මහාධම්මසමාදාන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

5

චූළ යමක වර්ගය

6

මහාධම්මසමාදාන සූත්‍රය

   

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ ආරාමයෙහි වැඩවාස කරන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතුසේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

 

2. මහණෙනි, සත්ත්‍වයෝ “අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහී යෙත්වා - ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙත්වා”යි බෙහෙවින් මෙසේ කැමැතියහ. මෙසේ සඳ ඇතියහ. මෙසේ අධිප්‍රාය ඇතියහ. මහණෙනි, මෙසේ කැමැති, මෙසේ සඳ ඇති, මෙසේ අධිප්‍රාය ඇති ඒ සත්ත්‍වයනට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහෙත්. මහණෙනි, එකරුණෙහි තෙපි කිනම් හේතුවක් ප්‍රත්‍යය කොට ගන්ව? “වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ නෙතෘ කොට ඇතියහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පිළිසරණ ඇතියහ. වහන්ස, අයැද සිටුම්හ: තෙල භාෂිතයාගේ අර්ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්‍ෂූහු ධරන්නාහ.” එසේ නම් මහණෙනි, අසව, මනාකොට මෙනෙහි කරව. කියම්හ. ‘වහන්ස, එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

 

3. මහණෙනි, මෙලොව (බුද්ධාදී) ආර්ය්‍යයන් නො දක්නාසුලු, ආර්ය්‍ය ධර්‍මයෙහි අදක්‍ෂ, ආර්ය්‍යධර්‍මයෙහි අවිනීත, (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ, සත්පුරුෂධර්‍මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන සෙවියයුතු දහම් නො දන්නේ ය. නොසෙවියයුතු දහම් නො දන්නේ ය. භජන කළයුතු ධර්‍ම නො දන්නේ ය. භජන නො කළයුතු ධර්‍ම නො දන්නේ ය. හේ සෙවියයුතු ධර්‍ම නො දන්මින් නොසෙවියයුතු ධර්‍ම නො දන්මින් භජන කළයුතු ධර්‍ම නො දන්මින් භජන නොකළයුතු ධර්‍ම නො දනිමින්, නොසෙවිය යුතු ධර්‍ම සෙවුනේ ය. සෙවියයුතු ධර්‍ම නොසෙවුනේ ය. භජන නොකළයුතු ධර්‍ම භජන කරන්නේ ය. භජන කළයුතු ධර්‍ම භජන නො කරන්නේ ය. නොසෙවියයුතු දහම් සෙවුනා, සෙවියයුතු දහම් නොසෙවුනා, භජන කළයුතු දහම් භජන නො කරන, භජන නොකළයුතු දහම් භජන කරන ඒ අශ්‍රැතවත් පෘථග්ජනයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, අන්‍ධබාල පෘථග්ජනයාහට යම්බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

 

4. මහණෙනි, ආර්ය්‍යයන් දක්නාසුලු, ආර්ය්‍යධර්‍මයෙහි දක්‍ෂ, ආර්ය්‍යධර්‍මයෙහි සුවිනීත, සත්පුරුෂයන් දක්නාසුලු, සත්පුරුෂධර්‍මයෙහි දක්‍ෂ, සත්පුරුෂ ධර්‍මයෙහි සුවිනීත, ශ්‍රැතවත් ආර්ය්‍යශ්‍රාවක සෙවියයුතු දහම් දන්නේ ය. නොසෙවියයුතු දහම් දන්නේ ය. භජන කළයුතු දහම් දන්නේය. භජන නොකළයුතු දහම් දන්නේය. හේ සෙවියයුතු දහම් දනිමින් නො සෙවියයුතු දහම් දන්මින්, භජන කළයුතු දහම් දනිමින් භජන නො කළයුතු දහම් දනිමින්, නොසෙවියයුතු දහම් නොසෙවුනේ ය. සෙවියයුතු දහම් සෙවුනේ ය. භජන නොකළයුතු දහම් භජන නො කරන්නේ ය. භජන කළයුතු දහම් භජන කරන්නේ ය. නොසෙවියයුතු දහම් නො සෙවුනා සෙවියයුතු දහම් සෙවුනා, භජන නො කළයුතු දහම් භජන නොකරන, භජන කළයුතු දහම් භජන කරන ඒ ආර්ය්‍යශ්‍රාවකයාහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙති. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වැඩීයෙති. ඒ කවර හෙයින යත්: මහණෙනි, ප්‍රශස්ත බුද්ධිඇති පණ්ඩිතයාහට යම්බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

 

5. මහණෙනි, මේ ධර්‍මසමාදානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

 

මහණෙනි, මෙවත්මන්හිදු දුක්දෙන මතු අනායෙහි දු දුක්විවා දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු සුව දෙන, මතු අනායෙහි දුඃඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි, මෙවත්මනු දුක් දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත. මහණෙනි මෙවත්මනුයෙහි සුව දෙන, මතු අනායෙහි සුඛවිපාක දෙන ධර්‍මසමාදානයෙක් ඇත.

 

6. මහණෙනි, එ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මනු දුඃඛදායක මතු අනායෙහි දුඃඛවිපාකදායක වූ යම් ධර්‍මසමාදානයෙක් (ප්‍රාණවධාදි ධර්‍මයන්ගේ ග්‍රහණයෙක්) ඇද්ද, එය අවිද්‍යායෙන් සමන්වාගත විද්වත් නො වූ පුද්ගල “මේ ධර්‍මසමාදානය නම් මෙවත්මනු දුක් දෙන්නා වූ ද, මතු අනායෙහි දුඃඛවිපාක දෙන්නා වූ ද එකෙකැයි ඇතිසැටි නො දන්නේ ය. අවිද්‍යාසමන්වාගත අවිද්වත් පුද්ගල ඒ ධර්‍මසමාදානය යාථාවයෙන් නො දන්නේ එය සෙවුනේ ය, එය නො හරනේ ය. ඒ ධර්‍මසමාදාන සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි අවිද්වත්හට යම් බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

 

7. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි මෙවත්මන්හි සුඛ වූ මතු අනාගතයෙහි දුඃඛවිපාක වූ යම් ධර්‍ම සමාදානයෙක් ඇද්ද, අවිද්‍යායෙන් සමන්වාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍ම සමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ය, අනාගත දුඃඛවිපාක ය” කියා එය යථාස්වභාවයෙන් නො දන්නේ ය. අවිද්‍යාගත විද්‍යානැති පුද්ගල එය ඇතිසැටි නො දන්නේ එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

 

8. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි වර්තමානයෙහි දුඃඛදායක වූ, අනාගතයෙහි සුඛවිපාක වූ, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාගත අවිද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්න දුඃඛය, අනාගත සුකවිපාක ය” කියා එය යථාභූත වශයෙන් නොදන්නේ ය. අවිද්‍යාගත අවිද්වත් පුද්ගල එය ඇතිතතු නොදන්නේ එය නො සෙවුනේ ය. එය හරනේය එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරිහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම්බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

 

9. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, අනාගතසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, අවිද්‍යාසමන්වාගත, අවිද්වත් පුද්ගල ‘මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වේ ය” යි එය යථාභූත වශයෙන් නො දන්නේ ය. අවිද්‍යාසමන්වාගත, අවිද්වත් පුද්ගල එය යාථාවයෙන් නොදන්නේ, එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ පිරීහීයෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිද්වත්හට යම් බඳු (හෙතුයෙක්) වේ ද තෙල එබඳු ම වෙයි.

 

10. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි. අනාගත දුඃඛවිපාක ද වේ”යයි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යාගත, විද්වත් පුද්ගල එය යථාභූත වශයෙන් දන්නේ, එය නොසෙවුනේ ය එය හරනේ ය. එය නො සෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙනින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හෙතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

 

11. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යූත්පන්නසුඛ වූත්, අනාගතදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදානය ප්‍රත්‍යුත්පන්නසුඛ ද, අනාගතදුඃඛවිපාක ද වේ ය”යි යථාභූත වශයෙන් දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත් පුද්ගල එය තත් වූ පරිදි දන්නේ එය නො සෙවුනේ ය. එය හරනේ ය. එය නොසෙවුනා, එය හරනා ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම් බඳු (හෙතුයෙක්) වේ ද, තෙල එබඳු ම වෙයි.

 

12. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යාසමන්වාගත, විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්න දුඃඛ ය, අනාගතසුඛවිපාක ය” යි එය තතු සේ දන්නේ ය. විද්‍යායෙන් යුක්ත, විද්වත්පුද්ගල එය ඇතිසේ දන්නේ, එය සෙවුනේ ය. එය නො හරනේ ය. එය සෙවුනා, එය නොහරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත් ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත් පුද්ගලහට යම්බඳු (හෙතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

 

13. මහණෙනි, ඒ ධර්‍මසමාදානයන් කෙරෙහි ප්‍රත්‍යුත්පන්න සුඛ වූ ද, අනාගතසුඛවිපාක වූ ද, යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, විද්‍යායෙන් සමන්වාගත විද්වත් පුද්ගල “මේ ධර්‍මසමාදාන නම්, ප්‍රත්‍යුත්පන්නසුඛ ද වෙයි, අනාගත සුඛවිපාක ද වෙයි” යි එය තතුසේ දන්නේ ය. විද්‍යායෙන් යුතු, විද්වත් පුද්ගල එය තතුසේ දන්නේ, එය සෙවුනේ ය. එය නොහරනේ ය. එය සෙවුනා, එය නො හරනා, ඔහට අනිෂ්ට, අකාන්ත, අමනාප, ධර්‍මයෝ පිරිහීයෙත්. ඉෂ්ට, කාන්ත, මනාප ධර්‍මයෝ වෙසෙසින් වැඩෙත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, විද්වත්හට යම්බඳු (හෙතුයෙක්) වේද, තෙල එබඳු ම වෙයි.

 

14. මහණෙනි, මෙවත්මනු දුක් වූ, මතු අනායෙහි දුක් විපාක වූ ධර්‍මසමාදාන කවරේ ය යත්:

 

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පණිවා කරනු වෙයි. ඒ පණිවාහෙතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු අයිනාදන් ගනු වෙයි. ඒ අයිනාදන් හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුනු, සහගිය දොම්නසිනුදු කාමයෙහි මිසහසර ඇති වෙයි. ඒ කාමයෙහි මිසහසර හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මුසවා බණනු වෙයි. ඒ මුසවා හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පිසුනුබස් බණනු වෙයි. ඒ පිසුනු බස් හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු සහගිය දොම්නසිනුදු පරොස්බස් බණනු වෙයි. ඒ පරොස්බස් හෙතුයෙනුදු, දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු පලප් බණනු වෙයි. ඒ පලප් හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු, පරා අයත්හි ලොබ බීහිලි වෙයි. ඒ අභිධ්‍යාහෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු ව්‍යාපන්නසිත් ඇති වෙයි. ඒ ව්‍යාපාදහෙතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුකිනුදු, සහගිය දොම්නසිනුදු මිසිදිටු ඇති වෙයි. ඒ මිසදිටු හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන මෙවත්මනු දුක් ඇතැයි ද, මතු දුක් විපාක ඇතැයි ද කියනු ලැබේ.

 

15. මහණෙනි, මෙවත්මනු සුව ඇති, මතු දුක් විපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:

 

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවා කරනු වෙයි. පණිවාහෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් අයිනාදන් ගනු වෙයි. අයිනාදන් හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් කාමයෙහි මිසහසර ඇති වෙයි. කාමයෙහි මිසහසර හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මුසවා බණනු වෙයි. මුසවා හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පෙහෙසුන් බණනු වෙයි. පෙහෙසුන්බස් හෙතුයෙනුදු සුව සොම්නස් විඳි. සහගිය සුව ඇති වත්, සහගියසොම්නස් ඇති වත් පරොස්බස් බණනු වෙයි. පරොස්බස් හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් පලප් බණනු වෙයි. පලප් හෙතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් (පරා අයත්හි) අභිධ්‍යා (වසම්ලොබ) බිහිලී වෙයි. අභිධ්‍යාහෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇති වත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපන්නසිත් ඇති වෙයි. ව්‍යාපාද හෙතුයෙනුදු සුව සොම්නස් විඳී. සහගියසුව ඇති වත්, සහගිය සොම්නස් ඇති වත් මිසදිටු ඇති වෙයි. මිසදිටු හෙතුයෙනුදු, සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි අපාය, දුර්ගති, විනිපාත සඞ්ඛ්‍යාත නිරයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛය යි අනාගත දුඃඛවිපාකය යි කියනු ලැබේ.

 

16. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:

 

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පණිවායෙන් දුරු වූයේ වෙයි. පණිවායෙන් දුරුවීමහෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් අයිනාදනින් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවීමහෙතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවීම හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වීම හෙතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම හෙතුයෙනුදු, දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් පලපින දුරු වූයේ වෙයි. පලපින් දුරුවීම හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නො වෙයි. අනභිධ්‍යාහෙතුයෙනුදු දුක්දොම්නස් විඳී. සහගිය දුක් ඇතිවත්, සහගිය දොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාදහෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. සහගියදුක් ඇති වත්, සහගිය දොම්නස් ඇති වත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හෙතුයෙනුදු දුක් දොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති වූ ස්වර්ගලොකයට එළඹෙයි. මහණෙනි, මෙවත්මනු දුක් ඇති, මතු සුඛ විපාක ඇති ධර්‍මසමාදාන මේයයි කියනු ලැබේ.

 

17. මහණෙනි, මෙවත්මනු සුඛ ඇති, මතුයෙහි සුඛවිපාක ඇති ධර්‍මසමාදාන කවරේ ය යත්:

 

මහණෙනි, මෙලොව කිසිවෙක් සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පණිවායෙන් දුරුවූයේ වෙයි. පණිවායෙන් දුරුවීම හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුඛ ඇතිවත්, සහගියසොම්නස් ඇතිවත් අයිනාදනින් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවීම හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවීම් හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් මුසවායෙන් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පිසුනුබසින් දුරුවූයේ වෙයි. පිසුනු බසින් දුරුවීම්හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පරොස්බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවීම් හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් පලපින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවීම් හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගියසුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් අභිධ්‍යාබහුල නොවෙයි. අනභිධ්‍යාහෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් ව්‍යාපාද රහිත සිත් ඇති වෙයි. අව්‍යාපාද හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. සහගිය සුව ඇතිවත්, සහගිය සොම්නස් ඇතිවත් සම්දිටු ඇති වෙයි. සම්දිටු හෙතුයෙනුදු සුවසොම්නස් විඳී. හේ කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්ගලොකයට එළඹෙයි. මහණෙනි, මේ ධර්‍මසමාදාන ප්‍රත්‍යුත්පන්නසුඛ යයි ද, ආයතිසුඛවිපාක යයි ද කියනු ලැබේ.

 

මහණෙනි, මොහු සතර ධර්‍මසමාදාන වෙති.

 

18. මහණෙනි, යම්සේ (හලාහල) විස මුසු තිත්ලබු ඵලයෙක් වේ ද, එවිට, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහට මෙසේ කියත් ද: “එම්බා පුරුෂය, මේ තිත්ලබුපල විස සහිත වෙයි. කැමැතියෙහි නම් එය බොනු. බොන්නාවූ තට වර්ණයෙනුදු, ගන්ධයෙනුදු, රසයෙනුදු නො රුස්නේ ය. පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි.” හේ එබස් නොසලකා බොන්නේ වේද, නො හරනේ වේද, එය බොන ඔහට වර්ණයෙනුදු ගන්ධයෙනුදු රසයෙනුදු නො රුස්නේ වේද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නදුඃඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (1)

 

19. මහණෙනි, යම්සේ වර්ණසම්පන්න, ගන්ධසම්පන්න, රසසම්පන්න, අපානීය (පියයුතු මිහිරිපැනකින් පිරුණු) කස්තලියෙක් වේ ද, එද විස මුසු වේ ද, එසඳ, ජීවත්වනු කැමැති, නොමැරෙනු කැමැති, සුවකැමැති, දුකෙහි පිළිකුල් ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ අවන් කස්තලිය වර්ණසම්පන්න ය, ගන්ධසම්පන්න ය, රසසම්පන්න ය. එද විසෙන් හැනිණ. කැමැතියෙහි නම් බෝ බොන තට වර්ණයෙනුදු, ගන්ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. එහෙත් පානය කොට මරණයට හෝ මරණමාත්‍රදුඃඛයට හෝ යන්නෙහි”යි හේ එබස් නොසලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්ණයෙනුදු, ගන්ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේ ද, පානය කොට ද මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ යන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිදුඃඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (2)

 

20. මහණෙනි, යම්සේ (අරළු ඇඹුලූ ඇ) නන්බෙහෙදින් මුසු ගොමුත්‍රයක් වේද, එසද පාණ්ඩුරොග ඇති පුරුෂයෙක් එන්නේ වේද, තෙල පුරුෂයාහට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ ගොමුත්‍ර නානාභෛෂජ්‍යයෙන් හනන ලද්දේය. කැමැතියෙහි නම් බෝ. බොන තොපට වර්ණයෙනුදු ගන්ධයෙනුදු රසයෙනුදු නො රුස්නේය. එහෙත් පානය කොට සුඛිත වෙහි” යි. හේ එබස් සලකා බොන්නේ වේ ද, නො හරනේ වේ ද, එය බොන ඔහට වර්ණයෙනුදු, ගන්ධයෙනුදු, රසයෙනුදු නොරුස්නේ වේ ද, එහෙත් පානය කොට සුවපත් වන්නේ වේ ද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්න දුඃඛ වූ ද, ආයතිසුඛවිපාක වූ ද යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි. (3)

 

21. මහණෙනි, යම්සේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළුණේ වේ ද, එසඳ (පිත්තසංසට්ඨ) ලොහිතපක්ඛන්දිකාබාධ ඇති පුරුෂයෙක් එන්නේ වේ ද, ඔහුට මෙසේ කියද්ද: “එම්බා පුරුෂය, මේ දිහි මී ගිතෙල් හා පැණි එකතු කොට ඇලළිණ. කැමතියෙහි නම් බෝ. පානය කරන තට වර්ණයෙනුදු, ගන්ධයෙනුදු, රසයෙනුදු රුස්නේ ය. පානය කොට ද සුඛිත වෙහි”යි හේ එය සලකා පානය කරන්නේ වේ ද. නොහරන්නේ වේද, එය පානය කරන ඕහට වර්ණයෙනුදු, ගන්ධයෙනුදු, රසයෙනුදු රුස්නේ වේද, පානය කොට සුවපත් වන්නේ වේද, මහණෙනි, මම ප්‍රත්‍යුත්පන්නසුඛ වූත්, ආයතිසුඛවිපාක වූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, මේ ධර්‍මසමාදානය එබඳු කොට කියමි (4)

 

22. මහණෙනි, යම්සේ වර්ෂා ඍතුවෙහි පැසිම්මස සරා කල්හි අහස බිඳීගිය (එහෙයින්ම) දුරු ව සිටි වලා ඇතිවත් ම, හිරු අහස්කුස් නගිමින් අහස සිටුනා හැම අඳුරු මැඩ බිඳ පියා බබළන්නේ වේ ද, නවත්නේ වේ ද, දිළෙන්නේ වේ ද, මහණෙනි, එපරිදි ම මම ප්‍රත්‍යුත්පන්න සුඛ වූත්, ආයතිසුඛවිපාකවූත් යම් ධර්‍මසමාදානයෙක් ඇද්ද, එය අන්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ප්‍රවාදයන් ඔබාබිඳ බබළනු ද වෙයි. තවනු ද වෙයි. දිලෙනු ද වෙයි.

 

භාග්‍යවතුන් වහන්සේ මේ මහාධම්මසමාදාන සූත්‍රය වදාළහ. (ප්‍රීතිසෞමනස්‍ය විසින්) ගත් සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටු වූහු.

 

සවැනි වූ මහා ධම්මසමාදාන සූත්‍රය නිමියේ ය.