චූළගොපාලක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

4

චූළගොපාලක සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහූ ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

 

2. මහණෙනි, අඞ‍්ග (අයුණු කොටස්) එකොළොසෙකින් සමන්‍වාගත ගොපලු ගෙරිමුළ රක්නට වෘද්ධි කරන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:

 

මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු (ගෙරිරැළ ගණනින් හෝ සුදු රතු පැහැයෙන්) ගොරූප නො දන්නේ වේ ද, (ගෙරි සිරුරෙහි දුනු-සිරි-තිසුල් ආදි) ලකුණෙහි දක්‍ෂ නො වේ ද, (වෙනෙහි කණුකටුයෙන් සමබුන් තැන නිලමැස්සන් ලූ) මැසිබිජු නො හරනේ වේ ද, (ගෙරි ඇඟ හටගත්) වණ (බෙහෙත් ලා) නො වසන්නේ වේ ද, (මැසිමදුරු වළහනු සඳහා ගොවදෙහි) දුම් නො කරන්නේ වේ ද, (ගෙරින් බැසිය යුතු) තොටුපළ නො දනී ද, (ගෙරින්) පානය කළ නො කළ බව නො දනී ද, ගමන්මග නො දනී ද, ගෙරින් හැසිරවිය යුතු තැන්හි (තණබිම්හි) අදක්‍ෂ වේ ද, (වසු පිණිස) ඉතිරි නො කොට කිරි දොවනසුලු වේ ද, ගොපිතෘ වූ ගොපරිණායක වූ යම් වැහැප්හු ඇද්ද, උනට විශේෂ සැලකිලි නො දක්වන්නේ වේ ද, මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු ගෙරිමුළ පාලනය කරන්නට වැඩි කරන්නට නොනිසි වෙයි.

 

3. මහණෙනි, මෙ පරිද්දෙන් ම එකොළොස් අඞ්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්වයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:

 

මහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ නො වේ ද, ලක්‍ෂණකුශල නො වේ ද, ආසාටිකාපහරණ නො කරන්නේ වේ ද, වණ නො වසන්නේ වේ ද, දුම් නො කරන්නේ වේ ද, තොටුපළ නො දනී ද, පීතය නො දනී ද, වීථිය නො දනී ද, ගෝචරයෙහි අදක්‍ෂ වේ ද, අනවශෙෂදොහන කරන්නේ වේ ද, රාත්‍රඥ වූ බොහෝ කල් ඉක්මවූ සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද යන කරුණු එකොළොසිනි.

 

 (1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “යම් කිසි රූපයෙක් වේ නම්, එ හැම රූප (මෙතෙක්) සතරමහාභූතයෝ ය. (මෙතෙක්) සතරමහාභූතයන්ගේ උපාදාය රූපය”යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ රැපඥ නොවේ.

 

 (2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණකුශල නො වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණෙක් “අඥානයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත, පණ්ඩිතයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇතැ” යි තත් වූ පරිදි නො දනී ද, මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණයෙහි අදක්‍ෂ වෙයි.

 

 (3) මහණෙනි, මහණ කෙසේ නම් ආසාටිකාපහරණ නො කරන්නේ (විතර්ක නමැති ඉහඬ නොහරණෙ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්‍ක සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කරයි. අභාවයට (විනාශයට) නො පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍ක ... උපන් විහිංසාවිතර්‍ක ... උපනුපන් ලාමක වූ අකුශලධර්‍ම සිත්හි වාස කරවයි. දුරු නො කෙරේ. කෙළවර නො කෙරේ. අභාවයට නො පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ආසාටිකාපහරණ (මැසිබිජු බඳු කාමාදි විතර්‍ක නෙරීම) නො කරන්නේ වේ.

 

 (4) මහණෙනි, කෙසේ නම් මහණ වණ නො වසන්නේ (ඉන්‍ද්‍රිය සංවර නො කරන්නේ) වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති (ස්ත්‍රීපුරුෂආකාරාදිය) සිතට ගන්නේ වේ. (හස්තපාදාදි) අනුව්‍යඤ්ජනයන් සිතට ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවර නො කොට වාස කරන්නා වූ මේ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පාපඅකුශලධර්‍මයෝ අනුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රිය පිළිබඳ සංවරය පිණිස නො පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය නො රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසායෙන් ගඳක් ආඝ්‍රාණය කොට ... දිවෙන් රසයක් විඳ ... කයින් පැහැසිය යුත්තක් පහසා ... සිතින් ධර්‍මයක් දැන නිමිති ගන්නේ වේ. අනුව්‍යඤ්ජන ගන්නේ වේ. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාස කරන්නා වූ ඒ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පාපකඅකුශලධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. මනින්‍ද්‍රිය නො රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මහණෙනි, මහණ මෙසේ වණ නො වසන්නේ වෙයි.

 

 (5) මහණෙනි, කෙසේ නම් මහණ දම් නො කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඇසු පරිදි පුහුණු කළ පරිදි ධර්‍මය විස්තරවශයෙන් අනුන්ට නො දෙසන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් නො කරන්නේ වෙයි.

 

 (6) මහණෙනි, කෙසේ නම් මහණ තොටුපළ (ගුරූපාසනය) නො දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බහුශ්‍රැත වූ දත් ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූන් වෙත කලින් කල එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මේ භාෂිතයාගේ අර්‍ථ‍ය කවරේ දැ’යි නො අසයි. ප්‍රශ්න නො කෙරේ ඔහුට ඒ ආයුෂ්මත්හු විවෘත නො වූවක් විවෘත නො කෙරෙත්. පැහැදිලි නො වූවක් පැහැදිලි නො කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට නො කෙරෙත්. නන්වැදෑරුම් නොයෙක් සැක සහිත ධර්‍මයන්හි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ නො දන්නේ වේ.

 

 (7) මහණෙනි, කෙසේ නම් මහණ පානය (ධර්මප්‍රීතිය) නො දන්නේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ බුදුන් වදාළ ධර්‍මය දෙසනු ලබන කල්හි අර්‍ථ‍ය දැන ප්‍රීතිය නො ලබයි. ධර්‍මය දැන ප්‍රීතිය නො ලබයි. ධර්‍මය ඇසුරු කළ ප්‍රමෝදය නො ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය නො දන්නේ වේ.

 

 (8) මහණෙනි, මහණ කෙසේ නම් වීථිය - මාර්ගය නො දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආර්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ මහණ වීථිය නො දන්නේ වෙයි.

 

 (9) මහණෙනි, මහණ කෙසේ නම් ගෝචරයෙහි අදක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සතර සීවටන් තත් වූ පරිදි නො දනී. මහණෙනි, මෙසේ මහණ ගෝචරයෙහි අදක්‍ෂ වෙයි.

 

 (10) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි නො කොට දොවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු ශ්‍රද්ධාවත් ගැහැවියෝ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යයපරිෂ්කාර යන මෙයින් ලඟට ගෙන ගොස් පවරත්. මහණ තෙමේ එහිදී පිළිගැණීමේ ප්‍රමාණය නො දනී (සියල්ලම ගණී). මහණෙනි, මෙසේ මහණ ඉතිරි නො කොට දොවන්නේ වේ.

 

 (11) මහණෙනි, මහණ කෙසේ නම් රාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ චිරරාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ඔවුන් කෙරෙහි හමුවෙහි ද නො හමුවෙහි ද මෛත්‍රීසහගත කායකර්‍ම ය නො එළවයි. මෛත්‍රී වාක්‍කර්‍මය හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මෛත්‍රීමනඃකර්‍මය හමුවෙහි ද නො හමුවෙහි ද නො එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ වූ පැවිදි ව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂුහුකෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් නො පුදන්නේ වේ.

 

මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්‍වයට පැමිණීමට සුදුස්සෙක් නො වේ.

4. මහණෙනි, එකොළොස් කරුණෙකින් යුක්ත ගොපලු තෙමේ ගෝසමූහය පරිහරණය කරන්නට දියුණු කරන්නට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?

 

මහණෙනි, මේ ලෝකයෙහි ගොපලු තෙමේ රූපඥ වේ. ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ. මැසිබිජු ඉවත ලන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. තොටුපළ දනී. පීතය දනී. මාර්‍ගය දනී. තණබිම්හි දක්‍ෂ වේ. ඉතිරි කොට දොවන්නේ වේ. ගොපිතෘ වූ ගොපරිණායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම්, ඔවුන් අතිරෙකපූජාවෙන් පුදන්නේ වේ. මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත ගොපලු තෙමේ ගොසමූහය පරිහරණය කරන්නට දියුණු කරන්නට සුදුස්සෙක් වෙයි.

 

5. මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් අඞ‍්ගයෙකින් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්වයට සුදුස්සෙක් වෙයි. කවර එකොළොසෙකින් ද?

 

මහණෙනි, මේ ශාසනයෙහි මහණ රූපඥ වේ. ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ. මැසිබිජු ඉවත් කරන්නේ වේ. වණ වසන්නේ වේ. දුම් කරන්නේ වේ. තොටුපළ දනී. පීතය දනී. ගමන් මග දනී. ගොචරයෙහි දක්‍ෂ වේ. ඉතිරි කොට දොවන්නේ වේ. රාත්‍රඥ වූ පැවිදිව බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ස්ථවිර භික්‍ෂු කෙනෙක් වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ. (මේ අඞ‍්ග එකොළොසිනි.)

 

 (1) මහණෙනි, මහණ කෙසේ නම් රූපඥ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ යම් කිසි රූපයෙක් වේ නම්, ‘ඒ සියලු රූපය සතර මහා භූතයෝ ය. සතර මහා භූතයන්ගේ උපාදාය රූප ය’යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ රූපඥ වේ.

 

 (2) මහණෙනි, මහණ කෙසේ නම් ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ‘බාලයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේ ය. පණ්ඩිතයා ක්‍රියාව ලක්‍ෂණ කොට ඇත්තේ ය’යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ලක්‍ෂණයෙහි දක්‍ෂ වේ.

 

 (3) මහණෙනි, මහණ කෙසේ නම් මැසිබිජු ඉවත් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ උපන් කාමවිතර්‍ක සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙළයි, කෙළවර කෙරේ, පිළිවෙළින් අභාවයට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසා විතර්‍කය ... උපනුපන් ලාමක අකුශලධර්‍මයන් සිත්හි නො වස්වයි. දුරු කෙරේ, පෙළයි, කෙළවර කෙරේ. පිළිවෙළින් අභාවයට පමුණුවයි. මහණෙනි, මෙසේ මහණ ඉහඬ ඉවත් කරන්නේ වේ.

 

 (4) මහණෙනි, මහණ කෙසේ නම් වණ වසන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසින් රූප දැක නිමිති නො ගන්නේ වේ. අනුව්‍යඤ්ජන නො ගන්නේ වේ. යම් කාරණයෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය සංවර නො කොට වසන්නා වූ මේ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ පවිටු අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම්, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස විඳ ... කයින් පැහැසිය යුක්ත පහසා ... සිතින් ධර්‍මය දැන නිමිති නො ගන්නේ වෙයි. අනුවියඳුන් නො ගන්නේ වෙයි. යම් කාරණයෙකින් මනින්‍ද්‍රිය සංවරය නො කොට වාසන්නා වූ ඒ පුඟුලා අභිධ්‍යාදෞර්‍මනස්‍ය වූ ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු ද, ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. මනින්‍ද්‍රිය රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මහණෙනි, මහණ මෙසේ වණය වසන්නේ වේ.

 

 (5) මහණෙනි, මහණ කෙසේ නම් දුම් කරන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්‍මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරන්නේ වේ. මහණෙනි, මෙසේ මහණ දුම් කරන්නේ වෙයි.

 

 (6) මහණෙනි, මහණ කෙසේ නම් තොටුපළ දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බහුශ්‍රැත වූ දත් ආගම ඇති ධර්‍මධර වූ විනයධර වූ මාතෘකාධර වූ යම් ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත් ද, කලින් කල ඔවුන් වෙත එළඹ ‘වහන්ස, මෙය කෙසේ ද, මෙහි අර්‍ථ‍ය කවරේ දැ’යි විචාරයි. ප්‍රශ්න කරයි. ඒ ආයුෂ්මත්හු ඔහුට විවෘත නොවූවක් විවෘත කෙරෙත්. ප්‍රකට නො වූවක් ප්‍රකට කෙරෙත්. නොයෙක් සැක සහිත වූ ධර්‍මයන්හි සැකය දුරු කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තොටුපළ දනියි.

 

 (7) මහණෙනි, මහණ කෙසේ නම් පානය කිරීම දනී ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ බුදුන් වදාළ ධර්‍මවිනය දෙසනු ලබන කල්හි අර්‍ථ‍ය දැන සතුට ලබයි. ධර්‍මය දැන සතුට ලබයි. ධර්‍මාශ්‍රිතප්‍රමොදය ලබයි. මහණෙනි, මෙසේ මහණ පානය කිරීම දන්නේ වේ.

 

 (8) මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ මාර්‍ගය දන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ආර්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ මාර්‍ගය දන්නේ වෙයි.

 

 (9) මහණෙනි, කෙසේ නම් මහණ ගොචරයෙහි දක්‍ෂ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ සිවුසීවටන් තතු සේ දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ගොචරයෙහි දක්‍ෂ වෙයි.

 

 (10) මහණෙනි, මහණ කෙසේ නම් ඉතිරි කොට දොවන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණකු සැදැහවත් ගැහැවියෝ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් එය එළවා පවරත්. එහිදී මහණ පිළිගැණීමේ ප්‍රමාණය දන්නේ වේ. මහණෙනි, මහණ මෙසේ ඉතිරි කොට දොවන්නේ වේ.

 

 (11) මහණෙනි, මහණ කෙසේ නම් චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේකපූජාවෙන් පුදන්නේ වේ ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඒ භික්‍ෂූන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මෛත්‍රීවාක්‍කර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මෛත්‍රී මනඃකර්‍මය හමුවෙහිත් නො හමුවෙහිත් එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ වූ පැවිදි වී බොහෝ කල් ඇති සඞ‍්ඝපිතෘ වූ සඞ‍්ඝපරිණායක වූ යම් ඒ ස්ථවිරභික්‍ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේක පූජාවෙන් පුදන්නේ වේ.

මහණෙනි, මේ එකොළොස් අඞ්ගයෙන් යුක්ත මහණ මේ ශාසනයෙහි දියුණුවට වැඩීමට විපුලත්‍වයට පැමිණීමට සුදුසු වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය මැනැවැ යි පිළිගත්හ.

 

තෙවැනි වූ මහාගොපාලක සූත්‍රය නිමියේ ය.

 

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑරට ගඞ්ගා හෝතෙර උක්කවෙලා නම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

 

2. මහණෙනි, පෙර වූවෙකි: මගධරට වැසි දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂා ඍතුවෙහි පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදෙහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඞ්ගානදිය මැද සළාවැටුමෙක මැඬිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින යත්: මහණෙනි, නුනුවණ පියවි ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.)

 

3. මහණෙනි, එ පරිදි ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකයෙහි (ස්කන්‍ධ - ධාතු - ආයතනයන්හි) අදක්‍ෂ වෙද්ද, පරලොකයෙහි (ස්කන්‍ධ - ධාතු - ආයතනයන්හි) අදක්‍ෂ වෙද්ද, මාරධෙය්‍යසඞ්ඛ්‍යාත (මරුනිවස වූ) ත්‍රෛභූමික ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, අමාරධෙය්‍යසඞ්ඛ්‍යාත නවලොකොත්තරධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, මච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, අමච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත නවලොකොත්තර ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැදැහිය යුතු කොට හඟින්නාහු ද එය ඔවුන්ට අහොරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.

 

4. මහණෙනි, වූවිරූ දැයෙකි: මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂාඍතුයෙහි පැසුළු මස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදෙහයන් සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තරණය කරවීය. හේ ගොපිතෘ ගොපරිනායක යම් වෘෂභ කෙනෙක් වූහු නම්, පළමු උන් එතෙර කරවී. ඔහු ගඟ සරස ස්‍රොතස් සිඳ ගෙණ සුවසේ පර තෙරට ගියාහු ය. ඉක්බිති අදාන්ත ගවයනුදු දම්‍ය ගවයනුදු එතෙර කරවීය. ඔහු ද ගඟ සරස සැඬ සළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති නහඹු වස්සන් හා වැස්සන් එතෙර කරවීය. ඔවුහු ද ගඟ සරස සැඬසළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති කෘශබල ඇති සෙසු (දුබල) වස්සන් එතෙර කරවීය. ඔහුදු ගඟ සරස ස්‍රොතස් බිඳ සුවසේ පරතෙර වන්හ.–

 

මහණෙනි, පෙර වූවෙකි: එ දවස උපන් මවගේ ‘හුං හුං’ ගොරැවින් ගෙණයනු ලබන ළදරුවස්සෙක් වී ද, ඒ වසු ද ගඟ සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, එපරිද්දෙන් මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ඒ ගොපලු වර්ෂාමාසය පිළිබඳ පැසුළුමස්හි ශරත්කාලයෙහි ගඞ්ගා නදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහ රට සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තැරැවීය.

 

5. මහණෙනි, එ පරිද්දෙන් ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකය පිළිබඳ දක්‍ෂ වෙත් ද, පරලොව පිළිබඳ දක්‍ෂ වෙත් ද, මාරධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමාරධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, මච්චුධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමච්චුධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිද්ද, එය ඔවුනට බොහෝකල් හිත පිණිස සුව පිණිස වන්නේ ය.

 

6. මහණෙනි, යම් සේ යම් ඒ ගොපිතෘ වූ ගොපරිණායක වූ වෘෂභයෝ ගඞ්ගානදිය සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසරවස් ඇති, සතර මඟින් කළ (සිවුසස් පිළිබඳ) සොළොස් කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත් ඵල ඇති, ගුණු භවසංයෝජන ඇති, ඥානයෙන් මැනැවින් දැන පඤ්චවිමුක්තීන් මතු යම් ඒ රහත් භික්‍ෂූහු වෙත් ද, ඔහු මාරයාගේ තණ්හා නැමැති සැඬවතුරු සරස සිඳ සුවසේ සංසාරපාරයට (නිවනට) ගියාහුය.

 

7. මහණෙනි, යම් සේ ඒ බලවත් දාන්තගවයෝ දැමියයුතු ගවයෝ ගඞ්ගානදිය සරස සැඬවතුරු සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් ඔරම්භාගිය සඤ්ඤොජන පස නැති කිරීමෙන් බඹලොව උපපාදක වශයෙන් උපන්නාහු එහි පිරිනිවන්නාහු ඒ බ්‍රහ්මලෝකයෙන් පෙරළා නො එන ස්වභාව ඇත්තාහු වෙත් ද, ඔහු ද මාරයාගේ සැඬවතුරු සරස සිඳ සුවසේ සසර පරතෙරට හෙවත් නිවනට යන්නාහුය.

 

8. මහණෙනි, යම් සේ ඒ නහඹු වස්සෝ ද වැස්සෝ ද ගඞ්ගා නදියෙහි සරස සැඬවතුරු සිඳ ගෙන සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් ත්‍රිවිධ සංයොජනයන්ගේ පරික්‍ෂයයෙන් රාගද්වෙෂමොහයන් තුනු බැවින් සකෘදාගාමි වූවාහු වරක් ම මේ ලොකයට අවුත් දුක් කෙළවර කරන්නාහු ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.

 

9. මහණෙනි, යම් සේ දුබල වස්සෝ ගඞ්ගානදියෙහි සැඩවතුර සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් තුන් සංයොජන ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු අවිනිපාතස්වභාව ඇත්තාහු, ගතිනියත වූවාහ, සම්බොධිපරායණ වූවාහු වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.

 

10. මහණෙනි, යම් සේ එ දවස උපන් මවගේ ගොරැවින් ගෙණයනු ලබන ළදරු වසුපැටියෙක් ගඞ්ගානදියෙහි සැඬවතුරු සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ධම්මානුසාරි (ප්‍රඥාධික) වූ ද සද්ධානුසාරි (ශ්‍රද්ධාධික) වූ ද යම් ඒ (ප්‍රථම මාර්ග සමඞ්ගී) භික්‍ෂු කෙනෙක් වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිඳ ගෙණ සුවසේ පරතෙර යන්නාහ.

 

11. මහණෙනි, මම වනාහි මේ ලොකය පිළිබඳව දක්‍ෂ වෙමි. පරලොව පිළිබඳව දක්‍ෂ වෙමි. මාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මහණෙනි, ඒ මාගේ වචනය යම් කෙනෙක් ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිත් ද, ඔවුනට එය බොහෝ කල් හිත පිණිස සුව පිණිස පවත්නේ ය.

 

12. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. තෙල වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉක්බිතිව අන්‍ය වූ මේ ගාථා වදාළ සේක:

 “හැම දහම් දන්නා බුදුරජුන් විසින් මෙලොව හා පරලොව මනාව වදාරණ ලදි. මාරයා විසින් යමෙක් පැමිණෙන ලද ද, මාරයා විසින් යමෙක් නො පැමිණෙන ලද ද, සියල්ල දන්නා බුදුරජුන් විසින් ඒ සියලු ලෝකය විශිෂ්ටඥානයෙන් දැන නිවනට පැමිණීම පිණිස නිර්භය වූ ආර්ය්‍යමාර්ගය විවෘත කරණ ලදී. පාපී මාරයාගේ තෘෂ්ණා නැමැති සැඬ වතුරු සිඳින ලදි. විනාශ කරණ ලදි. මාන නළ දුරු කරණ ලදි. මහණෙනි, ප්‍රමොද බහුල කොට ඇත්තෝ වවු. නිවන පතවු.”

සිවුවන චූළගොපාලක සූත්‍රය නිමියේ ය.