වත්ථූපම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මූලපණ්ණාසකයේ

පලමු වැනි මූලපරියාය වර්ගයේ

වත්‍ථූපම සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. භික්‍ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක.

2. මහණෙනි, කිලිටි වූ මල ගත් වස්ත්‍රයෙක් වේ ද, ඒ වස්ත්‍රය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන් පැහැය පිණිස හෝ මදටිය (මදරත්) පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය නො මනා ව රැ‍ඳූ පැහැ ඇත්තක් ම වන්නේ ය. අපිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිලිටි වූ කල්හි දුගතිය කැමැති විය යුතු යි.

 

3. මහණෙනි, පිරිසුදු පබසර වතක් වේ ද, එය රජකයෙක් නිල්පැහැය පිණිස හෝ රන්වන්පැහැය පිණිස හෝ ලේවන්පැහැය පිණිස හෝ මදටිය පැහැය පිණිස හෝ යම් යම් රඳනෙක බහා ලන්නේ නම්, එය මනා පැහැ ඇත්තක් ම වන්නේ ය. පිරිසිදු පැහැ ඇත්තක් ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, වස්ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නො කිලිටි වූ කල්හි සුගතිය ම කැමැති විය යුතු යි.

4. මහණෙනි, චිත්තොපක්ලෙශයෝ (සිත කෙලෙසන ධර්‍මයෝ) කවරහු ද? අභිධ්‍යා (ස්වකීය වස්තුවෙහි ඡන්‍දරාගය) විෂමලොභය (-මෙරමා අයත් වස්තුවෙහි ඡන්‍දරාගය) සිත කෙලෙසන්නෙකි. ව්‍යාපාදය සිත කෙලෙසන්නෙකි. ක්‍රොධය සිත කෙලෙසන්නෙකි. උපනාහය (බද්ධවෛරය) සිත කෙලෙසන්නෙකි. මක්ඛය (ගුණ මකු බව) සිත කෙලෙසන්නෙකි. පළාසය (යුගග්‍රාහය) සිත කෙලෙසන්නෙකි. ඊර්‍ෂ්‍යාව සිත කෙලෙසන්නෙකි. මසුරුබව සිත කෙලෙසන්නෙකි. මායාව සිත කෙලෙසන්නෙකි. කපටිබව සිත කෙලෙසන්නෙකි. ථම්භය (තදබව) සිත කෙලෙසන්නෙකි. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම) සිත කෙලෙසන්නෙකි. මානය සිත කෙලෙසන්නෙකි. අතිමානය සිත කෙලෙසන්නෙකි. මදය සිත කෙලෙසන්නෙකි. ප්‍රමාදය සිත කෙලෙසන්නෙකි.

5. මහණෙනි, ඒ භික්‍ෂු තෙමේ අභිධ්‍යාවිෂමලොභය සිත පිළිබඳ උපක්ලෙශයෙකැයි මෙසේ දැන සිත පිළිබඳ උපක්ලෙශ වූ අභිධ්‍යා විෂමලොභය දුරු කරයි. ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ව්‍යාපාදය දුරු කරයි. ක්‍රොධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ක්‍රොධය දුරු කරයි. උපනාහය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන උපනාහය දුරු කරයි. මක්ඛය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මක්ඛය දුරු කරයි. පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන පළාසය දුරු කරයි. ඊර්‍ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ඊර්‍ෂ්‍යාව දුරු කරයි. මසුරුබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මසුරුබව දුරු කරයි. මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මායාව දුරු කරයි. කපටිබව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන කපටිබව දුරු කරයි. ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ථම්භය දුරු කරයි. සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන සාරම්භය දුරු කරයි. මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මානය දුරු කරයි. අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන අතිමානය දුරු කරයි. මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන මදය දුරු කරයි. ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැන සිත කිලුටු කරන ප්‍රමාදය දුරු කරයි.

6. මහණෙනි, යම් කලෙක මහණකුගේ අභිධ්‍යාවිෂමලොභය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අභිධ්‍යාවිෂමලොභය ප්‍රහීණ වූයේ වේ ද, ව්‍යාපාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වේ ද, ක්‍රොධය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ක්‍රොධය ප්‍රහීණ වූයේ වේ ද, බද්ධවෛරය (උපනාහය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ බද්ධවෛරය ප්‍රහීණ වූයේ වේ ද, ගුණමකුකම (මක්ඛය) සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ගුණමකුකම ප්‍රහීණ වූයේ වේ ද, පළාසය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ පළාසය ප්‍රහීණ වූයේ වේ ද, ඊර්‍ෂ්‍යාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ඊර්‍ෂ්‍යාව ප්‍රහීණ වූයේ වේ ද, මසුරුකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මසුරුකම ප්‍රහීණ වූයේ වේ ද, මායාව සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මායාව ප්‍රහීණ වූයේ වේ ද, කපටිකම සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ කපටිකම ප්‍රහීණ වූයේ වේ ද, ථම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ථම්භය ප්‍රහීණ වූයේ වේ ද, සාරම්භය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ සාරම්භය ප්‍රහීණ වූයේ වේ ද, මානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මානය ප්‍රහීණ වූයේ වේ ද, අතිමානය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ අතිමානය ප්‍රහීණ වූයේ වේ ද, මදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ මදය ප්‍රහීණ වූයේ වේ ද, ප්‍රමාදය සිත කිලුටු කරන්නෙකැයි මෙසේ දැනීමෙන් සිත කිලුටු කරන්නක් වූ ප්‍රමාදය ප්‍රහීණ වූයේ වේ ද,

7. හෙතෙම බුදුරජානන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන් අර්හත්හ. සම්‍යක්සම්බුද්ධයහ, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණධර්‍මයන්ගෙන් යුක්තයහ, සුගතයහ, ලොකවිදූහ, අනුත්තර පුරිසදම්මසාරථියහ, දෙවිමිනිසුන්ගේ ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ,” කියා යි. ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා කොට දෙසන ලද්දේ ය. සන්‍දිට්ඨික ය (තමා විසින් දැක්ක යුතු ඵල ඇත්තේ ය) අකාලික (කල් නො යවා විපාක දෙන්නේ) ය. එහිපස්සික (‘එව, මෙය බලව’ යි දැක්වීමට සුදුසු) ය. ඔපනයික (සිත්හි ඵළවිය යුතු) ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුතු ය” කියා යි. සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි: “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා උජුපටිපන්න ය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝයා සාමීචිපටිපන්න ය. යම් මේ සොතාපන්නාදි පුරිස යුගල සතරෙක් වේ ද, (සොතාපත්තිමග්ගට්ඨ, සොතාපත්තිඵලට්ඨ ආදි) පුරිස පුග්ගලයෝ අට දෙනෙක් වෙත් ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ දුර සිට ගෙනා සිවුපසය ලැබීමට සුදුසු ය. ආගන්තුකසත්කාරය ලැබීමට සුදුසු ය. දක්‍ෂිණාවට සුදුසු ය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසු ය. ලොකයාට උතුම් පින්කෙත ය” කියා යි.

8. යම් හෙයකින් එ මහණහු විසින් උපක්ලෙශ දුරු කරන ලද්දේ ද, වමනය (නැවත නො ගන්නා සේ බැහැර කරණ ලද්දේ ද), මුදන ලද්දේ ද, ප්‍රහීණ කරණ ලද්දේ ද, දුරු කරණ ලද්දේ ද, හෙ තෙමේ ‘මම බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ථවෙදය (බුද්ධාදීන් කෙරෙහි අවෙත්‍යප්‍රසාදයෙන් ඇති වන සොම්නස) ලබයි. ධර්‍මවෙදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදත වූවහුට ප්‍රීතිය හටගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘ධර්‍මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ථවෙදය ලබයි. ධර්‍මවෙදය ලබයි. සොම්නසින් හා ඤාණයෙක් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙමි’යි අර්‍ථවෙදය (ගුණ දැන පැහැදීම නිසා ඇති වන සොම්නස) ලබයි. ධර්‍මවෙදය (සොම්නසින් උපන් ඤාණය) ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීති ඇති වෙයි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි. ‘යම් හෙයකින් මා විසින් උපක්ලෙශ ත්‍යක්තය, වමිත ය, ප්‍රහීණ ය, ප්‍රතිනිස්සෘෂ්ටය ය’ යි සිතන්නේ අර්‍ථවෙදය ලබයි. ධර්‍මවෙදය ලබයි. සොම්නසින් හා ඤාණයෙන් යුක්ත ප්‍රමොදය ලබයි. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හට ගනියි. ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තහුගේ කය සන්දිඳෙයි. සන්සිඳුනු කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත සමාධිගත වෙයි.

9. මහණෙනි, මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති ඒ අනගැමි මහණ තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සාලේ බත වළඳයි ද, ඔහුට එය මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි. මහණෙනි, යම්සේ කිලුටු වූ මල ගත් වස්ත්‍රයක් පිරිසුදු ජලයට පැමිණ පිරිසුදු වූයේත් පබසර වූයේත් වේ ද, උදුන්මුවට පැමිණ රන් පිරිසිදු වූයේත් බබළන්නේත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙබඳු සිල් ඇති මෙබඳු දහම් ඇති මෙබඳු නුවණ ඇති භික්‍ෂු තෙම බැහැර කළ කළු සහල් ඇති නොයෙක් සූපව්‍යඤ්ජන ඇති ඇල්සහලේ බත වළඳන්නේ නමුත් එය ඔහුට මාර්‍ගඵලාන්තරාය පිණිස නො වෙයි.

10. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, එසේ ම තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සතුන් ඇති ලොව විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛරයෙන් අව්‍යාපාදවූ මෛත්‍රිසහගත සිතින් පතුරුවා වාසය කෙරෙයි. කරුණාසහගත සිතින ... මුදිතාසහගත සිතින් ... උපේක්‍ඛා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, එසේ ම සිවුවැනි දිශාව ද, එසේ ම උඩ යට සරස ද සියලු තන්හි සියල්ලන් තමන් හා සම කොට ගැන්මෙන් සියලු සත්ත්‍වයන්ගෙන් යුක්ත වූ ලොකය විශාල වූ මහත්බවට පැමිණි අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ උපෙක්‍ෂාසහගත සිතින් පතිරුවා වාසය කරයි.

11. හෙතෙම ‘මේ දුඃඛසත්‍යය ඇත. හීන වූ සමුදය සත්‍යය ඇත. උතුම් වූ මාර්‍ගසත්‍යය ඇත. මේ බ්‍රහ්මවිහාර සංඥාවට වඩා උතුම් නිවනෙක් ඇතැ’යි දැන ගනියි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඔහුගේ සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද සිත මිදෙයි. මිදුණු කල මිදුණේ ය යි ඤාණය ඇති වෙයි. ජාතිය ක්‍ෂීණ වී ය. බ්‍රහ්මචරියය වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැන ගනියි. මහණෙනි, මේ භික්‍ෂු තෙම ඇතුළත නෑමෙන් ස්නානය කෙළේ යයි කියනු ලැබේ.

12. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි හුන්නේ වෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතම තෙමේ බාහුකා නදියට නෑම පිණිස යේ දැ”යි මෙය කීය.

13. “බමුණ, බාහුකා නදියෙන් කවර ප්‍රයොජනයෙක් ද? බාහුකානදිය කුමක් කරන්නී ද? “භවත් ගෞතමයෙනි, බාහුකානදිය ‘විශුද්ධභාවය දෙතැයි නොහොත් ශ්‍රෙෂ්ඨලොකයට පමුණුවතැ’යි බොහෝ දෙනා විසින් සම්මත ය. භවත් ගෞතමයෙනි, බාහුකා නදිය බොහෝ දෙනා විසින් පවිත්‍ර ය (පුන්‍යතීර්ත්ථයෙකැ) යි සම්මත ය. බාහුකානදියෙහි බොහෝ දෙනා පව්කම් පා කර හරිත් ය යි කී ය.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාට ගාථායෙන් වදාළහ:

බාහුකානදියට ද අධිකක්ක නම් තීර්තථයට ද ගයාතීර්ත්ථයට ද සුන්‍දරිකා නදියට ද සරස්වතිනදියට ද ප්‍රයාගතීර්ත්ථයට ද යළි බාහුමතී නදියට ද,

කළපව් ඇති අඥජන තෙමේ නිතර පිවිසියේ නමුත් කෘෂ්ණ (අකුශල) කර්‍ම ඇති හෙතෙමේ පිරිසිදු නො වෙයි. සුන්‍දරිකානදිය කුමක් කරන්නී ද? ප්‍රයාගතීර්ත්ථය කිම? බාහුකානදිය කිම? (බාහුකානදී ආදීහු) වෛර ඇත්තා වූ කළ රළුකම් ඇත්තා වූ පාපකර්‍මයෙන් යුක්ත වූ ඒ නුවණ නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.

පිරිසිදු වූවහුට (කෙලෙස් නැත්තහුට) හැම කල්හි ම උතුරුපල්ගුන නැකත වේ. පිරිසිදු වූවහුට හැමකල්හි පොහොය වේ. පිරිසිදු වූ පරිශුද්ධ කර්‍ම ඇත්තහුගේ ව්‍රතය හැම කල්හි සමෘද්ධ වේ. බ්‍රාහ්මණය, මෙහි ම ස්නානය කරව. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය කරව.

බොරු නො කියහි නම්, සතුන්ට හිංසා නො කෙරෙහි නම්, නොදුන් දෙය නො ගනිහි නම්, ශ්‍රද්ධා ඇත්තෙහි මසුරු නොවෙහි නම්, ගයාවට ගොස් කුමක් කරන්නෙහි ද? තාගේ ලිඳ වුව ද ගයාව වේ.

14. මෙසේ කීකල සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව. භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේ ද, වැසුණු දෙයක් වැහුම් හරින්නේ යම්සේ ද, මං මුළා වූවහුට මග කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තාහු රූප දක්නාහු ය යි අන්‍ධකාරයෙහි තෙල්පහනක් දල්වන්නේ යම්සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මදෙශනා කරන ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේත් ධර්‍මයත් සඞ්ඝයාත් සරණ කොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්වා, උපසම්පදාව ලබන්නෙම්වා”යි කී ය.

15. සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භවත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලැබී ය. උපසම්පදාව ලැබී ය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ උපසම්පන්න වී නොබෝකල් ඇත්තේ එකලා වූයේ වෙන් වූයේ එළඹ සිටි සිහි ඇත්තේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇත්තේ නොබෝ කලකින් ම යම් අර්‍හත්ත්‍වයක් සඳහා කුලපුත්‍රයෝ මනා ව ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් ද, මාර්‍ගබ්‍රහ්මචර්යයෙහි අවසානය වූ ඒ උතුම් අර්‍හත් ඵලය මේ ආත්මයේ දී ම තෙමේ දැන ගෙන ඊට පැමිණ වාසය කෙළේ ය. ජාතිය ක්‍ෂීණ වි ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කිස කරන ලදී. මේ රහත්බව පිණිස කළ යුතු අන් කටයුත්තෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.

සත්වැනි වූ වත්‍ථූපම සූත්‍රය නිමියේ ය