මූලපරියාය සූත්‍රය

මූලපරියාය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උක්කට්ඨානුවර සමීපයෙහි වූ සුභග වනයෙහි වනදෙටුමහරුකක් මුල වැඩ වසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ”මහණෙනි’යි” භික්ෂුන් ඇමතුසේක. ඒ භික්ෂුහු ”ස්වාමීනි’යි” භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුහ. භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළසේක.

2. මහණෙනි, තොපට සියලු සත්කායධර්මයනට මුලකාරණය දේශනා කරන්නෙමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවූ. දේශනා කරන්නෙමි. “එසේය, ස්වාමීනි'යි” ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

3. මහණෙනි, මේ ලෝකයෙහි (බුද්ධාදී) ආර්යයන් නො දක්නාසුලු ආර්යධර්මයෙහි අදක්‍ෂ වූ ආර්යධර්මයෙහි නො හික්මුණාවූ (බුද්ධාදී) සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්මයෙහි නො හික්මුණාවූ අශ්‍රැතවත් (ආගමාධිගමරහිත වූ) පෘථග්ජන තෙමේ පෘථිවිය පෘතුවිය වශයෙන් (තණ්හා මාන දිට්ඨි මඤ්ඤනාවෙන් සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. පෘතුවිය පෘථිවිය වශයෙන් හැඳින පෘථිවිය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම පෘතුවියෙහි පිහිටියෙමි” යි හඟියි. “මම පෘතුවියෙන් බැහැර වෙමි” යි හඟියි. “පෘතුවිය මගේ” යි හඟියි. පෘතුවිය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහුගේ පෘතුවිය (පිළිබඳ) පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

4. ආපය ආපය වශයෙන් (සංඥාවිපර්යාසයෙන්) හඳුනයි. ආපය ආපය වශයෙන් හැඳින ආපය (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම ආපයෙහි පිහිටියෙමි” යි හඟියි. “ආපයෙන් බැහැර වෙමි” යි හඟියි. “ආපය මාගේ" යි හඟියි. ආපය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආපය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

5. තෙජස තෙජොවශයෙන් (සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. තෙජස තෙජොවශයෙන් හැඳින තෙජස (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම තෙජසෙහි පිහිටියෙමි” යි හඟියි. “තෙජසින් බැහැර වෙමි” යි හඟියි. “තෙජස මාගේ" යි හඟියි. තෙජස අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: තෙජස (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

6. වායුව වායුවශයෙන් (සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. වායුව වායුවශයෙන් හැඳින වායුව (තණ්හා මඤ්ඤනාදිවශයෙන්) හඟියි. “මම වායුවෙහි පිහිටියෙමි” යි හඟියි. “වායුවෙන් බැහැර වෙමි” යි හඟියි. “වායුව මාගේ" යි හඟියි. වායුව අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වායුව (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

7. භූතයන් (චාතුර්මහාරාජිකයෙන් යට සත්වයන්) භූතයන් වශයෙන් (සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. භූතයන් භූතවශයෙන් හැඳින භූතයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. භූතයන් කෙරෙහි තණ්හා මාන දිට්ඨි මඤ්ඤනා කෙරෙයි. භූතයන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “භූතයන් මාගේ” යි හඟියි. භූතයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: භූතයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

8. දෙවියන් දෙවියන් වශයෙන් (සංඥාවිපර්යාසවශයෙන්) හඳුනයි. දෙවියන් දෙවියන් වශයෙන් හැඳින දෙවියන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. දෙවියන් කෙරෙහි තණ්හාදීන් මඤ්ඤනා කෙරෙයි. දෙවියන්ගෙන් (තම හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “දෙවියන් මගේ” යි හඟියි. දෙවියන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: දෙවියන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

9. ප්‍රජපතීහු (මාරයා) ප්‍රජපතීහු වශයෙන් හඳුනයි. ප්‍රජපතීහු ප්‍රජපතීහු වශයෙන් හැඳින ප්‍රජපතීහු (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ප්‍රජපතීහු කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. ප්‍රජපතීහු කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “ප්‍රජපතීයා මගේ” යි හඟියි. ප්‍රජපතීහු අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ප්‍රජපතීහු (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

10. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හඳුනයි. බ්‍රහ්මයා බ්‍රහ්ම වශයෙන් හැඳින බ්‍රහ්මයා (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. බ්‍රහ්මයා කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) හඟියි. බ්‍රහ්මයා කෙරෙන් (තමා හෝ මෙරමා) බැහැර වූ සේ හඟියි. “බ්‍රහ්මයා මගේ” යි හඟියි. බ්‍රහ්මයා අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: බ්‍රහ්මයා (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

11. ආභස්සර (බ්‍රහ්ම)යන් අභස්සරයන් වශෙයන් හඳුනයි. අභස්සරයන් වශෙයන් හැඳින අභාස්සරයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභස්සරයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභස්සරයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභස්සරයන් මගේ” යි හඟියි. අභස්සරයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අභස්සරයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

12. සුභකින්නයන් සුභකින්නයන් වශෙයන් හඳුනයි. සුභකින්නයන් සුභකින්නයන් වශෙයන් හැඳින සුභකින්නයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සුභකින්නයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. සුභකින්නයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “සුභකින්නයන් මගේ” යි හඟියි. සුභකින්නයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සුභකින්නයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

13. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශෙයන් හඳුනයි. වෙහප්ඵලයන් වෙහප්ඵලයන් වශෙයන් හැඳින වෙහප්ඵලයන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. වෙහප්ඵලයන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. වෙහප්ඵලයන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “වෙහප්ඵලයන් මගේ” යි හඟියි. වෙහප්ඵලයන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: වෙහප්ඵලයන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

14. අභිභූන් අභිභූන් වශෙයන් හඳුනයි. අභිභූන් අභිභූන් වශෙයන් හැඳින අභිභූන් (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අභිභූන් කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අභිභූන් කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අභිභූන් මගේ” යි හඟියි. අභිභූන් අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අභිභූන් (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

15. අකාසානඤ්චායතනය (තද්භූමක වූ කුශල - විපාක - ක්‍රියා වශයෙන් පවත්නා චතුර්විධ නාම ස්කන්ධ) අකාසානඤ්චායතනය වශෙයන් හඳුනයි. අකාසානඤ්චායතනය අකාසානඤ්චායතනය වශෙයන් හැඳින අකාසානඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. අකාසානඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. අකාසානඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “අකාසානඤ්චායතනය මගේ” යි හඟියි. අකාසානඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: අකාසානඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

16. විඤ්ඤාණඤ්චායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) විඤ්ඤාණඤ්චායතනය වශෙයන් හඳුනයි. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය වශෙයන් හැඳින විඤ්ඤාණඤ්චායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “විඤ්ඤාණඤ්චායතනය මගේ” යි හඟියි. විඤ්ඤාණඤ්චායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාණඤ්චායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

17. ආකිඤ්චඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) ආකිඤ්චඤ්ඤායතනය වශෙයන් හඳුනයි. ආකිඤ්චඤ්ඤායතනය ආකිඤ්චඤ්ඤායතනය වශෙයන් හැඳින ආකිඤ්චඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “ආකිඤ්චඤ්ඤායතනය මගේ” යි හඟියි. ආකිඤ්චඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ආකිඤ්චඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

18. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය (තද්භූමක වූ චතුර්විධ ස්කන්ධ) නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වශෙයන් හඳුනයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වශෙයන් හැඳින නෙවසඤ්ඤානාසඤ්ඤායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙහි (නිත්‍යතාදිය පිහිටියේයයි) මඤ්ඤනා කෙරෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කෙරෙන් බැහැර (තමා හෝ මෙරමා) වූ සේ හඟියි. “නෙවසඤ්ඤානාසඤ්ඤායතනය මගේ” යි හඟියි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

19. දක්නාලද්ද (රූපායතනය) රූපායතන වශයෙන් හඳුනයි. රූපායතනය රූපායතනය වශෙයන් හැඳින රූපායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. රූපායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. රූපායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “රූපායතනය මාගේය” යි හඟියි. රූපායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රූපායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

20. අසනලද්ද (ශබ්දායතනය) ශබ්දායතනය වශයෙන් හඳුනයි. ශබ්දායතනය ශබ්දායතනය වශෙයන් හැඳින ශබ්දායතනය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. ශබ්දායතනයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. ශබ්දායතනයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “ශබ්දායතනය මාගේය” යි හඟියි. ශබ්දායතනය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ශබ්දායතනය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

21. මුතය (ස්පර්ශයෙන් = හැපීමෙන් ගත් ගන්ධරසඵොට්ඨබ්බායතන) මුත වශයෙන් හඳුනයි. මුතය මුත වශෙයන් හැඳින මුතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. මුතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. මුතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “මුතය මාගේය” යි හඟියි. මුතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මුතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

22. විඤ්ඤාතය (මනසින් දත් සෙසු ආයතන සත හෝ ධම්මාරම්මණය) විඤ්ඤාත වශයෙන් හඳුනයි. විඤ්ඤාතය විඤ්ඤාත වශයෙන් හැඳින විඤ්ඤාතය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. විඤ්ඤාතයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. විඤ්ඤාතයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “විඤ්ඤාතය මාගේය” යි හඟියි. විඤ්ඤාතය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: විඤ්ඤාතය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

23. එකත්වය (වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන සතර ස්කන්ධ) එකත්ව වශයෙන් හඳුනයි. එකත්වය එකත්ව වශයෙන් හැඳින එකත්වය ආත්මය යි හඟියි. එකත්වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. එකත්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “එකත්වය මාගේය” යි හඟියි. එකත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: එකත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

24. නානාත්වය (පඤ්චස්කන්ධය) නානාත්ව වශයෙන් හඳුනයි. නානාත්වය නානාත්ව වශයෙන් හැඳින නානාත්වය ආත්මය යි හඟියි. නානාත්වයෙහි (ආත්මය පිහිටියේ ය යි) හඟියි. නානාත්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “නානාත්වය මාගේය” යි හඟියි. නානාත්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නානාත්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

25. සර්වය (සියළු සත්කායධර්ම) සර්ව වශයෙන් හඳුනයි. සර්වය සර්ව වශයෙන් හැඳින සර්වය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. සර්වයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. සර්වයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) හඟියි. “සර්වය මාගේය” යි හඟියි. සර්වය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: සර්වය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

26. නිර්වාණය (පරමදිට්ඨධම්මනිබ්බානය) නිර්වාණ වශයෙන් හඳුනයි. නිර්වාණය නිර්වාණ වශයෙන් හැඳින නිර්වාණය (තණ්හාමඤ්ඤනාදිවශයෙන්) හඟියි. නිර්වාණයෙහි (තමාගේ ආත්මය පිහිටියේ ය යි) හඟියි. නිර්වාණයෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යන ආදීන්) හඟියි. “නිර්වාණය මාගේය” යි හඟියි. නිර්වාණය අභිනන්දනය කෙරෙයි. ඒ කවර හෙයින? යත්: නිර්වාණය (පිළිබඳ) ඔහුගේ පිරිසිඳ නො දැනීම (හෙයිනැ) යි කියමි.

(අශ්‍රැතවත් පෘතග්ජනයාගේ වශයෙන් දෙසූ ප්‍රථම භූමි පරිච්ඡේදය යි)

27. මහණෙනි, ශෛක්‍ෂ වූ නොපැමිණි අහීත්තවය ඇති යම් මහණෙක් නිරුත්තර වූ යෝගක්ෂේමසංඛ්‍යාත රහත්බව පතමින් වෙසේද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් වෙසෙසින් දනියි. පෘථිවිය පෘථිවි වශයෙන් මැනැවින් දැන (“මම පෘථිවි ධාතුව වෙමි”යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවියෙහි (පිහිටියෙමි යි දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුවෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “පෘථිවි ධාතුව මාගේ ය”යි (දෘෂ්ටිවශයෙන්) මඤ්ඤනා නැත්තේ නුමුදු (තෘෂ්ණාමාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. පෘථිවි ධාතුව (දෘෂ්ටිවශයෙන්) අභිනන්දනය නො කරන්නේ නමුදු (තෘෂ්ණාමාන වශයෙන්) අභිනන්දනය නො කරන්නේත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් (පෘථිවි ධාතුව රහත්මගින්) පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

28. ආපොධාතුව… තෙජොධාතුව… වායොධාතුව… භුතනය්… දෙවියන්… පජාපතීහු… බ්‍රහ්මයා… ආභස්සරයන්… සුභකිණ්ණයන්… වෙහප්ඵලයන්… අභිභූන්… අකාසානඤ්චායතනය… විඤ්ඤාණඤ්චායතනය… ආකිඤ්චඤ්ඤායතනය… නෙවසඤ්ඤානාසඤ්ඤායතනය… රූපායතනය… ශබ්දායතනය… ගන්ධරසඵොට්ඨබ්බායතනය… විඤ්ඤාතය… එකත්තය… නානත්තය… සබ්බය… දිට්ඨධම්මනිබ්බානය… නිබ්බාන වශයෙන් වෙසෙසින් දනී. (දාෂ්ටධර්ම) නිර්වාණය නිර්වාණ වශයෙන් වෙසෙසින් දැන නිර්වාණය ආත්ම ය යි (දිට්ඨි වශයෙන් මඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන වශයෙන්) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. “නිර්වාණය මාගේ ය" යි (දිට්ඨිමඤ්ඤනා නැත්තේ නමුදු තණ්හා මාන) මඤ්ඤනා නැත්තේත් නො වෙයි. නිර්වාණය (දිට්ඨිමඤ්ඤනායෙන් අභිනන්දනය නො කරන්නේ නමුදු තණ්හාමානමඤ්ඤනායෙන්) අභිනන්දනය නො කරන්නෙත් නො වෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් දාෂ්ටධර්මනිර්වාණය පිරිසිඳ දත යුතු (හෙයිනැ) යි කියමි.

(ශෛක්ෂයා පිලිබඳ විවට්ට වශයෙන් දේශිත ද්විතීයභූමි පරිච්ඡේදය යි)

29. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූ ආශ්‍රව ඇත්තේ වැස නිම කළ බඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි ස්වාර්ථ (රහත්පල) ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි (තෘෂ්ණාදි වශයෙන්) නො හඟියි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි නො හඟියි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

30. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තණ්හාදිමඤ්ඤනායෙන්) නො හඟියි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි නො හඟියි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ඔහු විසින් පිරිසිඳ දන්නා ලද (හෙයිනැ) යි කියමි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් ප්‍රථමනයයෙහි තෘතියභූමි පරිච්ඡේදය යි)

31. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හා ආදීන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

32. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: රාගය ක්ෂීණ වීමෙන් වීතරාග වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් ද්විතීයනයයෙහි සතරවැනිභූමි පරිච්ඡේදය යි)

33. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේශය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

34. අබ්ධාතුව… තෙජස… (දාෂ්ටධර්ම) නිර්වාණය (දාෂ්ටධර්ම) නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන ගනී. නිර්වාණය නිර්වාණය වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය (තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් (බැහැර ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. “නිර්වාණය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: ද්වේශය ක්ෂීණ වීමෙන් වීතදෝස වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් තෘතීයනයයෙහි පස්වැනිභූමි පරිච්ඡේදය යි)

35. මහණෙනි, යම් ඒ මහණෙක් රහත් වුයේ ගෙවූණු ආශ්‍රව ඇත්තේ වැස නිම කළ මගබඹසර ඇත්තේ කළ සිවුමග කිස ඇත්තේ බහා තැබූ කෙලෙස්බර ඇත්තේ පැමිණි රහත්පල ඇත්තේ ගෙවුණු භවබන්ධන ඇත්තේ මැනැවින් දැන (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වේ ද, හෙතෙමේත් පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනී. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි (ආත්මය පිහිටියේ ය යි) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙන් බැහැර (ආත්මය පිහිටියේ ය යි) නො හඟියි. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවිය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මෝහය ක්ෂීණ වීමෙන් වීතමොහ වූ හෙයිනි.

36. අප්… තෙජස්… (පරමදාෂ්ටධර්මනිර්වාණය) නිර්වාණ වශයෙන් දනියි. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙයි. නිර්වාණය අභිනන්දනය නො කෙරෙයි. ඒ කවර හෙයින? යත්: මොහය ක්ෂීණ වීමෙන් වීතමොහ වූ හෙයිනි.

(ක්ෂීණාශ්‍රව වශයෙන් චතුර්ථනයයෙහි ෂෂ්ඨභූමි පරිච්ඡේදය යි)

37. අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය (තණ්හාදී වශයෙන්) මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

38. අප්… තෙජස්… පරමදාෂ්ටධර්මනිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: තථාගතයන් නිරවශේෂයෙන් එය පිරිසිඳ දත් හෙයිනැ යි කියමි.

(ශාස්තෘ වශයෙන් ප්‍රථමනයෙහි සප්තභූමි පරිච්ඡේදය යි)

39. මහණෙනි, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ ද පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැන පෘථිවිය ආත්මය යි මඤ්ඤනා නො කෙරෙයි. පෘථිවියෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවියෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. “පෘථිවිය මාගේ ය”යි මඤ්ඤනා නො කෙරෙත්. පෘථිවිය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්දිසඬඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

40. අප්… තෙජස්… (පරමදාෂ්ටධර්ම)නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ට ඥානයෙන් දනිත්. නිර්වාණය නිර්වාණ වශයෙන් විශිෂ්ටඥානයෙන් දැන නිර්වාණය තණ්හාදීන් මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙහි ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණයෙන් බැහැර ආත්මය පිහිටියේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය මාගේ ය යි මඤ්ඤනා නො කෙරෙත්. නිර්වාණය අභිනන්දනය නො කෙරෙත්. ඒ කවර හෙයින? යත්: “නන්දිසඬඛ්‍යාත තෘෂ්ණාව දුකට මුල වේ. භාවයෙන් ඉපැද්ම වෙයි. උපන්නහුට ජරාමරණ වේ”යි මෙසේ (පිළිසසුමුපා) දත් හෙයිනි. මහණෙනි, යම් හෙයෙකින්ම තථාගතයන් වහන්සේ (මෙසේ පිළිසසුමුපා දැන) සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරලීමෙන් අනුත්තර සම්‍යක්සම්බෝධිය මොනවට අවබෝධ කළසේක් ද එහෙයිනැ යි කියමි.

(ශාස්තෘ වශයෙන් ද්විතීයනයෙහි අෂ්ටමභූමි පරිච්ඡේදය යි)

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අනුමෝදන් නො වුහු. (එහි අර්ථය නොදත් බැවින් තුටු නො වුහ යි යු සේයි)

පළමුවන මුලපරියාය සුත්‍රය යි.