සූත්‍රාන්තපිටකයෙහි
මජ්ඣිම නිකායේ
මැඳුම් සඟියෙහි
මූලපණ්ණාසකයේ.
5
චූළ යමක වර්ගය
3
මහා වේදල්ල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ‘ජෙතවන’ නම් වන, අනේපිඬු මහසිටාණන්ගේ අරම්හි වැඩවසනසේක. එකල ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ සවස්වරුයෙහි පලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් කරා එළැඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමඟ සතුටු වූහ. තුස්නට නිසි සිහිකරනුවට නිසි බස් බැණ නිමවා එකත්පස්හි හුන්හු. එකත් පසෙක හුන් ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණූන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල සැළකළහ.
2. “ඇවැත්නි, දුෂ්ප්‍රාඥය, දුෂ්ප්‍රාඥයයි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් දුෂ්ප්‍රාඥය යි කියනු ලැබේ ද?”
‘නොදනියි නොදයිනි යනු යම් හේතුයෙක් වේ ද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ. කුමක් නොදන්නේය යත්: ‘දුක මේ’ යයි නොදන්නේය. ‘දුඃඛසමුදය මේ’යයි නොදන්නේය, ‘දුඃඛනිරොධ මේ’යයි නොදන්නේය. ‘දුඃඛනිරොධගාමිනි ප්‍රතිපත් මේ’යයි නොදන්නේය. ඇවැත්නි, මෙසේ ‘නොදනියි නොදනියි’ යන යම් හේතුයෙක් වේද, එහෙයින් ‘දුෂ්ප්‍රාඥය’යි කියනු ලැබේ.
3. ඇවැත්නි, මැනැවැ”යි කියා ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස අභිනන්දන කොට අනුමෝ ව ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් මතුයෙහි පැන පුළුවුත්හ:
“ඇවැත්නි, ‘පැනැතිය පැනැතිය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් පැනැතිය’යි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දනී දනී’ යන යම්හෙතුයෙක් වේද, එහෙයින් පැනැතියහ’යි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘දුක මේ’ යයි දන්නේය, දුඃඛසමුදය මේ’යයි දන්නේය ‘දුඃඛනිරොධ මේ’යයි දන්නේය, ‘දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත් මේ’යයි දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දනී දනී’ යන යම් හෙතුයෙක් වේද, එහෙයින් ‘පැනැතියහ’යි කියනු ලැබේ.
4. “ඇවැත්නි ‘විඥානය විඥානය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් ‘විඥාන’යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘දන්නේය, දන්නේය’ යන යම් හෙතුයෙක් වේද, එහෙයින් විඥානයයි කියනු ලැබේ. කුමක් දන්නේය යත්: ‘සුඛවෙදනා ය’යි ද දන්නේය. ‘දුඃඛ වෙදනා ය’යිද දන්නේය. ‘අදුඃඛාසුඛවෙදනා ය’යි ද දන්නේය. ඇවැත්නි, මෙසේ ‘දන්නේය, දන්නේ ය’යන යම් හෙතුයෙක් වේද, එහෙයින් ‘විඥාන’ය යි කියනු ලැබේ.
5. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු (එකොත්පදාදි ලකුණින්) සංසට්ඨ (මිශ්‍ර) වෙද්ඳ. නොහොත් විසංසට්ඨ (අමිශ්‍ර) වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. මේ දහමුන් (අරමුණු ඈ විසින්) වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (මාර්ගප්රඥාව) යම් චතුස්සත්යධර්මයක් (ප්රඥානකෘත්ය විසින්) දනී ද, (මාර්ග විඥානය ද) ඒ දහම (විඥාන කෘත්‍ය විසින්) දන්නේ ය. (මාර්ග විඥානය) යම් චතුස්සත්යධර්මයක් (විඥාන කෘත්‍ය විසින්) දනී ද, (මාර්ග ප්‍රඥාව ද) ඒ දහම (ප්රඥානකෘත්ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
6. “ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන්ගේ වෙනස කිම?”
ඇවැත්නි, යම් ප්‍රඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, සංසට්ඨ ව සිටි, අසංසට්ඨ නො වන, මේ දහමුන් අතුරින් (මාර්ග) ප්‍රඥාව භැවිය යුතුය. (විදර්ශනා) විඥානය පරිඥෙය (පිරිසිඳ දත යුතු) වෙයි. මෙ උන් දෙදෙනාගේ වෙනස යි.
7.“ඇවැත්නි, ‘වෙදනාය වෙදනාය’යි කියනු ලැබේ. ඇවැත්නි, කිපමණෙකින් වෙදනා’යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘විඳුනේය විඳුනේ’ය යන යම් හෙතුයෙක් වේ ද, එහෙයින් ‘වෙදනා’යයි කියනු ලැබේ. කුමක් විඳුනේය යත්: සුව අරමුණ ද විඳුනේය. දුක් අරමුණද විඳුනේය. නොදුක් නොසුව අරමුණද විඳුනේය. ඇවැත්නි, මෙසේ, ‘විඳුනේය විඳුනේ’යයි යම් හෙතුයෙක් වේද, එහෙයින් ‘වෙදනා’ යයි කියනු ලැබේ.
8. “ඇවැත්නි, ‘සංඥා, සංඥා’යයි කියනු ලැබේ ඇවැත්නි, කිපමණෙකින් ‘සංඥා’ යයි කියනු ලැබේ ද?”
ඇවැත්නි, ‘හඳුනා ගනී, හඳුනා ගනී’ යන යම් හෙතුයෙක් වේද, එහෙයින් සංඥා ය යි කියනු ලැබේ. කුමක් හඳුනා ගන්නේය යත්: නිල්වන ද, හඳුනාගනී, කසාවත ද හඳුනාගනී ලෙහෙවන ද හඳුනාගනී, සුදුවන ද හඳුනාගනී. ඇවැත්නි මෙසේ ‘හඳුනා ගනී, හඳුනාගනී’, යන යම් හෙතුයෙක් වේ ද, එහෙයින් ‘සංඥා’යි කියනු ලැබේ.
9. “ඇවැත්නි, යම් වෙදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද: යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨ වෙද්ද? නොහොත් අසංසට්ඨ වෙද්ද? මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට හැකි වේ ද?”
ඇවැත්නි, යම් වෙදනායෙක් ඇද්ද, යම් සංඥායෙක් ඇද්ද, යම් විඥානයෙක් ඇද්ද, මේ දහම්හු සංසට්ඨයහ. අසංසට්ඨ නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය. ඇවැත්නි, (වෙදනාව) යම් අරමුණක් විඳී ද, (සංඥාව) ඒ අරමුණ හඳුනයි. (සංඥාව) යම් අරමුණක් හඳුනා ද, (විඥානය ද) ඒ අරමුණ (විඥානකෘත්ය විසින්) දනී. එහෙයින් මේ දහම්හු සංසට්ඨයහ. නොසසට නො වෙත්. මේ දහමුන් වෙන් වෙන් කොට වෙනස පනවන්නට නො ද හැකිය.
10. “ඇවැත්නි, පඤචෙන්ද්රියයන් විසින් පරිත්‍යක්ත, පරිශුද්ධ, මනොවිඥානයෙන් (රූපාවචරවතුර්ථධ්යානචිත්තයෙන්) කුමක් දතයුතුද?”
ඇවැත්නි, පසිඳුරන් විසින් නිඃසෘත, පරිශුද්ධ, මනොවිඥානයෙන් ‘ආකාශය අනන්ත’යයි ආකාශානන්ත්යායතනය දත යුතුය. ‘විඥානය අනන්ත’ය යි විඥානන්ත්‍යායතනය දත යුතුය ‘කිසිදු නැති’යි ආකිඤ්චඤ්ඤායතනය දත යුතුය.
11. “ඇවැත්නි, ඥෙය ධර්මය වනාහි කිමෙකින් දන්නේ ද?”
ඇවැත්නි, ඥෙය වූ ධර්මය ප්‍රඥාචක්‍ෂුසින් දන්නේය.
12. “ඇවැත්නි, ප්‍රඥා වනාහි කිනම් අර්ථ ඇත් ද?”
ඇවැත්නි, ප්‍රඥාව (අභිඥෙය ධර්ම දනීනුයි) අභිඥා අර්ථ කෙ ට ඇත. (පරිඥෙයධර්‍ම දනීනුයි) පරිඥා අර්ථ කොට ඇත (ප්‍රහාතව්‍ය ධර්ම පහා නුයි) ප්‍රහාණ අර්ථ කොට ඇත.
13. “ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස කෙතෙක් ප්‍රත්‍යයයෝ ඇද්ද?”
ඇවැත්නි, සම්‍යග්දෘෂ්ටි උත්පාදය පිණිස ප්‍රත්‍යයෝ දෙදෙනෙක් ඇත: පරතොඝොෂය (සත්ප්‍රාය ධර්ම ශ්‍රවණය) හා යොනිසොමනසිකාරය (තමන්ගේ උපාය මනසිකාරය) හා දෙකයි. ඇවැත්නි, සම්යග්දෘෂ්ටිඋත්පාදය පිණිස මොහු දෙදෙන ප්‍රත්‍ය වෙති.
14. “ඇවැත්නි, කෙතෙක් අඞ්ගයෙන් වහල ලැබූ සම්‍යග්දෘෂ්ටිය චෙතොවිමුක්තිය ඵල කොට ඇද්ද? චෙතො විමුක්තිඵලය අනුසස් කොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිය ඵලකොට ඇද්ද? ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇද්ද?”
ඇවැත්නි, අඞ්ගපසෙකින් අනුගෘහීත සම්‍යග්දෘෂ්ටිය චෙතොවිමුක්තිය ඵල කොට ඇත. චෙතොවිමුක්ති පලය අනුසස් කොට ද ඇත. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ද ඇත. ඇවැත්නි, මෙහි සම්‍යග්දෘෂ්ටිය ශීලානුගෘහීත ද වෙයි. ශ්රැතානුගෘහීත ද වෙයි. සඞ්කථානුගෘහීත ද වෙයි. සමථානුගෘහීත ද වෙයි. විදර්ශනාගෘහීත ද වෙයි. ඇවැත්නි, මේ පසඟින් වහල ලත් සමදිටු චෙතොවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. චෙතොවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිය ඵල කොට ඇත්තේ ද වෙයි. ප්‍රඥාවිමුක්තිඵලය අනුසස් කොට ඇත්තේ ද වෙයි.
15. “ඇවැත්නි, භවයෝ කෙතෙක් වෙද්ද?”
ඇවැත්නි, මේ භවයෝ තුන් දෙනෙකි: කාමභවය, රූපභවය, අරූපභවයි.
16. “ඇවැත්නි, මතු අනායෙහි පුනර්භවයෙහි ඉපැද්ම කෙසේ වේ ද?”
ඇවැත්නි, අවිද්‍යානීවරණ ඇති, තෘෂ්ණා සංයෝජන ඇති සත්ත්වයන්ගේ ඒ ඒ තන්හි රූපාදිඅභිනන්දනයෙන් මෙසේ මතුයෙහි පුනර්භවයෙහි ඉපැද්ම වෙයි.
17. “ඇවැත්නි, අනායෙහි පුනර්භවයෙහි ඉපැද්ම කෙසේ නොවේ ද?”
ඇවැත්නි, අවිද්යාක්ෂය විරාගහෙතුයෙන් වන අර්හත් මාර්ග විද්‍යොත්පාදයෙන් තෘෂ්ණා ක්ෂය නිරොධයෙන් මෙසේ මතුයෙහි පුනර්භවයෙහි ඉපැද්ම නො වෙයි.
18. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කවරේ ද?”
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් ව අකුසල් දහමින් වෙන්ව ම සවිතර්ක, සවිචාර, විවෙකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා ගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මේ ප්‍රථමධ්‍යාන යයි කියනු ලැබේ.
19. “ඇවැත්නි, ප්‍රථමධ්‍යාන කෙතෙක් අඞ්ග ඇද්ද?”
ඇවැත්නි, ප්‍රථම ධ්‍යානය පඤ්චාඞ්ගික වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණහට විතර්කය ද, විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ගික වෙයි.
20. “ඇවැත්නි, පළමු දැහැන් අඞ්ග කෙතෙකින් විප්‍රහීණ වේ ද? අඞ්ග කෙතෙකින් සමන්වාගත වේ ද?”
ඇවැත්නි, පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්චාඞ්ග සමන්වාගත වෙයි. ඇවැත්නි, මෙසස්නෙහි පළමු දැහැන් සමවත් මහණ හට කාමච්ඡන්ද ප්‍රහීණ වෙයි. ව්‍යාපාද ප්‍රහීණ වෙයි. ථිනමිද්ධ ප්‍රහීණ වෙයි. උද්ධච්චකුකුච්ච ප්‍රහීණ වෙයි. විචිකිච්ඡා ප්‍රහීණ වෙයි. විතර්කය ද විචාරය ද, ප්‍රීතිය ද, සුඛය ද, චිත්තෛකාග්‍රතා ද පවතිත්. ඇවැත්නි, මෙසේ පළමු දැහැන් පඤ්චාඞ්ග විප්‍රහීණ වෙයි. පඤ්ඤාඞ්ගසමන්වාගත වෙයි.
21. “ඇවැත්නි, මේ පඤ්චෙන්ද්රියයෝ නානාවිෂය ඇත්තෝ වෙති. නානාගොචර ඇත්තෝ වෙති. උනුන්ගේ ගොචරවිෂය වළඳ නො කෙරෙති. ඒ කවරහ යත්: චක්ෂුරින්ද්රියය, ශ්රොත්රෙන්ද්රියය, ඝ්රාණෙන්ද්රියය, ජිහ්වෙන්ද්රියය, කායෙන්ද්රියයි. ඇවැත්නි, විෂය විසින් පෘථග්භූත, ගොචර විසින් පෘථග්භූත, උනුන්ගේ ගොචර විෂය වළඳ නොකරන මේ පඤ්චෙන්ද්රියයන්ගේ පිළිසරණ කිම? කවරෙක් උන්ගේ ගොචරවිෂය වළඳ කෙරේ ද?”
ඇවැත්නි, නානාවිෂය වූ, නානාගොචර වූ, උනුන්ගේ ගොචරවිෂය වළඳ නොකරන මේ ඉන්ද්රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්ෂුරින්ද්රියය, ශ්රොත්රෙන්ද්රියය, ඝ්රාණෙන්ද්රියය, ජිහ්වෙන්ද්රියය, කායෙන්ද්රියයි. ඇවැත්නි, විෂය විසින් වෙන් ව සිටි, ගොචර විසින් වෙන් ව සිටි, උනුන්ගේ ගොචර විෂය වළඳ නොකරන මේ පඤ්චෙන්ද්රියයන්ගේ පිළිසරණ ජවන මනස වෙයි. (මනොද්වාරික හෝ පඤ්චද්වාරික හෝ) ජවනමනස උන්ගේ ගොචරවිෂය වළඳ කෙරෙයි.
22. “ඇවැත්නි, මේ ඉන්ද්රියයෝ පස්දෙනෙකි. ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය ය, ඝ්රාණෙන්ද්රිය ය, ජිහ්වෙන්ද්රිය ය, කායෙන්ද්රිය යි. ඇවැත්නි, මෙ පඤ්චෙන්ද්රියයෝ කුමක් නිසා සිටිත් ද?”
ඇවැත්නි, මේ ඉන්ද්රියයෝ පස්දෙනෙකි ඔහු කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රොත්‍රෙන්‍ද්‍රිය ය, ඝ්රාණෙන්ද්රිය ය, ජිහ්වෙන්ද්රිය ය, කායෙන්ද්රිය යි. ඇවැත්නි, මේ පසිදුරෝ ආයු නිසා සිටුති.
23. “ඇවැත්නි, ආයු කුමක් නිසා සිටුනේ වේද?”
ආයු උසුම නිසි සිටුනේ වෙයි.
24. “ඇවැත්නි, උස්ම කුමක් නිසා සිටුනේ වේද?”
උස්ම ආයු නිසා සිටුනේ ය.
25. “ඇවැත්නි, අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස් මෙසේ වටහා ගනුම්හ: ‘ආයු උස්ම නිසා සිටුනේය’ යනුයි. ඇවැත්නි තවද අපි දැන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ බස මෙසේ වටහා ගනුම්හ: ‘උස්ම ආයු නිසා සිටුනේය’ යනු යි. ඇවැත්නි, කෙබඳු සෙයෙකින් මේ භාෂිතයාගේ අරුත් දත මනා වේ ද?”
ඇවැත්නි, එකරුණින් තොපට උපමාවක් කරමි. උපමායෙනුදු මෙලොව විඥ පුරුෂ කෙනෙක් භාෂිතයාගේ අර්ථ වටහා ගනිති. ඇවැත්නි, යම් පරිදි දලන තෙල්පහන සිළු නිසා අලූ පැනේ ද, අලූ නිසා සිළු පැනේ ද, ඇවැත්නි, එපරිදි ම ආයු උස්ම නිසා සිටුනේ ය. උස්ම ආයු නිසා සිටුනේ ය.
26. “ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාර වෙද්ද? ඔහු ම වෙදනා ධර්මවෙද්ද? නොහොත් අන්හු ආයුසංස්කාර වෙද්ද? අන්හු වෙදනාධර්ම වෙද්ද?”
ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වෙදනාධර්මයෝත් නොවෙති. ඇවැත්නි, ඔහු ම ආයුසංස්කාරයෝත්, ඔහු ම වෙදනාධර්මයෝත් වූහු නම්, සඤ්ඤාවෙදයිතනිරොධ සමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීසිටුම නො පැනෙන්නේ ය. ඇවැත්නි, යම්හෙයෙකින් අන්හු ආයුසංස්කාරයෝ වෙද්ද, අන්හු වෙදනාධර්මයෝ වෙද්ද, එහෙයින්, සඤ්ඤාවෙදයිතනිරොධසමවත් සමවන් මහණහුගේ (සමවතින්) නැගීම පැනේය.
27. “ඇවැත්නි, යම් දිනෙක කෙතෙක් දහම්හු මේ කය හැරැපියද්ද, එසඳ මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව අචෙතන වූ කාෂ්ඨයක් සෙයින් හෝනේ වෙ ද?”
ඇවැත්නි, යම් කලෙක ආයුෂය, උස්මය, විඥානය යන දහම්හු තුන් දෙන මේ කය හැරැපියද්ද, එකල මේ කය හරනාලදු ව බැහැර නෙරනා ලදු ව හෝනේ වෙයි. අචෙතන කාෂ්ඨයක් සෙයින.
28. “ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලූරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවෙදයිත නිරොධයට සමවන්නේ වේ ද, මොවුන්ගේ වෙනස කවරේ ද?”
ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලූරිය කෙළේ වේ ද, උහුගේ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධයහ, නැවතීයහ. විතර්කවිචාරයෝ නටහ, නැවැත්හ. සංඥාවෙදනාවෝ බුන්හ, නැවැත්හ. ආයු ක්ෂීණ විය. උසුම සන්හින. ඉඳුරහු නටහ. යම් මේ මහණෙක් සඤ්ඤාවෙදයිතනිරොධයට සමවන්නේ වේ ද, උහුගේත් කායසංස්කාරයෝ නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. වාක්සංස්කාරයෝත් නිරුද්ධයහ, ප්රතිප්රශබ්ධයහ. චිත්තසංස්කාරයෝත් නිරුද්ධයහ, ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ. ආයු අපරික්‍ෂීණ වෙයි. උස්ම අව්‍යුපශාන්ත වෙයි. ඉන්ද්රියයෝ විප්‍රසන්න වෙති. ඇවැත්නි, යම් මේ පුද්ගලයෙක් මළේ කලූරිය කෙළේ වේ ද, යම් මේ මහණෙක් සඤ්ඤාවෙදයිතනිරොධයට සමවන්නේ වේ ද, මේ උන්ගේ වෙනස යි.
29. “ඇවැත්නි, උපෙක්ෂාචෙතොවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ඇවැත්නි, උපෙක්ෂාචෙතොවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ සතර දෙනෙක් ඇත: ඇවැත්නි, මේ සස්නෙහි මහණ සුඛය හා දුඃඛයාගේ ප්‍රහාණයෙන් කැලැ ම සොම්නස් දොම්නසුන් හස්ත්යට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපෙක්ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධි ඇති, චතුත්ර්ථධ්යානය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, උපෙක්ෂාචෙතොවිමුක්තියට සමවදනු පිණිස මේ (විගත) ප්‍රත්‍යයෝ සතරදෙනෙක් ඇත.
30. “ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියට සමවදනට ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: (රූපාදි) හැම නිමිති නොමෙනෙහි කිරීමය, අනිමිත්තධාතු සඞ්ඛ්‍යාත නිර්වාණය මෙනෙහි කිරීමයි. ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියට සමවදනට මේ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
31. “ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙන් ඇද්ද?”
ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තයගේ ස්ථිතිය පිණිස ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් ඇත: (රූපාදි) සර්වනිමිත්තයන් නොමෙනෙහි කිරීම ය, නිර්වාණධාතු මෙනෙහි කිරීම ය, කැලැ ම අභිසංස්කාරයි. (කාලපරිච්ඡෙද කිරීමයි). ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තිස්ථිතිය පිණිස මේ ප්‍රත්‍යයයෝ තුන් දෙනෙක් වෙත්.
32. “ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ (භවාඞ්ග) ව්යුත්ථානය පිණිස ප්‍රත්‍යයයෝ කෙතෙක් ඇද්ද?”
ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්යුත්ථානය පිණිස ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත: හැම නිමිති මෙනෙහි කිරීමය, අනිමිත්තධාතු මෙනෙහි නොකිරීමයි. ඇවැත්නි, අනිමිත්තචෙතොවිමුක්තියගේ ව්යුත්ථානය පිණිස මෙ ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් වෙති.
33. “ඇවැත්නි, යම් මේ අප්රමාණා චෙතොවිමුක්තයෙක් ඇද්ද, යම් ආකිඤ්චාන්යා චෙතොවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චෙතොවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චෙතොවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාර්ථත් නානාව්‍යඤ්ජනත් වෙද්ද, නොහොත් එකාර්ථත් වෙද්ද? ව්‍යඤ්ජනමාත්‍රය ම වෙනස් වේ ද?”
ඇවැත්නි, යම් මේ අප්රමාණා චෙතොවිමුක්තියෙක් ඇද්ද, යම් ආකිඤ්චන්යා චෙතොවිමුක්තියෙක් ඇද්ද, යම් ශුන්‍යතා චෙතොවිමුක්තියෙක් ඇද්ද, යම් අනිමිත්තා චෙතොවිමුක්තියෙක් ඇද්ද, ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු නානාර්ථත් වෙති, නානාව්‍යඤ්ජනත් වෙති”යි කියහෙද්ද, එබඳු කරුණෙක් ඇත. ඇවැත්නි, සම් කරුණක් ලැබ “මේ දහමහු එකාර්ථත් වෙති, ව්යඤ්ජනමාත්ර ම වෙනසැ”යි කියහෙත් ද, එබඳු කරුණෙක් ද ඇත.
34. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්ථ ද වෙති, නානා ව්‍යඤ්ජන ද වෙති”යි කියහෙත් ද, ඒ කරුණ කවරේය යත්:
ඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙත්සහගිය සිතින් එක් දිගක් පැහැස (අරමුණු කොට) ගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්වාත්මසවතායෙන් සර්වසත්ත්වයන් ඇති ලොකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, මෛත්‍රීසහගත සිතින් ස්ඵරණ කොට වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මුදිතාසහගත සිතින් ... උපෙක්ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොටගෙන වාස කෙරෙයි. එසෙයින් ම දෙවන, තෙවන, සතරවන, දිග දැයි මෙසේ උඩ යට සරස හැමතන්හි සර්‍වාත්මසමතායෙන් සර්වසත්ත්වයන් ඇති ලොකය-විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපෙක්ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අප්රමාණා චෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, ආකිඤ්චන්යා චෙතොවිමුක්ති කවර යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ සර්වප්රකාරයෙන් විඥානානන්ත්යායතනය ඉක්ම ‘කිසිත් නැති’යි ගෙන ආකිඤ්චන්යායතනය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ ආකිඤ්චන්යායතනචෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, ශුන්‍යතා චෙතොවිමුක්ති කවර යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ අරණ්‍යගත වූයේ හෝ වෘක්‍ෂමූලගත වූයේ හෝ ශුන්‍යාගාරගත වූයේ හෝ මෙසේ ප්රත්යවෙක්ෂා කෙරෙයි: “ආත්ම ආත්මීය විසින් මේ ශුන්‍ය වේය”යි කියායි. ඇවැත්නි, මෝ ශුන්‍යතා චෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, අනිමිත්තාචෙතොවිමුක්ති කවර යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණ රාගාදි හැමනිමිති නොමෙනෙහි කිරීමෙන් අනිමිත්තචෙතොසමාධිය උපයාගෙන වාස කෙරෙයි. ඇවැත්නි, මෝ අනිමිත්තාචෙතොවිමුක්ති නමුයි කියනු ලැබේ.
ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු නානාර්ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙති”යි කියහෙද්ද, මේ ඒ කරුණ වෙයි.
35. ඇවැත්නි, යම් කරුණක් ගෙන “මේ දහම්හු එකාර්ථ වෙති, ව්යඤ්ජනමාත්ර ම වෙනසි”යි කියහෙද්ද, ඒ කරුණ කවරේ ද?
ඇවැත්නි, රාගය ප්‍රමාණකරණ වෙයි. ද්වෙෂය ප්‍රමාණකරණ වෙයි. මොහය ප්‍රමාණකරණ වෙයි. ඔහු ක්ෂීණාස්රව මහණහට ප්‍රහීණ වෙති. උසුන්මුල් වෙති. මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති වෙති. කළ අභාව ඇති වෙති. මතුයෙහි නූපදනා සැහැවි ඇති වෙති. ඇවැත්නි, යම් පමණ අප්පමාණා චෙතොවිමුත්තීහු ඇද්ද, උන් අතුරින් අකොප්‍ය (අර්හත්ඵල) චෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකොප්යචෙතොවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වෙෂ විසින් ශුන්‍ය වෙයි. මොහ විසින් ශුන්‍ය වෙයි.
ඇවැත්නි, රාගය කිඤ්චනයෙකි. ද්වෙෂය කිඤ්චනයෙකි. මොහොය කිඤ්චනයෙකි. ඔහු ක්ෂීණාස්රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තානාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්මයහ. ඇවැත්නි, යම් පමණ ආකිඤ්චන්යා චෙතොවිමුක්තීහු ඇද්ද, ඔවුනතුරින් අකොප්යචෙතොවිමුක්තිය අග්‍රයයි කියනු ලැබේ. ඒ අකොප්යචෙතොවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වෙෂ විසින් ශුන්‍ය වෙයි. මොහ විසිනු ශුන්‍ය වෙයි.
ඇවැත්නි, රාගය නිමිත්තකරණයෙකි. ද්වෙෂය නිමිත්තකරණයෙකි. මොහය නිමිත්තකරණයෙකි. ඔහු ක්ෂීණාස්රව මහණහට ප්‍රහීණයහ. උසුන්මුල්හ. තාලාවාස්තුකෘතයහ. අභාවකෘතයහ. මතු අනුත්පාදධර්මයහ. ඇවැත්නි, යම් පමණ අනිමිත්තාචෙතොවිමුක්තිහු ඇද්ද, ඔවුනතුරින් අකොප්යචෙතොවිමුක්ති අග්‍රයයි කියනු ලැබේ. ඒ අකොප්යචෙතොවිමුක්තිය රාග විසින් ශුන්‍ය වෙයි. ද්වෙෂ විසින් ශුන්‍ය වෙයි. මොහ විසින් ශුන්‍ය වෙයි.
ඇවැත්නි, යම් නියරක් ගෙන “මේ දහම්හු එකාර්ථ වෙති, ව්යඤ්ජනමාත්ර ම වෙනසි”යි කියහෙද්ද, මේ ඒ නියර වෙයි.
ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවෝ මෙය දෙසූහු. (සොම්නසින්) ගත් සිත් ඇති ආයුෂ්මත් මහාකොට්ඨිත මහතෙරහු ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්දන කළහ.
තුන්වැනි වූ මහාවෙදල්ලසූත්රය නිමියේ ය.