ධම්මදායාද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි
මැඳුම් සඟියෙහි

මූළපණ්ණාසකයේ

__________

 මූලපරියාය වර්ගය

______ 

1.1.3

ධම්මදායද සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට මහණෙනි යි ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට වහන්සැයි පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

2. මහණෙනි, මාගේ ධර්මයට දායාද (ධර්ම නමැති දෑවැද්ද ගන්නාහු) වවු. ආමිසයට (සිවුපසයට) දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තෙපි ආමිසදායාද ව ධර්මදායාද නො වන්නහු නම්, එයින් ‘ශාස්තෲන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්. ධර්මදායාද ව නො වසත් ය’යි තෙපි ද ගැරහිය යුත්තෝ වන්නහු ය. මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායද ව වසත්, ධර්මදායද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. මහණෙනි, තෙපිත් මාගේ ධර්මයට දායාද ව ආමිසයට දායාද නො වන්නහු නම්, එයින් තෙපිත් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්මදායද ව වසත්, ආමිසදායයාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෝ නො වන්නාහුය. මමත් එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්මදායාද ව වසත්, ආමිසදායාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෙම් නො වෙමි. මහණෙනි, එහෙයින් මාගේ ධර්මයට දායාද වවු. ආමිසදායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මදායද වන්නාහු ද, ආමිස දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

3. මහණෙනි, මම වැළඳූයෙම් වුවමනා පමණ වළඳා අවසන් කෙළෙම්, භොජනයෙන් සම්පූර්ණ වූයෙම් වළඳා අවසන් කෙළෙමි, බඩගිනි නැති වීමෙන් තෘප්ත වූයෙම්, කැමති තාක් අහර ගත්තෙම් වෙමි. ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ. එකල බඩසයින් හා දුබලබැවින් ද පෙළුණු භික්ෂූහු දෙනමක් එන්නාහුය. මම ඔවුන්ට “මම වැළඳූයෙමි. පැවරූයෙමි පිඬු පිළිකෙව් කළෙමි. සම්පූර්ණ වූයෙමි. බොජුන් කිස අවසන් කළෙමි. තෘප්ත වූයෙමි. කැමති තාක් වැළඳුයෙමි. ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත. ඉදින් කැමැත්තහු නම් වළඳවු. ඉදින් තෙපි නො වළඳන්නහු නම්, දැන් මම නිල්තණ නැති බිමක හෝ බහන්නෙමි. පණුවන් නැති ජලයක හෝ පා කොට හරින්නෙමි”යි කියන්නෙමි.

4. ඔවුන් අතුරෙන් එක භික්ෂු නමකට “භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරූ සේක. සම්පූර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳු සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමෝ නම් දැන් භාග්‍යවතුන් වහන්සේ නිල් තණ නැති බිමක හෝ බහාලන සේක. පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මාගේ ධර්මයට දයාද වවු. ආමිසදායාද නො වවු ය’යි මෙය වදාරණ ලදී. යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්, එය ද ආමිස අතරින් එකකි. මම මේ පිණ්ඩාහාරය නො වළඳා මේ බඩසාදුකින් ම යුක්ත ව මේ රෑදාවල් දෙක ඉක්මවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසක් වෙයි.

5. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳා ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. යලි දෙවැනි භික්ෂූන් වහන්සේට “භාග්‍යවතුන් වහන්සේ වැළඳූ සේක. පවාරණය කල සේක. සම්පුර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක. කැමති තාක් වැළඳූ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමිය යුතු වූ මේ පිණ්ඩපාතයෙක් ද ඇත. ඉදින් අපි නො වළඳන්නමු නම්, දැන් භාග්‍යවතුන් වහන්සේ නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක. පණුවන් නැති දියෙහි හෝ පා කොට හරින සේක. මම මේ පිණ්ඩපාතය වළඳා බඩසා නැති ව මේ රෑදාවල ගෙවන්නෙම් නම් මැනවැ”යි මෙබඳු අදහසෙක් වෙයි. හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. මහණෙනි, ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳා බඩසා දුබල බව නැති කොට මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය. එසේ ඇති කල මා විසින් තෙල පළමු මහණ ම වඩා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි. එය කවර හෙයින යත්: මහණෙනි, එය ඒ මහණහුට බොහෝ කලක් අපිස් බව පිණිස ද සතොස් බව පිණිස ද මනා සේ කෙලෙසුන් සිඳහැරීම පිණිස ද සුපොෂභාවය පිණිස ද වැර ඇරඹුම් පිණිස ද වන්නේ ය. මහණෙනි, ඒ නිසා මාගේ ධර්මයට දායාද වවු. ආමිසයට දායාද නො වවු. ‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද, ආමිසයට දායාද නො වන්නාහු දැ’යි තොප කෙරෙහි මාගේ අනුකම්පාවා ඇත.

6. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟිට විහාරයට වැඩි සේක.

 

7. එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොබෝ වෙලාවකින් ‘ඇවැත්නි’යි භික්ෂූන් ඇමතූහ. ඒ භික්ෂූහු ‘ඇවත්නි’යි ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ;

8. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවෙකයෙහි නො හික්මෙත් ද ? ශාස්තෲන්වහන්සේ විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කොපමණකින් විවෙකයෙහි හික්මෙත් ද ? ඇවත, අපි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ වෙතින් මේ භාෂිතයේ අදහස දැනගැනීමට (යොදුන් ගණන්) දුර සිට වුවත් එමු. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ම මේ භාෂිතයේ අදහස වැටහේවා. ඒ මැනවි. භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගෙන් ම අසා දරන්නාහුය. “එසේ නම් ඇවැත්නි, අසවු. මැනවින් මෙනෙහි කරවු. දෙසන්නෙමි.” ඒ භිකෂූහු ඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ:

9. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙතෙකින් විවෙකයෙහි නො හික්මෙත් ද ? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි නො හික්මෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්මකෙනකුන්ගේ ප්‍රහාණය වදාළසේක් නම්, ඒ ධර්ම අත් නො හරිත්. චීවර දිය බහුල කොට ඇත්තාහු ශාසනය ලිහිල් කොට ගත්තාහු, (අවක්‍රමණසඞ්ක්‍යාත) පඤ්චනීවරණ පූරණයෙහි පෙරදැරි වූවාහු ද, උතුම් විවෙකය (නිවන) පිණිස පිළිවෙත් පිරීමෙහි බහා තැබූ වීර්ය්‍ය ඇත්තාහු වෙත්. එසේ කල්හි ඇවැත්නි, ශාසනයෙහි ස්ථවිර භික්ෂූහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන් වහන්සේ උතුම් විවෙකයෙන් වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි නො හික්මෙති’ යන මේ පළමුවැනි කාරණයෙන් ස්ථවිරභික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ක්ලේශ ධර්ම කෙනකුන්ගේ ප්‍රහාණය වදාළසේක් නම්, ඒ ක්ලේශධර්මයන් නො හරිති’ යන මේ දෙවැනි කාරණයෙන් ස්ථවිරභික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘බාහුලික ව සාථලික ව නීවරණපූරණයෙහි පූර්වඞ්ගම ව උතුම් විවෙකයෙහි බහා තැබූ වීර්යය ඇති ව වසති’ යන මේ තුන්වැනි කාරණයෙන් ස්ථවිරභික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිරභික්ෂූහු මේ තුන් කාරණයෙන් ගැරහිය යුත්තෝ වෙත්.

10. ඇවැත්නි, එහි මධ්‍යම භික්ෂූහු -පෙ- නවක භික්ෂූහු කරුණු තුණකින් ගැරහිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන්වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී සව්වෝ උතුම් විවෙකයෙහි නො හික්මෙත්’ යන මේ පළමුවැනි කාරණයෙන් නවකභික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ධර්ම කෙනෙකුන්ගේ ප්‍රහාණය වදාළසේක නම්, ඒ ධර්මයන් නො හරිත්’ යන මේ දෙවැනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ‘බාහුලික ව සාථලික ව නීවරණ පිරීමෙහි පූර්වඞ්ගම ව උතුම් විවෙක යෙහි නිරුත්සාහ ව වසත්’ යන මේ තුන්වැනි කාරණයෙන් නවක භික්ෂූහු ගැරහිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවකභික්ෂූහු මේ තුන් කරුණින් ගැරහිය යුත්තෝ වෙත්.

ඇවැත්නි, මෙතෙකින් ශාස්තෲන් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී සව්වෝ ඒ උතුම් විවෙකයෙහි නො හික්මෙත්.

11. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ කෙතෙකින් විවෙකයෙහි හික්මෙත් ද ? ඇවැත්නි, මේ ශාසනයෙහි ශාස්තෲන් වහන්සේ විවෙකි ව වාසය කරද්දී ශ්‍රාවකයෝ විවෙකයෙන් හික්මෙත්. ශාස්තෲන් වහන්සේ යම් ධර්ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ධර්මයන් අත්හරිත්. චීවරාදිය බහුල කොට නැත්තාහු ශාසනය ලිහිල් කොට නො ගත්තාහු, නීවරණපූරණයෙහි හළ වීර්යය ඇත්තාහු උතුම් විවෙකය පෙරදැරි කොට ඇත්තෝ වෙත්. ඇවැත්නි, එහි ස්ථවිරභික්ෂූහු කරුණු තුණකින් පැසසිය යුත්තෝ වෙත්; ශාස්තෲන් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි හික්මෙත්’ යන මේ පළමුවන කාරණයෙන් ස්ථවිරභික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘ශාස්තෘන් වහන්සේ යම් ක්ලේශධර්ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ක්ලේශධර්මයන් අත්හරිත් ය’ යි මේ දෙවැනි කාරණයෙන් ස්ථවිර භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘චීවරාදිය බහුල කොට නො ගන්නෝ ය, ශාසනය ලිහිල් කොට නො සලකන්නෝ ය, නීවරණ පූරණයෙහි බහා තැබූ වීර්යය ඇත්තාහ, උතුම් විවෙකය පෙරදැරි කොට ඇත්තාහු ය.’ යන මේ තුන්වැනි කාරණයෙන් ස්ථවිරභික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, ස්ථවිරභික්ෂූහු මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.

12. ඇවැත්නි, එහි මධ්‍යමභික්ෂූහු -පෙ- නවකභික්ෂූහු තුන් කරුණ කින් පැසසිය යුත්තෝ වෙත්: ‘ශාස්තෲන් වහන්සේ උතුම් විවෙකයෙන් යුක්ත ව වාසය කරද්දී, ශ්‍රාවකයෝ විවෙකයෙහි හික්මෙත් ය’යි මේ පළමුවැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘ශාස්තෲන් වහන්සේ යම් ක්ලේශධර්ම කෙනකුන්ගේ ප්‍රහාණිය වදාළසේක් ද, ඒ ක්ලේශ ධර්මයන් අත්හරිත් ය’ යන මේ දෙවැනි කාරණයෙන් නවකභික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ‘චීවරාදිය බහුල කොට නැත්තෝ ය. ශාසනය ලිහිල් කොට නො ගත්තෝ ය. නීවරණයන් ප්‍රහාණය කිරීමෙහි උත්සාහවත් වූවෝ ය. උතුම් විවෙකය පෙරදැරි කොට ඇත්තෝ ය’ යන මේ තුන් වැනි කාරණයෙන් නවක භික්ෂූහු පැසසිය යුත්තෝ වෙත්. ඇවැත්නි, නවක භික්ෂූහු වනාහි මේ තුන් කරුණින් පැසසිය යුත්තෝ වෙත්.

ඇවැත්නි, මෙතෙකින් ශාස්තෲන් වහන්සේ ප්‍රකර්ෂ විවෙකයෙන් යුක්ත ව වසද්දී ශ්‍රාවකයෝ විවෙකයෙහි හික්මෙත්.

13. ඇවැත්නි, එහි ලොභය ද ලාමක ය, ද්වේෂය ද ලාමක ය. ලොභය ප්‍රහාණය කිරීම පිණිසත් ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිසත් නුවණැස ඇති කරන, ඤාණය ඇත කරන මධ්‍යම ප්‍රතිපදාව රාගාදීන් සංසිදීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබොධය පිණිස, නිවණ පිණිස පවති යි. ඇවැත්නි රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබොධය පිණිස, නිවණ පිණිස නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන ඒ මධ්‍යමප්‍රතිපදාව කවරේද යත්: මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති සම්මාසමාධි යන අට ය. ඇවැත්නි, මේ මධ්‍යමප්‍රතිපදාව වනාහි නුවණැස ඇති කරයි. සත්‍යඥානය ඇති කරයි. රගාදීන් සංසිඳීම පිණිස පවතියි. සිවුසස් දැනීම පිණිස මනා අවබොධය පිණිස නිවණ පිණිස පවතියි.

14. ඇවැත්නි, එහි ක්‍රොධය ද ලාමක ය, බද්ධවෛරය ද ලාමක ය … ගුණමකු බව ද ලාමක ය ... පලාසය ද ලාමක ය... ඊර්ෂ්‍යාව ද ලාමක ය, මසුරු බව ද ලාමක ය... මායාව ද ලාමක ය, කපටබව ද ලාමක ය … ථම්භය (වැඩිහිටියන්ට නොනැමෙන බව ද) ලාමක ය, සංරම්භය (අනුන් කළ දෙයට වැඩියක් කරන බව) ද ලාමක ය ... මානය ද ලාමක ය, අධිකමානය ද ලාමකය ... මදය (මත් බව) ද ලාමක ය, ප්‍රමාදය ද ලාමකය. මදය ප්‍රහාණය කිරීම පිණිස ද, ප්‍රමාදය ප්‍රහාණය කිරීම පිණිස ද, නුවණැස ඇති කරන, ඤාණය ඇති කරන මධ්‍යමප්‍රතිපදාව රාගාදීන් සංසිඳීම පිණිස, සිවුසස් දැනීම පිණිස, මනා අවබොධය පිණිස, නිවණ පිණිස පවතියි. ඇවැත්නි, රාගාදීන් සංසිඳීම පිණිස සිවුසස් දැනීම පිණිස, මනා අවබොධය පිණිස, නිවණ පිණිස පවතින නුවණැස ඇති කරන සත්‍යඥානය ඇති කරන ඒ මධ්‍යමප්‍රතිපදාව කවරේ ද? ඇවැත්නි, මේ අරීඅටඟිමඟ ම ය. එනම්: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප,සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන අට යි. ඇවැත්නි, නුවණැස ඇති කරන සත්‍යඥානය ඇති කරන මේ මධ්‍යම ප්‍රතිපදාව රාගාදිය නැති කිරීම පිණිස සිවුසස් දැනීම පිණිස මනා අවබොධය පිණිස නිවණ පිණිස පවත්නකි.

15 . ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවවීරයන් වහන්සේ මෙය වදාළහ. සතුටු වූ ඒ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ භාෂිතය මැනැවැයි පිළිගත්තාහු ය.

තුන් වැනි ධර්මදායාද සූත්‍රය නිමියේ ය.