චූළසච්චක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

4

චූළසච්චක සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑරට ගඞ්ගා හෝතෙර උක්කවෙලා නම් නුවර වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

 

2. මහණෙනි, පෙර වූවෙකි: මගධරට වැසි දුෂ්ප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂා ඍතුවෙහි පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙතෙර නො සලකා එ තෙර නො සලකා නුසුදුසු තොටින් විදෙහයන් සතු උතුරු තෙරට ගවයන් තැරැවී. මහණෙනි, එකල්හි ගවයෝ ගඞ්ගානදිය මැද සළාවැටුමෙක මැඬිලි කොට එහි ම අවැඩවනසට පත්වූහ. (මුහුදට වන්හ.) ඒ කවර හෙයින යත්: මහණෙනි, නුනුවණ පියවි ඇති ගොපල්ලා වසන් පැසුළුමස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර නො සලකා එ තෙර නො සලකා විදේහයන් සතු උතුරුඉවුරට නුසුදුසු තොටින් ගවයන් තැරැවී. (එහෙයිනි.)

 

3. මහණෙනි, එ පරිදි ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකයෙහි (ස්කන්‍ධ - ධාතු - ආයතනයන්හි) අදක්‍ෂ වෙද්ද, පරලොකයෙහි (ස්කන්‍ධ - ධාතු - ආයතනයන්හි) අදක්‍ෂ වෙද්ද, මාරධෙය්‍යසඞ්ඛ්‍යාත (මරුනිවස වූ) ත්‍රෛභූමික ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, අමාරධෙය්‍යසඞ්ඛ්‍යාත නවලොකොත්තරධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, මච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත ත්‍රෛභූමික ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, අමච්චුධෙය්‍ය සඞ්ඛ්‍යාත නවලොකොත්තර ධර්‍මයෙහි අදක්‍ෂ වෙද්ද, යම් කෙනෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට හැදැහිය යුතු කොට හඟින්නාහු ද එය ඔවුන්ට අහොරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේය.

 

4. මහණෙනි, වූවිරූ දැයෙකි: මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ගොපල්ලෙක් වර්ෂාඍතුයෙහි පැසුළු මස ශරත්කාලයෙහි ගඞ්ගානදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදෙහයන් සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තරණය කරවීය. හේ ගොපිතෘ ගොපරිනායක යම් වෘෂභ කෙනෙක් වූහු නම්, පළමු උන් එතෙර කරවී. ඔහු ගඟ සරස ස්‍රොතස් සිඳ ගෙණ සුවසේ පර තෙරට ගියාහු ය. ඉක්බිති අදාන්ත ගවයනුදු දම්‍ය ගවයනුදු එතෙර කරවීය. ඔහු ද ගඟ සරස සැඬ සළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති නහඹු වස්සන් හා වැස්සන් එතෙර කරවීය. ඔවුහු ද ගඟ සරස සැඬසළා සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ය. ඉක්බිති කෘශබල ඇති සෙසු (දුබල) වස්සන් එතෙර කරවීය. ඔහුදු ගඟ සරස ස්‍රොතස් බිඳ සුවසේ පරතෙර වන්හ.–

 

මහණෙනි, පෙර වූවෙකි: එ දවස උපන් මවගේ ‘හුං හුං’ ගොරැවින් ගෙණයනු ලබන ළදරුවස්සෙක් වී ද, ඒ වසු ද ගඟ සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, එපරිද්දෙන් මගධරටවැසි සප්‍රාඥ ස්වභාව ඇති ඒ ගොපලු වර්ෂාමාසය පිළිබඳ පැසුළුමස්හි ශරත්කාලයෙහි ගඞ්ගා නදියෙහි මෙ තෙර සලකා එ තෙර සලකා විදේහ රට සතු උතුරුඉවුරට සුදුසු තොටින් ම ගවයන් තැරැවීය.

 

5. මහණෙනි, එ පරිද්දෙන් ම යම් ම ශ්‍රමණයෝ වෙත් වයි බ්‍රාහ්මණයෝ වෙත් වයි මේ ලෝකය පිළිබඳ දක්‍ෂ වෙත් ද, පරලොව පිළිබඳ දක්‍ෂ වෙත් ද, මාරධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමාරධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, මච්චුධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, අමච්චුධෙය්‍යය පිළිබඳ දක්‍ෂ වෙත් ද, යමෙක් ඔවුන්ගේ වචනය ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිද්ද, එය ඔවුනට බොහෝකල් හිත පිණිස සුව පිණිස වන්නේ ය.

 

6. මහණෙනි, යම් සේ යම් ඒ ගොපිතෘ වූ ගොපරිණායක වූ වෘෂභයෝ ගඞ්ගානදිය සරස සැඬ වතුරු සිඳ ගෙණ සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම ක්‍ෂීණාස්‍රව වූ වැස නිම වූ බඹසරවස් ඇති, සතර මඟින් කළ (සිවුසස් පිළිබඳ) සොළොස් කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත් ඵල ඇති, ගුණු භවසංයෝජන ඇති, ඥානයෙන් මැනැවින් දැන පඤ්චවිමුක්තීන් මතු යම් ඒ රහත් භික්‍ෂූහු වෙත් ද, ඔහු මාරයාගේ තණ්හා නැමැති සැඬවතුරු සරස සිඳ සුවසේ සංසාරපාරයට (නිවනට) ගියාහුය.

 

7. මහණෙනි, යම් සේ ඒ බලවත් දාන්තගවයෝ දැමියයුතු ගවයෝ ගඞ්ගානදිය සරස සැඬවතුරු සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් ඔරම්භාගිය සඤ්ඤොජන පස නැති කිරීමෙන් බඹලොව උපපාදක වශයෙන් උපන්නාහු එහි පිරිනිවන්නාහු ඒ බ්‍රහ්මලෝකයෙන් පෙරළා නො එන ස්වභාව ඇත්තාහු වෙත් ද, ඔහු ද මාරයාගේ සැඬවතුරු සරස සිඳ සුවසේ සසර පරතෙරට හෙවත් නිවනට යන්නාහුය.

 

8. මහණෙනි, යම් සේ ඒ නහඹු වස්සෝ ද වැස්සෝ ද ගඞ්ගා නදියෙහි සරස සැඬවතුරු සිඳ ගෙන සුවසේ පරතෙරට ගියාහු ද, මහණෙනි, එ පරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් ත්‍රිවිධ සංයොජනයන්ගේ පරික්‍ෂයයෙන් රාගද්වෙෂමොහයන් තුනු බැවින් සකෘදාගාමි වූවාහු වරක් ම මේ ලොකයට අවුත් දුක් කෙළවර කරන්නාහු ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.

 

9. මහණෙනි, යම් සේ දුබල වස්සෝ ගඞ්ගානදියෙහි සැඩවතුර සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන් ම යම් ඒ භික්‍ෂු කෙනෙක් තුන් සංයොජන ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු අවිනිපාතස්වභාව ඇත්තාහු, ගතිනියත වූවාහ, සම්බොධිපරායණ වූවාහු වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිඳ සුවසේ සසරපරතෙරට යන්නාහ.

 

10. මහණෙනි, යම් සේ එ දවස උපන් මවගේ ගොරැවින් ගෙණයනු ලබන ළදරු වසුපැටියෙක් ගඞ්ගානදියෙහි සැඬවතුරු සරස සිඳ ගෙණ සුවසේ පරතෙර ගියේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ධම්මානුසාරි (ප්‍රඥාධික) වූ ද සද්ධානුසාරි (ශ්‍රද්ධාධික) වූ ද යම් ඒ (ප්‍රථම මාර්ග සමඞ්ගී) භික්‍ෂු කෙනෙක් වෙත් ද, ඔහු ද මාරයාගේ ස්‍රොතස් සරස සිඳ ගෙණ සුවසේ පරතෙර යන්නාහ.

 

11. මහණෙනි, මම වනාහි මේ ලොකය පිළිබඳව දක්‍ෂ වෙමි. පරලොව පිළිබඳව දක්‍ෂ වෙමි. මාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමාරධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. අමච්චුධෙය්‍යය පිළිබඳව දක්‍ෂ වෙමි. මහණෙනි, ඒ මාගේ වචනය යම් කෙනෙක් ඇසිය යුතු කොට ඇදහිය යුතු කොට හඟිත් ද, ඔවුනට එය බොහෝ කල් හිත පිණිස සුව පිණිස පවත්නේ ය.

 

12. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. තෙල වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ ඉක්බිතිව අන්‍ය වූ මේ ගාථා වදාළ සේක:

 “හැම දහම් දන්නා බුදුරජුන් විසින් මෙලොව හා පරලොව මනාව වදාරණ ලදි. මාරයා විසින් යමෙක් පැමිණෙන ලද ද, මාරයා විසින් යමෙක් නො පැමිණෙන ලද ද, සියල්ල දන්නා බුදුරජුන් විසින් ඒ සියලු ලෝකය විශිෂ්ටඥානයෙන් දැන නිවනට පැමිණීම පිණිස නිර්භය වූ ආර්ය්‍යමාර්ගය විවෘත කරණ ලදී. පාපී මාරයාගේ තෘෂ්ණා නැමැති සැඬ වතුරු සිඳින ලදි. විනාශ කරණ ලදි. මාන නළ දුරු කරණ ලදි. මහණෙනි, ප්‍රමොද බහුල කොට ඇත්තෝ වවු. නිවන පතවු.”

සිවුවන චූළගොපාලක සූත්‍රය යි.

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර නිසා මහවනයෙහි කූටාගාරශාලා නම් ගඳකිළියෙහි වැඩ වසන සේක. එ කල්හි කථාමාර්‍ග කියන පණ්ඩිතවාද ඇති, ‘සාධු’ ය යි බොහෝ දෙනා විසින් සම්මත සච්චක නම් නුවටපුත් විශාලා මහනුවර වෙසේ. හෙ විශාලා මහනුවර පිරිස්හි මෙසේ ඛෙණේ: මා විසින් කථාමාර්‍ගයෙන් දොස් ඇරැවූ යම් කිසිවෙක් කම්පිත නො වන්නේ ද, ප‍්‍රකම්පිත නො වන්නේ ද, වෙවුළා නො යන්නේ ද, යමකුගේ කක්‍ෂයෙන් ස්වෙද නො සිලියේ ද, එබඳු වූ, ශිෂ්‍යසඞ්ඝ ඇති, ශිෂ්‍යගණ ඇති, ගණාචාර්‍ය, ශ‍්‍රමණයකු හෝ බ‍්‍රාහ්මණයකු හෝ - ‘රහත්මි’යි ‘බුදුමි’යි පිළිණ කරනුවකු පවා නො දතිමි. -

 

 

ඉදින් මම අචෙතනික වූ ටඹට වාදයෙන් වාදාරොපණය කරන්නෙම් නම්, මා විසින් වාදාරොපණ කරණ ලද ඒ ටඹ ද කම්පිත වන්නේ ය. ප‍්‍රකර්‍ෂයෙන් කම්පිත වන්නේ ය. වෙවුළා යන්නේ ය. මිනිසකුට වාදාරොපණ කෙළෙමි නම් කවර කථා ය’.

2. ඉක්බිති ආයුෂ්මත් අස්සජි තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙණ විශාලානුවර පිඬු පිණිස පිවිසියහ. සච්චක නිර්ග‍්‍රන්‍ථ පුත‍්‍රද විශාලා නුවර ජඞ්ඝාවිහාර පිණිස සක්මන් කරනුයේ (රජගෙන් රජගෙට පයින් වැදෑ) ඇවිදුනේ අස්සජි තෙරණුවන් දුරදී ම එනුවන් දුටුවේ ය. දැක ආයුෂ්මත් අස්සජි තෙරණුවන් හා සතුටු වී තුස්නට. නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සච්චක නුවට පුත් ආයුෂ්මත් අස්සජි තෙරුන්හට තෙල කී ය:

 

“කියග අස්සජිය, මහණ ගොයුම් සව්වන් කෙසේ හික්මවයි ද, මහණ ගොයුමහුගේ සව්වන් කෙරෙහි කෙබඳු අනුශාසනා බහුලව පවත්නී ද?”

ගිනිවෙස්න, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සව්වන් හික්මවන සේක. ශ‍්‍රාවකයන් කෙරෙහි භාග්‍යවතුන් වහන්සේ මෙබඳු අනුශාසනා බහුලව පවත්නී ය:

 

“මහණෙනි, රූප අනිත්‍ය ය, වෙදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍යහ, විඥාන අනිත්‍ය ය. මහණෙනි, රූප අනාත්ම ය, වෙදනා අනාත්ම ය, සංඥා අනාත්ම ය, සංස්කාරයෝ අනාත්මයහ, විඥානය අනාත්මය. සියලූ සංස්කාරයෝ අනිත්‍යයහ. සියලූ ධර්‍මයෝ අනාත්මයහ” කියා යි.

 

ගිනිවෙස්න, මේ අයුරිනි භාග්‍යවතුන් වහන්සේ ශ‍්‍රාවකයන් හික්මවන සේක. භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු අනුශාසනා සව්වන් කෙරෙහි බහුලව පවත්නීය.

 

 “භවත් අස්සජිය, අපි ශ‍්‍රමණ ගෞතමයන් මෙවැනි වාද ඇතියවුන් ඇසුමෝ ද, නො ඇසුව යුතු දැයක් ම ඇසුම්හ. අපි යම් කිසි දවසෙක ඒ භවත් ගෞතමයන් හා හමුවට යන්නමෝ නම් මනා මැ නු. කිසියම් කථා බිණීමෙක් උපන් නම් මනා මැනු. ඒ පවිටු මිථ්‍යාදෘෂ්ටියෙන් ගළවා පියන්නමෝ නම් මනා මැ නු” යි සච්චක කි.

 

3. ඒ කල පන්සියක් පමණ ලිච්ඡවීහු කිසි කාර්යයක් සඳහා සන්‍ථාගාරයෙහි රැස්වූහු. එකල්හි සච්චක නිගණ්ඨපුත් ඒ ලිච්ඡවීන් වෙත එළඹියේ ය. එළඹ ඒ ලිච්ඡවීන්ට තෙල කී:

 

 “භවත් ලිච්ඡවීනි, එත්වා! භවත් ලිච්ඡවීනි එත්වා! අද මහණ ගොයුම් හා මාගේ කථාසල්ලාප වෙයි. යම් සේ ඔහුගේ විඛ්‍යාත - ප‍්‍රසිද්ධ (පස්වග ශ‍්‍රාවකයන් කෙරෙහි) එක්තරා ශ‍්‍රාවකයකු වූ අස්සජි නම් මහණහු විසින් මට යම්සේ (වචනයෙන්) පිහිටන ලද ද, ඉදින් මහණ ගොයුම් මට එසේ පිහිටා සිටින්නේ නම්, යම් සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොමැ ගෙණ (ඔබට මොබට ලා) ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද, එසෙයින් ම මම් මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කරමි. -

 

යම් සේ බලවත් සුරාකම්කරුවෙක් මහත් වූ පිටි පැදුරු ගැඹුරු විලෙක බහා දෙකන ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද, එ පරිද්දෙන් ම මම ශ‍්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකර්‍ෂණ, පරිකර්‍ෂණ, සම්පරිකර්‍ෂණ කරමි. යම් සේ ශක්තිමත් සුරා ධූර්තයෙක් රහපරහන (මටුලුකස්ස) දෙකන ගෙන යටිකුරු කොට සලා පියා ද, උඩුකුරු කොට සලා පියා ද, නැවැත නැවැත ගසාපියාද, එසේම මම ශ‍්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට අවධුනත නිර්ධුනත කරමි. නිෂ්ඵාෙටනය (පොළාලීම) ද කරමි. යම් සේ සැටවයස් පිරුණු ඇතෙක් ගැඹුරු පොකුණකට බැස හණදොවුන්කෙළි කෙළී ද මෙ පරිද්දෙන් ම මම ශ‍්‍රමණගෞතමයන් සමඟ සණදොවුන්කෙළි වැනි වාදකෙළියක් කෙළිමි. භවත් ලිච්ඡවීනි, එත්වා. භවත් ලිච්ඡවීනි, එත්වා. අද ශ‍්‍රමණ ගෞතමයන් සමඟ මාගේ කථාසල්ලාපයෙක් වන්නේ ය”යි.

 

4. එහි ඇතැම් ලිච්ඡවි කෙනෙක් මෙසේ කීහ: “ශ‍්‍රමණගෞතම සච්චක නිගණ්ඨපුත‍්‍රයාට කුමන වාදාරොපණයක් කරන්නේ ද, සච්චක නිගණ්ඨපුත‍්‍ර ශ‍්‍රමණගෞතමයන්ට වාදාරොපණ්‍ය කරනු මිස” කියා යි ඇතැම් ලිච්ඡවීහු මෙසේ කීහ: “සච්චකනිගණ්ඨපුත‍්‍ර හෙ (යක්, දෙවි, බඹ) ඈ කවරක්ව සිටිමින් භාග්‍යවතුන් වහන්සේට වාදාරොපණය කරන්නේ ද, වැලි භාග්‍යවතුන් වහන්සේ සච්චකනිගණ්ඨපුත‍්‍රහට වාදාරොපණය කරනු මිස”යි.

 

5. එකල්හි සච්චකනිගණ්ඨපුත‍්‍ර පන්සියක් පමණ ලිච්ඡවීන් පිරිවරා ගෙන මහවනවෙහෙර කූටාගාරශාලාව වෙත පැමිණියේ ය. එසමයෙහි බොහෝ මහණහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති සච්චකනිගණ්ඨපුත‍්‍ර ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට තෙල කී: භවත්නි, ඒ භවත් ගෞතම දැන් කොහි වෙසෙයි ද? අපි ඒ භවත් ගෞතමයන් දක්නා කැමැත්තම්හ. “ගිනිවෙස්න, භාග්‍යවතුන් වහන්සේ මහාවනයට වැද එක්තරා රුක්මුලෙක දිවාවිහාර පිණිස හුන් සේක”යි කීහු.

 

6. එසඳ සච්චකනිගණ්ඨපුත‍්‍ර මහත් ලිච්ඡවි පිරිස් සමඟ මහවන වැද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. තුස්නට නිසි සිහි කරනුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක හින. ඒ ලිච්ඡවීහු ද - ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූහ. සම්මොදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ එකත්පසෙක හුන්හ. ඇතැම්හු භාග්‍යවතුන් වහන්සේ පෙරට නම් ගොත් අස්වා එකත්පසෙක හුන්හ. ඇතැම්හු තුෂ්ණිම්භූත වූවාහු එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් සච්චක නුවටදරු භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “මම භවත් ගොයුම්හු කිසි දෙසක් පිළිවිසියැටියෙමි. භවත් ගොයුමාණන් ප‍්‍රශ්න විසඳනු සඳහා මට අවකාශයක් කළ හොතිනැ”කියායි. “ගිනිවෙස්න, රිසියෙන දැයක් පුළුවුස”යි පවාරා වදාළහ.

 

7. “භවත් ගෞතමයෝ කෙසේ ශ‍්‍රාවකයන් හික්මවත් ද? ශ‍්‍රමණ ගෞතමයන්ගේ කෙබඳු අනුශාසනා ශ‍්‍රාවකයන් කෙරෙහි බහුලව පවත්නී ද?”

 

 

ගිනිවෙස්න, මම මෙසේ ශ‍්‍රාවකයන් හික්මවමි. මාගේ මෙබඳු අනුශාසනා ශ‍්‍රාවකයන් කෙරෙහි බහුල වශයෙන් ඇත: මහණෙනි, රූප අනිත්‍ය ය, වෙදනා අනිත්‍ය ය, සංඥා අනිත්‍ය ය, සංස්කාරයෝ අනිත්‍යයහ, විඥාන අනිත්‍ය ය. මහණෙනි, රූප අනාත්මය, වෙදනා අනාත්මය, සංඥා අනාත්මය, සංස්කාරයෝ අනාත්මයහ, විඥාන අනාත්ම ය. සියලූ සංස්කාරයෝ අනිත්‍යයහ. සියලූ ධර්‍මයෝ අනාත්මයහ. ගිනිවෙස්න, මෙසේ වනාහි මම ශ‍්‍රාවකයන් හික්මවමි. ශ‍්‍රාවකයන් කෙරෙහි බහුල වශයෙන් මාගේ මෙබඳු අනුශාසනා ඇතැයි.

 

8. “භවත් ගෞතමයෙනි, මට උපමායෙක් වටහයි”. “එ කියා, ගිනිවෙස්න”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

 

“භවත් ගොයුම්ගොතුව, යම් මේ බීජගාමභූතගාම කෙනෙක් වෘද්ධියට විරූඪියට විපුලත්‍වයට පැමිණෙත් ද, ඒ සියලු බීජගාමභූතගාමයෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා වෘද්ධියට විරූඪියට විපුලථවයට පැමිණෙත්. භවත් ගෞතමයෙනි, යම් සේ බාහුබලයෙන් කළ යුතු කර්‍මාන්ත කෙනෙක් වෙත් ද, ඒ හැමයෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා කරනු ලැබෙත්. භවත් ගෞතමයෙනි, එ පරිද්දෙන් ම රූප ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල රූපයෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව (රැස්) කෙරෙයි. වෙදනා ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල වෙදනායෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි. සංඥා ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල සංඥායෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි. සංස්කාර ආත්ම කොට ඇති මේ පුරුෂපුද්ගල සංස්කාරයෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි. විඤ්ඤාණ ආත්ම කොට ඇති මේ පුරුෂ පුද්ගල විඤ්ඤාණයෙහි පිහිටා පින් හෝ පව් හෝ ප‍්‍රසව කෙරෙයි.”

 

9. කියග ගිනිවෙස්න, තෝ ‘රූප මාගේ ආත්ම’ය, ‘වෙදනා මාගේ ආත්ම’ය, ‘සංඥා මාගේ ආත්ම’ය, ‘සංස්කාර මාගේ ආත්ම’ය, ‘විඤ්ඤාණ මාගේ ආත්ම’ය යෙහි නු?

 

 “භවත් ගෞතමයෙනි, මම ‘රූප මාගේ ආත්මය, වෙදනා මාගේ ආත්ම ය, සංඥා මාගේ ආත්ම’ය, සංස්කාර මාගේ ආත්ම ය, විඤ්ඤාණ මාගේ ආත්ම’ය යි යෙමි. මෙ මහාජනයෝ ද එ පරිදි කියති”

 

ගිනිවෙස්න, මහාජනයෝ තට කුම් කෙරෙද් ද? එබැවින් ගිනිවෙස්න, තො ම තාගේ වාද අවුල් බිඳ කියා’යි වදාළහ.

 

 “භවත් ගෞතමයෙනි, මම වනාහි ‘රූප මාගේ ආත්ම ය, වෙදනා මාගේ ආත්ම ය, සංඥා මාගේ ආත්ම ය, සංස්කාර මාගේ ආත්ම ය, විඤ්ඤාණ මාගේ ආත්මය’යි කියමි.”

 

10. ගිනිවෙස්න, (පස්කඳ ආත්ම ය යි පිළින කෙරෙහි ද) එකරුණින් මෙහිලා තා ම පිළිවිසිමි. යම් සේ තට රුස්නේ නම්, එසේ එය ප‍්‍රකාශ කරව. කියග ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? කැත්කුලෙහි උපන් මුදුනෙහි අභිෂික්ත රජක්හට - පසේනදි කොසොල් රජහට සෙයින්, නොහොත් මගධාධිපති වෙදෙහී පුත‍්‍ර අජාසත් රජහට සෙයින්, මරවන්නට නිසියන් මරවන්නට, ධනහානියට නිසියන් දිළිඳු කරන්නට, රටින් නෙරනට නිසියන් රටින් නෙරවන්නට සියරජ ඉසුරු (බල) පවත්නේ ද?

 

“භවත් ගොයුම් ගොතුවෙනි, කැත්කුල උපන් මුදුනෙහි බිසෙස් කළ - රජක්හට පසෙනදි කොසොල් රජහට නොහොත් මගධාධිපත් වෙදෙහිපුත‍්‍ර අජාසත් රජහට සෙයින්, මරවන්නට නිස්සන් මරවන්නට ධනහානියට නිස්සන් දිළිඳු කරවන්නට රටින් නඟනට නිස්සන් රටින් නංවන්නට සියරට ඉසුරු පවත්නේ ය. භවත් ගෞතමයෙනි, මේ සමූහයා ඇති ගණයා ඇති - එනම්, වැදෑරට රජුන්හට ද මලරට රජුන්හට ද මරවන්නට නිස්සන් මරවන්නට ධනහානියට නිස්සන් දිළිඳු කරවන්නට රටින් නංවන්නට නිස්සන් රටින් නංවන්නට සියරට ඉසුරු පවත්නේ ය. පසේනදි කොසොල් රජුන් වැනි මගධාධිපති වෙදෙහිපුත‍්‍ර අජාසත් රජුන්වැනි කැත්කුල උපන් මුර්ධාභිෂික්ත රජහට කියනු කිම? භවත් ගෞතමයෙනි, උනට ඉසුරු ඇත් ම ය, පවත්නට ද නිසි ම යැයි” කී.

 

11. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? ‘රූප මාගේ ආත්මය’යි මෙසේ යමක් තෝ කීහි ද, ‘මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ නො වේව’යි තාගේ ඉසුරු එ රූපයෙහි පවත්නේ ද? මෙසේ වදාළ කල්හි සච්චක නුවටදරු නො බිණි.

 

දෙවැනි වට ද භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත‍්‍රයා තෙල පුළුවුත්හ. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? ‘රූප මාගේ ආත්මය’ යන යමක් තෝ කීහි ද? ‘මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ නො වේවා’ යි ඒ රූපයෙහි තාගේ වසය පවත්නේ ද? සච්චක නිගණ්ඨපුත‍්‍ර දෙවැනි වට ද නො බිණි.

 

එක්බිති භාග්‍යවතුන් වහන්සේ සච්චක නිගණ්ඨපුත‍්‍රයාට තෙල වදාළහ: කියග ගිනිවෙස්න, දැන් කලි බණව, දැන් තා නො බණන්නට කාලය නො වේ. ගිනිවෙස්න, යම් කිසිවෙක් තථාගත විසින් සකාරණ කොට තුන්යලක් පැණ අසන ලද්දේ පිළිතුරු නො දේ නම්, මෙහි ම ඔහුගේ හිස සත්කඬව පැළෙන්නේ ය.

 

12. එකල්හි වජ‍්‍රපාණි යක්‍ෂ (සක් දෙව් තෙම) ගිනිඳ බදු, ගිනි ගෙන දිලියෙන, හාත්පස වහ්නිජවාල වූ යමුවා වජ‍්‍රායුධ ගෙන සච්චක නුවටදරුවා හිස් මතුයෙහි අහස “ඉදින් මේ සච්චක නුවටපුත් භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්යලක් සකාරණ කොට පැන පුළුවුස්නා ලදුදු ප‍්‍රකාශ නො කරන්නේ වී නම් මෙහි ම ඔහුගේ මුදුන සත් කඬ කොට පළමි”යි සිටියේ යි.

 

භාග්‍යවතුන් වහන්සේ ද ඒ වජ‍්‍රාපාණියක්‍ෂයා දක්නාහ. සච්චක නුවටදරු ද දකි යි. ඉක්බිති සච්චක නුවට උත්ත‍්‍රස්ත විය, උද්වෙග ඇති විය, රොමහර්‍ෂ ඇති විය. භාග්‍යවතුන් වහන්සේ ම රැකවරණ කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම ගැලෙන තැන් කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “භවත් ගොයුම්, මා පිළිවිසීවා. කියමි”යි.

 

13. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? “රූප මාගේ ආත්මය ය”යි මෙසේ යමක් තො කීහි ද? “මාගේ රූප මෙසේ වේවා. මාගේ රූප මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ රූපයෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම්ගොතුව”යි හේ කීය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියා. තා පළමු කී දැය හා පසුව කියන දැය හා නො ගැළපෙයි. පසුව කියන දැය හා පළමු කී දැය හා නො ගැළපෙයි.

 

ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? “වෙදනා මාගේ ආත්මය”යි මෙසේ යමක් තෝ කීහි ද? “මාගේ වෙදනා මෙසේ වේවා. මාගේ වෙදනා මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ වෙදනායෙහි පවත්නේ වේද? “නො පවත්නේ ය, ගොයුම් ගොතුව”යි කීය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු ප‍්‍රකාශය හා පසු ප‍්‍රකාශය හා නො ගැළෙපෙයි. පසු ප‍්‍රකාශය හා පළමු ප‍්‍රකාශය හා නො ගැළපෙයි.

 

ගිනිවෙස්න, ඒ කිමැ යි හඟනුව? “සංඥා මාගේ ආත්මය”යි මෙසේ තෝ යමක් කී හි ද? “මාගේ සංඥා මෙසේ වේවා. මාගේ සංඥා මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ සංඥා කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම් ගොතුව”යි කී ය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු බස හා පසු බස හා නො ගැළපෙයි. පසු බස හා පළමු බස හා නො ගැළපෙයි.

 

ගිනිවෙස්න, ඒ කිමැ යි හඟනුව? “සංස්කාර මාගේ ආත්මය” යි මෙසේ තෝ යමක් කීහි ද? “මාගේ සංස්කාරයේ මෙසේ වෙත්වා. මාගේ සංස්කාරයෝ මෙසේ නො වෙත්වා”යි තාගේ ඉසුරු ඒ සංස්කාරයන් කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම්ගොතුව”යි කී ය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු ප‍්‍රකාශය හා පසු ප‍්‍රකාශය හා නො ගැළපෙයි. පසු ප‍්‍රකාශය හා පළමු ප‍්‍රකාශය හා නො ගැළපෙයි.

 

ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? “විඥාන මාගේ ආත්මය”යි මෙසේ තෝ යමක් කීහි ද? “මාගේ විඥාන මෙසේ වේවා. මාගේ විඥාන මෙසේ නො වේවා”යි තාගේ ඉසුරු ඒ විඥාන කෙරෙහි පවත්නේ වේ ද? “නො පවත්නේ ය, ගොයුම් ගොතුව”යි කී ය. ගිනිවෙස්න, සිහි එළව. ගිනිවෙස්න, සිහි එළවා කියව. තාගේ පළමු ප‍්‍රකාශය හා පසු ප‍්‍රකාශය හා නො ගැළපෙයි. පසු ප‍්‍රකාශය හා පළමු ප‍්‍රකාශය හා නො ගැළපෙයි.

 

14. කියග ගිනිවෙස්න, ඒ කිමැ යි හඟනුව? රූප නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” යමෙක් අනිත්‍ය වේ නම් එ දුක් ද සුව ද? “භවත් ගෞතමයෙනි, දුක් ය.” යමෙක් අනිත්‍ය වේ නම් දුක් වේ නම්, පෙරෙළෙන සැහැවි ඇත්තේ නම්, “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්මය”යි (තෘෂ්ණා මාන දෘෂ්ටි විසින්) දක්නේ යුතු වේ ද? “යුතු නො වෙයි භවත් ගෞතමයෙනි”. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? වෙදනා ... සංඥා ... සංස්කාර ... විඥාන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ ද? “භවත් ගෞතමයෙනි, අනිත්‍යය.” යමෙක් අනිත්‍ය වේ නම් එය දුක් ද, සුව ද? “භවත් ගෞතමයෙනි, දුක් ය.” යමෙක් අනිත්‍ය වේ නම්, දුක් වේ නම්, වෙනස් වන සුලූ වේ නම්, එය “මේ මා ගැත්තේ ය. මම මේ ය, මේ මාගේ ආත්මයැ”යි දක්නේ යුතු වේ ද? “යුතු නො වේ, ගොයුම් ගොතුව”.

 

15. ගිනිවෙස්න, ඒ කිමැයි හඟනුව? දුකෙහි ඇලුණ, දුකට පැමිණි, දුකට බැසගත් යමෙක් ඒ දුක “මේ මා ගැත්තේ ය, මම මේ ය, මේ මාගේ ආත්ම” යැ යි දක්නේ වේ නම්, හේ තෙමේ පඤ්ස්කන්‍ධදුඃඛය (අනිත්‍යාදීන්) තීරණ පරිඥායෙන් දන්නේ හෝ වේ ද? දුක හෝ (ක්‍ෂයව්‍යය අනුත්පාද විසින්) ගෙවා විහරණ කරන්නේ වේ ද? “භවත් ගෞතමයෙනි, කිසේ වන්නේ ද, භවත් ගෞතමයෙනි, නො වන්නේ ම ය.” ගිනිවෙස්න ඒ කිමැයි හඟනුව? මෙසේ ඇති කල්හි තෝ දුකෙහි ඇලුණෙහි, දුකට පැමිණියෙහි, දුකට බැස ගත්තෙහි, ඒ දුක “මේ මා ගැත්තේ ය, මම මේ ය, මෙය මාගේ ආත්මය”යි දක්නේ නොවෙහි? “භවත් ගෞතමයෙනි, කිසෙයින් නො වන්නේ ද, භවත් ගෞතමයෙනි, තෙල එසේ ම වෙයි.”

 

16. යම් සේ ගිනිවෙස්න, හර කැමැති, හර සොයන හර පිරියෙස්මින් ඇවිදුනා පුරුෂයෙක් තියුණු පොරවක් ගෙන වනයට පිවිසෙන්නේ වේ ද, හෙ එහි ඉදි, ළද, නො ගැටිගැප්දඬු ඇති - නොපූදුනු මහත් කෙහෙල් කඳක් දක්නේ වේ ද, හෙ ඒ කෙසෙල්කඳ මුල කපා ද, මුල කපා අග කපා ද, අග කපා පත්වැටි නඟාලන්නේ වේ ද, පත්වැටි නඟාලන්නේ හෙ බොරුදුත් නො ලබන්නේ ය. හරක් කොයි ලබා ද? ගිනිවෙස්න, එ පරිද්දෙන් ම තෝ මා විසින් තාගේ වාදයෙහි ලා ලබුධි විචාරනු ලබන්නෙහි ලබ්ධි ගන්වනු ලබන්නෙහි කරුණු අසනු ලබන්නෙහි රික්ත (හර රහිත) විහි, හිස් විහි, පරාජිත විහි”යි වදාළො.

 

17. ගිනිවෙස්න, “මා විසින් කථාමාර්‍ගයෙන් දොස් ඇරැුවූ යමෙක් කම්පිත නො වේ ද, ප‍්‍රකම්පිත නො වේ ද, වෙවුළා නො යේ ද, යමකුගේ කක්‍ෂයෙන් ස්වෙද නො සිලියේ ද, එවන් සඟ ඇති, ගණ ඇති, ගණැඳුරු මහණෙක් වේ ව යි, බමුණෙක් වේවයි, නොහොත් ‘රාත්මි’යි ‘බුදුමි’යි පිළින කරනුයෙක් වේ ව යි, නො දක්මි. ඉදින් මම අවෙතන ටඹට ද වාදයෙන් වාද අරඹන්නෙම් වේ ද, මා විසින් වාදමාර්‍ගයෙන් දොස් ගෙණ වාද ඇ?මූ ඒ ටඹ ද කම්පිත වෙයි. ප‍්‍රකම්පිත වෙයි, වෙවුළායයි. කවර කථා ය මිනිසක්හට”යැ යි තා විසින් විසාලානුවර පිරිස්හි තෙල කියන ලද වෙයි.

 

 “ගිනිවෙස්න, තා නළලතින් ගුළු ඇතැම් ස්වෙද පොදහු උතුරුසළු විනිවිද ගෙණ බිම සිටියහ. ගිනිවෙස්න, දැන් මාගේ ශරීරයෙහි වූ කලි ස්වෙද ඇත්තේ නො වෙයි” වදාරා - බුදුහු එ පිරිස්හි (ගලවළුයෙන් සිවුර උනා සතරඟුල් පමණ බහා පිළිසන්) රන්වන් සිරිරි විවර කොට දැක්වූහු.

 

මෙසේ වදාළ කල සච්චකනුවටදරු නිෂඬ වූයේ, නිතෙජ වූයේ කර බැහුයේ, යට හෙළු මුවැතියේ, නන් අරමුණු සිතනුයේ, උත්තර නො වටහනුයේ, (පටැඟිල්ලෙන් බිම කණිමින්) හුන්නේ ය.

 

18. එකල දුර්මුඛ නම් ලිච්ඡවිදරුයෙක් සච්චකනුවටදරුවා තුෂ්ණිම්භූත වැ නිසෙතජස්ක වැ පතිතස්කන්‍ධ වැ අධොමුඛ වැ සිතිවිලි සිතනු වැ ප‍්‍රතිහානවිරහිත වැ හුන්නහු දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය: “භාග්‍යවතුන් වහන්ස, මට උපමායෙක් වටහයි” කී ය. “දුර්මුඛය, තට එය වටහාව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

 

 “වහන්ස, යම් පරිදි ගමකට හෝ නියම්ගමකට නුදුරුතන්හි පොකුණෙක් වී ද, එහි කකුළුයෙක් වී ද, වහන්ස, එකල එහි වැසි බොහෝ දරුවෝ හෝ දැරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් හෝ නික්ම ඒ පොකුණට එළඹෙද් ද, එළඹ පොකුණට බැස, ඒ කකුළුවා දියෙන් නඟා ගොඩ බහද්ද, වහන්ස, ඒ කකුළු යම් යම් අළක් (අඬුවක්) නඟා ද, උහුගේ ඒ නැඟු නැඟු අළ ඒ දරුවෝ හෝ දැරියෝ දඬුකඩෙකින් හෝ කබල්කඩෙකින් හෝ සිඳපියද් ද, බිඳපියද් ද, නො තබා බිඳපියද් ද, වහන්ස, මෙසේ ඒ කකුළු සුන්, බුන්, පිළිබුන්, එ හැම අළින් ඒ පොකුණට පෙර මෙන් යළි බස්නට (ගමන් පසුන් බැවින්) නො හැකි ය. වහන්ස, එ පරිදි ම සච්චකනුවටදරුවාගේ යම් කවර හෝ විසූකාකාර දෘෂ්ටීහු ඇද්ද, දෘෂ්ටිසඤ්චරිත කෙනෙක් ඇද්ද, උන්මාර්‍ගයෙහි වැටුණු මිසදිටුහු ඇද්ද, වහන්ස, එ හැම දෘෂ්ටීහු භගවත්හු විසින් සිඳපියන ලදහ. බිඳපියන ලදහ. නො තබා බිඳපියන ලදහ. වහන්ස, සච්චකනුවටදරු දැන් වාදාධිප‍්‍රාය ඇති වැ වටා ලා භගවත්හු කරා එළඹෙන්නට අභව්‍ය යැ”යි කී.

 

19. මෙසෙයින් උපමා කීකල සච්චකනුවටදරු දුර්මුඛලිච්ඡවි දරුට කියනුයේ: “දුර්මුඛය, තෝ සිටුව. දුර්මුඛය, තෝ මුඛරයෙහි. අපි තා හා සැසැඳිලි නො කරම්හ. මෙහි අපි භවත් ගොයුම්හු හා සැසැඳිලි කරම්හ”යි කී ය.

 

 ‘‘භවත් ගොයුම්ගොතුව, අපගේ ද, සෙස්සන්ගේ දැයි බොහෝ මහණ බමුණන්ගේ කථා තිබියේවා. (උන්ගේ තෙල) වචන විලාපමාත‍්‍රයක් වැන්න භවත් ගෞතමයන්ගේ ශ‍්‍රාවකයෙක් කොපමණෙකින් සසුන් කරණුයේ ඔවා පිළිපදනේ වේද, තිණූවිචිකිත්සා ඇති ව පැහූසැක ඇති ව නැණ පත් ව ශාස්තෘශාසනයෙහි පරප‍්‍රත්‍යය (පරශ‍්‍රද්ධා) රහිත ව වසනු නම් වේ දැ?”යි පිළිවිසි.

 

20. ගිනිවෙස්න, මෙ සස්නෙහි මාගේ ශ‍්‍රාවකයෙක් “අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඔළාරික, සුඛුම, හීන, පණීත, දූර, සන්තික විසින් භේදභින්න යම් රූපයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) රූප ගෙන “තෙල මා ගැත්තේ නො වෙයි. මම තෙල රූපයෙම් නො වෙමි. මාගේ ඉසුරු රූපයෙහි නො පවත්නේ යැ”යි මෙසෙයින් තෙල යථ ස්වභාවය මනා කොට නුවණින් දක්නේ වේ ද, යම් කිසි වෙදනායෙක් ඇද්ද ... යම්කිසි සංඥායෙක් ඇද්ද ... යම්කිසි සංස්කාරයෝ ඇද්ද ... යම්කිසි අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඔළාරික, සුඛුම, හීන, පණීත, දූර, සන්තික විසින් භෙදභින්න විඥානයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) විඥාන ගෙන “තෙල මා ගැත්තේ නො වෙයි, මම තෙල විඥානයෙම් නො වෙමි, මාගේ ඉසුරු විඥානයෙහි නො පවත්නේ යැ”යි මෙසෙයින් තෙල යථාභූතය මනා කොට නුවණින් දක්නේ වේ ද. ගිනිවෙස්න, මෙපමණෙකින් මාගේ ශ‍්‍රාවක සසුන් කරන්නේ ඔවා පිළිපදනේ වෙයි. තීණිවිචිකිත්සා ඇතිවැ පැහූසැක ඇති වැ ඥානප‍්‍රප්ත වූයේ ශාස්තෘශාසනයෙහි පරප‍්‍රත්‍යය රහිත වැ (ස්වතන්ත‍්‍රවැ) වාසකෙරේ ය යි (ශෛක්‍ෂභූමි) වදාළහ.

 

21. “භවත් ගොයුම් ගොතුව, කොපමණෙකින් මහණ කිණු අස්වන් ඇති, වුසු බඹසර ඇති, කළ සොළොස් කරණී ඇති, බැහු කෙලෙස්බර ඇති, ලැබූ ස්වාර්ථ ඇති, භවසංයොජනක්‍ෂය කොට සිටි, මනා නුවණින් දැන මිදී සිටි රහත් නම් වේ දැ”යි පිළිවිසී.

 

ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ “අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඔළාරික, සුඛුම, හීන, පණීත, දූර, සන්තික විසින් භෙදභින්න යම් රූකඳෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) රූප ගෙන “තෙල රූප මා ගැත්තේ නො වෙයි, මම තෙල රූපයෙම් නො වෙමි, මාගේ ඉසුරු තෙල රූපයෙහි නො පවත්නේ යැ”යි මෙසේ තෙල යථාභූතය මනා කොට නුවණින් දැක අනුපාදාවිමොක්‍ෂයෙන් විමුක්ත වේ ද, යම්කිසි වේදනාස්කන්‍ධයෙක් ඇද්ද ... යම්කිසි සංඥාස්කන්‍ධයෙක් ඇද්ද ... යම්කිසි සංස්කාරස්කන්‍ධයෙක් ඇද්ද, ... අතීත, අනාගත, පච්චුප්පන්න, අජ්ඣත්ත, බහිද්ධා, ඕළාරික, සුඛුම, හීන, පණීත, දුර, සන්තික විසින් භෙදභින්න යම්කිසි විඥානස්කන්‍ධයෙක් ඇද්ද, එ හැම (එකොළොස් වැදෑරුම්) විඥාන ගෙන “තෙල විඥාන මා ගැත්තේ නො වෙයි, මම තෙල විඥානයෙම් නො වෙමි, මාගේ ඉසුරු තෙල විඥානයෙහි නො පවත්නේ යැ”යි මෙසේ තෙල යථාභූතය මනා කොට නුවණින් දැක සතර උපාදාන විසින් කිසිවක් නො ගෙන විමුක්ත වේ ද, ගිනිවෙස්න, මෙපමණෙකින් මහණ ක්‍ෂීණාස‍්‍රව වූ බ‍්‍රහ්මචර්යවාස නිම කළ සිවුමඟින් කළ ෂෝඩශවිධඥානකෘත්‍ය ඇති, අපහෘතක්ලෙශභාර ඇති අර්හත්ඵල සඞ්ඛ්‍යාත ස්වාර්ථයට පත්, පරීක්‍ෂීණවූ භවබන්‍ධන ඇති, මනා කොට නුවණින් දැන නිස්සරණවිමුක්තීන් විමුක්ත වූ රහත් නම් වේ යයි වදාළෝ.

 

22. ගිනිවෙස්න, මෙසේ විමුක්ත වූ සිත්ඇති මහණ දස්සනානුත්තරියෙනුදු (ලොවී ලොවුතුරා නුවණිනුදු, නොහොත් රහත්මග සම්දිටූයෙනුදු), පටිපදානුත්තරියෙනුදු (ලොවී ලොවුතුරා පිළිවෙතිනුදු, නොහොත් රහත්මග සම්දිටුතබා තෙසු මාර්‍ගාඞ්ගයෙනුදු) විමුත්තානුත්තරියෙනුදු - (ලොවී ලොවුතුරා විමුක්තීනුදු නොහොත් මාර්‍ගඵල විමුක්තියෙනුදු) තුන් අනුත්තරිය ගුණයෙන් සමන්‍වාගත වෙයි.

 

ගිනිවෙස්න, මෙසේ විමුක්ත සිත් ඇති මහණ “ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ සියුසස් දත්තාහු අනුන් දන්වනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමු ඉන්‍ද්‍රියදමනයෙන් දැමුණුහු අනුන් දමනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමු කෙලෙසුන්ගේ ක්‍ෂොභ සන්හිඳුවා ලූවාහු අනුන්ගේ ක්ලෙශක්‍ෂොභ සන්හිඳුවනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමු තැරුසසරසයුරු ඇත්තාහු අනුන් සසරසයුරින් තරනු සඳහා දහම් දෙසති. ඒ භාග්‍යවතුන් වහන්සේ තුමූ කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවියාහු අනුන්ගේ කෙලෙස් ගිනි නිවනු සඳහා දහම දෙසති” යි භගවත්හට ම සත්කාර ගරුකාර මානන පූජන කෙරෙයි වදාළහ.

 

23. මෙසේ වදාළ කල්හි සච්චක නුවටදරු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේය: “භවත් ගොයුම් ගොතුව, භවත් ගෞතමයන් වාදයෙන් වාදනගා ඝටන්නට නිසියවුන් කොට සිතුවමෝ වේද, ඒ අපි ම (ගුණවිසින්) නටුවම්හ. අපි ම වාක්ප‍්‍රගල්භ ඇතියම්හ. භවත් ගෞතමයාණෙනි, ත‍්‍රිමදගලිත ඇතකු පැහැර වැදගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ඝටාගෙන පුරුෂයකුට සෙත් නොවන්නේ මැය. භවත් ගෞතමයෙනි, දිලියෙන ගිනිකඳ සිපගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ඝටාගෙන පුරුෂයකුට සෙත් නො වන්නේ මැය. භවත් ගෞතමයෙනි, ඝොරවිෂ ඇති ආශිවිෂයකු පැහැර සිපගත් පුරුෂයකුට සෙත් වන්නේය. භවත් ගෞතමයන් ගැහැට සිටි පුරුෂයකුට සෙත් නොවන්නේ මැය. භවත් ගොයුම් ගොතුවෙනි, භවත් ගෞතමයන් වාදයෙන් වාදනගා ඝටන්නට නිසියවුන් කොට සිතුවමෝ වේද, ඒ අපි ම නටුවම්හ. අපි ම ප‍්‍රගල්භයම්හ. භවත් ගෞතමයෝ සෙට මා බත පිළිගන්නාසේක්වා, බික්සඟුන් හා යයි” කීය. භාග්‍යවතුන් වහන්සේ නො බැන (සිතින්) ඉවසූ දැය.

 

24. එකිබිති සච්චක නුවට දරු බුදුන් ඉවසුසෙ දැන ඒ ලිච්ඡවී රජ්ජුරුවන් ඇමතිය: “භවත් ලිච්ඡවීනි, මබස අසත්වා. මා විසින් මහණ ගොයුම් සෙට බතින් තිමන්ත‍්‍රණය කරන ලදී, බික් සඟුන් හාය. එහෙයින් යම් දැයක් උහුට නිසි කොට සිතවු ද, ඒ දැය මා වෙත එළවා ලව”යි. එසඳ ඒ ලිච්ඡවී රජදරුවෝ එ රැය ඇවෑමෙන් සච්චකනුවටහට පන්සියක් මුළුබත් භක්තාහිහාර කොට දී යවූහ. එක්බිති සච්චක නුවටදරු සිය අරමෙහි පිණීකන - බොන දැ පිළියෙළ කරවා භගවත්හට කල් දැන්වීය: භවත් ගෞතමයෙනි කල්වෙයි. බත නිමියේ යයි.

 

25. එක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන සච්චක නුවටපුත්හුගේ අරම් කරා වැඩියහ. වැඩ පැන්වූ අස්නෙහි බික් සඟුන් පිරිවරාගෙන වැඩහුන්හ. එසඳ සච්චක නුවටපුත් බුදුපාමොක් බික්සඟුන් ප‍්‍රණීත ඛාද්‍යයෙන් භෝජනයෙන් සියතින් මනා කොට සැතැපීය. මනා කොට පැවැරිය. එක්බිති සච්චක නුවටදරු වළඳා නිමකළ, පාත‍්‍රයෙන් බැහැරකළ අත් ඇති (අත ද පාත‍්‍රය ද දොවා හුන්) භාග්‍යවතුන් වහන්සේ දැන අන්‍යතර මිටි අස්නක් ගෙන එකත්පස් වැ හින. එකත්පස්ව හුන් සච්චක නුවටපුත් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: “භවත් ගොයුම් ගොතුව, මෙදානයෙහි යම් පුණ්‍යවිපාකස්කන්‍ධයෙක් ඇද්ද, එයට පරිවාරයෙක් ඇද්ද, එය දායකයනට සුවයට වැටේව”යි කීය. “ගිනිවෙස්න, අවීතරාග වූ අවීතමොහ වූ තාබඳු යම් දක්‍ෂිණාර්භයකු ලැබගෙන යම් දනෙක් දින් ද, එය (තටදුන්) දායකයනට වෙයි. ගිනිවෙස්න, වීතරාග වූ වීතදොස වූ වීතමොහ වූ මා වැනි දක්‍ෂිණාර්හයකු ලැබ යම් දනෙක් දින් ද, එ පුණ්‍යඵලය මට දුන් තට වේය” යි වදාළහ.

 

පස්වැනි වූ වූළසච්චකසූත‍්‍රය නිමියේ ය.