මාරතජ්ජනිය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

5

චූළ යමක වර්ගය

10

මාරතජ්ජනීය සූත්‍රය

 

 

 

 

1. මා විසින් මෙසේ අසන ලද: එක්කෙලෙක මහමුගලන් මහතෙරහු භගුරට සුංසුමාරගිරි නුවර මුවළැව්වන මිහිඟගස් ඇති උයන්හි වාස කෙරෙති.

 

2. එකල මහමුගලන් මහතෙරණුවෝ අභ්‍යාවකාශයෙහි සක්මන් කෙරෙති. එවිට පවිටු මාරයා මහමුගලන් මහතෙරණුවන්ගේ කුක්‍ෂිගත ව පක්‍වාශයට පිවිසියේය. එසඳ මහමුගලන් මහතෙරණුවනට තෙල සිත්වී: “කිම මා කුස් අතිහාරයක් වැනිය. මෑබත් වළඳ කළහුගේ කුස වැනිය. නො හොත් මෑ ඇට පිරු පහියක් (පසුම්බියක්) වනැ”යි. ඉක්බිති මහමුගලන් මහතෙරණුවෝ සක්මනින් බැස වෙහෙරට පිවිස පැන්වූ අස්නෙහි හුන්හ. හිඳ මහමුගලන් මහතෙරණුවෝ තමා කෙරෙහි නුවණින් මෙනෙහි කළහ.

 

3. මහමුගලන් මහතෙරහු පවිටුමරහු කුසට වැද පක්‍වාශයට පිවිසියහු දුටහ. දැක පවිටුමරහට තෙල බස් කීහ: “පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා” කියායි.

 

4. එසඳ පවිටු මරහට තෙල සිත්වී: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නොපෙළා, තථාගත ශ්‍රාවක නොපෙළා. තට දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්‌තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.

 

5. ඉක්බිති මහමුගලන් මහතෙරහු පවිටු මරහට තෙල බස් කීහ: “පවිට, මම මෙතන්හි ලා තා හඳුනමි. තෝ ‘මා නොහඳුනති’ නොසිත, තෝ මරෙහි. පවිට, තට මෙසේ සිත් වෙයි: “මේ මහණ මා නොහඳුනමින් ම නොදක්මින් ම මෙසේ කියයි: ‘පවිට, නික්ම යා, පවිට නික්ම යා. තථාගතයන් නො පෙළා, තථාගතශ්‍රාවක නො පෙළා. තට දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නොවේවා’යි. තෙල මහණහුගේ ඒ ශාස්‌තෲහු ද මා වහා නො ම හඳුනති. මේ ශ්‍රාවකයා කෙසේ නම් මා හඳුනා ගත්තේ වේ ද” කියායි.

 

6. එසඳ පවිටු මරුහට තෙල සිත්වී: “මේ මහණ මා දන්මින් ම දක්මින් ම මෙසේ කියයි: පවිට, නික්මයා, පවිට නික්මයා. තථාගතයන් නො පෙළා. තථාගතශ්‍රාවක නොපෙළා. තට දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට කරුණෙක් නො වේවා”යි. එසඳ පවිටු මර මහ මුගලන් මහතෙරුන්ගේ මුවින් නැගී (පන්සලෙන් බැහැර) කවුළුදොර ළඟ සිටගත.

 

7. මහමුගලන් මහතෙරහු පවිටු මර කවුළුදොරෙහි සිටියහු දුටහ. දැක පවිටු මරහට තෙල කීහ: “පවිට, මෙහිදු මම තා දක්මි. තෝ ‘මා නොහඳුනති’යි නො සිත. පවිට, තෙල තෝ කවුළුදොර සිටියෙහි නො.”

 

8. පවිට, පෙර වූවිරී දැයක් කියමි: මම දුසී නම් මර විමී. මාගේ බින් කාළී නම. තෝ ඇයගේ පුත් වූයෙහි. තෝ (එකල) මාගේ බෑනෙහි. පවිට, එකල අර්හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේ ලොව පහළ වූහ. පවිට, අර්හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ තථාගතයන් වහන්සේට අග්‍ර භද්‍රයූග වූ විධුර-සඤ්ජීව නම් ශ්‍රාවකයුග්මයෙක් වී. පවිට, අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගතයන් වහන්සේට යම් පමණ ශ්‍රාවකයෝ වූහු ද, ධර්‍මදේශනායෙහි ලා ආයුෂ්මත් විධුර මහතෙරණුවන් හා සමසම ව සිටුනා කිසිදු සව්වෙක් නොවී. පවිට, මේ හේතුවින් ආයුෂ්මත් විධුරතෙරණුවනට විධුර ය, විධුර යැ යි (-විගතධුර ය, අන්‍යයන් හා අසම ය යන) අන්‍වර්‍ථසංඥා උපන.

 

පවිට, ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ අරණ්‍යගත වුව ද, වෘක්‍ෂමූලගත වුව ද, ශුන්‍යාගාර ගත වුව ද, නිදුකින් ම සඤ්ඤාවෙදයිතනිරොධයට සමවදිති. පවිට, පෙර වූවක් කියමි: ආයුෂ්මත් සඤ්ජීව තෙරණුවෝ එක්තරා ගසක් මුල සඤ්ඤාවෙදයිතනිරොධයට සමවන් ව හුන්හ. පවිට, ගෙරි රක්නෝද, එළුබටෙළු රක්නාහු ද, සීසානාහු ද මගබැසයන්නාහු සඤ්ජීවතෙරණුවන් එක්තරා ගසක්මුල සඤ්ඤාවෙදයිතනිරොධයට සමවැද හුන්නවුන් දුටහ. දැක ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, ආශ්‍චර්‍ය්‍යය, භවත්නි, අද්භූතය, මේ මහණ හුන්වන ම කලුරිය කෙළේය. එයින් උන් දවම්හ” කියායි. පවිට, ඉක්බිති ගොපාලයෝ ද පශුපාලයෝ ද කර්‍ෂකයෝ ද යන ඒ මගියෝ තණ දර හා ගොම එක්රැස් කොට සඤ්ජීව තෙරණුවන්ගේ කය වටා සෑයක් බැඳ ගිනි ලා ගියහ. පවිට, එසඳ සඤ්ජීව තෙරණුවෝ ඒරැය ඇවෑමෙන් ඒ සමවතින් නැගී සිවුරු පොළාපියා පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, ගොපල්ලො ද පසුපල්ලෝ ද සීසානුවෝ ද යන ඒ මගීහු සඤ්ජීව තෙරණුවන් පිඬු පිණිස වදනවුන් දුටහ. දැකීමෙන් ඔවුනට මෙසේ සිත් වී: “භවත්නි, එකාන්තයෙන් අසිරි ය, භවත්නි, එකාන්තයෙන් අද්භූත ය මේ මහණ හුන්වන ම මළේ ය. හේ නැවත මැනැවින් දිවි ලද” කියායි. පවිට, මේ හේතුවින් සඤ්ජීව තෙරණුවනට සඤ්ජීව ය, සඤ්ජීව යැයි අන්‍වර්‍ථසංඥා පහළ විය.

 

9. ‘‘අථ ඛො, පාපිම, දූසිස්‌ස මාරස්‌ස එතදහොසි – ‘ඉමෙසං ඛො අහං භික්‌ඛූනං සීලවන්‌තානං කල්‍යාණධම්‌මානං නෙව ජානාමි ආගතිං වා ගතිං වා. යංනූනාහං බ්‍රාහ්‌මණගහපතිකෙ අන්‌වාවිසෙය්‍යං – එථ, තුම්‌හෙ භික්‌ඛූ සීලවන්‌තෙ කල්‍යාණධම්‌මෙ අක්‌කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්‌පෙව නාම තුම්‌හෙහි අක්‌කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්‌තස්‌ස අඤ්‌ඤථත්‌තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්‌ති. අථ ඛො තෙ, පාපිම, දූසී මාරො බ්‍රාහ්‌මණගහපතිකෙ අන්‌වාවිසි – ‘එථ, තුම්‌හෙ භික්‌ඛූ සීලවන්‌තෙ කල්‍යාණධම්‌මෙ අක්‌කොසථ පරිභාසථ රොසෙථ විහෙසෙථ. අප්‌පෙව නාම තුම්‌හෙහි අක්‌කොසියමානානං පරිභාසියමානානං රොසියමානානං විහෙසියමානානං සියා චිත්‌තස්‌ස අඤ්‌ඤථත්‌තං, යථා තං දූසී මාරො ලභෙථ ඔතාර’න්‌ති.

 

9. පවිට, ඉක්බිති දූසීමරහට තෙල සිත් වී: “මම සිල්සපන් කලණ දහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොම දන්මි. ‘බමුණුගැහැවියෙනි, එව. සිල්වත් කළණදහම් ඇති මහණුන් (දස අකෙස්‌ලියෙන්) ආක්‍රොශ කරව, තෙපුලින් පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රොශ කරනු ලබන, තෙපුලින් නින්‍දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙසනු ලබන ඒ මහණුනට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂෙපයෙක් (ක්ලේෂොත්පත්තියට ප්‍රත්‍යයෙක්) වේ නම් මනාම යයි, ඉදින් මම බමුණු ගැහැවියනට ආවිෂ්ට වෙම් නම් යෙහෙක” යන සිතයි. පවිට, ඉක්බිති දූසිමර බමුණු ගැහැවියනට ආවිෂ්ට වී: “තෙපි එව, සිල්වත් කල්‍යාණධර්‍ම ඇති, මහණුනට ආක්‍රොශ කරව, පරිභාෂණ කරව, ඝටව, වෙහෙස කරව. තොප විසින් ආක්‍රොශ කරනු ලබන, පරිභාෂණ කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන ඒ මහණුනට දූසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂෙපයෙක් වේ නම් මනාමයැ”යි කියායි.

 

10. පවිට, ඉක්බිති ඒ බමුණු ගැහැවියෝ දූසීමරහු විසින් ආවිෂ්ට වුවාහු සිල්වත් කලණ දහම් ඇති මහණුනට ආක්‍රොශ කෙරෙති. නින්‍දා කෙරෙති. ඝටති. වෙහෙස කෙරෙති. (කෙසේ යත්:) “නින්‍දිත මුණ්ඩයන් වන, නින්‍දිත ශ්‍රමණයන් වන, ගෘහපතිකයන් වන, කෘෂණයන් වන, බන්‍ධුපාදාපත්‍යයන් (බ්‍රහමයාගේ පිටිපතුලෙන් උපනුවන්) වන මොහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී බැහුකඳ ඇතිව යටිහුරු මුව ඇතිව උපන් අලස බව ඇතිව ධ්‍යාන කෙරෙති. සිතති, ප්‍රකර්‍ෂයෙන් සිතති, නිගන්නට සිතති. පැහැර ගන්නට සිතති. යම් පරිදි මහමුහුනු වෘක්‍ෂශාඛායෙහි හිඳැ මුෂිකයකු පිරියෙස්‌මින් ... සිතමින් හිඳුනේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂණ, බඹහුගේ පාමිලිදරු වන මේ මුණ්ඩක ශ්‍රමණකයෝ, අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායි වම්හ’යි බහාගත කඳ ඇතිව අධොමුඛ ව හටගත් අලසසැහැවි ඇති ව ... සිතති. යම් පරිදි සිවලු නදීතීරයෙහි හිඳ මසුන් පිරියෙස් මින් … සිතනුයේ වේ ද, එපරිදි ම ගැහැවිගති ඇති, කළුවන් ගුණ ඇති, බඹහුගේ පිටිපයිනුපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිකුරු කළ මුව ඇතිව උපන් අලසගති ඇති ව … සිතති. යම් පරිදි බලලු ගෘහසන්ධි හා මලබස්නා ඇලිදොර හා කසළ ගොඩෙහි මිහියකු පිරියෙස්මින් ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, තෘෂ්ණ, බන්‍ධුපාදාපත්‍ය වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව අධොමුඛව ජාතාලස්‍ය වැ ... සිතති. යම් පරිදි ගද්‍රභ වහච්ඡින‍න ව (-කතර තැරෑ බඩුබර ඉසිලීමෙන් තොරව) සන්‍ධිසමලසඞ‍්කටීරස්ථානයන්හි ලැගගෙන ... සිතනුයේ වේ ද, එපරිදි ම ගෘහපතික, කෘෂ‍ණ, බ්‍රහ්මපාදයෙන් උපන් දරු වන මේ මුඩු මහණහු ‘අපි ධ්‍යායී වම්හ, අපි ධ්‍යායී වම්හ’යී හෙළු කඳ ඇති ව යටිහුරුමුව ඇති ව ජාතාලස්‍ය ව ... සිතතියි නිග්‍රහ කළහ.

 

පවිට, එකල යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු (මාරාවෙශ රහිතව ද, මාරු විසින් මවා පෑ මහණුන්ගේ විකාර දැක පියවි මහණුන්ට නිග්‍රහ කළෝ) බෙහවින් කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයෙහි උපදිති.

 

11. පවිට, එසඳ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ භික්ෂූන් ඇමැතුසේක: මහණෙනි, දූසි මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවීෂ්ටයහ: “තෙපි එව, සිල්සපන් කලණදහම් ඇති මහණුන් ආක්‍රොශ කරව, නින්‍දා කරව, ඝටව, වෙහෙසව තොප විසින් අක්‍රොශ කරනු ලබන නින්දා කරනු ලබන, ඝටනු ලබන, වෙහෙස කරනු ලබන මහණුනට දුසී මර සිදුරු ලැබියහෙන සේ චිත්ත වික්‍ෂෙපයෙක් වේ නම්, මැනැව” කියායි. මහණෙනි, තෙපි එව මෙත් සහගිය සිතින් එක්දිගක් ඵරණ කොට වාස කරව. එසෙයින් දෙවන දිග ද, එසෙයින් තෙවන දිග ද, එසෙයින් සිවු වන දිග දැයි මෙසේ උඩයට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැම සතුන් ඇති ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ මෙත් සහගිය සිතින් අරමුණු කොට වාස කරව. කරුණා සහගත සිතින් එක්දිගක් අරමුණු කොට වාස කරව ... මුදිතාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව ... උපෙක්‍ෂාසහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කරව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, අව්‍යාබාධ වූ, උපෙක්‍ෂාසහගත සිතින් අරමුණු කොටගෙන වාස කරවයි වදාළහ.

 

12. පවිට, එක්බිති ඒ භික්‍ෂූහු අර්හත් සම්‍යක් සම්බුද්ධවූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසෙයින් අවවාද කරනු ලබන්නාහු, මෙසෙයින් අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශුන්‍යාගාරගත ව ද මෙත් සහගිය සිතින් එක් දිගක් ස‍පර්‍ශ කොට ගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්‍මතායෙන් හැමසත් ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර අව්‍යාබාධ, මෛත්‍රීසහගත චිත්තයෙන් ස‍පර්‍ශ කොටගෙන වාස කළහ ... කරුණාසහගතචිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... මුදිතාසහගත චිත්තයෙන් එක් දිගක් ඵරණ කොට ගෙන වාස කළහ ... උපෙක්‍ෂාසහගත චිත්තයෙන් එක් දිගක් ස්පර්ශ කොටගෙන වාස කළහ. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිවුවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්‍මතායෙන් හැමසත්ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, අව්‍යාබාධ, උපෙක්‍ෂාසහගත චිත්තයෙන් සපර්‍ශ කොට ගෙන වාස කළහ.

 

13. පවිට, ඉක්බිති දූසී මරහට තෙල සිත් වි: “මම මෙසේ ද කරනුයෙම් වුව ද, සිල්සපන් කලණදහම් ඇති මේ මහණුන්ගේ ආගතිදු ගතිදු නොදන්මි. මම බමුණු ගැහැවියනට ආවිෂට වන්නෙම් නම් යෙහෙක: තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. මානනා පූජනා කරව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරනු ලබන, මානනා පූජනා කරනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන පරිදි චිත්තවික්‍ෂෙපයෙක් වේ නම් මනා ම ය” කියායි.

 

14. පවිට, ඉක්බිති දූසීමර ඒ බමුණන් හා ගැහැවියනට ආවිෂ‍ට වී: “තෙපි එව, සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව පුදව. තොප විසින් සත්කාර කරනු ලබන ගරුකාර කරනු ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙන සේ චිත්තවික්‍ෂෙපයෙක් වේ නම් මනා ම ය” කියායි. පවිට, ඉක්බිති දුසීමර විසින් ඒ බමුණන් හා ගැහැ වියෝ ආවිෂ්ට වූවාහු සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කෙරෙති. ගරුකාර කෙරෙති. බුහුමන් කෙරෙති. පුදති.

 

පවිට, එසමයෙහි යම් මිනිස් කෙනෙක් කලුරිය කෙරෙද්ද, ඔහු කාබුන් මරණින් මතුයෙහි බෙහෙවින් සුගති වූ ස‍වර්‍ගලොකයෙහි උපදිත්.

 

15. පවිට, ඉක්බිති අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ, කකුසඳ තථාගතයන් වහන්සේ භික්‍ෂූන් ඇමතුසේක: “මහණෙනි, දුසී මරහු විසින් බමුණන් හා ගැහැවියෝ ආවිෂ‍ටයහ. ‘තෙපි එව. සිල්වත් කලණදහම් ඇති භික්‍ෂූන්ට සත්කාර කරව. ගරුකාර කරව. බුහුමන් කරව. පුදව. තොප විසින් සත්කාර කරනු ලබන, ගරුකාර කරන ලබන, බුහුමන් කරනු ලබන, පුදනු ලබන භික්‍ෂූන්ට දුසීමර සිදුරු ලැබියහෙනසේ චිත්තවික්‍ෂෙපයෙක් වේ නම් මනා ම ය’කියායි. මහණෙනි, තෙපි එව. කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍ව ලොකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍වසංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කරව.”

 

16. පවිට, ඉක්බිති ඒ මහණහු අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අරණ්‍යගත ව ද, වෘක්‍ෂමූලගත ව ද, ශූන්‍යගාරගත ව ද, කයෙහි අශුභය නුවණින් දක්නාසුලු ව, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ඇති ව, සර්‍වලොකයෙහි අනභිරතසංඥා ඇති ව, සර්‍ව සංස්කාරයෙහි අනිත්‍යය නුවණින් දක්නාසුලු ව වාස කළහ.

 

17. පවිට, ඉක්බිති අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසඳ තථාගතයන් වහන්සේ පෙරවරු හැඳපෙරෙව පා සිවුරු ගෙන ආයුෂ‍මත් විධුර තෙරණුවන් කැටුව යනුවන් හා ගමට පිඬු පිණිස පිවිසියහ. පවිට, එසඳ දුසී මර එක්තරා කුමාරක්හට අවිෂ්ට ව කැටක් ගෙන ආයුෂ‍මත් විධුර තෙරණුවන් හිසෙහි පහර දින. හිස බිඳුනේ ය. පවිට, එසඳ ආයුෂ්මත් විධුර තෙරණුවෝ බුන් හිසින් ගළන ලෙහෙයෙන් අර්හත් සම්‍යක්සම්බුද්ධ කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ පසුපස ලුහුබැඳ ගියහ. පවිට, එසඳ අර්හත් සම්‍යක් සම්බුද්ධ කකුසඳ තථාගතයන් වහන්සේ නාගාපලොකනය කොට (ඇතකු සෙයින් මුළුකය පෙරළා බැලුම්ලා) බැලූසේක: “මේ දුසීමර පමණ නො දත්හයි (-ප්‍රමාණය පන්වා ගියහයි)” කියායි. පවිට, එසේ බලන්නා හා ම දුසීමර ඒ දෙව්බැවින් ච්‍යුත විය. මහනිරයෙහි ද උපන.

 

18. පවිට, ඒ මහානිරයට නාමයෝ තුන්දෙනෙකි: ඡඵස‍්සායතනිකය (සවැදෑරුම් ස‍පර්‍ශායතනයෙහි ලා වෙන ම වෙන ම උදා දෙන වෙදනාවට හෙතු වන නිරය) කියා ද, සඞ‍කුසමාහත (යහුලින් හෘදයෙහි කොටා ලන නරාපලුන් ඇති නිරය) කියා ද, පච්චත‍්තවෙදනිය (තෙමේ ම වෙදනා උපදවන නිරය) කියා දැයි නම් තුනෙකි. පවිට, එහි නිරයපාලයෝ මා කරා පැමිණ තෙල බස් කීහු: “සබඳ, යම් දිනෙක තා ළමැඩියෙහි හුලින් හුල එකට හැපී යයි ද, එකල ‘නිරයෙහි පැසෙන මට වර්‍ෂසහස්‍රයෙක් ඉක්මිණැ’යි එය දනගනැ” යි කියා යි. පවිට, මම බොහෝ වර්‍ෂයන්, බොහෝ වර්‍ෂශතයන්, බොහෝ වර්‍ෂසහස්‍රයන් ඒ මහානිරයෙහි පැසිණිමි. ‘වුට‍්ඨානිම’ (විපාකවෙදනායෙන් නැගී සිටුනා වෙදනා) නම් වෙදනා විඳුමින් ඒ මහානරකයට අයත් ‘උස්සද’ නිරයෙහි දශවර්‍ෂසහස්‍රයක් කල් පැසිණිමි. පවිට, මට මිනිසකු කය බඳු කය විය. මසකු හිස බඳු හිස විය. –

 

1. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ඝැටීමෙන් දූසී මර යම් නිරයෙක පැසිණි ද, ඒ නිරය කෙබඳු වී ද යත්:

 

2. යහුල් සියෙක් වී. එ හැම තුමූ ම වෙන වෙන වෙදනා දනවන සුලු ය. විධුර මහසව්වන් හා කකුසඳ බුදුනුදු ඝටා දුසී මර යම් නිරයක පැසිණි ද, එ නිරය මෙබඳු වී.

 

3. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල නිරැපවත් දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරැදුකට යෙහි.

 

4. මහමුහුද මැද කල‍්පස‍්ථායී විමානයෝ ඇත. වෛඩූර්‍ය්‍යවර්‍ණ ඇතියහ, රුචිරයහ, (දිලෙන ගිනිකඳුමෙන්) සිළුමත්හ, ප්‍රභාස්වරයහ. නානාත‍්මවර්‍ණ ඇති බොහෝ දෙවඟනො ඒ විමන්හි නටති.

 

5. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල විමානප්‍රවෘත්ති දන්නේ වේ ද, පවිට, එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

 

6. බුදුන් විසින් මෙහයුම් ලද යම් මහණෙක් බික්සඟන බලාසිටිය දී මුවරමාපහය පාදාඞ්ගුෂ‍්ඨයෙන් සැලී ද,

 

7. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

 

8. ඍද්ධිබලයෙන් වහල ලද යම් මහණෙක් පාදාඞ්ගුෂ‍්ඨයෙන්වෛජයන්තප්‍රසාදය සැලී ද, දෙවියන් සංවිග්නත් කළේ ද,

 

9. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

 

10. යම් ඒ මහණෙක් විජයත්පහයෙහි දී “ඇවැත්නි, තෘෂ‍ණාක්‍ෂය විමුක්ති දන්හි දැ?”යි ශක්‍රයා අතින් පිළිවිසී ද, ප්‍රශ්න පුළුවුස්නාලද ශක්‍රයා ද තථ්‍ය සේ ඒ මහණහට විසඳුන් කෙළේ යයි ද,

 

11. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

 

12-14. යම් මහණෙක් ‘සුධර්‍මා’ නම් බ්‍රහ්මසභාසමීපයෙහි දී “ඇවැත්නි, පෙර තට යම් මිසදුටුයෙක් වී ද, තට ඒ දිටු අදත් ඇද්ද, මෙ බඹලොව බඹ ගණ මඩනා බුදුන් ආලොකය දක්හි දැ”යි බඹහු අතින් පිළිවිසී ද, ඒ මහණහට බ්‍රහ්මයා ද “සබඳ, මට යම් මිසදිටුයෙක් පෙර වී ද, ඒ මිස දිටු දැන් නැත. මෙ බඹලොව බඹගණ මැඩගෙන සිටුනා බුදුන් ඔභාස දක්මි. ‘මම නිත්‍යයෙමි, මම ශාශ‍වතයෙමි’ යි මම දැන් කෙසේ කියම් දැ”යි පිළිවෙළ ගෙන තථ්‍ය සේ ප්‍රකාශ කෙළේ ද,

 

15. බුද්ධශ්‍රාවක වන යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

 

16. යම් මහණෙක් මහානෙරුපර්‍වතරාජයාගේ කූටය ධ්‍යානවිමොක්‍ෂ අභිඥ්ඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද, දඹදිව හා පූර්වවිදෙහයන්ගේ දිවයින ද, ගෘහපරිග්‍රහයෙන් භුමිසායි මනුෂ්‍ය කෙනෙක් වෙත් නම්, උන්ගේ දිවයින් ද (උත්තරකුරු - අපරගොයාන ද දිවයින් ද) ධ්‍යානවිමොක්‍ෂභිඥානයෙන් ස්පර්‍ශ කෙළේ ද,

 

17. බුද්ධශ්‍රාවක යම් මහණෙක් තෙල පවත් දන්නේ වේ ද, පවිට එවන් මහණ ඝටා නිරෑදුකට යෙහි.

 

18. ගින්න වනාහි “මම බාලයා දවාලමි”යි ඒකාන්තයෙන් නො වෙළා ගන්නේ ය. ඒ බාලයාම දිලියෙන ගිනි වැදගෙන දැවෙන්නේ ය.

 

19. මාරය, එපරිදි ම තෝ තථාගතයන් වහන්සේ ඝටා තමා දවාගන්නෙහි. ගින්න ස්පර්‍ශ කරන බාලයකු තමා දවා ගන්නාක් සෙයිනි.

 

20. කකුසඳ තථාගතයන් වහන්සේ ඝටා දූසී මාරයා පව් ලැබී ය. පවිට, කීම තෝ “මා පිලිබඳ පව් නො පැසේය”යි සිතහි ද?

 

21. කරනුවාහට පව් රැස්වෙයි. චිරරාත්‍රයෙහි (හේ) වැලපෙයි. පවිට, බුදුන් කෙරෙන් පහව යා. භික්‍ෂූන් කෙරෙහි (ඝටනු පිණිස) ආශා නො කර.

 

22. මෙසේ භෙසකලා වනයෙහිදී මුගලන්මහතෙරණුවෝ මරහු තැති ගැන්වූහ. එයින් ඒ මරදෙවි දුක්පත් සිතැති ව එහි ම අතුරුදන් විය.

 

දසවැනි වූ මාරතජ්ජනිය සූත්‍රය නිමියේ ය.