කෝසම්බිය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

5

චූළ යමක වර්ගය

8

කෝසම්බිය සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භගවත්හු කොසැඹෑ නුවර ගොසසිටුහු කළ ඝොසිතාරාමයෙහි වැඩවාස කෙරෙති. එසමයෙහි කොසැඹෑයෙහි භික්‍ෂූහූ හටගත් කලහපූර්‍වභාග සටන් ඇතියෝ, හටගත් (හස්තපරාමර්‍ෂ-පාත්‍රචීවරනීහරණාදි) කලහ ඇතියෝ, පැමිණි විරුද‍ධවාද ඇතියෝ, උනුන් තෙපුල් සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු (අර්ත්‍ථ හා කාරණ හා දක්වා) උනුන් නො ම හඟවත්. (ඉදින් හඟවන්නට නිසි වුව ද) සංඥප්තියට (හඟනට) නො එළඹෙති. (දන්නට නො කැමැති වෙති.) උනුන් නො ම සිතවත්. සිතීමට නො එළඹෙති.

 

2. එක්බිති අන්‍යතර (නොපාළ) මහණෙක් භගවත්හු කරා එළඹිණ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හින. එකත් පස් ව හුන් ඒ මහණ භගවත් හට තෙල සැළකෙළේ: “වහන්ස, කොසැඹෑ නුවර නිවැසි භික්‍ෂූහු උපන් ඩබර ඇත්තාහු, (හස්තපරාමර්‍ෂාදි විසින්) උපන් මුදුන්පත් කලහ ඇත්තාහු, විරුද්ධවාදයට ගියාහු, උනුන් මුව සැතින් විදුනාහු වාස කෙරෙති. ඔහු උනුන් නො ම හඟවත්. සංඥප්තියට නො වැටෙති. උනුන් නොම සිතවති. සිතීමට නො වැටෙති” කියායි.

 

3. එසඳ භගවත්හු එක්තරා මහණකු ඇමැතුසේක. “මහණ, තො එව ‘ශාස‍තෲන් වහන්සේ ආවතුන් අමතන සේකැ’යි මා බසින් ඒ භික්‍ෂූන් අමතුව” යි වදාළෝ. ‘වහන්ස, එසේයැ’ යි එ මහණ භගවත්හට පිළිවදන් දී එ මහණුන් කරා එළඹියේය. එළඹ එ මහණුන්හට තෙල කී: “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් අමතන සේකැ” යි. ‘ඇවත එසේ යැ’ යි එ මහණහු එ මහණහට පිළිවදන් දී භගවත්හු කරා එළඹියහ. එළඹ භගවත්හු සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් එ මහණුන්ට භගවත්හු තෙල බස් වදාළසේක: “සැබැව? මහණෙනි’ තෙපි උපන් ඩබර ඇති ව උපන් මුදුන්පත් කලහ ඇති ව විවාදාපන්න ව අන්‍යෝන්‍යයන් මුවඅඩයටියෙන් විදුනහු වාස කරව? තෙපි උනුන් නොම හඟවනු ව? ගඟනට නොයන්නාව? උනුන් නොම සිතවන්නාව? සිතන්නට නො යන්නාව?”යි. ‘වහන්ස, එසේ ය’යි සැළ කළෝ.

 

4. මහණෙනි, එ කිසේ හඟනාව? තෙපි යම් දවසෙක උපන් කලහාරම්භ ඇති ව උපන් කලහ ඇතිව අවන් විරුද්ධවාද ඇති ව උනුන් මුවතෙබින් විදුනහු වාස කරහු නම්, එදවස් තොප තුළ සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය කායකර්‍ම එළවිණි ද, සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුවෙහිත් නො හමුවෙහිත් මෙත් සහගිය වාක්‍කර්‍ම එළවිණි ද, සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෙත්සහගිය මනඃකර්‍ම එළවිණි දැයි පුළුවුත්සේක. “වහන්ස, තෙල නො වේ මයැ” යි පිළිවදන් දුන්හු. “මහණෙනි, මෙසෙයින් තෙපි යම් දිනෙක හණ‍ඩනජාත ව කලහ ජාත ව විවාදපන‍නව අන්‍යෝන්‍යයන් මුවසැතින් විදුමින් වාස කරවු නම්, එදින තොප තුළ සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය කායකර්‍ම නො ම එළවිණ. සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුයෙහිදු නො හමුයෙහිදු මෛත්‍රීමය වාක්‍කර්‍ම නො එළවිණ. සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෛත්‍රීමය මනඃකර්‍ම නො එළවිණ. කිමෙක, මොඝ පුරුෂයෙනි, එබැවින් තෙපි කුමක් දන්මින් කුමක් දක්මින් භණ්ඩන ජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරන්නාව? තෙපි උනුන් නො ම හඟවන්නාව? හඟනට නො එන්නාව? උනුන් නො ම සිතවන්නාව? සිතන්නට නො එන්නාව? මොඝපුරුෂයෙනි, එකරුණ තොපට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ යයි වදාළෝ.

 

5. එක්බිති භගවත්හු මහණුන් ඇමැතුසේක. මහණෙනි, සිහිකට යුතු, (සබ්‍ර‍ම්සරුන්ට) ප්‍රිය කරන, ගරු කරන මේ දහම්හු සදෙනෙක් සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙති. කවර සදෙනෙක යත්:

 

මහණෙනි, මෙසස්නෙහි මහණක්හට සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු කායකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (1)

 

තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු වාක්කර්‍ම එළඹ සිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (2)

 

තවද මහණෙනි, ඉන් මතුදු, මහණක්හට සබ්‍ර‍ම්සරුන් කෙරෙහි හමුයෙහිදු නොහමුයෙහිදු මෙත්සිතින් කළයුතු මනඃකර්‍ම එළඹසිටියේ වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (3)

 

තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් යටතින් පාත්‍රපර්‍ය්‍යාපන්නමාත්‍ර වේවයි, දැහැමි වූ දැහැමින් ලත් යම් ලාභ කෙනෙක් ඇද්ද, එවන් ලාභයන් (ආමිෂ විසින් වේවයි, පුද්ගල විසින් වේවයි) ප්‍රතිවිභක්ත නො කොට (මෙ පමණක් දෙමි, මෙ පමණක් නො දෙමි, අසුවල් තැනට දෙමි, අසුවල් තැනට නො දෙමි යි මෙසේ සිතින් නොබෙදා) වළඳ කරනසුලු වේ ද, සිල්වතුන් හා සබ්‍ර‍ම්සරුන් හා සාධාරණ කොට වළඳ කරනසුලු වේ ද, සීකළයුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (4)

 

තවද මහණෙනි, ඉන් මතුදු, මහණෙක් අඛණ්ඩ අච්ඡිද්‍ර, අශබල, අකල්මාෂ, භූජිෂ්‍ය, විද්වතුන් විසින් ප්‍රශස්ත, තෘෂ්ණා දෘෂ්ටි විසින් අපරාමෘෂ‍්ට, සමාධිසංවර්‍තනික යම් සිල් ඇද්ද, එබඳු සීලයෙහි ලා සබ්‍ර‍ම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු ශීලයෙන් සමාන භාවයට ගියේ වාස කෙරේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (5)

 

තවද මහණෙනි, ඉන් මතුදු, නිර්‍දොෂ වූ නෛර්යාණික වූ එය පිළිපදනහු මොනොවට දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් (මාර්‍ගසම්ප්‍රයුක්ත) සම්‍යක් දෘෂ්ටියෙක් ඇද්ද, එබඳු දෘෂ්ටියෙන් සබ්‍ර‍ම්සරුන් හා හමුයෙහිදු නොහමුයෙහිදු සමානදෘෂ්ටිභාවයට ගියේ වේ ද, සීකළ යුතු ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙන්නේ ය. (6)

 

මහණෙනි, ප්‍රිය කරන ගරු කරන මේ සාරණීය ධර්‍මයෝ සදෙන සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සමග්‍රහාව පිණිස එකීභාව පිණිස වැටෙත්.

 

මහණෙනි, මේ සාරණීය ධර්‍මයන් සදෙනා අතුරෙහි නිර්‍දොෂ වූ නෛර්යාණික වූ එය කරනහු මනාකොට දුඃඛක්‍ෂය පිණිස ගෙන යන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම ගළපනු වෙයි. මහණෙනි, යම් පරිදි කූටගාරයාගේ කූටයෙක් (කැණිමඬලෙක්) ඇද්ද, තෙල කූටය අග්‍ර වේ ද, තෙල සඞ්ග්‍රාහික වේ ද, තෙල හැම ගොනැස් ගළපනු වේ ද, මහණෙනි, එපරිදි ම මේ සවැදෑරුම් සාරාණිය ධර්මයන් අතුරෙහි නිර්‍දොෂ, නෛර්යාණික, එය කරනහු මැනැවින් දුඃඛක්‍ෂය පිණිස පමුණුවන යම් දෘෂ්ටියෙක් ඇද්ද, තෙල අග්‍ර වෙයි. තෙල සඞ්ග්‍රාහික වෙයි. තෙල හැම මුළුලු කරනු වෙයි.

 

6. මහණෙනි, නිර්‍දොෂ වූ නෛර්යාණික වූ, පිළිපදිනහු මොනොවට දුඃඛක්‍ෂයට එළවන යම් ශ්‍රොතාපත්තිමාර්‍ග දෘෂ්ටියෙක් ඇද්ද, ඒ දෘෂ්ටිය කෙසේ ඔහු දුඃඛක්‍ෂය කරා ගෙන යේ ද?

 

මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වූයේ වේවයි, වෘක්‍ෂමූලගත වූයේ වේවයි, ශුන්‍යාගාරගත වූයේ වේවයි මෙසෙයින් සලකන්නේ ය: මම යම් පර්යුත්‍ථානයෙකින් (කෙලෙසුන්ගේ නැගී සිටීමකින්) මැඩුණු සිතැති ව යථාභූතය නො දන්නෙම් නම්, නො දක්නෙම් නම්, මා සතන්හි නො පුහුන් ඒ පර්යුත්‍ථාන ඇද්ද හෝ කියායි.

 

 “මහණෙනි, ඉදින් මහණ කාමරාගයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ව්‍යාපාදයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ථිනමිද්ධයා විසින් මඩනා ලද්දේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ උද්ධච්චකුක්කුච්චයා විසින් මඩනා ලද්දේ වේද, එයින් මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ විචිකිච්ඡා විසින් මඩනා ලද්දේ වේද, එයින්ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ ඉධලොකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් පරලොකචින්තායෙහි යුතුපතු වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ. මහණෙනි, ඉදින් මහණ හණ‍්ඩනජාත ව කලහජාත ව විවාදපන්නව උනුන් මුව සැතින් විදුමින් වාස කරනුයේ වේද, එයින් ම මැඩුණු සිතැතියේ වේ.”

 

ඒ මහණ මෙසෙයින් දන්නේය: “මම සියසතන්හි අප්‍රහීණ වූ යම් පර්‍ය්‍යුත්‍ථානයෙකින් මැඩුණු සිතැති ව සත්‍යය නොදන්නෙම් වේ ද, නොදක්නෙම් වේ ද, පර්‍ය්‍යුත්‍ථානය මට නැත. සත්‍යාවබොධය පිණිස මා විසින් සිත මැනැවින් තැබිණ” කියායි. ඒ මහණ විසින් ආර්යයන් කෙරෙහි වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ප්‍රථම (ප්‍රත්‍යවෙක්‍ෂා) ඥානය අධිගත (ලබන ලද්දේ) වෙයි. (1)

 

7. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම මේ මාර්‍ග දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ එකාග්‍රතා ලබම් දෝ හෝ, තමා තුළ ක්ලේශව්‍යපශම ලබම් දෝ හෝ” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම මේ දෘෂ්ටිය සෙවුනෙම්, වඩන්නෙම්, බහුල කරන්නෙම් තමා තුළ එකාග්‍රතා ලබමි. තමා තුළ නිර්වෘතිය (නිවීම) ලබමි” කියායි. ඒ මහණ විසින් ආර්යය වූ, ලොකොත්තරවූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ද්විතිය ඥානය අධිගත වෙයි. (2)

 

8. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්යයශ්‍රාවක මෙසේ සලකන්නේ ය: “මම යම්බඳු ශ්‍රොතාපත්තිමාර්‍ගදෘෂ‍්ටියෙකින් සමන්‍වාගතයෙම් ද,මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඇද්ද?” කියායි. ඒ මහණ මෙසේ දන්නේ ය: “මම යම් බඳු දෘෂ‍්ටීන් සමන්‍වාගතයෙම් ද, මෙසස්නෙන් බැහැර එබඳු දෘෂ‍්ටීන් සමන්‍වාගත අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නැත කියායි.” ඒ මහණ විසින් ආර්යය වූ, ලොකොත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ තෘතීය ඥානය අධිගත වෙයි. (3)

 

9. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේ ය: දෘෂ‍්ටිසම්පන්නපුද්ගල යම්බඳු ස්වභාවයෙකින් සමන්වාගත වේ ද, මම ද එබඳු ස්වභාවයෙකින් සමන්වාගතයෙම් වේ දෝ හෝ කියායි.

 

 “මහණෙනි, කෙබඳු ධර්‍මතායෙකින් දෘෂ‍්ටිසම්පන්න පුද්ගල සමන්වාගත වේ ද යත්: මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි: යම් බඳු ආපත්තියෙකින් (සඞ‍්ඝකර්‍ම විසින් වේවයි, දෙශනා විසින් වේවයි) ව්‍යූත්‍ථානය (ඇවැතින් නැගී සිටීම) පැනේ ද, එබඳු ඇවැතක් අවන් නමුදු, වහාම ශාස‍තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි දෙසන්නේය. විවර කරන්නේය, හෙළි කරන්නෙය. දෙසා, විවර කොට, හෙළි කොට ආයතිසංවරයට පැමිණෙන්නේය යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ මන්‍ද වූ, උඩුහුරුව හෝනා, ලදරු කුමරෙක් අතින් වේවයි, පයින් වේවයි, ගිනි අඟුරක් ඇක්මෙන්නා හාම අත හකුළාගන්නේ වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතායෙක් ඇත: යම්බඳු ආපත්තියෙකින් ව්‍යූත්‍ථානය පැනේ ද, එබඳු ඇවත් අවන් නමුදු, වහාම ඒ ඇවැත ශාස‍තෲන් වහන්සේ කෙරෙහි වේවයි, විඥසබ්‍රම්සරුන් කෙරෙහි වේවයි, දෙසන්නේය, විවර කරන්නේය, හෙළි කරන්නේය. දෙසා විවර කොට, හෙළි කොට, ආයතිසංවරයට පැමිණෙන්නේය.”

 

ඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙමි” කියායි. ඒ මහන විසින් ආර්‍ය්‍ය වූ, ලොකොත්තර වූ, පෘථග්ජනයන් හා අසාධාරණ වූ මේ චතුර්‍ථඥානය අධිගත වෙයි. (4)

 

10. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද, මම ද එබඳු ධර්‍මතායෙන් සමන්‍වාගත යෙම් ද හෝ කියායි.

 

 “මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේද යත්: සබ්‍රම්සරුන්ගේ යම් ඒ උච්චඅවච (උස්පහත්) කිංකර්‍තව්‍යයෝ (කුමැයි විමසා කටයුතු) ඇද්ද, එහි උත්සුක වේ. වැලිත් ඔහු තුළ අධිශීලශික්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි තීව්‍රප්‍රාර්ත්‍ථනා ඇති වේ’ යනු දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා වෙයි. මහණෙනි, යම්සේ තුරුණුවසු ඇති එළදෙන තණ ද බිඳ කන්නී වසුත් බලා ද, මහණෙනි, එපරිදිම දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල ධර්‍මතා ඇත: සබ්‍රම්සරුන්ගේ යම්යම් උච්චනීච කිංකර්‍තව්‍යයෝ ඇද්ද, එහි සොත්සුක වේ. වැලිත් අධිශීලශීක්‍ෂායෙහි අධිචිත්තශික්‍ෂායෙහි අධිප්‍රඥාශික්‍ෂායෙහි ත්‍රීව්‍රප්‍රාර්ත්‍ථනා ඇති වේ” යනුයි.

 

ඒ මහණ මෙසේ දන්නේය: දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු ධර්‍මතායෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු ධර්‍මතායෙකින් සමන්‍වාගතයෙමි කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ පඤ්‍චමඥානය අධිගත වෙයි. (5)

 

11. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගයෙම් ද හෝ” කියායි.

 

 “මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගතප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්ථී කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා ගෙන පිහිටුකන් ඇතිව දහම් අසා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”

 

ඒ මහණ මෙසේ දන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි” කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍යවූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ ෂෂ්‍ඨඥානය අධිගත වෙයි. (6)

 

12. තවද මහණෙනි, ඉන් මතුදු, ආර්‍ය්‍ය ශ්‍රාවක මෙසේ සලකන්නේය: “දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගත යෙම් ද හෝ” කියායි.

 

 “මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගල කෙබඳු බලයෙකින් සමන්‍වාගත වේ ද යත්: මහණෙනි, තථාගත ප්‍රවිදිත ධර්‍මවිනය දෙසන කල අර්‍තථවෙදය හා ධර්‍ම වෙදය හා ධර්‍මය හා මිශ්‍රව ගිය ප්‍රමොදය ලබා යන යමෙක් ඇද්ද, මහණෙනි, දෘෂ‍්ටිසම්පන්න පුද්ගලයාගේ තෙල බලතා වෙයි.”

 

ඒ මහණ මෙසේ දන්නේය: ‘දෘෂ‍්ටිසම්පන්න පුද්ගල යම්බඳු බලයෙකින් සමන්‍වාගත වේ ද, මම ද එබඳු බලයෙන් සමන්‍වාගතයෙමි’ කියායි. ඒ මහණ විසින් ආර්‍ය්‍ය වූ, ලොකොත්තර වූ, පුහුදුන් හා අසාධාරණ වූ මේ සප්තම ඥානය අධිගත වෙයි. (7)

 

මහණෙනි, මෙසේ සප්තාඞ‍්ගසමන්වාගත ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් ශ්‍රොතාපත්තිඵලය සාක්‍ෂාත් කළ ඥානයෙන් ස්‍වභාවධර්‍මය මැනවින් ස්මන්වෙෂිත වෙයි. මහණෙනි, මෙසේ සප්තාඞ‍්ග (සප්තවිධ ප්‍රත්‍යවෙක්‍ෂා ඥානයෙන්) සමන්වාගත ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රොතාපත්තිඵල සමන්වාගත වෙයි.

 

භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභින‍න්‍දන කොට පිළිගත්හු.

අටවැනි වූ  කොසම්බිය සූත්‍රය නිමියේ ය.