ම සාකෙතයෙහි ඇතුළුනුවර දොරටුවට පැමිණියාහු ද?’ කියා යි. ඇවැත්නි, පසේනදි කොසොල් රජ කෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ද? ඇවැත්නි, පසේනදි කොසොල්රජ මෙසේ ප්‍රකාශ කරන්නේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය. (කෙසේ ද) “මේ සැවැත්නුවර වසන මට සාකෙතයෙහි ඉක්මන් කටයුත්තක් උපන. ඒ මට සැවැතටත් සාකෙතයටත් අතර විනීත අසුන් යෙදූ රිය සතක් එළවා තැබුහ. ඉක්බිති මම සැවැත්නුවරින් නික්ම ඇතුළුදොරටුවෙන් පළමුවන විනීතරථයට නැංගෙමි. පළමුවන විනීතරථයෙන් දෙවන විනීතරථයට පැමිණියෙමි. පළමුවන විනීතරථය හළෙමි. දෙවන විනීතරථයට නැංගෙමි. දෙවන විනීතරථයෙන් තුන්වන විනීතරථයට පැමිණියෙමි. දෙවන විනීතරථය හළෙමි. තුන්වන විනීතරථයට නැංගෙමි. තුන්වන විනීතරථයෙන් සතරවන විනීතරථයට පැමිණියෙමි. තුන්වන විනීතරථය හළෙමි. සතරවන විනීතරථයට නැංගෙමි. සතරවන විනීතරථයෙන් පස්වන විනීතරථයට පැමිණියෙමි. සතරවන විනීතරථය හළෙමි. පස්වන විනීතරථයට නැංගෙමි. පස්වන විනීතරථයෙන් සවන විනීතරථයට පැමිණියෙමි. පස්වන විනීතරථය හළෙමි. සවන විනීතරථයට නැංගෙමි. සවන විනීතරථයෙන් සත්වන විනීතරථයට පැමිණියෙමි. සවන විනීතරථය හළෙමි. සත්වන විනීතරථයට නැංගෙමි. සත්වන විනීතරථයෙන් ම සාකෙතයෙහි ඇතුළු නුවර දොරටුවට පැමිණියෙමි” කියායි. ඇවැත්නි, මෙසේ ප්‍රකාශ කරන්නාවූ පසේනදි කොසොල් රජතෙමේ මැනැවින් ප්‍රකාශ කරන්නේ ය.

16. ඇවැත්නි, මෙපරිද්දෙන් ම ශීලවිසුද්ධිය චිත්තවිසුද්ධිසඞ්ඛ්‍යාත අර්ථය දක්වා ම වෙයි. චිත්තවිසුද්ධිය දිට්ඨිවිසුද්ධිය දක්වා ම වෙයි. දිට්ඨිවිසුද්ධිය කඞ්ඛාවිතරණවිසුද්ධිය දක්වා ම වෙයි. කඞ්ඛාවිතරණවිසුද්ධිය මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධිය පටිපදාඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. පටිපදාඤාණදස්සනවිසුද්ධිය ඤාණදස්සනවිසුද්ධිය දක්වා ම වෙයි. ඤාණදස්සනවිසුද්ධිය අනුපාදාපරිනිර්වාණය දක්වා ම වෙයි. ඇවැත්නි, අනුපාදාපරිනිර්වාණය (ප්‍රත්‍යයෙන් නූපන් අසඞ්ඛත ධාතු) සංඛ්‍යාත අර්ථය පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙයි.

17. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්ණතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” කියා යි. ඇවැත්නි, මගේ නම ‘පුණ්ණ ය.’ සබ්‍රහ්මචාරීහු මා ‘මන්ත්‍රාණිපුත්‍රය’යි ද දනිති.

18. “ඇවැත්නි, ආශ්චර්ය යි, ඇවැත්නි, අද්භූත යි. මනා කොට ශාස්තෘ ශාසනය දන්නා වූ ශ්‍රාවකයකු විසින් යම්සේ නම්, එපරිද්දෙන් මන්ත්‍රාණිපුත්‍ර පූර්ණ ආයුෂ්මතුන් විසින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ දශකථාවස්තූන්ට පිවිසෙමින් ප්‍රකාශ කරණ ලද්දා හ, යම් කෙනෙක් ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍රපූර්ණයන් දැක්මට ලබත් ද, සේවනයට ලබත් ද, ඒ සබ්‍රම්සරුන්ට ලාභය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභය. සබ්‍රම්සරහු දුහුල් සුඹුළුවකින් ද ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්ණයන් මුදුනෙහි පරිහරණය කරමින් දැක්මට ලබන්නාහු නම්, සෙවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් මන්ත්‍රාණිපුත්‍ර පූර්ණයන් දක්නට ලබමු ද, සෙවනයට ලබමු ද, ඒ අපට ද ලාභය. අපට ද මනා ලැබුමකි.”

19. මෙසේ කී කල්හි ආයුෂ්මත් මන්ත්‍රාණි පුත්‍ර පූර්ණ තෙරණුවෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් තෙමේ කිනම් ඇත්තේ ද? සබ්‍රම්සරහු ආයුෂ්මතුන් කෙසේ දනිත් ද?” යනුයි. ඇවැත්නි, මගේ නම ‘උපතිස්ස’ ය. සබ්‍රම්සරහු මා ‘ශාරීපුත්‍ර’ ය යි දනිත්.

20. “බෙහෙවින් බුදුරදුන් වැනි වූ ශ්‍රාවකයකු සමග සාකච්ඡා කරන්නාවූ අපි ‘මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ’ යයි නො දතුම්හ. ඉදින් අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ය යි දන්නෙමු නම්, මේ පමණකුත් (මේ උපමාවත්) අපට නො වැටහෙන්නේ ය. ඇවැත්නි, ආශ්චර්යය, ඇවැත්නි, අද්භුතය. මැනැවින් ශාස්තෘශාසනය දන්නා වූ ශ්‍රාවකයකු යම් සේ ද, එපරිද්දෙන් ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විසින් දශකථාවස්තූන්ට වදිමින් ඉතා ගැඹුරු ප්‍රශ්නයෝ විචාරණ ලදහ. යම් කෙනෙක් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දර්ශනයට ලබත් නම්, සෙවනයට ලබත් නම්, ඒ සබ්‍රම්සරුන්ට ලාභ ය. ඒ සබ්‍රම්සරුන්ට මනා සේ ලැබුණු ලාභ ය. සබ්‍රම්සරහු දුහුල්සුඹුළුවකින් ද ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් මුදුනෙන් පරිහරණය කරන්නාහු, දැකීමට ලබන්නාහු නම්, සෙවනයට ලබන්නාහු නම්, ඔවුන්ටත් ලාභ ය. ඔවුන්ටත් මනා ලැබුමකි. යම්බඳු අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් දැක්මට ලබමු ද, සේවනයට ලබමු ද, ඒ අපට ද ලාභ ය. අපටත් මනා ලැබුමකි.”

මෙසේ ඒ මහා(නාග)ශ්‍රේෂ්ඨයෝ දෙදෙන ඔවුනොවුන්ගේ යහපත් වචන සතුටින් අනුමෝදන් වූහ.

 

සතර වැනී වු රථවිනීත සුත්‍රය නිමියේ ය