භයභේරව සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

4

භයභේරව සූත්‍රය 

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ජාණුස්සොණීබ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන්නා වූ ම ජාණුස්සොණි බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. 

2. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ කුලපුත්‍රයෝ භවත් ගෞතමයන් උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ පුරොගාමී වන සේක. ඔවුන්ට භවත් ගෞතමයන් වහන්සේ බොහෝ උපකාරී වන සේක. භවත් ගෞතමයන් වහන්සේ ඔවුන් සමාදන් කරවන සේක. ඒ ජනතාව භවත් ගෞතමයන්ගේ දර්‍ශනානුගතියට (දෘෂ්ටි, ක්‍ෂාන්ති, රුචීන් අනුගමනයට) පැමිණේ. 

3. බමුණ, එය එසේ ය. බමුණ, එය එසේ ය. බමුණ, යම් ඒ කුලපුත්‍රයෝ මා උදෙසා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූවාහු ද, මම ඔවුන්ට පුරොගාමි වෙමි. මම ඔවුන්ට බොහෝ උපකාර ඇත්තෙම් වෙමි. මම ඔවුන් සමාදන් කරවන්නෙමි. ඒ ජනතාව මාගේ දිට්ඨානුගතියට පැමිණේ.. 

4. ගෞතමයන් වහන්ස, වනයෙහි දුර පිහිටි වන ලැහැබ් සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම (ඇතුල් ව විසීම) දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවෙකය දුෂ්කර ය. එකඟබැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත් පැහැර ගනිති යි හඟිමි. 

5. බමුණ, එය එසේ ම ය. බමුණ, එය එසේ ම ය. බමුණ, වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවෙකය දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත පැහැර ගනිතියි හඟිමි. බමුණ, බුදුවන්නට පෙර චතුස්සත්‍යය අවබොධ නො කළා වූ බොධිසත්ත්‍ව වූ ම මට ද මේ අදහස වි ය. වනයෙහි දුර පිහිටි සෙනසුන්, වනයෙහි ඉතා දුර පිහිටි සෙනසුන් ලැබීම දුෂ්කර ය. ප්‍රකර්‍ෂවිවෙකය ලැබීම දුෂ්කර ය. එකඟ බැව්හි ඇලීම දුෂ්කර ය. වනයන් සමාධිය නො ලබන්නා වූ භික්‍ෂුහුගේ සිත පැහැර ගනිති යි හඟිම්. 

6. බමුණ, ඒ මට මේ අදහස වීය: අපිරිසිදු වූ කායකර්‍ම ඇති යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රස්ථ සෙනසුන් ද ප්‍රාන්තසෙනසුන් ද සෙවනය කෙරෙද්ද, අපිරිසිදු වූ කායකර්‍ම නමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුනු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු වූ කායකර්‍ම ඇත්තෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තසෙනසුන් සෙවනය නො කරමි. මම පිරිසිදු වූ කායකර්‍ම ඇත්තෙක්මි. යම් ආර්‍ය්‍ය කෙනෙක් පිරිසිදු වූ කායකර්‍ම ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමින් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පිරිසිදු ක්‍රියා ඇතිබව තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝ සේ පතිතලොම් ඇති (බිය නැති) බවට පැමිණියෙමි. 

7. බමුණ, ඒ මට මේ අදහස වී ය: අපිරිසිදු වාක්කර්‍ම ඇති ... අපිරිසිදු මනඃකර්‍ම ඇති ... අපිරිසිදු ආජිවය ඇති යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමින් සෙවනය කෙරෙත් ද, අපිරිසිදු ආජිවය නමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අපිරිසිදු ආජිවය ඇත්තෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමීන් සෙවනය නො කරමි. මම පිරිසිදු ආජීවය ඇත්තෙක්මි. යම් ආර්ය කෙනෙක් පිරිසිදු ආජීවය ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තතපොභූමීන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ පිරිසිදු ආජීවය ඇතිබව දක්නෙම් බොහෝ සෙයින් වනවාසය පිණිස නිර්භය භාවයට පැමිණියෙමි. 

8. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ විෂම ලොභය බහුල කොට ඇත්තාහු කාමයන්හි තියුණු රාග ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, විෂමලොභය හා කාමයන්හි තියුණු රාගය ද යන ස්වකීය දොෂය හෙතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ එකාන්තයෙන් සාවද්‍ය වූ තැතිගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි විෂමලොභය බහුල කොට ඇත්තෙම් කාමයන්හි තියුණු රාග ඇති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය නො කරමි. මම විෂමලොභය බහුල කොට ඇත්තෙක් නො වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් විෂමලොභය බහුල කොට නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ අභිධ්‍යාව බහුල කොට නැති බව දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් බිය රහිත බවට පැමිණියෙමි. 

9. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (ප්‍රකෘතිය - ස්වභාවය හැරීමෙන්) වෙනසට පැමිණි සිත් ඇත්තාහු ප්‍රදුෂ්ටචිත්තසංකල්පනා ඇත්තාහු අරණ්‍ය වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙද්ද, වෙනස් වූ සිතය දූෂිත වූ චිත්තසංකල්පනාය යන ස්වකීය දොෂහෙතුයෙන් එකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය වූ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි වෙනසට පැමිණි සිත් ඇති ව ප්‍රදුෂ්ටචිත්තසංකල්පනා ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම මෙත්සිත් ඇත්තෙක්මි. මෙත්සිත් ඇති යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තආශ්‍රමයන් සෙවනය කෙරෙද්ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ මෙත්සිත් ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්භය භාවයට පැමිණියෙමි. 

10. බමුණ ඒ මට මේ අදහස වී ය. යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ථිනමිද්ධයෙන් මඩනා ලද්දාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, ථිනමිද්ධයෙන් මැඩීම නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් පින්වත් ඒ මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි ථිනමිද්ධයෙන් මඩනා ලදු ව අරණ්‍යවාතප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම පහ වූ ථිනමිද්ධ ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් පහ වූ ථිනමිද්ධ ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්ත ආශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ ඒ ථිනමිද්ධය නැතිකළබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්භය භාවයට පැමිණියෙමි. 

11. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ඇවිස්සුණු, සැලෙන, සිත් ඇත්තාහු නො සන්සුන් සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, ඇවිස්සුණු සැලුනු නො සන්සුන් සිත් ඇති බව නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම ඇවිස්සුණු සැලුනු නො සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම සන්සුන් සිත් ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් සන්සුන් සිත් ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ පිහිටි ඒ සන්සුන් සිත් ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්භය භාවයට පත් වීමි. 

12. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ සැක ඇත්තාහු විචිකිච්ඡා ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, සැකය හා විචිකිච්ඡාව නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන ඒ පින්වත් මහණබමුණෝ එකාන්තයෙන් සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි සැක ඇත්තෙම් විචිකිච්ඡා ඇත්තෙම් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම තරණය කළ සැක ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් තරණය කළ සැක ඇති ව අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ වූ තරණය කළ විචිකිච්ඡා ඇතිබව දකින්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්භය භාවයට පැමිණියෙමි. 

13. බමුණ, මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ තමන් හුවා අනුන් හෙළා දක්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, තමා උසස් කොට අනුන් පහත් කොට සැලකීම නමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි තමා උසස් කොටත් අනුන් පහත් කොටත් සලකමින් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම තමා උසස් කොට අනුන් පහත් කොට සලකන්නෙක් නො වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් තමා උසස් කොට අනුන් පහත් කොට නො සලකන්නාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා උසස් කොට නො සැලකීම හා අනුන් පහත් කොට නො සැලකීම ද තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නො බියබවට පැමිණියෙමි. 

14. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ (කය දළදඩු කරන තද) තැති ගැනුම් ඇත්තාහු බිය සුලුබව ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, තද තැති ගැන්ම හා බියසුලුබව ද නමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි තැති ගන්නෙම් බියසුලු ස්වභාවය ඇත්තෙම් අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම පහ වූ ලොමුදහ ගැනීම් ඇත්තෙක් වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් පහ වූ ලොමුදහ ගැනීම් ඇත්තෝ අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ පහ වූ ලොමුදහ ගැනීම තමා තුළ පිහිටිබව (තමා කෙරෙහි ලොමුදහ ගැනුම නැති බව) දක්නෙම් වනවාසය පිණිස බොහෝ සෙයින් නිර්භය භාවයට පැමිණියෙමි. 

15. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ලාභ සත්කාර කීර්ති කැමැති වන්නාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු වීම වූ ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි ලාභ සත්කාර කීර්ති බලාපොරොත්තු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම ඉච්ඡා නැත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් ආශා නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ ඉච්ඡාරහිතභාවය තමා තුළ දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නොබිය බවට පැමිණියෙමි. 

16. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ කුසීත වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, කායිකචෛතසික වීර්‍ය්‍යරහිතබව නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණ බමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි මැලි වූයෙම් වීර්‍ය්‍යය නැත්තෙම් (කායික චෛතසික වීර්‍ය්‍ය රහිත ව) අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කෙරෙමි. මම පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් ඇරඹූ වැර ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම තමා තුළ පිහිටි ඒ ඇරඹු වැර ඇතිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්භය භාවයට පැමිණියෙමි. 

17. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නට සිහි ඇත්තාහු නුවණ නැත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, නට සිහිය හා නුවණ නැති බව නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත් මම වනාහි නට සිහි ඇති ව නුවණ නැති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම එළඹ සිටි සිහි ඇත්තෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් එළඹ සිටි සිහි ඇත්තාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම ඒ තමා තුළ එළඹ සිටි සිහිය ඇතිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්භය භාවයට පැමිණියෙමි. 

18. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අසමාහිත (එකඟ සිත් නැති) වූවාහු විභ්‍රාන්ත (නොයෙක් අරමුණෙහි දිවු) සිත් ඇත්තාහු අරණ්‍යවානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, අසමාහිත විහ්‍රාන්ත සිත් ඇති බව නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි අසමාහිත ව විහ්‍රාන්ත සිත් ඇති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම සමාධිසම්පන්නයෙක්මි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් සමාධිසම්පන්න ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම මේ සමාධිසම්පදාව තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස නො බියබවට පැමිණියෙමි. 

19. බමුණ, ඒ මට මේ අදහස වී ය: යම් කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ නුවණ නැත්තාහු කෙළතොලු වූවාහු අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, නුවණ නැතිබව හා කෙළතොලු බව නැමැති ස්වකීය දොෂය හෙතු කොට ගෙන එකාන්තයෙන් ඒ පින්වත් මහණබමුණෝ සාවද්‍ය තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද කැඳවත්. මම වනාහි නුවණ නැති ව කෙළතොලු ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය නො කරමි. මම නුවණැත්තෙක් වෙමි. යම් ඒ ආර්‍ය්‍ය කෙනෙක් නුවණැති ව අරණ්‍යයෙහි වානප්‍රස්ථප්‍රාන්තාශ්‍රමයන් සෙවනය කෙරෙත් ද, මම ඔවුන්ගෙන් එක්තරා එකෙක්මි. බමුණ, මම නුවණැති බව තමා තුළ පිහිටිබව දක්නෙම් වනවාසය පිණිස බොහෝසෙයින් නිර්භය භවයට පැමිණියෙමි. 

20. බමුණ, ඒ මට මේ අදහස වී ය: ‘පක්‍ෂයෙහි (හඳ නිසා) ප්‍රසිද්ධ වූ (උපොසථසමාදානාදි වශයෙන්) ලකුණු කළ යුතු වූ තුදුස්වක, පසළොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගන්වන්නා වූ යම් ඒ ආරාමචෛත්‍යයෝ (=චෙතිය සම්මත පිදිය යුතු අරම්), වනචෛත්‍යයෝ (=පිදිය යුතු වන), වෘක්‍ෂචෛත්‍යයෝ (පිදිය යුතු රුක්) වෙද්ද, එබඳු සෙනසුන්හි වසන්නෙම් නම් මැනව. ඒ තැති ගැනුම් හා බිහිසුණු අරමුණු ද දක්නෙම් නම් මැනැවැ’යි කියායි. බමුණ, ඒ මම ඉන් මෑත කල්හි පක්‍ෂයෙහි ප්‍රසිද්ධ වූ ලකුණු කළ යුතු ව තුදුස්වක, පසළොස්වක, අටවක යන යම් ඒ රාත්‍රීහු වෙත් ද, එවැනි රාත්‍රීන්හි බිහිසුණු වූ ලොමුදහ ගන්වන්නා වූ යම් ඒ ආරාමචෛත්‍යයෝ වනචෛත්‍යයෝ වෘක්‍ෂචෛත්‍යයෝ වෙත් ද, එබඳු සෙනසුන්හි වාසය කරමි. බමුණ, එහි වාසය කරන්නා වූ මා වෙතට මුවෙක් (සිවුපාවෙක්) හෝ කුර ගා එයි. මොනරෙක් (පක්‍ෂියෙක්) හෝ දරකඩක් හෙළයි. සුලඟ හෝ පරඬලාවක් සලයි. ඒ මට මෙසේ සිතෙයි: ‘එකාන්තයෙන් මේ එන්නේ ඒ භයානක අරමුණ ය’ කියායි. 

21. බමුණ, ඒ මට මේ සිත වී ය: ‘කුමක් නිසා මම එකාන්තයෙන් භය කැමැත්තෙම් වාසය කෙරෙම් ද? යම් යම් ඉරියව්වකින් යුක්ත වූ මා වෙත ඒ භයජනක අරමුණ ඒ ද, ඒ ඒ ඉරියව්වෙන් යෙදුනෙම් ම ඒ භයජනක අරමුණ දුර ලන්නෙම් නම්, යෙහෙකැයි කියායි. බමුණ, සක්මන් කරන්නා වූ මා වෙතට ඒ භයභෙරවය එයි ද, බමුණ මම යම් තාක් සක්මන් කරමින් ම ඒ භයභෙරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො සිටිමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, සිටියා වූ ඒ මා වෙතට ඒ භය භෙරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් සිටියෙම් ම ඒ භයභෙරවය දුරු කෙරෙම් ද, ඒ තාක් සක්මන් නො කරමි. නො හිඳිමි. නො නිදමි. බමුණ, හුන්නා වූ මා වෙතට ඒ භයභෙරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් හුන්නෙම් ම ඒ භයභෙරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො නිදමි. නො සිටිමි. සක්මන් නො කරමි. බමුණ, හොත්තා වූ මා වෙතට ඒ භයභෙරවය එයි ද, බමුණ, ඒ මම යම් තාක් නිදන්නෙම් ම ඒ භයභෙරවය දුරු කෙරෙම් ද, ඒ තාක් නො හිඳිමි. නො සිටිමි. සක්මන් නො කරමි. 

22. බමුණ, රාත්‍රිය ම දහවල් ය යි සිතන දහවල ම රාත්‍රිය යි සිතන ඇතැම් මහණබමුණෝ ඇත්තාහ. මේ ඒ මහණබමුණන්ගේ මුළා වූ විසීමකැ යි මම කියමි. බමුණ, මම රැය ම රැය ය යි හඳුනමි. දාවල දාවල ම ය යි හඳුනමි. බමුණ, මනා කොට කියන්නෙක් ‘මුළා නොවන ගති ඇති සත්ත්‍වයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවි මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස ලොකයෙහි උපන්නේ ය’යි යම් කෙනකුන් උදෙසා කියා ද, මනා කොට (සත්‍යය) කියන්නෙක් ‘මුළා නො වන ගති ඇති සත්ත්‍වයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සැප පිණිස ලොකයෙහි උපන්නේ ය’යි ඒ මා උදෙසා ම කියන්නේ ය. 

23. බමුණ, මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේ නො සැඟවුණේ ය. සිහිය එළඹ සිටියේ මුළා නො වූයේ ය. (නාමරූප) කය සන්හිඳුණේ දරථ රහිත වී ය. සිත සමාධියෙහි පිහිටියේ එකඟ වී ය. බමුණ, ඒ මම කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙන් හටගත් ප්‍රිතිය හා සැප ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ස්වසන්තානයෙහි උපන් සම්ප්‍රසාදන සඞ්ඛ්‍යාත ශ්‍රද්ධාවෙන් යුක්ත වූ සිතේ එකඟබැව් වඩන්නා වූ විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. ප්‍රීතිය ද දුරු කිරීමෙන් උපෙක්‍ෂක ව ද වාසය කෙළෙමි. සිහි ඇත්තෙම් මනානුවණින් යුක්ත වූයෙම් (නාමරූප) කයින් සැපය ද වින්දෙමි. ආර්‍ය්‍යයෝ යම් ඒ ධ්‍යානයක් නිසා ‘උපෙක්‍ෂක වූයේ සිහි ඇත්තේ සුව සේ වෙසේ’යයි කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. (පූර්‍වයෙහි ම) කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන් කායිකදුක්‍ඛයාගේ ද ප්‍රහාණයෙන්, පූර්‍වයෙහි ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ ද අස්තඞ්ගමයෙන් (=ප්‍රහාණයෙන්) දුක් නො වූ සුඛ නො වූ, උපෙක්‍ෂාවෙන් හටගත් සතිපාරිසුද්ධි (=සිහිය පිළිබඳ පිරිසිදුබැව්) ඇති චතුර්ත්ථධ්‍යානයට පැමිණ වාසය කෙළෙමි. 

24. ඒ මම මෙසේ සමාධිගත වූ සිත - පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, අඞ්ගණ (කෙලෙස්) නැති වූ කල්හි, උපෙක්ලෙශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කාර්‍ය්‍යයට සුදුසු වූ කල්හි, (පිරිසිදු බැව් ආදියෙහි) ස්ථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත විශෙෂයෙන් නතු කෙළෙමි. ඒ මම නොයෙක් ආකාර ඇති පුබ්බෙනිවාසය සිහි කරමි. එනම්: එක ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පහක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද; නොයෙක් සංවර්‍ත (=නස්නා) කල්පයන් ද, නොයෙක් විවර්‍ත (=හටගන්නා) කල්පයන් ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද සිහි කරමි: “අසුවල් තැන්හි උපන්මි. මෙවැනි නම් ඇත්තෙක් වීමි. මෙවැනි ගොත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙවැනි ආහාර ඇත්තෙක් වීමි. මෙවැනි සැපදුක් වින්දෙක් වීමි. මෙවැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහි දී ද මෙ වැනි නම් ඇත්තෙක් වීමි. මෙ වැනි ගොත්‍ර ඇත්තෙක් වීමි. මෙවැනි පැහැ ඇත්තෙක් වීමි. මෙ වැනි ආහාර ඇත්තෙක් වීමි. මෙ වැනි සැපදුක් වින්දෙක් වීමි. මෙ වැනි ආයු කෙළවර කොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුත වූයෙම් මෙහි උපන්නෙම් වෙමි”යි. මෙසේ ආකාර සහිත වූ උදෙසීම සහිත වූ නන් වැදෑරුම් වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ, මා විසින් රැයෙහි පෙරයම මේ පළමුවන පූර්වෙනිවාස විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහඳුර නැසුණේ ය. විද්‍යාලොකය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව මෙහෙයවූ සිත් ඇති ව වසන්නහුට යම් සේ (අවිද්‍යාවිඝාතාදිය වේ) නම් (මට ද) එසේ ම වී ය. 

25. ඒ මම මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, (විෂ්කම්භණවශයෙන්) අඞ්ගණ නැති වූ කල් හි, උපක්ලෙශ නැති වූ කල්හි, මෘදු වූ කල්හි, කාර්‍ය්‍යයට සුදුසු වූ කල්හි, ස්ථිර ව සිටි කල්හි, නො සැලෙනබවට පත් වූ කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුතිඋත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත වෙසෙසින් නතු කෙළෙමි. ඒ මම අතිශයින් පිරිසිදු වූ මිනිස්ඇස ඉක්මවූ දිවැසින් ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති දුගතියට ගිය සුගතියට ගිය සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි පරලෝ ගිය සත්ත්‍වයන් දත්මි. එකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට ගැරහුවාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු ය. ඒ මොහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව වැටෙන නිරයෙහි උපන්නාහු ය. මේ භවත් සත්ත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට නො ගැරහුවාහු සම්‍යග්දෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු ය. ඒමොහු කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලොකයෙහි උපන්නාහු ය යි - මෙසේ වෙසෙසින් පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවැසින් ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනා පැහැ ඇති නොමනා පැහැ ඇති සුගතියට ගිය දුගතියට ගිය සත්ත්‍වයන් දක්මි. කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දන්මි. බමුණ, මා විසින් රැයෙහි මැදුමයම්හි මේ දෙවැනි (දිබ්බචක්‍ඛු) විද්‍යාව ලබන ලදී. (එහි වූ) අවිද්‍යාව නැසින. විද්‍යාව උපන. මොහඳුර නැසින. විදුඑළිය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව දිවැස් නැණ පිණිස මෙහෙයවූ සිත්ඇති ව වසන්නහුට යම් සේ නම් (මට ද) එසේ ම විය. 

26. ඒ මම මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි, ප්‍රභාස්වර වූ කල්හි, (විෂ්කම්භණවශයෙන්) කෙලෙස් නැති වූ කල්හි, උපක්ලෙශ නැති වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මයට සුදුසු වූ කල්හි, ස්ථිර ව සිටි කල්හි, නො සැලෙන බවට පත් වූ කල්හි ආස්‍රවක්‍ෂයකරඥානය (=කෙලෙස් නැති කරන නුවණ) පිණිස සිත වෙසෙසින් නතු කෙළෙමි. ඒ මම මේ (පඤ්චස්කන්‍ධය) දුක ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තෘෂ්ණාව) දුක් ඉපදීමේ හේතුව ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (තෘෂ්ණාවගේ නිරොධ්‍ය) දුඃඛනිරොධ ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ (අරිඅටඟිමග) දුක් නැති කිරීමේ ප්‍රතිපත්තිය යි තත් වූ පරිදි දැන ගතිමි. මොහු ආස්‍රවයහ යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවසමුදය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවනිරොධ ය යි තත් වූ පරිදි දැන ගතිමි. මේ ආස්‍රවනිරොධගාමිනී ප්‍රතිපත්තිය යි තත් වූ පරිදි දැන ගතිමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙන් ද මිදුණේ ය. භවාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදුණේ ය. මිදුණු කල්හි මිදුණේ ය යි ප්‍රත්‍යවෙක්‍ෂාඥානය පහළ වී ය. ‘ජාතිය අනුත්පාදවශයෙන් ක්‍ෂීණ වී ය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලදී. සිවුමගකිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙක් කිසක් නොහොත් මේ වර්‍තමාන ස්කන්‍ධසන්තානයෙන් අන්‍ය වූ (අනාගත) පඤ්චස්කන්‍ධයක් නැතැ’යි දැන ගතිමි. බමුණ, මා විසින් රැයෙහි පැසුළුයම්හි මේ තුන්වැනි විද්‍යාව ලබන ලදී. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන. මොහඳුර නැසිණ. විද්‍යාලොකය උපන. නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති ව වසන්නහුට යම් සේ ද, (මට ද) එසේ ම වි ය. 

27. බමුණ, ඔබට කිසිවිටක “ශ්‍රමණ ගෞතම තෙමේ අද දක්වාත් පහ නො වූ රාග ඇත්තේ ය. පහ නො වූ ද්වෙෂ ඇත්තේ ය. පහ නො වූ මොහ ඇත්තේ ය. එහෙයින් අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සෙවනය කෙරේ ය”යි මෙවැනි අදහසක් විය හැකි ය. බමුණ, එය එසේ නො දත යුතු ය. බමුණ, මම තමාගේ දිටුදැමියෙහි ඉරියවු සැප විහරණය දැකීම ය, පශ්චිම ජනතාවට අනුකම්පා කිරීම ය යන මේ කරුණු දෙක දක්නෙම් අරණ්‍යයෙහි වානප්‍රස්ථ ප්‍රාන්තශයනාසනයන් සෙවනය කරමි. 

28. අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් කෙනකුන් විසින් යම්සේ කටයුතු ද, එසේ භවත් ගෞතමයන් වහන්සේ විසින් මේ පශ්චිම ජනතා තොමෝ අනුකම්පිත ස්වභාව ඇත්තී ය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් කාන්ත ය. භවත් ගෞතමයන් වහන්ස, අතිශයින් ඉෂ්ට ය. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කළ දැයක් උඩුකුරු කරන්නේ හෝ වැසූ දැයක් විවෘත කරන්නේ හෝ (යා යුතු දෙස) මුළා වූවකුට මග කියන්නේ හෝ ඇස් ඇත්තාහු රූප දක්නාහ යි අන්‍ධකාරයෙහි තෙල් පහනක් දරන්නේ හෝ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් මට දහම් දෙසන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්‍මයත් සඞ්ඝයාත් සරණ කොට යමි - පිහිටය යි දනිමි. ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු (කැපකරුවෙකු) ලෙස සලකන සේක්වා.

පලමු වැනි වූ භයභේරව සූත්‍රය නිමියේ ය.