වීමංසක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

5

චූළ යමක වර්ගය

7

වීමංසක සූත්‍රය

                                                                

1. මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ, අනේවඩු මහසිටාණන්ගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යී භික්‍ෂූන් ඇමැතුසේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

2. මහණෙනි, මෙරමාගේ සිත්නියර (සරාගාදි විභාග විසින් පවත්නා ආකාර පරිච්ඡෙදය) නොදන්නා වීමංසක (විමසන) මහණ විසින් ‘සම්‍යක් සම්බුද්ධ වේ ද හෝ නො වේ ද හෝ’ යි දනු සඳහා තථාගතයන් කෙරෙහි සමන්‍වෙෂන (පිරියෙස්ලි) කළයුතු වෙයි.

 “වහන්ස, අපගේ දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ විනෙතෘ කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බැස සිටුනාහ. වහන්ස තෙල භාෂිතයාගේ අර්ථ භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්ෂුහු ධරන්නාහ”යි.

මහණෙනි, එකරුණින් අසව. මනාකොට මෙනෙහි කරව. කියමියි. ‘වහන්ස එසේ ය’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

3. මහණෙනි, මෙරමාගේ සිත්හසර නොදන්නා වීමංසක මහණ විසින් දෙදහමෙක්හි ලා තථාගතයන් වහන්සේ පර්යෙෂණ කළයුතු වෙති: චක්‍ෂුර්විඥෙය (කායසමාචාර), ශ්‍රොත්‍ර විඥෙය (වාක්සමාචාර) ධර්‍මද්වයෙහිය.

චක්‍ෂුර්විඥෙය වූ ශ්‍රොත විඥෙය වූ ක්ලෙශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙත් ද හෝ නො වෙත් ද හෝයි. තෙල තථාගතයන් වහන්සේ පර්යෙෂණ කරන වීමංසක මහණ මෙසෙයින් දන්නේය: “චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ ක්ලෙශසම්ප්‍රයුක්ත යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට (නැති හෙයින් ම) නැත” කියායි (1)

 “චක්‍ෂුඃ ශ්‍රොත්‍රවිඥෙය වූ ක්ලෙශසම්ප්‍රයුක්ත යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි යම් අවධියෙක ඔබ පර්යෙෂණ කරනුයේ මෙසේ දන්නේ වේ ද, ඔබ ඉන් මතුදු සමන්‍වෙෂණ කෙරෙයි. කෙසේ ය: (කලෙක කෘෂ්ණයහ, කලෙක ශුක්ලයහ යි මෙසේ) ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃ ශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ යි ඔබ සොයනුයේ මෙසේ දන්නේ ය: ව්‍යතිමිශ්‍රවූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැත කියා යි. (2)

යම් අවස්ථාවක ඔබ සොයනුයේ “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රොත්‍ර විඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතුදු ඔබ සොයන්නේ ය. කෙසේ ය: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද’ ඔහු තථාගතයන් වහන්සේට වෙද්ද හෝ නො වෙද්ද හෝ කියා යි. ඔබ සොයාබලනුයේ පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍මකෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැයි මෙසේ දන්නේ ය. (3)

යම් අවස්ථායෙක ඔබ සොයනුයේ “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍ර විඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඔහු තථාගතයන් වහන්සේට ඇතැ” යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතු දු ඔබ සොයන්නේය. කෙසේ ය: “මේ ආයුෂ්මත් (තථාගත තෙම) දීර්‍ඝරාත්‍රයෙහි (බොහෝ කලෙක) සිට මේ කුසලදහමට (ආජිවාෂ්ටමක ශීලයට) සමවන්නේ වේ ද නොහොත් ස්වල්ප කලෙක (ඊයේ පෙරදා) සිට සමවන්නේ වේ ද කියා යි. ඔබ සොයනුයේ “මේ ආයුෂ්මත් දීර්ඝ රාත්‍රයෙහි සිට මේ කුසල් දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය” යි මෙසේ දන්නේ ය. (4)

යම් අවස්ථායෙක ඔබ ගවෙෂණ කරනුයේ “මේ ආයුෂ්මත් දීර්‍ඝරාත්‍රයෙහි සිට මේ කුසල්දහමට සමවන්නේ ය. මේ ආයුෂ්මත් මඳකලෙක සිට සමවන්නේ නො වේය”යි මෙසේ දන්නේ වේ ද, ඉන් මතුදු ඔබ ගවෙෂණ කෙරෙයි. කෙසේය: “මේ ආයුෂ්මත් භික්‍ෂු (තථාගත) තෙම ප්‍රකටභාවයට පැමිණියේ, පිරිවරසැපත් ලදුයේ වේ ද, (ඒහේතුවින්) ඔහට මෙහි (මානාතිමානාදී) කිසි ආදීනව ඇද්ද,” කියා යි.

“මහණෙනි, යම්තාක් ප්‍රකටභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ නො වේ ද, ඒතාක් මහණහට මෙහි (මානාතිමානාදි) ඇතැම් ආදීනවයෝ නො වෙති. මහණෙනි, යම් අවධියෙක සිට මහණ අභිඥාතභාවයට පැමිණියේ, පරිවාර සම්පත් ලදුයේ වේ ද, එක්බිති ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ ඇති වෙති.”

ඔබ (මේ කරුණෙහි ලා) ගවෙෂණ කරනුයේ “මේ ආයුෂ්මත් භික්‍ෂු ප්‍රනීත භාවයට පැමිණියේ, පිරිවරසැපත් ඇතියේ වෙයි. ඔහට මෙහි කිසිදු ආදීනව නැතැ”යි මෙසේ දන්නේ ය. (5)

යම් අවධියෙක ඔබ ගවෙෂණ කරනුයේ, “මේ ආයුෂ්මත් භික්‍ෂූ වනාහි ප්‍රසිද්ධියට පැමිණියේ, පරිවාරසම්පත් ඇතියේය (ඒ හෙතුයෙන්) ඔහට මෙහි ඇතැම් ආදීනවයෝ නැතැ”යි මෙසේ දන්නේ වේ ද, ඉන්මතු ද ඔබ ගවෙෂණ කෙරෙයි. කෙසේ ය: “මේ ආයුෂ්මත් අභයප්‍රාප්ත ව කාමයෙන් වැළැක්කේ වී ද, මේ ආයුෂ්මත් භයප්‍රාප්ත ව වැළැක්කේ නො වී ද, රාගක්‍ෂයහෙතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේ වේ ද, කියායි. ඔබ (මෙසේ) සොයනුයේ “මේ ආයුෂ්මත් අභයොපරත වේ. මේ ආයුෂ්මත් භයොපරත නො වේ. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හෙතුයෙන් වීතරාග බැවින් කාමයන් නො සෙවුනේය”යි මෙසේ දන්නේ ය. (6)

මහණෙනි, “මේ ආයුෂ්මත් අභයොපරත වෙයි. මේ ආයුෂ්මත් භයොපරත නො වෙයි. මේ ආයුෂ්මත් රාගක්‍ෂය හෙතුයෙන් කාමයන් නොසෙවුනේ ය” යි භවත් යම්හෙයකින් මෙසේ බෙණේ ද, ඒ ආයුෂ්මත්හුගේ තදාකාරයෝ කවරහ, ඒ අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ”? යි සෙස්සෝ ඒ විචාරක මහණ අතින් මෙසේ පැන පිළිවිසිත් නම්, මහණෙනි, මනාකොට පිළිතුරු දෙන මහණ මෙසේ පසතුරු දෙන්නේය: එසේ මැය. මේ ආයුෂ්මත් සඟුන් මැද වාස කරන්නේ වේවයි, එකලාව වාස කරන්නේ වේවයි, එහි සුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි දුපිළිපන් යම් කෙනෙක් ඇද්ද, එහි යම් කෙනෙක් (ගණබන්‍ධන බද්ධ ව) ගණානුශාසනා කෙරෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙහි පැනීයෙද්ද, මෙසස්නෙහි යම් කිසි කෙනෙක් ආමිසයෙන් අනුපලිප්ත වෙද්ද, මේ ආයුෂ්මත් ශාස්තෘ තෙමේ එබඳු මහණ ඒ ඒ කරුණින් හෙළා නො දක්නේ ය. “මම අභයොපරත යෙමි, මම භයොපරත නො වෙමි රාගක්‍ෂය හෙතුයෙන් වීතරාග වන බැවින් කාමයන් නො සෙවුනෙමි”යි තෙල කරුණ මා විසින් බුදුන් හමියෙහි අසන ලදී, හමියෙහි පිළිගන්නා ලදැ”යි කියා යි.

4. මහණෙනි, ග්‍රන්ථිවීමංසකය (සාධන විමසන්නා), මූලවීමංසකය (ශාස්තෘවරයාගෙන් ම අසා විමසන්නා) යන වීමංසකයන් අතුරෙහි මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ ම මතුයෙහි පිළිවිසියයුතු වෙති:

 “ක්ලෙශසම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි කියායි. මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරති: “ක්ලෙශ සම්ප්‍රයුක්ත වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියායි. (1)

 “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හො ” යි (මූලවීමංසකයා විසින් තථාගතයන් වහන්සේ පිළිවිසියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “ව්‍යතිමිශ්‍ර වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට නැත” කියා යි. (2)

පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇද්ද හෝ නැද්ද හෝ”යි (පිළිවියයුතු වෙති.) මහණෙනි, එය ප්‍රකාශ කරන තථාගතයන් වහන්සේ මෙසේ ප්‍රකාශ කෙරෙති: “පරිශුද්ධ වූ චක්‍ෂුඃශ්‍රොත්‍රවිඥෙය යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, ඒ ධර්‍මයෝ තථාගතයන් වහන්සේට ඇත. මම තෙල (පරිශුද්ධ ආජිවාෂ්ටමක ශීල ධර්‍මය) පථය කොට (විමසනුවන්ට ජානත මාර්ග කොට) ඇතියෙමි. තෙල ගොදුරු කොට (මා කෙරෙහි විෂය කොට) ඇතියෙමි. ඒ පරිශුද්ධ ශීලය නිසා තෘෂ්ණා සහිතයෙම් ද නො වෙමි.” (3)

5. මහණෙනි, ශ්‍රාවක තෙම එවංවාදී (මෙසේ බණන) ශාස්තෲන් වහන්සේ කරා ධර්‍මශ්‍රවණය සඳහා එළඹෙන්නට නිසි වෙයි. ශාස්තෲන් වහන්සේ ඔහට මතුමතුයෙහි (අර්ථවිශෙෂය වැඩිවැඩියෙන් පැහැදිලි වනසේ) ප්‍රණීත ප්‍රණීත කොට, පාපපුණ්‍යයන් ඔවුනොවුන් විපක්‍ෂ විපාක ඇති බැව් ද දක්වමින් දහම් දෙසත්. මහණෙනි, ශාස්තෲන් වහන්සේ මහණ හට යම් යම් පරිද්දෙකින් මතුමතුයෙහි ප්‍රණිතතර කොට කෘෂ්ණ ශුක්ල ධර්‍ම සප්‍රතිභාග කොට දක්වමින් දහම් දෙසන සේක් ද, ඒ මහණ ඒ ඒ පරිදි දෙසු ඒ දහමෙහි කිසි ධර්‍මයක් ප්‍රතිවෙධ වශයෙන් දැන (අභිඥාත වූ ඒ ප්‍රතිවෙධ ධර්‍මයන්) දෙශනාධර්‍මයෙහි (සත්‍යය පිළිබඳ) නිෂ්ඨාවට යෙයි: “භාග්‍යවත්හු සම්‍යක්සම්බුද්ධයහ”යි ශාස්තෲන් වහන්සේ කෙරෙහි පහදී. “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ”යි පහදී.

6. මහණෙනි, “භගවත්හු සම්‍යක්සම්බුද්ධයහ, භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, සඞ්ඝයා සුපිළිපන්හ යි යම් හෙයෙකින් ආයුෂ්මත් මෙසේ බෙණේ ද, ආයුෂ්මත්හුගේ එයට සාධනයෝ කවරයහ, එයට අනුබුද්ධීහු (ප්‍රමාණ) කවරහ?”යි පරනු ඒ මහණ මෙසේ පුළුවුසිත් නම්, මහණෙනි, මොනොවට ප්‍රකාශ කරන මහණ මෙසේ පවසන්නේය: “ඇවැත්නි, මම ධර්‍මශ්‍රවණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියෙමි. භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට ශුක්ල කෘෂ්ණ ධර්‍ම සප්‍රතිභාග කොට දහම් දෙසති. ඇවැත්නි, යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ මට මතු මතුයෙහි ප්‍රණීතතර කොට පව්පින් ප්‍රකිපක්‍ෂ විපාක ඇතියවුන් කොට දහම් දෙසත් ද එපරිදි මම ඒ දහම්හි කිසි දහමක් ප්‍රතිවෙධ විසින් දැන දෙශනා ධර්‍මයෙහි නිෂ්ඨාවට ගියෙමි: භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයහයි ඔබ කෙරෙහි පැහැදිණිමි. භාග්‍යවතුන් විසින් ධර්‍මය ස්වාඛ්‍යාතය, (භාග්‍යවත්හුගේ ශ්‍රාවක) සඞ්ඝයා සුපිළිපන්හයි පැහැදිණිමි.

7. මහණෙනි, යම්කිසිවක්හට මෙ අයුරින් මේ පෙදෙන් මේ ව්‍යාඤ්ජනයෙන් තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ පිහිටියේ වේ ද, (ශ්‍රොතාපත්ති මාර්ගයෙන් හටගත්මුල් ඇති වේ ද,) මහණෙනි, මේ සකාරණ (ප්‍රතිවෙධ සහිත) ශ්‍රද්ධාව දර්ශන (ශ්‍රොතාපත්තිමාර්ග) මූලිකය, දෘඪය. මහණකු විසින් වේවයි, බමුණකූ විසින් වේවයි, දෙවියකු විසින් වේවයි, මරහු විසින් වේවයි, බඹහු විසින් වේවයි, ලොව අන් කිසිවකු විසින් වේවයි, හැරැලිය නො හෙයි.

මහණෙනි, මෙසේ තථාගතයන් කෙරෙහි ධම්මසමන්නෙසනා (ස්වභාව සමන්වෙෂණ) වෙයි. මෙසේ තථාගතයන් වහන්සේ ධර්‍මතායෙන් (ඇතිසැටියෙන්) සමන්නෙසනා කරනලද වෙති.

භාග්‍යවතුන් වහන්සේ මේ (බුද්ධසීහනාද නම් වන) සූත්‍රාන්තය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවින් පිළිගත්හ.

සත්වැනි වූ වීමංසක සූත්‍රය නිමියේ ය.