චූළතණ්හාසංඞ්ඛය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

7

වූළතණ්හාසඞ්ඛය සූත්‍රය

 

1.මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම්මහවෙහෙර මුවරමාපහයෙහි වැඩ වෙසෙති. එක්බිති සක්දෙව් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේ. එකත්පස් ව සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ:

 

2. “වහන්ස, කිපමණෙකින් මහණ තෙමේ සැකෙවින් තණ්හාසඞ්ඛය විමුත්ත (තෘෂ්ණා නිරෝධ නම් වූ නිවන් අරමුණ කොට රහත්) වූයේ, ඒකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයොගක්ෂෙම ඇතියේ, නිත්‍ය බ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ දැ”යි (රහත්හුගේ පූර්වභාගප්‍රතිපද් සැකෙවින් වදාළ මැනැවැයි සැළකෙළේය).

 

3. දේවෙන්‍ද්‍රය, මෙසස්නෙහි මහණහු විසින් (ස්කන්‍ධායතනධාතුසඞ්ඛ්‍යාත) හැම දහම්හු අභිනිවෙශය (තෘෂ්ණාදීන් බැසගැණීම) පිණිස නො යෙදෙතියි අසන ලද වෙයි. දේවෙන්‍ද්‍රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවෙශය පිණිස යුතු නො වෙති’යි එකරුණ මෙසෙයින අසන ලද වේද, හේ ස්කන්‍ධාදිසර්‍වධර්‍ම (ඥානපරිඥායෙන් අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තිරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේ ය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වේදනාවක් විදුනේ වේ ද, හේ ඒ වෙදනාවන්හි අනිත්‍ය විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණින් යුක්ත ව වාස කෙරෙයි. නිරෝධ විසින් දක්නා නුවණින් යුක්ත ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් කෙලෙස් හැරලන නිවන් වදනා මගනැණින් යුක්ත ව වෙසෙයි. හේ ඒ වේදනාවන්හි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරොධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ, පඤ්චස්කන්‍ධලොකයෙහි කිසිදු සංස්කාරයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේය. නො ගන්මින් තෘෂිත (තෘෂ්ණාන්විත) නො වෙයි. (තණ්හා පරිතස්සන විසින්) පිපාසික නො වන්නේ සිය සතන්හි ම (කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය. බඹසරවස් වසන ලදී. (සොළොස්) කරණී කරන ලදී. නැවත මෙබවට නො එමී’ දනී. දේවෙන්ද්‍රය, මෙතෙකින් මහණ සංක්‍ෂිප්ත විසින් නිවන් අරමුණ කොට රහත් වූයේ. එකාන්තනිෂ්ඨා ඇතියේ, තින්‍යයොගක්ෂේම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යි. (මේ රහත්හුගේ පූර්වභාග ප්‍රතිපද් සැකෙවින් වදාළ නියා යි.)

 

එක්බිති සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනය කොට අනුමෝ ව භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් කෙළේ.

 

4. එකල ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරැ හුන්හ. එසඳ මහමුගලන් මහතෙරහට තෙල සිත් වී: “කිම ඒ යක් භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද, නොහොත් නොදැන අනුමෝදන් වීදැයි. ‘භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය දැන අනුමෝදන් වීද නොහොත් නොදැන අනුමෝදන් වීදැ’යි මම ඒ යක් පිළිවිස දනිම් නම් මැනැවැ”යි. එක්බිති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු බලවත් පුරුෂයෙක් වක් කළ අතක් හෝ දික් කරන්නේත්, දික් කළ අතක් හෝ වක් කරන්නේත් යම් සේ ද, එසේ පුවරම් මහවෙහෙරැ මුවරමාපායෙහි අතුරුධන් වූවෝ තවුතිසා වැසි දෙවියන් කෙරෙහි පෙනුණාහු.

 

5. එසඳ සක්දෙව්රජ එකපුණ්ඩරීක නම් උයන්හි (තමා පිරිවරා වයන) පන්සියක් දෙව්පසඟතුරු රැවින් සමර්පිත ව සමන්විතව ඉඳුරන් පිණවා වාස කෙරෙයි. සක්දෙව්රජ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු වඩනවුන් දුරින් ම දිට. දැක (වයමින් සිටි) පන්සියක් දිවපසඟතුරු බැහැර කරවා මහමුගලන් මහතෙරුන් කරා එළඹියේ ය. එළඹ මුගලන් මහතෙර හට තෙල සැළ කෙළේ: “නිදුක, මුගලන් තෙරණුවනි, වඩනේ මැනැව. නිදුක මුගලන් තෙරණුවනි, තොපට ස්වාගත කරමි. නිදුක, මුගලන් තෙරණුවනි, මෙහි අපකරා වඩනට බොහෝ කලෙකින් මේ වාරය කළදැ යයි (බොහෝ කලෙකින් වැඩිදෑ ය යි ප්‍රියකථා බැණ) නිදුක, මුගලන් තෙරණුවනි, මේ අසුන් පැනවිණ, වැඩහිඳුනේ යැ”යි කී. මුගලන් මහතෙරහු පැන්වූ අස්නෙහි හුන්හ. සක්දෙව්රජ ද මිටි අස්නක් ගෙන එකත්පස් ව හින. එකත්පස් ව හුන් සක්දෙවිරජහට ආයුෂ්මත් මුගලන් මහතෙරහු තෙල බස් කීහ: “දෙව්රජිනි, අප බුදුහු තොපට සැකෙවින් තණ්හා සඞ්ඛය විමුත්තිය (නිවන අරමුණ කොට මිදීම) කිසෙයින් නම් වදාළ සේක් ද? අයදුම්හ, අපිදු තෙල සූත්‍රදේශනා කථා අසනුවට භාගී වම්හයි.

 

6. “නිදුක, මුගලන, අපි බොහෝ කටයුතු ඇතියම්හ. අපගේ ම කාර්ය්‍ය මඳ වෙයි. වැලිදු තව්තිසාවැසි දෙවියන්ගේ කාර්ය්‍ය බෙහෙව. තව ද, නිදුක, මුගලන, අප මනා කොට ඇසූ, මනා කොට උගත්, මොනොවට මෙනෙහි කළ, මොනොවට ධැරු යම් දැයෙකුදු වීනම්, එය වහා ම අතුරුධන් වෙයි. නිදුක, මුගලන, වූවිරිදැයක් කියමි: දෙවාසුරසඞ්ග්‍රාමයෙක් රාශිභූත වී. මුගලන් තෙරණුවනි, ඒ සඞ්ග්‍රාමයෙහි දී දේවයෝ දුනුහු. අසුරයෝ පැරැදුනුහු. නිදුක, මුගලන් තෙරණුවනි, මම ඒ සඞ්ග්‍රාමය දිනා දුනු සඞ්ග්‍රාම ඇති ව එයින් නැවති වෛජයන්ත නම් පහය මැවීමි. නිදුක, මුගලන් තෙරණුවනි, විජයන් පහය සියක් නිර්යූහ (මුදුන්තල) ඇත. එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාරය. එකෙකි කූටාගාරයෙහි සත් සත් අප්සරාවෝ ය. එකෙකි අප්සරාවට සත් සත් (උවටන් කරන) පරිචාරිකා දෙව්දූහ. මාරිෂ, මෞද්ගල්‍යයනයෙනි, තෙපි කැමැතියා ව විජයත්පහය රමණී සේ දක්නට යැ යි (දෙව්රජ කී.) මුගලන් මහතෙරහු නොබැණ ඉවසූහ.

 

7. එකල්හි සක්දෙව්රජ ද වෙසවුණු රජ ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පෙරට කොට ගෙන විජයත්පහයට ගියහ. එසඳ සක්දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වඩනුවන් දුරින් ම දුටහ. දැක බිය ඇති ව විළි ඇති ව තමන් තමන්ගේ ඔවරකයට පිවිසියහ. යම් පරිදි ණියක් (ලේළි) සුහුරකු දැක විළිබිය ගන්නී වේ ද, එපරිදි ම දෙව්රජහුගේ පරිචාරිකාවෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් දැක විළිබිය ඇති ව තමන් තමන් ඔවරකයට ගියෝ. එක්බිති, සක්දෙව්රජ හා වෙසවුණුමහරජ හා දෙදෙන ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් විජයත් පහය ඔබ මොබ ඇවිදුවත්: “ආර්ය්‍යය, මුගලන් තෙරණුවනි, විජයත් පහය මෙද රමණී සේ බලව. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙද වෛජයන්ත ප්‍රාසාදයාගේ රමණී සේ බලව”යි කීහු. “පෙර පින් කළ පරිදි ආයුෂ්මත් ශක්‍රදේවේන්ද්‍රයනට මේ පහා හොබනේ ම ය. මිනිස්හුදු කිසියම් රමණී දැයක් දැක මෙසේ කියති: “භවත්නි, තෙල දැය තව්තිසා වැසි දෙවියනට හොබනේ මය” කියායි. පෙරපින් කළ කෙනෙකුන්ට හොබනාක් සෙයින් ආයුෂ්මත් දෙවෙන්ද්‍රයනට මේ පහා හොබනේ මැ ය.

 

8. එසඳ ආයුෂ්මත් මහ මුගලන් මහතෙරණුවන්ට මෙ සිත්වී: “මෙ යක් (තමා පහයෙහි නළුවන් හා සම්පත් යශසින්) ඉතා මත් ව දවස් යවයි. මම මෙ යක් සංවිග්න (බියපත්) කෙරෙම් නම් මනා මැනු” යි. ඉක්බිති ආයුෂ්මත් මුගලන් මහතෙරහු යම්සේ විප්යත් පහය පාදාඞ්ගුෂ්ඨයෙන් පහළේ බමා ද, සැලේ ද, නොසිටී ද, එසේ (අප්කිසිණු සමවත් සම වැද) ඍද්ධියක් කළහ. එසඳ සක්දෙවු රජ ද වෙසවුණු මහරජ ද තව්තිසා වැසි දෙවියෝ ද විස්මයප්‍රාප්ත සිතැති වූහු: ‘යම්හෙයෙකින් දිව්‍යභවනය පාදාඞ්ගුෂ්ඨයෙන් බැමී ද, සැලී ද, නොසිටුවී ද, එහෙයින් මහණහුගේ මහ ඉදුහ ඇති බව මහානුභාව ඇති සේ බලව. භවත්නි, එකාන්තයෙන් අසිරිය, අද්භූතය’යි (ගිගිරි කොළෝ.)

9. එකල්හි ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙව් රජු සංවිග්න වූවහු පිපිලොමින් ගැවැසි සිරුරු ඇතියහු දැක සක්දෙව් රජහට තෙල බස් කීහ: “දේවේන්ද්‍රය, අප බුදුහු තොපට තණ්හාසඞ්ඛය විමුත්ති කෙසේ වදාළ සේක් ද? යදිමු, අපිදු තෙල දෙශනාකථා එසේ අසනු පිණිස සහභාගී වම්හ” යි.

 

10. “වහන්ස, මුගලන් තෙරණුවනි, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෙමි. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව සිටියෙමි. භවත් මුගලන, එකත්පස් ව සිටි මම භාග්‍යවතුන් වහන්සේට තෙල බස් සැළකෙළෙමි. “වහන්ස, කිපමණෙකින් (කවර ප්‍රතිපදාවකින්) මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, එකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයොගක්‍ෂෙම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්ය්‍යවසාන ඇතියේ, දෙවි මිනිස්නට උතුම් වූයේ වේදැ” යි සැකෙවින් (ඒ පූර්‍වභාග ප්‍රතිපදාව) වදාළ මැනැවැ යි සැළ කෙළෙමි. වහන්ස, මුගලන් තෙරණුවනි, මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ මට තෙල බණ වදාළහ:

 ‘දෙවේන්ද්‍රය, මෙ සස්නෙහි මහණහු විසින් ‘හැම දහම්හු අභිනිවෙශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දෙවෙන්ද්‍රය, මහණහු විසින් “සර්‍වධර්‍මයෝ අභිනිවෙශය පිණිස යුතු නොවෙති” යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේද, හේ ස්කන්‍ධාදි සර්‍වධර්‍ම (ඥාතපරිඥායෙන්) වෙසෙසින් දන්නේය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණපරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වෙදනාවක් විඳුනේ වේද, හේ ඒ වෙදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. නිරෝධ විසින් දක්නා නුවණ ඇති ව දවස් යවයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණ ඇති ව වසයි. හේ ඒ වෙදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරොධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නොගන්නේය. නොගන්මින් තෘෂ්ණාන්විත නොවෙයි. (තණ්හාපරිතස්සනා විසින්) පිරිතැසි නොකරනුයේ ස්වසන්තානයෙහි ම (කෙලෙස් පිරිනිවියෙන්) පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය, බ්‍රම්සරවස් වසන ලදී, කරණී කරන ලදී. නැවත මෙ බවට එනු පිණිස කිසිත් නැතැ’යි දනී. දෙවෙන්ද්‍රය, මෙතෙකින් සැකෙවින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, එකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයෝගක්‍ෂෙම ඇතියේ, නිත්‍යබ්‍රම්සර ඇතියේ, අත්‍යන්තපර්ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේ යැ’යි මෙසේ මට භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූවහු පිළිබඳ පූර්‍වභාග ප්‍රතීපද් වදාළහ යි සැළකෙළේ ය.

 

11. එසඳ ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු සක්දෙවි රජහුගේ තෙපුල් අභිනන්දනයෙන් පිළිගෙන අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක් කළ අත් හෝ දික් කරන්නේත්, දික් කළ අත් හෝ වක් කරන්නේත් වේ ද, එ සේ තව්තිසැ දෙවියන් කෙරෙහි අතුරුදන් ව පූර්‍වාරාම මහවෙහෙර මුවරමා පහයෙහි පහළවූහු.

12. ඉක්බිති සක්දෙව්රජහුගේ පිරිවර සුරවමියෝ ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වඩනා හා ම සක්දෙව්රජහට තෙල බස් කීහු. “වහන්ස, මුහු තොපගේ ඒ භගවත් ශාස්තෲහු වෙත්දැ?”යි. ‘ප්‍රියාවෙනි, මුහු මාගේ ශාස්තෲහු නොවෙති. මාගේ සබඳ සබ්‍රම්සර කෙනෙක. මුහු ආයුෂ්මත් මහමුගලන්හ”යි. වහන්ස, තොපගේ සබඳ සඟ කෙනෙක් මෙබඳු මහඉදුහ ඇතියහ, මෙබදු මහානුභාව ඇතියහ. වහන්ස, තොපට ලාභයෙක. අහො, තොපගේ ඒ භගවත් ශාස්තෲහු කිසේ වෙති හො යි. (සුරවමියො කීහු.)

13. එක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: -

 

 “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ප්‍රසිද්ධ එක්තරා මහෙශාඛ්‍ය දෙවියකුට තෘෂ්ණානිරොධ සඞ්ඛ්‍යාත නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම සැකෙවින් වදාළ දැ දන්නා සේක්දෝ”යි.

 

14. “මුගලන, මම දනිමි: සක්දෙව්රජ මා කරා එළඹියේ ය. එළඹ මා සකසා වැඳ එකත්පස් ව සිටගත. මුගලන, එකත්පස් ව සිටි සක්දෙව්රජ මට තෙල සැළකෙළේ: වහන්ස, කිපමණෙකින් මහණ නිවන් අරමුණු කොට රහත් වූයේ, එකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයොගක්‍ෂෙම ඇතියේ, නිත්‍යබ්‍රහ්මචර්ය්‍ය ඇතියේ, අත්‍යන්තපර්ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට උතුම් වූයේ වේදැ යි සැකෙවින් (ඔහුගේ පූර්‍වභාග ප්‍රතිපද්) වදාළ මැනවැයි. මුගලන මෙසේ සැළකළ කල මම සක් දෙව්රජුට තෙල කීමි: දෙවෙන්ද්‍රය, මෙසස්නෙහි මහණහු විසින් ‘හැමදහම්හු අභිනිවෙශය පිණිස නො යෙදෙති’ යි අසන ලද වෙයි. දෙවෙන්ද්‍රය, මහණහු විසින් ‘සර්‍වධර්‍මයෝ අභිනිවෙශය පිණිස යුතු නොවෙති’ යි තෙල කරුණ මෙසෙයින් අසන ලද වේ ද, හේ ස්කන්ධාදි සර්‍වධර්‍ම ඥාතපරිඥායෙන් (අනිත්‍යාදි විසින්) වෙසෙසින් දන්නේ ය. සර්‍වධර්‍ම වෙසෙසින් දැන සර්‍වධර්‍ම (තීරණ පරිඥායෙන්) පිරිසිඳ දන්නේය. සර්‍වධර්‍ම පිරිසිඳ දැන සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛ අසුඛ වේවයි යම් ම වෙදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වෙදනායෙහි අනිත්‍ය විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. විරාග විසින් දක්නා නුවණ ඇති ව වාස කෙරෙයි. නිරොධ විසින් දක්නා නුවණ ඇති ව වෙසෙයි. පටිනිස්සග්ග විසින් දක්නා නුවණින් නුවණැති ව වාස කෙරෙයි. හේ ඒ වෙදනායෙහි අනිච්චානුපස්සී ව විරාගානුපස්සී ව නිරොධානුපස්සී ව පටිනිස්සග්ගානුපස්සී ව වසනුයේ පඤ්චස්කන්ධ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) නො ගන්නේ ය. නො ගන්මින් (තණ්හාපරිතස්සනා විසින්) තෘෂ්ණාන්විත නො වන්නේ තමා විසින් ම පිරිනිවෙයි. ‘ජාතිය ක්‍ෂීණ විය. බ්‍රම්සරවස් වසන ලද. කරණී කරන ලද. මෙ බව පිණිස අන් කිසිවක් නැතැ’යි දනී. දෙවෙන්ද්‍රය, මෙතෙකින් මහණ සැකෙවින් නිවන් අරමුණු කොට රහත් වූයේ, එකාන්තනිෂ්ඨා ඇතියේ, නිත්‍යයොගක්‍ෂෙම ඇතියේ, නිත්‍ය බ්‍රහ්මචර්ය්‍ය ඇතියේ අත්‍යන්ත පර්ය්‍යවසාන ඇතියේ, දෙවිමිනිස්නට උතුම් වූයේ වේයයි වදාළෙමි. මුගලන, මම සක්දෙව්රජුට තණ්හාසඞ්ඛය විමුත්තිය (නිවන් අරමුණු කොට කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ ප්‍රතිපද්) මෙසේ සැකෙවින් වදාළෙම් දනිම්”යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගත් සිතැති ආයුෂ්මත් මහමුගලන් මහතෙරහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කළහ.

සත්වැනි වූ වූළතණ්හාසඞ්ඛය සූත්‍රය නිමියේ ය.