මහාතණ්හාසංඛය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

4

මහා යමක වර්ගය

8

මහාතණ්හාසඞ්ඛය සූත්‍රය

1. මා විසින් මෙසේ අසනලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඩු මහසිටුහු කළ ජෙතවන මහවෙහෙරෙහි වැඩවසන සේක. එසමයෙහි කෙවට්ටපුත්ත සාති නම් මහණහට මෙබඳු ලාමක දර්ශනයෙක් උපන: “එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සැරිසරයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි.

 

2. “කෙවුළුපුතු සාති නම් මහණහට මෙබඳු පවිටු දිටු උපන: ‘එ විඥානය ම (භවයෙන් භවයට) දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති’යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි යනු බොහෝ (දනවුවැසි) මහණහු ඇසූහ. එසඳ ඒ මහණහු කෙවුළුපුතු සාති මහණ කරා ගියහ. ගොස් කෙවුළුපුතු සාති මහණහට තෙල කිහු: ඇවැත, සාතියෙනි, “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ යී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැනසිටිමි” යි තොපට මෙබඳු දිටු උපන යනු සැබෑ වේ ද? කියායි. ඇවැත්නි, “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවේ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති”යි මම දැන සිටිම්.

 

3. ඉක්බිති ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් මුදවනු කැමැත්තාහු ලබ්ධි පුළුවුසිත්, ලබ්ධියෙහි පිහිටුවත්, කරුණු විචාරත්: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන (අභිභවා කීම) නො කරව. භාග්‍යවතුන්හට අභ්‍යාඛ්‍යාන නො මැනැවි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරති. ඇවත සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් නන් නියරින් විඥාන ප්‍රත්‍යයොත්පන්න යයි වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැතියි කීහු. මෙසෙයිනුදු කෙවුළුපුතු සාතිමහණ ඒ මහණන් විසින් පැන පුළුවුස්නා ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එම පවිටු දිටු වැරයෙන් පරාමර්‍ශ කොට එහි පිහිටා බෙණෙයි: “එ ම විඥාන දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. යම්හෙයෙකින් ඒ මහණහු කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරන්නට නොහැකි වූහු ද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්නාහ. එකත්පස් ව හුන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:

 

4. වහන්ස, කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කියායි. වහන්ස, අපි “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි කෙවුළුපුතු සාතිමහණහට මෙ අයුරු පවිටු දිටු උපන යනු ඇසුම්හ. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණහු කරා ගියම්හ. ගොස් කෙවුළුපුතු සාතිමහණහට තෙල කියුම්හ: “ඇවැත් සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූසේක් ද, එපරිදි දෙසූ දහම මම දැන සිටිමි” යනු සැබෑදැ” යි. වහන්ස, අප මෙසේ කියන්නා හා ම, කෙවුළුපුතු සාතිමහණ අපට තෙල බස් කී: “එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නැති යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි” කියායි. වහන්ස, එසඳ අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවනු කැමැත්තමෝ ලබ්ධි පුළුවුසුම්හ, ලබ්ධි ගැන්වූම්හ, කරණු විචාළම්හ: “ඇවත, සාතියෙනි, නහමක් මෙසේ කියා. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛ්‍යාන නො කරව. භාග්‍යවතුන් වහන්සේට අභ්‍යඛ්‍යාන නො මැනව. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරනසේක. ඇවැත, සාතියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඥානය ප්‍රත්‍යයොත්පන්න’ යයි නන් අයුරින් වදාරන ලදි. ප්‍රත්‍යය විනා විඥානයාගේ සම්භවයෙක් නැති යි වදාරන ලදි.” වහන්ස කෙවුළුපුත් සාතිමහණ අප විසින් මෙසෙයිනුදු ප්‍රශ්න නගනු ලබනුයේ, ලබ්ධි ගන්වනු ලබනුයේ, කරුණු විචාරනු ලබනුයේ එ පවිටු දිටු බලයෙන් පරාමර්‍ශ කොට ගෙන පිවිසගෙන බෙණෙයි: “එම විඥානය ම දිවෙයි, සෙරෙයි, අනෙකක් නො වෙයි භාග්‍යවතුන් වහන්සේ විසින් යම්පරිදි දෙසූ සේක් ද, එපරිදි දෙසු දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි කියයි. වහන්ස යම් හෙයකින් අපි කෙවුළුපුතු සාතිමහණ තෙල පවිටු දිටුයෙන් වෙන් කරවන්නට නොහැකි වූමෝ ද, එහෙයින් අපි තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කරම්හ යි.

 

5. එසඳ බුදුහු එක්තරා මහණකු ඇමතූසේක: මහණ තෝ එව, මා බසින් කෙවුළුපුතු සාතිමහණ අමත: ‘ඇවත, සාතියෙනි, බුදුහු තා කැඳවනසේකැ”යි. ඒ මහණ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කෙවුළුපුතු සාතිමහණහු කරා එළඹියේය. එළඹ කෙවුළුපුතු සාති මහණහට තෙල බස් කී: ‘ඇවැත සාතියෙනි, ශාස්තෲන්වහන්සේ තොප කැඳවනසේකැ’යි. ‘ඇවැත, එසේයැ’යි කෙවුළුපුතු සාතිමහණ ඒ මහණහට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් කෙවුළුපුතු සාතිමහණහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක: “සැබැව, සාතියෙනි, තොපට මෙ අයුරු පවිටු දිටු උපන් ල: එ විඥානය ම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් පරිදි දෙසූ දහම මම දැන සිටිමි”යි. “වහන්ස, ‘එ විඥානයම දිවෙයි, සෙරෙයි, අන් විඥානයෙක් නොවෙ’යි යම් පරිදි දෙසූසේක් ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එපරිදි දෙසූ දහම එසේ විය හෙති යි මම දැන සිටිමි”යි.

 

6. සාතියෙනි, ඒ විඥාන කිම?

 

“වහන්ස, ඒ යමෙක් වචන කියන්නේ (කථා කරන්නේ), වෙදනා විඳින්නේ, ඒ ඒ (භව යොනි ගති ආදි) තන්හි කුශලාකුශල කර්‍මයන්ගේ විපාක විඳින්නේ වේ ද, මෙ විඥානය”යි සැළකෙළේ ය.

 

මොඝපුරුෂය, තෝ කවරක්හට නම් මා මෙසේ දහම් දෙසුවා දන්හි? මොඝපුරුෂය, මා විසින් නන්අයුරින් විඥානය ප්‍රත්‍යයසමුත්පන්න ය යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි වදාරන ලද්දේ නො වේ ද? ඒ මතු ද, මොඝපුරුෂය, තෝ තමා වරදවා ගත් දැයින් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙහි. තමා ද (ගුණ සාරාලීමෙනි) කණිහි. බොහෝ අකුසල් ද ප්‍රසව කෙරෙහි. මොඝපුරුෂය, ඒ පවිටු දිටු තට දීර්ඝ රාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටෙයී වදාළහ.

 

7. එක්බිති බුදුහු භික්‍ෂූන් ඇමැතූසේක: මහණෙනි, ඒ කිම හඟිවූ ද, කෙවුළුපුතු මේ සාති මහණ මෙ සස්නෙහි උසුම් කෙළේ (මගපල පිණිස උනුසුමකුදු ඇත්තේ) වේ ද? “වහන්ස, කෙසේ නම් වන්නේය. වහන්ස, තෙල නොවන්නේ ම ය.” මෙසේ කී කල්හි කෙවුළුපුතු සාති මහණ නිහඬව, නිතෙදව, බැහු කඳට ඇති ව, අධොමුඛ ව, සිතිවිලි සිතනු ව, වටහනු නැති ව හින. එසඳ බුදුහු කෙවුළුපුතු සාතිමහණහු තූෂ්ණීම්භූත වූවහු, නිස්තෙජස්ක වූවහු, නැමූ කඳට ඇතියහු, අධොමුඛ වූවහු, සිතිවිලි සිතනුවහු, නොවැටහෙනහු දැන කෙවුළුපුතු සාතිමහණහට තෙල බස් වදාළහ: “මොඝපුරුෂය, තො ම තෙල ලාමක දෘෂ්ටියෙන් පැණෙහි. මම මෙහි (මුළුදුන්) මහණගණ පුළුවුස්මි”යි.

 

8. එක්බිති බුදුහු මහණුන් ඇමතුසේක: “මහණෙනි, යම්සේ මේ කෙවුළුපුතු සාති මහණ තමා වරදවා ගත් දිටුවෙන් අපට ද අභිභවා බෙණේ ද, තමනුදු (ගුණබණනයෙන්) කැණැගන්නේ වේද, බොහෝ අකුසලුදු රැස්කොට ගන්නේ වේ ද, තෙපිදු එසේ මා දහම් දෙසුවා දන්හුදැ”යි වදාළහ. “වහන්ස, තෙල නෙ වේ ම ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් අපට නන්අයුරින් විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැයි, ප්‍රත්‍යයයෙන් තොරව විඥානසම්භවයෙක් නැති”යි වදාරන ලදි. මැනැව, මහණෙනි. මහණෙනි, තෙපි මා විසින් මෙසේ දහම් දෙසුවා පිළිගනුව, මනාමය. මහණෙනි, මා විසින් තොපට විඥානය ප්‍රතීත්‍යසමුත්පන්න යැ යි, ප්‍රත්‍යය විනා විඥානසම්භවයෙක් නැති යි නන්නියරින් වදාරන ලදි. එතෙකුදු වුව, කෙවුළු පුතු මේ සාති මහණ තමන් වරදවා ගත් දිටුයෙන් අපට ද අභ්‍යාඛ්‍යාන කෙරෙයි. තමා ද කණියි. බොහෝ පව් ද රැස් කෙරෙයි. එය ම ඒ මොඝපුරුෂහට දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ යැ යි වදාළෝ.

 

(සාති කාණ්ඩය.)

 

9. මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා විඥානය පහළ වේ ද, එයිනෙයින් ම (ඒ විඥාන) ගණනට (ඇඳිනීමට) යෙයි. ඇස ද රූපයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) චක්ඛුවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) සොතවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) ඝානවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි. දිව ද රසයන්ද නිසා විඥානයෙක් පහළ වේ (එය) ජිව්හාවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) කායවිඤ්ඤාණ යයි ම ගණනට යෙයි මනස ද ධර්‍මයන් ද නිසා විඥානයෙක් පහළ වේ. (එය) මනොවිඤ්ඤාණ ය යි ම ගණනට යෙයි.

 

මහණෙනි, යම් යම් ම ප්‍රත්‍යයක් නිසා ගිනි දිලේ ද, (ඒ ගිනි) ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම යම්සේ ගණනට යේ ද - කාෂ්ඨය ද නිසා අග්නි දිලෙයි, කාෂ්ඨාග්නි ම ය යි ගණනට යෙයි. සකලිකා (කටපොතු - ලී කැබලි) ද නිසා අග්නි දිලෙයි, සකලිකාග්නිම ය යි ගණනට යෙයි. තෘණ ද නිසා ගිනි දිලෙයි, තෘණාග්නි ම ය යි ගණනට යෙයි. ගොම ද නිසා ගිනි දිලෙයි, ගොමයාග්නි ම ය යි ගණනට යෙ යි. තුෂ (දහසිවි නිසා) ද ගිනි දිලෙයි, තුෂාග්නිම ය යි ගණනට යෙයි. සඞ්කාර (කසළ) ද නිසා ගිනි දිලෙයි, සඞ්කාරාග්නි ම ය යි ගණනට යෙයි. මහණෙනි, එපරිදි ම යම් යම් ම ප්‍රත්‍යයයක් නිසා විඥාන උපදනේ වේද, ඒ ඒ ප්‍රත්‍යයනාමයෙන් ම ගණනට යෙයි. ඇස ද රූපයන්ද නිසා විඥාන පහළ වේ. චක්‍ඛුවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කණ ද ශබ්දයන් ද නිසා විඥාන පහළ වේ. සොතවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. නැහැය ද ගන්‍ධයන්ද නිසා විඥාන පහළ වේ. ඝානවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. දිව ද රසයනුදු නිසා විඥාන පහළ වෙයි. ජිව්හාවිඤ්ඤාණ ම යයි ගණනට යෙයි. කය ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද නිසා විඥාන පහළ වේ. කායවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි. සිත ද ධර්‍මයන් ද නිසා විඥාන පහළ වේ. මනොවිඤ්ඤාණ ම ය යි ගණනට යෙයි.

 

10. මහණෙනි, මේ පඤ්චස්කන්‍ධය භූත යයි (වූ දැයෙකියි) දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පඤ්චස්කන්‍ධය ආහාරසම්භව (ප්‍රත්‍යය ඇතිකල උපදනේ)ය යි දක්නාහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පඤ්චස්කන්‍ධයෙක් ඇද්ද, එය ඒ ප්‍රත්‍යයනිරොධහෙතුයෙන් නිරොධ සැහැවි ඇතැයි දක්නාහු ද? වහන්ස එසේය.

 

11. මහණෙනි, මේ පස්කඳ භූත වේ දෝ නොවේ දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ දෝ නොවේදෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යනිරොධහෙතුයෙන් නිරොධ සැහැවි ඇද්දෝ නැද්දෝ යි සැකෙන් විචිකිත්සා උපදනේ වේ ද? වහන්ස එසේය.

 

12. මහණෙනි, මේ පස්කඳ භූත යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විසිකිස් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව යැයි තත්වූ පරිදි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරොධහෙතුයෙන් නිරොධ සැහැවි ඇති යි සම්‍යක් ප්‍රඥායෙන් දක්නාහට යම් විචිකිත්සායෙක් ඇද්ද, ඒ ප්‍රහීණ වේද? වහන්ස, එසේය.

 

13. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යය නිරොධයෙන් නිරොධ සැහැවි ඇතියි මෙසෙයිනුදු තෙපි මෙහි විචිකිත්සා නැතියහු ද? වහන්ස, එසේය.

 

14. මහණෙනි, මේ පස්කඳ භූත වේ යැයි යථාභූතය සම්‍යක් ප්‍රඥායෙන් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, ඒ පස්කඳ ප්‍රත්‍යයසම්භව වේ යැයි යථාභූතය විවසුන් නුවණින් මනාව දුටුයේ වේ ද? වහන්ස, එසේය. මහණෙනි, යම් භූත වූ පස්කඳෙක් ඇද්ද, ඒ පස්කඳ ඒ ප්‍රත්‍යයනිරොධයෙන් නිරොධස්වභාව ඇතියි යථාභූතය විවසුන් නුවණින් දුටුයේ වේ ද? වහන්ස, එසේය.

 

15. මහණෙනි, ඉදින් තෙපි මෙසෙයින් (ස්වභාවදර්ශනයෙන්) පරිශුද්ධ, මෙසෙයින් (ප්‍රත්‍යයදර්ශනයෙන්) පර්ය්‍යවදාන, මේ සම්‍යග්දෘෂ්ටිය (තෘෂ්ණා දෘෂ්ටීන්) ඇලීගෙන වසවු නම්, කෙළිකොට ගනිවු නම්, ධනය මෙන් කොට ගනිවු නම්, මමත්වය කරවු නම්, මහණෙනි, “නිස්තරණය (සසරින් එතෙරවීම) පිණිස වත් මුත් ග්‍රහණය පිණිස නොවෙති”යි පසුරක් බඳු කොට මවිසින් දහම් දෙසුවා තෙපි පිළිගනිවු ද? වහන්ස, තෙල නොවේ ම ය. මහණෙනි, ඉඳින් තෙපි මෙසෙයින් පරිශුද්ධ, මෙසෙයින් පර්ය්‍යවදාන, මේ සම්දිටු ඇලීගෙන නොවසවු නම්, කෙළිකොට නොගනිවු නම්, ධන වැනි කොට නොගනිවු නම්, මහණෙනි, තෙපි “නිස්තරණය පිණිස වත් මුත් (නිකාන්ති විසින්) ගන්නා සඳහා නොවෙති”යි පසුරක් බඳු කොට දහම් දෙසුවා පිළිගන්නහු ද? වහන්ස, එසේය.

 

16. මහණෙනි, හටගත් සත්ත්‍වයනට ස්ථිති පිණිස හටගන්නා සත්ත්‍වයනට අනුග්‍රහ පිණිස මේ ආහාරයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: කබලිඞ්කාර (පිඩුකොට කෑ යුතු ඖදාරීක වූ හෝ සූක්ෂ්ම වූ හෝ ආහාරය, දෙවන ඵස්සාහාර ය, තෙවන මනොසඤ්චෙතනාහාර ය, සතරවන විඤ්ඤාණාහාර යි.

 

17. මහණෙනි, මේ ආහාරයෝ සතරදෙන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? මේ ආහාරයෝ සතරදෙන තෘෂ්ණානිදාන කොට තෘෂ්ණාසමුදය කොට තෘෂ්ණාජාතික කොට තෘෂ්ණාප්‍රභව කොට ඇතියහ.

 

18. මහණෙනි, මේ තෘෂ්ණා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? තෘෂ්ණා වෙදනානිදාන කොට වෙදනාසමුදය කොට වෙදනා ජාතික කොට වෙදනා ප්‍රභව කොට ඇතිය.

 

19. මහණෙනි, මේ වෙදනා කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? වෙදනා ස්පර්ශනිදාන කොට ස්පර්ශසමුදය කොට ස්පර්ශජාතික කොට ස්පර්ශප්‍රභව කොට ඇති ය.

 

20. මහණෙනි, මේ ස්පර්ශ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ස්පර්ශ ෂඩායතනනිදාන කොට ෂඩායතනසමුදය කොට ෂඩායතනජාතික කොට ෂඩායතනප්‍රභව කොට ඇති ය.

 

21. මහණෙනි, මේ ෂඩායතන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? ෂඩායතන නාමරූපනිදාන කොට නාමරූපසමුදය කොට නාමරූපජාතික කොට නාමරූපප්‍රභව කොට ඇතිය.

 

22. මහණෙනි, මේ නාමරූප කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? නාම රූප විඥානනිදාන කොට විඥානසමුදය කොට විඥානජාතික කොට විඥාන ප්‍රභව කොට ඇතිය.

 

23. මහණෙනි, මේ විඥාන කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? විඥාන සංස්කාර නිදාන කොට සංස්කාරසමුදය කොට සංස්කාරජාතික කොට සංස්කාරප්‍රභව කොට ඇතිය.

24. මහණෙනි, මේ සංස්කාරයෝ කුමක් නිදාන කොට කුමක් සමුදය කොට කුමක් ජාතික කොට කුමක් ප්‍රභව කොට ඇද්ද? සංස්කාරයෝ අවිද්‍යානිදාන කොට අවිද්‍යාසමුදය කොට අවිද්‍යාජාතික කොට අවිද්‍යාප්‍රභව කොට ඇතියහ.

 

25. මහණෙනි, මෙසෙයින් අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය, ස්පර්ශප්‍රත්‍යයයෙන් වෙදනාය, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාය, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය, භවප්‍රත්‍යයෙන් ජාතිය, ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ ශොක පරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසෙයින් (සත්ත්‍ව පුද්ගල විරහිත) ශුද්ධ දුඃඛපුඤ්ජයාගේ උත්පාදය වෙයි.

 

26. ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ වේ’ය කියා යි.

 

27. ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භවප්‍රත්‍යයයෙන් ජාතිය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ය කියායි.

 

28. ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ’ය කියා යි.

 

29. ‘තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ’ය කියායි.

 

30. ‘වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා වේ’ය කියායි.

 

31. ‘ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වෙදනා වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වෙදනා වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වේදනා වේ’ය කියායි.

 

32. ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ වේ’ය කියා යි.

 

33. ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ’ය කියා යි.

 

34. ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානප්‍රත්‍යයයෙන් නාම රූප වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද, වහන්ස, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ’ය කියා යි.

 

35. ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥානය වේ’ය කියා යි.

 

36. ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙ යි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වේ’ය කියා යි.

37. මැනව මහණෙනි, මෙසේ මහණෙනි, තෙපිදු මෙසෙයින් කියන්නාව. මම ද මෙසෙයින් වදාරමි: “මෙ දහම් ඇති වත් ම මෙ දහම් වෙයි, මෙ දහම් පහළ වන්නා හා ම මෙ දහම් පහළ වෙයි - කෙසේය යත්: අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ ය, සංස්කාර ප්‍රත්‍යයයෙන් විඥාන ය, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප ය, නාමරූප ප්‍රත්‍යයයෙන් ෂඩායතන ය, ෂඩායතන ප්‍රත්‍යයයෙන් ස්පර්ශ ය, ස්පර්ශ ප්‍රත්‍යයයෙන් වෙදනා ය, වෙදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණා ය, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන ය, උපාදාන ප්‍රත්‍යයයෙන් භව ය, භව ප්‍රත්‍යයයෙන් ජාති ය, ජාති ප්‍රත්‍යයයෙන් ජරා මරණ ශොක පරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (යන මොහු) පහළ වෙති. මෙසේ හුදු දුඃඛ රාශිහුගේ සම්භවය වේ”ය කියා යි.

 

38. අවිද්‍යාවගේ ම විරාග සංඛ්‍යාත මාර්ගයෙන් වන අශෙෂ නිරොධ හෙතුයෙන් සංස්කාරයන්ගේ අනුත්පාද නිරොධ වෙයි. සංස්කාරයන්ගේ අනුත්පාදයෙන් විඥානයාගේ අනුත්පාදය වෙයි. විඥානයාගේ අනුත්පාදයෙන් නාමරූපයන්ගේ අනුත්පාදය වෙයි. නාමරූපයන්ගේ අනුත්පාදයෙන් ෂඩායතනයන්ගේ අනුත්පාදය වෙයි. ෂඩායතනයන්ගේ අනුත්පාදයෙන් ස්පර්ශයාගේ අනුත්පාදය වෙයි. ස්පර්ශයාගේ අනුත්පාදයෙන් වෙදනාවගේ අනුත්පාදය වෙයි. වෙදනාවගේ අනුත්පාදයෙන් තෘෂ්ණාවගේ අනුත්පාදය වෙයි. තෘෂ්ණාවගේ අනුත්පාදයෙන් උපාදානයාගේ අනුත්පාදය වෙයි. උපාදානයාගේ අනුත්පාදයෙන් භවයාගේ අනුත්පාදය වෙයි. භවයාගේ අනුත්පාදයෙන් ජාතියගේ අනුත්පාදය වෙයි. ජාතියගේ අනුත්පාදයෙන් ජරා මරණ ශොක පරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරොධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල දුඃඛ පුඤ්ජයාගේ අනුත්පාද වෙයි.

 

39. ‘ජාතිනිරොධයෙන් ජරාමරණ නිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදි. මහණෙනි, ජාති නිරොධයෙන් ජරාමරණ නිරොධය වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ජාති නිරොධයෙන් ජරාමරණ නිරොධය වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ජාතිනිරොධයෙන් ජරාමරණ නිරොධ වේ’ ය කියා යි.

 

40. ‘භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, භව නිරොධයෙන් ජාති නිරොධ වේ ද, නොහොත් නො වෙ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, භව නිරොධයෙන් ජාතිනිරොධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘භවනිරොධයෙන් ජාතිනිරොධ වේ’ ය කියා යි.

 

41. ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, උපාදාන නිරෝධයෙන් භවනිරොධ වේ ද, නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘උපාදාන නිරෝධයෙන් භවනිරෝධ වේ’ ය කියා යි.

 

42. ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, තෘෂ්ණානිරෝධයෙන් උපාදාන නිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, තෘෂ්ණානිරොධයෙන් උපාදාන නිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධ වේ’ය කියායි.

 

43. ‘වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධ වේ’ය කියාය.

 

44. ‘ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘ස්පර්ශනිරෝධයෙන් වෙදනානිරෝධ වේ’ ය කියායි.

 

45. ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධ වේ’ ය කියායි.

 

46. ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, නාමරූප නිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධ වේ’ ය කියායි.

 

47. ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයයි’ මෙසෙයින් තෙල බස වදාරන ලදී. මහණෙනි, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය: ‘විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධ වේ’ය කියායි.

 

48. ‘සංස්කාරනිරොධයෙන් විඥානනිරෝධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, සංස්කාරනිරොධයෙන් විඥානනිරොධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, සංස්කාරනිරොධයෙන් විඥානනිරොධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේ ය. ‘සංස්කාරනිරොධයෙන් විඥානනිරොධ වේ’ ය කියායි.

 

49. ‘අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වෙයි’ මෙසෙයින් තෙල බස වදාරනලදී. මහණෙනි, අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වේ ද නොහොත් නො වේ ද, මෙහි තොපට කෙසේ සිත් උපදනේ ද? වහන්ස, අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වෙයි. මෙසෙයින් මෙහි අපට සිත් උපදනේය: ‘අවිද්‍යානිරොධයෙන් සංස්කාරනිරොධ වේ’ ය කියායි.

 

50. මැනැව මහණෙනි, මේසෙයින් මහණෙනි, තෙපිදු මෙසේ කියන්නාව. මම ද මෙසේ වදාරමි: මේ දහම් නැතිවත් ම මේ දහම් නො වෙයි. මේ හෙතු ධර්‍මයාගේ අනුත්පාදයෙන් මේ ඵලධර්‍ම අනුත්පන්න වෙයි - කෙසේය යත්: අවිද්‍යාවගේ අනුත්පාදනිරොධයෙන් සංස්කාරනිරොධය වෙයි. සංස්කාරනිරොධයෙන් විඥානනිරොධය වෙයි. විඥානනිරොධයෙන් නාමරූපනිරොධය වෙයි. නාමරූපනිරොධයෙන් ෂඩායතනනිරොධය වෙයි. ෂඩායතනනිරොධයෙන් ස්පර්ශනිරොධය වෙයි. ස්පර්ශනිරොධයෙන් වෙදනානිරොධය වෙයි. වෙදනානිරොධයෙන් තෘෂ්ණානිරොධය වෙයි. තෘෂ්ණානිරොධයෙන් උපාදානනිරොධය වෙයි. උපාදානනිරොධයෙන් භවනිරොධය වෙයි. භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි. ජාතිනිරොධයෙන් ජරා මරණ ශොකපරිදෙවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ (අනුත්පාද නිරොධයෙන්) නිරුද්ධ වෙති. මෙසේ තෙල කෙවල දුඃඛ පුඤ්ජයාගේ නිරොධ වේය යයි.

 

51. මහණෙනි, කිම, තෙපි මෙසේ (ප්‍රත්‍යය නිසාමය) දන්නාහු මෙසේ දක්නාහු (අතීතස්කන්‍ධාදි) පුර්‍වාන්තයට හෝ (තෘෂ්ණාදෘෂ්ටි විසින්) වටාලා දුවන්නාව? “අපි අතීතයෙහි වූමෝ ද, අතීතයෙහි නො වූමෝ ද, අතීතයෙහි (ජාත්‍යාදීන්) කෙබඳු වූමෝ ද, අතීතයෙහි (සටහන් විසින්) කෙබඳු අයුරු ඇති වූමෝ ද, අපි අතීතයෙහි කෙබඳුව සිට කෙබඳු අයුරු ඇති වූමෝ ද, කියායි. වහන්ස, තෙල නොවන්නේය.

 

52. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු, අපරාන්තයට හෝ ඉදිරි බලා යන්නාව? “අපි අනාගතයෙහි වන්නමෝ ද, අනාගතයෙහි නො වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු වන්නමෝ ද, අනාගතයෙහි කෙබඳු අයුරු ඇති වන්නමෝ ද, අපි අනාගතයෙහි කෙබඳු ව කෙබඳු අයුරු ඇති වන්නමෝ ද” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

 

53. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු දැන් ප්‍රත්‍යුපන්නකාලයෙහි හෝ තමා කෙරෙහි සැක ඇතියාව? “මම වෙම් දෝ, නො වෙම් දෝ, කෙබඳු වෙම් දෝ, කෙබඳු අයුරු වෙම් දෝ, මේ සත්ත්‍ව කොයින් ආයේ වේ දෝ හෝ, හේ කොහි යන්නේ වේ දෝ” කියායි වහන්ස, තෙල නොවන්නේය.

 

54. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපට ගුරුවන (නොකැමැති වුව ද අනුවර්තිත වියයුතු වන) ශාස්තෘවරයෝ ය, එයින් ශාස්තෘගෞරවයෙන් අපි මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

 

55. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු මෙසේ කියන්නාව? “අපගේ බුද්ධශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාරති. අපි ඒ ශ්‍රමණවචනයෙනුදු මෙසේ කියම්හ” කියායි. වහන්ස, තෙල නොවන්නේය.

 

56. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු අන් බහ්‍යශාස්තෘකෙනෙකු උදෙසන්නාව? තෙල නොවන්නේ ය.

 

57. මහණෙනි, කිම, තෙපි මෙසේ දන්නාහු මෙසේ දක්නාහු බොහෝ තීර්ථකශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ගේ යම් ව්‍රතසමාදාන, දිටුකුහුල්, දෘෂ්ටාදිමඞ්ගල ඇත් ද, ඒ සාර විසින් පිළිගන්නාව? වහන්ස, තෙල නො වන්නේය.

 

58. මහණෙනි, යම් ම දැයෙක් තොප විසින් තමන් නුවණින් දන්නා ලද ද, තමන් පැනැසින් දක්නා ලද ද, තමන් පාළ කොට ගන්නා ලද ද, එය ම තෙපි කියන්නාහු නොවේ ද? වහන්ස, එසේය.

 

59. මැනැව මහණෙනි. මා විසින් - ඵල දෙනුවට කලතුරක් නැත්තා වූ එව, බලව යන විධිය නිසිවූ, තමා සිතින් එළඹීමට සුදුසු වූ, විඥයන් විසින් තමන් කෙරෙහි ලා දතයුතු වූ, තමා විසින් ම දැක්ක යුතු මේ සාන්දෘෂ්ටික ධර්‍මයෙන් තෙපි නිවන් කරා පමුණුවන ලද්දහුය. මහණෙනි, “මේ ධර්‍මය සාන්‍දෘෂ්ටිකය, අකාලිකය, එව, බලව යන විධියට නිසිය, උපනයනාහීය, විඥයන් විසින් තමන් කෙරෙහි ලා” මෙසේ යම් බසෙක් වදාරන ලද ද, තෙල බස (තොපගේ) මේ ස්වයංඥාතාදි භාවය පිණිස කියන ලදී.

 

60. මහණෙනි, තුන්දෙනෙකුන්ගේ සමවධානයෙන් ගර්භාවක්‍රාන්ති (ගබ්ගැනීම) වෙයි. මේ සත්ත්‍වලොකයෙහි දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, (එතෙකුදු වුව) මව ඔසප් නො වූ ද, ගඳඹෙක් (එහි උපදනා සතෙක්) නො එළඹියේ වේ ද, එතෙක් ගර්‍භාවක්‍රාන්ති නො වන්නේ ය. මෙලොව දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, (එතෙකුදු වුව) ගඳඹෙක් නො එළඹියේ වේද, එතෙකිනුදු ගර්‍භාවක්‍රාන්ති නො ම වෙයි. මහණෙනි, යම් අවස්ථාවෙක දෙමාපියෝ සන්නිපතිත වෙත් ද, මව ද ඔසප් වූ ද, ගඳඹෙක් එළඹියේත් වේ ද, මෙසේ තුන් දෙනෙකුන්ගේ සන්නිපාතයෙන් ගර්භාවක්‍රාන්ති වෙයි.

 

61. මහණෙනි, මව ගුරුභාරයක් වන තෙල ගබ නවමසක් හෝ දසමසක් හෝ මහත් (දිටි) සැකෙන් කුසින් උසුලයි. මහණෙනි, මව ගරුබරක් වන තෙල දරු නවමසක්හුගේ හෝ දසමසක්හුගේ ඇවෑමෙන් මහත්සැකෙන් වදයි. උපන් තෙල දරු සිය මවු ලෙහෙයෙන් පුස්නේ වේ. මහණෙනි, ආර්ය්‍යවිනයෙහි දී තෙල ලෙහෙය මවගේ තනකිරි නම් වෙයි.

 

62. මහණෙනි, ඒ කුමර ඉඳුරන් පිනවන්නට නිසි වැඩිවියට පැමිණ ඉන්ද්‍රිය පරිපාකය ලදින් කුමරුන් කෙළෙනා යම් යම් කෙළිබඩු ඇත් ද, එයින් කෙළියි. ඒ කෙළි කෙසෙය යත්: කුඩානගුල, දඬුකඩ, (කල්ලි ගැසුම), පිරිවැටුම, බුමුසක, පත්මුවානැළි, කුඩාරිය, කුඩාදුනු යන මේයි.

 

63. මහණෙනි, ඒ කුමර (ඉඳුරන් පිනවන්නට නිසි) වියපැමිණ මුහුකරාගිය ඉඳුරන් ඇති බවට පැමිණ පස්කම්ගුණෙන් සමර්පිත ව සිය ඉඳුරන් පිනවයි. (කෙසේය?) ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රියරූප, කාමොපසංහිත, රජනීය, චක්‍ෂුර්විඥෙය රූපයෙන් පිනවයි. ශ්‍රොත්‍රවිඥෙය ශබ්දයෙන් . . . ඝ්‍රාණවිඥෙය ගන්‍ධයෙන් . . . ජිහ්වාවිඥෙය රසයෙන් . . . ඉටු වූ කලණවූ මනවඩන පියසැහැවි ඇති, කම්සුව ඇසිරිකළ, සිත්අලවන්නට නිසි කායවිඥෙය පහසින් පිනවයි.

 

64. හේ ඇසින් රූ දැක පියරූප වූ රූපයෙහි සංරාග කෙරෙයි. අප්‍රිය රූප වූ රූපයෙහි ව්‍යාපාද උපදවයි. අකුසල් සිතැති ව නො එළඹ සිටි කාගියාසී ඇති ව ද වාස කෙරෙයි. යම් පල සමවතෙකැ ඒ ලාමක වූ අකුසල්දහම්හු නිරවශෙෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද තත්වූ පරිදි නොදනී. හේ මෙසෙයින් රාගද්වෙෂ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි, යම් කිසි වෙදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වෙදනා (තෘෂ්ණාවෙන්) අභිනන්‍දනා කෙරෙයි. (අහො සුවයෙකියි) බෙණේ. ගැලැගෙන සිටි. ඔහුට ඒ වෙදනායෙන් තුස්නාහට, බණනුවාහට, ගැලැගෙන සිටුනාහට තෘෂ්ණා උපදි. වෙදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ උපාදාන වෙයි. ඔහට උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණශොකපරිදෙවදුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ පහළ වෙති. මෙසෙයින් තෙල කෙවල දුඃඛපුඤ්ජයාගේ උදාවීම වෙයි. කණින් ශබ්ද අසා . . . නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට . . . දිවින් රස ආස්වාද කොට . . . කයින් පහස විඳ . . . මෙනෙන් දහම් දැන ප්‍රිය වූ දහම් අරමුණෙහි ඇලේ. අප්‍රිය ධර්‍මාලම්බනයෙහි විරොධ කෙරේ. අකුසල් සිතැතිව නො එළඹි කාගියාසී ඇතිව වාස කෙරේ. යම් පලසමවතෙකැ ඒ ලමු අකුසල් දහම්හු නිඃශෙෂව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති හා තත්වු පරිදි නො දනී. හේ මෙසෙයින් අනුරොධ විරොධ දෙකට පැමිණියේ සුඛ වේවයි, දුඃඛ වේවයි, උපෙක්‍ෂා වේවයි, යම්කිසි වෙදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වෙදනා අභිනන්‍දන කෙරේ, බෙණේ, ගැලැගෙන සිටී. ඒ වෙදනා අභිනන්‍දනා කරන බණන, ගැලැගෙන සිටුනා ඔහුට තෘෂ්ණා උපදී. වෙදනායෙහි යම් තෘෂ්ණායෙක් ඇත් ද, වේදිතව්‍යයයි. ඒ උපාදාන වෙයි. ඔහුට උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාති වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෝ පහළ වෙත්. මෙසේ තෙල කෙවල දුඃඛ පූඤ්ජයාගේ උදාවීම වන්නේ ය.

 

65. මහණෙනි, මෙලොව අර්හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලොකවිද් වූ, අනුත්තරපුරුෂදම්‍යසාරථි වූ, දෙවමනුෂ්‍යයනට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබොධ කළා වූ, භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වනසේක. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් පසක් කොට දන්වනසේක. උන්වහන්සේ ආදිකල්‍යාණ කොට මධ්‍යකල්‍යාණ කොට පර්ය්‍යවසානකල්‍යාණ කොට සාර්ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට දහම් දෙසන සේක. කෙවලපරිපූර්ණ කොට පරිශුද්ධ කොට බඹසර පවසන සේක. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා නීචකුලයෙක උපනුවෙක් හෝ ඒ දහම් අසයි. හේ එදහම් අසා තථාගතයන් වහන්සේ කෙරෙහි සැදැහැ ලබයි. ඒ ශ්‍රද්ධාප්‍රතිලාභයෙන් සමන්වාගත වූයේ මෙසේ මෙනෙහි කෙරේ: “ගෘහවාස සම්බාධය, (රාගාදි විසින්) රජොමාර්ගය, ප්‍රව්‍රජ්‍යා අභ්‍යවකාශය. ගිහිගෙහි වසනුවහු විසින් එකාන්තපරිපූර්ණ, එකාන්තපරිශුද්ධ, ධෞතශඞ්ඛසදෘශ මේ බඹසර සරන්නට සුකර නො වේ. මම කෙහෙරවුළු බහා කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට පැමිණෙම් නම් මනා මැනු යි” කියායි. හේ පසු කලෙක අල්පවූ හෝ භොගස්කන්‍ධය පියා, මහත් වූ හෝ භොගස්කන්‍ධය පියා, අල්ප වූ හෝ ඥාතිපරිවර්තය පියා, මහත් වූ හෝ ඥාතිපරිවර්තය පියා, කෙහෙමස් අපහරණ කොට කහවත් හැඳ ගෙන් නික්ම පැවිද්දට වදනේය.

 

66. හේ මෙසේ පැවිදිවූයේ, (අධිශීලසඞ්ඛ්‍යාත) ශික්‍ෂාවට ද (ප්‍රඥප්තශික්‍ෂාපදසඞ්ඛ්‍යත) සාජීවයට ද පැමිණියේ, පණිවා පියා පණිවායෙන් දුරුවූයේ වෙයි. බහතැබූ දඬු ඇතියේ බහාලූ සැත් ඇතියේ, ලජ්ජිවූයේ, දයාවට පැමිණියේ, සර්වසත්ත්‍වහිතානුකම්පී ව වාස කෙරේ. අයිනාදන් පියා අයිනාදනින් වැළැකියේ වෙයි. දුන්දෑ ගන්නේ, දුන්දෑ කැමැතිවනුයේ, නොසොර පිවිතුරු ආත්මයෙන් වෙසේ. අබ්‍රහ්මචර්ය්‍යය පියා බඹසර ඇතියේ වෙයි. (මෙවුන් දමින්) දුරුහැසිරිම් ඇතියේ, ගැමිදහම් වන මෛථුනයෙන් විරත වෙයි. මුසවා පියා මුසවායෙක් වැළකියේ වෙයි. සත්‍යවාදී වූයේ, සත්‍යසන්‍ධාන ඇතියේ, ස්ථිරවචන ඇතියේ, ඇදැහිය යුතු බස් ඇතියේ, ලොකයා විසංවාද නොකරනුයේ වෙයි. පිසුණු බස් පියා පිසුණු බසින් වැළැකියේ වෙයි: මුන් බිඳිනු සඳහා මෙහිදී අසා එහි නොකියනු වෙයි. එතැන අසා උන්බිඳිනු සඳහා මුනට නො කියනු වෙයි. මෙසෙයින් බුන් අය ගළපනු හෝ සමගි වූවනට සන්‍ධාන දෙනු හෝ වෙයි. සමගරම් ව සමගරත ව සමගියෙහි අභිනන්‍දනා ඇති ව සමගකරණබස් බණනු වෙයි. පරුස් බස් පියා පරුස් බසින් වැළකියේ වෙයි: නිදොස් (ඛ්‍යඤ්ජන විසින්) කණට සුවදෙන, පෙමට නිසි, ළගන්නා, (ගුණපරිපූර්ණතායෙන්) පුරවැසි, බොහො දෙනට ප්‍රිය, බොහො දෙනගේ මනවඩන යම් බස් ඇත් ද, එබඳු බස් බණනු වෙයි. සම්ඵප්පලාප පියා පලපින් වැළකියේ වෙයි: බුණුවමනා කල්බලා බණන, දහම් බණන (මෙලෝපරලෝ) අරුත් ඇසිරි කොට බණන, නවලොව්තුරු දහම් ඇසිරි කොට බණන, (සංවර - ප්‍රහාණ) විනය ඇසිරි කොට බණන, අයුතුකල්හි සකාරණ, පරිච්ඡෙද ඇති, අර්ථසංහිත, ළෙහි ලා ගතයුතු බස් බණනු වෙයි.

 

67. හේ (මූලබීජාදි) බීජග්‍රාම හා (නීලතෘණාදි) භූතග්‍රාම (ඡෙදනපවනාදි) විකොපතායෙන් වැළකියේ වෙයි. රාත්‍රි භොජනයෙන් වැළැකියේ වෙයි. විකල්බොජුනෙන් වැළැකියේ ඓකභක්තික වෙයි. නටනුගනු වයනු විසුළු දස්නෙන් වැළැකියේ වෙයි. මල්ගඳවිලෙවුන් ධැරීමය මණ්ඩනය විභූෂණය යන් මින් වැළැකියේ වෙයි. උසසුන් මහඅස්නෙන් වැළකියේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළකියේ වෙයි. අමුමස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (පුරුෂාන්තර ගත) ස්ත්‍රින් හා (තදන්‍ය) ස්ත්‍රීන් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. (කැපකරු ඇරැමි වසයෙන් වත් මුත්) දැසිදස් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. එළුතිරෙළු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කුකුළුහූරු පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. ඇත් ගෙරි අස් වෙළඹ පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකියේ වෙයි. දූතකම් පිණිස තැන තැන යෑමෙන්, තෙපුල්ගෙන ගෙන් ගෙට යන කුදුගමනින් වැළැකියේ වෙයි. ක්‍රය වික්‍රය දෙකින් වැළකියේ වෙයි. තුලාකූට - කංසකූට - මානකූට විසින් වඤ්චා (නුළු) කිරීමෙන් වැළැකියේ වෙයි. ලස්ගැන්ම - නුළුකිරීම - මායා - සාවියොගයෙන් (කුටිලප්‍රයොගයෙන්) වැළැකියේ වෙයි. (අත්සිඳීම් ඈ) ඡෙදනය, වධය, (රජ්ජුබන්‍ධනාදි) බන්‍ධනය, විපරාමොෂය (සැඟවී සිට මංපැහැරීම), ගම්වොලොගැන්ම, සාහසිකක්‍රියා යන මෙයින් වැළැකියේ වෙයි.

 

68. හේ කායපරිහරණමාත්‍ර චිවරයෙන් සන්තුෂ්ට වෙයි. කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අෂ්ටපරිෂ්කාරමාත්‍රය) ගෙන ම යෙයි. යම්සේ පියා ඇති ළිහිණියෙක් යම් යම් ම දිගෙක්හි පියා පැහැර යේ ද, පත්‍රභාර සහිත ව ම අහස නැඟගන්නේ වේ ද, එපරිද්දෙන් ම මහණ කායපරිහරණමාත්‍ර චීවරයෙනුදු කුක්‍ෂිපරිහරණමාත්‍ර පිණ්ඩපාතයෙනුදු සතුටු වෙයි. යම් යම් ම දිගෙක බැස යේ ද, (අටපිරිකර) ගෙන ම යෙයි.

 

හේ මේ අරීසිල් කඳින් සමන්වාගත වූයේ තමා තුළ අනවද්‍යසුඛය විඳුනේය.

 

69. හේ ඇසින් රූ අරමුණු දැක නිමිති ගන්නාසුලු නො වේ. අනුවියඳුන් ගන්නාසුලු නො වේ. යම් හෙයෙකින් චක්‍ෂුරින්ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අකුසල්දහම් වන අභිධ්‍යාදෞමනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. චක්‍ෂුරින්ද්‍රියෙහි සංවරයට වදනේය. කණින් ශබ්ද අසා . . . නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කොට . . . දිවින් රස ආස්වාද කොට . . . කයින් පහස පැහැස . . .සිතින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වේ. අනුව්‍යඤ්ජන ග්‍රාහී නො වේ. යම් හෙයෙකින් මනින්ද්‍රිය අසංවෘත කොට ගෙන වාස කරන තුලුන් ලමු අසල්දහම් වන අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබැඳ ගැලගනිත් ද, ඒ මනින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදනේය. මනින්ද්‍රිය රක්නේය. මනින්ද්‍රියෙහි සංවරයට වදනේය. හේ මෙකී ඉන්ද්‍රියසංවරයෙන් සමන්‍වාගත වූයේ සියසතන්හි අව්‍යාසෙක (කෙලෙස්මුසු නැති) සුඛය විඳුනේය.

 

70. හේ ඉදිරිගමනෙහි දු වටලා ඊමෙහි දු සම්‍යක්ප්‍රඥාවෙන් දැන එය කරන්නේ වේ. ඉදිරි බැලීමෙහි ඔබමොබ බැලීමෙහි සම්පජානකාරී වේ. (අත්පා) හැකිළිම් දිගුකිරීම්හි සම්පජානකාරී වේ. සඟළ හා පාසිවුරු ධැරීමෙහි සම්පජානකාරී වේ. භොජ්‍යයෙහි පෙයයෙහි ඛාද්‍යායෙහි ලෙයයෙහි සම්පජානකාරී වේ. මලමූකිසෙහි සම්පජානකාරී වේ. යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සම්පජානකාරී වේ.

 

71. හේ මෙකී ආර්ය්‍යශීලස්කන්‍ධයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකි ආර්ය්‍ය ඉන්ද්‍රියසංවරයෙනුදු සමන්‍වාගත වූයේ, මෙකී ස්මෘතිසම්ප්‍රජන්‍යයෙනුදු සමන්‍වාගත වූයේ ජනශුන්‍ය සෙනසුන් සෙවුනේය: (දුනුපන්සියෙන් දුරෙහි වූ) අරන, (ගනසා) රුක්මුල, සෙල, කඳුර, දෙපවුඅතුර, සොහොන, ගැඹුරුවන, නොසන්අබවස, පිදුරුකිළි යි හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ උඩුකය ඉදිකොට තබා, කමටහන් අභිමුඛ කොට සිහි එළවා, පලක් බැඳ හිඳුනේය.

 

72. හේ පඤ්චොපාදානස්කන්‍ධයෙහි රාගය (විෂ්කම්භන විසින්) පියා, පැහු අභිධ්‍යා ඇතිසිතින් වාස කෙරේ. අභිධ්‍යායෙන් සිත මුදවයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වෙෂය (ක්‍රොධය) පියා සර්වසත්ත්‍වහිතානුකම්පී ව ව්‍යාපාදයට නො පත් සිතැති ව වාස කෙරේ. ක්‍රොධයෙන් සිත්සතන මුදවයි. ස්ත්‍යානමිද්ධය පියා පැහු ස්ත්‍යානමිද්ධ ඇතියේ, ආලොක සංඥා ඇතියේ. සිහි ඇතියේ, නුවණැතියේ වාස කෙරේ. ස්ත්‍යාන මිද්ධයෙන් සිත මුදවයි. ඖද්ධත්‍ය කෞකෘත්‍යය පියා අනුද්ධෘත ව සියසතන සන්හුන් සිතැති ව වාස කෙරේ. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත මුදවයි. විචිකිත්සා පියා තුණුවිසිකිස් ඇති ව අනවද්‍යධර්‍මයෙහි කථංකථඞ්කාර නැති ව වාස කෙරේ විචිකිත්සායෙන් සිත මුදවයි.

 

73. හේ චිත්තොපක්ලෙශ වන, ප්‍රඥාව දුර්වලකරණ මේ පඤ්චනීවරණයන් පියා කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව ම සවිතර්‍ක, සවිචාර, විවෙකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරේ. තව ද මහණෙනි, මහණ මතුයෙහි විතර්‍කවිචාර සන්හිඳීමෙන් සියසතන්හි පැහැදීම් කරන, උතුම් චිත්තෛකාග්‍රභාව ඇති, අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයා වාස කෙරේ. ප්‍රීතියාගේ ද විරාගයෙන් උපෙක්‍ෂා ඇත්තේ . . . තෘතීයධ්‍යාන උපයා වාස කෙරේ . . . සුඛදුඃඛප්‍රහාණයෙන් . . . චතුර්ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ.

 

74. හේ ඇසින් රූ දැක ප්‍රියරූප රූපයෙහි රාග නො කෙරේ. අප්‍රියරූප රූපයෙහි ව්‍යාපාදයට නො පැමිණේ. එළඹ සිටි කාගියාසී ඇතියේ, මාර්‍ගචිත්තසමන්විත වූයේ. යම් ඵලසමාපත්තියෙක ඒ ලමු අකුසල් දහම්හු නිඃශෙෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්ති ප්‍රඥාවිමුක්ති තත්වූ පරිදි දනි. හේ මෙසෙයින් රාගදොෂ විප්‍රහීණ ව සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් ම වෙදනාවෙක් විඳුනේ වේද, හේ ඒ වෙදනාව (තෘෂ්ණා) විසින් අභිනන්‍දනා නො කෙරෙයි. (අහෝ සුඛයෙකි යී) නො බෙණේ ගැලැගෙන නොසිටි. ඒ වෙදනා අභිනන්‍දනා නො කරන, තුති විසින් නොබණන, ගැලැගෙන නො සිටුනා ඔහට වෙදනායෙහි යම් නන්‍දියෙක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහුට නන්‍දිනිරොධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරොධයෙන් භවනිරොධ වෙයි. භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි. ජාතිනිරොධයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඃඛදෞර්‍මනස්‍යයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කෙවලදුඃඛ පුඤ්ජයාගේ නිරොධය වෙයි.

 

75. කණින් ශබ්ද අසා ප්‍රියරූපශබ්දයෙහි . . . ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ප්‍රිය රූපගන්‍ධයෙහි . . . දිවින් රස ආස්වාද කොට ප්‍රියරූප රසයෙහි . . . කයින් ස්පර්ශ පැහැස ප්‍රියරූපස්පර්ශයෙහි . . . මනසින් දහම් දැන ප්‍රියරූප ධර්‍මාලම්බනයෙහි රාග නො කෙරේ. අප්‍රියරූපධර්‍මාලම්බනයෙහි ව්‍යාපාද නො කෙරේ. එළඹසිටි කාගියාසී ඇතිව මාර්‍ගචිත්තසමන්විත ව වාස කෙරේ. යම් පලසමවතෙක දී ඒ ලමු අකුසල් දහම්හු නිඃශෙෂ ව නිරුද්ධ වෙත් ද, ඒ චෙතොවිමුක්ති ද ප්‍රඥාවිමුක්ති ද තත් වූ පරිදි දනී. හේ මෙසෙයින් අනුරොධවිරොධවිප්‍රහීණ වුයේ සුඛ වේවයි, දුඃඛ වේවයි, අදුඃඛාසුඛ වේවයි යම් වෙදනාවක් විඳුනේ වේද, හේ ඒ වෙදනා අභිනන්‍දනා නො කෙරේ, නො බෙණේ, ගැලගෙන නොසිටි. ඒ වෙයින අභිනන්‍දනා නොකරන, නොබණන, ගැලැගෙන නොසිටුනා ඔහට වෙදනායෙහි යම් නන්‍දියක් ඇත් ද, ඒ නිරුද්ධ වෙයි. ඔහට නන්‍දිනිරොධයෙන් උපාදානනිරොධ වෙයි. උපාදානනිරොධයෙන් භවනිරොධ වෙයි. භවනිරොධයෙන් ජාතිනිරොධ වෙයි. ජාතිනිරොධයෙන් ජරාමරණ ශොකපරිදෙව දුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෝ නිරුද්ධ වෙති. මෙසෙයින් තෙල කෙවලදුඃඛපුඤ්ජයාගේ නිරොධය වෙයි.

 

76. මහණෙනි, තෙපි සැකෙවින් දෙසූ මාගේ මේ තණ්හාසඞ්ඛයවිමුත්තිය (විමුත්තිපටිලාභහෙතු වූ දෙසනාව) ධරව. කෙවුළුපුත් සාතිමහණ මහා තෘෂ්ණ දැලෙහි - මහා තෘෂ්ණා සඞ්ඝාටයෙහි (බන්‍ධනයෙහි) පිළිමුතුවකු (පිවිසියකු) කොට ධරවයි වදාළහ.

 

භාග්‍යවතුන් වහන්සේ මේ මහාතණ්හාසඞ්ඛය සූත්‍රය වදාළසේක. සියමන (තුටුසිත්) ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.

අටවැනි වූ මහාතණ්හාසඞ්ඛය සූත්‍රය නිමියේ ය