චූළධම්මසමාදාන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ.

5

චූළ යමක වර්ගය

5

චූළධම්මසමාදාන සුත්‍රය

 

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ජෙතවන නම් වූ, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැයි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

 

2. මහණෙනි, ධර්‍මසමාදානයෝ මොහු සතරදෙනෙකි. කවර සතර දෙනෙක යත්:

මහණෙනි, මෙ වත්මනු සුව දෙන මතුයෙහි දුක්විවාදෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු දුක්දා වූත්, මතුයෙහි ද දුක් විවාදා වූත් ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්වනු දුක්දා, මතුයෙහි සුවවිවාදා ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙ වත්මනු සුවදාවූත්, මතුයෙහිදු සුවවිවාදා වූ ධර්‍මසමාදානයෙක් ඇත.

 

3. මහණෙනි, ප්‍රත්‍යුත්පන්නසුඛ ඇති, අනාගතවිපාකකාලයෙහි දුඃඛවිපාක ඇති ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

 

මහණෙනි, වස්තුකාම හා ක්ලෙශකාමයෙහි දොසෙක් නැතියි එවංවාදි වූ (මෙසෙයින් බණන සැහැවි ඇති) එවංදෘෂ්ටික වූ (මෙසෙයින් ගත් දෘෂ්ටිගත ඇති) මහණබමුණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි (ක්ලෙශකාමද්වාරයෙන්) පිය යුතු බවට (රිසිසේ වැළඳිය යුතු බවට) පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවත්. ඔහු මෙසේ බෙණෙති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාමප්‍රහාණය කියද්ද, කාමසමතික්‍රමය පනවද්ද? තරුණ, මෘදු, බූ ඇති මේ පරිබ්‍රාජිකාවගේ බාහු පහස සුවදා වෙතියි, (මෙසේ බැණ) ඔහු කාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පීයයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරැහි තීව්‍ර, කටුක, දුක්වෙදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති, කාමසමතික්‍රමය පනවති. මෙ අපි කාමහෙතුයෙන් දුඃඛ, තීව්‍ර, කටුක වෙදනා විඳුම්හ’යි.

 

මහණෙනි, යම්පරිදි ග්‍රිෂ්මමාසයන් කෙරෙහි පැසිම් මස (සිපත් බඳු දිගු සටහන් ඇති) මාලුවා ලියපල පැළෙනු වේ ද, මහණෙනි, එක්බිති ඒ මාලුවා ලියබිජු එක්තරා රුක්මුලෙක හෙන්නේ වේ ද, මහණෙනි, එකල එරුක්හි අධිපති ව වාස කරන යම් දෙවියෙක් ඇද්ද, ඒ දෙවි බියපත් ව සංවිග්න ව සංත්‍රාසයට පැමිණෙන්නේ වේ ද, මහණෙනි, එසඳ එරුක්හි අධිවාස කරන දෙවිහුගේ මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනැ වූ අරම්වැසිදෙවියන් හා වනවැසි දෙවියෝ ද, රුක්වැසි දෙවියන් හා ඔෂධීතෘණ වනස්පති වෘක්‍ෂයෙහි අධිපති ව වසන දෙවියෝද මුළුදී මෙසෙයින් අස්වැසුම් කෙරෙති:

 

 “භවත් නහමක් බියපත්වා, භවත් නහමක් බියපත්වා. මොණරෙක් හෝ තෙල මාලුවා බිජු ගලන්නේ නම්, මුවෙක් හෝ බුදින්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකම් කරනුවෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම්, මනා මැනු” යි. එතෙකුදු වුව මහණෙනි, මොණරෙක් හෝ ඒ මාලුවා බිජු නොම ගැලැගන්නේය මුවෙක් හෝ නො බුදන්නේ ය. ළැව්ගිනි හෝ නො දවන්නේය. වනකර්‍මයෙහි තියුක්තයෝ හෝ නො උදුරාලන්නාහ. වේයෝ හෝ නොකන්නාහ. (එයින්) බීජයෙක් ම වෙයි. එ බිජු ප්‍රාවෘෂ්‍යමෙඝයා (වැසිකල මහමේ) විසින් මොනොවට වස්නා ලදුව මනාකොට ම නැඟෙන්නේය. ඒ මාලුවාලිය (වැඩුණි) තරුණ ව මෘදු ව බූ ඇති ව ඔබමොබ ලෙළෙනු වෙයි. ඒ මාලුවා ලතා එ රුක් පිරිරැඹ සෙවුනී වෙයි.

 

මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙවුපුත්හට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑ වූ අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණ වනදෙටු රුක්හි නිවැසි දෙවියෝ මාලුවා ලියැ කිනම් අනාබියක් දක්මින් මුළුදී මෙසෙයින් අස්වසාලූහු ද: “භවත් නොබානේ මැනැව, භවත් නො බානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවාබීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වන කැමියෝ හෝ උදුරා ලන්නාහු නම්, වේයෝ හෝ කන්නාහු නම්, අබිජ හෝ වේනම් මනා මැනු යි. තරුණ, මෘදු, බූ ඇති, ඔබමොබ ලෙළෙන, මේ මාලුවාලතායෙහි පහස සුවදා වෙයි.” (මෙවන් සිත් වෙයි). එ මාලුවාලිය එ රුක් වැළඳ ගනී. එ ලිය එ රුක් වැළඳගෙන මතුයෙහි (ඡත්‍රාකාරයෙන්) වෙළබ කොට ගනී. මතුයෙහි වෙළෙප් කොට ගෙන අවඝන (යට බස්මින් අවට වසාගත් ලතාගුල්ම) උපදවයි. අවඝන උපදවා එ රුක්හි යම් මහත් මහත් කඳ ඇත් ද, ඒ කඳ පළාපියයි. මහණෙනි, එසඳ එ රුක්හි අධිපති ව වසන දෙවිහට මෙසේ සිත් වෙයි: “ඒ භවත් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේනෑවූ, අරම්වැසිදෙවියන් හා වනවැසිදෙවියෝ, රුක්වැසිදෙවියන් හා ඔෂධිතෘණවනස්පති වෘක්‍ෂයෙහි නිවැසි දෙවියෝ මාලුවාබීජයෙහි මේ අනාබිය දක්මින් මුළුදී මෙසේ අස්වැසුහු - භවත්, නොබානේ මැනැව, භවත් නොබානේ මැනැව. මොණරෙක් හෝ තෙල මාලුවා බීජය ගැලැගන්නේ නම්, මුවෙක් හෝ කන්නේ නම්, ළැව්ගිනි හෝ දවන්නේ නම්, වනකැමියෝ හෝ උදුරාපියන්නාහු නම් වේයෝ හෝ කන්නාහු නම්, අබීජ හෝ වේ නම් මනා මැනුයි කියායි. මම (දැන්) යම් හෙයෙකින් මාලුවාබීජහෙතුයෙන් දුක්, තිව්‍ර, කටුක වෙදනා විඳිම් ද, (එසෙයින් එසේ අස්වැසුහුය.)

 

මහණෙනි, එපරිදි ම ‘වස්තුකාම හා ක්ලෙශකාමයෙහි දොසෙක් නැති’යි එවංවාදී වූ, එව දෘෂ්ටික වූ මහණ බමණු කෙනෙක් ඇත. ඔහු වස්තුකාමයෙහි පියයුතු බවට පැමිණෙති. ඔහු මෞලි බැඳි තාපසපරිබ්‍රාජිකාවන් හා ඉඳුරන් පිනවති. ඔහු මෙසේ බෙණෙති:

 

 ‘ඒ භවත් මහණ බමුණෝ කාමයෙහි කිනම් අනාබියක් දක්මින් කාම ප්‍රහාණය කියද්ද, කාම සමතික්‍රමය පනවද්ද? ‘තරුණ, මෘදු, බූ ඇති, මේ පරිබ්‍රාජිකාවගේ බාහායෙහි පහස සුවදා වෙති’යි (මෙසේ බැණ) ඔහු කාමයෙහි පාතව්‍යතාවට පැමිණෙති. ඔහු කාමයෙහි (ආස්වාද විසින්) පියයුතු බවට වැද කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ නිරයට එළඹෙති. ඔහු ඒ නිරෑහි තිව්‍ර, කටුක, දුඃඛවෙදනා විඳුති. (එසඳ) ඔහු මෙසේ කියති: ඒ භවත් මහණබමුණෝ කාමයෙහි මේ අනාබිය දක්මින් කාමප්‍රහාණය කියති. කාමසමතික්‍රමය පනවති. මේ අපි කාම හෙතුයෙන් කාමනිදානයෙන් දුඃඛ, තිව්‍ර, කටුක වෙදනා විඳුම්හ යි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුව දෙන, මතු දුක් විපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.

 

4. මහණෙනි, මෙවත්මන්හිත් දුඃඛදායක වූ මතුයෙහිත් දුඃඛවිපාක දායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

 

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි. හළ ආචාර ඇති වෙයි. (අහරකිස නිමි කල) අත ලෝනේ වෙයි. අහර පිණිස ‘එව, වහන්සැ’යි කීකල නො එනු සිල් කොට ඇති වෙයි. ‘සිටුව, වහන්සැ’යි කීකල නොසිටුනු සිල් කොට ඇති වෙයි. ළඟට එළවූ අහර නො පිළිගනු වෙයි. උදෙසා කළ අහර නො පිළිගනු වෙයි. නිමන්ත්‍රණ නො පිළිගනු වෙයි. හෙ කළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. හෙ සැළමුවින් ගෙන දෙන අහර නො පිළිගනු වෙයි. එළිපත අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. දඬු අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. මොහොල් අතර කොට දෙන අහර නො පිළිගනු වෙයි. වළඳන දෙදෙනකුන් අතුරින් එකකු නැඟී දෙන අහර නො පිළිගනු වෙයි. ගැබිලිය දෙන අහර නො පිළිගනු වෙයි. කිරිපොවන්නීය දෙන අහර නො පිළිගනු වෙයි. පුරුෂාන්තර ගත ස්ත්‍රිය දෙන අහර නොපිළිගනු වෙයි. සමාදන් කොට පිසු කල දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක බලු එළඹ සිටියේ නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. යම් තැනෙක මැසිමුළු ගළගළ ව හැසිරෙත් නම් එහි දෙන අහර නො පිළිගනු වෙයි. මත්ස්‍ය නො පිළිගනු වෙයි. මාංශ නො පිළිගනු වෙයි. රහ නො බොනු වෙයි. මෙර නො බොනු වෙයි. සෞවීර නො බොනු වෙයි.

 

හෙ එක් ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. එක් ආලොපයෙකින් යැපෙන්නේ හෝ වෙයි. දෙගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලොප දෙකෙකින් යැපෙන්නේ හෝ වෙයි. ... සත්ගෙකෙකින් පිඬු ලැබ නවත්නේ හෝ වෙයි. ආලොපසතෙකින් යැපෙන්නේ හෝ වෙයි. එක් දැත්තෙකිනුදු (එක් බත්තැටියකිනුදු) යැපෙයි දෙ දැත්තෙකිනුදු යැපෙයි ... සත් දැත්තෙකිනුදු යැපෙයි. එක් දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි. දෙදවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි ... සත්දවසක් ද හැර ගන්නා අහර වළඳ කෙරෙයි මෙසේ මෙබඳු අඩමසක් අතර කොට ගන්නා අහර දැ යි වාරහක්ත භොජනයෙහි යෙදුණේ වෙසෙයි.

 

හේ පලා වළඳන්නේ හෝ වෙයි. බඩහමු වළඳන්නේ හෝ වෙයි. හුරුහැල් වළඳන්නේ හෝ වෙයි. සම්කඩ වැහැරි වළඳන්නේ හෝ වෙයි. ලහටු වළඳන්නේ හෝ වෙයි. කුඩු වළඳන්නේ හෝ වෙයි. දමුබත් වළඳන්නේ හෝ වෙයි. පුනකු වළඳන්නේ හෝ වෙයි. තණ වළඳන්නේ හෝ වෙයි. ගොම වළඳන්නේ හෝ වෙයි. තුවටුයෙන් ගිලුණු ඵල වළඳ කරන සුලු වූයේ, වන මූලඵල අහර කොට ඇතියේ ද යැපෙයි.

 

හෙ හණවැහැරි ද දරයි. මුසුහණවැහැරි ද දරයි. මිනියෙන් මුදාහළ පිළි ද දරයි. පහුල්පිළි ද දරයි. රුක්සුඹුළු ද දරයි. අඳුන්මුවසම් ද දරයි. කුරසහිත අඳුන්මුවසම් ද දරයි. කුසවැහැරි ද දරයි. කෙඳිවැහැරි ද දරයි. ලීපත් වැහැරි ද දරයි. කෙසකම්බලය ද දරයි. අස්ලොම්කම්බලය ද දරයි. මහමුහුණුපියාපතුදු දරයි. හිසකේ රවුළු උදුරනුයේ හිසකේ රවුළු උදුරන වතෙහි යෙදුණේ වෙයි. අසුන් පිළිකෙව් කෙළේ, උඩුහුරු ව සිටුනේ වෙයි. උක්කුටුක ව (උලුළුයෙන්) හිද තවුස්වැර වැඞීමෙහි යෙදුණේ උලුළුයෙන් හිඳුනේ ද වෙයි. කටු ඇතිරියෙහි වැතිරෙන්නේ ද වෙයි. කටුඇතිරියෙහි ශයන ද කෙරෙයි. සවස තුන්වනු කොට තෙවරක් දියට බැසීම් වතෙහි යෙදුණේ වෙසේ.

 

මෙසේ මෙබඳු අනෙකප්‍රකාර වූ කය (තැවීමෙහි හාත්පස තැවී මෙහි) යෙදුණේ වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය වූ, දුර්‍ගති වූ, විනිපාත වූ, නිරයට පැමිණෙයි. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන්නා වූ ද, මතුයෙහි දුක් විපාක දෙන්නා වූ ද කර්‍මසමාදානය යි කියනු ලැබේ.

 

6. මහණෙනි, මෙ වත්මනු දුඃඛදායක වූත්, මතු අනායෙහි සුඛ විපාකදායක වූත් ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

 

මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග ගති ඇති වෙයි. හේ නිතොර (ඇදුරු වත්තෙරුන්ගේ දඩුවම් නිසා) රාගයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වෙෂ ගති ඇති වෙයි. හේ නරතුරු ද්වෙෂයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මොහගති ඇති වෙයි. හේ නරතුරු මොහයෙන් හටගන්නා දුක්දොම්නස් විඳුනේ ය. හේ සහගිය දුක් ඇතිව ද, සහගිය දොම්නස් ඇතිව ද, කඳුළුමුසු මුහුණු ඇතිව හඬනුයේ පරිපූර්ණ පරිශුද්ධ බ්‍රහ්මචර්ය්‍ය පුරයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසගලෝ එළඹෙන්නේ ය. මහණෙනි, මෙ වනාහි මෙවත්මන්හි දුක් දෙන මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.

 

7. මහණෙනි, මෙවත්මන්හිදු සුව දෙන්නා වූ, මතු අනායෙහිදු සුඛ විපාකදායක වූ ධර්‍මසමාදාන නම් කවරේ ය යත්:

 

මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ප්‍රකෘතීන් තියුණු රාග සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු රාගජ දුඃඛදෞර්‍මනස්‍ය නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු ද්වෙෂ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු ද්වෙෂයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය. ප්‍රකෘතීන් තියුණු මොහ සැහැවි ඇති නො වෙයි. හේ නරතුරු මොහයෙන් හටගන්නා දුක්දොම්නස් නොවිඳුනේ ය.

 

හේ කාමයෙන් වෙන් ව ම, අකුසල් දහමින් වෙන් ව සවිතර්ක, සවිචාර, විවෙකජ, ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. විතර්කවිචාරයන් සන්හිඳීමෙන් සියසතන්හි සම්ප්‍රසාද ඇති, චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්ක, අවිචාර, සමාධිජ, ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. ප්‍රීති විරාගයෙනුදු උපෙක්‍ෂක ව ද ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව වාස කෙරෙයි. ආර්ය්‍යයෝ යම් ධ්‍යානයක් ගෙන “ඒ උපෙක්‍ෂක, ස්මෘතිමත් පුද්ගල සුඛවිහාර ඇතියේ ය”යි බෙණෙද්ද, ඒ තෘතීයධ්‍යාන උපයා වාස කෙරෙයි. සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් පළමු ම සොම්නස්දොම්නසුන් පහව යෑමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපෙක්ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති චතුර්ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සුගීසග බඹලොව කරා එළඹෙයි. මහණෙනි, මෙ මෙවත්මන්හි සුඛදායක වූත්, මතු අනායෙහි සුඛවිපාකදායක වූත් ධර්‍මසමාදාන යයි කියනු ලැබේ.

 

මහණෙනි, මොහු ධර්‍මසමාදානයෝ සතර දෙන යයි වදාළ සේක.

 

භාග්‍යවතුන් වහන්සේ මෙසුත් වදාළසේක. හටගත් සොම්නස් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

පස් වැනි වූ චුළධම්මසමාදාන සූත්‍රය නිමියේ ය.