සාලෙය්‍යක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

5

ඕපම්ම වර්ගය

1

සාලෙය්‍යක සූත්‍රය

   

1. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟන හා සමඟ කොසොල් දනවියෙහි (අතුරිතචාරිකා විසින්) සැරිසරනසේක් කොසොල්රැටියන්ගේ සාලා නම් බමුණු ගමට වැඩිසේක.

 

2. සාලා බමුණුගැමි බමුණු ගැහැවියෝ “භවත්නි, සැහැපුත්, සැහැකුලෙන් පැවිදිපත්, මහණගොයුම්හු මහබික්සඟන හා සමඟ කොසොල් දනව්හි සැරිසරනසේක් සාලාගමට වැඩිසේක්ල. ඒ භවත් ගොයුම් ගොතුවන්ගේ මෙබඳු කලණ යසගී පැනැනැඟිණ: ඒ භගවත්හු මෙ කරුණිනුදු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිත්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථියහ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ. ඒ භගවත්හු දෙවියන් සහිත මරුන් සහිත මෙලොව හා, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමා විසින් දැන පසක් කොට දන්වත් ඒ භගවත්හු ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්ය්‍යවසාන කල්‍යාණ කොට සාර්ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසත්. කෙවලපරිපූර්ණ පරිශුද්ධ බඹසර පවසත්. එවන් රහතුන් දස්නෙක් වේ නම් මනා මැ නු”යි ඇසූහු මැයි.

 

3. එසඳ සාලාගම බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු වූහු තුස්නට නිසි සිහිකරන්නට නිසි කථා කොට නිමවා එකත්පස් ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස්ව හුන්හු. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමියෙහි නම්ගොත් අස්වා එකත්පස් ව හුන්හු. කෙනෙක් නිහඬ ව එකත්පස් ව හුන්හු. එකත්පස් ව හුන් සාලාගම බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:

 

4. භවත් ගොයුම් ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් පහ ව ගිය, නපුරුගති ඇති, විනිවාප වූ, නිරැ වැදැ ගනිද්ද, එයට හෙතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය? භවත් ගොයුම්ගොතුව, යම් හෙයෙකින් මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්ගලොකයට වැද ගනිද්ද, එයට හෙතු කවරේ ය? ප්‍රත්‍යය කවරේ ය?යි පුළුවුත් හු.

 

5. ගැහැවියෙනි, අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා හෙතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි සැපෙන් වෙන් ව සිටි, නපුරුගති ඇති, විනිපාත වූ නිරැ වැදගනිති. ගැහැවියෙනි, ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා හෙතුයෙන් මෙසේ මෙලොව කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි මනාගති ඇති ස්වර්ගලොකයට වැද ගනිතියි වදාළහ.

 

6. “විස්තර විසින් අර්ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, භවත් ගොයුම්ගොතුවන්ගේ තෙල බස පිළිබඳ ව විස්තර වශයෙන් අර්ත්‍ථමාර්‍ගය අපි නො දනුම්හ. භවත් ගොයුමන් විස්තර විසින් අර්ත්‍ථවිභාග නොකළ, සැකෙවින් වදහළ, තෙල බස ගෙන යම් සැටියෙකින් අපි විස්තර විසින් අර්ත්‍ථ දැනැගනුමෝ නම්, භවත් ගෞතමයන් වහන්සේ ඒ සැටියෙන් අපට දහම් දෙසනසේක් නම් මනා මැනු”යි සැළකළහ. “ගැහැවියෙනි, එසේ නම් අසව, මනාකොට මෙනෙහි කරව, කියම්හ”යි වදාළහ. භවත්නි, එසේ යැ යි සල්ගැමි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:

 

7. ගැහැවියෙනි, කායද්වාරයෙන් අධර්‍මචර්ය්‍යා සඞ්ඛ්‍යාත විෂමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා චතුර්විධ වෙයි. මනොද්වාරයෙන් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි.

 

8. ගැහැවියෙනි, කෙසේ කායද්වාරයෙන් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා කරනු වෙයි, කැකුළු වෙයි. ලෙයින් වැකි අත් ඇති වෙයි. මෙරමා කෙටීමෙහි දු මැරීමෙහි දු නිවිෂ්ට වෙයි. ප්‍රාණීන් කෙරෙහි නිදැලි වෙයි. අයිනාදන් කරනුවෙයි. පරා අයත්, එයින්ම පරාසතු පරා තුටු කරන පිරිකරබඩු ගම්හි තැබුවා වේවායි, අරන්හි තැබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැන ස්තෙයසඞ්ඛ්‍යාතයෙන් (සොරසිතින්) ගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර ඇතිවෙයි: මාතුරක්ඛිතා ය, පිතුරක්ඛිතා ය, මාතාපිතුරක්ඛිතා ය, භාතුරක්ඛිතා ය, භගිනිරක්ඛිතා ය, ඤාතිරක්ඛිතා ය, ගොත්තරක්ඛිතා ය, ධම්මරක්ඛිතා ය, සස්සාමිකා ය, සපරිදණ්ඩා යයි යම් ම ස්ත්‍රී කෙනෙක් ඇද්ද, යටතින් මාලාදාමයෙන් විවාහපිණිස පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරි භාවයට පැමිණෙනු වෙයි. ගැහැවියෙනි, මෙසේ කාදොරින් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි.

 

9. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා චතුර්විධ වේය යත්: ගැහැවියෙනී, මෙලොව එකෙක් මුසවා බණනු වෙයි: සෙබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේව යි, සෙනිකුලන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා” යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනුලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව හේ නොදන්මින් හෝ දන්මී කියයි. දන්මින් හෝ නොදන්මී කියයි, නොදක්මින් හෝ දක්මී කියයි, දක්මින් හෝ නොදක්මී කියයි. මෙසේ ආත්මහෙතුයෙන් වේවයි, පරහෙතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හෙතුයෙන් වේවයි, දැන දැන මුසවා බණනු වෙයි. පිසුනුබස් ඇති වෙයි: මෙහි දී අසා මුන් බිඳුනා සඳහා එතැන කියනු වෙයි, එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට කියනු වෙයි. මෙසේ සමඟි දෙයහළු බිඳුනේ හෝ වෙයි, බිඳුණු දෙයහළුවන් වියෝවනු සඳහා අනුබල දෙනු හෝ වෙයි. වර්ග ව සිටිනු දක්නා කැමැතියේ, වර්ගයෙහි ඇලුම් ඇතියේ, වර්ගව සිටුනා දැක තුස්නේ (සමග වූවනුදු බිඳී යනසේ) වර්ග කරන බස් බණනු වෙයි. පරුස් බස් ඇති වෙයි: (ගරහනු අවමනු ඈ වදනින්) අඬු ඇති, කැකුළු, පරහට කුළු වූ, (චිත්ත දූෂණ උදාකරන) මෙරමා ඝටන, කොපයට අසල්ව සිටුනා, සමාධියට හානිකර යම් ම බස් ඇද්ද, එබඳු බස් බණනු වෙයි. ප්‍රලාප ඇති වෙයි: (යුතුකල් පියා) අයතුකල කියනු වෙයි, නොවූ දැය කියනු වෙයි, අර්ත්‍ථරහිත දැය කියනු වෙයි, අස්වභාව කියනු වෙයි, සංවරවිනය නොකියනු වෙයි, (හෘදයම ඤ්ජුෂායෙහි) නිදහනට නොනිසි බස් බණනු වෙයි, අකාලයෙහි සූත්‍රාපදෙශරහිත කොට පර්ය්‍යන්තරහිත කොට අනර්ත්‍ථසංහිත කොට බෙණේ. ගැහැවියෙනි, මෙසේ විසිදොරින් අධර්‍මචර්ය්‍යාවිෂමචර්ය්‍යා චතුර්විධ වෙයි.

 

10. ගැහැවියෙනි, කෙසේ මනොද්වාරයෙන් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා ත්‍රිවිධ වේ ය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිධ්‍යාබහුල වෙයි. පරා අයත් යම් පිරිකර බඩු ඇද්ද, එබඩු (තමනට වුව මැනැව යන) ලොබ සිතින් බලනු වෙයි. “අහෝ, පරාසතු යම් දැයෙක් වේ ද, ඒ මා සතු වේවයි” පතනුයේ වෙයි. විපන්සිත් ඇති වෙයි, ද්වෙෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති වෙයි: “මෙසත්හු ඝාතන ලබත්වයි හෝ, සිඳුන ලබත්වයි හෝ නසනුලබත්වයි හෝ, නොහොත් නහමක් වෙත්වයි හෝ” කියායි. විපර්ය්‍යාසදර්ශන ඇති මිසදිටුයෙක් (අකුසලදර්ශන ඇතියෙක්) හෝ වෙයි: “දුන් දැය විපාක නැත. යාගවිපාක නැත. අමුතුවනට යුතු කළ දන විපාක නැත. කුශලාකුශල කර්‍මයන්ගේ ඵලවිපාක නැත. (පරලොව සිටියානට) මෙලෝ නැත. (මෙලෝ සිටියානට) පරලෝ නැත. (මාපියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති - මිථ්‍යා ප්‍රතිපත්තියෙන් වන ඵල නැතියෙන්) මවු නැත. පියා නැත. (සැව උපදනා සතුන් නැතියෙන්) ඔපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට ගෙන පවසද්ද, එබඳු සම්‍යග් ගත, සම්‍යක් ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව නැත” කියායි. ගැහැවියෙනි, මෙසේ මනදොරින් අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි.

 

11. ගැහැවියෙනි, මෙසේ අධර්‍මචර්ය්‍යා විෂමචර්ය්‍යා හෙතුයෙන් කිසි සත්ත්‍ව කෙනෙක් මෙසෙයින් කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ ව සිටි, නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට වැද ගනිති.

 

12. ගැහැවියෙනි, කායද්වාරයෙන් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි. වාග්ද්වාරයෙන් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා චතුර්විධ වෙයි. මනොද්වාරයෙන් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි.

 

13. ගැහැවියෙනි, කෙසේ කාදොරින් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් පණිවා හැරැ පියා පණිවායෙන් දුරුවූයේ වෙයි: බහා ලූ දඬු ඇති ව, බහා ලූ සත් ඇති ව, (පාපජුගුප්සා ලක්‍ෂණ) ලජ්ජා ඇති ව, දයාපන්න ව, සර්‍වසත්ත්‍ව හිතානුකම්පී ව වාස කෙරෙයි. අයිනාදන් හැර පියා අයිනාදනින් වැළකියේ වෙයි: පරා අයත්, එයින් ම පරාසතු, තුටු උපදවන, පිරිකර බඩු ගම්හි තුබුවා වේවයි, අරන්හි තුබුවා වේවයි ඇද්ද, ඒ නුදුන් දැය ස්තෙයසඞ්ඛ්‍යාත සොරසිතින් නොගන්නා සුලු වෙයි. කාමයෙහි මිසහසර හැර පියා කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි: මතුරක්ඛිතාය, පිතුරක්ඛිතාය, මාතාපිතුරක්ඛිතාය, භාතුරක්ඛිතාය, භගිනිරක්ඛිතාය, ඤාතිරක්ඛිතාය, ගොත්තරරක්ඛිතාය, ධම්මරක්ඛිතාය, සස්සාමිකාය, සපරිදණ්ඩා ය යි යම්ම ස්ත්‍රි කෙනෙක් ඇද්ද, යටතින් මල්දමින් පිරිකෙව් ලද්දියක් හෝ ඇද්ද, එබඳු මාගමුන් කෙරෙහි මිථ්‍යාචාරිත්වයට නොපැමිණෙනු වෙයි. ගැහැවියෙනි මෙසේ කායද්වාරයෙන් ධර්‍මාචාර්ය්‍යා සමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි.

 

14. ගැහැවියෙනි, කෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මාචාර්ය්‍යා සමචර්ය්‍යා චතුර්විධ වේය යත්: ගැවියෙනි, මෙලොව එකෙක් මුසවා හැරැපියා මුසවායෙන් වැළකියේ වෙයි: සබෙහි සිටියේ වේවයි, ගම්පිරිස්හි සිටියේ වේවයි, නෑමුළුයෙහි සිටියේ වේවයි, සේනාසමූහයන් මැද සිටියේ වේවයි, රජකුලන් මැද මහවිනිසෙහි සිටියේ වේවයි, “එම්බා පුරුෂය, යමක් දන්හි ද, එ කියා”යි පුළුවුස්නා සඳහා අභිමුඛයට කැඳවනලදු ව, සාක්‍ෂි කොට පුළුවුස්නාලදු ව, හේ නොදන්මින් හෝ නො දන්මී කියයි. දන්මින් හෝ දන්මී කියයි. නොදක්මින් හෝ නොදක්මී කියයි. දක්මින් හෝ දක්මී කියයි. මෙසේ ආත්මහෙතුයෙන් වේවයි, පරහෙතුයෙන් වේවයි, අල්පමාත්‍ර අත්ලස්හෙතුයෙන් වේවයි, දැන දැන මුසවා නො බණනු වෙයි. පිසුනු බස් පියා පිසුනු බසින් වැළකියේ වෙයි. මෙහිදී අසා මුන් බිඳුනා සඳහා එතැන නොකියනු වෙයි. එතැන දී හෝ අසා උන් බිඳුනා සඳහා මුනට නොකියනු වෙයි. මෙසේ බිඳුණු දෙයහළුවන් සන්‍ධාන කරනු හෝ වෙයි. සමගි දෙයහළුවන් සන්‍ධාන සඳහා අනුබල දෙනු හෝ වෙයි. සමග ව සිටිනු දක්නා කැමතියේ, සමගියෙහි ඇලුම් ඇතියේ, සමග ව සිටුනා දැක තුස්නේ, සමග කරන බස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි. නිදොස්, කනට සුවදා, පෙම් දනවන, ළගන්නා, පුරවැසියනට නිසි, බොහෝදෙනාට පිය වූ, බොහෝදෙනා මනවඩන යම් බස් ඇද්ද, එබඳු බස් කියනු වෙයි. ප්‍රලාප පියා පලපින් වැළකියේ වෙයි. බුණුව මනා කල් බලා බණනු වෙයි. ඇතිසැටි බණනු වෙයි. අරුතු බණනු වෙයි. දහම් බණනු වෙයි. විනය දහම් බණනු වෙයි. යුතුකල කරුණු සහිත, පිරිසිඳුම් ඇති, අරුත් ඇසිරි කළ ළෙහි නිදහන් කළයුතු බස් බණනු වෙයි. ගැහැවියෙනි, මෙසේ වාග්ද්වාරයෙන් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා චතුර්විධ වෙයි.

 

15. ගැහැවියෙනි, කෙසේ මනොද්වාරයෙන් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා ත්‍රිවිධ වේය යත්: ගැහැවියෙනි, මෙලොව එකෙක් අභිද්‍යාබහුල නොවෙයි. පරාඅයත් එයින් ම පරාසතු තුටු දනවන, යම් පිරිකර බඩු ඇද්ද, ඒ ලොබසිතින් නොබලනු වෙයි: “පරාසතු යම් දැයෙක් වේද, ඒ මා සතු වේවයි පතනුයේ නොවෙයි. විපන් සිත් ඇති නොවෙයි ද්වෙෂයෙන් දුෂ්ට චිත්තසඞ්කල්ප ඇති නොවෙයි”. “මෙ සත්හු අවෛර ව, අව්‍යාබාධ ව, අනීඝ ව, සුඛිතව ආත්ම පරිහරණ කෙරෙත්වා” කියාය. අවිපරීත දර්ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි: “දුන් දැය විපාක ඇත. යාග විපාක ඇත. අමුතුවනට සකස් කළ දන විපාක ඇත. කුශලාකුශලකර්මයන්ගේ ඵලවිපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවු ඇත. පියා ඇත. ඔපපාතික සත්ත්‍වයෝ ඇත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ට ඥානයෙන් පසක් කොටගෙන පවසද්ද, එබඳු සම්‍යග්ගත, සම්‍යක්ප්‍රතිපන්න මහණ බමුණෝ ලොව ඇත” කියාය. ගැහැවියෙනි, මෙසේ මනදොරින් ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා ත්‍රිවිධ වෙයි.

 

16. ගැහැවියෙනි, මෙසේ ධර්‍මචර්ය්‍යා සමචර්ය්‍යා හෙතුයෙන් මෙලොව මෙසේ කිසි සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතුයෙහි ශොභනගති ඇති ස්වර්ගලොකයට වැදගනිති.

 

17. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම් කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි කැත්මහසල් කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවරහෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බමුණු මහසල්කුලන්ගේ වේවයි, සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු” යි ... ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණෙම් නම් මනා මැනු” යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි ගැහැවිමහසල්කුලන්ගේ වේවයි සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.

 

18. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමති වේ නම් “හේ කාබුන් මරණින් මතුයෙහි සිවුමහරජ වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින. ගැහැවියෙනි. ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ... යාම වැසි දෙවියන්ගේ... තුසී පුර වැසි දෙවියන්ගේ... නිම්මානරති වැසි දෙවියන්ගේ... පරනිම්මීතවසවත්ති වැසි දෙවියන්ගේ... සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි. කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි පරනිම්මිත වසවත්ති දෙවියන් ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි, එහෙයින.

 

19. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම්, මනා මැනු”යි කැමති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි බ්‍රහ්මකායිකදෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේ ය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරි සමචාරී පුද්ගල “මම කාබුන් මරණින් මතුයෙහි ආභ දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... සුභ දෙවියන්ගේ … පරිත්තසුභ දෙවියන්ගේ … අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්නක දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකනිට්ඨක දෙවියන්ගේ ... ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ ... විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ ... ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ ... නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ කාබුන් මරණින් මතුයෙහි නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණේ” යන තෙල කරුණ සිදු වන්නේය, ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එ හෙයින.

 

20. ගැහැවියෙනි, ඉදින් ධර්‍මචාරී සමචාරී පුද්ගල “මම ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙම් නම් මනා මැනු”යි කැමැති වේ නම්, “හේ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්ති - ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරේ” යන තෙල කරුණ සිදුවන්නේය. ඒ කවර හෙයින යත්: හේ ධර්‍මචාරී සමචාරී වෙයි. එහෙයින.

 

21. මෙසේ වදාළ කල්හි සල්ගම් වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ සළහ: භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, ඉතා මැනවි, භවත් ගොයුම්ගොතුවෙනි, යම් පරිදි යටිහුරු කළ දැයක් හෝ උඩුහරු කරන්නේ වේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ වේ ද, මග මුළාපත් යමකුට මග හෝ කියාපානේ වේද, ‘ඇස් ඇතියාහු රූ දක්නාහ’ යි අඳුරුයෙහි තෙල් පහන් ධරන්නේ හෝ වේ ද, එපරිදි ම භවත් ගොයුම් ගොතුවන් විසින් නන්නියරින් දහම් පැවසිණ. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ, ධර්‍මය හා බික්සඟන ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද ආදිකොට අප දිවිහිමියෙන් සරණගත උපාසකයන් සේ රුස්නාසේක්වයි සැළ කළහ.

 

සාලෙය්‍යක සූත්‍රය පළමු වැනියි