අනඞ්ගණ සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

5

අනඞ්ගණසූත්‍රය

 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමිපයෙහි වූ අනේපිඬුසිටුහුගේ ජෙතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’යි ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරිපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:

2. ඇවැත්නි, මේ පුද්ගලයෝ සතර දෙනෙක් ලොකයෙහි වෙති. කවර සතර දෙනෙක යත්: ඇවැත්නි, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් අඞ්ගණ - දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනියි. ඇවැත්නි, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙසි රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනියි. ඇවැත්නි, මේ ලොකයෙහි එක් පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙසි නැතැ’යි තතු සේ දනියි. ඇවැත්නි, එහි ලා යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, මේ පුද්ගලයා දැඩි කෙලෙස් සහිත වූ ම පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීනපුරුෂයා ය යි කියනු ලැබේ. එහි යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රෙෂ්ඨපුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ නො දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් හීන පුරුෂයා ය යි කියනු ලැබේ. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් රහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් නැතැ’යි තතු සේ දනී ද, මේ තෙම දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් ශ්‍රෙෂ්ඨ පුරුෂයා ය යි කියනු ලැබේ.

3. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේට මෙය වදාළ සේක: ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් හේතුවකින් දැඩි කෙලෙස් සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හින පුද්ගලයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රෙෂ්ඨ පුද්ගලයා ය යි කියනු ලැබේ ද, ඊට හෙතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද? ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, දැඩි කෙලෙස් රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් යම් හෙයකින් එකෙක් හීන ය යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රෙෂ්ඨ ය යි කියනු ලැබේ ද, ඊට හෙතු කවරේ ද? ඊට ප්‍රත්‍යය කවරේ ද?

4. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් තෙම දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය. වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වෙෂ සහිත වූයේ මොහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටුසිත් ඇති වූයේ කාලක්‍රියා කරන්නේය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධූලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභොග නො කෙරෙත් නම්, පිරිසිදු නො කෙරෙත් නම්, එය ධූලි සහිත තන්හි දමත් නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසුකාලයෙක ඉතා කිලුටු වූවක් මල බැඳුනක් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ නො දනී ද, (හෙතෙමේ) දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත නූපදවන්නේ ය. වෑයම් නො කරන්නේ ය, වැර නො අරඹන්නේ ය. හෙතෙම රාග සහිත වූයේ ද්වෙෂ සහිත වූයේ මොහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුය.

5. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වෑයම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙමේ රාග රහිත වූයේ ද්වේෂ රහිත වූයේ මොහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද ධුලියෙන් හා මලකඩින් ද බැඳුණු කස්ලෝතලියක් වේ ද, හිමියෝ එය පරිභොග කරන්නාහු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි නො බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වන්නේ ද? ඉතා ප්‍රභාස්වරත් වන්නේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් දැඩි කෙලෙස් සහිත වූයේ ම ‘මා තුළ දැඩි කෙලෙස් ඇතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ඒ දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය, වෑයම් කරන්නේ ය, වැර අරඹන්නේ ය. හෙතෙම රාග රහිත වූයේ ද්වෙෂ රහිත වූයේ මොහ රහිත වූයේ දැඩි කෙලෙස් නැත්තේ කිලුටු නො වූ සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳව බලාපොරොත්තු විය යුතු ය.

6. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගන නැතැ’යි තතු සේ නො දනී ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය (ඔහුගේ) සිත මැඩ ගෙන සිටියි. හෙතෙම රාග සහිත වූයේ ද්වෙෂ සහිත වූයේ මොහ සහිත වූයේ දැඩි කෙලෙස් සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු ප්‍රභාස්වර කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභොග නො කරන්නාහු නම්, පිරිසුදු නො කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක කිලුටු වූයේත් මල බැඳුණේත් වේ ද? ඇවැත්නි, එය එසේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම යම් මේ පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ නො දනියි ද, හෙතෙමේ ශුභ වූ අරමුණක් මෙනෙහි කරන්නේ ය. ඒ ශුභ වූ අරමුණ මෙනෙහි කිරීම නිසා රාගය සිත මැඩ ගෙන සිටී. හෙතෙම රාග සිහිත වූයේ ද්වෙෂ සහිත වූයේ මෝහ සහිත වූයේ අඞ්ගණ සහිත වූයේ කිලුටු සිත් ඇති වූයේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතුයි.

7. ඇවැත්නි, ඔවුන් අතුරෙන් යම් පුද්ගලයෙක් තෙම අඞ්ගණ රහිත වූයේ ම ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ දනී ද, (හෙතෙමේ) ශුභනිමිත්ත මෙනෙහි නො කරන්නේ ය. ඒ ශුභනිමිත්ත මෙනෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මඩින්නේ ය. හෙතෙම රාග නැත්තේ ද්වෙෂ නැත්තේ මොහ නැත්තේ අඞ්ගණ නැත්තේ නො කිලිටු සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය. ඇවැත්නි, යම් සේ සල්පිලින් හෝ කඹුරුකුලයකින් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ හාත්පසින් බබලන කස්ලෝතලියක් වේ ද, එය හිමියෝ පරිභොග කරන්නා හු නම්, පිරිසුදු කරන්නාහු නම්, එය ධුලි සහිත තන්හි නො බහන්නාහු නම්, ඇවැත්නි, මෙසේ ඒ කස්ලෝතලිය පසු කලෙක ඉතා පිරිසුදු වූයේත් හාත්පසින් බබලන්නේත් වේ ද? ඇවැත්නි, එය එසේ ය.

ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ පුද්ගලයෙක් අඞ්ගණ රහිත වූයේ ‘මා තුළ අඞ්ගණ නැතැ’යි තතු සේ දනී ද, හෙතෙමේ ශුභනිමිත්ත මෙනෙහි නො කරන්නේ ය, ඒ ශුභනිමිත්ත මෙනෙහි නො කිරීමෙන් රාගය (ඔහුගේ) සිත නො මඩින්නේ ය, හෙතෙම රාගය නැත්තේ ද්වෙෂය නැත්තේ මොහය නැත්තේ අඞ්ගණ නැත්තේ නො කිලිටි සිත් ඇත්තේ කලුරිය කරන්නේ ය යන මෙය ඔහු පිළිබඳ ව බලාපොරොත්තු විය යුතු ය.

8. ඇවැත්නි මුගලන, යම් හෙයකින් අඞ්ගණ සහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක් හීන පුරුෂයා යි කියනු ලැබේ ද, එකෙක් ශ්‍රෙෂ්ඨ පුරුෂයා යි කියනු ලැබේ ද, එයට හේතුව මෙය යි. ප්‍රත්‍යය මෙය යි. අඞ්ගණ රහිත වූ ම මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙනුත් එකෙක් හීන පුරුෂයා යි කියනු ලබන්නේත් එකෙක් ශ්‍රෙෂ්ඨ පුරුෂයා යි කියනු ලබන්නේත් මේ හේතුවෙනි. මේ ප්‍රත්‍යයෙනි.

9. ඇවැත්නි, ‘අඞ්ගණ ය, අඞ්ගණ ය’යි කියනු ලැබේ. ඇවැත්නි, ‘අඞ්ගණ’ යන මෙය කුමකට නමක් ද? ඇවැත්නි, ‘අඞ්ගණ’ යන මෙය කාමවශයෙන් සිතෙහි හැසිරෙන පාපධර්‍මයන්ට නමෙකි.

10. ඇවැත්නි, මේ කාරණය විද්‍යමාන වෙයි. එනම් යම් හෙයකින් මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට මෙබඳු ආශාවක් උපදින්නේ ය: “මම ඇවැතට එකාන්තයෙන් පැමිණයෙම් නමුත් ‘මෙතෙමේ ඇවැතට පැමිණියේ ය’යි භික්‍ෂූහු මා නො දන්නාහු නම් මැනැවැ”යි යනුයි. ඇවැත්නි, භික්‍ෂූහු ඒ මහණ ඇවැතට පැමිණියේ ය යි දන්නාහු ය” යන යමක් වේ නම් මේ කාරණය විද්‍යමාන වෙයි. ‘භික්‍ෂූහු (මෙතෙමේ) ඇවැතට පැමිණියේය’යි මා ද නිතැයි මෙසේ හෙතෙමේ කිපියේ නොසතුටු වූයේ වෙයි. ඇවැත්නි, යම් කෝපයෙකුත් වේ ද, යම් නො සතුටුබවෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.

11. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම එකාන්තයෙන් ඇවැතට පැමිණයෙම් නමුදු ‘භික්‍ෂූහු මට රහසිගත ව චොදනා කරන්නාහු නම්, සඟමැද චොදනා නො කරන්නාහු නම්, යෙහෙක’ යන ආශාව උපදනේ ය” යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, භික්‍ෂූහු ඒ මහණහට සඟමැද චොදනා කරන්නාහු ද, රහසිගත ව චොදනා නො කරන්නාහු ද යන මේ කරුණ ද විද්‍යමාන වෙයි ”භික්‍ෂූහු මග සඟමැද චොදනා කෙරෙත්. රහසිගත ව චොදනා නො කෙරෙත්”යි මෙසේ හෙතෙම කිපියේ වෙයි. අසුතුටු වූයේ වෙයි. ඇවැත්නි, (මෙසේ) යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

12. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘මම එකාන්තයෙන් ඇවැතට පැමිණියෙම් නමුත් සමාන පුද්ගලයෙක් මට චොදනා කෙරේ නම්, අසමාන පුද්ගලයෙක් චොදනා නො කෙරේ නම්, යෙහෙක යන ආශාව උපදනේ ය’ යන යම් මේ කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, අසමාන පුද්ගලයෙක් ඒ මහණහට චොදනා කෙරේ ද, සමාන පුද්ගලයෙක් චොදනා නො කෙරේ ද යන මේ කාරණය විද්‍යමාන වෙයි. ‘අසමාන පුද්ගලයෙක් මට චොදනා කෙරෙයි. සමාන පුද්ගලයෙක් චොදනා නො කෙරේ ය’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි එහි ලා යම් කොපයකුත් වේ ද, යම් නො සතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.

13. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුට ‘ශාස්තෲන් වහන්සේ මා ම පිළිවිස පිළිවිස භික්‍ෂුන්ට දහම් දෙසන සේක් නම්, ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට දහම් නො දෙසන සේක් නම් යෙහෙක’ යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දෙශනා කරන සේක් නම්, ශාස්තෲන් වහන්සේ ඒ මහණහු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍මදෙශනා නො කරණ සේක් නම්, ‘ශාස්තෲන් වහන්සේ අන් මහණකු පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දෙශනා කරන සේක. ශාස්තෲන් වහන්සේ මා පිළිවිස පිළිවිස භික්‍ෂූන්ට ධර්‍ම දෙශනා නො කරන සේකැ’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණ යි.

14. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘භික්‍ෂූහු මා ම පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, භික්‍ෂූහූ අන් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙත් නම්, ඉතා මැනව’ යන ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට බත් පිණිස ගමට පිවිසෙත් නම්, භික්‍ෂූහු ඒ මහණහු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙත් නම්, ‘භික්‍ෂූහු අන් මහණකු පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට පිවිසෙන්නාහු ය, භික්‍ෂූහි මා පෙරටු කොට පෙරටු කොට පිඬු පිණිස ගමට නො පිවිසෙන්නාහු ය’යි හෙතෙම කිපෙයි. නො සතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, (එය) විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

15. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය මම ම ලබන්නෙම් නම්, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් නො ලබන්නේ නම් මැනැවැ’යි ආශාව උපදනේ ය, යන යම් කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වන්නේ යි. ඇවැත්නි, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් ලබන්නේ නම්, බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය ඒ මහණ නො ලබන්නේ නම් ‘බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය අන් මහණෙක් ලබයි. බොජුන්හලෙහි අග්‍රාසනය අග්‍රොදකය අග්‍රපිණ්ඩය මම නො ලබමි’ යි හෙතෙම කිපෙයි. අසතුටු වෙයි යන යම් කාරණයක් වේ ද, එයත් විද්‍යමාන වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් නො සතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

16. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘බොජුන්හලෙහි මම ම වළඳා අවසන් කෙළෙම්, අනුමොදනා කරන්නෙම් නම්, අන් මහණෙක් බොජුන්හලෙහි වළඳා අවසන් කෙළේ අනුමොදනා නො කරන්නේ නම් යෙහෙකැ’යි කැමැත්ත උපදනේ ය යන යම් මේ කාරණයෙක් වේ ද, එය විද්‍යමාන වෙයි. අන් මහණෙක් බොජුන්හලෙහි වළඳා අවසන් කෙළේ අනුමොදනා කරන්නේ ය, බොජුන්හලෙහි ඒ මහණ වළඳා අවසන් කෙළේ අනුමොදනා නො කරන්නේ ය යන මේ කාරණය ද විද්‍යමාන වෙයි, ‘බොජුන්හලෙහි අන් මහණෙක් වළඳා අවසන් කෙළේ අනුමොදනා කරන්නේ ය. බොජුන්හලෙහි වැළඳීමෙන් පසු මම අනුමොදනා නො කරමි’ යි හෙතෙම කිපෙයි, අසතුටු වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

17. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘ආරාමයට පැමිණි භික්‍ෂූන්ට මම ම ධර්‍මදෙශනා කරන්නෙම් නම්, ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදෙශනා නො කරන්නේ නම්, ඉතා යෙහෙකැ’යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එ ද විද්‍යමාන වෙයි. ඇවැත්නි, ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදෙශනා කරන්නේ ය. ඒ මහණ තෙමේ ආරාමයට පැමිණි භික්‍ෂූන්ට ධර්‍මදෙශනා නො කරන්නේ ය යන මේ කාරණය ද ඇති වෙයි. ‘ආරාමයට පැමිණි භික්‍ෂූන්ට අන් මහණෙක් ධර්‍මදෙශනා කරයි. ආරාමයට පැමිණි භික්‍ෂූන්ට මම ධර්‍මදෙශනා නො කරමි’යි මෙසේ හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද, ඒ දෙක ම අඞ්ගණයි.

18. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘ආරාමයට පැමිණි මෙහෙණන්ට මම ම ධර්‍මදෙශනා කරන්නෙම් නම් ... උපාසකයන්ට ධර්‍මදෙශනා කරන්නෙම් නම් ... උපාසිකාවන්ට ධර්‍මදෙශනා කරන්නෙම් නම්, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් භික්‍ෂූනමක් ධර්‍මදෙශනා නො කරන්නේ නම් ඉතා මැනැවැ’යි ආශාව උපදනේ ය යන යම් කාරණයක් වේ ද, එය විද්‍යමාන වෙයි. ඇවැත්නි, ආරාමයට පැමිණි උපාසිකාවන්ට අන් භික්‍ෂුනමක් ධර්‍මදෙශනා කරන්නේ ය, ඒ භික්‍ෂු තෙමේ ආරාමයට පැමිණි උපාසිකාවන්ට ධර්‍මදෙශනා නො කරන්නේ ය, යන මේ කාරණය ද ඇති වෙයි. ‘ආරාමයට පැමිණි උපාසිකාවන්ට වෙන භික්‍ෂු නමක් ධර්‍මදෙශනා කරයි. ආරාමයට පැමිණි උපාසිකාවන්ට මම ධර්‍මදෙශනා නො කරමි’යි මෙසේ හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් වේ ද, යම් අසතුටෙකුත් වේ ද ඒ දෙක ම අඞ්ගණයි.

19. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් මහණකුහට ‘භික්‍ෂූහු මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පූජා කරන්නාහු නම්, ඉතා මැනැව. භික්‍ෂූහු අන් භික්‍ෂූ නමකට සත්කාර නො කරන්නාහු නම්, ගරු නො කරන්නාහු නම්, බුහුමන් නො කරන්නාහු නම්, පූජා නො කරන්නාහු නම් ඉතා මැනැවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, භික්‍ෂූහු යම් හෙයකින් අන් භික්‍ෂූ නමකට සත්කාර කරන්නාහුය, ගරු කරන්නාහු ය, බුහුමන් කරන්නාහු ය, පූජා කරන්නාහු ය, භික්‍ෂූහු ඒ භික්‍ෂු නමට සත්කාර නො කරන්නාහු, ගරු නො කරන්නාහු ය, බුහුමන් නො කරන්නාහු ය, පූජා නො කරන්නාහු ය, යන මේ කරුණ ඇති වෙයි යන මේ කාරණයෙක්ද විද්‍යමාන වෙයි. ‘භික්‍ෂූහු අන් භික්‍ෂු නමකට සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. භික්‍ෂූහු මට සත්කාර නො කරත්, ගරු නො කරත්, බුහුමන් නො කරත්, පුද නො කරත් ය’යි හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

20. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට ‘භික්‍ෂුණීහු... උපාසකයෝ... උපාසිකාවෝ මට ම සත්කාර කරන්නාහු නම්, ගරු කරන්නාහු නම්, බුහුමන් කරන්නාහු නම්, පුද කරන්නාහු නම්, උපාසිකාවෝ අන් භික්‍ෂුනමකට සත්කාර නො කරන්නාහු නම්, ගරු නො කරන්නාහු නම්, බුහුමන් නො කරන්නාහු නම්, පුද නො කරන්නාහු නම් ඉතා මැනවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදී නම් මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, උපාසිකාවෝ යම්හෙයකින් අන් මහණකුට සත්කාර කරන්නාහු ය, ගරු කරන්නාහු ය, බුහුමන් කරන්නාහු ය, පුද කරන්නාහු ය, උපාසිකාවෝ ඒ භික්‍ෂුනමට සත්කාර නො කරන්නාහු ය, ගරු නො කරන්නාහු ය, බුහුමන් නො කරන්නාහු ය, පුද නො කරන්නාහු ය, යන මේ කරුණ වෙයි. ‘උපාසිකාවෝ අන් භික්‍ෂු නමකට සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. උපාසිකාවෝ මට සත්කාර නො කෙරෙත්. ගරු නො කෙරෙත්. බුහුමන් නො කෙරෙත්. පුද නො කෙරෙත්’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි එහි යම් කොපයකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණයි.

21. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට ‘මම ම අගනා සිවුරු ලබන්නෙම් නම්, අන් මහණෙක් අගනා සිවුරු නො ලබන්නේ නම්, ඉතා මැනැවැ’යි යම් හෙයකින් මෙබඳු ආශාවක් උපදි නම්, මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, අන් භික්‍ෂුනමක් අගනා සිවුරු ලබන්නෙක් වන්නේය ය, ඒ භික්‍ෂු නම අගනා සිවුරු නො ලබන්නේ වන්නේ ය යන මේ කාරණය විද්‍යමාන වේ. ‘අනිත් භික්‍ෂු නමක් අගනා සිවුරු ලබයි. මම අගනා සිවුරු නො ලබමි’යි හෙතෙම කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කෝපයෙකුත් යම් අසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

22. ඇවැත්නි, මේ ශාසනයෙහි ඇතැම් භික්‍ෂුනමකට “මම ම ප්‍රණීත පිණ්ඩපාත...මහැඟි සෙනසුන්... ප්‍රණීත ගිලන්පස බෙහෙසත්පිරිකර ලබන්නෙම් නම්, අන් මහණෙක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත්පිරිකර නො ලබන්නේ නම්, ඉතා මැනැවැ’යි මෙබඳු ආශාව උපදී නම් මේ කාරණය ද විද්‍යමාන වෙයි. ඇවැත්නි, වෙන භික්‍ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන්නේ නම්, ඒ භික්‍ෂු නම... ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලබන්නේ නම්, මේ කාරණය ද විද්‍යමාන වෙයි. ‘වෙන භික්‍ෂු නමක් ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර ලබන්නේ ය. මම ප්‍රණීත ගිලන්පස බෙහෙසත් පිරිකර නො ලබමි’යි කියා මෙසේ හෙතෙමේ කිපියේ අසතුටු වූයේ වෙයි. ඇවැත්නි, එහි යම් කොපයකුත් වේ ද, නොසතුටෙකුත් වේ ද, මේ දෙක ම අඞ්ගණ යි.

23. ඇවැත්නි, අඞ්ගණ යනු ඉච්ඡා (කාම) වසයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයන්ට නමෙකි.

24. ඇවැත්නි, යම්කිසි භික්‍ෂු නමකගේ කාමවශයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ අප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙමේ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ පංසුකූලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රම්සරහු ඔහුට සත්කාර නො කරත්. ගරු නො කරත්. බුහුමන් නො කරත්. පුද නො කරත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මතුන්ගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රහීණ නො වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්නි, සල්පිළින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසිදු වූ හාත්පසින් බබළන්නා වූ කස් තලියක් වේ ද, හිමියෝ ඒ රන්තලියෙහි නයිකුණක් හෝ බලුකුණක් හෝ මිනීකුණක් හෝ බහා අන් කස්තලියකින් වසා සල්පිල් අතර වීථියට ගෙන යන්නාහු ද, ඒ තලිය ජනයා දැක “පින්වත්නි, ඉතා මනවඩන්නක් මෙන් මේ කුමක් ගෙනයනු ලැබේ දැ?” යි මෙසේ කියන්නේ ය. නැගිට ඒ තලිය වසුන් හැර බලන්නේ ය. ඒ කුණප දැකීම සමග ම ඒ ජනයාට අමනාපබව ද නැගී සිටුනේ ය. පිළිකුල්බව ද නැගීසිටුනේ ය. ජුගුප්සාව ද නැගී සිටුනේ ය. කුසගිනි ඇත්තවුන්ට ද කනු කැමැත්ත නො වන්නේ ය. තෘප්ත වූවන්ට කියනු ම කවරේ ද? ඇවැත්නි, එපරිද්දෙන් ම යම්කිසි මහණකුගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ මේ ලාමක අකුශලයෝ ප්‍රහිණ නො වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, ඒ මහණ ආරණ්‍යක වූයේ ප්‍රාන්තශයනාසන ඇසුරු කරන්නේ පිණ්ඩපාතික වූයේ ගෙපිළිවෙළින් පිඬු සිඟා හැසිරෙන්නේ පංසුකූලික වූයේ රළු සිවුරු දරන්නේ නමුදු සබ්‍රහ්මචාරීහු ඔහුට සත්කාර නො කෙරෙත්. ගරු නො කෙරෙත්. බුහුමන් නො කෙරෙත්. පුද නො කෙරෙත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මතුන්ගේ ඉච්ඡාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ අප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.

25. ඇවැත්නි, යම්කිසි මහණකුගේ ආශාවශයෙන් පවත්නා වූ ලාමක වූ මේ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම කිසිසේත් ග්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැතුම්බත් පිළිගන්නේ ගැහැවි සිවුරු දරන්නේ නමුදු ඔහුට සබ්‍රහ්මචාරීහු සත්කාර කරත්. ගරු කරත්. බුහුමන් කරත්. පුද කරත්. ඒ කවර හෙයින යත්: ඒ ආයුෂ්මත්හුගේ ආශාවශයෙන් පවත්නා වූ ලාමක වූ ඒ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි. ඇවැත්නි, යම් සේ සල්පිළින් හෝ කඹුරුකුලයෙන් හෝ ගෙනෙන ලද පිරිසුදු වූ හාත්පසින් බබළන්නා වූ කස්තලියක් යම් සේ වේ ද, හිමියෝ ඒ මේ කස්තලියට කළු ඇට ඉවත් කළ ඇල්සාලේ බත නොයෙක් ව්‍යඤ්ජනයන් නොයෙක් සුපයන් සහිත කොට බහා අන් කස්තලියකින් වසා සල්පිල් අතර වීථියට ගෙන යන්නාහු ය. ජනයා ඒ තලිය දැක ‘පින්වත්නි, ඉතා මන වඩන්නක් ලෙස මේ කුමක් ගෙන යනු ලැබේ දැ?’ යි කියන්නේ ය. නැගිට ඒ තලිය වසුන් හැර බලන්නේ ය. ඒ දැක්ම හා සමග ම ඔහුට මනාපබව නැගී සිටුනේ ය. නොපිළිකුල් බව ද නැගී සිටුනේ ය. ජුගුප්සාරහිත බව ද නැගී සිටුනේ ය. තෘප්තියට පත් වූවන්ට ද කනු කැමැතිබව ඇති වෙයි. බඩසා ඇත්තවුන් ගැන කියනු ම කවරේ ද? ඇවැත්නි, එපරිද්දෙන් ම යම්කිසි භික්‍ෂූනමකගේ ආශා වශයෙන් පවත්නා වූ ලමු වූ මේ අකුශලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, හෙතෙම ග්‍රාමාන්තශයනාසනයෙහි වාසය කරන්නේ නිමැතුම්බත් පිළිගන්නේ ගැහැවිසිවුරු දරන්නේ නමුදු ඔහුට සබ්‍රහ්මචාරීහු සත්කාර කෙරෙත්. ගරු කෙරෙත්. බුහුමන් කෙරෙත්. පුද කෙරෙත්. ඒ කවර හෙයින යත්: ඔහුගේ ආශා වශයෙන් පවත්නා වූ ලාමක අකුසලයෝ ප්‍රහීණ වූවාහු දක්නා ලැබෙත් ද, අසනු ලැබෙත් ද, එහෙයිනි.

26. මෙසේ කීකල්හි ආයුෂ්මත් මහමුගලන් ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට ‘ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, උපමාවක් මට වැටහේ ය’යි වදාළ සේක. ‘ඇවැත්නි, මුගලන, එය ඔබ වහන්සේට වැටහේවා.’

ඇවැත්නි, එක් කලෙක මම ගීරිව්‍රජ නම් වූ රජගහ නුවර වාසය කරමි. ඇවැත්නි, ඉක්බිති මම පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. එසමයෙහි සාමිති නම් රියකරුපුත් තෙමේ රථයකට නිම්වළල්ලක් සසියි. ඒ ඔහු වෙත පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර නම් ආජීවක තෙම එළඹැ සිටියේ වෙයි. ඇවැත්නි, ඉක්බිති, පැරණි රියකරු පුත් වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට මෙබඳු අදහසක් ඇති වි ය. ‘මේ සාමීති රියකරුපුත් තෙමේ මේ නිම්වළල්ලෙහි මෙ පසින් වූ ඇදය ද මේ හැම අතින් වූ ඇදය ද මේ එලගැට ආදිය ද සසින්නේ නම් මැනැව. මෙසේ මේ නිම්වළල්ල පහ වූ නැම්ම ඇති ව, පහ වූ ඇද ඇති ව, පහ වූ දොස් ඇති ව පිරිසිදු ව අරටුවෙහි පිහිටියේ වන්නේ ය’ කියායි. ඇවැත්නි, පුරාණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවකයාට යම් යම් පරිද්දකින් අදහස් වෙයි ද, ඒ ඒ පරිද්දෙන් සාමීති යානකාරපුත්‍ර තෙම ඒ නිම්වළල්ලේ ඒ නැම්ම ද ඒ ඇදය ද ඒ දොෂය ද සසියි.

ඇවැත්නි, එකල පුරාණයානකාරපුත්‍ර වූ පාණ්ඩුපුත්‍ර ආජීවක තෙම සතුටට පත් වූයේ ‘තම හිතින් (මාගේ) හිත දැනගෙන මෙන් සසින්නේ ය’යි සතුටු වූයේ සතොස්බව පහළ කෙළේ ය. ඇවැත්නි, එපරිද්දෙන් ම ශ්‍රද්ධාවක් නැත්තා වූ ශ්‍රද්ධාවෙන් නො ව ජීවිකාව පිණිස ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියා වූ කෛරාටික වූ මායාසහිත වූ පුහුණු කළ කෛරාටිකකම් ඇති නොසන්හුන් හිස්මාන නළ ඇති චපල වූ දොඩමලු වූ සංයත නො වූ වචන ඇති ඉඳුරන්හි නො වැසූ දොර ඇති භොජනයෙහි පමණ නො දන්නා වූ නිදි වැරීමෙහි නො යෙදුණු, මහණකම්හි බලාපොරොත්තු නැති ශික්‍ෂාවන්හි දැඩි ගෞරව නැති පිරිකර ආදිය බහුල කොට ඇති සස්න ලිහිල් කොට ගත් නීවරණයෙහි පෙරදැරි වූ උතුම් විවේකයෙහි හළ වැර ඇත්තා වූ කුසීත වූ වැර නැත්නා වූ මුළා වූ සිහි ඇත්තා වූ, මනා නුවණ නැත්තා වූ එකඟ නො වූ සිත් ඇත්තා වූ ඒ ඒ අරමුණු කරා දිවූ සිත් ඇත්තා වූ නුවණ නැත්තා වූ කෙළතොලු වූ යම් ඒ පුද්ගල කෙනෙක් වෙත් ද, ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ධර්‍මමාර්‍ගයෙන් ඔවුන්ගේ සිත දැන සසින්නාක් මෙනි.

27. ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෛරාටික නො වූ මායා රහිත වූ පුහුණු වූ කෛරාටික කම් නැති සන්හුන් වූ හිස් මානනළ නැති චපල නො වූ දොඩමලු නො වූ සංයත වූ වචන ඇති ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇති භොජනයෙහි පමණ දත් නිදි වැරීමෙහි යෙදුණු මහණකම්හි බලාපොරොත්තු ඇති ශික්‍ෂාවන්හි දැඩි ගෞරව ඇති චීවරාදිප්‍රත්‍යය බහුල කොට නො ගන්නා වූ සස්න ලිහිල් කොට නො ගන්නා වූ නීවරණයෙහි බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති උතුම් විවෙකයෙහි පූර්‍වඞ්ගම වූ ඇරඹු වැර ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති එළඹ සිටි සිහි ඇති සමාධි සහගත වූ එකඟ සිත් ඇති ප්‍රඥාවත් වූ කෙළතොලු නො වූ යම් ඒ කුලපුත්‍ර කෙනෙක් වෙත් ද, ඔවුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ගේ මේ ධර්‍මමාර්‍ගය අසා වචනයෙනුත් හිතිනුත් බොතියි හඟිම්. කතියි හඟිම්. පින්වත, ඉතා මැනවි: සබ්‍රම්සරුන් අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුව යි.

28. ඇවැත්නි, යම් සේ සැරසෙන සුලු තරුණ වූ යොවුන්වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස පටන් ස්නානය කෙළේ උපුල්මල්දමක් හෝ දැසමන්මල්දමක් හෝ යොහොඹුමල්දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුමඟ හිසෙහි පැලඳ ගනී ද, ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ කුලපුත්‍ර කෙනෙක් ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණියාහු කෛරාටික නො වූවාහු අසඨ වූවාහු මායා රහිත වූවාහු පුරුදු නො කළ කෛරාටිකකම් ඇත්තාහු සන්හුන් වූවාහු හිස් මානනළ නැත්තාහු චපල නො වූවාහු දොඩමලු නො වූවාහු සංයත වූ වචන ඇත්තාහු ඉන්‍ද්‍රියයන් වැසූ දොර ඇත්තාහු භොජනයෙහි පමණ දන්නාහු නිදි වැරීමෙහි යෙදුණාහු පැවිද්දෙහි බලාපොරොත්තු ඇත්තාහු ශික්‍ෂාවන්හි දැඩි ගෞරව ඇත්තාහු චීවරාදිප්‍රත්‍යය බහුල කොට නො ගත්තාහු සස්න ලිහිල් කොට නො ගත්තාහු නීවරණ පෙරදැරි කොට නැත්තාහු උතුම් විවේකයෙහි උත්සාහ ඇත්තාහු පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහු නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු මනා නුවණ ඇත්තාහු සමාහිත වූවාහු එකඟසිත් ඇත්තාහු නුවණැත්තාහු කෙළතොලු නො වූවාහු වෙත් ද, ඔවුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන්ගේ මේ ධර්‍ම දෙශනාව අසා වචනයෙනුත් සිතිනුත් බොතියි හඟිම්. කතියි හඟිම්. පින්වතුන් වහන්ස, ඉතා මැනැවි: සබ්‍රමසරුන් අකුශලයෙන් නඟා කුශලයෙහි පිහිටුවන සේක.

මෙසේ මේ මහානාගයෝ (කෙලෙස් නැති උත්තමයෝ) දෙදෙන ඔවුනොවුන්ගේ සුබැසි සතුටින් අනුමෝදන් වූහු.

පස්වැනි වූ අනඞ්ගණසූත්‍රය නිමියේ ය