මහාගොසිඬ්ග සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

2

මහාගොසිඬ්ග සූත්‍රය

 

 

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගොසිඞ්ගසාලවන ළැව්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන, ආයුෂ්මත් මහාකාශ්‍යප, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් රේවත, ආයුෂ්මත් ආනන්ද යන ඉපහළ ස්ථවිර ශ්‍රාවකයන් හා අන්‍ය වූ ඉපහළ ස්ථවිර ශ්‍රාවකයන් හා ද සමඟ වැඩ වසන සේක.

 

2. ඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරණුවෝ සවස්වරුයෙහි ඵලසමවතින් නැගී සිටියාහු ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන් කරා එළඹියහ. එළඹ ආයුෂ්මත් මහාකාශ්‍යප තෙරණුවන්ට තෙල සැළ කලහ. “ආයුෂ්මත් කාශ්‍යපයෙනි, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්‍මශ්‍රවණය සඳහා යම්හ” කියා යි. “ඇවැත්නි, එසේ යැ”යි මහා කාශ්‍යප තෙරණුවෝ මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් දුන්හ.

 

3. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද, ආයුෂ්මත් මහසුප් තෙරණවෝ ද, ආයුෂ්මත් අනුරුත් තෙරණුවෝ ද ධර්‍මශ්‍රවණය පිණිස සැරියුත් තෙරණුවන් වෙත එළඹියාහු ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත ධර්‍මශ්‍රවණය පිණිස එළඹෙන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් අනුරුත් තෙරුන් ද දුටහ. දැක ආයුෂ්මත් රේවත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ අයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල සැළ කෙළේ ය: “ආයුෂ්මත් රේවතයෙනි, මේ සත්පුරුෂයෝ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් කරා ධර්‍මශ්‍රවණය කරණු පිණිස එළඹෙත්. ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේ කරා ධර්‍මශ්‍රවණය පිණිස යම්හ”යි කියා යි. ‘එසේ ය’යි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට පිළිවදන් දුන්හ. ඉක්බිති ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද, ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත ධර්‍මශ්‍රවණය පිණිස එළඹියාහු ය.

 

4. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් ද, ආයුෂ්මත් රේවත තෙරණුවන් ද එනුවන් දුරැ ම දුටහ. දැක ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල කීහ: “ආයුෂ්මත් ආනන්දතෙමේ ඒවා. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ ඔබගේ සන්තිකාවචර වු ආනන්දහට ස්වාගත වේවා. ඇවැත් ආනන්දයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය (අභ්‍රමහිකාදි) දොස්රහිත ය. (පහන් ය). වෘක්ෂයෝ සවාරෙන් (මුලපටන් අග තෙක්) පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු භික්ෂුනමකගෙන් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?

 

 [ආයුෂ්මත් ආනන්ද:]

 

5. “ශාරිපුත්‍රයන් වහන්ස, මෙහි (යම්) මහණෙක් බහුශ්‍රැත වේ ද, ඇසූ දැය දරන්නේ වේ ද, ඇසූ දැය රැස්වූ තැනෙක් වේ ද, යම් ඒ ධර්‍මයෝ ආදිකල්‍යාණ වෙත් ද, මධ්‍යකල්‍යාණ වෙත් ද, පරියොසාන කල්‍යාන වෙත් ද, සාතර්‍ථ වෙත් ද, සව්‍යඤ්ජන වෙත් ද, කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද, ඔහු විසින් එබඳු ධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු. සිතින් නැවත නැවත පරීක්‍ෂා කරන ලද්දාහු, ප්‍රඥාවෙන් මනා ව අවබෝධ කරන ලද්දාහු වෙද් ද, හේ සප්ත අනුශයයන් නැසීම පිණිස සිවුපිරිසට පිරිමඩුලු වූ ප්‍රබද්ධ නො වූ (අතර නැති ව පවත්නා) පද ව්‍යඤ්ජනයෙන් යුක්ත ව දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙවැනි මහණහුගෙන් ගොසිඞ්ගසාලවනය හොබනේ ය.”

 

6. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් රේවත තෙරණුවන්ට මෙය කීහ: ඇවැත් රේවතයෙනි, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් සිය වටහනු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රේවත තෙරණුවන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ හැමතැන මලින් සැදියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වභාව ඇති භික්ෂුනමක් නිසා ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?

 

 [ආයුෂ්මත් රෙවත:]

 

7. “ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙහි යම් මහණෙක් පල සමවත් අරම් කොට ඇත්තේ පලසමවතෙහි ඇලුණේ වේ ද, තමා තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ ද, බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදර්‍ශනාවෙන් යුක්ත වූයේ වේ ද, ශුන්‍යාගාර (විදර්‍ශනා) වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වෙයි”.

 

8. මෙසේ කී කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රේවත තෙරණුවන් විසින් සිය වටහනු පරිදි ප්‍රකාශ කරන ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධයන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ සර්‍වාකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂූ විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”

 

 [ආයුෂ්මත් අනුරුද්ධ:]

 

9. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි යම් මහණෙක් ඉතා පිරිසිදු (කෙලෙස්මල සුන්) මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්‍රලොකධාතුව බලා ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, යම් සේ ඇස් ඇති පුරුෂයෙක් වරපහාතලමතට ගියේ (පහාපිරිවෙන්හි නැබ පිහිටි) නිම්මඩුලු දහස් යම් සේ බලන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, ඒ මහණ එපරිද්දෙන් ම මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවඇසින් සහස්‍රලොකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ ය.”

 

10. මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්විරයන් වහන්සේ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට තෙල සැළ කළහ: ඇවැත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි ලා අපි දැන් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විචාරම්හ: ඇවැත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්‍වරූප ඇති භික්ෂූ විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?

 

 [ආයුෂ්‍මත් මහාකාශ්‍යප:]

 

11. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධුතාඞ්ගධාරීභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් අල්පේච්ඡ වූයේ අල්පේච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සන්තුෂ්ට වූයේ දශවිධසන්තෝෂයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රකර්‍ෂවිචේක ඇත්තේ ප්‍රකර්‍ෂවිචේකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් කුලය කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනේ අසංසර්‍ගයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් රැකුළුවැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පන්නයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි මෙ වැනි භික්ෂූ විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ ය.”

 

12. මෙසේ ප්‍රකාශ කළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහාමෙෳද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේට තෙල සැල කළහ: ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. දැන් අපි මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විචාරම්හ. “ඇවැත් මොග්ගල්ලානයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දොෂාපගත ය. ශාලවෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?

 

 [ආයුෂ්‍මත් මහමුගලන්:]

 

13. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි භික්ෂූහු දෙදෙනෙක් අභිධර්‍මකථා කෙරෙද් ද, ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත් ද, ඔවුනොවුන් ඇසූ ප්‍රශ්න විසඳත් ද, කරුණු යටපත් නො කරත් ද, ඔවුන්ගේ ධර්‍මකථා නො කඩවා පවත්නාසුලු වේ ද, ඇවැත්නි, මෙබඳු ස්වරූප ඇති භික්ෂුනමගෙන් ගොසිඞ්ගසාලවනය හොබනේ වෙයි.”

 

14. ඉක්බිතහි ආයුෂ්මත් මහාමෙෳද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට තෙල සැළ කළහ: “ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, අප සියල්ලන් විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ විචාරම්හ. ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දෝෂරහිත වෙයි. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”

 

 [ආයුෂ්මත් සැරියුත්:]

 

15. “ඇවැත් මෙෳද්ගල්‍යායනයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් සියසිත තමා වසයෙහි පවත්වා ද, යම් මහණෙක් චිත්තයාගේ වශයෙන් නො පවත්නේ වේ ද, හෙතෙම යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වසයි, යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වාස කරන්ට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වසයි. යම් විහාරසමාපත්තියෙකින් සවස් කාලය ගත කරන්ට කැමැති නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස් කාලය ගත කරයි. ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්‍රයකුගේ හෝ සලුපෙට්ටිය නොයෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රයන්ගෙන් පිරුණේ වේ ද, හේ යම් යම් සළුසඟළක් පෙරවරුයෙහි පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුයෙහි ඒ සළුසඟළම පොරවන්නේ වෙයි. යම් යම් සළුසඟළක් මධ්‍යාහ්නවේලාවෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළම මධ්‍යාහ්නවේලාවෙහි පොරවන්නේ වෙයි. යම් යම් සළුසඟළක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළම සවස්කාලයෙහි පොරොවයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, එපරිද්දෙන් ම යම් මහණෙක් සිත සියවසයෙහි පවතවා ද, යම් මහණෙක් චිත්තයාගේ වශයෙන් නො වෙසෙයි ද, හෙ යම් විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වස යි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහ්නකාලයෙහි වසන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහ්නකාලයෙහි වසයි. යම් විහාරසමාපත්තියෙකින් සවස් කාලය වාස කරන්ට කැමැති නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස් කාලය වසයි. ඇවැත් මෙෳද්ගල්‍යානයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්ෂූ විසින් ගොසිඞ්ගසාලවනය ශොභන වන්නේ ය.”

 

16. ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ ඒ ආයුෂ්මත්නට තෙල කීහ: “ඇවැත්නි, අප හැම විසින් ම තමාගේ වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. ඇවැත්නි, යම්හ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වෙසෙත් නම් එතැනට පැමිණ තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ. භාග්‍යවතුන් වහන්සේ අපට යම් ලෙසකින් වදාරණ සේක් නම් එසේ එය දරම්හ යි. ඒ ආයුෂ්මත්හු ‘එසේ ය, ඇවැත්නි යි’ ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේට පිළිවදන් දුන්හ.

 

17. ඉක්බිති ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහු ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හු. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කලහ: “වහන්ස, මෙහි ආයුෂ්මත් රේවත තෙරණුවෝ ද ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද මා කරා බණ අසනු සඳහා පැමිණියාහු ය. වහන්ස, මම ආයුෂ්මත් රේවතතෙරුන් හා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ද දුර ම එන්නවුන් දැක ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට තෙල කීමි: ‘ආයුෂ්මත් ආනන්දයෝ එත්වා. භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූ භාග්‍යවතුන් වහන්සේගේ සන්තිකාචර වූ ආයුෂ්මත් ආනන්දයන්ගේ යහපත් පැමිණීමෙකි. ආයුෂ්මත් ආනන්දයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් වෙයි.වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ආනන්දයෙනි, කෙබඳු ස්වරූප ඇති මහණකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”

18. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්දතෙරණුවෝ මට මෙසේ කීහ: ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මේ ශාසනයෙහි මහණෙක් බහුශ්‍රැත වූයේ ඇසූ දැය දරන්නේ ඇසූ දෙය රැස් කළ තැනෙක් වේද, යම් ඒ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වෙද් ද, මද්ධ්‍යකල්‍යාණ වෙද් ද, පර්‍ය්‍යවසාන කල්‍යාණ වෙද් ද, අතර්‍ථ සහිත වෙත් ද, ව්‍යඤ්ජනසහිත වෙද් ද, කෙවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් නැවැත නැවැත පරීක්ෂා කරණ ලද්දාහු, නුවණින් මනා කොට අවබොධ කරණ ලද්දාහු වෙත් ද, හෙතෙමේ පිරිමඬුලු වූ අප්‍රබද්ධ වූ (මනාසේ ගැළපීම් ඇති) පදව්‍යඤජනයෙන් අනුසය නස්නා පිණිස සිවුපිරිසට දහම් දෙසා ද, ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මෙබඳු ස්වරූප ඇති මහණහු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ” යි.

 

19. “ශාරිපුත්‍රය, මැනැව, මැනැව. ආනන්ද තෙමේ ම තම අදහස මැනැවින් පවසනුයේ යම් සේ පවසන්නේ ද, ආනන්ද විසින් එය එසේ ම පවසන ලදී (බහුශ්‍රැතභාවය වූ තම අදහස පරිදි ම කියන ලදී.) ආනන්ද තෙමේ බහුශ්‍රැත ය. ශ්‍රැතධර ය. ඇසූ දෙය රැස් වූ තැනෙකි. යම් ඒ ධර්‍මයෝ ආදිකල්‍යාණ මද්ධ්‍යකල්‍යාණ පයර්‍යවසානකල්‍යාණ වෙද්ද, සාතර්‍ථ වෙද්ද, සබ්‍යඤ්ජන වෙද්ද, කෙවලපරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර ප්‍රකාශ කෙරෙත් ද, එවැනි ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. දරණ ලද්දාහු ය. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු ය. සිතින් නැවත නැවත පරීක්‍ෂා කරණ ලද්දාහු ය. ප්‍රඥායෙන් අවබොධ කරණ ලද්දාහු ය. හෙ අප්‍රබද්ධ (විශද) වූ පිරිමඬුලු වූ පදව්‍යඤ්ජනයෙන් අනුසය (කෙලෙස්) නැති කිරීම පිණිස සිවුපිරිසට ධර්‍මදෙශනා කෙරේ.”

 

20. වහන්ස, (ආයුෂ්මත් ආනන්ද) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් රේවත තෙරණුවන්ට තෙල කීමි: “ඇවැත් රේවතයෙනි, ආනන්ද තෙරුන් විසින් තම වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් රෙවත තෙරුන් විචාරම්හ: ඇවැත් රේවතයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දොෂවිරහිත ය. වෘක්ෂයෝ සර්‍වප්‍රකාරයෙන් පිපී ගියහ. දිව සුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් රේවතයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”

 

21. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් රෙවත තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි යම් මහණෙක් පලසමවත් අරම් කොට ඇත්තේ පලසමවත්හි ඇලුණේ වේ ද, තමන් තුල චිත්තසමාධියෙන් යුක්ත වූයේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ වේ ද, විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාර වඩන්නේ වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය ශොභන වන්නේ ය”යි.

 

22. “ශාරිපුත්‍රය, මැනැව මැනැව. රෙවත තෙමේ ම තම අදහස මනාකොට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එහෙයින් රෙවත විසින් එය (ධ්‍යානාභිරතිය) පවසන ලදී. ශාරිපුත්‍රය, රෙවත තෙමේ පලසමවත අරම් කොට ඇත්තේ ය. පලසමවත්හි ඇලුණේ ය. තමා තුළ සිත සමාධිගත කිරීමෙහි යෙදුණේ තොර නො කළ ධ්‍යාන ඇත්තේ ය. විදර්‍ශනායෙහි යෙදුණේ ශුන්‍යාගාර වඩන්නේ ය.”

 

23. වහන්ස, (ආයුෂ්මත් රෙවත) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මට තෙල කීමි: “ඇවැත් අනුරුද්ධයෙනි, ආයුෂ්මත් රෙවත තෙරුන් විසින් තමාගේ වැටහීම අනුව ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විචාරම්හ: ඇවැත් අනුරුද්ධයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දොෂවිරහිත වෙයි. වෘක්ෂයෝ හැම අතින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් අනුරුද්ධයෙනි, කෙබඳු භික්ෂු කෙනෙකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”

 

24. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවඇසින් සහස්‍රීලොකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, ඇස් ඇති පුරුෂයෙක් ප්‍රාසාදයෙක්හි මතුතලයට ගියේ (පහ පිරිවෙත්හි) දහසක් නිම්මඬුලු යම් සේ බලන්නේ ද, ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, එපරිද්දෙන් ම මහණ තෙමේ මිනිසැස ඉක්ම සිටි පිරිසිදු දිවැසින් සහස්‍රීලොකධාතුව බලයි. ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස, මෙ වැනි භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ ය යි.”

 

25. “ශාරිපුත්‍රය, මැනැව මැනැව. අනුරුද්ධ තෙමේ ම තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, අනුරුද්ධ විසින් එය (දිඛ්ඛචක්ඛුඥාණය) එසේ ම පවසන ලදී. ශාරිපුත්‍රය, අනුරුද්ධ තෙමේ පිරිසිදු, මිනිසැස ඉක්ම සිටි දිවැසින් සහස්‍රීලොකධාතුව බලන්නේ ය.”

 

26. වහන්ස, (ආයුෂ්මත් අනුරුද්ධ) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට තෙල කීමි: “ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධයන් විසින් ස්වකීය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි අයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ විචාරම්හ: ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රය දොෂාපගත ය. වෘක්ෂයෝ සර්‍වප්‍රකාරයෙන් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් කාශ්‍යප ස්ථවිරයන් වහන්ස, කෙබඳු ස්වරූප ඇති භික්ෂු කෙනෙකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.

 

 “වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මට තෙල කීහ: “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශාසනයෙහි මහණෙක් තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් අල්පෙච්ඡ වූයේ අල්පෙච්ඡභාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තොෂයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සංසෘෂ්ට නො වූයේ (කුලයෙහි දු ගෙණෙහිදු නො හැනුණේ) අසංසෘෂ්ට භාවයෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් පටන්ගත් වීර්‍ය ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පදාවෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් ප්‍රඥාසම්පන්න වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු වේ ද, ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු මහණකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ ය.”

 

27. “ශාරිපුත්‍රයෙනි, මැනැව මැනැව. කාශ්‍යප තෙමේ ම මොනවට තම අදහස පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම කාශ්‍යපයන් විසින් එය (ධූතවාදය) පවසන ලදී. ශාරිපුත්‍රය, කාශ්‍යප තෙමේ තෙමේත් ආරණ්‍යක වූයේ ආරණ්‍යකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් පිණ්ඩපාතික වූයේ පිණ්ඩපාතිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් පාංශුකූලික වූයේ පාංශුකූලිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් තෙචීවරික වූයේ තෙචීවරිකධූතාඞ්ගධාරී භාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් අල්පෙච්ඡ වූයේ අල්පෙච්ඡභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් සන්තුෂ්ට වූයේ සන්තුෂ්ටභාවයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ ප්‍රකර්‍ෂවිවේකයෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් අසංසට්ඨ වූයේ අසංසට්ඨතාවෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ඇරඹූ වැර ඇත්තේ වැර ඇරඹුමෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ශීලසම්පන්න වූයේ ශීලසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් සමාධිසම්පන්න වූයේ සමාධිසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ ප්‍රඥාසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි. තෙමේත් විමුක්තිසම්පන්න වූයේ විමුක්තිසම්පත්තියෙහිගුණ කියනසුලු ද වෙයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වූයේ විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි ගුණ කියනසුලු ද වෙයි.”

 

28. වහන්ස, (ආයුෂ්මත් මහාකාශ්‍යප) මෙසේ කී කල්හි මම ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන ස්ථවිරයන් හට තෙල කීමි: ඇවැත් මොග්ගල්ලානයෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් විසින් සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් විචාරම්හ: ඇවැත් මොග්ගල්ලානයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය පහන් ය. වෘක්ෂයෝ හැමලෙසින් පිපී ගියහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් මොග්ගල්ලානයෙනි කෙබඳු ස්වරූප ඇති භික්ෂු කෙනෙකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.

 

29. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් මහාමොග්ගල්ලායන තෙරණුවෝ මට තෙල කීහ. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, මේ ශසනයෙහි භික්ෂුහු දෙදෙනෙක් අභිධර්‍ම කථා කෙරෙත්. ඔහු ඔවුනොවුන් ප්‍රශ්න අසත්. ඔවුනොවුන් විසින් ප්‍රශ්න අසන ලද්දාහු විසඳත්. කරුණු යටපත් නො කරත්. ඔවුන්ගේ දැහැමි කථාව ද පවත්නාසුලු වේ. ඇවැත් ශාරිපුත්‍රයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ ය”යි.

 

30. “ශාරිපුත්‍රයෙනි, මැනැව මැනැව මොග්ගල්ලාන තෙමේ ම තම අදහස (අභිධර්‍මකථිකත්වය) මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම මොග්ගල්ලාන විසින් එය පවසන ලදී. ශාරිපුත්‍රය, මොග්ගල්ලාන තෙමේ ධර්‍මකථිකයෙකි.”

 

31. මෙසේ කී කල්හි ආයුෂ්මත් මොග්ගල්ලාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මම ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් තෙල කීමි: ඇවැත් ශාරිපුත්‍රයෙනි, අප සියලු දෙනාම විසින් ම සිය වැටහීම පරිදි ප්‍රකාශ කරණ ලදී. එහි දැන් අපි ආයුෂ්මත් ශාරිපුත්‍රයන් විචාරම්හ. “ඇවැත් ශාරිපුත්‍රයෙනි, ගොසිඞ්ගසාලවනය සිත්කලු ය. රාත්‍රිය දොෂාපගත ය. වෘක්ෂයෝ සර්‍වාකාරයෙන් පිපී ගයහ. දිවසුවඳ වැනි සුවඳ හමයි. ඇවැත් ශාරිපුත්‍රයෙනි, කෙබඳු ස්වරූප ඇති භික්ෂු කෙනෙකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ ද?”.

 

32. වහන්ස, මෙසේ කී කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මට තෙල කීහ: “ඇවැත් මොග්ගල්ලානයෙනි, මේ ශාසණයෙහි මහණෙක් සිත තමා වශයෙහි පවත්වයි. මහණ තෙමේ චිත්තවශයෙහි නො පවත්නේ වෙයි. හෙ යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යාහනකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් සවස්කාලයෙහි වාස කරයි. -

 

ඇවැත් මෞද්ගල්‍යායන ස්ථවිරයන් වහන්ස, යම් සේ රජකුගේ හෝ රාජමහාමාත්‍රයකුගේ හෝ සලුපෙට්ටිය නොයෙක් පැහැයෙන් රඳනා ලද වස්ත්‍රයෙන් පිරුණේ ද, හෙ යම් යම් සළුසඟළක් පෙරවරුවේ පෙරවීමට සතුටු වේ නම්, පෙරවරුවේ ඒ සළුසඟළ ම පොරවන්නේ ද, යම් යම් සළුසඟළක් මධ්‍යාහන වේලාවේ පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළ ම මධ්‍යාහන වේලාවේ පොරවන්නේ ද, යම් යම් සළුසඟළක් සවස්කාලයෙහි පෙරවීමට සතුටු වේ නම්, ඒ සළුසඟළ ම සවස්කාලයෙහි පොරවන්නේ ද, ඇවැත් මොග්ගල්ලානයෙනි, මෙපරිද්දෙන් ම මහණෙක් සිත සියවසයෙහි පවත්වයි. මහණෙක් චිත්තයාගේ වශයෙන් නො පවතියි. හෙ යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මධ්‍යකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මධ්‍යාහනකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමවතින් සවස්කාලයෙහි වාස කරයි. ඇවැත් මොග්ගල්ලානයෙනි, මෙබඳු ස්වරූප ඇති භික්ෂු විසින් ගොසිඞ්ගසාලවනය ශොභන වන්නේය.”

 

33. “මොග්ගල්ලානය, මැනැව මැනැව. ශාරිපුත්‍ර තෙමේ ම තම අදහස මොනොවට පවසනුයේ යම් සේ පවසන්නේ ද, එසෙයින් ම ශාරිපුත්‍ර විසින් එය (අචිත්තවසිකභාවය) පවසන ලදී. මොග්ගල්ලානය, ශාරිපුත්‍ර තෙමේ සිත වසඟ කොට වසයි. ශාරිපුත්‍ර තෙමේ ඒකාන්තයෙන් චිත්තයාගේ වශයෙන් නොපවතියි. හෙතෙම යම් විහාරසමාපත්තියෙකින් පෙරවරුකාලය වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් පෙරවරුකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් මැදිකාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමාපත්තියෙන් මැදිකාලයෙහි වාස කරයි. යම් විහාරසමාපත්තියෙකින් සවස්කාලයෙහි වාස කරන්නට කැමැති වේ නම්, ඒ විහාරසමවතින් සවස්කාලයෙහි වාස කරයි.”

 

34. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ: භාග්‍යවතුන් වහන්ස, සුභාසිතය කවරකුගේ වේ ද?

 

35. ශාරිපුත්‍රය, තොප හැමගේ භාසිතයෝ ඒ ඒ ක්‍රමයෙන් සුභාසිත වෙති. එසේ ද වුවත් යම්බඳු භික්ෂු කෙනෙකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ වේ නම්, එ පිළිබැඳි මබස ද අසව. ශාරිපුත්‍රය, මේ ශාසනයෙහි යම් මහණෙක් බතින් පසු පිණ්ඩපාතයෙන් වැළැක්කේ පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කර්‍මස්ථානයට අභිමුඛ කොට ‘යම් තාක් මගේ සිත උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන් කෙරෙන් මිදේ ද, ඒ තාක් මේ පලඟ නො බිඳින්නෙමි’යි සිතා හිඳගණී ද, ශාරිපුත්‍රය, මෙ වැනි භික්ෂු කෙනෙකු විසින් ගොසිඞ්ගසාලවනය හොබනේ ය යි. (මෙයින් බුදුහු ජනතානුකම්පාවෙන් පිළිවෙත්සරු කලණ පුහුදුන්ට රහත්බැව් පිණිස තමන් වහන්සේ බෝමැඩදී ඉටු පරිදි චතුරඞ්ගවිරියාධිට්ඨානය දැක්වූ සේ යි.)

 

භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. සතුටු වූ ඒ ආයුෂ්මත්හු භාග්‍යවතුන් වහන්සේ භාෂිතය අභිනන්දන කළහ.

 

දෙවැනි වූ මහාගොසිඞ්ග සූත්‍රය නිමියේ ය.