බ්‍රහ්මනිමන්තතික සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

5

චූළ යමක වර්ගය

9

බ්‍රහ්මනිමන්තතික සූත්‍රය

 

 

1. මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භගවත්හු සැවැත් නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද දෙව්රම් වෙහෙර වැඩ වාසය කෙරෙති. එ සමයෙහි භගවත්හු ‘මහණෙනි’යි භික්‍ෂුන් ඇමතු සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භගවත්හට පිළිවදන් දුන්හ. භගවත්හු තෙල වදාළහ:

 

2. මහණෙනි, මම එක් සමයෙක උක්කට්ඨා නම් නුවර සුභග වනයෙහි සාලරාජ මූලයෙහි වාස කෙරෙමි. මහණෙනි, ඒ සමයෙහි බක නම් බඹහට මෙබඳු පවිටු ශාශ්වත දෘෂ්ටියෙක් උපන: මේ බ්‍රහ්මස්ථානය (බඹලොව) නිත්‍යය, මේ ධ්‍රැවය (ස්ථිරය), මේ ශාශ්වතය (සදාවිද්‍යාමානය), මේ කෙවලය (අඛණ්ඩය), මේ අවවන (ව්‍යය නොවන) ස්වභාවය. මේ බඹලොව (කිසිවෙක්) උපදනුයේ වේවයි, දිරණුයේ වේ වයි, මියනුයේ වේව යි, ච්‍යුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මේ බඹලොව හැර අනෙක් නිස්සරණයෙක් (දුකින් නික්මීමෙක්) ඇත්තේ ද නොවෙ’යි කියා යි. මහණෙනි, එසඳ මම සිය සිතින් බක බඹහු අදහස් දැන බලවත් පුරුෂයකු වක්කල අත් දික් කරනු සෙයින්, දික්කළ අත් වක් කරනු සෙයින් උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජ මූලයෙහි අතුරුදහන් වුයෙම් එ බඹලොව පහළ වීමි.

 

3. මහණෙනි, බකබ්‍රාහ්මමා එනුවා දුරදීම දිට. දැක මට තෙලබස් කී: “නිදුකාණෙනි, මොබ එව. නිදුකාණෙනි, ස්වාගත ය. (මෙහි ඊම යෙහෙකි.) නිදුකාණෙනි, මෙහි එනු පිණිස දිගු කලෙකින් මේ අයුරුකෙළෙහි. නිදුකාණෙනි, මේ බ්‍රහ්මස්ථානය නිත්‍යය, මේ ධ්‍රැවය, මේ ශාශ්වතය, මේ කෙවලය, මේ අවවන ස්වභාවය. මේ බඹලොව උපදනුයේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේව යි, චුත වනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිඃසරණයෙක් ඇත්තේ ද නොවෙ”යි කී.

 

4. මහණෙනි, මෙසේ කී කළ මම බක බ්‍රහ්ම හට තෙල බස කීමි: මේ බඹ අනිත්‍ය වූවක් ම නිත්‍ය ය යි කියා ද, අධ්‍රැව වූවක් ම ධ්‍රැවයයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වතයයි කියා ද, අකෙවල වූවක් ම කෙවල යයි කියා ද, වවන ස්වභාව ඇතියක් ම අවවන ස්වභාවයයි කියා ද, යම බඹලොවෙක දෙනුයෙත් දිරනුයේත් මියනුයේත් ච්‍යුතවනුයේත් පහළ වනුයේත් වේ ද, මෙහි නොදෙනුයේත් නොදිරනුයේත් නොමියනුයේත් නොපහළ වනුයේත් වේ ය යි. ඒ බඹලොව ගෙන එසේ කියා ද, මින් මතු (මෙය හැර) අන් නිස්සරණ ඇති ද මින්මතු අන් නිස්සරණ නැතියි කියා ද, භවත්නි, එහෙයින් මේ බක බඹ අවිද්‍යාගතයෙක් ම ය. භවත්නි, මේ බක බඹ අඥානයෙක් ම ය කියා යි.

 

5. මහණෙනි, එකල පවිටු මර එක්තරා බ්‍රහ්මපාරිෂද්‍ය බඹකු සිරුරෙහි ආවිෂ්ට ව මට තෙල බස් කී: “මහණ, මහණ, තෙල බඹහට නින්‍දා නො කර, තෙල බඹහට නින්‍දා නො කර. මහණ, තෙල බඹ මහබඹය. හැම බඹුන් අභිභවයි (මැඩලයි). තෙමේ අනභිභුතය. ඒකාන්තයෙන් සියල්ල දකිනේ ය. (හැම දෙනා) තම වසඟයෙහි පවත්වයි. ඊශ්වරය, (ලෝකයෙහි) කතෘය, නිර්‍මාතෘය, (ලෝකයට) උත්තමය. (තෝ ක්‍ෂිත්‍රිය වෙව, තෝ බ්‍රාහ්මණ වෙව යනාදීන්) ප්‍රජාව සකස් කරන්නේ ය. වශීය, උපන් සත්‍වයන්ගේ ද උපදනා සත්‍වයන්ගේ ද පිතෘය.”

 

මහණ, තට පූර්‍වයෙහි ද ලෝකයෙහි පෘථිවිය (අනිත්‍යය ආදීන්) ගරහන පෘථිවිය පිළිකුල් කරන, ආපය ගරහන ආපය පිළිකුල් කරන, තේජස් ගරහන, තේජස් පිළිකුල් කරන, වායු ගරහන වායු පිළිකුල් කරන, සත්ත්‍වයන් ගරහන, සත්ත්‍වයන් පිළිකුල් කරන, දෙවියන් ගරහන දෙවියන් පිළිකුල් කරන, මරහු ගරහන මරහු පිළිකුල් කරන, බඹුන් ගරහන බඹුන් පිල්කුල් කරන මහණ බමුණෝ වූහ. ඔහු කය බිඳීමෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් හීනකාය සඞ්ඛ්‍යාත අපායෙහි උපන්හ. මහණ තට පෙරත් ලෝකයෙහි පෘථිවිය පසස්නා පෘථිවිය (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්‍දන කරන, ආපය පසස්නා ආපය අභිනන්‍දන කරන, තේජස් පසස්නා, තේජස් අභිනන්‍දන කරන, වායු පසස්නා වායු අභිනන්‍දන කරන, සතුන් පසස්නා, සතුන් අභිනන්‍දන කරන, දෙවියන් පසස්නා දෙවියන් අභිනන්‍දන කරන, මරහු පසස්නා මරහු අභිනන්‍දන කරන, බඹුන් පසස්නා බඹුන් අභිනන්‍දන කරන මහණ බමුණෝ වූහ. ඔහු කායභේදයෙන් ප්‍රාණෝපච්ඡේදයෙන් ප්‍රණීතකාය සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයෙහි උපන්හ.

 

මහණ, එබැවින් මම තට මෙසේ කියමි: නිදුකාණෙනි, මහාබඹ තට යමක් කියා නම්, තා එ කීවා කරන්නේය. තා බඹහු කීවා නො ඉක්මවන්නේය. මහණ, ඉදින් තෝ බඹබස් ඉක්මෙහි නම් පුරුෂයෙකු සිරිකත ගෙට වදුත් දණ්ඩෙන් (සිවුරියන් මුගුරින්) පලවා පියන්නාක් වැන්න. තවද මහණ, නිරැහෙබෙක හෙන පුරුෂයකු අතිනුදු පයිනුදු ගත මනා පිහිටනු මනා අධාරස්ථාන වළහාලන්නාක් වැන්න. මහණ තට ද මේ කරුණ මෙබඳුම වන්නේය. නිදුකාණෙනි, එබැවින් තා බඹ තට යම් ම දැයක් කියා නම්, ඒ කීවාම කරන්නේය, තා බඹ කීවා නො ඉක්මවන්නේය. මහණ, තො මෙහි රැස්ව හුන් (සිරියෙන් බබලන) බඹපිරිස් නො දකින්නෙහිදැයි. මහණෙනි, මෙසේ පවිටු මර මා බඹපිරිසට එළවාලීය. (තො ද බ්‍රහ්මගරුක නමේ බඹඉසුරු ලබනේ යයි කියූ සේය.)

 

6. මහණෙනි, මෙසේ කීකල මම අයස උදාකරන පාපී වූ මරුහට තෙල බස් කීමි: “මාරය, මම තා දන්මි. මා තා නොහඳුනති යි තෝ නහමක් සිත. පවිට, තෝ මාරයෙහි. පවිට, මෙහි යම් බඹෙක් ඇද්ද, යම් බඹ පිරිසෙක් ඇද්ද, යම්ම බම්බපිරිසැවූවෝ ඇද්ද, ඔහු හැම තා හස්තගතයහ. ඔහු හැම තා වසංගතයහ. ‘මෙ තෙමේ ද මා හස්තගතය, මෙ තෙමේ ද මා වසඟය’ යනුදු තට මෙසේ සිතෙයි. පවිට, මම තා හස්තගතයෙම් නො ම වෙමි. තා වසඟයෙම් නො ම වෙමි” කියායි.

 

7. මහණෙනි, මෙසේ කීකල බක බ්‍රහ්ම මට තෙල බස් කී: “නිදුක, මම නිත්‍යය ම නිත්‍යයයි කියමි. ධ්‍රැවය ම ධ්‍රැවයයි කියමි. ශාශ්වතය ම ශාශ්වතයයි කියමි. කෙවලය ම කෙවලයයි කියමි. අවවන ධර්‍මය ම අවවන ධර්‍මයයි කියමි. යම් බඹලොවෙක නො උපදනේ වේ ද, නො දිරන්නේ වේ ද, නොමියන්නේ වේ ද, නො ච්‍යුතවන්නේ වේ ද, නො පහළ වන්නේ වේ ද, මම එය ම කියමි: මෙ බඹලොව උපදනේ වේවයි, දිරනුයේ වේවයි, මියනුයේ වේවයි, ච්‍යුතවනුයේ වේවයි, පහළ වනුයේ වේවයි නැත. මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැත්තේ ම මෙයින් මතු අනෙක් නිස්සරණයෙක් නැතියි කියමි. මහණ, තට පෙරාතුව ම ලොකයෙහි මහණ බමුණෝ වූහ. තාගේ මුළුආයුකාලය යම්තාක් වේද, ඒ තාක් කල් උන්ගේ තපඃකර්‍ම වී උග්‍ර තපස් ඇතියෝ වූහ. ඔහු මතුයෙහි (මෙ බ්‍රහ්මස්ථානයට වැඩිතරම් වූ) අන් නිසරුණෙක් ඇත්නම් මතු අන් නිසරුණෙක් ඇතැ”යි මෙසේ දන්නාහුය. අන් මතු නිසරුණෙක් නැත්තේ ම අන් මතු නිසරුණෙක් නැතැ’යි මෙසේ දත්හ. මහණ, එහෙයින් මම තට මෙසේ කියමි: ‘තොයිදු මෙයින් මතු අන් නිසරුණෙක් නොදක්නෙහි. එයින්ම් (එය සෙවීමෙන්) තෝ හුදෙක් කිලමථයට වෙහෙසට හිමි වේමය. මහණ ඉදින් තෝ පෘථිවිය (තෘෂ්ණා මාන දෘෂ්ටින්) ගැලැගන්හි නම් මා වෙත ඖපශායික (හෝනේ) වෙහි. මගේ වස්තුයෙහි (විෂයෙහි මා අරක්ගෙන) හෝනේ වෙහි. මා කැමැති සේ කළයුත්තෙක්, (ලිහිලිකොළගසටත් වඩා) නීච කළයුත්තෙක් වෙහි. ඉදින් අප්... තේජස් ... වායු ... භූතයන් ... දෙවියන් ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්හි නම්, මා උපනිඃශ්‍රය කොට ලගිනෙහි. මා සිටුනාතන්හි සිටුනෙහි. මා කැමැතිසේ කළයුත්තෙක්, හෙළා ලිය යුත්තෙක් වෙහි”යි බඹ අවමන් විසින් කී.

 

8. බ්‍රහ්මය, මම ද තෙල දන්මි: ඉදින් පොළොව තහවුරු කොට ගනිම් නම්, තාගේ ඖපශායික වෙමි. වාස්තුශායික වෙමි. යථාකාමකරණීය වෙමි. පාතනාර්හ වෙමි. ඉදින් අප් ... තේජස් ... වායු ... භූත ... දෙව ... මාර ... බ්‍රහ්ම තහවුරු කොට ගන්නෙම් නම්, තා වෙත හෝනේ වෙමි. තා සිටුනා තැන අරක්ගෙන සිටුමි. තා කැමැත්තක් කරනු ලබමි. හෙළා ලියහෙනු ලබමි. එතෙකුදු වුව බ්‍රහ්මය, මම තාගේ ගති (නිෂ්පත්තිය) ද ජුති (අනුභාවය) ද දන්මි: බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහ ඇත. බකබ්‍රහ්ම මෙසේ මහ අනුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇත, යනු දන්මියි බඹමන් නිගන්මින් බුදුහු වදාළහ.

 

9. නිදුකාණනි, කෙසේ නම් තොපි ‘බකබ්‍රහ්ම මෙසේ මහ ඉදුහු ඇත. බක බ්‍රහ්ම මහානුභාව ඇත. බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ’යි මාගේ ගතිදු ජුතිදු දන්ව?

 

10. හිරසඳ දෙදෙනා දසදිසා බබුළුවමින් යම්තාක් තැන් ඇවිදිත් ද, ඒ තාක් තැන් මේ සක්වළත් සමග සහස්‍රලොකධාතුයෙක. මේ දහසක් සක්වළැ (පමණක්) තාගේ වාසය වැටෙයි.

 

 (සක්වළ දහසෙහි) හීනප්‍රණීතසත්ත්‍වයන් දන්හි. තවද, රාගවිරාගජනයා ද දන්හි. මෙසක්වළ ද (එකුන් දහස්) පරසක්වළ ද දන්හි. සතුන්ගේ (පිලිසඳ විසින් ආගතිදු (ච්‍යුතිවිසින්) ගතිදු දන්හි.

 

බ්‍රහ්මය, මෙසෙයින් මම “බකබ්‍රහ්ම මෙසේ මහඉදුහ ඇත, බකබ්‍රහ්ම මෙසේ මහත් යශස් ඇතැ”යි තාගේ ගතිදු ජුතිදු (පමණ විසින්) දන්මි.

 

11. බ්‍රහ්මය, අන්‍ය වූ ද භුමීහු තුන්දෙනෙක් ඇත. තෝ ඒ නො දන්හි, නොදක්හි. මම ඒ ධ්‍යානභුමි දන්මි, දක්මි. බ්‍රහ්මය, තෝ යම් බඹළොවෙකින් සැව මෙහි උපන්හිද ඒ ආභස්සර නම් බඹලොවෙක් ඇත. ඉතා බොහෝ කල්පසු වූ හේතුවින් තට ඒ සිහි මුළා වෙයි. එයින් තෝ එය නොදන්හි, නො දක්හි මම එය දන්මි, දක්මි බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට දැනීමෙන් (නුවණින්) සමසමයෙම් නොවෙමි. පහත්බවෙක් කිසෙයින් වේ ද, වැළිදු මම ම තට වැඩිසිට්යෙම් වෙමි. බ්‍රහ්මය, සුභකිණ්ණ නම් ධ්‍යාන භුමියෙක් ඇත ... වෙහප්ඵල නම් ධ්‍යානභුමියෙක් ඇත. තෝ එය නොදන්හි නොදක්හි. මම එය දන්මි, දක්මි. බ්‍රහ්මය, මෙසෙයිනුදු මම තට නුවණින් සමසමයෙම් නොම වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.

 

බ්‍රහ්මය, මම පෘථිවිය පෘථිවි භාවයෙන් දැන පෘථිවි පිලිබඳ පෘථිවි ස්වභාවයෙන් අනනුභූත (පෘථිවි භාවයට නොපත් යම්) නිර්‍වාණයෙක් ඇද්ද, ඒ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට පෘථිවිය (තෘෂ්ණාදීන්) නොගත්මි. පෘථිවියෙහි ලා නො ගත්මි. පෘථිවිභාවයෙන් නොගත්මි. “පෘථිවිය මා අයත් යැයි නොගත්මි. (මෙසේ) පෘථිවිය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය,මෙසෙයිනුදු දැනීමෙන් මම තට සමසමයෙම් නො වෙමි. පහත්සේ කොයින් වේද, වැළිදු මම තට වැඩිසිටියෙමි. බ්‍රහ්මය, මම අප් ... තේජස් ... වායු ... භූත ... දෙවි ... මර ... බඹ ... ආභස්සර ... සුභකිණ්ණක ... වෙහප්ඵල ... අභිභූ ... නොගත්මි. බ්‍රහ්මය, මම සර්‍වය (සත්කාය ධර්‍ම) සර්‍වවශයෙන් දැන සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනනුභුත යම් නිවනෙක් ඇද්ද, ඒ නිවන ප්‍රත්‍යක්‍ෂ කොට සර්‍වය නොගත්මි. සර්‍වයෙහි ලා නොගත්මි. සර්‍වභාවයෙන් නොගත්මි. ‘සර්වය මට අයත් යැයි නොගත්මි. සර්වය ආස්වාද විසින් නොගත්මි. බ්‍රහ්මය, මෙසේ දැනීමෙන් මම තට සම්සමයෙම් නොවෙමි. පහත් සේ කොයින් වේ ද, වැළිදු මම් ම තට වැඩිසිටියෙමි.

 

12. “නිදුකාණෙනි, ඉදින් සර්‍වයාගේ සර්‍වභාවයෙන් අනනුභූතයෙක් වේ ද, එයින් තොපගේ බස් නො සිස් වේවා. මෘෂා නොවේවා”. (බඹහු යනු ‘සබ්බං’ යනු සර්‍ව - සර්‍ව යැයි ගෙණ සර්‍වය සර්වතායෙන් අනුභූත - ප්‍රත්‍යක්‍ෂ නොවේ නම් එහි ඔබ විසින් අනනුභුතයක් ඇතැයි මෙසේ බුදුන් මුසාවාදයෙන් නිගනිති.)

 

13. එකල බුදුහු “විඥානය (විඥාතව්‍ය නිර්වාණය චක්‍ෂුර්විඥානයට අරමුණු නොවන බැවින්) අනිදර්‍ශන වෙයි. (උත්පාද ව්‍යයසඞ්ඛ්‍යාත අන්තරහිත හෙයින්) අනන්ත වෙයි. සියල්ලට වඩා ප්‍රභාසම්පන්න වෙයි. ඒ විඥානය (නිර්වාණය) පෘථිවිස්වභාවයෙන් අනුභූත (විෂය) නො වෙයි. අප්හුගේ අප්ස්වභාවයෙන් අනුභූත නො වෙයි. තේජස්හුගේ තේජස් ස්වභාවයෙන් අනුභූත නො වෙයි. වායුහුගේ වායුස්වභාවයෙන් අනුභූත නො වෙයි. භූතයන්ගේ භූතස්වභාවයෙන් අනුභූත නො වෙයි. දෙවයන්ගේ දෙවස්වභාවයෙන් අනුභූත නො වෙයි. මාරයාගේ මාරස්වභාවයෙන් අනුභූත නො වෙයි. බ්‍රහ්මයාගේ බ්‍රහ්මස්වභාවයෙන් අනුභූත නො වෙයි. ආභාස්වරයන්ගේ ආභාස්වරස්වභාවයෙන් අනුභූත නො වෙයි. ශුභකෘත්ස්තයන්ගේ ශුභකෘත්ස්තස්වභාවයෙන් අනුභූත නො වෙයි. වෘහත්ඵලයන්ගේ වෘහත්ඵලස්වභාවයෙන් අනුභූත නො වෙයි. අභිභූදෙවියන්ගේ අභිභූස්වභාවයෙන් අනුභූත නො වෙයි. සර්‍වයාගේ සර්‍වස්වභාවයෙන් අනුභූත නො වේ” යයි වදාළහ.

 

14. “නිදුකාණෙනි, දැන් තොප කෙරෙන් අතුරුධන් වෙමි”යි (බඹ වාදයෙන් පිහිටක් නො ලබා සැඟවෙනු කැමැතිව) කී බ්‍රහ්මය, ඉදින් තෝ පොහොසත් විහි නම් දැන් මා කෙරෙන් අතුරුධන් වා (බුදුහු වදාළහ.) එසඳ මහණෙනි, බකබ්‍රහ්ම “මහණගොයුම් කෙරෙන් අතුරුධන් වෙමි, මහණගොයුම් කෙරෙන් අතුරුධන් වෙමි”යි යෙමින් මා හමුයෙහි අතුරුධන් වන්නට නො හැකි වී.

 

15. මහණෙනි, මෙසේ කීකල්හි මම බකබ්‍රහ්මහට තෙල කීමි: “බ්‍රහ්මය, මම දැන් තා කෙරෙන් අතරුධන් වෙමි”යි. “නිදුකාණෙනි, ඉදින් පොහොසත් වුව දැන් මා හමුයෙහි තෙපි අතුරුධන් ව”යි (බඹ කී.) එසඳ මහණෙනි, මම “මෙතෙකින් බඹ ද බඹපිරිස් ද බඹපිරිස් වැසියෝ ද මා බස් අසත්වා. මා නො දකිත්වා”යි එබඳු ඉදුහයක් පිළියෙල කෙළෙමි. අතුරුදන් වැ සිට මේ ගාථා වදාළෙමි:

 

මම භවයෙහි (සංසාරයෙහි ජාතිජරාදී භෙද) භය දැක ම, විභව සඞ්ඛ්‍යාත නිර්වාණය සොයන්නාවූ (කාමභවාදි ත්‍රිවිධ සත්ත්ව) භවය - (සත්ත්ව සමූහය) ද භවයෙහි ම දැක, හෙවත් නිවන් සොයන්නවුන්ගේ භවයෙහි ම උප්පත්තිය දැක, කිසි උත්පත්ති භාවයක් (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන්) ග්‍රහණය නො කෙළෙමි. නන්දි සඞ්ඛ්‍යාත භව තෘෂ්ණාව (කර්මභවය) ද නොගතිමි.

 

16. මහණෙනි, එසඳ බඹ ද බඹපිරිස් ද බඹපිරිස්වැසියෝද උපන් අසිරිඅබුතුසිතැතිවුහ: “භවත්නි, මහණගොයුම්හුගේ මහත් ඍද්‍ධි ඇති සේ මහත් අනුභාව ඇති සේ ආශ්චර්‍ය්‍ය ම ය, අද්භූත ම යා. සැහැකුලෙන් පැවිදිපත් සැහැපුත් මේ මහණ ගොයුම් බඳු, මෙසේ මහත් ඍද්‍ධි ඇති, මෙසේ මහත් අනුභාව ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මින් පෙර නොදුටුවිරූ ම ය. නො ඇසුවිරූම ය. භවයෙහි ඇලුණු, භවරති ඇති භවයෙහි ප්‍රමුදිත වූ ප්‍රජායෙහි සිට සමූලභවය උපුටා හළෙ යැ කියායි.

 

17. මහණෙනි, එසඳ පවිටු මර එක්තරා බඹපිරිස් වැසියකුට ආවිෂ්ට ව සිට මට තෙල බස් කී: “නිදුකාණෙනි, ඉදින් තෙපි මෙසේ (සිවුසස්) දනුහු නම්, මෙසේ අනුබද්ධ නම් තොප ඒ දහම සව්වන් කරා නො එළවව. පැවිද්දන් කරා නො එළවව. සව්වනට දහම් නො දෙසව. පැවිද්දනට දහම් නො දෙසව. සව්වන් කෙරෙහි ගෙධ නො කරව. පැවිද්දන් කෙරෙහි ගෙධ නො කරව. මහණ, තට පූර්වයෙහිත් ලෝකයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් වූහු ම ය. ඔහු (ඔවුන්ගේ) දහම සව්වන් කරා පැවිද්දන් කරා එළවුහ. සව්වනට පැවිද්දන දහම් දෙසුහ. සව්වන් කරා පැවිද්දන් කෙරෙහි ගෙධ කළහ. ඔහු සව්වන් කරා පැවිද්දන් කරා දහම් එළවා සව්වනට පැවිද්දනට දහම් දෙසා, සව්වන් කෙරෙහි පැවිද්දන් කෙරෙහි ගෙධසිත් ඇති කොට, කාබුන් මරණින් සිවුඅවාහි උපන්හ. මහණ, තට පෙරත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධ යම්හයි පිළින කරන මහණ බමුණු කෙනෙක් ලෝකයෙහි වූහු ම ය. ඔහු සව්වන් කරා දහම් නො එළවූහ. පැවිද්දන් කරා නො එළවූහ. සව්වනට දහම් නො දෙසූහ. පැවිද්දනට නො දෙසූහ. සව්වන් කෙරෙහි ගෙධ නො කළහ, පැවිද්දන් කෙරෙහි ගෙධ නො කළහ. ඔහු සව්වන් කරා දහම් නො එළවා, පැවිද්දන් කරා නො එළවා, සව්වනට දහම් නො දෙසා, පැවිද්දනට නො දෙසා, සව්වන් කෙරෙහි කළ ගෙධසිත් නැති ව, පැවිද්දන් කෙරෙහි කළ ගෙධසිත් නැති ව, කාබුන් මරණයෙන් බඹලොව උපන්හ. මහණ, ඒහේතුවින් මම තට මෙසේ කියමි: “භවත, තෙපි අල්පොත්සුකව දෘශ්ටධර්‍මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වාස කරව: මෙරමාහට නො දෙසීම කුසල් ය. මෙරමාහට ඕවා නො දෙව” කියයි.

 

18. මහණෙනි, මෙසේ කීකල මම පවිටු මරහට තෙල කීමි: “පවිට, මම තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට තෝ මාරයෙහි. පවිට, තෝ හිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තෝ අහිතානුකම්පී ව මෙසේ මා නො ම බෙණෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: ‘මහණ ගොයුම් යම් කෙනෙකුන්ට දහම් දෙසා නම්, ඔහු මා විෂය ඉක්ම යෙති’යි. පවිට, ඒ මහණබමුණෝ සම්‍යක්සම්බුද්ධ නො වූවාහු ම ‘සම්‍යක්සම්බුද්ධයම්හ’යි පිළින කළහ. පවිට මම සම්‍යක්සම්බුද්ධ වූයෙම් ම සම්‍යක්සම්බුද්ධයෙමි යි පිළින කෙරෙමි. පවිට, තථාගත සව්වනට දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට තථාගත සව්වනට දහම් නො දෙසනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් එළවනුයේ ද තාදෘශ ම වෙයි. පවිට, තථාගත සව්වන් කරා දහම් නො එළවනුයේ ද තාදෘශ ම වෙයි. ඒ කවර හෙයින යත්: පවිට, කෙලෙසනසැහැවි ඇති, පුනර්‍භවය උදාකරන, දරථ සහිත, දුඃඛවිපාක දෙන, මතු ජාතිජරාමරණයට හිත, යම් ආස්‍රවයෝ ඇද්ද, තථාගතහට ඔහු ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතුයෙහි අනුත්පාද ස්වභාවයහ. පවිට, යම්පිරිදි මුදුන්සුන් තල නැවත විරූඪිය පිණිස අභව්‍ය වේ ද, පවිට, එපිරිදි ම කෙලෙසන සැහැවී ඇති, පුනර්‍භ‍වයපිණිස පවත්නා, කායචිත්තදරථ සහිත, දුක් විපාක ඇති, මතුයෙහි ජාතිජරා මරණ කරන, යම් ආස්‍රාවයෝ ඇද්ද, ඔහු තථාගතහට ප්‍රහීණයහ, මුලසුන්හ, මුදුන් බුන් තලක් සෙයින් අවාස්තුභාව ඇතියහ. පිළිවෙළින් කළ අභාව ඇතියහ. මතු නූපදනා සැහැවීයහ.

 

19. මෙසේ මාරයාගේ අනුල්ලපනභාව (තථාගතයන් බඹපිරිස්හි එළවා බිණිමේ) හෙතුයෙනුදු, බ්‍රහ්මයාගේ අභිනිමන්ත්‍රණ (“ඉදං හි මාරිස, නිච්චං”) ආදීන් තථාගතයන් බ්‍රහ්මස්ථානය කෙරෙහි නිමන්ත්‍රණය කිරීමේ (පොළඹ වීමේ) හේතුවිනුදු මේ වෙය්‍යාකරණයට බ්‍රහ්මනිමන්තනික කියා ම අධිවචන විය.

 

නවවැනි වූ  බ්‍රහ්මනිමන්තනික සූත්‍රය නිමියේ ය.