මහාඅස්සපුර සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

9

මහාඅස්සපුර සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසනලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඞ්ග ජනපදයෙහි අඟුරටවැසියන්ගේ අස්සපුර නම් නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි මහණන් ඇමතුසේක. ඒ මහණහු ‘වහන්සෙ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

 

2. මහණෙනි, මහදෙනේ තොප ‘ශ්‍රමණයහ, ශ්‍රමණයහ’යි හඳුනන්නේය. තෙපිදු ‘තෙපි කවරහු’යි පුළුවුස්නා ලදුව ‘ශ්‍රමණයම්හ’යි පිළින කරව. මහණෙනි, මෙබඳු නම් ඇති, මෙබඳු පිළින දෙන ඒ තොප විසිනුදු “ශ්‍රමණ කරණ (පව් සමණ කරණ) බ්‍රාහ්මණකරණ (පව් බහන) යම් ධර්‍ම ඇත් ද, ඒ ධර්‍මසමාදාන විසින් ගෙන වැටෙම්හ. මෙසේ වත්ම, අපගේ මේ ශ්‍රමණ සංඥාව සත්‍ය වෙයි. ප්‍රතිඥා ද යථාර්‍ථ වෙයි. අපි යම් ම කෙනෙකුන්ගේ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳ කරමෝ ද, උන් අප කෙරෙහි කරන ඒ උපකාරයෝ මහත්ඵල මහානෘශංස වෙති. අපගේ ද මේ පැවිද්ද අවන්‍ධ්‍ය වෙයි, සඵල වෙයි, සවෘද්ධික වෙයි” කියා මෙසෙයින් මහණෙනි, තොප හික්මෙන්නේ මැනැව.

 

3. මහණෙනි, ශ්‍රමණකරණ - බ්‍රාහ්මණකරණ ධර්‍මයෝ කවරහ යත්:

 

4. “හිරි ඔතප් දෙකින් සමන්‍වාගත වම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

5. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරි ඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි. එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණි කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.

 

6. මහණෙනි, තොප බෙණෙමි. මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබිය දී, ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ථය (මාර්‍ග හා ඵල) නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලෙඛ) කායසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ, මෙරමා නොගරම්හ”යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

7. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාරපිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එතෙකින් මහණුම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණි කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.

 

8. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ වාක්සමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නොවෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලෙඛ) වාක්සමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙසින් තොප හික්මෙන්නේ මැනැව.

 

9. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ, එමතුයෙන් මහණුවම්කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ථය ලබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.

 

10. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණි නම් කිමෙක යත්: “අපගේ මනඃසමාචාර පිරිසිදු වෙයි, නොමුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධ (පරමසල්ලෙඛ) මනඃසමාචාරතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නොගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

11. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃ සමාචාර පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ. මතුයෙහි අපට කරණී කිසිදු නැති” යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.

 

12. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය නහමක් පිරිහී යේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: “අපගේ ආජීව පිරිසිදු වෙයි, නො මුවහ වෙයි, විවෘත වෙයි, සිදුරැති නො වෙයි, සංවෘත ද වෙයි. ඒ පරිශුද්ධාජීවතායෙනුදු තමන් නො ම හුවම්හ. මෙරමා නො ගරහම්හ” යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

13. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.

 

14. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථි ව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්‍ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘ඉන්ද්‍රියෙහි ගුප්තද්වාර ඇතියමෝ වම්හ: ඇසින් රූඅරමුණු දැක නිමිති නොගන්නා සුල්ලමෝ අනුව්‍යඤ්ජන නො ගන්නා සුල්ලමෝ වම්හ. යමක් හෙතුකොට ගෙන චක්‍ෂුරින්ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල්දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ චක්‍ෂුරින්ද්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, චක්‍ෂුරින්ද්‍රිය රකුම්හ, චක්‍ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණෙම්හ. කණින් සද අරමුණු අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධාලම්බන ආඝ්‍රාණ කොට ... දිවින් රසඅරමුණු ආස්වාද කොට ... කයින් ස්පර්‍ශාලම්බන ස්පර්‍ශ කොට ... මනසින් ධර්‍මාලම්බන දැන නිමිති ගන්නාසුල්ලමෝ, අනුව්‍යඤ්ජන ගන්නාසුල්ලමෝ නොවම්හ. යමක් හෙතු කොට ගෙන මනින්ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබැඳ ගැලැ ගනිත් ද, ඒ මනින්ද්‍රියයාගේ සංවරණ පිණිස පිළිපදුම්හ, මනින්ද්‍රිය රකුම්හ, මනින්ද්‍රියෙහි සංවරයට පැමිණෙම්හ’යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

15. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය. “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ. අපගේ කායසමාචාර පිරිසිදු වෙයි. වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජිව පිරිසිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.

 

16. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථිව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ‘භොජනයෙහි මාත්‍රඥ වම්හ. නුවණින් පස්විකා අහර වළදම්හ. (කෙසේය යත්:) දවය පිණිස නො ම වෙයි, මදය පිණිස නො ව වෙයි, මණ්ඩනය පිණිස නො ම වෙයි, විභූෂණය පිණිස නො ම වෙයි. මේ කායයාගේ ස්ථිති පිණිස යැපීම පිණිස විහිංසා සාන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්ය්‍යයට අනුග්‍රහ පිණිස වත් මුත් අන් අර්ථයක් පිණිස නො වෙයි. ‘මෙසෙයින් (නොවැළඳීමෙන් වූ) පැරැණි වෙදනා නසමි. නව්‍ය වෙදනාත් නො උපදවමි. මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා හා පහසුවිහරණ වෙති’ යි කියායි. මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

17. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භොජනයෙහි මාත්‍රඥයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරනලදි අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ අපට මතුයෙහි කරණි කිසිදු නැති”යි එතෙකින් මතු තුස්නට පැමිණෙන්නාව.

 

18. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී, ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: නිදිවැරීමෙහි යුක්තප්‍රයුක්තයමෝ වම්හ: දවස සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශොධන කරම්හ, රැය පළමුයම සක්මනින් හිඳුමින් නීවරණදහමින් සිත පරිශොධන කරම්හ, රැය මැදුම්යම ස්මෘතිසම්පන්නයමෝ සම්ප්‍රඥාන ඇතියමෝ උත්‍ථානසංඥා (අසෝ වේලෙහි නැගී සිටුම්හයි) මෙනෙහි කොට දකුණුඇළයෙන් දකුණු පාමත වම්පය මඳක් හයා තබාගෙන සිංහශය්‍යා කරම්හ, රැය පැසුළුයම නැඟීසිට සක්මනින් හිඳුමින් නීවරණ දහමින් සිත පරිශොධන කරම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

19. මහණෙනි, තොපට මෙබඳු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප් දෙකින් සමන්‍වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භොජනයෙහි මාත්‍රඥයම්හ, නිදිවැරීමෙහි යුක්තප්‍රයුක්තයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදී. අප විසින් ශ්‍රාමණ්‍යාර්‍ථය ලැබිණ අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් තුස්නට පැමිණෙන්නාව.

 

20. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යර්ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වම්හ: ඉදිරි බලා යෑමෙහි දු වටාලා ඊමෙහි දු සම්පජානකාරී වම්හ. අලොකතවිලොකන දෙක්හි සම්පජානකාරී වම්හ, සමිඤ්ජනප්‍රසාරණ දෙක්හි සම්පජානකාරී වම්හ, සහළ පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වම්හ, අසන - පාන - ඛාදන - ආස්වාදනයෙහි (චතුර්විධ අහර වළඳන වේලෙහි) සම්පජානකාරී වම්හ, මලමූ කිසෙහි සම්පජානකාරී වම්හ, ගමන - ස්ථාන - නිෂද්‍යා - ස්වප්න - ජාගර්ය්‍යා - භාෂණ තූෂ්ණීම්භාව යන ක්‍රියායෙහි සම්පජානකාරී වම්හ යි මහණෙනි, මෙසෙයින් තොප හික්මෙන්නේ මැනැව.

 

21. මහණෙනි, තොපට මෙබදු සිතෙක් විය හෙන්නේය: “හිරිඔතප්දෙකීන් සමන්වාගතයම්හ, අපගේ කායසමාචාර පිරිසිදු වෙයි, වාක්සමාචාර පිරිසිදු වෙයි, මනඃසමාචාර පිරිසිදු වෙයි, ආජීව පිරිසිදු වෙයි, ඉන්ද්‍රියෙහි ගුප්තද්වාරයම්හ, භොජනයෙහි මාත්‍රඥයම්හ, නිදි වෑරීමෙහි ප්‍රයුක්තයම්හ, ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්වාගතයම්හ. එමතුයෙන් පමණ වෙයි, එමතුයෙන් මහණුවම් කරන ලදි. අප විසින් ශ්‍රාමණ්‍යාර්ථය ලැබිණ. අපට මතුයෙහි කරණී කිසිදු නැති”යි එතෙකින් ම තුස්නට පැමිණෙන්නාව.

 

22. මහණෙනි, තොප බෙණෙමි, මහණෙනි, තොප දන්වමි: මතුයෙහි කරණී තිබියදී ශ්‍රාමණ්‍යාර්ථීව සිටුනා තොපගේ ශ්‍රාමණ්‍යාර්ථය නහමක් පිරිහීයේවා. මහණෙනි, මතුයෙහි කරණී නම් කිමෙක යත්: මහණෙනි, මෙසස්නෙහි, මහණ නීහඬ සෙනසුන් සෙවුනේය. එනම් - අරන, රුක්මුල, පවි, කඳුරු, ගිරිගුහා, සොහොන, වනපෙත, අභ්‍යවකාශ, පිදුරුකිළි යන මේය. හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ, උඩුකය ඍජු කොට තබා ගෙන කර්‍මස්ථානාභිමුඛ කොට සිහි එළවාගෙන, පලක් බැඳගෙන හිඳුනේය. හේ (පඤ්චොපාදානස්කන්‍ධ) ලොකයෙහි අභිධ්‍යාසඞ්ඛ්‍යාත කාමච්ඡන්‍දය (විෂ්කම්භණ විසින්) පහා, විගතාභිධ්‍ය වූ සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත මුදා ගනී. ව්‍යාපාදසඞ්ඛ්‍යාත ප්‍රද්වෙෂය (ක්‍රොධය) පහා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. ක්‍රොධයෙන් සිත මුදාගනී. ස්ත්‍යානමිද්ධය පහා අපගතසත්‍යානමිද්ධ ඇති ව ආලොකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණැති ව වාස කෙරේ. ස්ත්‍යානමිද්ධයෙන් සිත මුදාගනී. උද්ධච්චය හා කුක්කුච්චය පහා සියසතන්හි සන්හුන්සිත් ඇති ව නිවිගියා ව වාස කෙරේ. නොනිවිබැවිනුදු කුකුසිනුදු සිත මුදාගනී. විසිකිස් පහා තුණුවිසිකිස් ඇතිව කුසල්දහම්හි කථඞ්කථඞ්කාරරහිත ව වාස කෙරේ. විචිකිත්සායෙන් සිත මුදාගනී.

 

23. මහණෙනි, යම්පරිදි පුරුෂ ණයක් ගෙන කර්‍මාන්ත නිමිති කොට යොදන්නේ වේනම්, උහුගේ ඒ කමත්හු සමෘද්ධ වෙත් නම්, යම් පැරැණි ඍණමූල ඇත් ද, එද ඉවර කරන්නේ වේ නම්, ඔහුට මතුයෙහි අඹුවන් පුස්නට ඉතිරි දැයෙකුදු වේ නම්, ඔහුට මෙසේ සිත් පහළවෙයි: “මම පෙර ණය ගෙන කමත්හි යෙදිමි. මාගේ කර්‍මාන්තයෝ සමෘද්ධ වූහ. ඒ මම යම් පැරැණි ඍණමූල වී ද, එහැම ඉවර කෙළෙමි. මට මතුයෙහි අඹුවන් පුස්නට අවශිෂ්ට දැයත් ඇතැ”යි කියායි. හේ ණය නැතිසේ නිදාන කොට කොට ගෙන ප්‍රමොදය ලබන්නේය. සොම්නස් විඳුනේය. -

 

24. මහණෙනි, යම්පරිදි පුරුෂ ආබාධ ඇතියේ, දුක ඇතියේ, අධිමාත්‍ර ගිලන්ගත් ඇතියෙක් වේ නම්, ඔහුට බත ද නුරුස්නේ නම්, ඔහුට කායබලත් නැත් නම්, පසුකලෙක ඒ ආබාධයෙන් මිදේ නම්, ඔහුට බතුදු රුස්නේ නම්, ඔහුට කායබලත් ඇත් නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර හටගත් අබාධ ඇතියෙම්, දුක් ඇති දැඩිගිලන් වූයෙකිම් වීමි. මට බතුදු නොරිසිවී. මට කාය බලත් නොවී. ඒ මම දැන් ඒ ආබාධයෙන් මිදී සිටිමි. මට බතුදු රිසි වෙයි. මාගේ කායබලත් ඇති”යි කියායි. හේ ඒ හේතුවින් ප්‍රමොද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -

 

25. මහණෙනි, යම්පරිදි පුරුෂ දඟගෙහි බැඳුණේ වේ නම්, හේ පසුකලෙක භොගව්‍යයෙන් වෙන් ව සුවසේ ඒ දඟගෙයින් මිඳී යන්නේ නම්, ඔහුගේ කිසිදු භොගව්‍යයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිත් වෙයි: “මම පෙර බන්‍ධනාගාරයෙහි බැඳුණෙම් වීමි. එ මම දැන් භොගව්‍යයෙන් වෙන්ව සුවසේ ඒ බන්‍ධනයෙන් මිදිණිම් වීමි. මට කිසිදු භොගව්‍යයෙක් නොවී”ය කියායි. හේ බන්‍ධමොක්‍ෂ හේතුවින් ප්‍රමොද ලබන්නේය. සොම්නස් ලබන්නේය. -

 

26. මහණෙනි, යම්පරිදි පුරුෂ ආත්මාධීන නො වු, (එයින්ම) පරාධීන වූ, කැමැති දිගු නොයාහෙන, දාසයෙක් වේනම්, හේ පසු කලෙක ආත්මාධිපති වූ, (එයින්ම) පරායත්න නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක්ව, ඒ දාසභාවයෙන් මිදීයන්නේ වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “මම පෙර ආත්මාධීන නො වූ, පරාධීන වූ, කැමැතිසේ ඒ ඒ දිග නොයාහෙන, දස් වීමි. ඒ මම දැන් ආත්මාධිපති වූ, පරාධීන නො වූ, කැමැතිසේ ඒ ඒ දිග යාහෙන, නිර්දාසයෙක් ව ඒ දාසභාවයෙන් මිදිණිම් වීමි”යි කියායි. හේ ඒ නිර්දාසභාවහේතුවින් ප්‍රමොද ලබන්නේය. සොම්නස් ලබන්නේය.

 

27. මහණෙනි, යම්පරිදි පුරුෂ සධන ව සභොග ව කතරදිග්මගට වදනේ වේ නම්, හේ පසු කලෙක භොගව්‍යය නො කොට ම සුවසේ ඒ කතරින් නිස්තීර්ණ වන්නේ නම්, ඔහුගේ කිසිදු භොගව්‍යයයෙක් නො වේ නම්, ඔහුට මෙබඳු සිතෙක් වන්නේය: “මම පෙර සධන ව සභොග ව කතරදිග්මගට වැදිණිමි. ඒ මම දැන් භොගව්‍යය නො කොට ම සුවසේ නිස්තීර්ණයෙමි. මාගේ කිසිදු භොගහානියෙක් නැති”යි කියාය. හේ ඒ ක්‍ෂෙමභූමියට පැමිණිම් හේතුවින් ප්‍රමොද ලබන්නේය. සොම්නස් ලබන්නේය.

 

28. මහණෙනි, එපරිදි ම මහණ සියසතන්හි අප්‍රහීණ ව සිටුනා මේ පඤ්චනීවරණයන් ණයක් දක්නා සෙයින්, රොගයක් දක්නා සෙයින්, බන්‍ධනාගාරයක් දක්නා සෙයින්, දාසභාවයක් දක්නා සෙයින්, කතරමඟක් දක්නා සෙයින් මොනොවට දක්නේය. මහණෙනි, යම්සේ අනෘණභාවය දක්නේ වේද, යම්සේ ආරොග්‍යය දක්නේ වේ ද, යම්සේ බන්‍ධනමොක්‍ෂය දක්නේ වේ ද, යම්සේ නිර්දාසභාවය දක්නේ වේ ද, යම්පරිදි ක්‍ෂෙමාන්තභූමිය දක්නේ වේ ද, එපරිදි ම මහණ සියසතන්හි ප්‍රහීණ ව ගිය මේ පඤ්චනීවරණයන් දක්නේය.

 

29. ඒ මහණ චිත්තොපක්ලෙශ වූ, ප්‍රඥාදෞර්බල්‍යයට කාරණ වූ, මේ පඤ්චනීවරණයන් හැරැපියා කාමයෙන් වෙන් ව අකුසල්දහමින් වෙන් ව සවිතර්ක, සවිචාර, විවෙකජ, ප්‍රීතිසුඛ ඇති, ප්‍රථමධ්‍යාන උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජ කය ම විවෙකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි (හැමතැන පැවැති ප්‍රීතිසුඛ ඇතියා කෙරෙයි), හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳව විවෙකජප්‍රීතිසුඛයා විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්සේ ප්‍රතිබලසම්පන්න නහවනු වෙක් වේවයි, නහවනු - අතැවැසියෙක් වේවයි, කස්තලියෙක නහනුසුණු බහා දියෙන් පුනපුනා ඉස, පිඬු කරන්නේ වේද, ඒ නහනුපිඬු උදකස්නෙහයෙන් අනුගත ව දියසනායෙන් මඩනා ලදු ව සහතුරුබැහැර දියෙන් පහරනලදු ව නොවගුළු ව සිටුනේ වේ ද, මහණෙනි, එපරිදිම මහණ මේ කරජකය ම විවෙකයෙන් උදාපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම අඟින් යුත් කරජකය පිළිබඳ ව විවෙකජ ප්‍රීතිසුඛය විසින් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි.

 

30. තවද මහණෙනි, මහණ විතර්කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන, සිත පිළිබඳ උතුම් ව උදාවන එකඟබව ඇති, විතර්කරහිත විචාරරහිත, සමාධිජ ප්‍රීතිසුඛ ඇති, ද්විතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කරජකය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නොවෙයි. මහණෙනි, යම්පරිදි ඌල්නැගි දිය විලෙක් වේ ද, එයට පෙරදිග්හි දිය වැහෙන මං නැත් ද, පැසිම් දිග්හිදු දිය වැහෙන මං නැත් ද, උතුරුදිග්හිදු දිය වැහෙන මං නැත් ද, දකුණු දිග්හිදු දිය වැහෙන මං නැත්ද, මෙඝ ද කලින්කල සම්‍යග්ධාරා වර්ෂණ නොකෙරේ ද, වැලි ද එ ම දියවිලින් සිහිල් දියදහර පැනනැගී එම දියවිල් සිහිල් දියෙන් තෙමා ද, හාත්පස තෙමා ද, හාත්පස පුරා ද, හාත්පසින් ස්පර්ශ කෙරේ ද, තෙල සියලු දියවිලැ සිහිල් දිය දහරින් නොපහළ කිසිදු දැයෙක් නො වේ ද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කරජකය සමාධිජප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කයෙහි සමාධිජප්‍රීතිසුඛයෙන් නොපහළ කිසිදු තැනෙක් නැත.

 

31. තවද මහණෙනි, මහණ ප්‍රීතියගේ විරාගයෙන් උපෙක්‍ෂක ව ද වෙසේ. සිහිඇත්තෙ ද නුවණ ඇත්තෙ ද කයින් සුඛය ද විඳුනේය. යම් ධ්‍යානයක් ගෙන ‘තෘතීය ධ්‍යාන ඇති පුඟුලා උපෙක්‍ෂකය, ස්මෘතිමත්ය, සුඛවිහරණවත් යැ’යි ආර්යයෝ බෙණෙත් ද, ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරේ. හේ මේ කය ම නිෂ්ප්‍රීතිසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි, හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ සියලු කය නිෂ්ප්‍රීතිසුඛයෙන් නොපහළ තැනෙක් නැත. මහණෙනි, යම්සේ උපුල්විලෙක වේවයි, හෙළපියුම් විලෙක වේවයි, රත් පියුම් විලෙක වේවයි, ඇතැම් උපුල් හෝ, හෙළ පියුම් හෝ, රත්පියුම් හෝ, දියෙහි සඤ්ජාත ව දියෙහි සංවර්ධිත ව, දියෙන් නොනැඟ සිට, දියතුළ ගැලැසිට වැඩේද, ඒ උපුල් හා පියුම් අග දක්වාත් මුල දක්වාත් සිහිල් දියෙන් මොනවට තෙත් ව හාත්පස තෙත් ව පරිපූරිත ව හාත්පසින් දියපහස ලදු ව ඇත් ද, එ හැම උත්පලයන්ගේ වේවයි, හැම පද්මයන්ගේ වේවයි, හැම පුණ්ඩරීකයන්ගේ වේවයි, කිසිදු තැනෙක් සිහිල් පහස නොලද්දේ නො වේද, මහණෙනි, එපරිදි ම මහණ මෙ ම කය නිෂ්ප්‍රීතිකසුඛයෙන් මොනවට තෙමයි, හාත්පසින් තෙමයි, හාත්පසින් පුරවයි. හාත්පසින් ස්පර්ශ කෙරෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් නිෂ්ප්‍රීතිකසුඛයෙන් නො පහළේ නො වෙයි.

32. තවද මහණෙනි, මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් සොම්නස් දොම්නස් කැලැ ම අස්තඞ්ගම වීමෙන් අදුඃඛ වූ අසුඛ වූ උපෙක්‍ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්ත්‍ථධ්‍යානය උපයා ගෙන වාස කෙරේ. හේ මෙ ම කය පර්ය්‍යවදාත පරිශුද්ධ සිතින් ඵරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැම කය කිසිදු තැනෙක් පර්ය්‍යවදාත පරිශුද්ධ සිතින් නො පහළේ නො වෙයි. මහණෙනි, යම්සේ පුරුෂයෙක් සුදුවස්ත්‍රයෙකින් හිසවසා පෙරෙව හුන්නේ වේ ද, ඔහුගේ හැමකය කිසිදු තැනෙක් හෙළවතින් නොපහළේ නො වේ ද, මහණෙනි, එපරිදිම මහණ මෙම කය පර්ය්‍යවදාත පරිශුද්ධ චිත්තයෙන් එරණය කොට හුන්නේ වෙයි. තෙල මහණහුගේ හැමකය කිසිදු තැනෙක් පර්ය්‍යවදාත පරිශුද්ධ චිත්තයා විසින් නො පහළේ නො වෙයි.

 

33. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, (ප්‍රභාස්වර විසින්) පර්ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතොපක්ලෙශ ව, මෘදුභුත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, පූර්වෙනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනෙකවිධ පූර්වෙනිවාසය සිහි කෙරෙයි. ඒ කෙසෙය යත්: ජාති එකකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියකුදු, ජාති දහසකුදු, ජාති සියක්දහසකුදු, නොඑක් සංවර්තකල්පයනුදු, නො එක් විවර්තකල්පයනුදු, නොඑක් සංවර්තවිවර්තකල්පයනුදු - “අසෝ තැනැ මෙබඳුනම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු වර්ණ ඇතියෙම් වීමි, මෙබඳු අහර ඇතියෙම් වීමි, මෙසේ සුවදුක් විඳියෙම් වීමි, මෙසේ ආයු කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි උපනිමි” කියායි. මෙසේ සාකාර, සොද්දෙස, අනෙකප්‍රකාර, පූර්වෙනිවාසය සිහි කෙරෙයි. මහණෙනි, යම්පරිදි පුරුෂ සියගමින් අන්ගමකට යන්නේ වේ ද, එගමිනුදු අන්ගමකට යන්නේ වේ ද, හේ එගමින් සියගමට ම වටාලා එන්නේ වේ ද, ඔහුට මෙබඳු සිත් වන්නේය: “මම වනාහි සියගමින් අසෝ ගමට ගියෙමි. එහි දී මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස බිණිමි, මෙලෙස නිහඬ වීමි. මම එගමිනුදු අසෝගමට ගියෙමි. එහිදීත් මෙලෙස සිටියෙමි, මෙලෙස හිඳගතිමි, මෙලෙස නිහඬවීමි. මම එගමින් සියගමටව වටාලා ආයෙමි” යි. මහණෙනි, එපරිදි මහණ අනෙකප්‍රකාර පූර්වෙනිවාසය සිහි කෙරෙයි: ඒ කෙසේය යත්: ජාති එකකුදු, ජාතිදෙකකුදු ... මෙසේ සාකාර, සොද්දෙස, අනෙකප්‍රකාර පූර්වෙනිවාසය සිහි කෙරෙයි.

 

34. ඒ මහණ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ ව, පර්ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතොපක්ලෙශ ව, මෘදුභූත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චලප්‍රාප්ත ව පිහිටත් ම, සත්ත්‍වයන්ගේ ච්‍යුති - උපපාතඥානය පිණිස සිත නතු කෙරෙයි හේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටුනා දිවැසින් මියන උපදනා හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සතුන් දක්නේය. සුගත, දුර්ගත, සතුන් දක්නේය. යථාකර්මොපග සත්ත්‍වයන් දන්නේය. “මේ භවත් සත්ත්‍වයෝ එකැතින් කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ, මනොදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ. (බුද්ධාදි) ආර්ය්‍යයනට උපවාද කරනුවහ, මිථ්‍යාදෘෂ්ටිකයහ, මිථ්‍යාදෘෂ්ටිකකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු සැපෙන් පහ ව සිටි, දුර්ගතික වූ, විනිපාත වූ, නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් සමන්‍වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ, මනඃසුචරිතයෙන් සමන්‍වාගතයහ, ආර්ය්‍යයනට උපවාද නොකරනුවහ, සම්‍යග්දෘෂ්ටිකයහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු ශොභනගති ඇති ස්වර්ගලොකයට පැමිණියහ”යි කියායි. මෙසෙයින් විශුද්ධ වූ, මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හීන, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගත, දුර්ගත, සතුන් දක්නේය. යථාකර්මොපග සත්ත්‍වයන් දන්නේය. මහණෙනි, යම්සේ සහදොර දෙගෙකෙක් ඇත් ද, එහි ඇස් ඇතී පුරුෂයෙක් ගෙමැද සිටියේ, ගෙට වදනාවූත්, බැසයන්නාවූත්, ඔබමොබ සක්මන් කරන්නාවූත්, ගෙන් ගෙට වදනාවූත් මිනිසුන් දක්නේ වේ ද, මහණෙනි, එ සෙයින් ම මහණ පිරිසිදු වූ මිනිසැස ඉක්ම සිටි, දිවැසින් මියන, උපදනා, හින, ප්‍රණීත, සුවර්ණ, දුර්වර්ණ, සුගත, දුර්ගත, සත්ත්‍වයන් දක්නේය. යථාකර්මොපග සත්ත්‍වයන් දන්නේය . . .

 

35. ඒ මහණ මෙසෙයින් සමාධිගත සිත පරිශුද්ධ ව, පර්ය්‍යවදාත ව, අනඞ්ගණ ව, විගතොපක්ලෙශ ව, මෘදුභූත ව, කර්‍මණ්‍ය ව, ස්ථිත ව, නිශ්චල ප්‍රාප්ත ව පවතුත් ම, ආස්‍රව ක්‍ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකයි’ යථාභූතය දන්නේ ය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපති’යි යථාභූතය දන්නේය. ‘මුහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරොධය’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවනිරොධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්ත කල්හි ‘විමුක්තයෙමී’ යි ඥාන වෙයි. ජාති ක්‍ෂීණය සසුන්බ්‍රම්සරවස් හා මඟබ්‍රම්සරවස් වසන ලදී. (සතර මගින් කළ යුතු සොළසවිධ) කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමියි දන්නේය. මහණෙනි, යම්සේ පර්වතමුදුනෙක විමල්, වෙසෙසින් පහන්, නොකැලැත් දියවිලෙක් වේ ද, එවිල්තෙර සිටි ඇස් ඇති පුරුෂයෙක් ඇවිදුනා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලනුදු මස්ගළදු, සිටුනා කැට හා කැබිලිති දු දක්නේ වේ ද, ඔහුට මෙබඳු සිතෙක් වෙසි: ‘මේ දියවිල නිර්මල වෙයි, විප්‍රසන්නවෙයි, කදිම රහිත වෙයි. මේ සිප්පිබෙල්ලන් හා සක්බෙල්ලෝ ද, මස්රැළහු ද හැසිරෙන්නාහුදු සිටුනාහුදු වෙති. කැට හා කැබිලිත්තෝ ද සිටුනාහු වෙති’යි කියායි. ‘මහණෙනි, එසෙයින්ම මහණ ‘මේ දුකැ’ යි යථාභූතය දන්නේය. ‘මේ දුඃඛසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ දුඃඛනිරොධය’යි යථාභූතය දන්නේය, මේ දුඃඛනිරොධගාමිනී ප්‍රතිපද්’යි යථාභූතය දන්නේය. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූතය දන්නේය. ‘මේ ආස්‍රවසමුදය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරොධය’යි යථාභූතය දන්නේය, ‘මේ ආස්‍රවනිරොධගාමිනී ප්‍රතිපද්ය’යි යථාභූතය දන්නේය. මෙසෙයින් දන්නා, මෙසෙයින් දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. විමුක්තවත් ම ‘විමුක්තයෙමි’ යි ඥාන වෙයි. ‘ජාතිය ක්‍ෂීණය. බ්‍රම්සරවස් වැස නිමවන ලදී. කරණී කරන ලදී. නැවත මේ මිනිස්බවට නො එමී’ දන්නේය.

36. මහණෙනි, මේ මහණ (සන්හුන් ඇති බැවින්) ශ්‍රමණයහයි ද) (බැහැර ලූ පාප ඇති බැවින්) බ්‍රාහ්මණයහයි ද, (ධෞතක්ලෙශ ඇති බැවින් නහාතකය හයිද, (චතුර්මාර්ගඥානවෙදයෙන් ලමුදම් දත් වන බැවින්) වෙදගු හයිද, (පැහූකෙලෙස් ඇති බැවින්) සොත්තියහයි ද, (කෙලෙසුන් දුරුකළ බැවින්) අරියහයි ද, රහත්හයි ද කියනු ලැබේ.

 

37. මහණෙනි, කෙසේ මහණ ‘සමණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛ විපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන ලමු අකුසල් දහම්හු සමිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සමණ’ නම් වෙයි.

 

38. මහණෙනි, කෙසේ මහණ ‘බ්‍රාහ්මණ’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු බාහිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘බ්‍රාහ්මණ’ නම් වෙයි.

 

39. මහණෙනි, කෙසේ මහණ ‘නහාතක’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමුඅකුසල් දහම්හු දෝනාලදහු වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘නහාතක’ නම් වෙයි.

 

40. මහණෙනි, කෙසේ මහණ වෙදගු නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල්හු විදිත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘වෙදගු’ නම් වෙයි.

 

41. මහණෙනි, කෙසේ මහණ ‘සොත්තිය’ නම් වේ ද යත්: මොහු විසින් සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු නිඃඍත (හරණලද) වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘සොත්තිය’ නම් වෙයි.

 

42. මහණෙනි, කෙසේ මහණ ‘අරිය’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාමරණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දූරිභූත වෙති. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරිය’ නම් වෙයි.

 

43. මහණෙනි, කෙසේ මහණ ‘අරහන්ත’ නම් වේ ද යත්: මොහු පිළිබඳ සිත කෙලෙසන, පුනර්භවය පිණිස වැටෙන, කායචිත්තදරථසහිත, දුඃඛවිපාක ඇති, මතුයෙහි ජාතිජරාරමණයට කරුණු වන, ලමු අකුසල් දහම්හු දුරීභූත වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ‘අරහන්ත’ නම් වෙයි.

භාග්‍යවතුන් වහන්සේ මෙ මහාඅස්සපුරසූත්‍රය දෙසූහ. සතුටුසිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව අභිනන්‍දන කළෝ.

නවවැනි වූ මහාඅස්සපුර සූත්‍රය නිමියේ ය.