චූළගොසිඬ්ග සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

3

ඕපම්ම වර්ගය

8

‍චූළගොසිඬ්ග සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහසන්සේ නාදික ගම්හි ගෙඩිගෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ගොසිඞ්ගසාලවනළැහැබෙහි වාස කරත්. එකල භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි පලසමවතහින් නැගී ගොසිඞ්ගසාලවනළැහැබ කරා වැඩිසේක.

 

2. අරණ්‍ය පාලකයා භාග්‍යවතුන් වහන්සේ වඩනවුන් දුර දී ම දිට. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “මහණ තෙල වනයට නො පිවිසෙනු මැනව. මෙහි කුලපුත්‍රයෝ තිදෙනෙක් ඇත. තමන්ට හිත කැමැති සැහැවි ඇතිව වසත්. ඔවුන්ට නො පහසු නො කරන්නේ මැනව” කියායි.

 

3. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ භාග්‍යවතුන් වහන්සේ හා මන්ත්‍රණ කරන අරණ්‍යපාලකයාගේ කථාව ඇසූහ.. අසා අරණ්‍යපාලකයාට තෙල කී හ: “කියග වනපාලය, භාග්‍යවතුන් වහන්සේ නො වළහව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේකැ” යි.

 

4. එක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂ්මත් නන්දිය තෙරුන්ට හා ආයුෂ්මත් කිම්බිල තෙරුන්ට ද තෙල කී ය: “ආයුෂ්මත්නී, වරෙව. ආයුෂ්මත්නි, වරෙව. අප ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේක” කියා යි.

 

5. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ පෙරමගට ගියහ. පෙරගමන් කොට එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පා සිවුරු ගත්තේ ය. එක් නමෙක් අසුනක් පැණවී ය. එක් නමෙක් පා දෝනා දිය එළවී ය. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ.

 

6. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක: “අනුරුද්ධයෙනි, කිම්, සිහිය හැකි ද? යැපිය හැකි ද? කිම, පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු ද?

 

7. “භාග්‍යවතුන් වහන්ස, සිහිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. නො කලකුළු වම්හ.”

 

8. අනුරුද්ධයෙනි, කිම තෙපි සමග ව සතුටු ව විවාද නොකරමින් කිරි හා දිය වැනි ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරවු ද?

 

9. “වහන්ස අපි ඒකාන්තයෙන් සමගිව සතුටුව විවාද නො කරමින් කිරි හා දිය මෙන් එක්ව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරම්හ.”

 

10. අනුරුද්ධයෙනි, තෙපි, කෙසේ නම්, සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් කිරි හා දිය වැනිව ඔවුනොවුන් පියඇසින් බලමින් වාස කරන්නහුද?

 

11. “වහන්ස, මෙහි දී මට මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙ වැනි සබ්‍රම්සරුන් සමඟ වාස කරම් ද, ඒ මට එකාන්තයෙන් ලාභ ය.එකාන්තයෙන් මට යහපත් ලැබීමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත කායකර්‍මය එළඹ සිටියේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත වාක්කර්‍මය එළඹ සිටයේය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රී සහගත මනඃකර්‍මය එළඹ සිටියේය. වහන්ස, ඒ මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනව’යි සිත් ඇති වෙයි. වහන්ස, මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ ම සිත්විසින් වැටෙමි. වහන්ස, අප සිරුර වෙන් වෙයි. සිත එකතු වනැ”යි.

 

12. ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද … ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:-

 

 “වහන්ස, මට ද මෙ වැනි අදහසෙක් වෙයි: යම් බඳු මම මෙවැනි සබ්‍රම්සරුන් සමග වෙසෙම් ද, ඒ මට එකාන්තයෙන් ලාභය. මට යහපත් ලැබුමෙකි. වහන්ස, ඒ මට මේ ආයුෂ්මතුන් විෂයෙහි හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත කායකර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත වාක්කර්‍මය එළඹ සිටියේ ය. හමුවෙහිත් නොහමුවෙහිත් මෛත්‍රීසහගත මනඃකර්‍මය එළඹ සිටියේ ය. වහන්ස මට ‘මම මාගේ සිත තබා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වාස කරන්නෙම් නම් මැනැවැ’ යි මෙසේ අදහස ඇති වේ. වහන්ස, මම මාගේ සිත බහා මේ ආයුෂ්මතුන්ගේ සිත්විසින් වැටෙමි. ශරීර වෙන් වෙයි. සිත එකකුම වනැ’යි.

 

මෙසේ අපි සමග ව සතුටු වෙමින් විවාද නො කරමින් කිරි හා දිය වැනියමෝ ඔවුනොවුන් පිය ඇසින් බලමින් වාස කරම්හ.

 

13. අනුරුද්ධයෙනි, සාධු සාධු, අනුරුද්ධයෙනි, කිම් තෙපි අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වාස කරන්නහු ද?

 

14. “වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරම්හ.”

 

15. අනුරුද්ධයෙනි, තෙපි කෙසේ වනාහි අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වසන්නහුද?

 

16. වහන්ස, මෙහි අප අතුරෙන් යමෙක් පළමු කොට ගමෙන් පිණ්ඩපාතයෙන් පෙරළා ඒ ද, හේ අසුන් පණවයි. පිය යුතු පැන් හා පරිභොග කට යුතු දිය ද එළවා තබයි. ඉතිරි පිඬු බහන සුමුගු එළවා තබයි. යමෙක් පසු ව ගමෙහි පිඬු පිණිස සැරැ වටලා ඒ ද. ඉදින් කෑ ඉතිරි වූවක් ඇත් නම්, ඉදින් කැමැති වේ නම්, වළඳයි. නො කැමැති වේ නම්, නොනිලන තැනෙක හෝ දමයි. (එයින් මියන) සතුන් නැති දියෙහි හෝ උල්පවා හරියි. හෙ අසුන් සඟවා තබයි. පැන් හා පිරිබෝදිය සඟවා තබයි. අවකරබඳුන සඟවා තබයි. භක්තග්‍රය හමදියි. යමෙක් සිස් වූ දිය රහිත වු පැන් කළය හෝ, පරිභොග දියකළය හෝ, වැසිකිළිකළය හෝ දකී ද හෙ එළවා තබයි. ඉදින් ඔහුට නො එසැවිය හැකි නම් හස්තසංඥායෙන් දෙවැන්නකු කැඳවා හිවු (බැඳි) අතින් එළවම්හ. වහන්ස, අපි ඒ හෙතු කොට වාග්භෙද නො කරම්හ. වහන්ස. අපි පස්දිනකට වරක් මුළුරැය දැහැමිකථායෙන් එක්ව හිඳුම්හ. වහන්ස, මෙසේ වනාහි අපි අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇතිව නිවන් පිණිස මෙහෙයු ඇති ව වාස කරම්හ”

 

17. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමාද ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇති ව වාස කරණ තොප විසින් මිනිස්දහමින් ඉතිරි ආර්‍යභාවය සිදු කිරීමට සමතර්‍ථ ආර්‍ය්‍යඥාන විශේෂයක් වන ඵාසුවිහරණයෙන් අධීගත (ලබනලද) වේ ද?

 

18. “වහන්ස, කිම අධිගත නොවන්නේ ද? (අධිගත වන්නේම ය.) වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ නම් ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව අකුශලයන්ගෙන් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ද ඇති ප්‍රථමධ්‍යානය උපදවා වාසය කරම්හ. වහන්ස, අප්‍රමාද ව කෙලෙස් තවන වැර අති ව නිවන් පිණිස මෙහෙයු සිත් ඇතිව වසන අප විසින් මිනිස්දහමින් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ ඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

 

19. අනුරුද්ධයෙනි, මැනව මැනව. අනුරුද්ධයෙනි, මේ විහරණය ඉක්ම යාම පිණිස, මේ විහරණය සන්හිඳීම පිණිස, මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානද‍ර්‍ශනයක් වූ අන්‍ය ඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

 

20. “වහන්ස, කිම නොවන්නේ ද? වහන්ස, අපි යම් තාක් කැමැති වමෝ ද, ඒ තාක් විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම ඇති සිතේ එකඟබව වඩන විතර්‍කරහිත විචාරරහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානය උපදවා වාස කරම්හ. වහන්ස, මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මිනිස්දහමින් වැඩි වූ ආර්‍යභාවය සිදුකිරීමට සමර්‍ථ විශිෂ්ටඥානයක් වූ මේ අන්‍ය වූ ඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

 

21. අනුරුද්ධයෙනි, මැනැව, මැනැව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස තෙල විහරණය සන්සිඳීම පිණිස මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ සැපවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

 

22. “කිම වහන්ස, නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් ප්‍රීතිය නැති වීමෙන් උපේක්ෂා ඇති ව සිහි ඇතිව සම්‍යක්ප්‍රඥා ඇති ව වාස කරම්හ. කයින් සැප ද විඳුම්හ යම් ධ්‍යානයක් උදෙසා ඒ ධ්‍යානලාභී පුද්ගලයා ‘උපේක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැප විහරණ ඇත්තේ ය’යි ආර්‍යයෝ කියද් ද, ඒ තෘතීයධ්‍යානය උපදවා වාස කරම්හ. වහන්ස. මේ විහරණය ඉක්මයාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

 

3. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්ම යාම පිණිස, තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

24 “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැත්තමෝ ද ඒ තාක් සුඛප්‍රහාණයෙන් ද, දුඃඛප්‍රහාණයෙන් ද පළමු ව සොම්නස්දොම්නස් නැසීමෙන් නිදුක් වූ නොසැප වූ උපේක්ෂා විසින් ජනිත ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ථධ්‍යානය උපදවා වාසය කරම්හ. වහන්ස, මේ විහරණය ඉක්ම යාම පිණිස මේ විහරණය සන්හිඳීම පිණිස මිනිස්දහමින් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

 

25. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මයාම පිණිස තෙල විහරණය සන්හිඳී ම පිණිස මනුෂ්‍ය ධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥාන දර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

 

26. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි යම් තාක් ම කැමැති වමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකශය අනන්ත යයි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කරම්හ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

 

27. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍යඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

 

28. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, අපි මෙහි යම් තාක් ම කැමැත්තමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඤ්ඤාණය අනන්ත ය’යි විඤ්ඤාණඤ්චායතනය උපදවා වාස කරම්හ … සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවා වාස කරම්හ. …සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා වාස කරම්හ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍ය්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍යඵාසුවිහරණය ලබන ලද්දේ ය.”

 

29. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, තෙල විහරණය ඉක්මවීම පිණිස තෙලවිහරණය සන්හිඳුවීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ අන්‍ය ඵාසුවිහරණයෙක් තොප විසින් ලබන ලද්දේ ඇත් ද?

 

30. “වහන්ස, කිම නො වන්නේ ද? වහන්ස, යම් තාක් ම අපි, කැමැත්තමෝ ද, ඒ තාක් සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වාසය කරම්හ. අප විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්ෂය කරණ ලදහ. වහන්ස, තෙල විහරණය ඉක්මීම පිණිස තෙල විහරණය සන්හිඳීම පිණිස මනුෂ්‍යධර්‍මයෙන් වැඩි ආර්‍යභාවය සිදු කිරීමට සමර්‍ථ විශිෂ්ටඥානදර්‍ශනයක් වූ මේ අන්‍ය ඵාසුවිහරණය ලබන ලද්දේ ය. වහන්ස, අපි මේ සැපවිහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැපවිහරණයක් නො දකුම්හ.”

 

31. අනුරුද්ධයෙනි, මැනව, මැනව. අනුරුද්ධයෙනි, මේ සැප විහරණයෙන් වඩා සිටි උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය සැප විහරණයෙක් නැත.

 

32. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් හා ආයුෂ්මත් නන්දිය තෙරුන් හා ආයුෂ්මත් කිම්බිල තෙරුන් දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තියුණු කරවා පහදවා හුනස්නෙන් නැගී වැඩි සේක.

 

33. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද හා ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට පසු ගමන් කොට එයින් වටලා අවුත් ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට තෙල කීහ:

 

 “යම් හෙයකින් ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අපගේ ආස්‍රවක්ෂය කිරීම තෙක් ගුණ පැවසී ද, (එසේ පැවසීමට) කිම, ‘අපි මේ මේ (ලෞකික ලොකොත්තර) විහාරසමාපත්ති ලැබුවමෝ වෙමු’යි අපි අනුරුද්ධ ආයුෂ්මතුන්ට මෙසේ සැළ කළමෝ දැයි?” [අධිගම අප්පිච්ඡතායෙන් මෙසේ කීහු.]

 

34. ආයුෂ්මත්හු ‘අපි මේ මේ විහාරසමාපත්තීන් ලැබුවෙමු’යි මට මෙසේ නො කීහ. එහෙත් මේ ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි මාගේ සිතින් ආයුෂ්මතුන්ගේ සිත් පිරිසිඳ දක්නා ලදී. ආයුෂ්මත්හු ‘මේ මේ විහාරසමාපත්තීන් ලැබුවාහු ය’යි දෙවියෝ ද මට මේ කරුණ සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරණ ලද මා විසින් මේ කාරණය ප්‍රකාශ කරණ ලදී.

 

35. ඉක්බිති දීඝ පරජන නම් (යක් සෙනෙවි) දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි දීඝ පරජන දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කලේ ය: වහන්ස, යම් වජ්ජිජනපදයක තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසනසේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්දිය ආයුෂ්මත් කිම්බිල යන මේ කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙසෙත් ද, එය ඒ වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය.

 

36. දීඝ පරජන දෙව්රජුගේ ශබ්දය අසා බූමාටු දෙවියෝ “පින්වත්නි, යම් වජ්ජිජනපදයෙක තථාගත අර්හත් සම්මාසම්බුදු රජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්දිය ආයුෂ්මත් කිම්බිල යන කුලපුත්‍රයෝ තිදෙනත් වෙසෙද් ද, පින්වත්නි, ඒකාන්තයෙන් ඒ වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය” යි ශබ්ද ඇස්වූහ. බූමාටු දෙවියන්ගේ ශබ්දය අසා චාතුර්මහාරාජික දෙවියෝ … තව්තිසා දෙවියෝ … යාම දෙවියෝ … තුසිත දෙවියෝ … නිර්‍මාණරති දෙවියෝ … පරනිර්මිත-වශවර්ති දෙවියෝ … බ්‍රහ්මකායික දෙවියෝ “පින්වත්නි, යම් වැදැරටෙක තථාගත අර්හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක් ද, ආයුෂ්මත් අනුරුද්ධ ආයුෂ්මත් නන්දිය ආයුෂ්මත් කිම්බිල, යන මේ කුලපුත්‍රයෝ තිදෙනෙක් වෙසෙත් ද, එය ඒකාන්තයෙන් වජ්ජින්ට ලාභ ය. වජ්ජිප්‍රජාව විසින් යහපත් සේ ලද ලාභ ය” යි ශබ්ද ඇස්වූහ. මෙසේ ඒ ආයුෂ්මත්හු එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් ප්‍රසිද්ධ වූහ.

 

37. දීඝය, ඒ එසේ ය. දීඝය, ඒ එසේ ය. දීඝය, යම් කුලයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ කුලයත් මේ කුලපුතුන් පහන්සිතැති ව සිහි කරන්නේ නම්, ඒ කුලයට ද දීඝකාලයෙහි හිතසැප පිණිස වන්නේ ය.

 

38. දීඝය, යම් කුලපරපුරෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ කුලපරපුරත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ කුලපරපුරට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

39. දීඝය, යම් ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඒ ගමත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ගමට ද බොහෝ කලක් හිතසැප පිණිස වන්නේ ය.

 

40. දීඝය, යම් නියම්ගමෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නියම්ගමත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නියම් ගමට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

41. දීඝය, යම් නගරයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ නගරයත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ නගරයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

42. දීඝය, යම් ජනපදයෙකින් මේ කුලපුත්‍රයෝ තිදෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියාහු ද, ඉදින් ඒ ජනපදයත් මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නේ නම් ඒ ජනපදයට ද බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

43. දීඝය, ඉදින් සියලු ක්ෂත්‍රියයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැති ව සිහි කරන්නාහු නම් සියලු ක්ෂත්‍රියයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.

 

44. දීඝය, ඉදින් සියලු බ්‍රාහ්මණයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු බ්‍රාහ්මණයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

45. දීඝය, ඉදින් සියලු වෛශ්‍යයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු වෛශ්‍යයන්ට ද දිගු කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

46. දීඝය, ඉදින් සියලු ශුද්‍රයෝ ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහි කරන්නාහු නම් සියලු ශුද්‍රයන්ට ද දිගුකලක් හිත සැප පිණිස වන්නේ ය.

 

47. දීඝය, ඉදින් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය ද, දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව ද මේ කුලපුත්‍රයන් තිදෙන පහන් සිතැත්තාහු සිහිකරන්නාහු ද … බොහෝ කලක් හිත සැප පිණිස වන්නේ ය.

 

48. දීඝය, මේ කුලපුත්‍රයෝ තිදෙන යම් තාක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස පිළිපන්නාහු යයි දකුව.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති දීඝ පරජන දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළි ගත්තේ ය.

 

පළමු වැනි වූ ‍ චූළගොසිඬ්ග සුත්‍රය නිමියේ ය.