ආකඞ්ඛෙය්‍ය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

6

ආකඞ්‌ඛෙය්‍ය සූත්‍රය

 

1. මා විසින් මෙසේ අසල ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි භික්‍ෂූන් අමතා වදාළ සේක. ඒ භික්‍ෂූහු “වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක:

මහණෙනි, පිරිපුන් සිල් ඇත්තාහු ප්‍රාතිමොක්‍ෂසංවරයෙන් යුක්ත ව වසවු. ප්‍රාතිමොක්‍ෂසංවරයෙන් සංවෘත වූවාහු ආචාරයෙන් හා ගොචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලූ ව මොනොවට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙවු.

2. මහණෙනි, මහණෙක් තෙමේ “සබ්‍රම්සරුන්ට ප්‍රිය වූවෙක්, මන වඩන්නෙක්, ගරු කළ යුත්තෙක්, සම්භාවනීයයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ස්වකීය චිත්තසමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් (ශුන්‍යාගාරයන්ට පිවිස ශමථ විදර්‍ශනා භාවනා කරන්නෙක්) වන්නේ ය.

3. මහණෙනි, මහණෙක් තෙමේ “චිවර පිණ්ඩපාත සෙනාසන ගිලානපච්චය භෙසජ්ජපරික්‍ඛාරයන් ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නෙක් වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ හෝ නො නැසූ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේය.

4. මහණෙනි, මහණෙක් තෙමේ “යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත ගිලානපච්චය භෙසජ්ජපරික්‍ඛාරයන් වළඳම් ද, ඔවුන්ගේ ඒ ප්‍රත්‍යයදානයෝ මහත්ඵල මහත් ආනිසංස ඇත්තාහු වෙත්වා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

5. මහණෙනි, මහණෙක් තෙමේ “පරලොව ගියා වූ කලුරිය කළා වූ නෑ සහලේ නෑ කෙනෙක් පහන් සිත් ඇත්තාහු මා සිහි කරත් ද, ඔවුන්ගේ ඒ සිහි කිරීම මහත්ඵල මහත් ආනිසංස ඇත්තක් වේවා”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

6. මහණෙනි, මහණෙක් තෙමේ “ධ්‍යානාදි අධිකුශල ධර්‍මයන්හි නො ඇලීම හා කම්සැපෙහි ඇලීම ද මැඩ පවත්වන්නෙම් වන්නෙමි. අරතිය මා නො මඩීවා. උපන් අරතිය මඩිමින් වාසය කරනේනමියි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

7. මහණෙනි, මහණෙක් තෙමේ “තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩින්නෙම් වන්නෙමි. තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මා නො මඩීවා. උපන් තැති ගැණුම් හා බිහිසුණු අරමුණු මඩිමින් වසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

8. මහණෙනි, මහණෙක් තෙමේ “අධිචිත්තයෙහි උපන් දිටුදැමියෙහි සැප විහරණය ඇති සිවුදැහැන් කැමැති සේ ලබන්නෙම්, නිදුකින් ලබන්නෙම්, මහත් (වුට්ඨානවසිතාවෙන් යුක්ත) සේ ධ්‍යාන ලබන්නෙම් වන්නෙමි”යි කැමැති වන්නේ නම් ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

9. මහණෙනි, මහණෙක් තෙමේ “රූපාවචරධ්‍යානයන් ඉක්මවා සිටි ආරූප්‍ය වූ යම් ඒ ශාන්තවිමොක්‍ෂයෝ වෙත් ද, ඒ විමොක්‍ෂයන් නාම කායයෙන් ස්පර්‍ශකොට වාසය කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

10. මහණෙනි, මහණෙක් තෙමේ “මම සංයොජන තුණක් ක්‍ෂය කිරීමෙන් දුගතියක නො වැටෙන ස්වභාවය ඇති නියත වූ උපරිම මාර්‍ගඥානයන් පිහිට කොට ඇති (-සකෘදාගාමි ආදි මාර්‍ග තුනට අවශ්‍යයෙන් පැමිණෙන) සොතාපන්නයෙක් වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

11. මහණෙනි, මහණෙක් තෙමේ “සංයොජන තුනක් ක්‍ෂය කිරීමෙන් රාග ද්වෙෂ මොහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වන්නෙමි. වරක් මේ මිනිස් ලොවට උත්පත්තිවශයෙන් පැමිණ දුක් කෙළවර කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

12. මහණෙනි, මහණෙක් තෙමේ “මම ඔරම්භාගිය සංයොජන පස ක්‍ෂය කිරීමෙන් ඔපපාතික (-වසයෙන් බඹලොව උපදින්නෙම්) වන්නෙමි. ඒ බඹලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෙම් එහි පිරිනිවෙන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

13. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදෑරුම් සෘද්ධිකොට්ඨාසයන්ට පැමිණෙන්නෙමි: එකෙක් ම වී බොහෝ ආකාර වෙමි. විවිධාකාර ද වී එකෙක් වන්නෙමි. ප්‍රකට බවට, අප්‍රකට බවට, බිත්තියෙන් පිටත, පවුරෙන් පිටත, පව්වෙන් පිටත අහසෙහිමෙන් නො ගැටෙමින් යන්නෙමි. දියෙහි මෙන් පොළොවෙහි ද මතු වීම් ගැලීම් කරන්නෙමි. පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහි යන්නෙමි. පියාපත් ඇති පක්‍ෂියකු සේ අහසෙහි ද පලගින් යුක්ත ව (පලක් බැඳ) හැසිරෙමි. මෙබඳු මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අත්ලෙන් ස්පර්‍ශ කොට පිරිමදින්නෙමි. බඹලොවතෙක් කයින් තමා වශයෙහි පවත්වන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

14. මහණෙනි, මහණෙක් තෙමේ “මම පිරිසිදු වූ මිනිස්කණ ඉක්මවා සිටි දිවකණින් දුර සිටියා වූත් සමීපයෙහි සිටියා වූත් දෙවියන් පිළිබඳ වූත් මිනිසුන් පිළිබඳ වූත් ශබ්ද අසන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

15. මහණෙනි, මහණෙක් තෙමේ “මම රාගසහිත වූ හෝ සිත රාග සහිත සිත ය යි දැනගන්නෙමි, පහ වූ රාගය ඇත්තා වූ හෝ සිත පහ වූ රාගය ඇත්තා වූ සිත ය යි දැන ගන්නෙමි, සද්වෙෂ වූ හෝ සිත සද්වෙෂ සිත ය යි දැන ගන්නෙමි. වීතද්වෙෂ වූ හෝ සිත වීතද්වෙෂ සිත ය යි දැනගන්නෙමි, මොහ සහිත හෝ සිත මොහ සහිත සිත ය යි දැනගන්නෙමි, විතමොහ වූ හෝ සිත ය යි විතමොහසිත දැනගන්නෙමි, ථිනමිද්ධයෙන් හැකුළුණා වූ හෝ සිත හැකුළුණු සිත ය යි දැනගන්නෙමි. (උද්ධච්චයෙන්) විසුරුණා වූ හෝ සිත විසුරුණු සිත ය යි දැනගන්නෙමි. මහද්ගත (රූපාරූපාවචර) වූ හෝ සිත මහද්ගත සිත ය යි දැනගන්නෙමි. අමහද්ගත (කාමාවචර) වූ හෝ සිත අමහද්ගත සිත ය යි දැනගන්නෙමි. ත්‍රෛභූමක වූ හෝ සිත ත්‍රෛභූමක සිත ය යි දැනගන්නෙමි. සඋත්තර (කාමාවචර) වූ හෝ සිත සඋත්තර සිතය යි දැනගන්නෙමි. අනුත්තර (රූපාරූපාවචර) වූ හෝ සිත අනුත්තර සිත ය යි දැනගන්නෙමි. සමාහිත වූ හෝ සිත සමාහිත සිත ය යි දැනගන්නෙමි. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිත ය යි දැනගන්නෙමි. විමුක්ත වූ හෝ සිත විමුක්ත සිත ය යි දැනගන්නෙමි. අවිමුක්ත වූ හෝ සිත අවිමුක්ත සිත ය යි දැනගන්නෙමි. සෙසු සත්ත්‍වයන්ගේ සෙසු පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන ගන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

16. මහණෙනි, මහණෙක් තෙමේ “නන් වැදෑරුම් වූ පූර්වෙනිවාසය සිහි කරන්නෙමි - එනම්: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුණක් ද ජාති හතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පණසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති ලක්‍ෂයක් ද: නස්නා නොයෙක් කල්පයන් ද හට ගන්නා නොයෙක් කල්පයන් ද නොයෙක් නස්නා හටගන්නා කල්පයන් ද ‘අසුවල් තැන මෙනම් ඇත්තෙම් වීමි. මෙනම් ගොත්‍ර ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් විමි. මෙබඳු අහර ඇත්තෙම් වීමි. මෙබඳු සැපදුක් වින්දෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම්. අසුවල් තැන උපනිමි. එහිදු මෙබඳු නම් ඇත්තෙම් වීමි. මෙබඳු ගොත් ඇත්තෙම් වීමි. මෙබඳු පැහැ ඇත්තෙම් වීම. මෙබඳු අහර ඇත්තෙම් වීම. මෙබඳු සැපදුක් වින්දෙම් වීමි. මෙබඳු ආයු කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත වූයෙම් මෙහි උපන්නෙමි.’ මෙසේ ආකාර සහිත වූ උද්දෙස සහිත වූ නන් වැදෑරුම් පූර්වෙ නිවාසය සිහි කරන්නෙමි”යි කැමැති වන්නේ නම්, ශීලය ම සම්පූර්‍ණ කරන්නේ... ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

17. මහණෙනි, මහණෙක් තෙමේ “පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ මනා පැහැති නො මනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දකින්නෙමි. කර්‍ම වූ පරිදි මිය පරලොව ගිය සත්ත්‍වයන් දැනගන්නෙමි. එකාන්තයෙන් මේ සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්යෝපවාද කළාහු මිසදිටු ගත්තාහු මිසදිටු වශයෙන් සමාදන් වූ නන්වැදෑරුම් කර්‍ම ඇත්තාහු ය. ඒ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවසව පතිත වන්නා වූ නිරයට ප්‍රතිසන්‍ධි වශයෙන් පැමිණියාහු ය. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්යෝපවාද නො කළාහු සම්දිටු ගත්තාහු සම්දිටු වසයෙන් සමාදන් වූ නන් වැදෑරුම් කර්‍ම ඇත්තාහු ය - ඒ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලොකයට ප්‍රතිසන්‍ධි වශයෙන් පැමිණියාහු ය. මෙසේ පිරිසිදු වූ මිනිසැස ඉක්මවා සිටි දිවැසින් ච්‍යුත වන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්‍වර්‍ණ වූ සුගතිගත වූ දුගතිගත වූ සත්ත්‍වයන් දකින්නෙම්වා, කම් වූ පරිදි මිය පරලොව ගිය සත්ත්‍වයන් දැනගන්නෙම්වා” යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්‍ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

18. මහණෙනි, මහණෙක් “ආස්‍රවක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තිය (අර්‍හත්ඵල සම්ප්‍රයුක්ත සමාධිය) ප්‍රඥාවිමුක්තිය (අර්‍හත් ඵල සම්ප්‍රයුක්ත ප්‍රඥාව) ඉහාත්මයෙහි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නෙම්වා”යි කැමැති වන්නේ නම් ශීලයෙහි ම සම්පූර්‍ණකාරී වන්නේ ය. ස්වකීය චිත්ත සමථයෙහි එක්වන් යෙදුනේ බැහැර නො කළ ධ්‍යාන ඇත්තේ විදර්‍ශනාවෙන් යුක්ත වූයේ ශුන්‍යාගාරයන් වඩන්නෙක් වන්නේ ය.

19. “මහණෙනි, පිරිපුන් සිල් ඇතිව ප්‍රාතිමොක්‍ෂ සම්පන්නව වසවු. ප්‍රාතිමොක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරයෙන් හා ගොචරයෙන් සමෘද්ධ ව වසවු. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලූ ව සමාදන් ව ශික්‍ෂාපදයන්හි හික්මෙවු”යි මෙසේ යම් ඒ වචනයෙක් කියන ලද ද, එය මේ සඳහා කියන ලදී.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

 සවැනි වූ ආකඞ්‌ඛෙය්‍ය සූත්‍රය නිමියේ ය.