චූළඅස්සපුර සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

10

චූළඅස්සපුර සූත්‍රය

 

 

1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්හි අඟුරට වැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණුන් ඇමතුසේක. ඒ මහණහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

 

2. මහණෙනි, මහදෙනේ ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි තොප හඳුනාගනී. තෙපිදු ‘තෙපි කවරව’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරන්නාව. මහණෙනි, මෙබඳු ශ්‍රමණසංඥා ලත්, මෙබඳු ශ්‍රමණ ප්‍රතිඥා කරන, ඒ තොප විසින් “යම් මහණුනට නිසි අනුලොම් පිළිවෙත් ඇද්ද, එ පිළිවෙත් පිළිපදුම්හ. මෙසේ පිළිපදුත් ම, අපගේ මේ ශ්‍රමණසංඥාත් සත්‍ය වෙයි, ප්‍රතිඥාත් යථාර්ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳකරමෝ නම්, අප කෙරෙහි කරන උන්ගේ ඒ සත්කාරයෝ මහත්ඵල මහානෘශංස වෙතී. අපගේ ද මේ පැවිද්ද අවන්‍ධ්‍ය වෙයි, සඵල වෙයි, වෘද්ධි සහිත වේ”ය යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේය.

 

3. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත නො පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලොභබහුල යම්කිසි මහණකුට ඒ දළලොබ නොපුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද නොපුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රොධ නොපුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බද්ධවෛර නොපුහුන් වේ ද, මකුගුණ ඇති මහණකුට ඒ මකුසැහැවි නොපුහුන් වේ ද, (යුගග්‍රාහ ලක්‍ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස ප්‍රහීණ නො වේ ද, ඊර්ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්ෂ්‍යා ප්‍රහීණ නො වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරු බව ප්‍රහීණ නො වේ ද, ශඨ වූ මහණකුට ඒ සට බව ප්‍රහීණ නො වේ ද, මායා ඇති මහණකුට ඒ මායා ප්‍රහීණ නො වේ ද, පාපඉච්ඡා ඇති මහණකුට ඒ පාපෙච්ඡා ප්‍රහීණ නො වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු ප්‍රහීණ නො වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවා දුකට කරුණු වන, මේ මහණමල, මහණදොස්, මහණකසළ ප්‍රහීණ නො කිරීමෙන් සමණසාමිචිපටිපදා නො පිළිපන්හ’යි මම කියමි. මහණෙනි, යම්සේ දෙපස මුවාත් ඇති, දියපී, නහස්නා පහණ (උරගල) ගා තියුණුකළ මටජ නම් ආයුධ ජාතයෙක් වේද, එද සඟළින් පොරොනා ලදුයේ, (කොපුවෙහි බහන ලදුයේ) මැනැවින් වෙළෙනා ලදුයේ වේ ද, මහණෙනි, මම මේ මහණහුගේ පැවිද්ද එබඳු කොට කියමි.

 

4. මහණෙනි, මම සඞ්ඝාටිධාරණය සිල්කොට ඇතියහුගේ සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අචෙලකයාගේ බහාලුපිළී ඇතිමතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම රජොජල්ල ධාරණය සිල් කොට ඇතියහුගේ රජස්දැලි ධැරීම් මාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම දවස තුන්යලක් උදකාවගාහය (දියෙහි බැසීම) සිල් කොට ඇතියහුගේ උදකාවගාහමාත්‍රයෙන් මඟඵල නො වදාරමි. මහණෙනි, මම වෘක්‍ෂමූලවාසය සිල් කොට ඇතියහුගේ වෘක්‍ෂමූලවාසමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම අභ්‍යවකාශවාසය සිල්කොට ඇතියහුගේ අභ්‍යවකාශවාසිකමාත්‍රයෙන් මඟඵල නොකියමි. මහණෙනි, මම උඩුකුරුව සිටිනු සිල් කොට ඇතියහුගේ උඩුකුරුව සිටීම්මතුයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම (මාසයෙකින් වේවයි, අඩමසෙකින් වේවයි වාරවශයෙන් බුදින) පර්ය්‍යායභක්තභොජනය සිල් කොට ඇතියහුගේ පර්ය්‍යායභක්ත භොජනශීලමාත්‍රයෙන් මඟඵල නොවදාරමි. මහණෙනි, මම වෙදමන්ත්‍රහදාරන්නහුගේ මතුරුහදාරනු මතුයෙන් මඟ ඵල නොවදාරමි. මහණෙනි, මම ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.

‍5. මහණෙනි, ඉදින් සඞ්ඝාටි ධරණ අභිධ්‍යාබහුලයාගේ අභිධ්‍යාව සඞ්ඝාටිධාරණමාත්‍රයෙන් පහ ව යේ නම්, ව්‍යාපන්න චිත්ත පුද්ගලයාගේ ව්‍යාපාදය පහ ව යේ නම්, කොධශීලීහුගේ ක්‍රොධය පහ ව යේ නම්, උපනාහී පුද්ගලයාගේ උපනාහය පහ ව යේ නම්, ම්‍රක්‍ෂීපුද්ගලයාගේ මුක්‍ෂය පහ ව යේ නම්, පළාසිපුද්ගලයාගේ පළාසය පහ ව යේ නම්, ඉස්සුකී පුද්ගලයාගේ ඊර්ෂ්‍යාව පහ ව යේ නම්, මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, සඨපුද්ගලාගේ සඨබව පහ ව යේ නම්, මායා ඇතියහුගේ මායාව පහ ව යේ නම්, පාපෙච්ඡයාගේ පාපෙච්ඡා පහ ව යේ නම්, මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිථ්‍යාදෘෂ්ටි පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයෝ ද නෑසහලේනෑයෝ ද ජාතමාත්‍ර වූ ම (උපන්දා උපන්වන ම සිටි) තුලුන් සඞ්ඝාටික කරන්නාහ’ සාඞ්ඝාටිකත්වය ම සමාදන්කරවන්නාහ. කෙසේය යත්: “භද්‍රමුඛය, තො එ. සාඞ්ඝාටික ව. සඞ්ඝාටික වූ අභිධ්‍යා බහුල තාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් අභිධ්‍යා පහව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහව යෙයි. ක්‍රොධඇති තාගේ ක්‍රොධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ මුක්‍ෂය පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්ය්‍ය පහ ව යෙයි. සඨ වූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහ ව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපෙච්ඡා පහව යෙයි. මිච්ඡාදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි’ කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව සඞ්ඝාටික වූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් සඞ්ඝාටිකයාගේ සඞ්ඝාටිධාරණ මාත්‍රයෙන් මඟඵල නොවදාරමි.

 

6. මහණෙනි, ඉදින් අචෙලක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් රජොජල්ලික අභිධ්‍යා බහුලයාගේ ... මහණෙනි, ඉදින් උදකාවගාහක අභිධ්‍යාබහලයාගේ ... මහණෙනි, ඉදින් රුක්ඛමූලික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් අබ්භොකාසික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් උබ්භට්ඨක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් පරියායභත්තික අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් මන්තජ්ඣායක අභිධ්‍යාබහුලයාගේ ... මහණෙනි, ඉදින් ජටිලක අභිධ්‍යාබහුලයාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යේ නම්, (ජටිලකවූ) ව්‍යාපන්න සිත් ඇතියහුගේ ව්‍යාපාද පහ ව යේ නම්, (ජටිලක වූ) ක්‍රොධ ඇතියහුගේ ක්‍රොධය පහ ව යේ නම්, (ජටිලක වූ) බද්ධවෛර ඇතියහුගේ බද්ධවෛරය පහ ව යේ නම්, (ජටිලක වූ) ම්‍රක්‍ෂ ඇතියහුගේ ම්‍රක්‍ෂය පහ ව යේ නම්, (ජටිලක වූ) යුගග්‍රාහ ලක්‍ෂණපළාස ඇතියහුගේ පළාසය පහ ව යේ නම්, (ජටිලක වූ) ඊර්ෂ්‍යා ඇතියහුගේ ඊර්ෂ්‍යා පහ ව යේ නම්, (ජටිලක වූ) මසුරු ඇතියහුගේ මසුරුබව පහ ව යේ නම්, (ජටිලක වූ) සඨයාගේ සඨබව පහ ව යේ නම්, (ජටිලක වූ) මායාවීහුගේ මායා පහ ව යේ නම්, (ජටිලක වූ) පාපෙච්ඡයාගේ පාපෙච්ඡා පහ ව යේ නම්, (ජටිලක වූ) මිථ්‍යාදෘෂ්ටිකයාගේ මිසදිටු පහ ව යේ නම්, මිත්‍රාමාත්‍යයන් හා නෑසහලේ නෑයෝ ජාතමාත්‍ර වූ ම තුලුන් ජටිලක කරන්නාහ. ජටිලක බව ම සමාදන් කරවන්නාහ. කෙසේ ය යත්: “භද්‍ර මුඛය, තෝ එව ජටිලක ව ජටිලක වූ අභිධ්‍යාබහුල තාගේ ජටාධාරණමාත්‍රයෙන් අභිධ්‍යා පහ ව යෙයි. ව්‍යාපන්නචිත්ත වූ තාගේ ව්‍යාපාද පහ ව යෙයි. ක්‍රොධන වූ තාගේ ක්‍රොධ පහ ව යෙයි. උපනාහී වූ තාගේ උපනාහ පහ ව යෙයි. ම්‍රක්‍ෂි වූ තාගේ ම්‍රක්‍ෂ පහ ව යෙයි. පළාසී වූ තාගේ පළාස පහ ව යෙයි. ඉස්සුකී වූ තාගේ ඊර්ෂ්‍යා පහ ව යෙයි. මච්ඡරී වූ තාගේ මාත්සර්ය්‍ය පහව යෙයි. සඨවූ තාගේ සඨබව පහ ව යෙයි. මායාවී වූ තාගේ මායාව පහව යෙයි. පාපිච්ඡ වූ තාගේ පාපෙච්ඡා පහ ව යෙයි. මිච්ඡදිට්ඨික වූ තාගේ මිසදිටු පහ ව යෙයි” කියායි. මහණෙනි, මම යම්හෙයෙකින් මෙලොව ජටිලකවූත් කිසිවකු අභිධ්‍යාබහුල ව සිටුනහු දක්නෙම් ද, බ්‍යාපන්නචිත්ත වූවහු, කොධන වූවහු, උපනාහී වූවහු, මක්ඛී වූවහු, පළාසී වූවහු, ඉස්සුකී වූවහු, මච්ඡරී වූවහු, සඨ වූවහු, මායාවී වූවහු, පාපිච්ඡ වූවහු, මිච්ඡාදිට්ඨික වූවහු, දක්නෙම් ද, එහෙයින් ජටිලකයාගේ ජටාධාරණමාත්‍රයෙන් මඟඵල නොවදාරමි.

 

7. මහණෙනි, කෙසේ මහණ මහණුනට නිසි අනුලොම් පිළිවෙත පිළිපන්නේ වේ ද යත්: මහණෙනි, ලොබබිහිලි යම්කිසි මහණකුට ඒ දළලොබ, පුහුන් වේ ද, ව්‍යාපන්න සිතැති මහණකුට ඒ ව්‍යාපාද පුහුන් වේ ද, කිපෙනසුලු මහණකුට ඒ ක්‍රොධ පුහුන් වේ ද, බද්ධවෛර ඇති මහණකුට ඒ බදවෙර පුහුන් වේ ද, මකු මහණකුට ඒ මකුසැහැවි පුහුන් වේ ද, (යුගග්‍රාහලක්‍ෂණ) පළාස ඇති මහණකුට ඒ පළාස පුහුන් වේ ද, ඊර්ෂ්‍යා ඇති මහණකුට ඒ ඊර්ෂ්‍යා පුහුන් වේ ද, මසුරු ඇති මහණකුට ඒ මසුරුබව පුහුන් වේ ද, ශඨ මහණකුට ඒ සළසෙ පුහුන් වේ ද, මායා ඇති මහණකුට ඒ මායා පුහුන් වේ ද, ලමුරිසි ඇති මහණකුට ඒ ලමුරිසි පුහුන් වේ ද, මිසදිටු ඇති මහණකුට ඒ මිසදිටු පුහුන් වේ ද, මහණෙනි, අපායෙහි ඉපැද්මට කරුණු වන, දුගතියෙහි විවාදුකට කරුණු වන, මේ මහණමල, මහණ දොස්, මහණ කසළ පුහුන් කිරීමෙන් සමණසාමීචිපටිපදා පිළිපන්හයි මම කියමි.

 

8. හේ ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නේය. ‘මෙ හැම ලමු අකුසල් දහමින් තමා විශුද්ධයහ’යි දක්නා ඔහුට ප්‍රමොද උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීති උපදී. ප්‍රීතිසම්ප්‍රයුක්ත පුද්ගලයාගේ නාමකාය සන්හිඳුනේ වේ. සන්හුන්කය ඇතියේ සුඛ විඳුනේ ය. සුඛිතයාගේ සිත සමාධිගත වෙයි.

9. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැතිරැ ගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවනදිග, එසෙයින් සියුවනදිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්වාත්මතායෙන් (සියලු සතුන් කෙරෙහි ආත්මසමතායෙන්) සර්වසත්ත්‍වවත් ලොව විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, දොම්නස් රහිත වූ මෙත් සහගිය සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කුළුණු සහගිය සිතින් එක්දිගක් පැතිරැගෙන වාස කෙරෙයි එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන ... කුළුණු සහගිය සිතින් පැතිර ගෙන වාස කෙරෙයි. මුදිතාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැම තැන සර්වාත්මතායෙන් සර්ව සත්ත්‍ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ අවෛර, ව්‍යාබාධරහිත මුදිතාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. උපෙක්‍ෂාසහගත සිතින් එක් දිගත් පැතිරැගෙන වාස කෙරෙයි. එසෙයින් දෙවන දිග, එසෙයින් තෙවන දිග, එසෙයින් සියුවන දිග පැතිරැගෙන වාස කෙරෙයි. මෙසෙයින් උඩ යට සරස හැමතැන සර්වාත්මතායෙන් සර්ව සත්ත්‍ව සහිත ලොව විපුල, මහද්ගත, අප්‍රමාණ, අවෛර, ව්‍යාබාධ රහිත උපෙක්‍ෂාසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි.

 

10. මහණෙනි, යම්සේ පහන්දිය ඇති, මිහිරිදිය ඇති, සිහිල් දිය ඇති, මඩනැති, මනාතොට ඇති, රමණී පොකුණෙක් වේද, පෙරදිගිනුදු ඝර්‍මයෙන් තැවුලිපත්, ඝර්‍මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එන්නේ වේ ද, හෙ එපොකුණ වෙත එළඹ දියපවස දුරුකර ගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද, පැසුළුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... උතුරුදිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... දකුණු දිගිනුදු පුරුෂයෙක් එන්නේ වේ ද,... යම් ම දිගෙකිනුදු ඝර්‍මයෙන් තැවුලිපත්, ඝර්‍මයෙන් පෙළුණ, කලකුළු, තෘෂිත, දියපියැටි පුරුෂයෙක් එ පොකුණ කරා එන්නේ වේ ද, හෙ එ පොකුණ කරා අවුදු දියපවස දුරුකරගන්නේ වේ ද, ඝර්‍මපරිදාහ දුරුකරගන්නේ වේ ද -

 

11. මහණෙනි, එපරිදි ම කැත්කුලිනුදු ගිහිගෙන් නික්ම ඉදින් සස්නට පැමිණියේ වේ නම්, හෙ ද තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයට අවුදු මෙසෙයින් මෛත්‍රී කරුණා මුදුතා උපෙක්‍ෂා වඩාගෙන සියසතන්හි ව්‍යුපශම ලබයි. සියසතන්හි ව්‍යුපශමයෙන් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු... ඉදින් වෛශ්‍යකුලයෙනුදු... ඉදින් ශුද්‍රකුලයෙනුදු... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ ද, හෙ ද බුදුන් වදහළ දහම්විනයට අවුදු මෙසේ මෛත්‍රී කරුණා මුදිතා උපෙක්‍ෂා භවාගෙන සියසතන්හි සන්හිඳුම ලබයි. සියසතන්හි සන්හිඳුමින් සමණසාමීචි - ප්‍රතිපදාවට පිළිපන්නේයයි කියමි.

 

12. ඉදින් ක්‍ෂත්‍රියකුලයෙනූදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙ ද ආස්‍රවක්‍ෂය හෙතුයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්ති ප්‍රඥාවිමුක්ති දුටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහෙතුයෙන් ශ්‍රමණ වෙයි. ඉදින් බ්‍රාහ්මණකුලයෙනුදු... ඉදින් වෛශ්‍යකුලයෙනුදු... ඉදින් ශුද්‍රකුලයෙනුදු... ඉදින් යම් ම කුලයෙකිනුදු ගිහිගෙන් නික්ම සස්නට පැමිණියේ වේ නම්, හෙද ආස්‍රවක්‍ෂය හෙතුයෙන් අනාස්‍රව වූ චෙතොවිමුක්ති ප්‍රඥාවිමුක්ති ඉහාත්මයෙහි ම තමා විසින් දැන පසක් කොට සපයා වාස කෙරෙයි. ආස්‍රවක්‍ෂයහෙතුයෙන් ශ්‍රමණ වෙයි.

 

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සතුටු සිතැති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ බස අභිනන්‍දන කළහ.

දස වැනි වූ චූළඅස්සපුර සූත්‍රය නිමියේ ය.